Tag: poem

  • වසරක අවසන් සහ අරම්භක තත්පර අතර

    වසරක අවසන් සහ අරම්භක තත්පර අතර

    ආචාරශීලී ගෞරවයෙන්
    ශෝකය පිරි හදින්
    සමු දෙමි ඔබට

    බොහෝ ශෝකාන්ත
    අතීතය කරා ගෙනයන
    මගේ ජීවිතේ කොටසක් ද
    රැගෙන නික්ම යන ඔබට
    කෝපයෙන් තොරව සමුදෙමි

    මේ රාත්‍රිය
    මා සමඟ ඔබ ගෙවන
    අවසන් තත්පරයයි
    තව මොහොතකින්
    ඔබ මිය ගිය අතීතයයි
    මා සුබපැතුම් ලත් අනාගතයයි

     

  • ජනකාන්තවාදයේ චම්පික සූත්‍රය

    ජනකාන්තවාදයේ චම්පික සූත්‍රය

    පාඨලී චම්පික රණවක මහතා සිය දේශපාලන මතවාදය නම් කරන්නේ ප්‍රායෝගිකතාවාදයක් (pragmatism) ලෙසය.එය යළි සනාථ කරමින් දෝ ඔහු ඇතුළු ක්‍රියාකාරී කණ්ඩායම හෙළ උරුමය පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමක් පසුගිය 12 දා සංකේතාත්මකව සිදු කරන ලදී. සිය නව හැරවුම පිළිබදව ඔහු ඇතුළු පාර්ශවය දක්වන අදහස වන්නේ නව ජාතික සමාජ බලවේගයක් ගොඩනැගීමේ අරමුණෙන් ගත් තීරණයක්ය යන්නයි. බොහෝදුරට එම තීරණයේ ආසන්න අරුත වන්නේ සමගි ජන බලවේගය නිශ්චිත පක්ෂ ව්‍යවස්ථාවකට අනුව ගොඩ නගමින් තමා එහි ඉහළ නායකත්ව නියෝජනයක් ලෙස ස්ථාන ගත වීම බව දැනට ඇසෙන දේශපාලන ආරංචි මාර්ගයන්ගේ අදහසයි .ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් බලාධිකාරයට තිබූ දකුණේ ජනතා ආකර්ෂණය සැලකිය යුතු තරමින් බිදවැටෙමින් ඇති යථාර්තයක චම්පික ඇතුළු පිරිස ගත් මෙම හදිසි තීරණය ඉදිරි විපාක්ෂික දේශපාලනයේ පෙළගැසීම පිළිබද යම් තීරණාත්මක නිවේදනයකි.

    චම්පිකලාගේ අලුත් පසමිතුරුතාවය

    චම්පික රණවක මහතා මෑත කාලය පුරාම තම කණ්ඩායමේ අනාගත දේශපාලන න්‍යාය පත්‍රය නව පසමිතුරු කතිකාමය බෙදීමක පිහිටුවමින් ඇති බවක් නිරීක්ෂණය වේ. ඔහුගේ වචන වලට අනුව එම බෙදුම් රේඛාව යනු “ගජමිතුරු වංශක්කාර මංකොල්ලකරුවන්ට එරෙහිව කුසලතා හා නිපුණතා පූර්ණ පරපුරක අභිලාෂයන් ජයග්‍රහණය කරවීමයි. “වංශක්කාර මංකොල්ලකරුවන්” ලෙස වන ඔහුගේ මෙම නාමකරණයේ ආසන්න දේශපාලන පසමිතුරු අනෙකා වන්නේ රාජපක්ෂ බල හවුල බව පැහැදිළිය.ඊට එරෙහිව ඇති අක්ෂය ලෙස ඔහු දක්වන්නේ පහළ සමාජ ස්ථරයන්ගෙන් පැන නැග ‘නිදහස් අධ්‍යාපන විප්ලවය’ නිසා සමාජ නිපුනත්වය හා බුද්ධිමය ශක්‍යතා අත්කර කරගත් නමුත් පවතින ප්‍රභූ (වංශක්කාර) ආධිපත්‍යය විසින් ආන්තික කෙරුණු අද දවසේ ශේෂ පරම්පරාවයි. මින් අනියම්න් කියැවෙන්නේ තමා (චම්පිකලා) නියෝජනය කරන සමාජ ශ්‍රේණියක් පිළිබදවයි.

    සිය ඉදිරි දේශපාලන අධිෂ්ඨානය වෙනුවෙන් චම්පිකලා සංවිධානය කරමින් තිබෙන මෙම ජනප්‍රිය පසමිතුරුතාවය පිටුපස තිබෙන්නේ ඔහු සිය දේශපාලන දර්ශනය යැයි වහරන ‘ප්‍රායෝගිකතාවාදය’ පිළිබද සලකුණක්ද ? චම්පිකගේ ‘ප්‍රායෝගිකතාවාදය’ සරල මතික අවස්ථාවාදයකට මුළුමනින්ම ඌනනය කළ නොහැකි එක්තරා අඩංගුවක් ඇත. එය වනාහී සිය දේශපාලන උපමාරු සදහා යම් දෘෂ්ටිමය න්‍යායික සුජාතබවක් ලබාගැනීමට ඔහු දක්වන නැඹුරුව යැයි කිවහැකිය. චම්පික ඇතුළු කණ්ඩායම යනු ගෝලීය-ලංකා බුද්ධිමය දේශපාලන ප්‍රවනතා පිළිබද යම් සෙවිල්ලකින් යුතු පිරිසකි. එ’නිසා සිය දේශපාලන උපක්‍රම තේරීම් හුදු ‘අවස්ථාවාදයක්’ ලෙස නොපෙනෙන අයුරින් දෘෂ්ටිමය ලෙස පින්තාරු කිරීමට ඔවුන් දක්ෂය.චම්පික සිය දේශපාලනය අවස්ථාවාදයක් නොව ප්‍රායෝගිකවාදයක් ලෙස වෙන් කර දැක්වීමේ හැකියාව ලබාගන්නේ මෙම බුද්ධිමය වරපත්‍රය හරහාය. ඊට එක් කදිම සාක්ෂියක් වන්නේ ‘ලිබරල්වාදයේ අවසානය’ නමින් ඔහු මෑත කාලයේ ලියූ ලිපියකි.වාමාංශික ජනප්‍රියවාදය/ජනතාවාදය (Left Populism) නමින් අප මෑත ලංකාවේ වාම බුද්ධිමයට සංවාදයට එක් කළ හා අද දවසේ ගෝලීය වාම බුද්ධිමය පර්ෂද තුළ නැවුම් ලෙස සාකච්චා වන ‘ජනප්‍රියවාදය’ නම් වූ ප්‍රවනතාවය ගැන චම්පික එහිදී සිය අවධානය යොමු කර ඇත. එම සටහන ඔහු අවසන් කරන්නේ මෙසේය.(මෙහි Populism යන පදයට ඔහු දෙන වචනය වන්නේ ‘ජනකාන්තවාදය’යි)

    // දැන් යුරෝපයේ හා පොදුවේ ලෝකයේ ඇත්තේ ප්‍රධාන දේශපාලන චින්තනමය දහරා දෙකකි.

