Tag: poem

  • අහපු ගීත රසවිඳිමු

    අහපු ගීත රසවිඳිමු

    “අහිමි වුනු සංස්කෘතික ජීවිතයට නව උත්තේජනයක්” අහනවා වෙනුවට ගීතයක් රස විදින්න / ගීතයක් ගැන කතා කරන්න එන්න..සම්පත් දායකත්වය නව පරපුරේ කිවිඳු  නලින්ද සංජීව , දිනය සැප්තැම්බර් 27 වැනි ඉරුදින සවස 4.00 ට, ස්ථානය = Ex OPG( via matteo renato imbriani 218 NAPOLI )

    තෝරා ගත් ගීත සඳහා සංගීතය තරිඳු සමඟ පවර් රේන්ජ් සංගීත කණ්ඩායම.

    විමසීම් කුමාර් 3472246479  බුද්ධික 3318002073  ධම්මික 3333372029  දිනේෂ් 3888133318  රොහාන් 3318004052

  • පරිවර්තනය සාහිත්‍යට එලබුනේ  Sputnik  සඟරාවල තියෙන කුඩා කතා ආසාවට පරිවර්තනය කිරීමෙන්

    පරිවර්තනය සාහිත්‍යට එලබුනේ  Sputnik  සඟරාවල තියෙන කුඩා කතා ආසාවට පරිවර්තනය කිරීමෙන්

    සැප්තැම්බර් මාසයේ පොතපතට වැඩි අවධානයක් යොමු වෙන මාසය. ඊට බලපාන ප්‍රධාන හේතුව  ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පවත්වන එක. නව පොත් එළි දැක්වීම්,  පොත් පිළිබඳව  අලුත් කතාබහ නිර්මාණය වීම, විවිධ  ආයතන විසින් සාහිත්‍ය සම්මාන පිරිනැමිම්   සැප්තැම්බර් මාසයේ ඉලක්ක කරගෙන සිද්ධ වෙනවා.

    වටපිටාව මෙසේ පවතිද්දී,  බොහෝ පොත් ජන ගත වෙද්දී,   අපිට හොඳ සාහිත්‍ය කෘතියක් යැයි කියා අනුමාන කරන්න  තියන නිර්ණායක මොනවාද?  අලුත්  ලේඛකයෙක්   නම්  අපිට ඔහුගේ මුල් පොත කියවලා ම බලන්න සිද්ධ වෙනවා ඒක හොඳද නරකද කියලා . තවත් අපිට නිර්ණායකයක් තියෙනවා  කෙනෙකු අලුතින් පොතක් එලි දක්වන විට ඔහු හෝ ඇය මීට කලින්  රචනා කළ කෘතීන් තියෙනවද ඒවාල ගුණේ පිළිබඳව අපට තියෙන දැක්ම. දෙවෙනි කාරණයේදී අපිට වඩාත් ඉක්මන් අදහසක් හදාගන්න පුළුවන් මොකද  සාහිත්‍ය කෘති ගණනාවක්  ජනගත කරපු කෙනෙක් අලුත්   පොතක්  ජනතාව අතරට අරගෙන එද්දී ඔහු පිළිබඳව කලින් අපිට දැක්මක් තියෙන නිසා

    ඉතින් අපිට ඇයගේ සාහිත්‍යය කෘති පිළිබඳව දැක්මක් තියෙනවා.  ඇය මෙතෙක් සමාජගත කර තිබෙන කෘති පිළිබඳව  සලකා බලද්දි  සාහිත්‍ය පිළිබඳව සමාජය පිළිබඳව පුළුල් දැක්මක් සහිතව තෝරා බේරා ගත් නිර්මාණ ගණනාවක් ම අප වෙත ඉදිරිපත් කර තිබෙනවා.  වාණිජ අරමුණු පෙරදැරි කර ගන්නේ නැතිව ඉතා සෙමින්, ඉතා හොඳින්,  හොඳම දේ පමණක් තෝරා  ජනගත කරන බවට ඇය පිළිබඳව අපට විශ්වාසයක් තියෙනවා.  ඇය පිළිබඳව මෙසේ විශ්වාසනීයත්වය ප්‍රකාශ කිරීමට බලපාන ප්‍රධානම කරුණ තමයි ඇය මෙතෙක් කර තිබෙන නිර්මාණ රසවිඳ  පුළුල් අදහසක සිටීම. ඇය නමින් සුභාෂිණි චතුරිකා.

    ඇය මේ සාහිත්‍ය මාසයේදී අලුත්ම කෘතියක් ඔබ වෙත ඉදිරිපත් කරනවා. “Skylight  by  José Saramago”  පියැසි කවුළුව  නමින්.

    අද විවර කලා සාහිත්‍ය කතාබහට අප එකතු කරගන්නේ  “Skylight  by  José Saramago”  පියැසි කවුළුව  නමින් පරිවර්තනය කළ සුභාෂිණි චතුරිකා  ලේඛිකාවයි.

    ඔබ පරිවර්තන කෘති ගණනාවක් අප අතරට ගෙනත් තියෙනවා. හෙමින් ආපු ගමනක්. හැබැයි දිගු ගමනක්. මේ  සාහිත්‍යය දොර විවර වෙන්නේ කොතැනද?

    ඔව් හෙමින් ආපු ගමනක්.  ඒක  දිගු ගමනක්ය  කියන එකේ තක්සේරුව කෙසේවෙතත් ඒක ලොකු කාලයක්. මම මුලින්ම පරිවර්තිත කෘතියක් කලේ 2005 වසරෙදි. ඔලෙග් තිකොමිරොව් කියන රුසියානු ලේඛකයා විසින් රචනා කරපු The grasshopper නම් කෘතිය, තණකොළපෙත්තා නමින් විදර්ශන ප්‍රකාශන ආයතනය යටතේ තිබුණු Baby Bee Publishers වෙතින් ප්‍රකාශයට පත් කළා. කවුරුත්ම නොදන්න, ඒ වෙද්දි කෙටිකතා කිහිපයක් විතරක් සති අන්ත පුවත්පළ පළ වෙලා තිබුණු,  ලියන්න ආසාවෙන් හිටපු කෙනෙකුට අවස්ථාවක් ලබා දීමේ අභියෝගය ජනක (ඉණිමංකඩ) අයියා ඒ මොහොතෙදි බාර ගත්තාය කියන එක මම මතක් කරන්න  ඕනෙ.

    මම උසස් පෙළට සූදානම් වෙන කාලෙදි තමයි මුලින්ම විනෝදයට වගේ පරිවර්තන කරන්න පටන් ගත්තෙ. ගෙදර හැමතැනම විසිවෙවී තිබුනු Sputnik  සඟරාවල තියෙන කුඩා කෙටි කතා මම ආසාවට වගේ පරිවර්තනය කරලා ඉස්කෝලෙ යාළුවන්ට කියවන්න දෙනවා. ඉන් පස්සෙ මම විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂයන් හැදෑරුවත් මම නිතරම රිංගගෙන හිටියෙ කලා විෂයන්ට අදාළ පුස්තකාලෙ. එහිදි මම කියවපු ඉංග්‍රීසි කෙටි කතා පොත්වල මම ආසා කරන කතා පුරුද්දක් විදියට ෆොටෝ කොපි කරලා අරන් තියාගන්නවා. ඒවා අධ්‍යයන කටයුතු අතර විවේක වෙලාවල පරිවර්තනය කරන එක මම දිගටම කරගෙන ගියා. එවැනි කෙටි කතාවක මට නොතේරෙන තැනක්, මට මතක විදියට -ඒක ඉන්දියානු කෙටි කතාවක්- අහගන්න ජනක අයියාගේම ඔත්තුවකට  අනුව මම ජයතිලක කම්මැල්ලවීර මහතා මුණ ගැහෙන්න යනවා. එතුමා මට බොහොම උවමනාවෙන් අදාළ කාරණය පැහැදිලි කරලා දීලා මට අවසානයේදී කීවේ කැමති නම්  කෙටි කතාව පරිවර්තනය කරලා එතුමාට ගෙනත් පෙන්නන්නය කියලා.

    මමත් ඉතින් ඉක්මනින් ඒක පරිවර්තනය කරලා  ගෙනිහින් පෙන්නුවා. ඒ මොහොතේ ඉතින් ඒ මහතා පරිවර්තනය ගැන බො‍හොම පැහැදිලා, කිව්වා “අපෙන් හැම තිස්සෙම පත්තරවලින් කෙටි කතා එවන්න කියලා ඉල්ලනවා, මම මේක පත්තරේකට අරින්නම් කියලා.”  ඉතින් එහෙම තමයි ‍මුලින්ම මම පරිවර්තනය කරපු කෙටි කතාවක් ලක්බිම පත්තරේ පළ වුනේ. ඊට පස්සෙ කෙටි කතා (පරිවර්තිත) කිහිපයක්ම  ලක්බිම, දිවයින ඇතුළු පත්තර කිිහිපයකම පළ වුණා.  ඔහොම ඉන්නැද්දී මගේ පියා(මැනුවෙල් ජයසේකර) ජනක අයියාට කතා කරලා එක මොහොතක කියනවා මට මතකයි ” දැන් කෙල්ල කෙටි කතා ලිය ලිය සෑහෙන කාලයක් හිටියා, මේකිට කරන්න ගැලපෙන පොතක් දීපන්කො” කියලා. ඊට පස්සෙ ජනක අයියා The grasshopper ඇතුළු පොත් කිහිපයක් එව්වා කැමති එකක් තෝර ගන්න කියලා.

    ඉතින් මම ඒ පොත් අතරින් මට වඩාත්ම හිත ගිය, මට වඩාත්ම විඳින්න පුළුවන් පොත මම තෝරා ගත්තා. එහෙම තමයි  මම පොත් පරිවර්තනය කරන්න පටන් ගත්තෙ.

    මුල් කාලවකවානුවේ සිංහලට පරිවර්තනය වුණේ සෝවියට් සාහිත්‍යය කෘති. පසුකාලීනව ඒක වෙනස් වෙනවා .වෙනත් භාෂාවලින් ලියැවුණු පොත්  පරිවර්තනය වෙන්න පටන් ගන්නවා .ඒ අතර අපි  දකිනවා ඔබගේ පරිවර්තන කෘති තුළ විවිධත්වයක් .විවිධ භාෂාවලින් ලියැවුණු කෘති පරිවර්තනය කර  තියෙනවා විවිධ කතෘ වරුන්ගේ  . ඉතින් මේ තෝරාගැනීමට විශේෂත්වයක් තිබෙනවාද?

