Tag: poem

  • මේත් මනුස්සයෙක්

    මේත් මනුස්සයෙක්

    පෝලන්තයේ පිහිටි Auschwitz වද කඳවුර මිනිසුන් ලක්ෂ ගනනක් ගෑස් කාමර වල මරා දමන ලද හිට්ලර්ගේ ප‍්‍රධාන වධකඳවුරකි .එහි මිය ගිය පිරිසෙන් වැඩි කොටසක් යුදෙව් සම්භවයන් ඇති මිනිසුන්ය . 1940 ජුනි 14 වන දින හිට්ලර්ගේ පාලනය විසින් මෙය කඳවුරක් වශයෙන් නම් කරනවා. Rudolf hob , arthur liebehenschfl , richard baer යනු මෙම කඳවුරේ සිටි ප‍්‍රධාන නායකයින්ය. Auschwitz සිරකඳවුර හෙක්ටයාර් 170 ක් පමණ වන වපසරියක පිහිටා තියෙනවා. මේ අමානුෂීය වද කදවුර තුළ දී සිරගත කරන ලද පුද්ගලයන්ට දරුණු වධ හිංසනයන්ට ලක්වන්නට සිදුවුණා. මිලියන එකහමාරකට වැඩි ජීවිත ප්‍රමාණයක් මේ වද කදවුර තුළදී ගෑස් කාමර තුල හිර වී මිය ගියා. විශේෂයෙන්ම යුදෙවු ජාතිකයන්ගේ පෝරකය බවට Auschwitz කඳවුර පත් විය .

    1945 ජනවාරි 27 වන දින රුසියාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදාව විසින් කඳවුර බේරාගන්නා අවස්ථාවේදි 7000 ක් පමන ජීවතුන් අතර සිට ඇති බව සඳහන් වෙනවා . ඒ අතර සිටී යුදෙව් සම්භවයක් ඇති ඉතාලි ජාතික ලේඛක ප්‍රීමෝ ලෙවි ලියන ලද කවියකි Se questo è un uomo . මේ එම කවියේ අනුවර්තනයයි.

    මේත් මනුස්සයෙක්

    සැප පහසු උණුසුම් නිවෙස් තුළ
    ඔබ ජීවත්වන්නේ ආරක්ෂා සහිතව
    හවස් කළ ඔබ නිවසට යනවිට
    උණුසුම් ආහාර පිළියෙල කර
    ඔබ එනතුරු බලා සිටීයි පවුලේ උදවිය

    ඔබට සිතා ගත හැකි වේද මෙවන් පිරිමින් ගැන
    මඩේ වැඩ කරන
    නිදහස ගැන නොදන්න
    පුංචි පාන් කැබැල්ලටත් රණ්ඩු කරන
    ඔව් කීවද නැහැ කීවද වචනයේ තේරුමට නොවන
    මරණයම අත්පත් වෙන

    ඔබට සිතා ගැනීමට හැකි වේද මෙවන් ගැහැණුන් ගැන
    කෙස් වැටිය නැති නමක් නැති
    කිසිදු මතක ශක්තියක් නැති
    සන්නිවේදනයක් නොමැති මලානික ඇස් ඇති
    *සිසිරයේ ගෙම්බන්ගේ මෙන්
    සීතලට හැකිළුණු බඩවල් ඇති

    මෙහෙව් දේ ගැන මෙනෙහිකරන්න
    මම උඹට අණ කරමි
    නිවසේ සිටියදීත්
    යන එන විටත්
    කම්මැලිකමට හැකිලී සිටියදීත්
    අවදි වන විටත්
    ඔබ කුමන අරමුණකින්
    කුමන මොහොතක සිටියත්
    ඔබ ඔබේ හදවතට තදින් බල කරන්න
    එහෙවු දේ මෙනෙහි කරන්න

    ඔබ ඔබේ දරුවන්ගේ සාපයට ලක් නොවන්න නම්
    විනාශයේ දුර්භික්ෂට හසු නොවන්න නම්
    ඔබ නිවැරදිව මේ ගැන ඔබේ දරුවන්ට කියන්න

    යුදෙව් සම්භවයක් ඇති ඉතාලි ජාතික ලේඛකයෙකු වන ප්‍රීමෝ ලෙවි Auschwitz කඳවුරේ සිරකරුවෙකු ලෙස ජීවිතය ගත කෙරුවෙකි . 1943 දෙසැම්බර් 13 වන දින ෆැසිස්ට්වාදීන් විසින් Valle d’Aosta ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, මුලින්ම ඉතාලියේ Emilia-Romagna හි Campo di Fossoli කදවුරේ තාවකාලිකව රදවා තබා 1944 වසරේ පෙබරවාරි මාසයේදී යුදෙව්වෙකු ලෙස Auschwitz ගාල් කඳවුරට පිටුවහල් කරන ලදී. අමානුෂික වධ කඳවුරු ජීවිතය තුළ අත්විදි අත්දැකීම් ඔහු පසුකාලීනව 1945 ජනවාරි 27 වන දින Auschwitz කඳවුරෙන් නිදහස්ව ලබා ඇවිදින් ඒවා කොළ මත රචනා කරන ලදී. ඔහුගේ වද කදවුර ජීවිතයේ අත්දැකීම් පොත් ද්විත්වයක් හැටියට එළිදක්වන ලදී Se questo è un uomo 1947 එම පොත් ද්විත්වයේ පළමු පොත වන අතර ඉහත සඳහන් කවිය පොතේ ආරම්භය වෙනුවෙන් ඔහු ලියන කවියකි. La tregua ‘1963 (විරාමය) දෙවන පොතවේ . ප්‍රීමෝ ලෙවි රසායන විද්‍යාව පිළිබඳ උපාධි ධාරියෙකි. Auschwitz කඳවුරු ජීවිතය තුළ ජීවිතය රැක ගැනීමට ද එය පිටුවහලක් වී තිබේ.

    “මේත් මනුස්සයෙක්” නම් වූ කෘතිය ඔහුගේ ප්‍රථම කෘතිය මෙන්ම ලෝක අවධානයට ලක් වූ ජනප්‍රියම කෘතිය ද වේ .එහිදී ඔහු Auschwitz අඳුරු ජීවිතයේ අත්දැකීම් විස්තර කරනු ලැබේ. කෙටිකතා කරුවකු, කවියෙකු , නවකතා කරුවෙකු මෙන්ම මතක සටහන් තබන්නේකු හැටියට ඉතා ජනප්‍රිය ලේඛකයෙකි.

    1919 ජූලි 31 වන දින තොරිනෝ හි උපත ලබන ප්‍රීමෝ ලෙවි ජිවිතයෙන් සමු ගන්නේ 1987 අප්‍රියෙල් 11 වනදායි . ඔහුගේ මරණය සැක පවතින්නකි. ජිවත් වූ මහල් නිවසේ රවුම් තරප්පු පෙළ අතර හිඩසින් බිමට පැන ජීවිතය නැති කර ගත්තේය . ඔහු සියදිවි නසා ගත් හේතුව පිළිබඳ ව පවතින්නේ කුකුසකි. කෙසේ වෙතත් ඔහු පුංචි කල සිට මානසික අවපීඩනයට බෙහෙත් ගනිමින් සිට තිබේ. මිය යන්නට ආසන්න කාලයේ දී පුරස්ථි ග්‍රන්ථි වල ඇති වූ බාධ හේතුවෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මානසික අවපීඩනයට ගනු ලබන බෙහෙත් නවතා දමන අතර මේ හේතුව මත ඔහු ජීවිත හානි කර ගත්තාද, එසේත් නැතිනම් කඳවුරු ජීවිතය තුළ ලද කටුක අත්දැකීම් මත ඇති වූ අමතක නොවන කම්පනය හේතුකරගෙන සිය දිවිනසා ගත්තාද යන්න පිළිබඳව ස්ථිර අදහසක් නොවේ .

    * සිසිර සෘතුවේදී ගෙම්බන් පස් ,කොළ යට ගුල් තුල නිරාහාරව සිසිර ඍතුව අවසන් වෙන තුරු එකම තැනකට වී සිටින අතර මෙසේ එක්තැන්ව සිටින ගෙම්බන් යළි වසන්ත සෘතුව ආසන්නයේ පස් යටින් එලියට එයි . නිරාහාරව දීර්ඝ කාලයක් සිටීම හේතු කරගෙන පෘෂ්ටිමත් ව තිබු ඔවුන්ගේ ශරීර කෙසඟ වී බඩවල් හැකිලී විරූපී ස්වරූපයකට පත් වන බව කියවේ . නිරාහාරව සිටීමෙන් පීඩාවට පත්වීම කොයිතරම් දුෂ්කරද , අත්වන ප්‍රතිඵලය මොනතරම් විකාර රූපී ද කියන එක හඟවන්නට තමයි ලේඛකයා Auschwitz කඳවුරේ සිරකාර කාන්තාවන්ව සිසිරයේ ගෙම්බන්ට උපමා කරන්නේ.

    තරුෂ හේෂාන් | හිල්මි සුපුන්
  • වසර 75කට පසු නීතිය හමුවට ගෙනඑන හැරමිටිකාර යුද අපරාධකාරයෝ

    වසර 75කට පසු නීතිය හමුවට ගෙනඑන හැරමිටිකාර යුද අපරාධකාරයෝ

    දෙවැනි ලෝක යුද්ධය නිමවී දැන් වසර 75කට අධික කාලයක් ගෙවීගොසිනි. වර්තමාන පෝලන්ත භූමියේ පිහිටුවා තිබූ ස්ටුට්හොෆ් (Stutthof) නම් අවසන් වරට මුදාගත් නාසි දේශපාලන සිරකඳවුර වසාදමා ද දැන් සියවස් තුන්කාලකට වැඩි ය.

    එහෙත් නාසි වධ කඳවුරුවල සිදුවූ ඝාතන හා වදබන්ධන කන්දරාව සමස්ත මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද දැවැන්ත අපරාධයක් ලෙස ද, මුළුමහත් ලෝක ඉතිහාසය මත ම වැකි කිසිදා සෝදාහල නොහැකි කළු පැල්ලමක් ලෙස ද, අදටත් ශේෂ වූවකි. මේ බිහිසුණු අපරාධය සම්බන්ධයෙන් නීත්‍යානුකූල යුක්තිය ඉටුකිරීම, අපරාධකරුවන් හඹාගොස් නඩුදැමීම හා දඬුවම් පැමිණවීම 75 වසරකට පසු, අදටත් අවසන් වී නැත.

    ඊට අදාළ අලුත්ම පුවත් දෙකක් ජර්මනියෙන් වාර්තා වූයේ පසුගිය සතියේ ය. ඒ නාසි වධ කඳවුරු දෙකක් තුළ සිදුකළ පිළිවෙලින් 3,518 හා 10,000ක් වූ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් වයස 100 සපිරූ පුද්ගලයකුටත්, වයස 95ක් වූ කාන්තාවකටත් එරෙහිව නඩු පවරන බවට ජර්මන් අභිචෝදකයන් පසුගිය පෙබරවාරි 9 වැනිදා සහ 5වැනිදා නිවේදනය කිරීම යි.

    දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ බර්ලිනයට නුදුරු සැක්සන්හවුසන් නම් ගාල් කඳවුරේ, නාසි පක්ෂයේ පැරාමිලිටරි අංශය වන SS හමුදාවේ සාමාජිකයෙක් ලෙස1942 – 45 අතර කාලය තුළ රාජකාරි කළ බවට මේ සියක් වස් වියැති පුද්ගලයාට චෝදනා එල්ලවී තිබේ. ඔහුට එරෙහිව එම කඳවුරේ සිදුවූ ඝාතන 3,518ක් සම්බන්ධයෙන් නඩු පැවරීමට නියමිත ය.

    ජර්මානු පෞද්ගලිකත්ව නීතිය අනුව මේ පුද්ගලයාගේ නම තවම හෙළිකර නොමැත. වයස අවුරුදු 100ක් වුව ද, ඔහු නඩුවිභාගය සඳහා පෙනීසිටීමට තරම් සෞඛ්‍ය සම්පන්න බව තීරණය කැරී තිබේ.