    – දක්ෂිණාංශික ජනකාන්තවාදය (Rightwing Populism)

    – වාමාංශික ජනකාන්තවාදය (Leftwing Populism)

    දක්ෂිණාංශික ජනකාන්තවාදීන්ගේ නායකයින් දෙපළ ඩොනල්ඩ් ට්‍රම්ප් හා බොරිස් ජොන්සන් ය. ඔවුන් පවතින ආර්ථික, පරිපාලනමය හා තාක්ෂණික ප්‍රභූ පන්තියට අභියෝග කරති. ඒ අතරේම සංක්‍රමණිකයන්, කළු හා මුස්ලිම් ජාතිකයන් බැහැර කරති. ගෝලීයකරණය වෙනුවට ආරක්ෂණවාදය යෝජනා කරති. ආගමික හා ජාතිකමය චින්තන මත පදනම් වෙති.

    වාමාංශික ජනකාන්තවාදීන්ද ප්‍රභූවාදය ප්‍රතික්ෂේප කරති. (ඉතාලි, යුක්රේන නායකයින්) නමුත් කිසිදු ජන කොටසක් බැහැර නොකරති. අව වරප්‍රසාදිත ජනයා මත හා ඔවුන්ගේ සුභසාධනවාදී බලාපොරොත්තු මත පදනම් වෙති.

    ආසන්නයෙන් ගතහොත් ලංකාවේ දක්ෂිණාංශික ජනකාන්තවාදය නොහොත් ට්‍රම්ප්වාදය ඇත්තේ රාජපක්ෂ කඳවුරේය.

    අනෙක් පසින් අව වරප්‍රසාදිත ජනයාගේ අභිලාෂ නියෝජනය කරන නිර්ප්‍රභූ දේශපාලනය ඇත්තේ සමගි ජනබලවේගයේ ය.

    මෙය අලුත් තත්වයකි. මෙය තේරුම් ගැනීම, තිස් වසරකට පෙර අවසන් වූ කොමියුනිස්ට්වාදය අදහන්නන්ටත්, අවසන් වෙමින් ඇති ලිබරල්වාදය අදහන්නන්ටත් දැන් අත්‍යාවශ්‍යය.//

    මංකොල්ලකාර වංශක්කාර පන්තියට එරෙහිව කුසලතා පූර්ණ නිදහස් අධ්‍යාපනයේ දරුවන් යන පසමිතුරුතාවය සලකුණු කිරීමේදී ‘වාම ජනප්‍රියවාදය’ ලෙස කතිකාගත කෙරුණු ඉහත බෙදුම් රේඛාව පිළිබද චම්පිකට යම් දැනුවත් බවක් තිබෙන බව පෙනෙයි. ජනප්‍රියවාදයේ මූලික කතිකාමය උපායමාර්ගය වන ‘ප්‍රභූ සංස්ථාපිතයට එරෙහිව ජනතාව’ යන බෙදීම චම්පික මෙහිදී ආසන්නයෙන් උපුටා තිබේ. චම්පිකගේ මේ මොහොතේ ප්‍රායෝගිකවාදය වැඩ කරන්නේ මෙකී හදිසි දේශපාලන සංවාදය කෙරෙහි වන සංවේදීතාවයකින් යුතුව බව මින් පෙන්නුම් කෙරෙයි .එහෙත් ඔහුට අවශ්‍ය වන්නේ එම නැවුම් සංවාදයේ මතුපිට රැල්ල පමණක් බව පෙනෙන්නේ එය සිය හදිසි දේශපාලන පෙළගැසීම සදහා ආයෝජනය කරනා රටාව ඇසුරෙනි.

    චම්පික විසින් වහරන ‘ප්‍රායෝගිකතාවාදය’ යන අදහසට යම් න්‍යායික හැඩයක් ඇත. ( ඊට චින්තන මැදිහත්කරුවන් වූයේ 19 සියවසේ අවසන් භාගය තුළ ඇමරිකාවේ සිටි සී.ඇස්.පියර්ස්,විලියම් ජේම්ස් හා ජෝන් ඩිව්‍යු වැනි අයයි). යම් අදහසක,සංකල්ප රාමුවක ,යෝජනාවක හා ප්‍රතිපත්තියක ඇති යහපත හා අයහපත විමසීම වෙනුවට එහි ක්‍රියාත්මක සාධ්‍යතාවය පමණක් අවධාරණය කිරීම ප්‍රයෝගිකතාවාදයේ ලක්ෂණය වේ. සංකල්පයක ඇති වැරදි නිවැරදි බව එහි සත්‍යාපනය (Verification) මගින් පමණක් සොයාගැනීම මින් සිදුකෙරෙයි.යම් සංයුක්ත විෂයයක් හදිසි ක්‍රියාවක් සදහා වන හුදු ආයුධයක් ලෙස පමණක් මෙහිදී යෙදවෙයි. ප්‍රතිඵල මුදුන් පමුණුවා ගැනීම සදහා ‘කළ යුතු දේ කිරීම’ හෝ ‘කරවා ගැනීම’ මෙහිදී මූලික වේ. අචල ප්‍රතිපත්ති හා පැහැදිළි න්‍යායක් වෙනුවට පවතින අද්දැකීමට හා ක්‍රියාවට හැඩ ගැසීම මින් අවධාරණය කෙරෙයි..

    චම්පිකගේ ජනකාන්තවාදය

    චම්පික මෙවර වාමාංශික ජනකාන්තවාදයක් ගැන වහරමින් තිබෙන්නේ ඔහුටම අනන්‍ය වූ ප්‍රායෝගිකතාවාදයේ ඊළග පියවර තැබීමේ අරමුණෙන් බව පෙනෙයි.අව වරප්‍රසාදිත ජන අභිලාෂ නියෝජනය කිරීමේ මේ මොහොතේ නිර්ප්‍රභූ දේශපාලනය පිළිබද අදහස ඔහු සමගි ජන බලවේගයට අන්දවා ඇති අයුරු ඔහුගේම වචනයෙන් මා ඉහත උපුටා තිබෙයි. ඊට සමාන්තරව ඔහු ජාතික හෙළ උරුමයේ නායකත්වය අතහැර සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාපිත ඉහළ නායක භූමිකාවක් වෙනුවෙන් චලනයක් ගෙන තිබෙන බව නිරීක්ෂණය වේ.ඒ අනුව සිය වත්මන් දේශපාලන පෙරමුණ වෙත වාම ජනකාන්තවාදයේ දෘෂ්ටිමය ආවරණයක් සැපයීමේ නායකත්ව භූමිකාවද ඔහු ප්‍රදර්ශනය කරන බවක් දක්නට ලැබෙයි.