    තණකොළපෙත්තා ගෙන් පස්සෙ තව පොත් දෙකක් යාකොව් ස්වෙර්ද්ලොව් – සැබෑ මිනිසෙක් අසාමාන්‍ය නායකයෙක්  (2008), අරුණැල්ල – ලෙනින් ගැන කතා (2010)  යන රුසියානු පරිවර්තන කෘති දෙකක් සහ ඊට කලින්  රුසියානු කෙටි කතා වැඩිපුර ඇතුළත් පරිවර්තන කෙටි කතා එකතුවක් දෙවියන් මැවීම (2007)  නමින් එළිදක්වන්න මට අවස්ථාව ලැබුණා. යාකොව් ස්වෙර්ද්ලොව් කෘතිය කළේ එවකට සමාජවාදී තරුණ සංගමයේ ආරාධනයක් අනුව.  දෙවියන් මැවීම කෙටිකතා පොත මුල්වරට එළිදැක්වුනේ සමාජවාදි ශිෂ්‍ය සංගමය මුලික වෙලා. ඒ අතරවාරේ මම ඉතාමත් ආසාවෙන් කියවපු පොතක් වුණු සර්ගෙයි ඇන්ට‍නොව් නම් රුසියානු ලේඛකයා විසින් රචිත A light in the distance – stories about Lenin නම් කෘතිය පරිවර්තනය කරන්න පටන් අරගෙන තිබුනෙ, මේ මේ නිශ්චිත  ප්‍රකාශයාට බාර දෙනවා කියන අදහසකින් නෙමෙයි. ඒත් කෘතිය පරිවර්තනය කරලා අවසන් වුණාම මේ පොත, මම එ් කාලෙ ඉතා ලඟින් ඇසුරු කළ, එක්තරා දේශපාලන භාවිතාවක යෙදුනු පිරිසක්, වැඩි වශයෙන් ඒ  පොත කියවනවා නම් හොඳයි වගේ අදහසක් මට තිබුනු නිසා එය සමාජවාදි කලා සංගමය මූලිකත්වයෙන් මාලිමා ප්‍රකාශනයක් ලෙස එළි දැක්වුණා. ඉතින් බොහොම කෙටියෙන් කියනවා නම් ඒ පොත් තුනම එළි දැක්වුනේ එවකට මම ඉතා ලඟින් ඇසුරු කළ ජනතා විමුක්ති පෙරමුණේ විවිධ සංවිධානවල මූලිකත්වයෙන්.

    අනික් කාරණය තමයි අපි මූලිකව වැ‍ඩුනේ රුසියානු පොත් එක්ක. හීන හැදුනේ සෝවියට්දේශයත් එක්ක.  වසීලිස්සා, බබයිගා යකින්න ගේ ඉඳලා සමොවාරය, ස්‍ටේපස් තණබිම, විතරක් නෙමෙයි පාවෙල්ලා, ඉවන්ලා, අල්තිනායි ලා අපේ ගෙදර සාලේ දි නිතරම මුණගැහෙනවා වගේ තමයි අපට දැනුනේ. කුඩා කාලේ කතන්දර පොත් කියලා අපි කියෙව්වෙත්, නව යොවුන් වියේ සුන්දරත්වය විඳ ගත්තේත් රුසියානු පරිවර්තන තුළින්.

    ඒ නිසා දැදිගම රුද්‍රගු, සිරිල් සී පෙරේරා ‍ වැනි දැවැන්තයින්ගේ ගේ භාෂා ශෛලිය අපට කොච්චර හොඳට පත්තියම් වෙලා තිබුණද කියනවා නම්, ඒ කාලේ කුමක්  හෝ ලියන විට දන්නේම නැතිව ඒ භාෂාව අනුකරණය කරන්න මම පෙළඹිලා හිටියා. මට තාමත් දැනෙන්නේ විශේෂයෙන් දැදිගම රුද්‍රිගුගේ භාෂාව කියන්නේ මොකක්දෝ ලතෙත් බවක් දායාර්ද ගුණයක් රැඳුණු භාෂා විලාසයක් කියලා. රුසියානු පොත් එක්ක හැදුනු වැඩුණු ගොඩක් අය මෙතනදි මාත් එක්ක එකඟ වෙනවා ඇති. ඉතින්  ඒ නිසා මුල් කාලයේ රුසියානු පරිවර්තනයක් කරන එක එච්චර අමාරු නැහැ, මොකද ඒ රටේ ජන ජීවිතය, ඉතිහාසය,  සංස්කෘතිය අපට එච්චර දුරස් නැහැ. ඇත්තම කිව්වොත් රුසියානු පොත් නිසාම අපි අපේ රටේ සාහිත්‍යයෙන් කුඩා කාලයේදි ඈත් වුණා කියලා කිව්වොත් නිවැරදියි. ඒ වැරුද්ද හදාගත්තේ අපි වැඩිහිටියෝ උනාට පස්සේ. ඉතින් මමත් පරිවර්තනය කරන්න මුලින්ම රුසියානු පොත් වලට නැඹුරු වීම එතරම් අරුමයක්‍ නෙමෙයි.

    ඒත් ඊට පස්සෙ ලංකාවේ පරිවර්තන සාහිත්‍ය කෙත වඩාත් පුළුල් වෙන්න ගත්තා. විවිධ රටවල සාහිත්‍ය කෘති පරිවර්තනය වීම ඇරඹුනා. ඒ අතරතුර මටත් තවත් භාෂාවක් හරහා එනම් ප්‍රංශ භාෂාව හරහා වෙනත් ලෝකයක් හෙමින් විවෘත වෙමින් තිබුණා. ඉතින් සිංහල පොත් වලට අමතරව ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙනුත් මම ගොඩක් කියවන්න ඇබ්බැහි වුණ නිසා මම ගොඩාක් වින්ඳ, පරිවර්තනය කළ යුතුයි යන අදහසින් මිදෙන්න බැරි පොත් කිහිපයක් ඉන් පස්සෙ මම  හෙමිහිට පරිවර්තනය කළා.

    පරිවර්තන කලාව බොහොම බැරෑරුම් වැඩක් .මොකද අපි පරිවර්තනය කරන්න තෝරාගන්නා කෘතිය බිහි වූ වටපිටාව පිළිබඳව අපිට අදහසක් නැත්නම්  මුල් කෘතිය ලබාදෙන හැඟීම් දැනීම් පරිවර්තනය තුළට ගන්න බැරි වෙනවා .විවිධ රටවල විවිධ ලේඛකයන්ගේ කෘති පරිවර්තනය කරන්න යෑමේදී  මේ කාරණය අභියෝගයක්. ඔබ ඒ අබියෝගයට මුහුණ දුන්නේ  කොහොමද ?

    පරිවර්තන කලාව බරූරුම් වෙන නොවෙන එක කෙසේ වෙතත්, පරිවර්තකයාට පුළුවනි ඒක ඉතාමත් බැරූරුම් කාර්යයක් බවට පත් කර ගන්න.  පෞද්ගලිකව මගේ  අත්දැකීම නම්, මම පරිවර්තනයක් කරද්දි මම ඒකෙ ඇතුළෙ නිතරම ජිවත් වෙන්න පටන් ගන්නවා. ඒ චරිත මමත් හිතින් මවා ගන්නවා. කොච්චර හිතින් මවා ගන්නවාද කිව්වොත් සමහර දවස්වලට මට ඒ චරිත හීනෙනුත් පේන්න ගන්නවා. උදාහරණයක් විදියට යාකොව් ස්වෙර්ද්ලොව් කෘතිය කරන්න මට ඒ අය දුන්නෙ මාස තුනක් වගේ කෙටි කාලයක්. ඒක කෙටි කාලයක් වුණත් ඒ මොහොතේ තිබුණ අවශ්‍යතාව අනුව මම ඒ කාලය දැනගෙන තමයි ඒ කාර්යය වෙලාවට අවසන් කරන්න බාර ගත්තෙ.මම ඒ කාලෙ වෙන දෙයක් ගැන හිතුවෙ කෙරුවෙ නැති තරම්. ඒ සිද්ධි මට හීනෙන් පෙනුනා ගොඩාක් වාරයක්. මම හිතන්නෙ ස්වතන්ත්‍ර කෘතියක් නිම කරන්න එහි මුල් නිර්මාණකරුවා විඳින නිර්මාණාත්මක වේදනාවේ බර පරිවර්තකයාත් දශයමකින් හරි විඳ ගැනීම එතනින් සිද්ධ වෙනවා කියලයි මම හිතන්නෙ.

    අනික ඔබ කිව්වා වගේම මමත් විශ්වාස කරනවා, පරිවර්තකයෙක් කිසියම් කෘතියක් පරිවර්තනය කරන්න කලින් ඊට අවශ්‍ය වටපිටාව දැනගන්න අමතර කියවීම් කළ යුතුයි කියලා. මොකද සාහිත්‍ය පරිවර්තන කියන්නෙ එක් වැකියකින් තවත් වැකියකට කරන හුදු යාන්ත්‍රික පරිවර්තනයක් නෙමෙයි. තමන්ට නුහුරු රටක ජීවන විලාසය, සංස්කෘතිය සිතුම් පැතුම්, ඉතිහාසය වැනි දේවල් ගැන කිසියම් අවබෝධයක් ලැබුණාම තමයි පරිවර්තකයාට හැකි වෙන්නෙ ඒ කතාව සමඟ හොඳින් බද්ධ වෙන්න. ඒකෙ ඇතුළෙ ජීවත් වෙන්න.  ඉතින් ඒ නිසා මම පරිවර්තනයක් කරද්දි ඒ මුල් කෘතිය ගැන, මුල් ලේඛකයා ගැන, ඒ කාලවකවානුව, අපිට නුහුරු සංස්කෘතික සාමාජීය කාරණා ගැන මම කියවන්න පෙළඹෙනවා. ඒ නිසා මම හිතනවා පරිවර්තකයෙක් විදියට මම ඒ මුල් කෘතියට තවත් සමීප වෙනවා කියලා.

    ඔබගේ ලේඛන  ඉතිහාසය දසක එකහමාරක් පමණ දිගු එකක් . නමුත් ඔබ අතින් පරිවර්තනය වෙලා තිබෙන්නේ කෘති හතයි .ඉන් දෙකක් ළමා පරිවර්තන . වර්තමාන පරිවර්තකයෝ අවුරුද්දකට කෘති දෙක තුනක් පරිවර්තනය කරනවා . එහෙම බලපුහාම ඔබගේ ගමන ඉතාම හිමින් . ඒකට හේතුව  ?