    95 හැවිරිදි චූදිත කාන්තාව වර්තමානයේ පෝලන්තයට අයත් ගර්ඩෑන්ස්ක් (Gdańsk – අතීත නාමය ඩැන්සිග්) නගරයට ආසන්නව පැවැති ස්ටුට්හොෆ් (Stutthof) නම් කඳවුරේ ලේකම්වරියක වශයෙන් සේවය කර ඇත. අභිචෝදකයන් විසින් ඇගේ නම හෙළිකර නැතත් ජනමාධ්‍ය විසින් ඇය දැනට හැම්බර්ග් නගරයේ වැඩිහිටි නිවාසයක වෙසෙන ඉර්ම්ගාර්ඩ් එෆ් ලෙස හඳුනාගෙන ඇත. 1943 – 45 කාලය අතර කඳවුරේ අණදෙන නිලධාරියාගේ ලඝුලේඛිකාව හා ලේකම්වරිය වශයෙන් සේවය කරමින් යුදෙව් හා පෝලන්ත සිරකරුවන් ද, සෝවියට් යුද සිරකරුවන් ද ක්‍රමාණුකූලව ඝාතනයකිරීමට ආධාර උපකාර කර ඇතැයි ඇයට එරෙහි පැමිණිල්ල නිවේදනය කර සිටී. එහි සිදුවී ඇති ඝාතන ප්‍රමාණය 10,000කට අධික ය.

    ඇය රාජකාරි කළ කඳවුරේ ඇතැම් වින්දිතයන් දිවි ගලවාගෙන ඇති බැවින්, ඒ දිවිගලවාගත්තවුන්ට අදාළ සිදුවීම්, ඝාතනයට තැත්කිරීම් ලෙස අධිකරණමය වශයෙන් සැලකීමට සිදුවන බව අභිචෝදකයෝ පවසති. අමෙරිකා එක්සත් ජනපදයේ හා ඊශ්‍රායලයේ දැනට ජීවත්වන සාක්ෂිකරුවන් සම්මුඛ සාකච්ඡාවලට බඳුන් කිරීම ඇතුළු සිද්ධියට අදාළ විමර්ශන ‘ඉතා සවිස්තරාත්මකව’ සිදුවූ බව පැමිණිල්ල ප්‍රකාශ කර තිබේ. කඳවුරේ මෙම චූදිත කාන්තාව සතුව පැවැති රාජකාරි විෂය පථය තක්සේරු කිරීම ඉතිහාසඥයන්ට පැවරී ඇති අතර, නඩුවට අදාළ ප්‍රධාන ප්‍රස්තුතය වන්නේ ඝාතනවලට අදාළව ඇය සතුව තිබූ ‘ස්ථිර වගකීම’ කුමක්ද යන්න බව ද දැනගන්නට ඇත.
    මෙම ඝාතන සිදුවන කාලය වන විට ඇය බාලවයස්කාරියක ව සිට ඇති බැවින්, ඇය මුහුණදෙනු ඇත්තේ බාලවස්කාරයන්ට වෙන්වූ අධිකරණයකට ය. මෑතකාලීනව කාන්තාවකට එරෙහිව මෙවැනි නඩු පැවරීමක් සිදුවූ පළමු අවස්ථාව මෙය යි.

    මේ නඩු කටයුතු දෙකම, ජර්මනියේ මෑතකාලීන නීතිමය පූර්වාදර්ශ මත මුළුමනින් පාහේ රඳාපවතී. ඒ පූර්වාදර්ශවලින් තහවුරු කැරුණේ කිසියම් නාසි කඳවුරක ක්‍රියාකාරීත්වයට හා පැවතීමට උපකාර කළ ඕනෑම පුද්ගලයකුට විරුද්ධව, එම කඳවුරේ සිදුවූ ඝාතන සම්බන්ධයෙන්, එම ඝාතනවලට ආධාර උපකාර කළාය යන පදනමින් නඩු පැවරිය හැකි බව ය.

    මෙම නීතිමය පූර්වාදර්ශය ස්ථාපිත වූයේ යුද සමයේ ජර්මනිය විසින් අල්ලාගන්නා ලද පෝලන්ත භූමියේ පිහිටුවා තිබූ සොබිබෝර් ඝාතන කඳවු‌රේ ආරක්ෂකයකු ලෙස රාජකාරි කළ ජෝන් ඩෙම්යාන්යුක් නැමැත්තාට එරෙහිව එම කඳවුරේ ඝාතනවලට එරෙහිව 2011 දී නඩුපැවරීමෙනි. එතැන් පටන් නාසි ඝාතනවලට ඍජුව සම්බන්ධ වූ බවට සාක්ෂි නැතත්, අදාළ ඝාතන සිදුවු කඳවුරුවල යාන්ත්‍රණය පවත්වාගෙන යාමට උපකාර කිරීම යන පදනම මත දැනට ජීවතුන් අතර සිටින්නන්ට එරෙහිව, ඔවුන් වරදකරුවන් කරමින් ජර්මන් අධිකරණ තීන්දු ගණනාවක් ලබාදී තිබේ.

    එතෙක් පැවැති නීතියට අනුව චූදිතයකුට දඬුවම් පැමිණවීමට නම් අභිචෝදකයන් විසින් එම චූදිතයා අදළ නිශ්චිත ඝාතනයකට හෝ ඝානතන කිහිපයකට පෞද්ගලිකවම සහභාගී වූ බවට අධිකරණය ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය විය. එය බොහෝ විට ඉටුකළ නොහැකි අනිවාර්යතාවක් බවට පත්වී තිබිණි. එහෙත් 2011 පටන් ස්ථාපිත වූ මෙම නව නීතිමය පූර්වාදර්ශය වඩා පහසුවෙන් එම අපරාධ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ සලසා දෙයි.

    අපරාධවලින් වසර 75කටත් අධික කාලයක් ගතවී තිබියදීත්, චූදිතයන් ජීවිතයේ අවසන් කාලය ගතකරමින් සිටියදීත් ඔවුන්ට එරෙහිව මෙතරම් කරදර වී විමර්ශන සිදුකර, සාක්ෂි සොය සොයා, අධිකරණ ක්‍රියාමාර්ග හමුවට පමුණුවන්නේ මන්දැයි කෙනකුට සිතෙන්නට පිළිවන. විශේෂයෙන් ම උතුරේ ද දකුණේ ද සිදුවූ පැහැදිළි සාක්ෂි සහිත යුද අපරාධ හා අනෙකුත් අපරාධ කන්දක් මත වගේ වගක් නැතිවව වාඩිලාගෙන සිටින අප වැනි සමාජයකට මෙය මහා පුදුමයක් වන්නට ඇති ඉඩ වැඩි ය.‍

    එහෙත් ශිෂ්ට සම්පන්න ලෝකයට සිතන්නට සිදුව ඇත්තේ ඊට වඩා වෙනස් විදියකට ය.

    එක් අතකට මේ අපරාධවලට මුහුණ පෑ නමුත් දිවි ගලවාගැනීමට සමත්වූ හෝ තමන්ගේ ආදරණීයයන්ට අත්වූ ඉරණම දෑසින් දුටුවෝ අදටත් ජීවතුන් අතර වෙති. ඔවුන්ට තමන්ට ම සිදුවූ හෝ සිය සමීපතමයන්ට, දන්නා අඳුනන්නන්ට හෝ එසේත් නැතිනම් තමන් නොදන්නා, නාඳුනන, නමුත් සිය දෑස් ඉදිරිපිට අපරාධවලට මුහුණපෑවුන්ට යුක්තිය සහතිකවීම අවශ්‍ය ය.

    එසේම, මනුෂ්‍යත්වයට නොසරිලන කුරිරුකම් හා සැහැසිකම්වලට ගොදුරු වූ, මනුෂ්‍යන්ට තරම් නොවන සැලකුම් ලැබූ පිරිසකගෙන් පැවත එන්නෝ අදටත් ඒ අපරාධ ගැන කම්පාවෙමින් පසුවෙති. ඔවුන්ට කවදා හෝ යුක්තියක් ඉටුවීම අත්‍යාවශ්‍යය යන්න, ශිෂ්ට සමාජයක් කල්පනා කරන විදිය ය.

    අනෙක් අතට පොදු ශිෂ්ටාචාරමය අරුතින් ගත් කල මෙබඳු අපරාධ වූ කලී සමස්ත මනුෂ්‍යත්වයට හා මානව වර්ගයාට එරෙහි සාපරාධී අපරාධ ය. ඒවා හැකි උපරිමයෙන් විමර්ශනය කර එළිදරව් කිරීමත්, වැරදිකරුවන්ට එරෙහිව නිසි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් හුදෙක් සිද්ධිවලට සාධාරණයක් ඉටුකිරීමක් පමණක් නොව මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉටුවිය යුතු අනිවාර්ය යුතුකමක් හා වගකීමකි. අනාගතයේ එබඳු සැහැසිකම්, අපරාධ හා කෘරත්වයන් සිදු නොවීමට නම්, අපරාධ කොට නීතියේ ඇසින් සැඟවී සිටිය නොහැකිය යන කාරණය තහවුරු කිරීමට නම්, එබඳු කෘරත්වයන්ට එරෙහිව කවදා හෝ නිසි දඬුවම් ලැබෙන බවට වගබලාගැනීම ශිෂ්ට සම්පන්න මනුෂ්‍ය සමාජයකට අතිශය වැදගත් ය.

    මනුෂ්‍ය සමාජයක් ශ්‍රේෂ්ඨ හා ශිෂ්ටසම්පන්න වන්නේ අතීත පම්පෝරිවලින් හෝ අපරාධ වසා එලන රණවිරු – දේශප්‍රේමී සළුපිළි වලින් නොවේ. සමස්ත ඉතිහාස කැන්වසය මත ඇති කළු පැල්ලම්වලට ද හැකි උපරිමයෙන් යුක්තිය ඉටුකරන අතර ම, ඒ යුක්තිය ඉටුකිරීම වර්තමානයට හා අනාගතයට අත්හල නොහැකි පාඩමක් බවට පත්කිරීමට වෙරදැරීමෙනි. මනුෂ්‍යත්වයට නිගාදෙන අපරාධ පිටුදැකීමේ මූලික කොන්දේසියක් වන්නේ එබඳු වූ අතීත අපරාධ යුක්තිය හමුවට පැමිණවීම මිස ඒවා සඟවාගැනීම, නැතිනම් දේශප්‍රේමී අයිසින්වලින් වසාදැමීම නොවේ.

    (AFP හා AP වාර්තා ඇසුරෙනි.)https://www.facebook.com/sanath.balasooriya.7

    සනත් බාලසුරිය
  • unpයේ විනාශකාරී NCP ව්‍යාපෘතිය 40 වසරකට පසු ගෝඨාභය අතින් විවෘත වෙයි

    unpයේ විනාශකාරී NCP ව්‍යාපෘතිය 40 වසරකට පසු ගෝඨාභය අතින් විවෘත වෙයි

    ජලය හා වනාන්තර පද්ධතිය දැවැන්ත අනතුරක හෙළමින් උතුරු මැද වාරි ඇළ නොහොත් NCP ව්‍යාපෘතිය ඉදිකිරීම මෙිවනවිට රජය විසින් ආරමිබ කර ඇත. ලංකාව තුල දැවැන්ත විනාශයක් සිදුකල මහවැලි සැළසුම සකස්කරන විට මීට වසර 40 පමණ පෙර උතුරු මැද වාරි ඇල නොහොත් NCP සැළසුම සකස් කරන ලදි. යටගොස් තීබූ මෙම ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ අණුඩුව සමයේ නැවත සකස්කිරීමට මැනුමි කටයුතු සහ සැළසුම සකස් කරන ලද අතර වර්ථමාන රජය එය කඩින්මින් ඉදිකර අවසන් කිරීමට යොජනා කර ඇත . රජය පවසන පරිදි උතුරු , උතුරු මැද හා වයඔ යන පළාත්වල ජනතාව දූගී භාවයට පත්ව ඇත්තේ ජල හිගය නිසාය .එමනිසා එම දූගී භාවය තුරන් කිරීමට මෙම වාරි ඇල සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. රුපියල් බිලියන 120 බැංකු ණය ආධාර මත ඉදීවීම ආරමිබ කිරිීමට නියමිත මෙම ව්‍යාපෘතිය මෙරට නැවතත් පාරිසරික හා සමාජීය වශයෙන් දැවැන්ත අර්බුදයකට ගෙන යන අතර සිංහල දමිළ ගැටුමක් මෙි හරහා නිර්මාණය වීම සදහා ඇති ප්‍රවණතා වැඩිය . .