    නව ග්‍රාම්ස්චියානු කණ්ඩායම විසින් වාමාංශික ජනප්‍රියවාදය/ජනතාවාදය යැයි හදුන්වන සංසිද්ධිය සංක්ෂිප්තව දක්වනවා නම් ඉන් කියැවෙන්නේ ‘ප්‍රභූ සංස්ථාපිතයට එරෙහිව ජනතාව’ යන බෙදුම් රේඛාවක් සටහන් කිරීමේ නව කතිකාමය උපාය මාර්ගයකි. නව ලිබරල්වාදයේ සම්මුතික දේශපාලනය නිසා නිපන් පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී තත්වයට ප්‍රතිචාරයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමේ මූලෝපායක් ලෙස එය නම් කළ හැකිය. එනම් සමානාත්මතාවය හා නිදහස අවධාරණය කෙරෙන සමාජ සාධාරණත්වයේ වාමාංශික ආදර්ශය මත පිහිටා යටපත්කරණයේ හා මර්දනයේ විවිධ මාදිලීන්ට එරෙහිව බහුවිධ විමුක්තීන් පොදු අදිටනක් වටා සන්ධාන ගත කිරීමේ උපායමාර්ගයකි.

    චම්පිකලාගේ පෙරමුණ දැන් කරන්නට යන්නේ එවැනි වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ද ? ‘අව වරප්‍රසාදිත ජනතාවගේ සුබසාධන පොරොන්දු’ හා ‘කිසිදු ජනතාවක් බැහැර නොකිරීම’ යන චම්පිකගේ වාගාලංකාරයන් වාමාංශික ජනප්‍රියවාදයේ ඉහත මූලික දැක්ම සමග මතුපිට සමාන කමක් පෙන්නුම් කළාට එම ජනප්‍රියවාදයේ මූලික හරය තුළ ඇත්තේ වාම රැඩිකල්කරණීය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයකි.”අව වරප්‍රසාදිත කුසලතා පූර්ණ පරපුරට හිමි තැන යළි ලබාදීමට” වඩා එය පුළුල් වාමගාමී ප්‍රතිපත්ති මත රැදී තිබෙයි.

    චම්පිකගේ ජනකාන්තවාදය තුළ ඇති ආර්ථික දැක්මට අනුව මූල්‍ය කතිපයාධිපත්‍යයට (Financial oligarchy) එරෙහි අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක් යෝජනා වන්නේ නැත.ඒ වෙනුවට ගෝලීය මූල්‍ය ආයතනයන් හා විදේශිය තන්ත්‍රයන් ගේ ණය මත දීර්ඝ කාලයක් යැපීම නිසා උද්ගත වූ ණය අර්බුදයේ තීව්‍රතාවය අවම කිරීමේ අදහස් පමණක් විවිධ ස්වරූපයන්ගෙන් ප්‍රකාශ වීම පමණක් සිදුවේ. ‘මංකොල්ලකාරී වංශක්කාරත්වයට’ එරෙහි වීමේ ප්‍රකාශයන්ගෙන් මහා ප්‍රාග්ධනයේ චලනයට හෝ ඉහළ ධන කුවේරයන්ගේ මූල්‍ය සමුච්චනයට සිදුකරන්නේ කුමක්දැයි කියැවෙන්නේ නැත.ඒ වෙනුවට යළි වර නැගෙන්නේ ඉහළ මූල්‍ය ආර්ථික තලය තුළ වන ප්‍රභූ ආර්ථික දූෂණය පිරි පහදු කිරීමේ උවමනාවක් පමණී.වෙනත් වටයකින් එය දූෂණ විරෝධී යහපාලන කතිකාව ප්‍රායෝගිකවාදී ස්වරූපයෙන් ප්‍රකාශමාන කිරීමක් යැයි ද කිව හැකිය. ඉහළ මාලයේ මූල්‍ය ආර්ථික ආයෝජනයන්ට ‘විනිවිදභාවයකින්’ යුතුව දිරි දීම හරහා එහි ප්‍රතිලාභ පහළ සමාජ ස්ථරයන්ට ප්‍රති ව්‍යාප්ත කිරීමේ ආර්ථික උපක්‍රමය හැර වෙනත් සාධරණ-සමානතා ආර්ථික දර්ශනයක් චම්පිකලා අතින් කියැවෙන්නේ නැත.’ජනතා ආර්ථිකය’ නමින් රාජපක්ෂ පාලනය අනුදත් ආර්ථික ප්‍රතිපත්තිය වූයේ ද මෙම ස්ථරායණීය කාන්දුකරණ ක්‍රියාන්විතයයි.රාජපක්ෂය හා සම්බන්ද වූ ගණුදෙනුකාර ඉහළ ව්‍යාපාරික-දේශපාලන කණ්ඩායම් මෙම ඉහළ මූල්‍ය-ආයෝජන තලය තුළ දූෂිත ප්‍රභූ පරපෝෂිත භූමිකාවක් අත්කරගෙන ඇති බව පැහැදිළිය.ඉහළ ආර්ථික ප්‍රතිලාභ සම්පාදන හා ධනෝපායන තලයේ ප්‍රභූන් වී හා වෙමින් ඇති පිරිස මංකොල්ලකාරී වංශවතුන් ලෙස චම්පික හදුනාගන්නා විට එය නිවැරදිය.එහෙත් තවත් ගනුදෙනුකාර ව්‍යාපාරික- දේශපාලන ස්ථරයක් මත ගොඩනැගී ඇති පෙරමුණක නායකත්ව නියෝජනයන් සහිත චම්පිකලා අතින් ඊට වඩා ගැඹුරු විකල්පයක් යෝජනා වීමට ඉඩක් නැත.

