Tag: poem

  • ගෙවුණු දශක කීපය කියවන ඉන්ද්‍රානන්ද සිල්වාගේ  ” සිරකරුවෝ “

    ගෙවුණු දශක කීපය කියවන ඉන්ද්‍රානන්ද සිල්වාගේ  ” සිරකරුවෝ “

    කර්තෘ ප්‍රකාශනයක් ලෙස 2018 වර්ෂයේ එළිදැක්වූ  ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයාගේ ” සිරකරුවෝ ” කාව්‍ය සංග්‍රහය පිළිබඳව යම් සටහනක් තබන්න අදහස් කරගෙන සිටිය මුත් ඒ සඳහා ගත වෙච්ච කාලය ඉතාම දීර්ඝයි. 2018 ජුනි 28 වැනිදා ලංකාවේ සිට ඉතාලියට එන ගමනේ දී ගෙවී ගිය පැය විස්සක්  පමණ  දීර්ඝ වෙලාවෙදි මේ  කාව්‍ය සංග්‍රහය  දෙවතාවක් කියවා අවසන් කරන්න හැකි වුණා.  නමුත් ඒ පිළිබඳව අදහස හිතේ පැහැව පැහැව තිබුනත් අකුරු බවට පත් කරගන්නට වසර  දෙකක කාලයක් ගත වී ගියා.

    80 දශකය ලංකාවේ දේශපාලනය තුළ ඉතාම කලබලකාරී දශකය ලෙස හඳුන්වන්න පුළුවන් .අසූ තුනේ කළු ජූලිය  ,88-89 අරගලය මෙකළ  දේශපාලන කලබගෑනින් අතර  ප්‍රමුඛ සිද්ධීන් බවට පත්වෙනවා .ඒ  විතරක් නෙමෙයි ජෙ.අර්  හඳුන්වා දුන් නව ආර්ථික ක්‍රමයෙ මායාකාරී ස්වභාවය තුළ මිනිස්සු අතරමං  වෙච්ච කාර්තුව  වගේම ඒ මායාකාරී කඩතුරාවෙන් මිදෙන්නට මිනිස්සු පොර බදන්න ආරම්භ කරන කාලයද වෙනවා.

    මෙම කාව්‍ය සංග්‍රහය තුළ  අඩංගු  බොහෝ කවි ස්ථානගත වෙන්නේ අපි පසුකරන් ආපු  දශක කීපය තුළ සිදු වෙච්ච දේශපාලනික වෙනස්වීම් තුළ  මිනිසා ඇද වැටීමේ ඛේදවාචකයන් පිළිබඳවයි . ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයාගේ  ” සිරකරුවෝ ” කාව්‍ය සංග්‍රහය දේශපාලන ප්‍රකාශනයක් කිව්වොත් නිවැරදියි .ඒ සඳහා උදාහරණ මොනවාද කියලා පෙන්නන්න උත්සාහ කරනවාට වඩා මේ කාව්‍ය සංග්‍රහයේ එන කාව්‍ය එකතුවම ඒ සඳහා උදාහරණයක් ලෙස හුවා දැක්වීම පහසුයි .

