Tag: poem

  • කවියක් වගේ මොකක්ද එකක්…!!!

    කවියක් වගේ මොකක්ද එකක්…!!!

    වායු ගෙඩියක් විසුල ගෙල වටට
    නයිලෝන් කඹෙන් පළන්දා අභරණ
    පෙරා කඳුළැලි මල මුත්‍ර දෙපා යට
    ඉනාමළුවට වඩා කොල පාටයි
    අපි දැකපු රතුපාට හබරණ

    ගැට ගැට පිපී කුද්දෙටි සැදී
    බාන්වැල්වලත් දාඩිය කැටී
    කටු වට එතී ඇතිල්ලී හිඳී
    මොර කැකුළුවල එහෙමයි හැටී

    දැදුරු රතඳර ඉරාගෙන ලේ විදා
    උගුරු දඬුවද කැඩුනෙ ජර බර ගගා
    ඒ හඳට වැටකොළු මලෙන්
    මැහුමක් දමා
    නිල් තරු නිදන්නෙම
    ඇහැක කඳුලක තමා

    බෙල්ලට වඩා රිදෙන්ඩැති වකුගඩුව
    පෙරහන්කඩක් නොදුන්නත් ආණ්ඩුව
    හඳුනා නොගත් රෝග කාරක
    ස්තුතිම වේවා
    රතන සාදුට

    ණය ගෙවා නොහුන බව ඇත්තයි
    වම දකුණ දෙකම දැන් තිත්තයි
    කෙමිකල් වසංගත සයනයේ
    කොට්ටෙ විටමින් හීන පෙත්තයි

    කොහොම බඩගෑවාද සමන්වැල්
    හිනාවී බඹ තුනක් කුඹුකට
    හිස් බඩක තනි රකින්නේ
    කුඩා බඩවැල් තමයි ඉඳහිට

    මේ තරම් සියුමැලිද
    බ්‍රෝමන් ප්‍රාවරය
    තොල් සිනිඳු කියන්නේ
    ගොඩක් කවියන් බොරුවට

     

    ධර්මසිරි බෙනඩික්
  • වැස්ස! වැස්ස!! ඉතින් වහින්න.

    වැස්ස! වැස්ස!! ඉතින් වහින්න.

    වැස්ස කියද්දිම මට මතක් වෙන තැන් දෙකක් තියෙනව. එකක් ඛුද්ධක නිකායේ තේර ගාථා පාළියේ ගිරිමානන්ද ථේර ගාථාව. අනික ධනිය සූත්‍රය. මේ දෙකේදිම වැස්ස මුල් කරගනිමින් තමන් ලබපු අධ්‍යාත්මික සුවය ගැන ඉතා ඉහළින් පෙන්වා දෙනව. ඒක මට වැස්සක් තරම් ලස්සනයි.

    වැස්ස අපිට පීඩා ගෙන දෙනව, වැස්ස සූදානම් නැති මිනිස්සුන්ට හැම අතකින්ම පීඩා කරනව. වැස්ස වෙලාවක පාරෙ යන්න බැහැ, ගෙදර ඉන්නත් බැහැ. කන්න බොන්න උයන්න කිසිවක් බැරිවෙන්නෙ වැස්සට අපි සූදානම් නැත්නම්. ඒ වගේම තමයි අධ්‍යාත්මික පැත්ත. වැස්ස රාග, දෝශ, මෝහනම්; සීලයට, සමාධියට, ප්‍රඥාවට එ⁣ළඹෙන්න බැහැ. රාගයට, දෝශයට, මෝහයට අපි සූදානම් වෙලා හිටියොත් සීලයට සමාධියට ප්‍රඥාවට එළැඹෙන්න බැරි නැහැ.
    ගිරිමානන්ද ථේර ගාථාවේදී ගිරිමානන්ද හාමුදුරුවෝ වැස්ස ගැන හරි අපූරු සඳහන් ටිකක් කරනව. මෙන්න මේ විදියට;

    වස්සති දේවෝ යථා සුගීතං
    ඡන්නා මේ කුටී සුඛා නිවාතා
    තස්සං විහරාමි වීතරාගෝ
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තිබෙන්නේ. රාග රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

    වස්සති දේවෝ යථා සුගීතං
    ඡන්නා මේ කුටී සුඛා නිවාතා
    තස්සං විහරාමි වීතදෝසෝ
    අථ චේ පත්ථයයි පවස්ස දේව

    වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තියෙන්නේ. හරි සනීපයි ජනේලයත් වහල තියෙන්නේ. ද්වේෂ රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

    වස්සති දේවෝ යථා සුගිතං
    ඡන්නා මේ කුටි සුඛා නිවාතා
    තස්සං විහාරාමි වීතමොහෝ
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    වැස්ස වහින්නේ ලස්සන ගීතයක් වගේ. මා ඉන්න කුටිය හොඳට සෙවිලි කරල තිබෙන්නේ. හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නේ. මෝහ රහිත සිතෙනුයි මමත් ඉන්නේ. ඉතින් වැහි වළාකුල කැමැති තරම් වහින්න.

    වැස්සක සෞන්දර්ය අපිට බලන්න පුළුවන් වෙන්නෙ නොතෙමී ඒ දිහා බලාගෙන ඉද්දි. වැස්සෙ තෙමෙන්න මිනිස්සු ආසයි කිව්වට තෙමෙනවට බයේ කුඩයක් අරගෙන යනව. ගෙදර උළු තහඩු වලින් සෙවිලි කරනව. ඇත්තෙන්ම මිනිස්සු වැස්සට කැමතිද? වැස්සක තියෙන සුන්දරත්වය තෙමි තෙමී විදින්නනම් එයා ඉන් පස්සෙ එන ගැටළු වලට පිළිතුරු හොයාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕන.