    ඔව් ආපස්සට හැරිලා බැලුවාම  අවුරුදු 10ක් ම, ඒ කියන්නෙ 2010 වසරේ අරුණැල්ල -ලෙනින් ගැන කතා පරිවර්තන කෘතිය කළාට පස්සෙ මම කිසිම අලුත් පරිවර්තනයක් කලේ නැහැ තමයි. ඒ අතරවාරේ සිදුවු‍නේ මුලින් කරපු කෘති වල නැවත මුද්‍රණ සහ ගොඩාක් කාලයකට කලින් පරිවර්තනය කරලා ප්‍රකාශකයෙක් පස්සෙන් යන්න තියෙන අකමැත්ත නිසා හමස් පෙට්ටියට දාලා වහලා, අමතකර කරලා තිබුණ පරිවර්තන  අහම්බෙන් එළියට ඇවිල්ලා පොත් බවට පත් වුණු එක.

    උදාහරණයක් විදියට, ගිය අවුරුද්දේ අහස ප්‍රකාශන එක්ක මුල්වරට මුද්‍රණය කරපු ප්‍රංශ යොවුන් කතාව ‘මගේ තැන ඉඳන් හිතලා බලන්න’ කෘතිය එළියට ආවේ එහෙම. මම ඒක පරිවර්තනය කළේ අවුරුදු දොළහකට විතර කළින්. එක ප්‍රකාශකයෙක්ගෙන් ඒ පරිවර්තනය ප්‍රතික්ෂේප වුණා. ඉතින් ආයෙ මම ඒ පොතට ප්‍රකාශයෙක් හොයා ගන්න උත්සාහ කලේත් නැහැ. එහෙම එකක් මම කළා කියලා අමතක කරලා දාලා ඉන්න කාලෙක තමයි මට අහම්බෙන් අසංක සායක්කාරව මුණ ගැහෙන්නෙ.  ඉතින් මම මුලින්ම කරපු තණකොළපෙත්තා  කෘතිය කියවලා තියෙන මතකයත් එක්ක ඔහු මාව නිතරම උනන්දු කලා අහස ප්‍රකාශන එක්ක පරිවර්තන කෘතියක් කරන්න. ඉතින් ඒ මොහොතෙ අලුතින් පරිවර්තන කෘතියක් කරන්න තරම් මට මානසික සූදානමක් නොතිබුණු නිසා එච්චර කල් මටත් අමතක වෙලා තිබුණු  ඒ ප්‍රංශ ළමා කතාව සායක්කරට මම දුන්නා. ඉතින් එහෙමයි ඒ කෘතිය අහසත් එක්ක එළි දක්වන්න මට පුළුවන් වුනේ.ඒ අතුරු කතාවක්.

    ඔබගේ ප්‍රශ්නයට මම ආයෙත් ආවොත්, ඒ හෙමින් ගමනට සෘජුවම කාරණා දෙකක් බලපානවා. පළවැනි එක.

    මම 2011 දි විදේශගත වෙනවා වැඩි දුර අධ්‍යාපනයට. ඊට ටික කාලෙකට පස්සෙ ම‍ගේ පෞද්ගලික ජිවිතය වගේම දේශපාලන ජිවිතය හරහා චණ්ඩ කුණාටවුක් හමා ගෙන යනවා. ඒ දෙකම සිද්ධ වෙන්නෙ එකම කාලෙකදි. ඒ දෙකම එකිනෙක ගැටගැහිච්ච කරණා කිව්වොත් නිවැරදියි. මගේ ජිවිතයේ එතෙක් මම ආදරය කළ, මම විශ්වසය තැබූ පරමාදර්ශ සියල්ල බිමට සමතලා වෙනවා, දේශපාලනිකව වගේම, පෞද්ගලිකවමත් අ‍ායේ එතෙක් විශ්වාසය තැබූ සියලු දේ දෙස, ඒ මිනිස වටිනාකම් දෙස යන්තමින් හෝ නැවත හැරී බැලීමක් කරන්නවත් මට  ඉඩක් නොතබමින්.  මොකද මම පුද්ගලයෙක් විදියට පුංචිකාලයේ ඉඳන් ගොඩ නැඟුණෙ ඒ පුරුෂාර්ථ, පරමාදර්ශ සහ මිනිස් වටිනාකම් එක්ක. ඒවා ඇතුළෙ තමයි ජීවිතේ හීන හැදුණේ, ඒවා ඇතුළෙ තමයි ජිවිතේ පරමාර්ථ හැදුනෙ. ඒ සියල්ල ඇස් ඉදිරියේ ඇතුළතින්ම පුපුරා හැලෙද්දි, අනෙක් පැත්තෙන් පෞද්ගලිකව  මහෝඝයක් යැයි සිතූ දේවල්  ජීවිතයට සාපයක් වෙද්දි, මමත් ජිවිතය ඇතුළෙන් කඩා වැටුණා. ඒක ඇස් පණා පිට සිදුවුණු මගේ ජිවිතයේ මහා රැවටිල්ලක්. ආයේ කොතැනද, කාවද  මම විශ්වාස කරගෙන මම ජීවිතේ කලින් වගේ බය නැතුව අඩිය තියන්නෙ කියන සම්බන්ධයෙන් මම හොඳටම අතරමං වුණා.

    ඒක ඇත්තටම ගත්තොත් මගේ ජිවිත කාලය පුරාම තවමත් දෝංකාරය දෙන, මට තවමත්  බොහොම සද්දෙන් පාඩම් කියා දෙන සිදුවීම් ගොන්නක්. ඉතින් ඒ නිසා විදේශ අධ්‍යාපනය සාර්ථකව නිමා කරලා මම ලංකාවට ඇවිත් මම නොවෙන මම කෙනෙක් එක්ක හැපෙමින් ගැටෙමින්, යැපෙන්න ඕනෙ නිසා රස්සාවක් විතරක් කරමින්  ඉතා පුංචි කෝෂයක් ඇතුළෙ මම ජීවත් වුණා.

    ඒ අතරවාරේ සුන්බුන් ගොඩේ විසිරිලා තිබුණු මාව මම තනිවම සොයා ගනිමින් සිටියා. ඒ කාලෙ උඹට ජීවිතේ කොයිතරම් බරදැයි අහන්නවත් හිටියේ මම ගැන දන්න මිත්‍ර‍යෝ එක්කෙනෙක් දෙන‍්නෙක් විතරයි. ඉතින් ඒක එහෙමයි. ඒ කාලෙ දැන් පහුවෙලා. මට දැන් මාව මුණ ගැහිලා වෙන්න ඇති. ජීවිතයෙන් මට හිමි අහිමි මොනවාද යන්න පිළිබඳ මම දැන් සන්සුන්. තවත් චණ්ඩ කුණාටු වලට මගේ ජිවිතයේ ආයෙත් ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා මම පොත් කියවනවාට අමතරව මගේ ජිවිතයේ ආසම අනෙක් දේ වුණු, ලියන්නත් මම දැන් සන්සුන්.

    දෙවැනි කාරණය තමයි, ස්වභාවයෙන්ම මම අරමුණු හඹා යන කෙනෙක් නෙමෙයි.  පරිවර්තන කෘති සම්බන්ධයෙනුත් වෙන්න ඇත්තෙ ඒක වෙන්න ඇති. පොතක් කියවලා ‍පරිවර්තනය කරන්න ලොකූ පෙළඹවීමක් දැනුනොත් ඇරෙන්න මම පොතක් පරිවර්තනය කරන්න පටන් ගන්නෙ නැහැ.  ඉතින් තව අය මොනවා කළත් මම මට ඕනෙ දේම කර කර උන්නෙ ඒක නිසා වෙන්න ඇති. මේ තරම් මම හෙමින් වැඩ කරන්නෙත් ඒ නිසා වෙන්න ඇති.

    “Skylight  by  José Saramago”  පියැසි කවුළුව නමින්   පරිවර්තනය කිරීමට බලපෑ විශේෂ හේතුවක් තියෙනවාද?

    ඔව් ඒකට හේතුවක් තිබුණා. සුභාවි ප්‍රකාශන එකේ නිශාන්ත පරණගම මට අවුරුදු හතරකට විතර කළින් පොත් කීපයක් ගෙනැවිත් දුන්නා කැමති පොතක් තියෙනවද කියලා බලන්න කියලා. ඉතින් ඒ පොත් අතරින් ‍‍‍ජොසේ සරමාගෝ ගේ  Skylight කෘතියට ටිකක් හිත ගිහින් හෙමිහිට කියවන්න පටන් ගත්තා.  ඒ පොත කියවලා ඉවර කරන්න මට සෑහෙන කාලයක් ගියා. ඒ මොකද කියනවානම් පාඨකයා මාර විදියට ඇද බැද ගන්න ලස්සන කතාවක් ඒකෙ නැති නිසා. කුතුහලයකුත් නැහැ. ඒත් කියවලා අවසාන උනාම, මට ඒ කෘතිය පුදුමාකාර විදියට දැනෙන්න ගත්තා. මට මතක් වුනේම ප්යදෝර් දොස්තොව්ස්කි විසින් ලියපු පී.එස්.බී සේනානායක විසින් පරිවර්තනය කරපු ‘අසරණ මිනිස්සු’ කෘතිය.

    මට අසරණ මිනිස්සු කෘතිය කියවලා ඉවර වෙද්දි දැණුන බර ගතිය, නැතිනම් කටුක තිත්ත රසය මේ පොත කියවද්දිත් වරින් වර මට දැනුනා. ඒ කෘති දෙකේදිම ඒ ඒ කතුවරුන් කියන්න උත්සාහ කරන්නෙ සමාජයේ පහළ මැද පංතියේ මිනිසුන්ගේ ජිවන අරගලය ගැන.  ඒ කෘති කියවද්දි ඔවුන්ගේ ජිවිත මොනතරම් දුංඛිත ද කියන එක අපිට දැනෙනවා. සමහර විට ඒ අපේ ජීවිතයම තමයි. දොස්තොව්ස්කි ගේ අසරණ මිනිස්සු කෘතියට වඩා, ජොසේ සරමාගෝ ගේ skylight කෘතිය යන්තමින් වෙනස් වෙන්නෙ, ජීවිතය ඒතරම්ම දුංඛිත වුනත්, වඩාත් යහපත් ජීවිතයක් වෙනුවෙන් අපට තවමත් බලාපොරොත්තු තබා ගත හැකියි යන ඉඟිය අපට එම කෘතිය තුළින් වරින් වර මතක් කර දෙන නිසා. කුඩා කාලයේ සිටම මම ලැබූ දේශපාලන අභාෂයත් සමඟ මම ජීවත් වූයේද ජිවත් වන්නේද ‍ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමේ සිහිනය  දකිමින්. ඉතින් ඒ නිසා මට මේ  කෘතිය පරිවර්තනය කරන්න ආසා හිතුනා.

    හිල්මි සුපුන්

     

  • තඩි පොත්වල නැති ලොකු කතා පොඩි පොත් වල තියෙනවා.

    තඩි පොත්වල නැති ලොකු කතා පොඩි පොත් වල තියෙනවා.