    වාමාංශික ජනප්‍රියවාදයේ / ජනතාවාදයේ අරගලය

    වාමාංශික ජනප්‍රියවාදයේ/ජනතාවාදයේ ආර්ථික-දේශපාලන අරගලය යනු ඉහත චම්පික දක්වන ‘ප්‍රායෝගිකතාවාදී’ ආර්ථික යෝජනාවන්ට වඩා සමාජ සාධාරණත්වයේ තියුණු අපේක්ෂා පෙරටු කර ගත් ඒවාය. පැහැදිළිවම නව ලිබරල් ධනවාදයට එරෙහිව විකල්ප දේශපාලන- ආර්ථික මොඩලයක් ඉදිරිපත් කරමින් පැන නැගි වාමගාමී ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී අරගලයන් ගෙන් එම වාමාංශික ජනප්‍රියවාදය/ජනතාවාදය සංයුක්ත විය.විශේෂයෙන්ම එම විකල්ප ආර්ථික-දේශපාලන උද්වේගයන් මතු වූයේ 2008 මූල්‍ය-ආර්ථික අර්බුදය නිසා ඇමරි-යුරෝ රටවල පැන නැගි විපාකයන්ට එරෙහි ප්‍රතිචාරයක් ලෙස බව මෙහිදී සිහිපත් කළ හැකිය. 2011 වෝල් ස්ට්‍රීට් අල්ලා ගැනීමේ ව්‍යාපාරය එක් නිදසුනක් කර කියනවා නම් එය මූලිකවම පදනම් වූයේ 1% ධනපති ස්ථරයට එරෙහිව 99% නිර්ධන ජනයාගේ අයිතීන් යන සටන් පාඨය යටතේය.ඉන් පසු දියත් වූ බර්නි සැන්ඩර්ස් ගේ නායකත්වයෙන් යුතු ව්‍යාපාරය විසින් පෙරට ගත් නිදහස් අධ්‍යාපනය,නිදහස් සෞඛ්‍ය සේවය,අවම මූලික වැටුප් ඇතුළු ආර්ථික අයිතිවාසිකම් යනු සමානාත්මතාවයේ පදනම මත පැන නැගි අරගලයන් විය.බ්‍රිතාන්‍යයේ පැන නැගි වාමාංශික ජනප්‍රියවාදී අරගලය මූලිකවම කම්කරු පාංතික අයිතිවාසිකම් අවධාරණය කිරීමට නොපසුබට වූවක් විය. සුබසාධන කප්පාදු කිරීම් වලට එරෙහිව ජනසතුකරණ ආර්ථික ඉල්ලීම් එහි ප්‍රමුඛ විය.ජෙරමි කෝර්බින් වැනි නායකයෝ සෘජුවම සමාජවාදය වෙනුවෙන් හඩ නගන්නන් වූහ. ග්‍රීසිය,ස්පා….,ප්‍රංශය,ඉතාලිය,ජර්මනිය ඇතුළු යුරෝපය හරහා ද හමා ගිය හා හමා යමින් තිබෙන වාමාංශික ජනප්‍රියවාදයේ සුළග ප්‍රජාතන්ත්‍රවාදී බල තරගය තුළ හමා යන්නේ සිය රටවල ආර්ථික ප්‍රභූ තන්ත්‍රයන්ට එරෙහිව බහුතර පහල පාංතික ජනයාගේ ආර්ථික යුක්තිය අධි අවධාරණය කරමිනි. මෙම ජනප්‍රියවාදයන් ‘නිර්ධන පාංතික විප්ලවය’ වැනි පංති ඌනිතවාදයන් මත පිහිටා නොමැති වුවද ‘ජනතාව’ නම් වූ එහි සුසම්බන්ධ්ත අර්ථය තුළ බහුතර වැඩකරන ජනයාගේ ආර්ථික අයිතීන් ඉතා ප්‍රමුඛය.

    දක්ෂිණාංශික උරුමය

    එහෙත් චම්පිකලා ගේ ජනකාන්තවාදය යනු ඉහත වාමාංශික ජනප්‍රියවාදයේ මූලික හරය හදිසි දේශපාලන ප්‍රයෝජ්‍යතාවය වෙනුවෙන් අපහරණය කිරීමක් බව පැහැදිළි වන්නේ නව ලිබරල් ගෝලීයකරණයේ ප්‍රභූ තන්ත්‍රවාදී ආර්ථික ස්ථරායණයට විකල්පයක් ඉන් යෝජනා නොකෙරෙණ නිසා පමණක් නොවෙයි. ඊටත් වඩා වාමගාමී ජනප්‍රියවාදය විසින් අවධාරණය කරන සමානාත්මතාවයේ බහු විධ මානයන් චම්පිකලාගේ දේශපාලනය තුළ නියෝජනය වන්නේ නැත. එක් පසෙකින් ලිබරල්වාදයේ ශේෂ වූ වටිනාකම් මත පිහිටා ලංකාවේ මතු වී ඇති සුවිශේෂී අනන්‍යතා හා මිනිස් නිදහස් අයිතිවාසිකම් පිළිබදව චම්පිකලාගේ ආධිපත්‍යධාරී සිංහල බෞද්ධ දේශපාලන අභිලාෂයන් ට තවමත් ඇත්තේ ආන්තික හෝ බැහැරකිරීම්වාදී ප්‍රතිචාරයකි .අනෙක් අතට ‘කිසිදු ජනකොටසක් බැහැර නොකිරීම’ වැනි චම්පිකගේ මෑත දේශපාලන අලංකාරිකයන් යොමුවන්නේ තම බල හැරවුමට උපක්‍රමිකව වාසිදායක තත්වයන් උරගා බැලීමට මිස ලංකාවේ ජන වර්ගයන්ගේ සුවිශේෂී දේශපාලන හා සංස්කෘතික අයිතීන් කෙරෙහි සංවේදී ග්‍රහණය කරගැනීමක් ලෙස නොවෙයි. ඊටත් වඩා මෑත දශක තුළ මතු වූ රණකාමී සිංහල බෞද්ධ ජාතිකවාදයේ ප්‍රධාන සංවිධායකයන් වන ඔහු ඇතුළු කණ්ඩායම වත්මන් ජනවාර්ගික ආතතීන් හා බෙදීම් නිර්මාණය කිරීමෙහිලා තීරණාත්මක දෘෂ්ටිමය දායකත්වයක් සැපයූ පිරිසකි .හරියටම කිවහොත් අද දවසේ වාම ජනකාන්තවාදයක් ගැන විවිධ කතා කීවාට දෙදාහ දශකයේ ලංකාව තුළ දක්ෂිණාංශික ජනප්‍රියවාදයක පැන නැගීමට ප්‍රධාන දොරටු විවර කළ ක්‍රියාකාරී කණ්ඩායම වූයේ ද චම්පිකලාමය. එපමණක් නොව අද දවසේ ඔවුනගේ විවේචනයට ලක් වන වත්මන් මංකොල්ලකාර වංශක්කාර පන්තියේ සම්භවය ඇත්තේද චම්පිකලාගේ දේශපාලන ශරීර හරහාය. වත්මන් දක්ෂිණාංශික ප්‍රභූවාදය නිර්මාණය වීම පිටිපස ඇති චම්පිකලාගේ දේශපාලන භූමිකාව සරල නැත.චම්පිකලාට වෙනස් ජනතාවාදී දේශපාලන ගමනක් යෑමට සැබවින්ම අවශ්‍ය නම් එය කළ යුතු වන්නේ සිය දක්ෂිණාංශික වාර්ගික-ජාතිකවාදී දේශපාලන අතීතය පිළිබද තියුණු ස්වයං විවේචනයක් මතු කර ගැනීමෙනි.අවශ්‍ය නම් ඊට ඉඩක් දැන් ඔවුනට විවරව ඇත.චම්පිකලාගේ මෙම අතීත ‘දක්ෂිණාංශික ජනකාන්තවාදයේ’ දිශානතිය පිළිබද ඊළග රාවය ලිපියෙන් ලිවීමට ඉඩ තබා දැනට මින් නවතිමි.