    මෙහි පළමු කවියට ඔහු නම තබන්නේ  “විවාහක රූ රැජිණ නිවසේ දරු නැලවිලි ගීය” කියලා. විවාහක රූ රැජිණ කියන විට මගේ සිහියට එන්නේ රෝසි සේනානායකව.  ජෙ.අර්  ඔහුගේ පාලන සමය ආරම්භ කරන මොහොත වන විට රටේ මිනිස්සු හිටියේ  සිරිමා විසින් පනවා තිබුණු සීමාකාරී ජීවිතය  ඇතුලෙ.  ජේ ආර් පාලනය ආරම්භ කරලා වසරක් දෙකක් යන විට මේ සියලු සීමාවන් ඇරිලා අසීමාන්තික ලෙස දේවල් ඇතුළට ගලාගෙන එන්න පටන් ගන්නවා. ලෝකයේ තිබෙන දේවල් ලංකාව ඇතුලේ ඒ විදියට පෙනෙන්න ගත්තහම දේශපාලකයෝ කිවුවේ  ලෝකය ලංකාව ඇතුළට ගලාගෙන එනවා කියලා.එසේ ඇතුළට එන දේවල් පරිභෝජනය කිරීමට  අවශ්‍යය ආකල්පමය වෙනස සිද්ධ කරන්න රෝසිලා අපේ ගෙවල් වලට ආවේ ටීවී  ගුවන් විදුලිය හරහා.  ලස්සන ළමයින්ට චීස් බටර් කවන  පිටි කිරි පොවන ලස්සන අම්මා කෙනෙක්, ආකල්ප විතරක් නෙමෙයි හීනත් ගෙනත් අපේ ගමේ ගෑනුන්ගේ ඔඩොක්කුවට අතෑරියා. ළමයි  ලැබුණම බඩ එල්ලෙනවා, රූ සිරි අඩු වෙනවා, දෙතන කඩා හැලෙනවා, ඒවා  සාමාන්‍ය දේවල් එහෙම  හිතපු  සමාජයට  රෝසිලා හරහා  ගෙනත් පැළ කෙරුවා  ළමයින්ට චීස් බටර්  කවලා පිටි කිරි පොවලා  අම්මට අම්මගේ ශරීරය ලස්සනට තියාගෙන ඉන්න පුළුවන් කියන ආකල්ප .

     බාළොලි ළොලි – ළොලි ළොලි
     නාඬා නිදියන් දියණි 

    නාඩන් නිදියන් දියණි
    නුඹේ අම්මා කොතැන ගියා 
    රූ රැජිණක් වෙන්න ගියා 
    රට පිටිකිරි  ගෙනත් තියා 
    දූට දෙන්න කියලා ගියා

    දරු සෙනෙහස තුළයි ලොවේ 
    මව් දෙතනට  කිරි එරුනේ 
    මව් රැජිණිය වනදා 
    ඇගේ දියණිට කිරි අහිමි 

    මන්දිර පාමුල වැතිරී 
    සත්පත්තිනි මවක් හිදී 
    කිරි බිඳුවක් පුතුට දෙන්න 
    ඒ මව් සිඟමන් යදිති
     
    නුඹට උරුම කිරි සැඟවූ 
    මවක් නොවුණි රූ රාජිණි   
    කිරුළු දරා සිනා සිසී 
    දැන් සවුදිය පුරනු ඇතී

    මේ කවිය තුළ පවතින්නේ ගැටුමකි. පැරණි ආකල්ප නව ආකල්ප සමඟ   ගැටීමකි. සිංහල බෞද්ධ සංස්කෘතිය එසේම රැක ගන්නට උත්සාහ කරන අතරේ ආර්ථික මොඩල් එක  උඩින් ගෙනත් ඇත හැරීම තුළින්, පැරණි සංස්කෘතිය  බිහිවෙන නව සංස්කෘතික  ආකල්ප අතර ගැටුම හට ගන්නවා. දරුවන්ට කිරි පිටි පොවලා රූ රැජිණක් වෙන්න යන අම්මා  තත්ත්වයෙන් බාල වී පැරණි සමාජයට පේන්න ගන්නවා .  සත් පත්තිනි අම්මා මාර වෙන්නේ ඒ නිසයි.