    රජයේ සෑළසුම අනුව දැනටමත් දැවැන්ත පාරිසරික හයනයක් සිදුකරමින් ඉදිවුන මෙරගහ කන්ද හා කලු ගග ජලාශ වලින් ජලය කිලෝමීටර් 66 දිග ඉහල ඇලහැර ඇල ඔස්සේ මහකනදරාවට ගෙන යනු ලබයි . දෙවනුව මාන්නකටිටියේ සිට චෙන්මඩුකුලමි දක්වා කිලෝමිටර් 95 වාරි ඇලක් ඉදිකිරිමට නියමිත අතර එම වාරි ඇල ඉදිවන්නේ උතුරු මැද හා උතුරු පළාත් වල දැවැන්ත වන සංහාරයක් සිදු කරමිනි.

    එයින්ද නොනැවතී එම පාරිසරික සංහාරය වඩා තීව්‍රර කරමින් චෙන්මඩු කුලමි සිට ඉරණමඩු දක්වාත් ඉරණමඩු සිට යාපනයේ අර්ධද්ධිපය දක්වාත් මෙයින් ජලය ගෙන යාමට සැළසුමි කර ඇත. උතුරු මැද වාරි ඇළට සමගාමීව රන්දෙණිගල ජලාශයේ සිට කිලෝමිටර් 52 දිවෙන වාරි ඇලක් ඔස්සේ එහි ජලය කලු ගග හා මෙරගහකන්ද ජලාශවලට හැරවීමටත් ,අංගමැඩිල්ල අසල වෙල්ලක් බැද එහි ජලය පොමිප මාගින් මින්නේරිය ජලාශයට ලබාදීමටත්. මහවැලි ගග කාලිංගණුවරින් හරස්කෙට අංගමැඩිල්ලට ලබාදීමටත් කටයුතු සකස් කරමින් පවතින අතර මෙයින් පුරාන වාරි පද්ධතිය අවුල් ජාලයක් බවට පත්වනවා පමනක් නොව විශාල පාරිසරික හානියක් මෙම ප්‍රදේශවල සිදුවනවා ඇත.

    උතුරු මැද වාරි ඇල නිර්මාණය කිරීමෙිදී උතුර.” උතුරු මැද පළාත් තුල ප්‍රදේශිය ලේඛමි කොටිඨාහ දෙළහකින් සහ වයඔ පළාතේ ප්‍රදේශ කිහිපයකින් ඉඩමි රජයට පවරා ගැනීමට හා වනාන්තර ඉඩමි එලි කර මෙහි අවශ්‍යතා සදහා යොදාගැනීමට මෙම සැළසුම අනුව සැළසුමි කර ඇති අතර මෙි වන විටත් ඉරණමඩු ආශ්‍රිතව මෙම විනාශය ආරමිබ කර ඇත.

    මොරගහ කන්ද ජලාශයෙන් ආරමිබ වන NCP ඇල යාපනය අර්ධවද්ධීපයට යන තෙක් කිලොමිටර් 200 දුර ප්‍රමාණයක් කෑලෑ ඉඩම් තුලින් හා ඇතමි ස්ථානවල මිනිසුන් ඉවත් කර ජනාවාස ඔස්සේත් ඉදිකිරිමි ආරමිභ වනවා ඇත. උතුරු මැද වාරි ඇල මාර්ගයේ පළල ඇල රක්ෂිතය සමඟ මීටර් 120 කි .එහි දිග කිලොමිටර් 200 කි .ඒ අනුව මිටර් 120 පළල කිලෝමිටර් 200 දිග වනාන්තර තීරුවක් හා එහි සතා සිවිපාවගේ නිවහනත් මෙරටට අහිමිවන අතර මෙි තුලින් වනාන්තර ඛංඩනය වීමත් අලි අතුන් ගේ අලි මංකඩ විනාශ වීමත් වැළැක්විය නොහැකිවන අතර අතුරු ඇල මාර්ගය සදහාද දැවැන්ත පාරිසරික හානියක් සිදුකර වනන්තර විනාශකරමින් ඇල වෙීලි ඉදිකිරීම මෙහිදි සිදුවෙි..

    විශේෂයේන් වයඔ “උතුර හා උතුරු මැද පළාත්වල වැවි රක්ෂිත ගණනාවක් හා වනාන්තර ප්‍රදේශ ගණනාවක් මෙම ව්‍යාපෘතිය නිසා වීනාශ වන අතර පුරාණ වාරි කර්මාන්තයේ එල්ලංගා පද්ධති ගණනාවක් සහමුලින්ම විනාශවෙි. පුරාණ වාරිමාර්ග ජාලය අවුල් ජාලාවක් බවට පත්කරන මෙම ව්‍යාපෘතිය නිසා කුඩා මස් වැල්ලාව,ම” මස්වැල්ලාව” රන්පත් විල” සියඔලා වැව” තමිමැන්නා කුලමි” පලා තොට වැව” කුඩා පටිටිය දිවුල් වැව” කාපිරි ගම වැව ” ඇහැටු වැව ” කොන් වැව ” පත්තක්කා වැව” දික්වැව “ගුරළු පොත වැව” වයඔ පළාතේ මී ඔය ආශ්‍රිත හා තවත් කුඩා වැවි 700 පමණ එල්ලංගා පද්ධති හා ඒ අවට ප්‍රදේශ ගණනාවක වනන්තර මෙම ව්‍යාපෘතිය නිසා විනාශ වේ . පුරාණ වාර් කර්මාන්තයේ ජල කළමණා කරනයේ සුවිශේෂි කාර්‍යභාරයක් ඉටුකල මෙම වාරි පද්ධති තෙත් භුමි ලෙස සුවිශේෂි කාර්යයන් ඉටු කරනු ලබයි .එමෙන්ම වියලි කාලයේදී භුගත ජලය ගබඩාකර ගැනීම සදහාද පාරිසර්ක වශයෙන් එල්ලංගා පද්ධතිය සුවිශේෂි කාර්යයන් ඉටුකරනු ලබයි. එලෙස සුවිශේෂි කාර්යක් ඉටුකරන එල්ලංගා පද්ධති නැවත පණගන්නවා වෙනුවට මෙම වාරි රාටාව වෙනස්කර කරන විනාශයේ ප්‍රතිපල මෙම ප්‍රදේශ වල ජනතාවට පමණක් නොව මුළු රටටම බලපානු ලබයි . මෙය ඉතිහාසයේ දැවැන්තම පාරිසරික විනාශය බවට පත්වන බවට කිසිදු සැකයක් නොමැත.

    වර්ථමානයේ මෙරට ඉදිකල මහා පරිමාණ ජලාශ ඇල වෙිළි කිසිවක් බලාපෙරොත්තු වූ ප්‍රගතියේන් අඩකටවත් ලගා විමට බැරිවී තිබෙී. එසේ තිබියදි නැවත නැවතත් මෙවන් විනාශයන් කිරිමේන් මෙරට ජනතාවට හෝ පරිසරයට සිදු වන සෙතක් නොමැත. මොරගහ කන්ද කළු ගග ව්‍යාපෘති වුයේත් NCP ඇල උතුරට හැරේන්නෙත් පොලොන්නරුවට ජලය ගෙනයන ප්‍රධාන වාරි පද්ධතිය වන ඇළ හැරට ඉහලින්ය. එමෙන්ම පොළොන්නරු ප්‍රදේශයේ පුරාණ වාරි පද්ධතිය වන ඇලහැරින් ජලය ගෙන යන සුදු කන්ද වැටියෙන් හා කොදුරුවාව කදු වැටියෙන් දෙපස ආවරනය වු වාරි පද්ධතිය පරාක්‍රම සාගර ඇල මාර්ගය ,අංගමැඩිල්ල, “අහස් ගග” මින්නේරිය , පරාක්රම සමුට්ය” කවුඩුල්ල ,කන්තලේ , වෙන්රාස කුලමි හා ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන තෙක් වූ වාරි පද්ධතිය දැඩි අර්බුදයකට ලක්වන අතර මොරගහ කන්ද ,කළු ගග ව්‍යාපෘතිය හරහා උතුරු මැද වාරි ඇලට ජලය හැරවූ විට ඇල හැරින් ඉහත ජල මාර්ග වලට යන ජල ප්‍රමාණය අඩු වෙි . දැනටමත් පොළෙන්නරුව ඇතුළු ප්‍රදේශ වල ජනතාවගේ වගා බිමි වටට අවශ්‍යතරමි ජලය ලබා නොදෙන අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙින් උතුරට ජලය හැරවූ විට මෙම ප්‍රදේශවලට ලැබෙින ජලය තවත් අඩුවෙි , මෙයින් මෙම ප්‍රදේශ වල පාරාමි පරික ගොවීන් මෙන්ම 1960 පසුව බලහත් කාරයෙන් පදිංවි කල ගොවිජනතාවද අර්බුදයට පත්වේ .

    පාරිසරික වශයෙන් පමණක් නෙව උතුරු මැද වාරි ඇල සමාජීය වශයෙනුත් ප්‍රශ්න ගණනාවක තවත් ආරමිභයකි. උතුරු මැද වාරි ඇල ඔස්සේ අනුරාධ පුරයට හා පොලොන්නරුවට ලැබීමට තිබෙින ජලය යාපනයට හැරවූ විට ජලහිගයට මුහුණ දෙන අනුරාධපුර ,පොළොන්නරු ඇතුළු ප්‍රදේශවල ජනයා හා උතුරේ දමිළ ජනයා අතර ජලය මුල්කරගන ගැටුමි ඇතිවීමෙි ඉඩකඩ මෙමගින් විවර කරදෙනු ලබයි , මෙම බෙිදුමි ඇලෙහි පරමාර්ථයත් එයයි. යුද්ධය නොමැතිනමි ඇමරිකානු ආයුධ නිෂ්පාදන සමාගමි වලට ලාබ ලැබීමට බැරිය. සිරියාව දෙකඩ කිරීමට ඔහුන් 2013 සිට භාවිතා කරන උපක්‍රමය අද දවසේ ලංකාව තුලද ක්‍රියාත්මක කරමින් සිටයි . ලොව පුරා මෙවන් සිදූවීමි වලට ඔනෑ තරමි උදාහරණ තිබෙි. 1945 වසරේ ඉංදියාවෙි පන්ජාබි ප්‍රන්තය හා ඒ අවට ගමි බටහිර ආක්‍රමණිකයන් විසින් කොටස් දෙකකට වෙන් කරන ලදි . ඒ එක් කොටසක් පකිස්ථානය ලෙසත් අනික් කොටස ඉංදියාවට අයිති වන ලෙසත්ය. පන්ජාබි යනු ගංගා පහේ භූමිය යන්නයි. පකිස්ථානයට ප්‍රදාන වශයේන් ජලය ලැබෙින්නේ ඉංදු , චෙනාබි හා ජෙලුමි යන ගංගා වලිනි .එයිනුත් වැඩි ප්‍රමාණයක් ජලය ලැබෙින්නේ ඉංදු ගංගාවෙනි. පසු කාලීනව ඉන්දියාව විසින් ඉන්දු ,රවි,බෙියාස්, සතුල්ජී යන ගංගා වලින් ඇලවෙිලි බැද හරස් කර ඉන්දියානුවන්ට අවශ්‍ය ජලය ලබාගන්නා ලද අතර එමගින් පකිස්ථානයට යන ජල ප්‍රමාණය අඩු විය

    ඉන්දියානු පාකිස්ථාන් යුද්ධය ආරමිබ වන්නේ මෙම ජල ගැටළුව මූලික කාරණයක් කරගනිමින්ය. අද දවස වන විටිත් ඇල වෙිලී වීශාල සංඛයාවක් බදවා පාකිස්ථානයට ගලායන ජලය ඉන්දියානු රජය විසින් හරස් කොට ඇත. එය පාකිස්ථානය දේශපාලනිකව පරාජය කිරීමට භාවිතා කරන යුද උපක්‍රමයක් ලෙස ඉන්දියාව විසින් භාවිතා කරයි. අනෙක් අතින් වෙිළි වල රදවා තබා ඇති ජලය වැසි කාලයේදි එක්වරම නිදහස් කිරීම මගින් පකිස්ථානයට කෘතිම ගංවතුර ඇති කිරිම වැනි අමානුෂික ක්‍රියා මෙිහිදි සිදු කරනු ලබයි . ජලය මුල් කර ගනිමින් ඇති වූ පාකිස්ථානු ඉන්දියානු යුද්ධය අපට දෙන උදාහරණය නමි උතුරු මැද වාරි ඇල විසින් නිර්මාණය කරන්නේද මෙවන් තත්වයක් බවයි. විශාල පාරිසරික හායනයක් හා දේශපාලණික අර්බුදයක් ඇති නොකට උතුරේ ජනතාව වෙත ජලය ලබාදීම අවශ්‍ය කාරණයකි. ඒ සදහා කලයුතු හොදමක්‍රියාමාර්ග වන්නේ මන්නාරමෙි යෝධ වැව ඉරණමඩු වැනි මහ වැවි හා ඒ ආශ්‍රිත ඇති කුළු වැවි ” දන වැවි හා ගමි වැවි නැවත ප්‍රතිසංස්කරණය කිරීම හා ඇලවෙිලී ප්‍රතිසංස්කරණය කර එම ප්‍රදේශයේ ජල ගබඩාව සුරක්ෂිත කිරිමයි .උතුරේ ජනතාව කෙදිනක හෝ මහවැලි ජලයෙන් යැපුනේ නැත ඔහුන්ටම අවෙිණික වූ ජල සංරක්ෂණ ක්‍රියා මර්ග ඔහුන් භාවිතා කරන ලදි. ඒ අනුව යාපනයේ ජනයා පෙරදී භාවිති කරන ලද පොකුණු 1000 වැඩි ප්‍රමාණයක් යුද්ධය සමග විනාශ වී ගොස් ඇත. මෙම පොකුණු ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම වෙනුවෙන් සකස් කල හැකිය . පෙරදී මෙන්ම වර්ථාමනයේදී ද වර්ෂා කාලයේදී වැලි කොටිට දමා කලපු හරස් කර ගත් ජනයා ජලයෙහි ලවණතාවය වැඩි වන තෙක් එම ජලය භාවිතයට ගනී.