     

  • යුදබිමේ නත්තල සහ වසංගත උවදුර තුල  නත්තල

    යුදබිමේ නත්තල සහ වසංගත උවදුර තුල  නත්තල

    ජුසේප්පේ උන්ගරේත්තිගේ (Giuseppe Ungaretti ) නත්තල  ” Natale ” කාව්‍ය  රචනා වන්නේ  1916 දෙසැම්බර් ලද පුංචි අස්වැසිල්ලකින්  යුද පිටියෙන් නික්ම තම ගමට (නාපෝලි) ගොස් නත්තල් කාලය ගත කරන අතරය. උන්ගරේත්ති රචනා කරන ලද කාව්‍යයන් අතර සැලකිය යුතුය කාව්‍ය ප්‍රමාණයක්  යුද්ධය පිළිබඳව සහ එහි අත්දැකීම් පිළිබඳව රචනා වී තිබේ. යුද්ධය  හේතු කරගෙන බිහිසුණු ලෙස විනාශ වෙච්ච නගර ,සොල්දාදුවන් ලෙස යුද්ධයට මැදි වෙන තරුණයන්ගේ ඉරණම,බිඳ වැටුණු බලාපොරොත්තු අතර තනිවෙන මිනිස්සුන්ගේ ඛේදවාචක ඔහුගේ කවි තුළ හොල්මන් සේ සැරිසරනවා. යුද්ධයෙන් විනාශයට පත් වූ නගරයක් තුළ කිනම් නත්තල් ප්‍රීතියක්ද? සැඟවුණු හෝ මියගිය, මිනිසුන් නොමැති නගරයක කිනම් අසිරියක්ද? බිඳවැටුණු, වෙඩි වැදුණු, සුන්බුන්  ගොඩගැසුණු නගරයක් තුළි කිනම් ප්‍රීති සජ්ජද? යුද්ධයට මැදිව ආත්මය බිඳවැටුණු මිනිසෙකුට නත්තල් ප්‍රීතියක්, සතුටක් සොයාගත හැකිද ?

    කලබලයක් නොමැතිව ඉඳහිට එති යති නත්තල් සුළඟ. තව නොබෝ දිනකින් නත්තල උදා වනු ඇත. උදාසීන නගර වීදි නත්තල් සැරසිලි වලින් සැරසී බලා සිටිති.එහෙත් මෙවර අසීමාන්තික තදබදයකින්  කසු කුසු ගාන තෑගි තොරණ නත්තල විසින් කාර්යබහුල කරන ලද මිනිසුන් මගතොට හිගය.2020 නත්තල ගෙවන්නට ලෝකේම සූදානම් වුවද ඒ හැමෝම සීමාවන්ට යටත්ව අර්ධ නත්තලක්  වෙනුවෙන් සූදානම් වෙති.

    1916දී උන්ගරේත්තිව පීඩාවට පත් කළ අවි ගැටෙන යුද්ධය වෙනුවට, 2020 අපි අවි නැති වෛරස් යුද්ධයක පීඩිතයන් බවටපත්ව සිටිමු. ජුසේප්පේ උන්ගරේත්තිගේ නත්තල  නම් කවියේ අනුවර්තනයකි.

    “ නත්තල “

    ගෙතුම් නුල් බෝලයක් සේ
    එතී  තිබෙන මාර්ගවල
    උවමනාවක් නැහැ මට
    ඇවිද යන්නට

    විඩාවට පත්ව ඇත
    මේ යුද්ධය
    කර තියන් සිටි
    මගේ උරහිස

    සියල්ල අමතක වූ
    අජීවී වස්තුවක් සේ
    තබන්නට හැකිද
    මුල්ලකට කර
    නිසොල්මන්ව මාව

    කිසිවක්ම නොදැනෙයි
    මෙහි
    උණුසුම් තාපය හැර

    පෙරලෙන ගිනි දැල් අතරින්
    පිටවෙන දුම දෙස
    ඔහේ බලාගෙන
    සිටින්නටමයි සිත
    ගිණි උදුන අද්දර

    හිල්මි සුපුන්
  • ආදාහනය ද භූමදානය ද ආණ්ඩුවේ  කොන්ද බිඳින ප්‍රශ්නය බවට පත්වෙයි

    ආදාහනය ද භූමදානය ද ආණ්ඩුවේ  කොන්ද බිඳින ප්‍රශ්නය බවට පත්වෙයි

    කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මරණ භූමදානය කරනවද ආදාහනය කරනවා ද කියන ගැටලුව අද රටේ ප්‍රධාන ප්‍රශ්නය බවට පත්වෙලා තිබෙනවා. ඊයේ දිනයේදී සමගි ජන බලවේගය මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු වළ දැමීමට අවශ්‍ය කරන දෛනික කටයුතු ලබා දෙන්නට කියා රජයට බලපෑම් කරන උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. මෙහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශකර සිටියේය බෞද්ධ ජනතාවට පාංශුකූල පූජාව කරන්නට අවස්ථාව සලසා දෙනවා වගේම අනිකුත්  ආගමික අනන්‍යතාවයක් සහිත පුද්ගලයන්ට  ඒ අවශ්‍ය කරන සංස්කෘතික උපහාරය දැක්වීමට අවස්ථාව සලසා දෙන්න ඕන කියලයි.

    කෙසේ වෙතත් මේ මුස්ලිම් ජනතාවගේ මළ සිරුරු ආදාහනය කරනවා ද භූමදානය කරනවා ද කියන ගැටලුව මතු වෙන්නේ ආණ්ඩුව  විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ තීන්දු තීරණවලට පටහැනිව දේශපාලන වේදිකාවල ප්‍රකාශ නිකුත් කරන්නට පෙළඹීමත් සමඟයි.  කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු පිළිබඳව තිබුණු සෞඛ්‍ය ප්‍රශ්නය දැන් දේශපාලන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා අවසානයි.  මේ ප්‍රශ්නය ජාතිවාදීව විග්‍රහ කර ගැනීමේ සිට තම තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් හසුරුවා ගැනීම දක්වාම සංකීර්ණ වී තිබෙනවා.

     විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ ප්‍රශ්නයට තම තමන්ගේ කෝණයෙන්  ප්‍රතිචාර දක්වද්දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද  ඔවුන්ගේ පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව විවරට ප්‍රකාශ කළා

  • නිදන් කව

    නිදන් කව

    ඇසෙන විට
    හැම විට ම
    අතීතයේ
    වදුල තුළ
    සැඟව ඇති
    නිදන් ගැන
    මට සිතෙන
    දෙයක් ඇත

    අනාගතයේ දිනෙක
    කැණ බලන මිනිසකුට
    ලැබෙන සේ යම් දෙයක්
    නිදන් කළ යුතු නොවෙ ද
    මා වුව ද…

    මුතු මැණික් – රන් කොතල
    දඹ පිළිම – රජ කිරුළු
    උගුල් මැද
    නිදන් කළ
    පරපුරට
    කට කොණින්
    සිනාසෙමි.

    අරක්ගත් භූතයින්
    ඇදී එන නාගයින්
    පිළිනොගනු ඇත එදින
    අනාගත මිනිස් මිත,

    ඔබ පැමිණ කණින විට
    අතීතෙට අයිති නැති
    මිනිසුන් ද සිටිය වග
    ඔබට වැටහෙනු පිණිස
    මං ලියන මේ කවිය
    නිදන් කර තබන්නෙමි.

    තරු අතර යනෙන විට
    ආලෝක වේගයට
    ග්‍රහලෝක මත සෑදෙන
    ගම් නගර අතර මැද
    බය නැතුව මේ කවිය
    ගෙනියන්න…

    සැක කරන අය වෙතොත්
    මිනිස් පැතුමන් නිතර
    අතීතෙන් මා එවූ
    අතීතෙට අයිති නැති
    මේ කවිය ඒ අයට
    පෙන්නන්න…

    ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න
  • තාත්තා – මංජුල වෙඩිවර්ධන

    තාත්තා – මංජුල වෙඩිවර්ධන

    නෙතින් නෙතට පහන් දල්වනා
    සිතින් සිතට පැතුම් ගල්වනා
    ඒ ජීවන කතන්දරේ
    වෑහෙන රස නිරන්තරේ
    ආදරබර නමයි තාත්තා….
    අර ගැඹුරු හඬින් තාල අල්ලනා
    ඒ සොඳුරු සිනා ම’හද හොල්ලනා
    සීත ගලන දෙසැම්බරේ
    සාද පිරුණු නිලම්බරේ
    පායන සඳ තමයි තාත්තා…..

    කස්ත්‍රෝ කියල කිව්ව රැවුල වැව්ව
    කළුබෝවිල බුහුටි හාදයා…
    මොන්රෝ වගේ ඉන්න අපේ අම්මගේ
    සදාතනික ප්‍රේමවන්තයා
    මී මුණුබුරා එක්ක හුරතල් වෙන
    තරුණ හාදයා
    මිත්‍රයෝ කෙළක් ඇතත්
    වෙන කවුරුද හොඳම යාළුවා

    මධුපැන් සාදයකදි සළුවෙනකොට
    ඩොල්කිය ළඟ හීන ඇල්ලුවේ
    මිල්ටන්ම තමයි ඉතිං සුපෙම් ලොවේ
    කුසුම්සරා සිහින දෙව්දුවේ
    කාසන් ලෙස්ට පිගොට් කොලෙත් ඉරන්
    නෝ වෙයාර් වුණු අතීතයේ
    කවුතන් කවුද ඉතිං තුරුණු ජවය
    සදාතනික තුරඟ සන්නියේ

    මංජුල වෙඩිවර්ධන

     

  • තාත්තට අලුත් කණ්ණඩියක්

    තාත්තට අලුත් කණ්ණඩියක්

    අරන් දුෂ්කර සේවයේ මුල්ම මුල් පඩිය
    ගිහින් දුන් දා තාත්තට අලුත් කණ්ණඩිය
    ඇහෙන් ගැලු කඳුලකින් මා දිහා බැලු විදිය
    මතක් වෙනකොට රිදෙන්නෙම පපුවෙ මැද හරිය

    නුඹව හොයනවා ඇති මහ ගෙදර ගල් පඩිය
    තවම කියවනව ඇති නුඹ තියා ගිය කවිය
    ඇළදොලේ ගහකොලේ නුඹම විය සීපදය
    කෙනෙක් හිටියද තවත් මට තාත්තට වැඩිය

    අස්කලා මිසක රැස්කලේ නැත අඩුවැඩිය
    “පස් වෙන්නනේ ඉන්නෙ” ඒ නුඹේ බණ පදය
    වස් විසූ ආරාමයකි නුඹේ හද කුටිය
    හිස් අතින් නික්මුනත් නුඹෙ සසර මඟ කෙටිය

    පැළඳ ගෙන නුඹ තියා ගිය බිඳුණු කණ්ණඩිය
    හැඳින ගමි තාත්තේ ලොවට පෙම් කල විදිය
    කෑගැහිල ඇඬෙන තැන්වලත් හිනැහෙන විදිය
    පෑනෙන්ම තාත්තගෙ ලියමි ඒ සෙත් කවිය

     

  • පැණි බේරෙන ගිනිඅවිය -මංජුල වෙඩිවර්ධන

    පැණි බේරෙන ගිනිඅවිය -මංජුල වෙඩිවර්ධන

    පරතර කුමට පැණි පෝලිම් කිටිකිටිය
    ගිනි අවියෙන් ද පැණි බේරී එන හැටිය
    ආනයනය කරව් මේ පැණි පිටරැටිය
    ස’බර මෙයයි පැණි බේරෙන මුතු ඇටය

    2020 දෙසැම්බර් 08

  • උත්තරය දුක හිතෙනසුළුයි ! “කවි පොතක මිළ කීයද ?”

    උත්තරය දුක හිතෙනසුළුයි ! “කවි පොතක මිළ කීයද ?”

    නුවන්  අබේගුණවර්ධන නොහොත් “දඩබ්බරයා” මුහුණු පොතේ කවි ලියද්දි ඔහු යොදාගත් අන්වර්ථ නාමය.  මේ සතියේ විවර කලා අවකාශයට අපි කැඳවාගෙන එන්නේ “එතැන මා තනිව නිදන තැන” කාව්‍ය සංග්‍රහයේ අයිතිකරු “දඩබ්බරව”.

    නුවන්  අබේගුණවර්ධන  කියන සැබෑ නම සඟවාගෙන අනුවර්ථ නාමයකින් පෙනී සිටින්න උත්සාහ කළේ ලියන කවිය  හොඳ කවියක් නොවෙයි කියලා තිබුණු අවිශ්වාසය නිසාද ?  අපි කතාව ආරම්භ කරමු

    ප්‍රශ්ණයට ප්‍රශ්ණයකින් පිළිතුරු සැපයීම හොඳ නෑ කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒත් මම නමින්ම “දඩබ්බරයා” නේ, ඒ නිසාම මම ඔබෙන් පෙරලා ප්‍රශ්ණ කරනවා.ලක්ෂ ගනනක් ෆේස්බුක් කවියන් ඉන්න අවකාෂයක ඔබේ “විවර” කලා පිටුවට මා සමග පිළිසඳරක් තෝරා ගන්නවා ඔබම. එහෙනම් ඔබට මා යම් විශේෂ තෝරාගැනීමක් !