    ” මැද පෙරදිගට ලියුමක් ”  කවියෙන් කතා කරන්නේ   ශ්‍රමය  විකුණන්නට අම්මා මැදපෙරදිගට ගියායින් පසුව තාත්තා සමග ගෙදර තනි වන දරුවන්ට අත්වන ඉරණමයි.  රට රැකියාවන් සඳහා කාන්තාවන්ට  දොර විවර වන විට ඒ දොරෙන්ම රටට ඇතුල් වුණේ  නා නා  විධ ව්‍යසනයන් ය. අසූව දශකයේ මුල් වසර 2 පමණ වනවිට මුලින්ම විදෙස්ගත රැකියාවන් සොයා ගෙන ගිය කාන්තාවන් ලංකාවට පැමිණීම ආරම්භ වෙනවා . ගමට පැමිණෙන එම කාන්තාවන් එතෙක් ගම නොදැක තිබුණු බොහෝ වෛවාරණ ගමට අරගෙන ඒම තුළින් ගමේ අනිකුත් කාන්තාවන්ගේ ද රට රැකියාවක් කරා යෑමේ උවමනාව සරුපසක පැලයක් සාරවත්ව පැල වෙන්නා සේ පැළ වෙන්නට ගන්නවා. තාත්තට ගෙදර බාරදීලා  රට ගිය අම්මාට  නැවත ගෙදර එද්දී  ආදරණීය පවුලක් යළි හමුවුණේ  ඉඳහිට දී පමණි. බොහෝ තැන්වල විනාශ වුණු දරුවන්ද කඳුළු බොන අම්මලාද   පවුල කඩා ඉසිරුණු තැන්වල පියවරු හමුවුණි.

    වැලි කතරේ කඳුළු කාසි මල් අහුලන අම්මේ 
    මහා විපත්තියක් හිතට කොඳුරයි රෑ පවනේ  
    නුඹේ පැතුම් විජිතයේ මට රැකවරණය නෑනේ 
    සල්ලි නොවේ අම්මේ මට නුඹේ උණුසුම ඕනේ

     අම්මලා රට රැකියා සොයාගෙන ගිය නිවෙස් වල වැඩුණු දියණියන්ගේ  ඛේදවාචකය ලියවුණේ ගිනිගත්  පියවරුන් අතින්මයි. පොතේ 28 වන පිටුවේ  තියෙන්නේ  ” විවෘත ආර්ථිකයේ ඵලදාව ” කවිය.

    අපරාදේ….. 
    ණය ගෙවන්න බෑ කියලා  
    පෑලිස් සිංඤො බිව් වස බෝතලයේ  
    තුන් කාලක් බිම හැළිලා  
    වේලාසන ආවානම්   
    මැස්සෝ බීපු 
    දෙණියෙ කුඹුරු කෑල්ලටම 
    ඉහළ ගන්නට මට තිබුණා 
    ඒ වස ටික

    ” ගොවියාගේ හිතමිතුරා ලංකෙම් ”  අදටත් මේ දැන්වීම පිළිබඳ මතකය අවදි වෙද්දි පුංචී සුන්දරත්වයත්  දැනෙනවා. සරුවට වැවුණු කුඹුරකට රසායනික පෝර ඉසින  ගොවි මහතෙක්ව මේ රූපවාහිනි දැන්වීමේ  පෙන්වනවා. එක පැත්තකින් පිටරට රැකියාවට ගිය මිනිස්සු  ගෙවල් දොරවල් හදන විට තවත් පසකින් රටේ කෙත්වතු සරුසාර වෙනබව කඩිනම් මහවැලිය වැනි එතෙක් අසා නොතිබුණු දැක නොතිබුණු දැවැන්ත  සංවර්ධන ව්‍යාපෘති ඉදිවෙමින් පවතින බව ඇහෙන දකින විට කිසිවෙක් විශ්වාස කළේ නැහැ  අද රට තියන තැනට  ඇද වැටෙයි  කියලා.

    නමුත් ඉතා ඉක්මනින් සිහින ලෝකය බිඳ වැටිලා  සියල්ල නන්නත්තාර වී කුඹුරට ගහනවා වෙනුවට කෘමිනාශකය පානයකර ගොවියා මැරෙන තැනට පත්වෙනවා.  මේ නව ආර්ථික සමාජ රටාව  වේගවත්ව වර්ධනය වේගන එද්දි  කාගේ හෝ බෙල්ල කඩලා තමන්ගෙ වැඩේ කරගන්න ඉබේටම මිනිස්සු පෙළඹෙන තැනට පත්වෙනවා. වාසි අවාසි සිදු වෙන ආකාරය ගැන සිතා බලා අනෙකා පිළිබඳව කටයුතු කිරීමට සමාජය පරිවර්තනය වීම පිළිබඳව කතාවකුත් මේ කවි ඇතුලෙන් අපිට ගන්න පුළුවන්. පෑලිස් සිංඤො මැරුණට කමක් නැහැ අපරාදේ වස කුප්පියේ  ඉතුරු ටික බිමට හැලුණේ එක තිබුණනං මට වාසියක් ගන්න තිබ්බා.