    තමන්ගේ කුටියට වෙලා වැස්ස දිහා බලාගෙන ඉද්දි දැනෙන හැඟීම් ටික ගිරිමානන්ද හාමුදුරුවෝ දක්වන්නේ හරිම ලස්සනට. මම වැස්සට බය නැහැ. මම මගේ කුටියෙ ඉන්නෙ, ඒ කුටිය හොඳට සෙවිලි කරලයි තියෙන්නෙ, කවුළු පියන් වහල තියෙන්නෙ, වැස්සනිසා ඇති විය හැකි රාග ද්වේශ මෝහාදී සිත් මම යටපත් කරල තියෙන්නෙ. වැස්ස! ඇති තරම් වහින්න කියල වැස්සට කියනව උන්වහන්සේ. උන්වහන්සේ එතනින් පෙන්වන්නේ උන්වහන්සේගේ අර්හත් බවේ උත්තරීතර බව. ලෞකික අපිට ගන්න තියෙන්නෙ වැස්සෙ සෞන්දර්යාත්මක බව කියල මට හිතෙනව. මේ වැහි වලට තෙමෙන්නනම් අපි ඇත්තෙන්ම සූදානම් වෙලා ඉන්න ඕන. අඩු තරමෙ කුඩයක්වත් අතේ තියන් ඉන්න ඕන.
    ධනිය සූත්‍රයේ දී ධනිය ගෝපාල සහ බුදුන්වහන්සේ අතර සිද්ධ වෙන සංවාදයත් ඉතාම රමණීයයි. එයත් විවරණය වෙන්නෙ වැස්ස හෙවත් වර්ෂාව මුල් කරගනිමින්. ධනිය කියන්නෙ විශාල ගව පට්ඨියක අයිතිකාරයෙක්. එයා ලොකු සල්ලිකාරයෙක්. ඉතිං දවසක් මෙයා තමන්ගෙ ගව පට්ඨියට තණ කවන්න “මහී” කියන ගංගා තීරයේ තාවකාලිකව නවාතැන් ගන්නව. තනියම නෙමෙයි. තමන්ගෙ බිරිඳත් දරුවොත් එක්ක. මෙහෙම ඉද්දි තද වැහි වළාකුළුත් එක්ක වර්ෂාවක සංඥා අහස තුළ පැන නගිනව. මේක බලාගෙන හිටපු ධනිය ඉතාමත් සතුටට පත් වෙනව. නිකං නෙමේ එයා ඒ ගැන කෑ ගගහ සතුටට, උද්දාමයට පත්වෙනව;

    පක්කෝදනෝ දුද්ධඛීරෝ හමස්මි
    අනුතීරේ මහීයා සමාන වාසෝ
    ඡන්නා කුටි අභිතෝ ගිනි
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    මම බත් පිසල තියෙන්නෙ, දෙනුන්ගේ කිරි දොවල තියෙන්නෙ, මගෙ බිරිඳත් දරුවොත් එක්ක එකට වාසය කරන්නෙ, සෙවිළි කරපු කුටියෙ හීතල එනවට ගිණිමැලයක් තියෙනව, ඉතින් වළාකුළු! කැමති තරම් වහින්න. කියන ආයාචනය ධනිය සිද්ධ කරනව.

    මේක බුදුන්වහන්සේ දකිනව. මේ වහින්න යන වැස්ස ලේසි පාසු වැස්සක් නෙමෙයි කියල බුදුන්වහන්සේ දැනගෙන හිටිය. විශාල ගංවතුරක සේයාවක් උන්වහන්සේ දැක්ක. මේ වහින වැස්සෙන් ලොකු ජීවිත විනාශයක් විය හැකි බව තේරුම් ගත්ත.

    ධනියගේ උද්දාම සම්පන්න වචන අතර තුර බුදුන්වහන්සේ අහසින් වඩිනව ධනිය ලගට. එහෙම වැඩම කරල බුදුන්වහන්සේ උද්දාමයෙන් ප්‍රීති වාක්‍ය දේශනා කරනව;

    අක්කෝධනෝ විගතිඛිලෝ හමස්මි
    අනුතීරේ මහියේකරත්ති වාසෝ
    විවටා කුටි නිබ්බුතෝ ගිනි
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    මම ක්‍රෝධයෙන් තොර වූයෙමි, කෙළෙස් මුල් ගලවා විසි කරන ලද්දෙමි, මේ මහී ගං තීරයේ මම ද හුදෙකලාව වෙසෙමි. ඒ විතරක් නෙමේ මට හාත්පසින්ම විවර වූ කුටියක් තියෙන්නෙ, ඒ වගේම මට පත්තු කරපු ගිනිමැල මුකුත්ම නැහැ. ඉතින් වළාකුළු කැමති තරම් වහින්න.

    ඒ තමයි බුදුන්වහන්සේගේ ප්‍රීති වාක්‍ය. ධනිය සතුටු වෙන්නෙ තමන්ගේ මෙලොව සුබ සිද්ධිය ධනය බලය තුළින් ගොඩනගාගත්ත නිවහල් බව ගැන. එයාත් තෙමෙන්නෑ, වැස්සට ගානක් නෑ. වැස්සෙ සුන්දරත්වය විදින්න එයා ආසයි. හැබැයි බුදුන්වහන්සේ කතා කරන්නෙ ලෞකික නොවූ ලෝකෝත්තර දෙයක් ගැන. ඒක හරියට මේ වගේ; “ධනිය වැස්සත් එකයි නොවැස්සත් එකයි. මට වැස්සේ ප්‍රතිඵලය නිසා ඇති වෙන කිසිම දෙයක් බලපාන්නෙ නැහැ. මගෙ කුටිය සිව් කොනින්ම විවෘතයි. මාව තෙමෙන්න පුළුවන්! හැබැයි මට හානියක් වෙන්නෑ. මගෙ කුටියෙ හීතලට අවුලපු ගිනිමැල නෑ. මට වැස්ස නිසා සීතල ඇති වෙන්න පුළුවන්. හැබැයි මම දන්නව! මට හානියක් නැහැ. ධනිය! ඔයා කොච්චර සැප සම්පත් තිබුනත් වැස්සට බයයි.” උන්වහන්සේ අරහත් නම් වූ සුළඟින් කෙලෙස් නමැති වහල සිඳබිඳ දැමු නිසා විවර වූ කුටිය යැයි වදාළ සේක. එමෙන් ම රාග, ද්වේශ, මෝහ , ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන එකොළොස් ගින්න ම බෝධිමූලයේ දී විමුක්තිය නමැති සිහිල් දියෙන් නිවාලු නිසා, නිබ්බුතෝ ගිනි හෙවත් නිවන ලද ගිනි ද ඇත කියා උද්දාමයට පත්වුනා. ඒ විතරක් නෙමෙයි. අතීතය ගැන ශෝක නො කරමින්, අනාගතය නො පතමින්, වර්තමානයෙහි විදසුන් නුවණ තුළ සුන්දර හුදකලාවේ වසන බැවින් මේ දේවල් ගැන මට තැකීමක් නැහැ කියල උද්දාමයට පත්වුනා.

    ධනිය බුදුන්වහන්සේගේ විවරණය අහල සතුටු වුනා. ඒ නිසාම තවත් තණ්හාධිකව උද්දාමයට පත්වෙලා තවත් ප්‍රීති වාක්‍යයක් කිව්ව. බුදුන්වහන්සේගේ විවරණයක් අහන්න තියෙන ආසාවට.

    අන්ධක මකසා න විජ්ජරේ
    කච්ජේ රූළ්හතිණේ චරන්ති ගාවෝ
    වුට්ඨිම්පි සහෙය්‍යුමාගතං
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    ලේ උරන මැස්සො මදුරුවො නැහැ, ළා තණ පදුරු ඉතා හොඳින් ගොනුන් විසින් කා දමනවා, වැහි වැටෙද්දි ඉවසන්න පුළුවන් ඔවුන්ට. ඉතිං ඇති වෙන්න වහින්න!.

