Breaking News

සිළුමිණ පුවත්පතේ පළවූ අසත්‍ය පුවත ගැන ගුරු සංගම්වලින් ජනමාධ්‍ය ඇමතිට පැමිණිල්ලක්

පසුගිය ඉරිදා (29) සිළුමිණ පුවත්පතෙහි මුල්පිටුවේ පළවූ අසත්‍ය පුවතක් මගින් ගුරුවරුන්ට බරපතල අපහාසයක් සිදුකර ඇති බවට ගුරු සංගම් කිහිපයක් එක්ව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ ලිපියෙන් ගුරු සංගම් පෙන්වා දී ඇත්තේ ජාතික පුවත්පතක් වන සිළුමිණ පුවත්පතෙහි ගුරු උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන් 25 ක් මරණයට පත්ව තවත් 400 ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවට මුල් පිටුවේ පුවතක් පලකර ඇති බවයි.

පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ සිළුමිණ පුවත්පතට හෙළිකළ බව පවසා පලකර ඇති මෙම පුවතේ මියගිය බවට සඳහන් කර ඇති ගුරුවරුන් 25 දෙනාගේ නම් හෝ සදහන් නොවන අතර සෞඛ්‍ය අංශ මගින් තහවුරු කළ යුතු කරුණක් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනිය උපුටා දක්වමින් වාර්තා කිරීම කුමන මාධ්‍ය සදාචාරයක්දැයි ගුරු වෘත්තීය සංගම් ප්‍රශ්න කර සිටියි.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසදීමට පත්කළ අමාත්‍ය අනුකමිටුව නියෝජනය කරමින් සිටින අතරතුරදී ඔහුගේ යටතේ පවතින රාජ්‍ය මාධ්‍ය ආයතනයක මෙවැනි පුවතක් පලකරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පලකරන බව එම ලිපියෙහි සඳහන් වේ.

පදනමක් නොමැති මෙම පුවත මගින් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පිළිබදව වෛරී හැඟීමක් ජනතාව තුළ ඇතිකරන බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ලිපිය මගින් ගුරු වෘත්තීය සංගම් ඉල්ලා සිටියි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට හෙට (අගෝස්තු 31) උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි වාර්තා වේ.

මෙලෙස කැඳවා ඇත්තේ, ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම, එම පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් ඇති බවටත්, ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව යන ආයතන තුළ සිදුවන වංචා හා දූෂණ මෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශ වීම සම්බන්ධයෙන් ඔහු යූටියුබ් නාලිකාවකට දැක්වූ අදහස් හේතුවෙනි.

මෙම කරුණු සම්බන්ධයෙන් වෛද්‍යවරයා දන්නා තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බැවින් හෙට උදෑසන 8.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
පැමිණෙන ලෙස ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

මීට අමතරව වෛද්‍ය බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

විශේෂඥ වෛද්‍ය ජයරුවන් මීට ඉහත සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබූ අතර පසුව ඔහු එම ධුරයෙන් ඉවත් කෙරිණි.

ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට නාම යෝජනා භාරදුන් අතර ඔහුගේ අයදුම්පත්‍රයේ දෝෂ ඇතැයි පවසා ප්‍රතික්ෂේප කිරීමට ද කෙරිණි.

එයට විරෝධය දක්වා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අධිකරණයේ පිහිට පැතූ අතර, අධිකරණයේ නියෝගය වූයේ ඔහුගේ නාම යෝජනා භාරගෙන ස්වාධීන කමිටුවක මෙහෙයවීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පැවැත්විය යුතු බවය. නමුත් මෙතෙක් එහි නිලවරණය පවත්වා නැත.

leave a reply