    රජය කල යුත්තේ මෙම ජල සංරක්ෂණ ක්‍රයා මාර්ග ආරකිෂා කරමින් සොබාදහම හා ජනයාත් එම වටිනාකමිමුත් ආරකිෂා කිරීමයි. අනිකි අතින් පාරමි පරිකව ජලය ලබාගන්නා ක්‍රම වෙිද තිබියදි ඒවා විනාශ කිරීම මගින් අද මහවැලි ගොවියා මුහුණ දෙන සමාජිය හා පාරිසරික අර්බුදයට උතුරේ ජනතාව මෙමගින් ඇද දමනු ලබයි .

    බැංකු ණය මත ඇළ වෙිලි නිර්මාණය කලත් රජයට වර්ෂාව හෝ ජලය නිර්මාණය කිරීමට බැරිය දහස් ගණන් වනාන්තර භූමි මධ්‍යම කදුකරයේ හා රටෙි අනේක ප්‍රදේශ වල විනාශ වන විට වර්ෂාව ඇදගන්නා හා භූගත ජලය රකින වනාන්නතර විනාශ වි යයි. එසේ වූ විට උතුරට ජලය දෙන්නේ කෙසේද.අනෙක් අතින් උතුරු මැද වාරි ඇළ තන්නනේ උතුරේ ජනතාවට ඇති අප්‍රමාණ වූ දයාව නිසා නෙවෙි. මෙම ඇළ ගෙනයන ප්‍රදේශ වල ඉඩමි සැළකිය යුතු ප්‍රමාණයක් ආර්ථික බෝග වගාව වෙනුවෙන් ලබාගැනීමට රජය මෙි වන විට සැළසුමි කර ඇත. එම නිසා කන්තලේ උක් වගාව තවත් ප්‍රමාණයකින් වගා බිමි වැඩි කරන අතර උතුර හා උතුරු මැද ප්‍රදේශ ගණනාවක උක්, රටකජු, කජු, ග්රීන් ගෑමි , ෆාමි, අපනයනය කල හැකි එළවළු හා පළතුරු උදාහරණයක් ලෙස කැවෙින්ඩිස් කෙසෙල් වැනි බෝග වගාව සදහා අනුරාධ පුරය , විවිනායාව , මන්නාරම ප්‍රදේශ වලින් කූලෑ ඉඩමි ලබා ගෑනීමට හා ඒවා බහු ජාතික සමාගමි ඇතුළු සමාගමි වලට ලබාදීමට ජාතික භෙෘති සැළසුම අනුව සැළසුමි කර ඇත. එම වගාවලට අවශ්‍ය ජලය සැපයීම මෙම උතුරු මැද වාරි ඇලේ ප්‍රධන අරමුණයි .

    එයට අමතරව උතුර මැද වාරි ඇළට සමගාමිව උතුරු මැද ,වයඔ හා උතුර ප්‍රදේශ වල වැවි 1000 ආර්ථික ඒකක වශයේන හදුන්වා දීමට සිදුකරන අතර එම වැවි 1000 ජලය ආර්ථික බොග වගාව සදහා යොදා ගනු ලබයි . කෙටියෙන්ම කිවහොත් වැවි හා ජලය පෙෘද්ගලීකරණයද මෙයට සමගාමීව සිදුවෙි . ඒ විට එහ ප්‍රදේශ වල ජනතාවට සිය ගොවිතැන් බත් වලට අවශ්‍ය ජලය ලබා ගැනිම ගැටළුක් වනවා මෙන්ම ආර්ථික වශයෙන් හා සමාජිය වශයෙන් මෙම ප්‍රදේශ විනාශවිමත් අලි මිනිස් ගැටුම ඇතුළු තවත් පාරිසරික ආර්බුද මෙම ප්‍රදේශ වල නිර්මාණය වීමත් නෙවැළක් විය හැකිය . බහු ජාතික සමාගමි සැනසීම වෙනුවෙන් ලංකාවෙි ජනවාර්ගික ගැටුමි ඇති කිරිීම හා ස්භාවික සමිපත් සූරා කෑම පසුගිය රජය මෙන්ම වර්ථමාන රජයත් සිදුකරමින් ඇත . උතුරු මැද වාරි ඇළ නිසා සිදුවන දැවැන්ත ඉඩමි මංකොල්ය හා ජලය විකිණීමෙි ක්රමාණුකූල සැළසුම සිංහල හා දමිළ ජනයා තවතවත් අනාතයින් බවට පත්කරනු ඇත.

    රටකට ජනපති වරුන් හෝ අමාත්‍ය මංඩලයක් තෝරාපත් කර ගන්නේ භූමිය ඇතුළු ස්භාවික සමිපත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හා සමාජය සුරක්ෂිත කිරීම වෙනුවෙනි. නමත් උතුරු මැද වාරි ඇළ ව්‍යාපෘතිය නිසා වයඹ “උතුර හා උතුරු මැද ජනයාට ජීවත් වීමට ඇති ඉඩමි හා වටිනා පරිසර පද්ධති වීදේශිය සමාගමි වලට බදු දෙනවා පමණක නොව ඔහුන්ගේ වීශාල ගොවි ව්‍යාපාර වෙනුවෙන් සමස්ථ ජල ශිෂ්ථාචාරයම වනසා එම ඉඩමි වලට අවශ්‍යතා ජලයත් සැපයීම මෙමගින් සිදුවෙි .

  • ජනතාවගෙන් එකෙක් වූ මා නිදහස සමරමි

    ජනතාවගෙන් එකෙක් වූ මා නිදහස සමරමි

    මා යනු
    ජනතාවගෙන් එකෙකි
    පාලකයාට දොස් පැවරුවෙමි
    වරෙක ජනතාවට ද

    අංශක තුන්සිය හැටක්
    මගේ සිත කය හැරෙව්වෙමි
    නමුත් කිසිවක්
    හමු නො විණි

    මා යනු ජනතාවගෙන් එකෙකි
    මා රැවටූවන්ට දොස් පැවරුවෙමි
    වැට මායිමට රුවටුනෙමි

    අංශක තුන්සිය හැටක්
    මගේ සිත කය හැරෙව්වෙමි
    මම ය
    නමුත් කිසිත් හමු නො විණි

    දියර මෙන්
    මුසු උණෙමි
    ඝණ ද්‍රව වායු උණෙමි
    නිදහස හමු නො විණි

    අංශක එකසිය අසූවක්
    මගේ පිටුපස
    දර්පනයක්

    අල්තාරයක් ඉදිරිපිට
    දෙවියෙක් නැති කෝවිලක
    දර්පනය මගේ දෙවියා ය
    දෙවියන්ට දොස් පැවරුවෙමි

    ඒ මට මය
    ජනතාවගෙන් එකෙක් වූ මටම ය
    මගේම වෙනස් වීම
    බලා සිටියෙමි

    නැවත හැරුනෙමි
    මා ජනතාවගෙන් එකෙකි
    පාලකයාට දොස් නො පවරමි
    ඔබ මගේ විශ්වාසය නො වන හෙයිණි

    මා නිදහස සමරමි
    ලැබුණු හෝ නො ලැබුණු හෝ
    පෙන්වා දුන් නිදහසින් නිරෝධව
    සුද්දට නො බණිමි
    දෙවියන්ට නො අයදිමි

    මා යනු
    ජනතාවගෙන් එකෙකි
    පාලකයන්ට, දෙවියන්ට දොස් නො තියන
    ජනතාව සොයමි
    නිදහස බෙදාගෙන විඳ ගන්න

     

     

  • ඩොමිනික් ජීවා – පාලම් නොතකන යුගයක පාලම් හැදූ මිනිසා

    ඩොමිනික් ජීවා – පාලම් නොතකන යුගයක පාලම් හැදූ මිනිසා

    පාලම් තනන්නෝ හරි අපූරු සත්ව විශේෂයකි. ඔවුන් ඉවරු දෙකක් එකට එක් කරයි. ඒ විතරක් නෙවි ඉවූරු දෙකේ අසමානතා සමනය කරමින්, ඉවසමින් දෙගොඩම එක ගොඩක් කරන්න වෙහෙසෙයි. ඩොමිනික් ජීවා යනු ලාංකීය සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ එවැනි පාලම් තැනූ මිනිසෙකි. දමිළ සහ සිංහළ සමාජය හරහා සාහිත්‍ය පාලමක් තනන්නට අමාරු උත්සහයක් කළේය. ඉවුරු දෙකේම මිනිසුන් පාලම් අවැසි නැතැයි ආඩම්බර වහසි බස් දොඩවමින් සිටින යුගයක නිහඩවම සාහිත්‍ය පාලමක් තැනූ මිනිසා පසුගියදා දිවිසැරිය නිමකළේය.

    1960 දී පමණ දමිළ බසින් සාහිත්‍ය ලෝකයට පිවිසෙන ඩොමිනික් ජීවා, සිංහල සාහිත්‍ය කෘති දමිල සාහිත්‍ය ලෝකයට හදුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ඩොමිනික්ය. මල්ලිකෙයි නොහොත් පිච්චමල නමින් ඔහු විසින් සංස්කරණය කරන ලද සගරාවට සිංහල ලේඛකයින් සහ කෘති හදුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් කළේය.

    ඩොමිනික් ජීවිතය පටන්ගත්තේ කාරණවෑමියෙකු ලෙසයි. කොන්ඩේ කපන රස්සාව අතරතුර ඔහු තන්නිරුම් කන්නිරුම් ( වතුර සහ කදුළු ) කෙටිකථා සංග්‍රහය ලියනවා. ඊට පසුව එයට හොදම දමිල කෙටිකතාව ලෙසට1961 දී සම්මාන ලැබෙනවා එතැන් පටන් වසර පණහක් පමණ දමිළ සාහිත්‍යට මෙන්ම දමිළ දේශපාලන සමාජයට කරන ලද සේවය එම ප්‍රජාවේ ඇකඩමික් බුද්ධිමතුන් පරදවනවා.

    ‘ බාබර් සාප්පුව තමයි මගේ විශ්වවිද්‍යාලය’

    තමාගේ අතීතය ගැන ඩොමිනික් කියන්නේ එහෙමයි.

    ඩොමිනික් කියන්නේ හුදු සාහිත්‍ය කරුවෙක් පමණක් නොවේ. සාහිත්‍ය ලෝකයේ මවන ලෝකය තමන් උපන් බිමේ සැබෑවක් කරන්න අරගල කළ දේශපාලකයෙක්. ඔහුගේ දේශපාලනය පටන්ගන්නේ කොමිනිස්ට් පක්ෂයෙන්. පක්ෂයේ වෘතිය සමිති ව්‍යාපාරයේ ලේඛකකයෙක් සහ චතුර කථිකයෙක් වන ඔහු කුළ පීඩනයට එරෙහිව හඩනැගූ සහ ලියූ මානව හිතවාදී දේශපාලකයෙකු උනා.

    උතුරේ යුද්ධය තීවුර වූ අවදියේ ජීවිත තර්ජන ඔහු සොයා ආව.