    මේ විදියට ධනිය සතුටු වෙද්දි බුදුන්වහන්සේ නැවත ප්‍රීතියෙන් මේ විදියට කියනව;

    බද්ධා හි භිසි සුසංඛතා
    තිණ්ණෝ පාරගතෝ විනෙය්්‍ය ඕඝං
    අත්ථෝ භිසියා න විජ්ජති
    අථ චේ පත්ථයසි පවස්ස දේව

    ඉතා හොඳින් බදින ලද පහුරක් තිබෙනවා, සැඩ පහර කපාගෙන යන්න ඒ පහුරට පුළුවන්කම තියෙනව. මම ඒ පහුරෙන් ගංගාව තරණය කරලත් ඉවරයි. මේ පහුරෙන් මට දැන් ඇති වැඩකුත් නැහැ. ඇති වෙන්න වහින්න! මට කමක් නෑ.

    මේ ගිරිමානන්ද හාමුදුරුවෝත් බුදුන්වහන්සේත් වැස්ස නිසා ප්‍රීතියට පත්වීම හරිම ලෝකෝත්තරයි. ඒ වැස්ස කියන්නෙ අපි සම්මුතියේ කතා කරන වළාකුළු අතර ගට්ඨනයෙන් ඇති වෙන වැස්ස නෙමෙයි. කෙලෙස් වැස්ස ගැනයි උන්වහන්සේලා උදම් ඇනුවෙ. ධනිය උදම් ඇණුවෙ සම්මුතියේ අපි කතා කරන වැස්සට තමන් සූදානම් බැවින්.
    ඉතින් මේ වැහි දෙකම එක වගේ නැතත් කොච්චර රුදුරු වුනත් වැස්සට සූදානම් වෙලා ඉන්නවනම් වැස්සට බිය නොවී ඒ වැස්ස විදින්න පුළුවන්: වැස්සෙ තෙමෙන්න පුළුවන් .

    ගුරුගොඩ සිරිවිමල හිමි

     

  • සීහ නිරිඳා -සිහබා රජින්දා

    සීහ නිරිඳා -සිහබා රජින්දා

    සීහ නිරිඳා පුතේ සිහබා
    දාරකයි පෙම හදම රිදවා
    ගල් ලෙනේ දොර වසා සුරැකා
    පියා නුඹලගෙ සිංහ රජිඳා

    තොපට අසිපත කවුද දුන්නේ
    කාගෙ බහටද මාන එන්නේ
    මගේ ගෙළටද පහර දෙන්නේ
    සෙනෙහසයි බිම තෙත් කරන්නේ

    සිංහබා නුඹ නො දරු මා පුත
    මා මාරා නුඹ රටට අසිපත
    පිය සෙනේ කළ වරද මේක ද
    නැසෙන්නට වරිගයම පාපෙක

    මවයි සුප්පා වනය මේ බිම
    සීවලී නුඹෙ එකම ලේ ගඟ
    බලය අසිපත කහවණු ද සැප
    පියාණන් හද නිරුද කළ හැක

     

  • මට ඉතිරි කල රතු මතක වත

    මට ඉතිරි කල රතු මතක වත

    ප්‍රේත තටුවට උඩින් ඉස්සී
    සමයමින් කලු කුමාරයා වී
    යකැදුරා උගෙ රතු බෝල ඇස්
    මගෙ වටේ කරකෝනවා

    ඉහේ හිට පිරුවටය පොරවලා
    කරවටේ අත දාලා ලන් වෙලා
    නුඹේ උනුහුම දෙන්න හැදුවත්
    හිම කැටිති වගෙ මිදුනු මගෙ තොල්
    දතුත් එක්ක ම ගැහෙනවා

    දෙතුන් සතියක් අගුලු දාගෙන

    දොරත් කවුලුත් නිතර වහගෙන
    ත්‍රාසයෙන් වගෙ ඉන්නෙ ලොක්කි ට
    දිශ්ටියක් දැයි හිතෙනවා
    බාප්පට උඹ කියනවා

    වෙච්ච සන් ගෙදියමකියන්න ට
    වචන ගලපල මුවට එනකොට
    උඹේ පපුවට වදින කගපත මගේ හදවත ඉරනවා
    ඇස් අගින් ලේ ගලනවා

    රත්තරන් රැක ගනින් පන වගෙ
    දෙන්ට දෑවැදි නැති නිසා මෙහෙ
    උඹෙ වදන් වැල් පිච්ච සුවදින්
    තාම මතකෙට එබෙනවා

    එහෙව් වස්තු ව උන් බෙදාගෙන
    මට ඉතිරි කල රතු මතක වත
    අප්පච්චි නිදියාපු ඇද ළඟ
    සාක්කියකට තියෙනවා

    වෙනදා වගෙ මහ රෑට අම්මේ
    නිදි කියලා අපි හිතාගෙන උඹ
    බාප්පා ගෙන් විමසපන් පව
    උන්දැ විත්තියෙ ඉන්නවා
    යකැදුරත් කූඩුවෙ වැටෙනවා

    සුබා

  • කුවේණියකට

    කුවේණියකට

    සරුසාර දූපත්ම පසු කොට
    නුඹ විසූ කුඩා ගිරි දිවයිනට
    පැමිණියේ අහඹුවක් විලසට
    නුඹ යකින්නක් කියා දැන දැන

    නොපැකිලිව ගෙවා දුර සපැමිණි
    පණ සදිසි මා මිත්‍ර පිරිපත
    ඈත් කෙරුවත් මගෙන් දින දින
    නොවේ අමනාපයක් නුඹ ගැන

    අවි අමෝරා පැමිණි දවසක
    සිව් හෙලේ නෑ සියන් පිරිවර
    කෙලෙස අමතක කරන්නද නුඹ
    රැදුණු වග මා අසල නොබියව

    ජීවිතේ නීරසම සමයක
    දරු පැටවු කිහිළි ගන්නා ගෙන
    කාත් කවුරුවත් නැති විදිහට
    නික්ම ගිය දා පුරුදු වනයට

    නුබම මට අරන් දුන් රජකම
    අන්ධකාරයෙ යමක් විතරද

    චින්තක සමන් හේරත්
  •  “අපත්‍ය  සත්‍යා” තලු මරා රස විඳිය හැකි කවි ඇති පොතකි 

     “අපත්‍ය  සත්‍යා” තලු මරා රස විඳිය හැකි කවි ඇති පොතකි 

    ඉඳහිට කවියක් දෙකක් ලීවාට, කවි ගැන විචාර ලියලා නැහැ.  හිතට කා වැදුණු කවියක් වේ නම් ඒ ගැන යම් විග්‍රහයක්  මගේම ප්‍රයෝජනය සඳහා ලියා තියා ගැනීම සිරිතකි. එනමුත් ඒවා බොහොමයක් මාධ්‍ය තුළ පළ නොකරන්න වගබලා ගෙන තියෙනවා. ඒ මම කාව්‍ය විචාරකයෙක් නොවෙන නිසා.