     ළඟ ඉන්න එකා මලත් කමක් නැහැ මට වාසියක් වෙනවා නම්, බල්ලෝ මරලා හරි කමක් නෑ සල්ලි හොයන සමාජයක් නිර්මාණය වෙද්දී, රට යන අත වැරදි බව වටහා ගත් තරුණ පරපුර මීට එරෙහිව නැගී සිටිනවා. 88 89 අරගලය එහි ප්‍රතිඵලය,  රට තුළ දළු ලා වැඩෙමින් පවතින නව දේශපාලන බලහත්කාරයට සහ පීඩාවට එරෙහිව පෙරමුණ ගැනීම  ආණ්ඩුව විසින් මර්දනය කරනු ලබන්නේ ඉවක් බවක් නැතිව ජීවිත බිල්ලට ගනිමින්.

    පුතු සොයා යන්නට පළමුව

    පින්මද පුතුන් සියයක් විත් අවි  අතැති 
    ගුණ නැණ බෙලෙන් යුතු ම පුතුව පැහැරගති  
    එක පුන් සඳින් දුරු වන මුත් අඳුරු පැති 
    පුතු  නැති මෙමට පුන් සඳකින් ඵලක් නැති

    එදත් අදත් දරුවන් එනතුරු මග බලා සිටින දෙමව්පියන් රට තුළ සිටී. පසුගිය නොවැම්බර් 13 දා අප සමරනු ලැබූයේ 31 වන ඉල් මහ විරු සමරුව. කිරිපිටි පොවා බටර් කවා අම්මලා ව රූ රැජිණ කරන්නට පිට රට යවා වස විස ගසා රටේ ආර්ථිකය විනාශ කළ වැඩි එන  පාලනයේ පීඩනයට එරෙහිව  නැගී සිටී මිනිසුන්ව ගැහැණුන්ව මරාදැමූ ඉතිහාසයයි.

    නුඹ නොමැතිව ගෙවුණු කාලය පුරාවට 
    මරණය ළංව ගත දැවටෙනු  දැනුනි මට 
    තුරුළුව ඉන්න සෙනෙහෙන් වලක සීතලට 
    පුතුනි එන්න රන්කිරි කට ගාන්නට

    ඉතින් ගෙවුණු දශක කීපය පිළිබඳව ඉන්ද්‍රානන්ද  සිල්වා සහෝදරයා ක්‍රියාකාරී දේශපාලන කවියෙකු ලෙස සාකච්ඡාවට ගත හැකි කවි පොතක් අප අතට පත්කර තිබෙනවා. ගෙවුණු දශක කීපය පිළිබඳව පමණක් නොව අදත්  අප හිරවී සිටින බහුවිධ  සමාජ දේශපාලන සංස්කෘතික අවුල් පිළිබඳවත්  මායාව සහ පීඩාවත් මේ හරහා කියවා ගත හැකියි.

    වර්තමාන කවියේ හැරවුම් දෙස බලද්දී  ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයාගේ කවි බොහොමයක් තවමත් පැරණි රාමු ඇතුළෙම පවතින බව දැනෙන අතර  මුල්වරට ඔහුගේ කවි කියවන කෙනෙකුට  එකපාරටම දැනෙන්නේ මන්ද රසයකි. නමුත් ” සිරකරුවෝ ” හී එන  ” ලැයිමේ තනි වූ අම්මාට  ”  ” වෙනස ”  ” මනසේ ලියවුණු කවියක් ”  වැනි කවි  ඒ අවුල ලිහන්න  සමත් වෙනවා. අනාගතයේ දී ඔහුගේ  කවිය දේශපාලනික මෙන්ම නූතනත්වය ද සමග අප අතරට ඒ යැයි සිතනවා.