    ‘ලිවීම නවත්තපන්…..නැතිනම තුවක්කු කට කථා කරයි’

    ඩොමිනික් ට තර්ජන ආවේ එලෙසයි. එහෙත් ඔහු නැවතුනේ නෑ. උතුරෙන් කොළබට පැමිණ තමාගේ ලේඛකන කාර්ය දිගටම කරගෙන ගියා.

    සිංහල සාහිත්‍ය සමාජයට හෝ දේශපාලනයට ඩොමිනික්ව හරියට අහුඋනේ නෑ. උජාරුභාවය දොරේ ගලාගිය සමාජයට ඩොමිනික්ගේ මරණය ලොකු දෙයක් උනේ නෑ. මොකද අපි පුරුදු වෙලා තියෙන්නේ දූපත් ඇතුලේ දොරගුළු වහගෙන ජයකෙහෙලි නංවන්නට මිසක් පාලම් හදල ලෝකෙ එක්ක එකතු වෙලා හුදකලා බවින් මිදෙන්න නෙවේ.

    ඩොමිනික් ජීවා – පාලම් ප්‍රතික්ෂේප කල ඉවුරු දෙකක් හරහා සාහිත්‍ය පාලමක් තනන්නට වසර 94 ක්ම වෙහෙස වී නික්ම යන මිනිසාට දූපතේ පාලම් විශ්වාස කරන මිනිසුන්ගේ ආචාරය.

    සරද සමරසිංහ

     

  • ‘කොටියා සහ පිනුම් ගසන්නා’

    ‘කොටියා සහ පිනුම් ගසන්නා’

    ‘කොටියා සහ පිනුම් ගසන්නා’ කියවා අවසන් වූ වහාම මා තුළ සිදු වූ එක් අසිරිමත් සිදුවීමක් නම්, ටික දිනක් ගෙවෙන තුරු, තමන් පිළිබඳ වෙනස්ව සිතන්න පුරුදුව සිටි, වෙනස් ආකාරයේ සිහිනයක් හඹා ගිය, කොටි දෙනක හා මා ඒකාත්මික වී සිටීමයි. මින් පෙර ගෙදර සුරතලයට ඇති කරන ආදරණිය මිතුරන් වන සුනඛයන් හැර වෙන කිසිම සත්වයෙකුට පුද්ගලභාවයක් ආරෝපණය කිරිමේ උවමනාවක් මට තිබුනේ නැත. එහෙත් ‍කොටියා සහ පිනුම් ගසන්නා කෘතිය කියවීමෙන් පසුව, කොටියා යන සත්ත්වයා පිළිබඳව, ඔවුන්ගේ ජීවන විලාශය පිළිබඳව මම විශේෂයෙන් සිතන්නටත්, ඔවුන්ගේ ලෝකය පිළිබඳ රෝමැන්තික කතාවක් මා තුළ ගොඩ නැඟන්නටත් ඉඩ හළෙමි. මට තව දුරටත් කොටියා නම්, වන සත්ත්වයා, දුටු මතින් බියක් දනවන, රෞද්‍ර තිරිසන් සතෙකු නොවේ. මම දැන් වෙනදාටත් වඩා ඔවුන්ගේ ජීවන විලාශයට ගරු කරමි. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතියට ගරු කරමි. එසේම ඔවුනට ද හැඟීම්, කැමති අකමැති දේ මෙන්ම සිහින පවා ඇති බව මා විශ්වාස කිරීමට ඉඳුරාම කැමැතිය.

    මම ස්වභාවයෙන්ම පරිසරයට දැඩිව ආදරය කරන කෙනෙකි. ඒ නිසාම මා මේ මොහොතේ සංවර්ධනය මුවාවෙන් මේ රට තුළ සිදුවන බිහිසුණු පරිසර සංහාරය දෙස වඩාත් තැති ගැන්මෙන් බලා සිටින කෙනෙකි. පසුගිය දිනවල නිරන්තරයෙන් විවිධ උගුල් වලට හසුව බළල් පවුලට අයත් එක් එක් සාමාජිකයා මියැදෙන සැටි වේදනාවෙන් බලා සිටියෙමි. එය කිසිසේත්ම යථාර්තයක් විය නොහැකි නමුත් මා පොත කියවා අවසාන කළ විට, මට සිතුනේම ඉතාමත් සාහසික ලෙස පරිසරය විනාශ කරන මේ ගහලයින්, අහම්බෙන් හෝ මෙවැනි ජීවිත දැනීමක් ලබා දෙන කෘතියක් ඇසුරට පත් වී නම්, පරිසරයට ද මිනිසාට මෙන්ම ගරුත්වයක් ඇති බවත්, ස්වපැවැත්ම සමබර කරගනිමින් මේ මිහිතලය තුළ පැවැතීමට එයටත් අයිතියක් ඇති බවත්, මිනිසා යනු සියල්ලට ඉහළින් සිටින, ඕනෑම දෙයක් තමන්ට රිසි ලෙස විනාශ කිරීමටත්, නිර්මාණය කිරීමටත් ඇති සර්වබලධාරියා නොවන බවත් යන්තමින් හෝ තේරුම් ගනු ඇති බවයි.

    සුසන්නා තමාරෝ! මට එක දෙයක් ස්ථිරමව කිව හැකිය. ඔබගේ ව්‍යාපෘති ඉතාමත් සාර්ථකය! මා කොටියා සහ පිනුම් ගසන්නා කියවා හමාර කොට එහි අවසාන පිටුව, එනම් සයිබීරියානු කොටියා නැතහොත් අමර් කොටියා පිළිබඳව දැක්වෙන විස්තරයත්, ඔවුන් මේ පෘතුවි තලයෙන් වඳවී යාමට මුහුණ පා ඇති සැටිත්, ඔවුන් සංරක්ෂණය කරන ව්‍යාපෘතිය යටතේ 2022 වන විට සයිබීරියානු කොටි ගහනය 6000ක් දක්වා වර්ධනය වනු ඇතැයි යන අපේක්ෂාව පිළිබඳ සටහන කියවන විට, සුසන්නා තමාරෝ නම් ප්‍රබන්ධකාරිය විසින් එවැනි ප්‍රබන්ධ කෘතියක් නිර්මාණය කිරීමෙන්, බලාපොරොත්තු වුණු ප්‍රථිපලය මුළුමනින්ම ඇය අත්පත් කරගැනීමට සමත් වූ බව, ඇයගේ පාඨකයෙකු ලෙස මට ඉඳුරාම පැවසිය හැකිය. ඒ මක්නිසාදයත් එම පොත කියවා අවසාන වන විට මා එහි ප්‍රබන්ධ කතාවෙන් මත් වී සිටියා පමණක් නොව, සයිබීරියානු ‍කොටි දෙනගේ ජීවිතයට, හැඟිම් වලට මෙන්ම සිහින වලටද මා ආලය කිරීමට පටන් ගෙන තිබුණි. ඉඳින් මින් පසු මෙම කෘතිය නිසා ඇති වුණු රෝමාන්තික සිතිවිලි ගොන්නෙන් මිදී, මට කොටියෙකු දෙස නැවතත් අවශේෂ ආකාරයකින් බැලිය නොහැක. මට තවදුරටත් කොටියා යනු සතුන් මරා කන බිහිසුණු වන සත්ත්වයා නොවෙයි. ඔවුන් මිනිසා සේම තමන්ට අනන්‍ය වූ ජීවිතයක් ගත කරන, එසේම මිනිසාට මෙන්ම මේ මිහිතලය මත තමන් කැමති පරිදි ජිවත්වීමට අයිතියක් ඇතැයි කියා පාන ගෞරවණිය ජීවින් කොට්ඨාශයකි. ඉතින් එවැනි දැනුමක් ඇත්තෙකු කිසි‍විටෙක කොටියෙකු හෝ ඔවුන් ජිවත්වෙන පරිසරය හෝ විනාශ කිරීමට අනියම් ආකාරයෙන් හෝ පෙළඹේවිද? මට නම් එසේ කළ නොහැකිය.

    සුසන්නා මේ අනභිවනීය සිතුවිලි ‍ගොන්න අපගේ මනසේ රෝපණය කරන්නේ ඉතාමත් සුන්දර, ලයාන්විතව ගලායන ප්‍රබන්ධයක් තුළ බහාලීමෙනි. මට මේ මොහො‍තේත් මගේ මසැස ඉදිරියේ දිස්වන්නේ තේජාන්විතව මෙන්ම ලයාන්විතව පොළවට දැනී න‍ොදැනී, සියුම් ලෙස එහෙත් බරැති පා තබමින් තමන්ගේ අපූරු ඉලක්කය හඹා යන කොටිදෙනයි.

    ඔව් සැබවින්ම! වෙනස් සිහින හඹා යන්නෝ යනු මේ ලොව හුදකලාව වෙසෙන්නෝය. කොටි දෙන ද එසේමය. ඇයට ඇයගේම රාජධානියක් තනා ගැනීම, පවුලක් හෝ දරුවන් හදා ගැනීම වෙනුවට, ඊට හාත්පසින් වෙනස් වූ ඇයගේ සිහිනය හඹා යාමට ඈ ආදරය කළාය. ඇයට ඈත්වී ජීවත් වන්නැයි අවවාද ලැබු අයවලුන්ටම(මිනිස් වර්ගයාට) ලෙන්ගතු පෑමේ අභියෝගය ඇය නොබියව භාර ගත්තාය. එහෙත් ඇය තමන්ගේ වරිගයෙන් ඈත්වී, ඇසුුරක් පතන්නේ මිහිතලය සුවපත් කළ හැකි, සොබා දහමේ ශක්තියත් දැනුමත් කැටිකොට ගත් මිනිසෙකුගෙන්ය. සුසන්නා එම සුන්දර සබඳතාවය තුළින් අපට කියන්නේ මේ මිහිතලයට ආදරය කරන, සොබා දහමේ සමබරතාවට ගරු කරන සොබා දහමේ ශක්තිය තේරුම් ගැනීමට උත්සාය කරන එවැනි නුහුරු සබඳතාවන්ට ද මේ මිහිතලයේ ඉඩ ඇති බවය.
    ඇය සේම ඒ සුවිශේෂි මිනිසාද මේ මහපොළවේ අඳුරු ශක්තීන් පිටු දකිමින් හුදකලාව වෙසෙන්නෙකි. ඔවුහු එකිනෙකාගේ ඇසුර තුළින් සිය තනිකම පළවා හරිති, ආදරය රැකවරණය ලබති. එක් මොහොතක තම පරම්පරා උරුමයෙන් ලත් ඥානයට පිටුපාන ඇයට ඒ සඳහා වන්දියක් ගෙවීමට ද සිදුවෙයි. එහෙත් ඇයගේ එකායන සිහිනය, එනම් ලෝකයට ආලෝකය ලබා දෙන හිරු සොයා යාම ඇය අත් හරින්නේ නැත.

    ඇය ඇයගේ සිහිනයට අවංකය, එය විශ්වාස කරන්නීය. ඒ වෙනුවෙන් ජීවත් ‍වන්නීය. සියළු දේ අහිමි වී ගිය විට දී පවා, ඇයගේ සිහිනය ඇය ජීවත් කරවන්නීය. ඒ නිසාම ඇය ගේ ජීවිතය පුරා හුදකලාව සහ දොම්නස යනු, ඇය හැර පියා නොයන ආධ්‍යාත්මික ලැබැඳියන්ය. ඔව්! වෙනස් ලෙස ජිවත් වීමට අපට මහත් සේ ශක්තිය අවශ්‍යය, අප අප තුළම දිය විය යුතුය, වැය විය යුතුය, බොහෝ දුක් ‍වේදනා විඳ දරා ගත යුතුය. සොබා දහම් නීතිය එසේය. එහෙත් එවැනි ශක්තියකට හා එම ශක්තිය දරන්නීට සොබා දහම ද පෙරළා ආචාර කරන්නීය.
    එහෙයින් මේ ලොව තිබිය හැකි දුෂ්කරතම සහ දීර්ඝතම සිහිනය දරාගත්තාට ‍කොටි දෙනට ද සොබා දහම පෙරළා නමස්කාර කරන්නීය. කොටි දෙන සොබා දහම විසින් දායාද කරන සොඳුරුතම තිළිණය ලබන්නී ඒ නිසාය.