    කෙසේවෙතත් අද ඊට ටිකක් වෙනස් අස්ථානයක සිට පොතක  කවි  මට දැනිච්ච තැන්වලින් අරගෙන  අදහසක් ලියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ පසුගිය දා ජනගත කෙරුණු  ” සරත් මද්දුමගේ ” සහ ” මානෙල් සිංහපාලගෙ ”  “අපත්‍ය  සත්‍යා”  කවි පොත පිළිබඳව.

    “අපත්‍ය  සත්‍යා”  කාව්‍ය එකතුව  කවි කියවන විට නිරායාසයෙන්ම නැගෙන පැනය තමයි මේ කවිය ලිව්වෙ කවුද මේ කවිය ලිව්වේ කවුද කියලා සොයා බලන්නට සිත් ඇතිවීම.  ඒ සඳහා පෙළඹවීම ඇති කරන්නේ  මේ කවි පොතට කවි සම්පාදනය කර තිබෙන්නේ දෙදෙනෙකු යැයි අපි කලින් දැන සිටීමයි . කෙසේ වෙතත් එය අමතක කර  කවි ලියූ කෙනා පිළිබඳව නොසලකා කවි ටික පමණක් කියවාගෙන යන විටත්  එහි වෙනසක් දැනුණි. මානෙල් කිවිදිය තමන්ගේ කවිය තුළ  තෝරාගත් අනුභූතිය විස්තර කරමින් දිගු කවි ඉදිරිපත් කිරීමට පෙළඹෙනවා. සරත් මද්දුමගේ කවියා   වඩාත් කැමැත්තක් දක්වා තිබුණේ  කෙටි කවිය තුලින් තමන්ගේ පණිවිඩය ප්‍රේක්ෂකයාට දනවන්න. ඒ වගේම  සරත් මද්දුමගේ  බොහෝ කවි තුළින්  ඔහුගේ විප්‍රවාසී  ජීවිතය පිළිබඳව හෙලිදරව්ව ද මතු වෙනවා. ඒ නිසාම මානෙල් සිංහපාලගෙ  ලාංකීය පොළොවේ ජීවිතය  පිළිබඳ අදහස  නිරායාසයෙන්ම කවි තුලදී අපිට වෙන්කර  පෙන්වා දෙනවා. අපත්‍ය  සත්‍යා  කාව්‍ය  සංග්‍රහය  තුළ පවතින මේ  භූවිෂමතා වෙනසද අපූර්වත්වයකි.

    මෙහි එන මානෙල් සිංහපාලගෙ කවි තුළින්  එදිනෙදා අප ඇසූ පුවත් සිදුවීම් මතකයට නැවත  නගන නිර්මාණ  හමු වෙනවා  . උදාහරණ විදිහට ඉදිරිපත් කරනවානම්.  ලේ කඳුළු, අපේක්ෂිත ඇප, කළු කොටියා සහ කළු මිනිසා, යකඩ හා මලකඩ උපන් දරුවා ගඟට දැමූ නැගණියගේ කවිය  වැනි තවත් කවි මෙහිදී අපට හොයාගන්න පුළුවන්.   අනිත් අතට මොවුන් දෙදෙනාම වඩාත් සමීප  කවිය තුළින් දේශපාලන මුහුණුවර ඉදිරිපත් කිරීමටයි.  කවි අතර ආදරය විරහව නැති තරම්.  හැම කවියකම ඇත්තේ පවතින සමාජ දේශපාලන වටපිටාව තුළ  බහුතරයක් වූ පීඩිතයාගේ  ශෝකාලාපයයි.

    තොටිල්ල නළවන අත්…

    බිළිදියක කිරිසිනා නගනා
    යුවතියයි තුරුණු නෙත් රසඳුනා
    පතිනියයි ගෙදර බර උහුලනා
    රැජිනියයි කටු ඔටුණු පළඳිනා

    මගතොටේ අපවාද විඳින්නී 
    බස්රියේ නෙක ගැහැට ලබන්නී
    බීමතේ හිංසා දරන්නී
    ගංගොඩේ අවලා ද අසන්නී

    සත් සයුරු තරණය කරන්නී
    සත්මහල් වලින් බිම හෙළන්නී
    හිස් අතින් සිය රටට ඇදෙන්නී
    නිවෙස් ගිනි ගෙන දැවෙනු දකින්නී

    මෙ කවි ඇතුලේ ගැහැණිය මේ සමාජය තුළ මුහුණ දෙන සියලු කම්කටොලු දුක් දොම්නස්  කැටි වී පවතී. මානෙල්  කාන්තාවක් නිසාම මේ සමාජය තුළ දී ඇයට  පිරිමින්ට සාපේක්ෂව  වැඩි අවදානමක්  පවතින්නේය යන  බිය ඇය තුළ පවතින බව  අපට දනවන  කවි ගණනාවක්ම මෙහිදී  හොයා ගත හැකියි. ඇය සමාජය දෙස බලන්නේ  මේ සැක සංකාව ඇතිවයි .

    දුවේ ඇස් නාරින්…

    දුවේ ඇස් නාරිං
    අම්මාගේ තුරුලෙම සැඟවියං
    කිරි සිහින උදුරං
    කණකොකුන් සිල් අරං

    ගල් අරඹ ගිනි තියල කල් බෝම
    ඇතින්නියො දැන් කන්නෙ කුණු කෑම
    ගෝනිබිල්ලොත් වෙනස් හොඳටෝම
    සල්ලි චොකලට් අරන් එයි හිනා වේගෙනම

    මල් කැකුළු මෝදුවන අරුණේ
    කුරුමිණියො එන්නේ හොර රහසේ
    දෙවියන් ද මොණර කොළ පහසේ
    වැටත් නියරත් ගොයම් කනු බලා සැනසේ

    දුවේ ඇස් නාරින්…  කවිය තුළින් එය මනාව පිළිබිඹු වෙනවා. ඇය විශ්වාස කරනවා දැරියකට ආරක්ෂාව තියෙන්නෙ මවක්  තුළම පමණයි කියා. ඇස් ඇර වට පිටාවේ දුව පැන නටමින් සෙල්ලම් කරන්නට දුර ඈතට යන්නට දැරියකට නොහැකිය. ඈත මානේ  අනතුරු අපමණය එනිසා ඇය බයයි දරුවා ඇස් ඇරලා වටපිට දකින්න හුරුවෙන්න ඇවිදින්න යනවට. අප මේ ජීවත් වෙන සමාජ වටපිටාව තුළ මේය  යථාර්ථයකි . ඒ ගැහැනු දරුවකුට පමණක් නොවෙයි පිරිමි දරුවන්ටද ඒ  අවදානම  එලෙසම තියෙනවා. මානෙල්  තමන්ගේ කවිය තුළ  තෝරාගත් අනුභූතිය විස්තර කරමින්  ඉදිරිපත් කිරීමට පෙළඹෙනවා.