    වෙනස

    පොඩි කාලේ අපි 
    මොනතරම් අඩලා ඇද්ද 
    පාට පාට බැලුම් බෝල ඉල්ලලා 
    ඒ බැලුම් පිපිරී ගියාම  
    මතකද ඉකි ගැසූ තරම් දුක් වෙලා

    ඒත් අද මේ පොඩි උන් 
    කවුරුවත් අඬනවද බැලුම් බෝලයක් ඉල්ලලා

    මගුල් ගෙදරට අපි එනකොට 
    මේ තොරණ කොයි තරම් ලස්සනට තිබ්බද 
    පාට පාට බැලුම් බෝල එල්ලලා

    හැම පොඩි එකෙක්ම අඬන්නේ 
    අම්මගෙන් හැට්ට කට්ටක් ඉල්ලලා 

     
     ඩෝං…පටෝස් ….ඩෝං….

    පුංචි මුහුණුවල පිරෙන 
    මේ ආඩම්බර හිනාවල් දකින කොට 
    මටත් මතක් වෙන්නෙම 
    පැය ගනන් කම්පියුටරේ ළඟ ඉඳගෙන 
    තනියම හිනාවෙන පොඩි උන්….. 
     
    ඩෝං…පටෝස් ….ඩෝං….

    ඉලක්කය ජය ගන්න  
    ” චිරිස් ” ගා ලේ වැල්   විසිවෙද්දී 
    වෙඩි වර්ෂා වලින් බේරී 
    සතුරන් චප්ප කරගෙන 
    කඳු මුදුනටම වාහන පදවන පොඩි උන්  

    බැලුම් බෝල පිපිරෙන කොට ඇඬෙන 
    තවමත් අපිද  මැණිකේ පොඩි උන්

    හිල්මි සුපුන්
  • අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන

    අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන

    ගායනය හා සංගීතය – තරිඳු දම්සර

    පද රචනය – රුහුණුකෙත ධම්මදේව

    සිංහල සාහිත්‍ය කලා ව්‍යාපෘතිය තුළ අන්ධ බින්දුව බවට වතු කම්කරු ප‍්‍රජාව පත්ව ඇතැයි ප‍්‍රකාශ කළේ පරාක‍්‍රම කොඩිතුවක්කු කවියාය. ‘දෙවියන්ගේ මිනිසුන්’ බඳු කාව්‍ය සංග‍්‍රහයකින් ඔහු ඒ ජනයාට සංග‍්‍රහ කළේය. එහෙත් ඒ තරම්වත් අවධානයට පාත‍්‍ර නොවූ කොට්ඨාසයක් ලස අහිකුණ්ඨක ජනයා දෙස හැරී බැලීමට මේ ගීතය අප පොලඹවයි. එයම මේ ගීතය පිළිබඳ සංවාදයක් ඇවිළවීමට තරම් හේතුවක් වෙයි.

    අප දිව යන තරම් වේගයෙන් දිව යෑමට සමත් නොවූ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් වෙත පද රචකයාගේ ඇස නතර වේ. එවිට රචක හිමි දකිනුයේ තැන්මං හන්දියක නතර වී සිටින සාස්තර කියන ගැහැනියකි. අප මෙන් නොව, ඇය යන අත තීරණය කරගැනීමට නොහැකිව ‘හෝ දහය විස්ස තිහ ගැන ගැන’ සිටී. අප නම් කිසිදු තාවරවීමකින් තොරව යා යුතු අත තීරණය කළ තැනැත්තෝ වෙමු. ධනවාදය යෝජනා කළ ඒ මාවත අපට තරම් ඉක්මනින් තෝරාගැනීමට ඔවුහු අසමත් වූහ.