    ඉඳින් වෙනස් ජීවිතයක් සොයා ගිය, තම සිහිනය අත් නොහැර ජීවත් වූ ඒ සුවිශේෂි ජීවියාගේ කතාව එසේය. එම කෘතිය පුරාම එය කියවන විට අපට දැනෙන්නේ, කොටි දෙන කුමන ආකාරයේ ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දුන්නත්, ප්‍රීතිය, දොම්නස ඇතිකරවන කුමන ආකාරයේ අත්දැකීමකට මුහුණ දුන්නත් ඇය ඒවා සම සිතින් දරා ගන්නා බවය. එම හැඟිම පාඨකයා තුළ දනවන්නේ එම කෘතිය පුරාම පවත්වා ගන්නා එහි භාෂාවේ සුවිශේෂි රිද්මය තුළිනි. එම රිද්මය අප තුළ ඇති කරන්නේ එක්තරා ආකාරයක භාවනාමය මනෝභාවයකි. එහි දිග හැරන කොටි දෙනගේ කතාන්තරය සමඟ ඒකාත්මික වීමට අප සමත් වන්නේද එම රිද්මය නිසාය. එසේ මුළු කෘතිය පුරාම බාධාවකින් තොරව එවැනි සුවිශේෂි රිද්මයක් පවත්වා ගැනීමට එම කෘතියේ පරිවර්තිකාව වන නිපූනිකා ප්‍රනාන්දුගේ දායකත්වය ඉතා වැදගත්ය. ඇය එම රිද්මය පවත්වා ගැනීමට සම්බන්ධයෙන් සුවිශේෂ වෙහෙසක් දරා ඇති බව නම් පැහැදිලිය.

    සැබවින්ම මගේ අත්දැකීමට අනුව නම්, පරිවර්තනයකදී මුල් කෘතිය තුළ කිසියම් රිද්මයක් වේ නම්, එම රිද්මය හෝ ඊට ආසන්නව සමාන රිද්මයක් පරිවර්තනය තුළ පවත්වා ගැනීමට අප ඒ කෘතිය තුළ, ඒ කාර්යය තුළ ජිවත් විය යුතුය. නැතිනම් පරිවර්තන කාර්යය කරන පුද්ගලයා කෙතරම් මහන්සි වුවද, ඇයට හෝ ඔහුට මුල් කෘතියේ අන්තර්ගතයට සාධාරණයක් ඉටු කළ නොහැකිය, එම රිද්මය ඔහුට හෝ ඇයට නියමාකාරයෙන් ග්‍රහණය කර ගත නොහැකිය. මෙම කෘතියේ ඇති භාෂාව තුළින් පාඨකයා තුළ ඇති කරන ධ්‍යානය සැබවින්ම පුදුම එළවන සුළුය. ඒ වෙනුවෙන් අපි එහි පරිවර්තිකාව වන නිපුනිකාට ස්තූති වන්ත විය යුතුය. සැබවිනම් ඇය තම නිර්මාණය තුළ ජිවත් වී ඇත.
    මේ නිපුනිකාගේ දෙවන පරිවර්තිත කෘතියයි. කොටියා සහ පිනුම් ගසන්නා සැබවින්ම සිංහල පාඨකයාට නැවුම් අත්දැකීමක් ලබා දෙන කෘතියකි.එහි භාෂාවද නැවුම්ය, පාඨකයන් ලෙස අප ලබන කියැවීමේ අත්දැකීමද නැවුම්ය, අපූරුය. ඒ අයුරින් සලකා බලන විට කොටියා සහ පිනුම් ගසන්නා යනු, නිපුනිකා විසින් පරිවර්තනයට තෝරා ගත් වෙනස්ම ආකාරයේ නැවුම් සහ අපූරු කෘතියකි. නිපුනිකා පරිවර්තනය කළ කෘතියක් උපරිමයෙන් රසවිඳි පාඨකයෙක් ලෙස මම ඇයට සුභ පතමි. ඇය අතින් මෙම කෘතියේ පරිවර්තන කාර්යයෙදී ඉඳහිට සිදුවී ඇති තාක්ෂණික දෝෂ මඟ හරවා ගැනීමට ඇය මහන්සි වන්නේ නම්, මෙවැනිම ආකාරයේ තවත් සුවිශේෂි විශ්ව සාහිත්‍ය කෘති ඉතා සාර්ථක ලෙස පරිවර්තනය කර, සිංහල පරිවර්තන සාහිත්‍ය කෙතට දායාද කිරීමට සමත්කම් දක්වන ශූර පරිවර්තකාවක් බවට පත් වීමට ඇයට ලේසියෙන්ම හැකියාව ඇත.

    කොටියා සහ පිනුම් ගසන්නා – සුසන්නා තමාරෝ
    පරිවර්තනය – නිපුනිකා ප්‍රනාන්දු
    සුභාවි ප්‍රකාශන

    සුභාෂිණී චතුරිකා
  • විකුමැස ඇස ගිය කව – දයාබර දික්තලා

    විකුමැස ඇස ගිය කව – දයාබර දික්තලා

    දික්තල හා කාලගෝල කතාව ඉතා ජනප්‍රිය වී තිබේ. නොගැළපෙන විවාහයන් නිසා හට ගන්නා පරතරය මින් ප්‍රකට වේ. රූපයෙන් නොගැලපුනද වෙනත් ආකාරවලින් බැඳීම් තිබෙන්නට පුලුවන. කුස පබාවතී කතාවද එසේමය. කුස රූපයෙන් අවලස්සන වුවද ඔහු අපූර්වතම පෙම්වතෙකි. අප රූපයට රූපය යාකරන සංස්කෘතියක පුද්ගලයින් ලෙස බැඳීම් කියවන්නේ නැත . කාලගෝල ගේ මිටි බව, විරූපී බව ගැන කතා කළ ද ඔහුගේ නාඩි අල්ලන පුරුද්දක් නැති වීම හානියකි. චින්තක සමන් හේරත් දයාබර දික්තලා කවියෙන් කාලගෝල ගේ නාඩි විමසන බවක් පෙනේ. කාලගෝල කියන්නේ ඔහු මෙම රංගනයෙන් ඉවත් වන බවයි. මෙය රඟපෑමට සෑදූ වේදිකාවකි. අප සමාජය සියුම් විග්‍රහයකට ලක් කරමින් සමන් කියන්නේ එයයි. විසිල් ගසන්නෝ ගැලරි රසිකයෝ ය. ඒ ගැන බුද්ධිමත් කාලගෝල නොතැවෙයි .දික්පිටියා කප්රුකක් බදු වේ නම් නැවත හැරිය යුතු නොවේ. එබඳු අයෙක් සමඟ දික්තලා යන්නේ නම් කාලගෝල ඉන් සතුටු වෙයි. ඊට හේතු ඔහු කියයි. අඩුපාඩු ඔහු වෙතින් සිදු විය. මග තොට ඔහු සමගින් ගියේ ද සතුටින් නොවේ.පහළ අත්තක මලක් වත් ඔහු නෙලන්නට අසමත්ය. ඔහු නූස් ය. මෙය බොහෝ අරුත් දෙන යෙදුමකි. එවැනි පහළම මට්ටමෙන් වත් ඇයට අවශ්‍ය ආදරය පුදන්නට නොහැකි කළ ලෝකයට පරකාසේ අවශ්‍ය නැත. මහඟු පෙමක් දික්තලා හට ලැබී ඇත.දැන් ප්‍රශ්න විසඳීමට ගොසින් කම් නැත. අත් හැරුනු දේ ගැන තැවී පලක් නැත. කාලගෝල තුළ සිටින මහා පුරුෂයා කවියා එළියට ගෙන පෙන්වයි. දෑල යා කොට එකතු වී ඇති ගඟ කඳුළු ද සමඟ ගලයි. යළි වේදිකා තැනෙන්නේ කාලයේ වැලි තලා මත ය. අප මෙතෙක් වේදිකා මස්තකය කොට ආස්වාදය කළේ කාලගෝලගේ විරූපයයි. චින්තක සමන් ශක්තිමත් ගුණගරුක කාලගෝල කෙනෙකු තනයි. එහි ඔහුගේ චිත්ත සන්තානය යලි කියවීමෙනි.

    ඉරිදා අරුණ පුවත් පතට  කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න විසින් චින්තක සමන් හේරත් කවියාගේ “දයාබර දික්තලා” කවිය පිළිබඳව තැබූ සටහනක්

    දයාබර දික්තලා

    දික්තලා මං වේදිකාවෙන් නික්ම යන්නයි තනන්නේ
    ගැලරියෙන් එන විසිල් ඝෝෂා හඬට මොකටද තැවෙන්නේ
    කප්රුකක් බඳු ප්‍රේමයක් ලඟ කවුද ආපහු හැරෙන්නේ
    ඇත්තමයි නුඹ ගියොත් විතරයි මටත් සතුටක් තියෙන්නේ

    සිද්ධ වූ අඩුපාඩුකම් ගැන දන්නෙ කවුරුද මට වඩා
    සැකය බිය සංකාව මැඩගෙන මග තොටත් ගියෙ හඬ හඬා
    පහල අතු අග පිපුණු මලකුදු පුදනු වූ බැරි තැන කඩා
    ලෝකයට පරකාසෙ කුමටද ප්‍රේමයක් වූ පසු කුඩා

    මහෝෂධ නඩුකාරවරු ලඟ කිමද හතරට නැවෙන්නේ
    ජීවිතේ අත් හැරුනු තැන් ලග මොටද තැවි තැවි රැදෙන්නේ
    දෑල යාකල කඳුළු එක්කොට හෙටත් මේ ගඟ ගලන්නේ
    කාලයේ වැලිතලා මතුපිට වේදිකා යළි තැනෙන්නේ

    චින්තක සමන් හේරත්

  • සර්ව නාමය දෙමළ ය

    සර්ව නාමය දෙමළ ය

    දෙමල දෙමලු සිංහලයට කවුරු උණත් දෙමලු
    දෙමළ දෙමළු කුල නම් ගම් අනුව බෙද‍ෙන දෙමලු
    දෙමළ දෙමලු සිංහලයට කවුරුත් කොටි දෙමලු
    මෙහෙම හිතන රටක තමයි අපි සිංහලු දෙමලු

    දීපයකට නාමය දුන් සිංහල ජාතිය උනාලු
    සිංහයෙකුට දාව උපන් පරපුරකින් පැමිණියාලු
    සිංහලයට තියෙන එකම බිම සිංහල දේශයමලු
    භාරතයේ උතුර දකුණ දකුණ උතුර ලංකාවලු

    කණපිට පෙරලුණු ඇත්තක වීරයින්ව පොළොවෙ ගසති
    නිදහස ගැන හිතන හැමෝ අනෙකා පාලනය කරති
    බෝම්බයක් පිපිරෙන කම් වාසි ගන්න බලා සිටිති
    සිදු විය හැකි අනාගතය සත්‍යය කොලනියක් කරති

     

  • කවිය කියන්නෙ කිසිවකු අධ්‍යාත්මික චලනයකට ලක් කරන්න පුළුවන් මාධ්‍යක්

    කවිය කියන්නෙ කිසිවකු අධ්‍යාත්මික චලනයකට ලක් කරන්න පුළුවන් මාධ්‍යක්

    2020 දෙසැම්බර් 30 මංජුල වෙඩිවර්ධන කවියාගේ දසවන කාව්‍ය දිග හැරුම “නිමිති” නමින් ඔබ අතට පත් වී තිබේ.මුද්‍රිත කෘතියක් ලෙසත් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ශ්‍රවණය කළ හැකි හඬ මුසු කළ කවි ලෙසත් මේ නව කෘතිය ඔබට පරිහරණය කළ හැකි. තිස් වසරකට වැඩි දීර්ඝ සාහිත්‍යය ඉතිහාසයකට උරුමකම් කියන මංජුල වෙඩිවර්ධන හුදු සාහිත්‍යකරුවෙකු පමණක්ම නොව සවිඥානික දේශපාලන කියවීමක් සහිත සාහිත්‍යය කරුවෙකි.

    මේ “නිමිති” නිමිති කරගෙන ඔහු සමග විවර අප කළ පුංචි කතාබහකි.

    ඔබ විවිධ මාධ්‍ය ඔස්සේ සිංහල රසික පර්ෂදය සමඟ සාධනීය ගනුදෙනුවක් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ මාධ්‍ය අතරින් ඔබ විශේෂයෙන් කැමති මාධ්‍යයක් තියෙනවද කියලා ඇහුවොත් අසාධාරණ ද ?