    මානෙල් සේම සරත් මද්දුමගේත්  ඍජු දේශපාලන අත්දැකීම් විග්‍රහ කරන්නකි.  විශේෂයෙන්ම සරත් මද්දුමගේත්  මා සේම  විප්‍රවාසීයකු ජීවිතයක් ගත කරන්නෙකි .උපන් රටක  අහිමි උණුසුම කෙරෙහි පසුතැවෙන්නෙක්ගේ වේදනාව ඔහුගේ කවි තුළින් හමුවෙයි. දේශපාලනික කියවීමක් සමාජ ප්‍රගමනය පිළිබඳව උනන්දුවක් තියෙන බොහෝ විදෙස් ගත ලාංකිකයන්ට මේ ඇඟට දැනෙන යුරෝපයේ සෘතු මාරුව මව් රටේ උණුසුමට ඇදලා විසිකරන්න මඟ පාදනවා .
    ශිශිරයේ පිපි වසන්ත මල්…

    ඇවිද ගියෙමි මම
    දොඩමළුව
    ශිශිරයේ මාවතක
    කොළ හැලූණු
    අතු පතරේ
    වසන්ත පණිවුඩය ගත්
    අපූරු මල්
    පෙන්වුයෙමි ඇයට
    සතුට අතරින්
    රිදුම් දෙයි
    සිතෙන විට
    කාලගුණ විපර්යාස

    සරත් මද්දුමගේ  මං දන්නා පරිදි සක්‍රිය දේශපාලන මැදිහත් වීම් සහිත , ලංකාවේ පැවති තිස් වසරක් පැරණි යුද්ධයට  විරුද්ධ  දේශපාලන ක්‍රියාකාරීත්වයක් නිසා  ජීවිතය බේරාගැනීමට රට හැර එන්නට සිදු වෙච්ච  කෙනෙක්.

    පාරාදීසය…

    මට ආසයි බලන්න
    මා පිටමං වු
    පාරාදීසය
    නැවත
    ඒ භූමිය වසාගන්න
    ධාර්මිකගේ කුණු කඳු
    මෙගා පොලිස් නගර
    ඇමරිකන් කඳවුරු
    වන මැද සුපිරි හෝටල
    ඉතිරි කරයිද
    ඇය එතෙක්.

    ඉතින් සරත් විදේශ ගත වෙන්නේ පාරාදීසයක සිට නොව  ඒ වනවිටත් ජරා වෙමින් පවතින රටක සිටය.  නමුත් සරත් කැමති නැහැ තමන්ගෙ නිර්මාණය ඔස්සේ ඒ බව හඟවන්න. “අපත්‍ය  සත්‍යා”  තුළ සරත්ගේ නිර්මාණ පෙළගැස්මේ  හමුවන ඉහත කවිය  තුළින් සරත් කියන්න උත්සාහ කරන්නේ  ඔහු පිටත් වෙද්දි තිබුණෙ පාරාදීසයක් ,ඒක දැන් තමයි ජරාජීර්ණ වේගන එන්නේ කියලා.

    මං හිතන්නේ මේක සරත්ගේම  වූ දෝෂයක් නෙවෙයි.  විදෙස්ගත ජීවිත ගෙවන අපි හැමෝම  මේ මායාකාරී මනෝභාවයේ ගිලී සිටිනවා. විදෙස්ගතව ගෙවන විඩාබර ජීවිතයේන්  විවේකයක් ලද මොහාතේ අපි  ලංකාවට යන්නේ පැරණි ගම රට  හොයාගෙනය. නමුත් වසර දෙක තුනකින් හතරකින් පහකින් අපි නැවත ගමට යන විට ඒ ගම් අපට හමුවන්නේ නැත. පැරණි ගම හමු නොවෙන බව අපි සත්‍යයක් සේ දනී. නමුත් එය  අපි මිථ්‍යාවක් සේ නැවත නැවත සොයමින් සිටියි. මා හිතන ආකාරයට ඊට හේතු වෙන්නේ  උපන් බිමෙන් පිටස්තර රටක ජීවත්වන හැමෝටම දැනෙන දෙයක් තමයි  පිටස්තරයෙකු කියන හැඟීම. මෙන්න මේ හැඟීම මරන්න යොදා ගන්න  උපක්‍රමයක් තමයි  අපේ මව් රට මාරයි  අපි කවදහරි එහෙට යනවා මැරෙන්න. කියන එක.

    සරත්ගේ කවියි අතර  මට බලපෑම් කරන කවි ගණනාවක්ම “අපත්‍ය  සත්‍යා”  තුළ හමු වෙලා තියනවා.  මා ඉහතින් සඳහන් කළ ආකාරයටම සරත් සේම මා ද විප්‍රවාසීයකු  වීම ඊට හේතුවයි.   “ප්‍රාග්ධනය ” කවිය ඇතුලෙන් කවියා කියන්නේ ප්‍රාග්ධනයට කිසිදු බාධාවකින් තොරව ලෝකයේ ඕනෑම  තැනට රිංගන්න පුළුවන් හැබැයි මිනිසුන්ට තවත් තැනකට තවත් රටකට යන්න හැකියාවක් නැහැ මොකද දේශ සීමා තියෙනවා. අද අපේ රට  විවිධ රටවල කෙළි බඩුවක් බවට පත්වී තිබෙනවා.  ප්‍රාග්ධන හිමි බලවත් රටවල් අපේ රටවල්  රිසිආකාරයට හසුරුවමින් පාවිච්චි කරමින් ඉන්න අතර  ඔබ දන්නවා අපේ රටේ මිනිස්සු විදෙස් රට වලට ගිහිල්ලා මොනතරම් පීඩාවක් විදිනවද  කියලා.  ඒ වගේම අපි වැනි මිනිසුන් මේ සියලු දේශ සීමා බිඳගෙන තමයි ජීවිතය හොයාගෙන එන්නේ.  අතරමග නිම කරන්න තිබුණු ජීවිතේ වැරදීමෙන් නැවතත් හමු වෙලා තමයි අපි ජීවත් වෙන්නේ. සරත් පාඨකයාගේ ඇසට ඇණ කියන්නේ මෙන්න මේ කතාව. විටෙක ඔහුගේ කතාව.