    පොත පත කියවීම පිළිබඳව විසල් කතා ඇති වෙන මේ  සැප්තැම්බර් මාසයේ ළමා සාහිත්‍යයට එකතුවූ  අපූර්ව පොත් දෙකක් පිළිබඳව ඉඟියක් ලබා  දෙන්න හිතුනා.   ” පුළුන්  මට කියූ දේ ”  සහ  ” මගේ තැන ඉඳන් හිතල බලන්න ”  පසුගිය වසරේ අහස ප්‍රකාශන ලෙස ළමා සාහිත්‍යයට එකතු වූ ඒ අපූර්ව පොත් දෙකයි. ” පුළුන්  මට කියූ දේ ”  සහ  ” මගේ තැන ඉඳන් හිතල බලන්න ”  යන  නම් වලින් සිංහලට පරිවර්තනය වෙන්නේ ප්‍රංශ කෘති දෙකකි. සිංහල සාහිත්‍යයට එකතු වෙන  මෙම කෘති දෙක පරිවර්තනය කරන්නේ සුභාෂිණි චතුරිකා  ලේඛිකාවයි.

    ළමා කතාවක් ලිවීමත්, වෙනත් බසකින් ළමා කතාවක්  සිංහලට පරිවර්තනය කිරීමත් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ළමා කාලයේ යනු අනාගතය වෙනුවෙන් සූදානම් වෙන්න තියෙන කාලයයි. ඒ නිසා ළමයෙකුට කියවීම හුරු කිරීමට  පහසුවක් සපයන්නේ  ඔවුන් කැමති , ආස කරන ,  රූප සහිත , කතන්දර පොත් ඔවුන් සමීපයේ තැබීමෙන්. රූප තිබූ පමණට මත්, කතාවක් යැයි අපි කියූ පමණට මත්, ළමුන් ඒකට ඇලුම් කරන්නේ නැහැ.  සිබිල් නැන්දගේ හැම රූපයකට ම හැම ළමයෙක්ම පහේ ඇලුම් කලත්,  සමහර කතන්දර පොත් වල කතාව කොච්චර හොඳ වුනත් ඒ රූපවලට ළමයි කැමති නැහැ. ඒ නිසාම ඒ පොත් කියවන්න ළමුන්  අකමැත්තක් දක්වනවා. ඔය කියන සියලු දුෂ්කරතා ජය ගත් පොතක් තමයි ” පුළුන්  මට කියූ දේ ” කියන ළමා කෘතිය. තඹරු සිඳුපමා  චන්ද්‍රසේනගේ  සිතුවම්  මේ පුංචි කතන්දර පොතේ හැඩ ඔප්නංවනවා . එ වගේම කතාව නිර්මාණය වූ ප්‍රංශයේ  සීත සෘතුවක  පාරිසරික  හැඩහුරුකම්  ඒ රූප ඔස්සේ මේ කතාවට පණ ලබා දෙනවා.  ඒ නිසා රූපයයි කතාවයි දෙකම අප නොදන්නා පරිසරයකට අපව සමපාත කරන්න සමත් වෙනවා.

    “දවසක් කෑම ගනිද්දී  තාත්තා එක පාරටම ඇහුවා  ” අපි හිම   ළමයෙක් හදමු ද? කියලා ” 

    ඊට පස්සේ   අපි දෙන්න එකතු වෙලා මීට ඉස්සර කවදාවත් දැකලා නැති, ලස්සන හිම ළමයව හැදුවා.  කළු පාට පුංචි පබළු ඇට දෙකක් හොයාගෙන ඇවිල්ලා, මම ඒක හිම  ළමයගේ ඇස් දෙක විදිහට තිබ්බා. අතු රිකිල්ලක් කඩාගෙන ඇවිත් ඒක එයාගේ කට වගේ හැදුවා. අම්මා අපට දුන්නු රතුපාට ලේන්සුව අපි එයාගෙ ගෙල වටේ  බැන්දා. මට ලැබුණු ලස්සන කුරුළු පිහාටුවක් මම හිම ළමයා ගේ හිස මුදුනට සවි කෙරුවා. ඒක හරියට පේන්නෙ හිම ලමයගෙ හිස  මුදුනේ ප්‍රශ්නාර්ථ ලකුණක් තියනවා වගේයි.  එතකොට තාත්ත හිනා වෙවී කිවුවා ” එයා  අපෙන් ප්‍රශ්න වැලක් අහන්න යනවා වගේ ඉන්නේ කියලා “

    මේ පොතේ කතා සාරාංශය කියනවනම්  කුඩා පිරිමි දරුවෙකු  අධික හිම වර්ෂාවකින් පසුව එකතු වූ හිම වලින්  හිම බෝනික්කෙක් තනා ගැනීමත්,  එම හිම බෝනික්කා සමග යම් කාල පරාසයක් ගත කිරීමත්,  ගත කරන කාලය තුළ  ඔවුන් දෙදෙනාගේ අදහස් හුවමාරු කර ගැනීම තුළින්  කතාව ගොඩනගලා තියෙනවා .  මේ කතාවේ වඩා වැදගත් චරිතය බවට පත්වෙන්නේ හිම බෝනික්කා.  තමන්ගේ  මිත්‍රයා වන  කුඩා ළමයට අනාගතය සඳහා සූදානම් වීමට අත්‍යවශ්‍ය කරන  දැනුම ලබා දෙන්නේ මේ  හිම බෝනික්කා . පුංචි පුංචි හිම පියලි බොහොම සියුම් වගේම  තනිව තියෙද්දි ඉතා ඉක්මනින් දියවෙන සුළු  නමුත් ඒවා එක් කොට ගොඩගසා බෝනික්කෙක් හැඳු කළ  යම් කාලයක් හිමින් සීරුවෙ දියවෙමින් ටික කලක් පැවතීමේ  හැකියාව තියෙනවා.

    ඒ වගේම මම   තවත්  වැදගත් දෙයක් වටහා ගත්තා . සීත කාලේ ගෙවිලා ගියොත් විතරයි වසන්ත කාලය උදා වෙන්නේ. ඉතින් මොන තරම්  විහිළුවට කරුණක් ද, හැමදේම හැමදාම එකම විදිහට තියෙන්න ඕනැයි කියල හිතන එක. හිම දිය වූනේ නැත්නම් මල් පිපෙන්නේ කොහොමද ? ඒ වගේම තමයි මහළු ඇය මැරුනේ නැත්නම්……….

     හෙමින් හෙමින් දියවෙන මේ හිම බෝනික්කා පොඩි එකාට  ජීවිතයේ යථාර්ථය වටහා දෙන්න උත්සාහ කරනවා.   ” පුළුන්  මට කියූ දේ ”  හරි අපූර්වත්ව අත්දැකීමක් සමග  දරුවන්ට ගැඹුරු පාඩමක්  කියා දෙන්නකි.

    ඒ වගේම සුභාෂිණි චතුරිකා ලේඛිකාව අතින් පරිවර්තනය වූ ” මගේ තැන ඉඳන් හිතල බලන්න ”  යෝවුන් සාහිත්‍ය  කෘතිය ද එවැන්නකි. අපි හැම විටම හිතන්නේ  අපි තමයි නිවැරදි, අපි කරන වැඩේ තමයි බැරෑරුම්,  අපි නොකලොත් අනිත් අයට අපි කරන වැඩ කරන්න බෑ කියලා. බොහොම අඩු පිරිසක් තමයි හිතන්නේ මම සේම අනෙකාද කරන වැඩේ  මගේ වැඩේ සේම බැරෑරුම් වැඩක් කියලා.  මෙන්න මේ අනෙකාව අවතක්සේරු කිරීමේ  ගතිය නැති වෙන්න නම් කොයි යම් මොහොතක හෝ අනෙකා වී බලන්න ඕනේ . ඒක අපිට කරන්න පුළුවන් නම් අර ඉහත කියපු ආඩපාලි අපිට කියන්න විදිහක් නෑ . මොකද ඒ අත්දැකීම ලබද්දී අපිට තේරෙනවා, තේරුම් යනවා,  මම කරන වැඩේ සේම අනෙකා කරන වැඩේ ද ඉතාම බරපතළ වැඩක් කියලා.

     මෙන්න මේ අනෙකාව තේරුම් ගැනීමට නොහැකිවීමේ ප්‍රශ්නය  පිළිබඳව තමයි සුභාෂිණි ” මගේ තැන ඉඳන් හිතල බලන්න ” කතාවෙන් අප හමුවට  ගේන්නේ.

    වඩාත් දුෂ්කර අවස්ථාවලදී, අපට අපේ සිරුරයි, මනසයි, දෙකේම  ශක්තිය  එකම අරමුණක් වෙත යොමු කරන්න සිද්ද වෙනවා. ඒ අරමුණ තමයි, දුෂ්කර අවස්ථාවල දී කෙසේ හෝ නොනැසී පැවතීම. නැවක් අනතුරට පත් වීමේදී ඊට මුහුණ දෙන නාවිකයන්, හිම කඳු කඩා වැටීම් වලට මුහුණ දෙන කඳු නගින්නන්, ගිනිදැල් වලට මැදි වන ගිනි නිවන භටයන්, ඒ ගැන හොඳින්ම දන්නවා. අපි අඩි තුන හතරක් උස හිම තට්ටුවකට යට වුනොත් අපි කවදාවත් ඒක උනේ කොහොමද කියලා හිත හිතා ඉන්නේ නැහැ. අපි හිතන්නේ එතැනින් එළියට එන හැටි විතරයි. එදා උදේ අම්මත්  මමත් කලේ ඒ දේම තමයි. අපී  නොතේරෙන දෙයක් තේරුම් ගන්න උත්සාහ කළේ නැහැ. ඒ කොයි හැටි වෙතත් ,අපට අපිව රැක ගන්න ඕන නිසා අපිට ඒකට මුහුණ දෙන්න සිද්ධ වුණා .

    මෑත කාලයේ යොවුන් සාහිත්‍යය සහ ළමා සාහිත්‍යයට එකතු වුණු මේ අපූර්ව පොත් දෙක  තව නොබෝ දිනකින් එළඹෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පොත් මිලට ගන්න ලිස්ට් එකට ඔබ එකතු කර ගත්තාට වරදක්  උනේ නැහැ කියලා  ඔබට හිතේවි කවද හරි මේ පොත් දෙක කියවා අවසන් වූ විට.

    හිල්මි සුපුන්
  • නයිස් කෑවා මතක නැතිලු ජනක තුෂාරගේ කියවීමෙන්

    නයිස් කෑවා මතක නැතිලු ජනක තුෂාරගේ කියවීමෙන්

    ඉතා දිගු කලක් සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ඉතාලියේ ජීවත් වන හිල්මි සුපුන් පෙරේරාගේ ‘නයිස් කෑවා මතක නැතිලු’ කාව්‍ය සංග්‍රහය එළිදක්වනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙර කොළඹ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදීය. ඒ හමුවු අවස්ථාවේ ඔහු ඉතාලියේත් ලංකාවේත් සංස්කෘතික වෙනස්කම් ගැන බොහෝ දේ කීවේය.