    “නිමිති” කියන්නෙ මගේ දසවැනි කාව්‍ය සංග්‍රහය. මම නිල වශයෙන් කවි පළ කරන්න අරන් අවුරුදු 30ක් වෙනවා. මගේ මුල්ම මුද්‍රිත කෘතිය පළවෙලා දැන් අවුරුදු 23ක්. මගේ ප්‍රමුඛ ප්‍රකාශන මාධ්‍ය එදත් කවියල අදත් කවිය. මම යෙදෙන හැම සාහිත්‍ය කලා ක්‍රියාවලියකම මම හොයා ගන්න උත්සහා කරන්නෙ කාව්‍යමයත්වය විදිහට මම උපකල්පනය කරන ගුණාත්මයක නිර්මාණාත්මක හැඩතල අඩංගුව පවත්ව ගන්න. එහි ව්‍යුහය එකිනෙකින් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒත් පදනම ශක්තිමත්ව පවත්වා ගන්න මම විශාල ශ්‍රමයක් විය පැහැදම් කරනවා. නිදසුනක් විදිහට මම මෙතෙක් ලියලා  තියෙන නවකතා හතර අරගන්න. ඒ හතරෙම නවකතාමයත්වයට අමතරව එහි කාව්‍යමයත්වය පවත්වගන්න මම විශාල අතිරික්ත ශ්‍රමයක් යොදවලා තියෙනවා. මට අවශ්‍ය සහ මට අනන්‍ය සාහිත්‍යමය සිංහලය නිර්මාණය කරගන්න මම අඛන්ඩව උත්සාහ කරලා තියෙනවා. මේ කියන වෙනස් සිංහලයේ පදනම තමයි කවිය.

    ඔබේ නූතන කාව්‍ය ව්‍යාපාරය දෙස බලන විට ලංකාව වගේ ම යුරෝපය පිළිබඳ සංවේදී වෙන හැටි දකින්නට ලැබෙනවා . ලංකාවෙ කලා සම්ප්‍රදායන්ගෙන් වගේ ම ඔබ යුරෝපීය සාහිත්‍ය ධාරාවන්ගෙන් ද පෝෂණය ලබනවද ?

    භාෂාමය විවිධත්වය හැරුණම නිර්මාණ කුලකයක් විදිහට ගත්හාම ලංකාවේ හෝ වේවාල දකුණු ආසියාතික-ආසියාතික කාලපවල වේවා,මා දැනට ජීවත් වෙන යුරෝපයේ වේවා, සියලු කවි කිවිඳියන් කරන්නෙ කවි ලියන එක. කවියෙක් නම් මූලිකව ඔහු හෝ ඇය කවි ලිවිය යුතුයි. කවි ලිවිය යුතුයි කියලා මා අවධාරණය කරන්නෙ ලියන ඕනි දෙයක් කවියක් නොවන හින්දා. තමන්ගෙ විෂය කවිය නම් ඊට කෙනෙක් තුළ තියෙන කැපවීම, ඒ වෙනුවෙන් දරන ශ්‍රමය තමයි ඔහුව හෝ ඇයව කවියෙක්’ කියන නාමකරණයට ඔසවා තබන්නෙ. කවීන් විදිහට ස්ථාපිත වෙච්ච කවි කිවිඳියන්ගෙ කවි විතරක් නෙමෙයි ඔවුන්ගෙ ජීවිතත් විමසා බලන්න ඔවුන් මොන තරම් ඒ වෙනුවෙන් කැපකිරීම් කරලා තියෙනවද කියලා. මේ සියලු කවීන්ගෙ කවි සහ ජීවින අද්දැකීම් විමසා බැලීම, ලියන්නෙක් විදිහට මට හරි වැදගත්. මම නිදසුන් කර ගත්තෙ කවිය. මේ ප්‍රවාදය ඔබ නඟන ප්‍රශ්නයේ ඇති සියලු සාහිත්‍ය ප්‍රවර්ගයන්ට අදාලයි. මට ආසන්නම දෙමළ කවීන්ගෙ මෙන්ම යුරෝපීය සාහිත්‍ය ධාරාවන් විතරක් නෙමෙයි ලෝකය මෙතෙක් පැවති සියලු කාව්‍ය-සාහිත්‍ය ප්‍රවනතා තුළින් මගේ සාහිත්‍යය පෝෂණය සිද්ධ වීම නිසග දෙයක්. මා එසේ පෝෂණය ලබන බව මගේ නිර්මාණ විමසීමෙන් ග්‍රහණය කරගන්නා අතලොස්සක් බරපතල පාඨක, සහෘද, සහෝදර, මිත්‍ර ප්‍රජාවක් මට සිටිනවා. මේ වැඩේ මෙහෙම කරගෙන යන්න ඒ සුළුතරය හොඳටම ඇති.

    කවිය, අවියක් කියලා ඔබ තාම විශ්වාස කරනවද ?

    කවිය කියන්නෙම කිසිවකු අධ්‍යාත්මික චලනයකට ලක් කරන්න පුළුවන් මාධ්‍යක්. බරපතල කවියක් කියවද්දි මා තුළ සිද්ධ වෙන චලනය මා හැම විටම හඟිනවා. ඒක දෛනිකව සිද්ධ වෙනවා. එකම කවියක් හෝ අලුතින් නො කියවපු දවස් මා ගත කර ඇද්දැයි මට මතක නැහැ. මා තුළ සිද්ධ වෙන දේ හින්දම මම දන්නවා. කවියකට පුළුවන් කියවන කෙනාව අවුළුවන්න. හික්මවන්න. රිද්දන්න. ඥානනය කරන්න. නමුත් එය සමාජමය අවියක් බවට පත් කරගන්නට නම් එකී නිෂ්චිත කවියේ කාව්‍යමය මොහොතට සමාන්තරව ගලායන සමාජ දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නෙ. එහෙම ක්‍රියාවලියක් නැති තැනක පවා කවියට පුළුවන් සාමුහික  හෘදය සාක්ෂියක් බවට පත් වෙන්න. එහෙම ක්‍රියාවලීන්ට සක්‍රියව මැදිහත්වුණු ලියන්නෙක් මම. නිදසුනක් විදිහට උතුරේ මනල්කාඩු-කුඩාතනෛ වෙරළෙදි 2010 දෙසැම්බර් 31 වැනිදා ඝාතනය කළ පරිසරවේදී කේතීෂ්වරන් තේවරාජාට අදාල සංසිද්ධිය ගන්න. මරණය අභියස වුව තමන්ගෙ අරමුණ වෙනුවෙන් පෙනී සිටපු ඒ තරුණයා වෙනුවෙන් මා තුළ හට ගැනුණු, ඒ ආදරය, ගෞරවය, සහෝදරත්වය මම කවියක තැබුවා. අවුරුදු 10කට පසුව පවා තේවා ගැන කතා කරන මොහොතක් නිර්මාණය කර ගන්න ඒ කවියට පුළුවන් වෙලා තියෙනවා.

    උවන පුස්තකේ සයිබර ගුවන පිට
    සරන විහඟුනේ දෙනයන කෙවෙන විට
    කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට
    බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට

    වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ
    ගමන පමයි අකුරට වැඩ කලාවේ
    වෙහෙස නොවුණ සටනට වැලි තලාවේ
    උවන පොතිනි පිටු බලයක් ගෙනාවේ

    රුහිරු ගලන පෙති විහිදුණ මලක් ළඟ
    සපථ කරන්නට හැඟුමන් කොතෙක් වෙද
    මලට පැහැය ලැබ දුන් මව් බිම නැමද
    උවන පොතට එක්කෙරුවා මල් සුවඳ

    විඩාබර නොවුණ දෑසක් ලද හින්දා
    කුඩා සන්දියෙම වෙරළට පෙම් බැන්දා
    ‘අඩා වර ළඟට වර’ ළඟට ම කැන්දා
    කුඩාතනෛ ඉස්මත්තෙම ගිනි බින්දා

    සීතම්බර සළු පට පිළි හෙවනැල්ලේ
    ආන්නදයක් ඇති දෙයියොත් හෙළුවැල්ලේ
    විලි සංගයක් නැති සින්නක්කර වැල්ලේ
    සඟමිත් තෙරණියොත් ඉකිබිඳ වැළපිල්ලේ

    වැලිකඳුත් ගිළින නැඩ ගිනි මකරුන්ට
    ඉඳුමිණක් හැකිද වෙන් කර හඳුනන්ට
    මව්බිමත් සමඟ රමණය කළවුන්ට
    මව් වුණත් කයක් පමණෙකි හැමනෙන්ට

    පියඹලා පැමිණි ගිජු ලිහිණියන් කැළ
    බිම හෙළා පයිනි පෑගුව නමුදු මල
    ඉවසලා ම ඇස් දෙක රතුවුණු වෙරළ
    නියඟලා පිපෙනු, නවතන්නද කෙළෙස?

    උපුල් ශාන්ත සන්නස්ගල ඒ කවිය යළි සයිබර් අවකාශය තුළ හඬක් බවට පත් කරලා තියෙනවා. දිනූපා කෝදාගොඩ සහ නදීක වැලිගොඩපොල ඒ කවිය ස්වකීය ආත්මීය ප්‍රකාශනයක් විදිහට මුදාහැරීමට තරම් නිර්භීත වෙලා තියෙනවා. තව විශාල පිරිසකගේ ශ්‍රමය ඒ ක්‍රියාවලිය ඇතුළෙ අඩංගු වෙලා තියෙනවා. ජාතිවාදී නරුමයන්ගෙ කොමෙන්ට්ස් කිහිපයක් හැරුණම පොදුවෙ තේවා වෙනුවෙන් ආදරය ප්‍රකාශ කරන තැනකට ඒ කවිය වෙත එළඹුණු අය පත්වෙලා තියෙනවා. අලුත් පරම්පරාවන් තුළ තේවා ජීවමාන කරන්න ඒ කවිය සමත් වෙලා තියෙනවා. එහෙම තමයි ඒ දේවල් සිද්ධ වෙන්නෙ.

    ලංකා සමාජය මේ මොහොතේ මුහුණ දෙන බරපතළම සමාජ ආර්ථික ගැටලුව ලෙස ඔබ දකින්නෙ මොකක් ද ?

    මම හැමදාම දුටුවෙ ලංකාවෙ සමාජයෙ සියලු ප්‍රශ්න වල කේන්ද්‍රයේ තියෙන ප්‍රශ්නය විදිහට ජාතික ගැටළුව. එය තව දුරටත් එහෙමමයි. අනිකුත් සියලුම ගැටළු තියෙන්නෙ මේ ගැටළුව වටේ. සිංහල-බෞද්ධ-වික්ටෝරියානු මනෝභාවය හරිම විසකුරු එකක්. ඉස්ලාම් භක්තික ශ්‍රී ලංකික ප්‍රජාව වෙත අලුත් වටයකින් ඇරඹිලා තියෙන සංවිධානාත්මක සමාජ පීඩනය ඉහත කී ජාතික ගැටළුවේම දිගුවක් ලෙසයි මා දකින්නෙ. කාට හෝ තියෙනව නම් ආර්ථික වශයෙන් සමෘධිමත්වුණු දේශයක් පිළිබඳ සිහිනයක්, මෙම මූලික ගැටළුවට විසඳුමක් සොයා ගැනීම හරහා ඒ සිහිනය වෙත ළඟා විය යුතුයි. ඒක අනිවාර්යයි, දූෂණ වංචා තොරොම්බල් කිරීම විතරක් ඒකායන දේශපාලන දෘෂ්ටිවාදය කරගත්තු සෑම ජන බල වේගයක්ම කරන්නෙ කේන්ද්‍රීය ප්‍රශ්නය මඟහැර යන එක. ඒ අර්ථයෙන් ගත්තම සිංහල-බෞද්ධ-වික්ටෝරියානු සුචරිතවාදී නරාවළ තුළ ගිලුණු ඔය කිසිඳු දේශපාලන පක්ෂයකට බැහැ මේ රට ගොඩදාන්න. අත මාක්ස්ගෙ වගේ පෙනුණට, කට ඇරිය ගමන් ඇහෙන්නෙ රාජපක්ෂපාතී හඬ.

    ඔබේ යුරෝපාගමනය අවස්ථාවාදී බවේ ලක්ෂණයක් ලෙස උලුප්පමින් ඔබව විවේචනය කරන්න ලංකාවේ ඇතැම් විවේචකයින් කටයුතු කරමින් සිටිනවා මේ විවේචනය ගැන ඔබට ඍජුව පවසන්න දෙයක් තියෙනවද ?

    මාව එහෙම විවේචනය කරනවා මම අහලා හෝ දැකලා නෑ. මං දන්නෑ , යුරෝපයේ විශාල කාලයක් ජීවත් වෙන ඔබ වගේ කෙනෙක්, ඇයි මෙහෙම ප්‍රශ්නයක් මගෙන් අහන්නෙ කියලා.