    ප‍්‍රාග්ධනය…

    අධිරාජ්‍යවාදීන්ට
    දේශ සීමා රහිතව
    ගිනි බිඳීමට ද
    මළ පැහැරිමට ද
    හැකිය
    මිනිසුන්ට
    කිසිදු අවස්ථාවක් නැත
    සියලූ දේශ සීමා
    වසා ඇත

    ඉතින් “අපත්‍ය  සත්‍යා”  කාව්‍ය සංග්‍රහය තුළ පවතින කවිවල  කාව්‍යමය ගුණය සාහිත්‍යමය අඩුපාඩු  පිළිබඳව කතා  මහා පසෙකලා මා මෙහිදී උත්සාහ කළේ “අපත්‍ය  සත්‍යා”  කියවාගෙන යද්දී මට හමු වූ තැන් පිළිබඳව යම් සටහනක් තැබීමටයි.  කෙසේ වෙතත් “අපත්‍ය  සත්‍යා” යනු  බැහැර කල නොහැකි  නිර්මාණ එකතුවකි .  සාකච්ඡාවට ගෙන  කපා කොටා තලුමරා  රසවිඳිය හැකි බොහෝ නිර්මාණ එකතු වූ කෘතියකි.

    හිල්මි සුපුන්

     

     

  • කාලය ගැන තවම තීරණයක් නැහැ , කවි පොතක් කරනවා

    කාලය ගැන තවම තීරණයක් නැහැ , කවි පොතක් කරනවා

    වෘත්තියෙන් හෙද නිළදාරිනියක් වන කෝෂිලා සෙව්වන්දි නව පරපුරේ කිවිඳියක්. සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොතේ නිතරම ඇයගේ කවි අපිට දකින්න ලැබෙනවා. බොහෝ පත්තර කවි පිටු ඇගේ කවියෙන් සැරසෙනවා.පත්තර කවි පිටු වල ඇගේ කවි විචාරයට ලක් වී තිබුණු අවස්ථා අපි දැක තිබෙනවා. 2020 වසරේ රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලියේ ගීත රචනා අංශයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වු කෝෂිලා සෙව්වන්දිව මේ සතියේ විවර කලා කතාබහේ චරිතය හැටියට තෝරගත්තා .

    කොරෝනා වසංගත තත්වය හේතුවෙන් වෛද්‍ය වෘත්තියේ සහ ඊට අනුබද්ධ සේවාවන්වල යෙදී සිටින සියලු දෙනාම මේ මොහොතේ ඉතාමත් අසීරු සහ අවදානම්කාරී තත්ත්වයක තමන්ගේ සේවාවන් කරමින් පවතිනවා. ඇය වෘත්තීය ජීවිතයේ මොහොතේ මුහුණදෙන බැරෑරුම් තත්ත්වය පිළිබඳවත්, කවිය පිළිබඳව අද අපි කතා කරමු.

    කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපි කවුරුත් අපහසුතාවයන් වලට පත්වෙලා ඉන්නේ. ඒ අතර වෛද්‍ය සේවයේ නියැලෙන අය ඉහළ අවදානමකට ලක් වෙච්ච පිරිසක් බවට පත්වෙලා ඉන්නවා .කවිය පිළිබඳ කතාබහට කලින් අපි කැමතියි වෘත්තීය ජීවිතයේ අත්දැකීම් පිළිබඳව අදහසක් හුවමාරු කර ගන්න.

    හෙදියක් විදියට මගේ වෘත්තීය ජීවිතය ඇතුළෙ මේ වගේ අත්දැකීම් බහුලයි. Covid 19 වයිරසය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය වසංඝතයක් නිසා මේ දිනවල අවදානම වැඩියි. කොහොම වුණත් ක්ෂය රෝගය, ඒඩ්ස් රෝගය වගේ බරපතල බෝ වන රෝග වැළඳුණ අයටත් අපි ප්‍රතිකාර කරල තියෙනවා. ඉතින් අපිට තියෙන මේ අවදානම ගැන අනිත් අයටත් දැනෙන්න ගත්තෙ “කොරෝනා වසංගතය” නිසා.

    මට කොරෝනා රෝගීන් සමගත් වැඩකරන්න අවස්ථාව ලැබුණා. අපි මෙතනදි අනුගමනය කරන්නෙ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා රෝගියා වෙන් කර සාත්තු කිරීමේ ක්‍රමවේදය (Isolation). ඉතින් රෝගීන් හිතන්නෙ ඒක මානසික රෝගීන් වගේ වගේ සමාජයෙන් කොන් වීමක්, කැළලක් (Stigma) එකක් විදියට. ඉතින් එවැනි තත්වයක් තුළයි ගොඩාක් රෝගීන් සැඟවී සිටීමට උත්සාහ කරන්නේ. ප්‍රතිකාර කරන අවස්ථාවලදී අපි ඔවුන්ගේ මානසික තත්වය ගැන පැහැදිලි අවබෝධයකින් කටයුතු කරන්න ඕන.

    ඔබට කවිය සඳහා පිවිසුම් දොරටුව නිර්මාණය වෙන්නෙ කොහොමද?

    පුංචි කාලෙ ඉඳලා මම පොත් කියවන්න පුරුදු වුණ කෙනෙක්. අපේ තාත්තා ළඟ සාහිත්‍ය පොත් එකතුවක් තිබුණා. යන්තම් අකුරු ගැට ගහ ගන්න පුළුවන් වුණ කාලෙදි මගේ අතට අහු වුණේ කුස දා කව, වෙසතුරු දා කව, සුදෝසුදු වගේ පොත්. මම හරි ආසාවෙන් ඒ කවි කියෙව්වා. පාසල් කාලෙදි කවියට යොමු වුණේ එහෙමයි. උසස් පෙළ විභාගය සඳහා මම තෝර ගත්තේ ජීව විද්‍යා විෂය ධාරාව. ඒත් ලියන එක අත් ඇරියෙ නෑ. විද්‍යා පංතියක ඉඳ ගෙන වුණත් පාසලේ සාහිත්‍ය උත්සවවලදී මූලිකත්වය අරන් කටයුතු කළා.

    වැඩිපුරම ලියන්න කැමති මොනවගේ කවිද?

    ආකෘතියක් විදියට ගත්තම සඳැස්, නිසඳැස් දෙකම ලියනවා. සොබාදහම එක්ක බද්ධ වුණ කවි තමයි ලේසියෙන්ම ලියවෙන්නේ. ස්වභාවික වස්තුවක් රූපකයක් විදියට අර ගෙන කවි ලියන්න මම ගොඩාක් කැමතියි. මුල් කාලයෙදි මම ගොඩාක් දිග කවි ලිව්වා. ඒත් දැන් මම පුළුවන් තරම් වැඩි වචන අයින් කරලා කවිය සංස්කරණය කරන්න බලනවා. විශේෂයෙන් දැන් මගේ අතින් ලියවෙන්නෙ කෙටි කවි. වචන හතරකින් ලොකු කතාවක් කියන්න මම කැමතියි.

