Breaking News

කොවිඩ් මරණ භූමදානය මඩකලපුව ඔට්ටමාවඩිහිදී ඇරඹෙයි

අද(06) දිනයේදීත් කොවිඩ් 19 මරණ 07ක් භූමදානය කර තිබෙන අතර හෙට දිනයේදී ශීතාගාර තුළ තැන්පත් කර තිබෙන සියලුම මෘත දේහ භූමදානය කිරීමට කටයුතු කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

ඊයේ දිනයේදීද මෘත දේහ මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදී කොවිඩ් මෘත දේහ භූමදානය කිරීම ආරම්භ කර තිබුණි. ඒ අනුව ඊයේ දිනයේදී මෘතදේහ 9ක් භූමදානය කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයද කොවිඩ් මෘතදේහ සඳහා භූමදානය සහ ආදාහනය නිර්දේශ කර තිබියදී ලංකාව තුළ භූමදානය ගැන තීරණය කිරීමට වසරකට ආසන්න කාලයක් අරගල කිරීමට ජනතාවට සිදුවිය. භූමදානය සඳහා අවසර ලබාදීමෙන් පසුවද එය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුව කල් දමන ලදී. අවසානයේ පසුගියදා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ කොවිඩ් භූමදානය සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉරණතිව් දූපත යොදාගෙන ඇති බවයි. එහෙත් එය ජාතිවාදී තීරණයක් බව සඳහන් කරමින් විවේචන එල්ල විය. එසේම ඉරණතිව් දූපතේ ජනතාව කොවිඩ් මෘතදේහ තම දුපතේ භූමදානය කිරීමට තීරණය කිරීම ගැන විරෝධය දක්වන ලදී.

ඊයේ භූමදානය සිදුව ඇත්තේ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමකයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්. එස්. එස්. අමීර් අලී පවසා ඇත්තේ කොවිඩ් මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියක් බවත් එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් බවයි.

leave a reply