    මල් තිබුණු තැන්වල දැන් ඇත්තෙ
    අතු රිකිලි සලකුණු පමණයි
    කොළ ඉදී වියලී බිම වැටී මිය ගියේ ගස් මුලමයි
    හිම පියලි වැටෙන තරමට දැන් අහස ධවලයි
    ආචරෝ ගසකට දැන් ඉතිරි යළි එන වසන්තයේ පැතුමයි

    ආචරෝ යනු ඉතාලියේ ජපානයේ වැනි රටවල වැවෙන මල් ගස් වර්ගයකි. වසරේ මාස හයක් පමණ නටු පමණක් ඉතිරි වන සේ කොළ හැලී යන ආචරෝ ගස යළිත් දළු ලන්නට පටන් ගන්නේ වසන්ත ඍතුව ආසන්න වද්දීය. ආචරෝ ගසේ චක්‍රය මතින් සිය විප්‍රරවාසී ජීවිතයේ පාලුව හිල්මි විවරණය කරයි.

    ඉතාලි යාම ලංකාවේ බොහෝ දෙනකුගේ සිහිනයකි. ඒ සෞභාග්‍යමත් ජීවිතයක් අපේක්ෂාවෙනි. එහෙත් ඒ අපේක්ෂාවන් ඒ අයුරින්ම ඵල දරයිද? ‘සීතලයි හොඳටෝම’ කවිය ඒ ප්‍රශ්නය අප ඉදිරියේ තබයි. මේ ඒ කවියේ පළමු හා අවසන් කොටස්ය.
    “සිහින දිගේ අපි ආවා
    සිහින සැබෑ කරන් යන්න
    සිහිනවලින් බිම වැටිලා
    සීත රටක නතර වුණා.

    ….
    තරු හිස් මුඩු වී
    වියලී පත් බිම වැටේ
    සීතලයි හොඳටෝම
    දරා ගන්නත් බැහැ දැන්…”

    හිල්මි මාධ්‍ය වේදියෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙකි. ඉතාලියේ සිටින ඔහු ලංකාවේ දේශපාලනය, සමාජ-සංස්කෘතික ගැටලු වෙත නිරන්තරයෙන් සක්‍රියය. ඒ දෘෂ්ඨිය, බැඳීම ඔහුගේ කවිවලද හමුවේ.

    නව ලිබරල් ධනවාදය තුළ සියල්ල වෙළෙඳපොළට කේන්ද්‍ර කරනවා පමණක් නොව සමාජයේ එතෙක් පැවැති විවිධත්වයන්ද අහෝසි කරයි. කුඩා කුඩා ව්‍යාපාර අහෝසි කර ඒවා මහා පරිමාණ සමාගම් තුළට අවශෝෂණය කර ගනී. ‘නයිස් කෑවා මතක නැතිලු’ කවිය කියවන විට සිහිපත් වන්නේ දශක කිහිපයක් තුළ ලාංකේය සමාජය කොතරම් සරල, පැතිලි වීද යන්නයි.
    “…
    සත පහකට නයිස් දෙකයි
    පුංචි කොලේ බොම්බයි මොටයි
    රස කර කර කාපු හැටි
    පොඩි මල්ලිට මතක නැතිලු
    ….”

    වමේ දේශපාලනයේ ඇතැම් දුර්වලතා, පිරිහීම්, පීලි පැනීම්ද ඔහුගේ විවේචනයට ලක්වේ. ජාත්‍යන්තර කම්කරු දිනය ගැන කියන ‘රජයේ නිවාඩු දවස’ ඊට උදාහරණයකි.

    “….
    වැලන්ටයින් දවස වගෙයි දැන් මැයි දිනයත්
    පක්ෂවල බලය පෙන්නුවා මිසක්
    සර්ලාට නැහැ හානියක්….”

    ‘ආදරය පැතූ තරුණයාට තරුණිය යැවූ ලියමන’ කවියේදී ඔහු සමාජ සම්මතයන්, විවහයේ සම්මතයන් දැඩිව ප්‍රශ්ණ කරයි. විවාහ ජීවිතය තුළ කාන්තාවන්ගේ අතෘප්තිය හා පීඩාව ප්‍රශ්ණ කරයි.

    “මං ඔයාගෙ ආශාවන් සංසිඳුවමින්
    මං මගේ ආශාවන් මරා දමන්න ඕනද
    මං ඔයාට ආදරේ කරමින්
    වෙනත් කෙනෙකු එක්ක ජීවිතය බෙදා ගත්තොත්
    සමාජ සම්මත ගැරහුමට මාව ලක් නොකර
    ඔයාට පුළුවන්ද මට අඛණ්ඩව ආදරය කරන්න”

    විප්‍රවාසී ජීවිතයේ අත්දැකීම් වඩ වඩාත් ග්‍රහණය කර ගත් හිල්මිගේ ඊළඟ කවි අත්දැකීම විඳින්නට අපි ආශාවෙන් බලා සිටිමු.

    ජනක තුෂාර
  • වැහි වැටෙන දවස් හරි අපූරුයි.

    වැහි වැටෙන දවස් හරි අපූරුයි.

    මං හිතනවා මෑත කාලයේ කවි පොතකට ලැබුණු උපරිම ප්‍රතිචාරය ලැබුණේ ” වැහි වැටෙන දවස් ” කවි පොතට කියලා . විශේෂ එළිදැක්වීමේ වැඩක් නොකළත් මාජ මාධ්‍ය ජාලා හරහා ඉගිල කිය ප්‍රචාරය ” වැහි වැටෙන දවස් ” කාව්‍ය සංග්‍රහය සමාජගත වෙන්නට ප්‍රමාණවත් වුණා. ඒ වගේම බොහෝ දෙනෙක් පොත හොයාගෙන කියවන්න පෙලබුනා . ” වැහි වැටෙන දවස් ” සමාජ මාධ්‍ය ජාලා හරහා පුවත්පත් පිටු වලින් චින්තකගේ කවි කියවා තිබුණු පාඨකයෝ හොයාගෙන ගියේ නිරායාසයෙන්මයි. එනිසා චින්තකට අමුතු වෙහෙසක් දරන්න සිද්ද වුණේ නැහැ පොත ජනගත කරන්න. තවමත් ඔහුගේ පොත පිළිබඳව පාඨක ප්‍රතිචාර ලැබෙනවා.

    චින්තකගේ කවි කියවන්න අප පොළඹවන්නේ ඔහුගේ රමණීය බස් හැසිරවීමයි. ඔහු නිර්මාණ සඳහා උපයෝගී කරගන්නා ප්‍රස්තුත බොහොමයක්ම නිතරම අපට හමුවන ඒවාය. සමහර ඒවා අපි විඳපු ඒවාය . සමහර ඒවා අපි විඳවපු ඒවාය. ඒ නිසාම අපේ ප්‍රශ්න වෙනස් විදිහකට රචනා වෙච්ච තැනකදී අපිටත් ඒක අපේ කරගෙන රස විඳින්න හෝ දුක් විඳින්න පුළුවන්.

    හාවා ඇවිත් අහසින් පහළට බැහැලා

    මැදියම ගෙවෙද්දී පාඩම් මේසෙ ළඟ
    කවුළුව දිගේ ගැලූවා සඳ වතුර ගඟ
    ගඟ දිග පැමිණි කවුරුන් හෝ මිදුල ළඟ
    දුටුවෙමි නතර වී නටමින් සිටින වග

    තනියම සඳේ ඉන්නට කම්මැලි හිතිලා
    හාවා ඇවිත් අහසින් පහළට බැහැලා
    පාඩම් කරපු පොත ඩිංගිත්තක් වහලා
    ඇසුවෙමි එහේ විස්තර මොනව ද කියලා

    මුළු ආකාසෙට ම මං විතරයි ඉන්නේ
    තනිකම නිසයි ඉඳහිට ඇවිදින් යන්නේ
    සෙල්ලම් කරන්නට නෑ කිසිවෙක් එන්නේ
    තනියම තමයි මං මෙහෙ ආවත් ඉන්නේ”

    පැන පැන ඇවිත් හාවා කවුළුව ළඟට
    ඇහුවා යන්න කැමති ද” කියලා සඳට
    දරුවෝ අමතක ද ශිෂ්‍යත්වය නුඹට”
    අම්මා වසා දැම්මා කවුළුව තදට

    මේ තමයි චින්තක මට හමුවෙන මුල්ම කවිය. මේ කවිය කියවන්න ලැබෙන්නේ ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ ජයග්‍රහණ ලැබූ “හිතාදර දළඹුවානණි” කාව්‍ය සංග්‍රහය පිළිබඳව ප්‍රචාරයක් ගිය කාලවකවානුව තුලයි . මේ කවිය මගින් හෙළිකරන ශිෂ්‍යත්ව විභාගය සමඟ ගොඩනැඟී තිබෙන අර්බුදය බොහෝ අවස්ථාවලදී කවියන් තමාගේ වස්තු විෂය කරගෙන කවි ලියලා තියෙනවා. ඒ බොහෝ කවි අතර ඒ විෂය සම්බන්ධයෙන් චින්තක ලියූ මේ කවිය තුළ මගේ හිත නවතිනවා.කෙසේ වෙතත් ඉහත කවිය අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ ඉතාමත් සරලව මේ අර්බූදය ඉතාම මැනවින් දරුවාගේ දුෂ්ටියෙන් ඉදිරිපත් කර තියනවා. ඔහු ඔහුගේ නිර්මාණ තුළින් තමන්ගෙ නිර්මාණ වෙත පාඨකයාව ඇද බැඳ තබා ගන්න සමත්.

    නිර්මාණකරුවෙකුට අපට සීමාවන් දාන්න බැහැ. යා යුතු මග කියා දෙන්න බැහැ. පාඨකයන් හැටියට නිර්මාණ රස විඳපු පුද්ගලයන් හැටියට අපට පුළුවන් අපගේ අදහස ඒ නිර්මාණය පිළිබඳව ඉදිරිපත් කිරීමට පමණයි. මට හිතෙන විදිහට චින්තක උත්සාහ දරන්නේ තමන්ගේ නිර්මාණ තුළින් සමාජය ප්‍රශ්න කරන්නට නෙවෙයි පාඨකයාව පුද්ගලිකවම තම තමන්ගේ හෘද කුටි තුළ සඟවා ලන්නට කියයි.