    සෑම කලා නිර්මාණයකම දැනුවත් හෝ නොදැනුවත් සැඟවෙච්ච දෘෂ්ඨිවාදය තියෙනවා.ඔබ නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක් හැටියට නිර්මාණයක දෘෂ්ඨිවාදය කෙරෙහි උනන්දුව දක්වන්නෙද?

    අනිවාර්යයෙන්ම ඒක මම පිළිගන්නවා. මම නිතරම උත්සාහ කරන්නේ නිර්මාණ හරහා සමාජයට යහපත් දෙයක් දෙන්න. කවියක් කියවද්දී හරියට භාවනාවක් වගේ සහෘදයා කවිය තුළට ආසක්ත වෙනවා. ඉතින් අපි පෑන හසුරුවන්න ඕනෙ බොහොම සංයමයෙන්. කවියන් හැටියට සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යෑමේ වගකීම තියෙනවා. ඒක තේරුම් ගත්තෙ නැතොත් සිද්ධ වෙන්නෙ විනාශයක්.

    කවි ලියන සමාජයේ ඔබ අද ප්‍රසිද්ධ චරිතයක් (විශේෂයෙන්ම එෆ්බී එකේ). ඔබට සමාජගත වෙන්න (කවිකාරියක් විදිහට) වැඩිම දායකත්වය ලැබුනේ පුවත්පත් කවි පිටුවෙන්ද එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද ?

    ප්‍රසිද්ධ චරිතයක් කියන්නෙ ලියන කියන සමාජය ඇතුළෙනේ. ඉස්සර වගේ නෙවෙයි ලෝකෙ වටේ ඉන්න කවි ලියන, කවි කියවන, සාහිත්‍යට සම්බන්ධ අය සමඟ මුහුණුපොත හරහා සම්බන්ධතා ගොඩ නගා ගන්න හැකි වෙලා තියෙනවා. ඉතින් ඒ අය මගේ කවි කියවනවා. පුවත්පත්වල කවි පිටුවලිනුත් සෑහෙන්න දායකත්වයක් ලැබිල තියෙනවා. සමාජ ජාලයේ කවියක් මුදා හැරියොත් ප්‍රතිචාරය එසැණින්ම ලැබෙනවා. ඒත් කවිවල ගුණාත්මක භාවය පිළිබඳ අපි තුළම සැකයක් පහල වෙනවා. පුවත්පත්වල ගොඩක් වෙලාවට කවියක් ඵල වෙන්න කලින් වරණයකට ලක් වෙනවා.

    ඔබ කවිය සමග සැළකිය යුතු ගමනක් ඇවිත් තිබෙන බව අපි දන්නවා. කවියෙකුගේ හෝ කිවිදියකගේ බලාපොරොත්තුව තමයි තමන්ගේ නිර්මාණය ඒකරාශී කරපු කවි පොතක් ජනගත කිරීම, ඉතින් ඒ සඳහා උනන්දුවක් තියෙනවද? එහෙම වෙනවා නම් කොයි කාලෙ වගේද?

    කවි පොතක් කරනවා කියන තැනට මම තවම ඇවිත් නෑ. ඒ කියන්නෙ මගේ කවි ගැන සෑහීමකට පත් වෙන්නෙ නෑ. වෘත්තීය ජීවිතයේ කාර්යබහුලත්වත් එක්ක පහුගිය දවස්වල නිර්මාණ කටයුතු තරමක පසුබෑමකට ලක් වුණා. කවද හරි කවි පොතක් කරනව කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒක කොයි කාලෙද කියලා දැන්ම කියන්න අමාරුයි.

    අවසාන වශයෙන් මෑත කාලීන කවි කිවිඳියන් අතරින් ඔබ කැමතිම කෙනා කවුද? ඒ වගේම ජීවිතයට බලපෑම් එල්ල කළ කාව්‍ය නිර්මාණයක් තියෙනවා.

    ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. අපේ ජේෂ්ඨ පරම්පරාවේ වගේම සමකාලීන අය අතරෙත් මම ප්‍රිය කරන කවි කිවිඳියන් ගොඩාක් ඉන්නවා. ඒ අතරින් චින්තක සමන් හේරත් කියන සහෝදර කවියගෙ නිර්මාණ ඉදිරියෙන් තියෙනවා. ඔහු ආවට ගියාට කවි ලියන කෙනෙක් නෙවෙයි. ඔහුගේ අළුත්ම කෘතිය “වැහි වැටෙන දවස්” කාව්‍ය සංග්‍රහය කියවන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඔහු මොන තරම් හැදෑරීමක් තියෙන කවියෙක් ද කියලා.

    හිල්මි සුපුන්

     

     

     

  • චන්ද්‍රකුමාර වික්‍රමරත්න මාතෘ භූමිය පුරා ඇවිද ගියේය.

    චන්ද්‍රකුමාර වික්‍රමරත්න මාතෘ භූමිය පුරා ඇවිද ගියේය.

    මැක්සිම් ගෝර්කි එදා රුසියානු භූමිය පුරා ඇවිද ගියේය. චන්ද්‍රකුමාර වික්‍රමරත්න ද අසූව දශකයේ අග භාගය තෙක් ම ලාංකේය මාතෘ භූමිය පුරා ඇවිද ගියේය.ඒ සිය මව්බිම ගිනි ගෙන දැවෙද්දී ය. සාධාරණ යුක්තිගරුක නිවහල් සමාජයක් ගොඩ නැංවීමේ අපේක්ෂාව ඔහුගේ ගමන් සගයා විය. අවසානයේ අහිමි විප්ලවය පාමුල ඔහු සියදිවි හානි කර ගත්තාද නොඑසේ නම් ඝාතකයින් හමුවේ අවසානය සනිටුහන් වූවා ද…? රත්න ශ්‍රී විජේසිංහ චන්ද්‍රකුමාර වික්‍රමරත්න හැඳින්වූයේ ලංකාවේ ගෝර්කි ලෙසය. මේ වැඩසටහන චන්ද්‍රකුමාර වික්‍රමරත්න නම් වූ අපුරු කවියා විප්ලවවාදියා සොයා යාමකි.