    මම මගේ නිර්මාණ තුල ගුණාත්මක නොවුනු කවියෙක්නම්, ඇයි ඔබේ තෝරා ගැනීම යටතේ මම හිටියේ ?

    “එතැන මා තනිව නිදන තැන” ෆේස්බුක් අවකාශයේ  ලැබුණු ප්‍රතිචාර සමඟ සසඳන විට පොතට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

    ඇත්තටම ඒක මමවත් නොහිතපු තරමේ ප්‍රතිචාරයක්.

    තනිවුනු වෙලාවක කවියක් දෙකක් හිස් සයිබර් අවකාශයක අතෑරලා දාලා හිත නිදහස් කරගැනීම ඇරෙන්න පොතක් ගැන කිසිම අදහසක් මගේ හිතේ කොහේවත් තිබුනේ නෑ. මුලින්ම ඔය අදහස මගේ ඔලුවට ඔබන්නේ රවී ප්‍රභාත් අයියා. එයාගේ තිබුනු දැඩි උනන්දු කිරීම නිසාමයි මේ කවිපොත එලිදකින්නේ.

    කවි පොත එලිදකින්නේ 2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී. ඇත්තටම මගේ මුල් කවි පොතට සාම්ප්‍රදායික බුක් ලොන්ච් එකක්වත් නෑ ! නමුත් ඒක මාත් පුදුමයට පත් කරමින්ම පොත් ප්‍රදර්ශනයේ මුල් දවස් අට ඇතුලත පළම මුද්‍රණයෙන් සියයට අසූවක් පමන විකිනී අවසන් වෙනවා. ඉතිරි සතියක හෝ සති එක හමාරක කාලය තුල ප්‍රකාශකයා සතු සියලු පොත් විකීනී අවසන් වෙනවා.

    පොත් ප්‍රදර්ශණයේ දවස් දහයෙන් දවස් හතක්ම දවස පුරා මම එතන හිටියා. මම වින්ඳා එතනදී මට ලැබෙන ප්‍රතිචාර. මගේ පාඨකයා විවිධ තරාතිරම් වල අති විශාල පරාසයක අය. එතන හිටියා විශ්වවිද්‍යාල සිසුන්, විවිධ වෘතීකයන්, විවිධ ආගමික හිමිනමවල්, පූජකවරුන්, පාසල් සිසුන්. විවිධ වයස් තරාතිරම්.

    දන්නවද ? මම ඒ සම්බන්ධව පුදුම තරම් තෘප්තිමත්.

    ෆේස්බුක් අවකාශය තුළදී ලැබෙන ප්‍රතිචාරත සහ  මුද්‍රිත පොතක් එළි  දැක්වීමෙන් පසුව ලැබෙන ප්‍රතිචාරයි අතර වෙනසක් ඔබ අත්විඳනවද?   එසේ නම් එය ධනාත්මක  සෘණාත්මක  වෙන්නේ කොතැනටද? කොහොමද? අව්‍යාජ ප්‍රතිචාර ලැබෙන්නේ කොනදී ද?

    ඒක ඇත්තටම මෙහෙමයි, මට ඔය අවස්ථා දෙකේදීම විවිධ ප්‍රතිචාර ලැබුනා. හොඳ වගේම නරකත්. නමුත් මම හිතනවා මුහුණුපොත තුල ප්‍රතිචාර වඩාත් අව්‍යාජයි. මොකද එතනදී ඕනම කෙනෙක් නිදහස්. ඔවුන් ට පුළුවන් මට බැනවදින්න උනත්.

    අනිත් වැදගත් දේ තමයි නිර්මාණයක් මුදාහල සැනින් එයට ඉක්මන් ප්‍රතිචාර ලැබෙනවා මුහුණපොත තුල. අපි නිර්මාණයක් කරලා අන්ත්පැත්තට බලාපොරොත්තු වෙන එකම එක සතුට තමයි ඒ වෙනුවෙන් ලැබෙන හොඳ හෝ නරක ප්‍රතිචාර. සාපේක්ෂව මුද්‍රිත මාධ්‍යයේදී ඒක ටිකක් පමාවෙනවා.

    මේ ප්‍රතිචාර අතරේ බොහෝ ඒවා ධනාත්මක. ඍණාත්මකත් නැතුවාම නොවේ. නමුත් ඒ හැම ප්‍රතිචාරයක්ම මට ඉතාමත් වැදගත්. මම ඒ හැම එකක්ම මට ලැබෙන වටිනාකමක් ලෙස තබාගන්නවා. ඒවා තමයි මා නිවැරදි කරන මගේ කැඩපත්.

    වර්තමාන කවිය ස්ථානගත වී තිබෙන තැන පිළිබඳව තිබෙන අදහස.

    මම හිතන්නේ වර්තමාන කවියන් වාසනාවන්තයි. මොකද ඔවුන්ට නිර්මාණයක් මුදාහල හැකි මාධ්‍ය බහුලයි. එතනදී බෙහෝ නිර්මාණ බිහිවෙන්න පටන් අරන් තියනවා බහුලවශයෙන්.

    මම හිතන්නේ හොඳ කවියක් කියන්නේ බොහෝ අභ්‍යාසයන්ගෙන් පසුව බිහිවෙන අග්‍රඵලයක්. මහත් අභ්‍යාසයන් / අත්හදාබැලීම් / අතපතගෑම් වලට පස්සේ හොඳ කවි උපදින්න පටන් ගන්නවා.

    ප්‍රශ්නය වරථමාණ කවිය !
    යථාර්ථය කියන්නේ ඔය වචන දකිනකොටම පලමුවෙන්ම වෙන්නේ ප්‍රවීණයන් කියාගන්නා සමහරෙක් එය හෙලා දකින්න ගන්නවා. හැබැයි නැවතත් කිව යුතුයි හැමෝම නොවේ, සමහරක් !

    “මේවා කවිද ?”

    ඔය තමයි ඔවුන්ගේ මූලික ප්‍රශ්නය.

    හැබැයි මෙහෙම හිතන්න, ඔබ ඉපදුන සැනින් ඇවිද ගියාද ? නෑ නේද ? බඩගෑම්, දනගෑම්, ඇදවැටීම් දහසකට පස්සේ ඔබ නැගී සිටිනවා. ඔවු ඔන්න ඔබ හෙමින් ඇවිදින්න පටන් ගන්නවා. වැටෙනවා. නැගිටිනවා. දවසක ඔබ දුවනවා !

    මමත් අදටත් එහෙමයි. මම කවිය යන විශය තවමත් අතපතගාමින් එය සොයා යනවා.