    හිල්මි සුපුන්

     

  • කිනුරු තටුවක කතාව

    කිනුරු තටුවක කතාව

    මේ ලෝකෙ බහුතරයක් ගෑණුන්ට තියෙන්නෙ එකම හැඩය.
    ඒ අස්සෙ දෙවියො වෙනස් කෙනෙක් මවනවනම් ඒ වැරදීමකින් වෙන්න බෑ .
    එහෙම ගැහැණියකට පියාඹන්න හිතුනොත් ඒකි පියාඹනව .
    ඒක ආයෙ සක්කරයටවත් නවත්තන්න බෑ .
    වැරදීම වෙලා තියෙන්නෙ දෙවියො අතින් නෙවෙයි , මිනිස්සු වෙච්ච අපි අතින්මයි.
    උඹට තියෙන්නෙ තටු දිගහැරල හුළග බදාගන්න විතරයි .
    පියාඹන එක හීනයක් නෙවෙයි බං …..

    ඒ නාමලී පෙරේරාගේ (මලී) කිනුරු තටුවෙන් ගලවා ගත් පුංචි පිහාටක් . කිනුරු තටුවෙන් පුංචි පිහාටුවක් ගලවලා ඒකෙ උණුසුම ගැන අපි කියන්න යන්නේ නැහැ ,පිහාටුවෙන් අපිට තට්ට ගැන පුංචි අදහසක් ගන්න පුළුවන්.

    ඔවු ඒ උණුසුම් අදහස ඔබ සමීපයට ගෙන එන්න අපිට පුළුවන් , නමුත් කිනුරු තටුවක උණුසුම ඔබට දෙන්න අපිට බැහැ . ඒ නිසයි අපි ඔබට ආරාධනා කරන්නේ සැප්තැම්බර්  13 වැනිදා කිනුරු තටුවක උණුසුම විඳගන්න එන්න කියා හොරණ නගර සභා ශාලාවට සවස 2.00 ට. කිනුරු තටුවක දෙසුම් මාධ්‍යවේදී විමල් කැටපේ ආරච්චි සහ නුවන් හෙට්ටිආරච්චි

    විවර අපි සමඟ  අත්වැල් බැඳගෙන කලක් සිට විවර ළමා කතාවෙන් පුංචි දරු දැරියන්ගේ මනස පෝෂණය කරන්න දායකත්වය සැපයූ හොඳම දේ තෝරා පරපුරක අනාගතය ආලෝකමත් කරන්නට වෙහෙස වූ මලී ඔබගේ කුළුඳුල් සාහිත්‍යමය ව්‍යායාමයට විවර අපගේ සුභ පැතුම්.

     

  • ” හිතක් නැති හිතක් ” ඔබ එනතුරු මඟ බලන්

    ” හිතක් නැති හිතක් ” ඔබ එනතුරු මඟ බලන්

    දමින්ද විරකෝන්ගේ ” හිතක් නැති හිතක් ” කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම සැප්තැම්බර් 13 වන ඉරිදා සවස 3.00 ට ප්‍රලේඛනාගාර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත් වෙනවා .

    කවියට හිතැති කවියට ආදරෙ කවි කියවන ආදරණිය ඔබට මේ ඇරයුම ආදරය අහුලන් ආදරය මළු පුරවන් යන්න ….

  • කසුන් සමරතුංග හදවත සිදුරු කළ තැනින් උපන් තීරු ලිපි එකතුව “මධුසරය”

    කසුන් සමරතුංග හදවත සිදුරු කළ තැනින් උපන් තීරු ලිපි එකතුව “මධුසරය”

    අද අපි කතා කරන්න යන්නේ මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටියගේ තීරු ලිපි එකතුව පිළිබඳව. ඔහු පුවත්පත් තීරු ලිපි රචකයෙක්. ඊටත් ප්‍රථම ඔහු කවියෙක්. කවි පොත් දෙකක් ජනගත කර කතාබහට ලක්වෙච්ච මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය තව නොබෝ දිනකින් ‘රැස’ පුවත්පතට ලියූ තීරු ලිපි එකතුවක් “මධුසරය” නමින් ජනගත කරන්න සූදානමින් සිටිනවා.

    අපි කතාව පටන් ගන්නෙ ළඟම ප්‍රශ්නේන් . කවදද? කොහොමද? “මධුසරය” පාඨකයා අතට එන්නේ?

    සැප්තැම්බරය කියන්නෙම සාහිත්‍ය සඳහා වෙන්කළ මාසය. ඉතිං මේ මාසෙ කෙරෙන කලා කටයුතු බොහෝමයි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සහ විවිධ අභිනව කෘති එළිදැක්වීම් කටයුතු ඒ අතර සුවිශේෂී යි. එම කටයුතුවලට සමගාමීව “මධුසරය” තීරු ලිපි සංග්‍රහයත් පාඨක දෝතට ගෙන එන්න අවශ්‍යය කටයුතු මේ දිනවල සංවිධානය කරගෙන යනවා.

     ඔබව සමාජය හඳුනාගෙන හිටියේ කවියෙක් හැටියට. පසුකාලීනව ඔබ තීරුලිපි රචකයෙක් හැටියට කලඑළි බහිනවා. ඒ සඳහා අඩිතාලම නිර්මාණය වෙන්නෙ කොහොමද?

    මට තීරු ලිපි ලියන්න ආසාවක් ඇතිවුණේ අහම්බෙන් කිව්වොත් නිවැරදියි. හරියටම ඒ 2017 අවුරුද්දෙ. මා විසින් ජනගත කළ පළමු කවි පොත ‘එකසිය තිස් අට’ වෙනුවෙන් කසුන් සමරතුංග සහෝදරයා ඇත්ත පත්තරේට විචාරයක් ලියලා තිබුණා. ඒකෙ හෙඩිම මට මතක විදියට ‘තාරුණ්‍යයේ අපේක්ෂා භංගත්වය හෙවත් 138’. ඇත්තටම ඒක කියෙව්වාට පස්සෙ තමයි මට තීරු ලිපි ලියන්න ආසාවක් ඇතිවුණේ. ඒකේ හෙඩිමේ ඉඳලා තිබුණු හැම අකුරකටම මගේ හිත ගියා. ඒත් එක්කම මගේ අතට පත්වුණා කසුන් සමරතුංග සහෝදරයාගේ ‘නොසන්සුන් මොහොතක හීනයක්’ කවි පොත. ඒකෙ තිබුණු බොහෝ කවි මට දැනෙන්න ගත්තා. නොදැනුවත්වම වගේ මගේ අතින් එම පොත වෙනුවෙන් ලිපියක් ලියැවුණා. ඒකේ හෙඩින් එක විදියට මම යෙදුවෙ ‘සන්සුන් මනසක නොසන්සුන් මොහොතක හීනයක්’ කියලා. ඊට පස්සෙ මම ලිව්ව ලිපිය ඒ දවස්වල තිබුණු රැස පත්තරේ සංස්කාරකවරයෙක් විදියට කටයුතු කරපු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර මහත්මයාට යැව්වා. එතුමා එය තෝරාගෙන 2018 ඔක්තෝබර් මාසේ 05 දින නිකුත්වුණු රැස පත්තරේ පලකළා. ඒක තමයි මම ලියපු පළමුවෙනි තීරු ලිපිය. එතැනින් ආරම්භ කළ පත්තර චාරිකාව තුළ තීරු ලිපි හතලිහකට අධික ප්‍රමාණයක් මාතින් රැස පත්තරේට ලියැවුණා. ඒත් එක්කම බොහෝම අවාසනාවන්ත විදියට 2019 අවුරුද්දෙ අග භාගයේ රැස පත්තරේ වැහිලා ගියා. ලියන්න අවස්ථාවක් නැතිව ඉන්නකොට මව්බිම පත්තරේ සුසිල් සුරවීර මහත්මයා මව්බිමට ලියන්න මට ආරාධනා කළා. දැන් ‘මධුසරය’ යන නමින් ඉරිදා මව්බිම පත්තරේට සුපුරුදු පරිදි තීරු ලිපිය සම්පාදනය කරගෙන යනවා. රට තුළ පැවතුණු කොවිඩ් තත්වයත් එක්ක ටිකක් ලිපි පලකිරීම අඩාල වෙලා තිබුණා පසු ගිය කාලයේ. ඉදිරියට එම තත්වය සාමාන්‍යකරණය වේවි.

     ‘කවිය සහ තීරු ලිපිය’ මේ දෙක අතර වෙනස කොහොමද හඳුනාගත්තේ?

    මම මේ කලා මාධ්‍ය දෙක අතර වෙනස මට අනුව පැහැදිලි කරන්නම්. ඇත්තටම මගේ මුල් ප්‍රකාශන මාධ්‍යය වුණේ කවිය. කවියට මං බොහෝම ආදරෙයි. මොකද කවිය කියන්නේ මා තුළ නිරුත්සාහයෙන්ම ගොඩනැගෙන දෙයක්. මම කවිය පිළිබඳව අධ්‍යනයේ යෙදුනත්, කවි ලියන්න ඉතාමත් අපහසු ප්‍රයත්නයක් දරන්නේ නැහැ. මා නොදැනුවත්වම පැළයක් දලු, කොළ ලා වැඩෙන්නාක් මෙන් කවිය මා තුළ ගොඩනැගෙනවා. තීරු ලිපි ලියද්දි එහෙම නෙවෙයි. ඒකට සුවිශේෂී ප්‍රයත්නයක් දරන්න වෙනවා. අපි ලියන විශය සම්බන්ධයෙන් විවිධ මාර්ගයන්ගෙන් විශ්වාසදායක තොරතුරු සොයා යන්න අපිට සිද්ධවෙනවා. පොත පත, ලිපි ලේඛන, වෙබ් අඩවි වැනි මූලාශ්‍රයන්ගෙන් පමණක් නොවෙයි ඒ හා සබැඳි පුද්ගලයින්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීමට පවා ඇතැම් විට රචකයාට සිද්ධවෙනවා. තවදුරටත් විග්‍රහ කළොත් ප්‍රාථමික, ද්වීතියික කියන දෙඅංශයේම තොරතුරු භාවිතා කරන්න සිද්ධවෙනවා තීරු ලිපි රචනයේදී. ඒ වගේම කවිය තුළින් තම පරිකල්පන ශක්තිය උපයෝගීකරගනිමින් පුළුල් අත්දැකීම් වපසරියක් සමාජය වෙත නිරාවරණය කරද්දි තීරු ලිපිය තුළින් ඊටවඩා පටු අත්දැකීම් වපසරියක් වුණත් ශක්තිමත් ලෙස නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා කියලා ඇතැම් අවස්ථාවල හිතෙනවා. කොහොම වුණත් කවිය, තීරු ලිපිය කියන කලා මාධ්‍ය දෙකම ඉතාමත් වටිනා කාර්යයභාරයක් කළහැකි ප්‍රවේශ දෙකක් කියලා මම තරයේ විශ්වාස කරනවා.