  • තම අත්දැකීම් අන්වීක්ෂ ගතකරණ කවියෙක් ජගත් සී

    තම අත්දැකීම් අන්වීක්ෂ ගතකරණ කවියෙක් ජගත් සී

    ජගත් සී. ජයසිංහ හෙවත් ජගා ගේ “වෙරළක උණුසුම් සුළඟ හොයන ඔයාට” කෘතිය උණුසුම් ජීවන අත්දැකීම් වලින් පිරි කෘතියක්. සිය ජීවිතයේ නිරන්තරයෙන් අත්විඳින, දකින, අසන ජීවන නිමිති ජගත් කවි කරන්නේ අපූරු වක්‍රෝත්ති සහගත බසකින් හා ආකෘතියකින්. ඔහුගේ බස ශබ්දකෝෂ ගත වහරක් නොවෙයි. එය සාමාන්‍ය ජීවිතයේ අප අත්දකින ගැමිවහර, පුරවහර තුලින් පෙරාගත් කවිවහරක්. ඒ නිසා ඔහුගේ කවියේ අර්ථ වින්‍යාසයන් සොයා ගන්නට රසිකයාට වෙහෙස වන්නට සිදුවන්නේ නැහැ.

    “එපා නිහඬ ව ඉන්නට” වැනි කවියක ඔහු ස්පර්ශ කරන ජීවන කලාපය අපට නිතර දැක හුරුපුරුදු වුවත් ඔහුගේ කවිය තුල එය නව්‍ය අත්දැකීමක් බවට පත්වෙනවා.

    “ගෙවන විට යුගදිවියෙ පස්වරුව
    අතීතය තරම් නිවසක් වෙ ද
    ලැගුම් ගන්නට ඉඳහිට”

    “සීයයි ආච්චියි ළඟ
    ඉතිරි ව තියෙන සෙනෙහස
    සෑහේවි දරුවන් වෙනුවෙන්
    විය පැහැදමට ගන්නට

    එපා නිහඬ ව ඉන්නට
    ගඟත් එහෙමයි එතකොට
    සයුරට වැටෙන්නට කිට්ටුව
    නිහඬ ව ගලයි කෙටි දුර.”

    “කොර බාස්” වැනි කවියක තමන් හා වෙසෙන ආන්තික ජීවන චරිතයක රිද්මය ජගත් නිරීක්ෂණය කරණ ආකාරය අපූරුයි.

    “ජීවිතේ බොහෝ තැන කුස්තූර පේනවා
    කොර බාස් බිත්තිවල කුස්තූර වහනවා”

    මේ “ඇත්තමයි අසෝකෝ ‘පේමතෝ ජායතී සෝකෝ’ කවියේ එන අපූරු පරිකල්පනීය මැවුමක්.

    “ඔහුගේ අතේ එල්ලී ඔයා ඇවිදගෙන යනකොට
    සරදමේ අත්පුඩි ඇහුණා හිත ඇතුළෙ ඇති පදමට
    මංගල්ලෙ මධුසමයෙ යුගදිවියෙ සිහින ඔක්කොම
    ඔයා අරගෙන විසිකෙරුව මට රූපරාමු එක එක”

    ජගත් ගේ කවියේ තැනින් තැන මතුවන සුවිශේෂතාව වන්නේ තමන්ටම අනන්‍ය වූ ජීවිත නිරීක්ෂණයන් ය. ඒවා ඈතින් හිඳ කරණ නිරීක්ෂණයන් නොවී ඒ තුලම සිදුකරණ බැවින් ව්‍යාජ බවින් බැහැර වෙනවා. මෙය කවියෙකුට අසීරූ කටයුත්තක් වුවත් ජගත් එය සීරුමාරුවට සිදුකරණ ආකාරය අපූරුයි.

    ජගත් තවත් පැත්තකින් ජනකවියේ ආභාෂය ද අපූරුවට නූතන අත්දැකීම් කියන්නට භාවිතා කරනවා. ” සුවඳ කපුරු විසිකර මල්දම් ගලවා දේව රූපෙ උස්සල පොළොවෙ ම ගැහුවා” නිර්මාණය එයට අපූරු උදාහරණයක්.

    “යෝධ සවි නැතත් කුළුගෙඩි උස්සන්න
    දාර ගල් කැඩුව වේලක් බත් කන්න
    පාර හදාගෙන ඉස්සරහට යන්න
    බාර වුණා දෙවියන්ගෙන් ඉල්ලන්න.”

    කෙසේ වෙතත් ජගත් සී. ජයසිංහ අපූරු නි‍ර්මාණාත්මක ඇසක් ඇති කවියෙක් බව ඔහුගේ මෙම කෘතිය සාක්ෂි දරනවා. ඔහුගේ ඇති විශේෂත්වය වන්නේ බැහැරව හිඳ නොව එතුල සිට ජීවන අත්දැකීම් නිරීක්ෂණය කොට කවි කිරීමට දක්වන කුසලතාවයි.

    උපුටා ගැනීම කපිල එම්. ගමගේගේ මුහුණු පොතෙන්

  • “දිය ගලා නොයනු ඇත තලාගෙන කන්ද”

    “දිය ගලා නොයනු ඇත තලාගෙන කන්ද”

    එළඹෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව සජිත් පට්ටියකුඹුර කවියා ඔහුගේ දෙවන කාව්‍ය සංග්‍රහය “දිය ගලා නොයනු ඇත තලාගෙන කන්ද” ඔබ අතට ගෙනත් තබන්නට මග බලා සිටී. පහත ඇත්තේ ඔහු ඒ වෙනුවෙන් තබා තිබූ සටහනයි. කවියට ඝෘජු ඔබටයි ඉතින් මේ ඔත්තුව.

    ප්‍රිය කවිකාර ළබැඳියනි, කාව්‍යලෝලී සහෘද හිතවතුනි “රාමු නොකළ පිංතූරයක්” ඒ මගේ පළමු කවි පොත. එයින් තෙවසක ඉවසුමෙන් මාගේ දෙවන කාව්‍ය සංග්‍රහය.. “දිය ගලා නොයනු ඇත තලාගෙන කන්ද” තවත් සොඳුරු සහ අඳුරු කවි කතා හුස්මක් සමග එළඹෙන සාහිත්‍ය වසන්තයට සමගාමීව ඔබ අතට පත් කරන වග ආදරෙන් කියමි..!!

    කවි කියවන සුවහසක් ඔබට මේ කවි පිළිගන්නට එහි සරන්නට ඇරයුම් තබමි. මෙය.. අසීරු මොහොතක ජීවිතය ගැලවූ.. අතීත දවසක කවිකම් ඇලවූ.. එහෙත් මේ කවි අහන්නට අද නැති සිරිසේන ක්‍රිස්තෝම්බදු සහ සුගුණරත්න ලියනගේ දෙපලට පුදමි.

    සෞම්‍ය සඳරුවන් ලියනගේ කංචුක අගයද දෙයියන්දර ගමගේ ප්‍රකාශන දිරියද ලදිමි. ඇවැසිනට ඔතා දෙමි. වසන්තයටද එමි.
    ස්තුතියි

    විමසීම් සඳහා සජිත් පට්ටියකුඹුර
    0771365940

    සජිත් පට්ටියකුඹුර