    ඉතින් එහෙම බැලුවම මම හිතන්නේ වර්ථමාන කවිය යනු අනාගතය සඳහා කරන ධණාත්මක ආයෝජනයක්. මොකද අද යම් ප්‍රවීණ කවියෙක් බිහිවෙලා තියෙනවානම් ඒ ඔහු / ඇය අතීතයේ කල අත්හදා බැලීම් වලට පින්සිදුවන්නට වෙන්නට ඕන.

    අවසාන වශයෙන් අවරගනයේ නිර්මාණ කාලයත් එක්කම වැලලී යනවා. හොඳ නිර්මාණ පැළවෙනවා. අපි කල යුත්තේ ඒ මතින් යමක් ඉගෙනගැනීම පමනයි. නැතුව ඒ දෙස ද්වේශයෙන් යුතුව බැණඅඬගැසීම නොවේ.

    ෆේස්බුක් අවකාශයේ  හැමෝම කවි ලියනවා,  සමහරු එය විවේචනය කරනවා, ඔබ මේ අවකාශයෙන් එළියට ආපු කෙනෙක්, මේ පිළිබඳව ඔබගේ අත්දැකීම කොහොමද විස්තර කරන්නේ .

    මම මීට ඉහතින් ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් බොහෝතැන් මේ ප්‍රශ්නයටත් අදාලයි.

    ඇත්තටම මගේ වැඩ බිම උනේ මේ මූණු පොත. මගේ හැදෑරීම් බොහොමයකම අත්පොත මේ මූනු පොත.

    ඒකෙන් මා කොහොමටවත් අදහස් කරන්නෑ එය මෙය මතම පමනක් සීමා විය යුතුයි කියලා. හොඳ පොත් නිතර නිතර අපි ආශ්‍රය කල යුතුයි. මම මූල්‍යමය අතින් දුප්පතෙක්. සමහර වෙලාවට මට තෝරාගැනීම් කරන්න සිදුවෙලා තියනවා. ඇතැම් වෙලාවල් තියනවා මම හොඳ කලිසමක් මිලදී ගැනීම අත්හැරදාලා ඒ මුදලින් පොත් කිහිපයක් මිලදී ගන්නවා. එවිට මා වඩාත් තෘප්තිමත්.

    ඉතින් අන්න ඒ වගේ අපි මූනදෙන යම් ගැටලුකාරී තත්වයන් ලඟ මම හිතනවා මේ මූනු පොත හොඳ විකල්පයක්. අපිට අවශ්‍යය නම් කියවීම සඳහා මහා පරිමාන පුස්තකාලයක් මේ මුහුණුපොත.

    ඉතින් එහෙමනම් ඇයි අපි එහි නරක පැත්ත විතරක් දකින්නේ ? අපි ධනාත්මකව හිතමු. මත්ද්‍රව්‍යක් වශයෙන් භාවිතා කරන “කන්සා” පවා නිසි වෛද්‍ය උපදෙස් මත නිසි මාත්‍රාව ලබාගන්නේනම් එය “ඖෂදයක්” නේද ? එතකොට වරද කොතැනද ? කන්සා වලද නැත්නම් එය භාවිතා කරන අප ලඟද ?

    දැන් දැන් කවිය වාණිජ පරමාර්ථ වල සිර වෙමින් සිරගත වෙමින් ඉන්නවා කියලා කිව්වොත් ඔබ දෙන උත්තරය.

    උත්තරය දුක හිතෙනසුළුයි !
    එයත් ප්‍රශ්නයක්මයි.,
    “කවි පොතක මිළ කීයද ?”

    අවසාන වශයෙන් කියන්න බලන්න ඉදිරි බලාපොරොත්තු මොනවද කියලා.

    ඇත්තටම ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඊළඟ කවි පොත එන්නේ කවදාද ?

    ඒකට මට දෙන්න තියන උත්තරය ඒය කිසිසේත්ම නිශ්චිත නැහැ. බොහෝවිට එය සිදු නොවන්නත් පුළුවන්. යම්හෙයකින් එය සිදුවුනත් එයට අවමයෙන් තව අවුරුද්දක් හෝ දෙකක කාල පරාසයක් අනිවාර්යයෙන්ම තියේවි.

    අනික තමයි මගේ “එතැන මා තනිවම නිදනතැන” කවි පොතේ දෙවැනි මුද්‍රණය. එය සන්ථව ප්‍රකාශනයක්. ඔවුන් සූදානම් වෙනවා එහි දෙවැනි අදියරට. මොකද පොත ගන්න බැරි වුනු බොහෝදෙනෙක් එය මගෙන් විමසනවා. අදාල අවශ්‍යතාවය සපුරාගැනීම ඉලක්ක කරගත් ඉතා අඩු පිටපත් සංඛාවක් මුද්‍රණයට යොමු කිරීම තමයි මගේ අදහස. නැතිව මට එතන වානිජ පරමාර්ථයක් නෑ.

    මොකද මම පොත මුද්‍රණයෙන් බලාපොරොත්තු උනේ මානසික තෘප්තියක් පමනයි. මම එය හිතුවාටත් වඩා දැඩිව විඳගත්තා. ඉතින් මම ඒ සම්බන්ධව සතුටින්.

    කතාබහේ අවසානයට යොමුවෙමින් මගේ ආදරණිය පාඨකයාට ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.

    මෙතෙක් කලක් මා වටා ඉඳිමින් මාව දැනුවත් කරමින්, දිරිමත් කරමින් ලයික්එකක් හෝ කමෙන්ට් එකක් තබමින්, මැසේජ් එකක් ලබාදෙමින් ඔවුන් මට දැක්වූ ආදරයට මම පෙරලා ආදරයම පුදනවා. ඇත්තටම ඔවුන් නැත්නම් මම අද මෙතන නෑ.

    ඒ අතරම මේ ගමන පුරා මට සෙවනැලලක් වුණු දයාබර මිනිසුන් කිහිපදෙනාට මම පින් පුරනවා. නම් වශයෙන් කියන්නෑ. මොකද එක අතපසුවීමක් බොහෝ සිත්තැවුල් සදාවි !

    එමෙන්ම, මේ කතා බහට මා කැඳවූ ඔබටත් ඔබ ආයතනික සමස්ථ කාර්යයමණ්ඩලයටත් මෙය කියවන සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මා නිහඬ වෙනවා.
    ආදරෙයි. -දඩබ්බරයා-

    හිල්මි සුපුන්
  • ආජන්ටිනාවේ හදවත

    ආජන්ටිනාවේ හදවත

    රවුම් බෝලයට පයින් ගැසූ
    නාපෝලියට හදවතින් ගැසූ
    එංගලන්තයට අතිනුත් ගැසූ
    සියවසයේ ගෝලයත් ගැසූ

    ජූඩ් විශ්වජිත්