     

    මිනිස්සුන්ට ළං වෙන්න වඩාත්ම හොඳ මාධ්‍ය ලෙස තෝරා ගැනීමක් තියෙනවද? වෙන්කර ගැනීමත් තියෙනවද?

    මා තුළ සුවිශේෂී තෝරාගැනීමක් නැහැ. කවිය, තීරු ලිපිය කියන කලා මාධ්‍ය ද්විත්වය තුළ ම සමබර ලෙස යෙදෙන්න මම උත්සාහ ගන්නවා. නමුත් මෑත කාලීනව කවිය තුළ සෙසු කලා මාධ්‍ය තුළ සිදු වූ වර්ධනයට වඩා වැඩි වර්ධනයක් සිදු වුණා කියලා කියන්න පුළුවන්. කවිය සහ කවියා පිළිබඳව වැඩි වශයෙන් ජනතාව අතර කතාබහට ලක්වුණා. කවිය කේන්ද්‍රකොටගනිමින් ‘ඉලන්දාරි හැන්දෑව’ වැනි ටෙලිනාට්‍ය නිර්මාණය වුණා. ඇතැම් ටෙලිනාට්‍ය තුළ නවක කවියන්ගේ කවි භාවිතා වුණා. ජාතික රූපවාහිනියෙ ‘සිහිනයකි රෑ’ වැනි වැඩසටහන් තුළ කවියාට සහ කවියට වැඩි ඉඩක් වෙන්වුණා. ඇතැම් විවේචනයන්ට ලක්වන රේඩියෝ වැඩසටහන් තුළ පවා ෆේස්බුක් හි ලියැවෙන කවි ප්‍රචාරය වුණා. ඉතිං මේ සියලු දේවල් වලින් පෙනෙන්නට තිබෙන්නේ කවියෙහි වූ නැගීම. ඒ වගේම තීරු ලිපිය සම්බන්ධයෙනුත් මෑත කාලීනව යම් තරුණ ලේඛක සහභාගීත්වයක් දකින්න පුළුවන්. ළහිරු කිතලගම, කසුන් සමරතුංග වැනි දක්ෂ තරුණ තීරු කරුවන්ගේ ආගමනය ඒ තුළ සුවිශේෂීයි.

     කවිය පුවත්පත් කලාව තුළ ඔබ ඇවිද යද්දී  හමුවෙච්ච පරමාදර්ශී චරිත තියනවද?

    අනිවාර්යයෙන්ම. මම ආධුනික ලේඛකයෙක්. මා වැනි ලේඛක ලේඛිකාවන්ගේ ලේඛන දිවියේ ඉදිරිපැවැත්ම උදෙසා වචනයකින් හෝ සහයෝගයක් දුන් අය පරමාදර්ශී චරිත විදියට මා හඳුන්වන්න කැමතියි. ඒ වචනය සාර්ථක තැන් පෙන්වාදීමක් හෝ අඩුපාඩු පෙන්වාදීමක් වෙන්න පුළුවන්. එහෙම බැලුවොත් ප්‍රවීන හෝ නවක භේදයකින් තොරව හඳුනාගත් පුද්ගලයින් කිහිපදෙනෙක් ම ඉන්නවා. ඒ අතරින් පුවත්පත් කලාවට ම සම්බන්ධ වටිනා පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් මගේ හිතේ සුවිශේෂී ස්ථානයක රැඳී තියෙනවා. එක්කෙනෙක් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර. අනිත් පුද්ගලයා මව්බිම උප සංස්කාරක සුසිල් සුරවීර මහතා. මොකද තිඹිරියාගම බණ්ඩාර මහත්මයා කියන්නේ පරිධියේ සාහිත්‍යය කරුවන්ට නිරන්තරයෙන් අත හිත දෙන්නෙක්. සුසිල් සුරවීර මහත්මයා කියන්නේ පත්තරයක් වැහිලා එවැනි රචකයෙක් නිහඬ වෙන්න යද්දි තමන් වැඩකළ මව්බිම පත්තරේට කතාකරලා නව බිමක් නිර්මාණය කරදුන්නු වටිනා පුද්ගලයෙක්. එම නිසා ඔවුන් දෙදෙනා මට ඉතාමත් සුවිශේෂී යි.

    මං දන්න හැටියට ඔබ දේශපාලන තීරු ලිපි රචකයෙක් නෙවෙයි. කලින් කලට පවතින දේශපාලන බලාධිකාරිය විසින් මාධ්‍යයට සහ මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල කරනවා. ඒක මේ මොහොතෙත් වෙනවා. සමහර මාධ්‍යවේදීන් ස්වයංව මේ බලපෑමට යටත්ව දේශපාලන බලාධිකාරියට හානි නොවන ආකාරයෙන් තමන්ගේ පෑන් අසුරනවා. සමහරු ඊට අභියෝග කරමින් පවතින යථාර්ථය ජනගත කරනවා . ඔබ අත්දැකීම් ටිකක් එකතු කරගත්තු සැලකිය යුතු කාලයක් ලියන කෙනෙක්. තරුණ මාධ්‍යවේදියෙක් හැටියට දේශපාලනික මාධ්‍ය මර්දනය කොතැනින්ද විග්‍රහ කරගන්නේ.

    දේශපාලනික මාධ්‍ය මර්දනය ගැන කතා කරද්දි බොහෝ දෙනා තලුමරන්නේ රිචඩ් ද සොයිසා ඝාතනයේ ඉඳලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන්වීම දක්වා වූ කාල පරාසය තුළ අත්දැකපු, අත්විඳපු සිදුවීම් සමුදාය. නමුත් වර්ථමානයේ ඉන් එහා ගිය මාධ්‍ය මර්දනයක් අපට නොදැනුවත්වම සිදුවෙනවා. අපි දේශපාලන මාධ්‍ය මර්දනය කියන දේ විග්‍රහ කරගන්න ඕන එක සිදුවීමක්, දෙකක් දිහා බලලා බොහෝම ක්ෂුද්‍ර විදියට නොවෙයි. මොකද වක්‍රාකාරයෙන් දැවැන්ත මාධ්‍ය මර්දනයක් අපගේ ඇස්පනාපිටම සිදුවෙනබව පෙනෙන්නට තිබෙන නිසා. විවිධ දේශපාලන පක්ෂවල මථවාද ඔලුව උඩ තබාගත් රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, පුවත්පත්, යූ ටියුබ් නාලිකා බොහෝ ප්‍රමාණයක් අද බිහිවෙලා තියෙනවා. මේ මාධ්‍ය ආයතනවල වැඩකරන මාධ්‍යවේදීන්ට නියම ජනමාධ්‍ය පිරිවිතරයන්ට අනුව වැඩකරන්න අවශ්‍ය කරන නිදහස තියෙනවාද කියන එක ගැටළුවක්. විශ්වවිද්‍යාල තුළින් ජනසන්නිවේදනය හදාරා පිටතට පැමිණෙන පුහුණු වෘත්තිකයින්ට ස්වාධීනත්වයෙන් වැඩකරන්න අවශ්‍යකරන වාතාවරණයක් මෙම මාධ්‍ය ආයතන තුළ නැහැ. ඒ වගෙම විවිධ දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන්ට අනුව වැඩකිරීම විනා සැබෑ ජනතා ප්‍රශ්න කෙරෙහි සවිඥානික වෙන්න අවස්ථාවක් ලැබෙනවාද කියන එක ගැටළුවක්. මෙම මාධ්‍ය ආයතන තුළ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ගත්තත් ඒ ඒ දේශපාලන පක්ෂවල ඕනෑ එපාකම්වලට අනුව කටයුතු කරනවා විනා සැබෑ සේවක ගැටළු කෙරෙහි අවදානය යොමුකරනවාද යන්න පිළිබඳව දෙවරක් සිතාබලන්න සිදුවෙනවා. ඒ නිසා අපි මේ විශයෙදි රට තුළ සිදුවුණ එක් සුවිශේෂී සිදුවීමක්, දෙකක් පස්සෙ ම නොයා මේ විදියට පුළුල් ඇසකින් ගැටළුව දෙස බැලීම තුළින් පිළිතුරු සොයාගැනීම වඩාත් හොඳ හෙට දිනක් නිර්මාණය කිරීමේදි වැදගත් වේවි කියලා හිතනවා.

     “මධුසරයෙන් ”  පසු

    මධුසරයෙන් පසු කුමක් සිදුවේද කියලා තවම සැලසුම් කරලා නැහැ. එදිනෙදා සාහිත්‍ය කටයුතු ටික ඒ විදියටම කරගෙන යනවා. කවිය සහ තීරු ලිපිය කෙරෙහි සමබර අවදානයක් යොමුකරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මා ලියන එක් අකුරකින් හෝ පවත්නා ජන සමාජය අංශු මාත්‍රයකින් හෝ ඉදිරියට ගෙන ඒමට හැකිනම්, එය මා ලබන මහත් වූ වරප්‍රසාදයක් විදියට සලකනවා.