    නමුත් ඔබ මේ ප්‍රශ්නෙ මගෙන් අහන්නෙ වෙන කවුරු හෝ කියන දෙයක් විදිහට හින්දා මා එයට කෙටි පිළිතුරක් දෙන්නම්. මෙහෙම ප්‍රශ්නයක් නැඟීමේ පසුබිමේ තියෙන මනෝභාවය දේශපාලනිකව තේරුම්ගන්නවා නම්, මේ වගෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන් අය ප්‍රභේද දෙකක් ගැන මට උපකල්පනය කරන්න පුළුවන්. එක්කො මෙහෙම අහන පුද්ගලයා, මේ රාජපක්ෂ රෙජීමය බලයට ගෙනල්ලා , චන්ද්‍රිකා යුගයේ ඉඳන් වලිකාපු, ඉක්බිති අරලියගහ මන්දිරයෙ වළං හෝදපුල දෙමළාව සමූලඝාතනය කරන්න දකුණේ දෘෂ්ටිවාදය හදන්න දිවිහිමියෙන් කටයුතු කරපුල දෙමළ මිනිස්සු කොළඹ ඇවිත් ඉන්න ලොජ් වල පවා ඔත්තු බලපු, ඒත් මේ වෙනකොට, එවන් ක්‍රියාවලීන් වලින් පවා බහිශ්කරණයවෙලා, හුදු ඕපදූපකාරයෙක්  බවට පත්වෙච්ච බෙලහීන වාමංශිකයෙක් වෙන්න ඕනි. එහෙම නැත්තම් යුරෝපය කියන්නෙ පරම සැපක්, යුරෝපය කියන්නෙ මැජික් බිමක් කියලා හිතලා එහෙම රටකට සංක්‍රමණය වෙන්න වලි කාලා වලි කාලා එහෙම බැරි වෙච්ච, හීනමානයෙන් පෙලෙන දේශප්‍රේමියෙක් වෙන්න ඕනි. ඔන්න ඕක තමයි සෘජුවම කියන්න තියෙන්නෙ. අපට මෙහෙම කියන අය කවුද කියල ඔබ දන්නවා නම් ඔබ තනියම මෙහොතක් හිතලා බලන්න ඒ කියන කෙනා මේ දෙකොට්ඨය අතර ඉන්න කෙනෙක්ද නැද්ද කියලා.

    නිමිති වලදි ඔබ කෙටි කවියක් වෙත ගමන් කර තිබෙනවා. මේ ඔබේ කවියේ හැරවුම් ලක්ෂයක්ද ?

    කෙටි කවිය කියන කාව්‍ය විධික්‍රමය, මම ලියන්න ගත්ත පළමු අවදියෙ සිටම භාවිතයට ගැනුණු දෙයක්. මගේ පළමු පොත වෙච්ච ෂේන් මැකෙල්වියි මමයි එක්ව 1997දි පළකරපු “නිරුත්තර සමාධිය” කෘතියෙත් මා ලියූ කෙටි කවියක් තියෙනවා තවමත් විටින් විට සමාජයම සංසිද්ධීන් වලදි මතක් වන සහ කවුරුන් විසින් හෝ සටන් පාඨයක්’ විදිහට භාවිතයට ගැනෙන.

    “පල් හොරුනි මල් නොවන මගේ කවි
    ගල්වගේ දමා ගසනෙමි තොපට
    පල් වෙච්ච මඩ වලක් කෙරුවාට
    මල් සුවඳ ගලා ගිය මගේ රට”

    මේක මම ලිව්වෙ අනූව දශකයෙ මුල. මගේ දෙවැනි කවි පොත වෙච්ච 2002 පළ “පිළිහුඩුවී” පොතේ පවා කෙටි කවි තිබුණා. තුන්වැනි පොත වෙච්ච 2007 පළකරපු “මධුසඳනි මධුවිත” සමස්ථ පොතම කෙටි කවියට බර තියපු පොතක්. මේ මුල් පොත් කියවා නැති සහෘද ප්‍රජාව කෙටි කවියත් එක්ක තියෙන මගේ සම්බන්දය ගැන දන්නෙ නෑ. මේ ඉතිහාසය “නිමිති” පොතේ පූර්විකාව තුළ ලියලා තියෙනවා. මේක මගේ හැරවුම් ලක්ෂයක් නෙමෙයි කියලා දැන් ඔබට පැහැදිලි ඇති. පසුගිය 10 වසරක් පමණ කාලය තුළ විටින් විට විවිධ හේතු නිසා මම ලියපු කෙටි කවි රාශියකින් යම් ප්‍රමාණයක් මම මේ පොතට ඇතුළත් කළා. “සන්තාන ගීතිකා” පොත ළඟ තියන් ඉන්න ආදරණීය කියවන්නන්ට, කියවන්නියන්ට යළි එය අතට අරන් කියවගන්න, උණුසුම් කෝපි කෝප්පයක් ළං කරන්න මට හිතුණා, ඒ තමයි “නිමිති”



    කොක්ටේල්මය අඳුරක
    හිනැහෙමු
    කොක්ටේල්මය සිතිවිලි
    කළතමු
    කොක්ටේල්මය බඳුනක
    කිමිදෙමු.


    නටරාජ්

    පියෙවි සිතිවිලි මතට මධු දියර හළාගෙන
    බමන හිත සීරුවෙන් බඳුනකට මුවා කර
    කැරලි කෙහෙ පිරිමදින අඩහඳක දෙ පාමුල
    නිදන විට වත ඉසිණ පිනි බිඳිති හළාහළ

    දෙපය පැටලුණු හිතක මුවවිටෙහි දුටුවාද
    අසමබර කඳුළු මත විසිර යනු මඳහාස
    තනි පයෙක අසම සම අභිනයකි ඇස ගාව
    ඔබ කොහෙන් පැමිණියෙද කියනු මැන නටරාජ

    අපස්මරු මහදවත මහ පොළොව වෙලා ගෙන
    පයත් මට සැනසුමකි වේදනා මුදාළන
    රුපුන් මැද ස්නේහයේ මධු බඳුන් පුරාලන
    විසංවාදය මම ය ඔබ තුළින් ගලා එන

    ආනන්ද තාන්දව දකින නෙත් නැති රෑක
    මා මෙන්ම කඳුළකට කවුරු නෙත් ඇරියාද
    යාවෙන්න හැකි නෙතක් තිබිණිනම් ළඟපාත
    මා ගන්න මඟ විවර කළ දෙවිඳු ඔබ නේද

    තර්ක අසිපත් වලින් කැපෙන සඳ ගත නහර
    අග්නි වමතින් කෙසේ සැරසුවෙද ඔබ මහද
    නග්න හිත වෙලෙන විට එරන්වන් දිය දහර
    රශ්මි පමණෙකි ඉසිඹු නැඟෙන සිහිනෙක පහස

    දමරු හස්තය ගෙනෙන හඬ පරම සුමියුරු ය
    අඳුරු කවකට සුවය ඔබය ඔබ දිනිසුරුය
    සොඳුරු බව සොඳුර මුවගින් දෙඩුව සුරගුරුය
    රුදුරු මිනිසකු වුවත් මගෙ පෙමද පිවිතුරුය

    මුහුලසින් සුරලියන් මිහිමතට කැඳවාන
    රැගෙන ආ නටරාජ අමතකද ඇගෙ මූණ
    විශ්වයේ මැද රැඳෙමි ශිඛර මත කෛලාස
    තනි පයෙන් පේ‍්‍රමයේ සියලු බර උසුලාන
    (ඇහැළ ඇමතුමකට ඇහැරෙමි 2011)


    නිදිකුම්බා මල

    කුරුලු දරුවන් ඉකිලන
    අරුණු දොරනඩ ඉඳගෙන
    අහස් ඉදිකඩ පැනගෙන
    හිරුන් එන මඟ බලනෙමි!
    විදුලි මළබෙර හඬවන
    කළු වලා අවි අරගෙන
    ඉදිකඩ යකුන් සේ ඇති කල
    හිනාවී එන්ට බැරිවද හිරුනි.

    පැතුම් මල් පොඩි මැළවෙන
    සෝකී දෙනෙත්හරවමි
    ඩෝසර හොඬෙන් ඉදිරුණ
    රබර යායම විනිවිද……..සීරුවට………..

    සිය දහක් හිරු අනුරූ
    හිනාවේ වියලි කර්කශ බිම
    අහා! කෙතරම් සතුටක්ද හිතට
    මම එවෙත ඇවිද යමි……….

    නිරුවත් දෙපා මත
    වේදනා කටු තුඩු ඇනී – රිදුම් දේ……

    මම ඒ වේදනා පොදි
    හද සම බිමේ සතපා
    කටු තුඩු මතම දණ ගා
    ඉන් මලක්
    අපරිමිත ආදරෙන් සිඹිමි.

    සිතගිස්සෙන්ම නැඟැ ආ
    නෙතිස්මත්තෙන් මේ දැන් වට
    සීතල කඳුළු බිඳ
    එමල් සුසිහින් කෙඳි මත රැඳී
    ප්‍රභාවින්තව බැබැළේ.

    මම
    සෙමින්
    හිසොසවා
    බලමි.

    කළු වලා අවි මැඬගෙන
    අහස් ඉදිකඩ පැනගෙන
    අන්න! හිරු
    හිනාවීගෙන……

    (පිළිහුඩුවී කවි එකතුවෙන්)


    ඇගේ ත්‍රිකෝණමිතිය පාඩම?

    පිපිරුණ සබන් බෝලයකින්
    බිම වැටුණු කවියක
    වියරණ දොස් තිබුණු බව
    ඇය ලියා එවා තිබුණා.

    හොර නිධන් හාරන්නකු මෙන්
    හිත් පතුළ පාරා මතුකරගත්
    අවසාන හැඟුමත්
    හැඟුම්බරවුණු මොහොතක
    වියරණ දෝස.

    ඇයටත් හිතෙන දේවල්.

    “බෝල අතකුරු වුණත්
    කැලැත්තෙන විට අවකාශයේ
    ඇද වෙන්න පුළුවනි.”

    “පේ‍්‍රම කවියක් වුණත්
    රිදුම්දෙන විට සන්තානයේ
    ඇති වෙන්න පුළුවනි.”

    “මිරිඟුව” නො පවතින දෙයක් නම්
    ඒ වචනය මොකටදැ?” යි
    ඇගේ ලියමන අවසානයේ
    ඇය ප‍්‍රශ්න කර තිබුණා.

    මා ඇගෙන් නොව
    ඔබෙන් විමසන්නේ එකමෙක දෙයයි
    ‘ආදරය’ ගැන
    ඔබ හිතන්නේ කොහොමද?

    හිල්මි සුපුන්
  • යුද්ධයකදී වෙන් විය – සාමයේදී අතරමන් විය

    යුද්ධයකදී වෙන් විය – සාමයේදී අතරමන් විය

    ෂෙල් වෙඩිවලින් කම්පනය වන අවකාශයකි.
    ඒ නන්දිකඩාල් කලපුවයි.
    අප කාව්‍ය විකුණමින් සිටිනාතර
    බියෙන් තැතිගත් මව්වරැන් දරැවන් තුරුල්කර ගනිමින්
    හදවත දැවීයන ශෝකයෙන් විලාප නැගූහ.
    මේ පොළෝතලයේ වැතිරී හැඩූහ.
    මියගිය
    ඔවුන්ගේ සියලු ආදරණීයයන්
    ඒ අවසන් වූ සුසුම් කොපුල්තල මත තබා
    කිවූ නොකියූ අවසන් සමුගැනීම් එලෙසින් සනිටුහන් කළහ.
    අවුරැදු තිහක කඳුළු මතින් දේශයක් බිහි විය.
    එය ඉන්දියන් සාගරයේ කඳුළු බිඳුවක්ම ය.
    ඒ අතර,
    අප,
    කාව්‍ය විකුණමින් සිටියහ.
    බෝම්බ පුපුරනා කම්පිත මතකයන් තුලින්
    ෂෙල්වෙඩි වලින් ඇඳි සිතුවම්‍ ය.
    නැතිවූ මතකයන් වෙනුවෙන් දෙදුරැම්කන අවකාශයන්‍ ය.
    මතකයන් පිරි දේශයක අප ද මතකයෙන් සැදි මිනිසුන්‍ ය
    යුද්ධයකදී වෙන් වූ දේශයක්
    සාමයේදී මෙලෙසින් අතරමං විය. ~ප්‍රශ්නයකි.

    නිසංසලා ධර්මසේන බර්තොලමියුස්