    හිල්මි සුපුන්
  • රම්සි රම්සි උඹ සිහි විය- උඹ දැන් නිදහස් වෙලා ද

    රම්සි රම්සි උඹ සිහි විය- උඹ දැන් නිදහස් වෙලා ද

    රම්සි රම්සි උඹ සිහි විය
    උඹ දැන් නිදහස් වෙලා ද
    හිරේට ගිය පසු මිනිහෙක්
    ඔය දේ අරුමයක් නොවේ

    රස්නේ පිට පාං බනිස්
    බේකරියෙන් බාන ගමං
    විකිනෙයි විකුණයි යහමින්
    සත්‍යය පශ්චාත්

    හිතෛෂයින්, නෑ මිතුරන්
    දේශපාලනික සොයුරුන්
    පිට වූ හඬ ගෙන විහඟුන්
    නො පෙනී දිය වී ජව බල

    වරද කාටවත් කාගෙද
    හිත තුවාල කර පල නැත
    හඩ නැගුවට පෑ විරෝධ
    සුළගේ ඇති ගීතයක් ය

    ඇති වෙන කං උඹ තැපපං
    උඹට නොවේ නීතියට ය
    උඹේ ගෑනි දෙමාපියන්
    විතරක් ඉඳහිට එනකං

    බලා ඉන්න එක සුන් වී
    නැත්තට නැති වෙන කොට උඹ
    දඬුවම අහවරක් වේවි
    බිංදුවෙන්ම පටන් ගනින්

    ඒ අතරේ උඹට ගොඩක්
    ඉගෙන ගන්න ඉඩ හදාවි
    නිදහස ආගමට වඩා
    කම්බි කූරු මඟ කියාවි

    රම්සි රම්සි උඹ මිනිහෙක්
    කුරානෙ උඹ හිස තිබ්බත්
    ආ පහු හැරිලා හිත වෙත
    වෙන්නට හැකි නම් නිදහස්

     

  • The Love Song of J. Alfred Prufrock by T. S. Eliot

    The Love Song of J. Alfred Prufrock by T. S. Eliot

    එහෙම නම් අපි යමු, ඔබයි සහ මමයි
    අහසට එරෙහිව සැන්දෑව පැතිරෙද්දී
    මේසය මත ඊතරගත කළ රෝගියෙකු මෙන්;
    අපි යමු, අර්ධ ශූන්‍ය වීදි තුලින්
    මුමුණන පසුබැසීම්
    එක රැයක් මිල අඩු හෝටලයක නිදි නැතිව
    බෙලි කටු සහිත ලී කුඩු තානායම්
    වීදි අනුව යති නීරස තර්කයක් මෙන්
    අභ්‍යන්තරික අරමුණෙන්
    ඉතා ප්‍රබල පැනයකට ඔබව ගෙන යන්නට
    ඔව්, නො අසන්න, ” එය කුමක් දැයි”
    අපි ගිහින් නරඹමු
    ගැහැනුන් යන එන කාමරය තුල
    මයිකල් ආන්ජෙලෝ ගැන කතා කරමින්

    ජනේල තහඩුව මත යලි එහි අතුල්ලන කහ මීදුම,
    ජනේල තහඩුව මත හොම්බ අතුල්ලන කහ දුම
    හැන්දෑ අහුමුළුවලට එහි දිව ලෙව කන,
    විල්වලින් පිටත ඇති කාණුවල කල් පවතින,
    දුම් කවුළුවලින් පිටවන දුමාරය යලි වැටෙන්නට ඉඩ හැර
    ටෙරාසෙන් ලිස්සා යන, සැනින් පිම්මක් පනින,
    සොඳුරු ඔක්තෝබර් රාත්‍රියක් ලෙස දකිමින්,
    නිවස වට එක්වරක් කැරකී, නින්දට වැටුණු.

    සැබැවින්ම කාලය පැමිණේවි
    වීදිය දිගේ විනිවිදින කහ දුමාරයට,
    ජනේල තහඩුව මත ආයෙත් අතුල්ලන
    කාලය පැමිණේවි, කාලය පැමිණේවි
    ඔබට හමුවන මුහුණු හමුවීමට සූදානම් වන්න
    ඝාතනය කරන්නට ද නිර්මාණය කරන්නට ද කාලය පැමිණේවි
    දින ගැන ද වැඩ ද ගැන බලපෑම්කිරීමට කාලය පැමිණේවි
    එය ඔබේ පිඟාන මතට පැනයක් කර වැටෙනු ඇත;
    කාලය ඔබට ද කාලය මට ද,
    කාලය තවමත් අනුමානයන්ය සියයක් දෙනෙකුට

    සියයක අදහස් ද පුනරීක්ෂණ ද,
    තේ එකක් පාන් පෙත්තක් ගන්නට පෙර.

    කාමරය තුල යන එන ගැහැණු
    මයිකල් ආන්ජෙලෝ ගැන කතා කරමින්

    සැබැවින්ම කාලය පැමිණේවි
    විශ්මිත වීමට, “මම සූදානම් ද?” “මම සූදානම් ද?”
    කාලය ආපසු හැරෙන්නට ද පඩිපෙළ බසින්නට ද,
    මගේ හිස මැද තට්ටයක් සහිතව-
    (ඔවුහු කියති: ” කොහොමද එයාගෙ හිස තුනීවෙන හැටි”)
    මගේ උදේ කබාය, හරියටම නිකට සැකසෙන කොලරය,
    පිළිවෙළට ඇති මගේ ටයි පටිය, නමුත් සරල පින් එකකින් යුතු-
    (ඔවුහු කියති: ” එයාගේ අත් කකුල් කොමපණ කුඩාද”)
    මම සූදානම් ද
    විශ්වය බාධා කරන්නේ ද?
    මිනිත්තුවකින් කාලය පැමිණේවි
    මිනිත්තුවකින් ආපස්සට කැරකෙන තීරණයන්ට සහ පුණරීක්ෂණයන්ට

    මේ වනවිටත් ඔවුන්ව මම දන්නා බැවින්, ඔවුන් හැමෝම දන්නා:
    සැඳෑවන්, උදේ කාලයන්, මධ්‍යාහනයක් දන්නා
    කෝපි හැඳි එක්ක මගේ ජීවිතය මම මැන ඇති;
    මම දනිමි මැරී ඇද වැටීමත් සමඟ මැරෙන ශබ්ධයන්
    එහා කාමරයක සංගීතයක් යට.
    ඉතින් මම කෙසේ විශ්වාස කළ යුතු ද?

    එවිටත් මම ඇස් දැන තිබේ, ඔවුන් හැමෝම දන්නා-
    පිළිවෙළට සැකසූ වැකියකින් ඔබට ගැලපෙන ඇස්,
    මාව සකසන විට, ඇණයක් මත දිගහරිමින්,
    බිත්තිය මතට හරවමින් මාව ඇණ ගසන විට,
    එවිට මම කෙසේ පටන්ගත යුතු ද
    මගේ දවස් සහ ගිය තැන්වල සියළු දෑ වමාරන්නට?
    මම කෙසේ විශ්වාස කළ යුතු ද?

    දැනුත් මම දනිමි, ඒ හැම දෙයක්ම දැනගත්-
    මාංචු දැමූ අත් සුදු නිරුවත්

    (නමුත් ලාම්පු එලියේ, ලා දුඹුරු හිස පහත්කරගත්!)

    එය ඇඳුමකින් එන සුවඳ ද
    එය මාව මෙතරම් පිටමං කරයි ද?
    මේසයක් දිගේ වතුරන අවි, නැතිනම් සාළුවකින් ඔතන.
    මම අනුමාන කළ යුතු ද එසේනම්
    කොහොම මම පටන් ගන්න ද

    මම කියන්න ද, මම ගියේ දූවිලි ඇති පටු වීදියක කියා
    පයිප්පයෙන් නැගෙන දුම් බැලිමි
    කමිස අත් තුල හුදෙකලා මිනිසුන්ගේ, ජනේල්වලින් එලියට හේත්තු වූ ?

    මට පරණ අඬුවක් තිබිය යුතුව තිබුණි
    නිහඬ සයුරුවල බිම හිල් කරන්නට

    දවල් කාලය, සැන්දෑව, බොහෝ සාමකාමීව නිදයි!
    දිගු ඇඟිලිවලිින් සෞම්‍ය කරයි,
    නින්දක…වෙහෙසටපත්ව.. නැතිනම් බොරු නින්දක
    බිම දැගෑරී, මෙහි ඔබ සහ මට පසෙක
    මම පටන් ගත යුතු ද, තේ කේක් සහ අයිස්වලින් පසුව
    ගැටුම එන මොහොතට බල කරන්නට ශක්තිය තිබේ ද?

    මම අඬා වැළපී බඩ ගින්නේ සිටිය නමුත්, හඬා වළපී යාඥ්ඥා කළත්,
    මම මගේ හිස (යන්තම් තට්ටය පෑදී) පිඟානක් මතට ගෙනෙනු දුටුවත්,
    මම ඉසිවරයෙකු නොවෙමි- මෙතනට එය වැදගත් නොවේ;
    මම දැක ඇත්තෙමි මගේ ශ්‍රේෂ්ඨත්වයේ මොහොත දැල්වෙනු,
    මම දුටුවෙම් මගේ කබායෙන් අල්ලන සර්වකාලීන ෆුට්මෑන් ද තොන්ඩුව ද
    කොටින්ම, මම බයයි.

    ඒකට වටිනාකමක් වෙද, ඉන් පසුව
    කෝප්පවලට පසුව, ජෑම්, තේ,
    පිඟන් කෝප්ප අතර, ඔබ මගේ සමහර කතා මැද,
    එය වටිනාකමක් තියේ ද,
    මදහසකින් කාරණය හපා ඉවත ලන්න,
    බෝලයකට විශ්වයම මිරිකන්න,
    කියන්නට: “මම වෙමි ලසාරුස්, මරණයෙන් පැමිණි,
    ඔබට සියල්ල කියන්නයි පැමිණියේ, මම ඔබට සියල්ල පවසන්නම්”-
    කෙනෙක් නම්, ඇගේ හිසෙන් කොට්ටයක් සැහැල්ලු කර

    කිව යුතුයි: “කොහෙත්ම මා අදහස් කළ දෙය නො වෙයි;
    එය නොවේ එය, කොහෙත්ම”
    මම හිතන දේ එය නොවේ, කොහෙත්ම

    නෑ! මම හැම්ලට් කුමරු නොවෙම්, හිතන්නට ඉඩ නැ.ත;
    සම්බන්ධ ප්‍රභූවරයෙක්, කෙනෙකු එය කරාවි
    වටිනා ප්‍රගතියකට, දර්ශනයක් දෙකක් අරඹන්නට,
    කුමරාට උපදේශ දෙයි; නිසැකවම, ලේසිම දෙයකින්,
    වෙනස්කම, භාවිතයට ඇති සතුට,
    දේශපාලනික, සුරක්ෂිත, හා විශේෂිත
    තදබල දඬුවම, නමුත් ටිකක් ලිහිල්;
    එවෙලේ දී, සැබැවින්ම, හරිම මෝඩ/
    හරියටම, එවෙලේ දී, මෝඩයා ය

    මම වයසට යමි… මම වයසට යමි..
    මම අඳින්නෙමි මගේ ඔතා ඇති කලිසම්වල වාටි

    මගේ හිස පිටු පසට වෙන් කරන්න ද? පීචි ගෙඩියක් කන්න මම එඩිතර ද?

    මම සුදු පැනල් කලිසම අඳින්නම්, වෙරළ දිහාවට ඇවිදින්නම්.
    කිඳුරියෝ ගී ගයනු මට ඇසී ඇත, එකිනෙකාට

    මම නොසිතමි ඔවුන් මට ගී ගයාවි කියා

    රැළි මත මුහුද දෙසට ඔවුන් පැද යනු දැක ඇත
    යළි හමන රැළිවල සුදු හිස් පීරමින්
    කළු සුදු වතුරට සුළඟ හමානා විට
    සයුරු තැන තැන අපි නැවතී සිටියෙමු
    රතු දුඹුරු මුහුදු පැළවලින් මල්මාලා පැළඳි සයුරු යුවතියන් අසළ
    මිනිස් හඬින් අප අවදිකර ගිල්වනා තුරු