    ‘ඔවුන් සහ අප’ යන ද්විභේදනය (binary) අපගේ විචාරයේදී අප සිතාමතා භාවිතකරන උපක‍්‍රමයකි. මේ ගීතය අපට ඒ ද්විභේදනය මතුකර පෙන්වයි. අපගේම ජාතික රාජ්‍යයට අයත් නිශ්චිත භූමියෙහි ජීවත්වුවද ‘ඔවුන්’ සහ ‘අප’ අතර වෙනසක් පවතින සැටි ගැන මෙහි අති රූපකාර්ථවත් යෙදුමින් පැහැදිලි කෙරේ.

    ”අහක බලාගෙන වගේ දෙන සියුමැලි අතක් අරගෙන

    හොඳම දේවල් ටිකක් කිව්වා නරක සේරම දැනගෙන

    හුඟක් ඇස් නළලවල්වල නුඹ කිව්ව පොඩි මිලෙන්

    පුදුමයක් නෑ බඹරු දන්නේ රොන් ගන්න විතරයි මලෙන්

    උඹ රේඛා ගණින අත්වල තියෙන අරුමෝසම් මෝස්තර

    දුක හිතෙනකොට අහක බලපන් කියපන් වැරදි සාස්තර”

    අති රූපකීය බසකින් මේ ධ්වනිත කරණුයේ ‘ඔවුන්’ සහ ‘අප’ අතර වන පරතරයයි. ශාරීරිකව මෙන්ම සංස්කෘතිකව ‘ඔවුන්’ සහ ‘අප’ යනු ලෝක දෙකකි. ඒ තරමටම ඔවුන් අපගෙන් ඈතය. ධනවාදය තුළ වර්ගවාදය උත්පත්ති රෝග ලක්ෂණයකි. කොතරම් වර්ගවාදය ප‍්‍රතික්ෂේප කළද ධනවාදී මිනිසා කවර ආකාරයේ හෝ වර්ගවාදයක් කර තබාගෙන යන්නකු බව ඔහුම දන්නේ නැත. ඒ අර්ථයෙන් මේ ගීතය සමාජ යථාර්ථය පිළිබඳ අපගේ නොදැනුමේ කලාපයක් ප‍්‍රශ්න කිරීමට අප මෙහෙයවයි.

    දෛනික යථාර්ථයේ හමුවන ගැහැනුන් හා පිරිමින් ගැන නිර්මාණකරණයේ යෙදෙන විට සාහිත්‍ය කලාකරුවා ඇද වැටිය හැකි බොරු වළවල් ගණනාවකි. ඒ අතරින් එක් අගාධයක් වන්නේ පුහු (ඊනියා) ජනතාවාදයයි. පීඩිතයාගේ කඳුළ, සුසුම, දහඩිය හා ශ‍්‍රමයට වන්දනාමාන කොට ඒ සිප වැලඳගැනීමෙන් එම නිර්මාණ අවසන් වෙයි. අනෙක් අන්තය වන්නේ නිරර්ථක (අර්ථවිරහිත) සෞන්දර්යවාදයයි. එහිදී පීඩිතයා තුළ ඇත්තටම දැකීමට නොමැති බාහිර හෝ අභ්‍යන්තර ලක්ෂණ තොරොම්බල් කිරීම සිදු වේ.

    සාහිත්‍ය කලාකරුවා යම් ආකාරයක ‘බොරුවක්’ ඉදිරිපත් කරන බව ඇත්ත ය. එහෙත් ඔහු හෝ ඇය ඒ ‘බොරුව’ තෝරා බේරා ගනුයේම යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීම පිණිසමය. යම් හෙයකින් ඔහු තෝරා බේරාගත් ඒම ‘බොරුවෙන්‘ යථාර්ථය සෞන්දර්යාත්මක ලෙස ඥානනය කිරීමට, එය අභිභවා යැමට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය ප‍්‍රතිපාදනය කිරීමට නිර්මාණකරුවා අසමත් වුවහොත් එම ‘බොරුවට’ කෘතියක තැන ලබාදීමට අප නම් සූදානම් නැත.

    අපගේ සංවාදයට බඳුන්වී ඇති ගීතය යථාර්ථය අතික‍්‍රමණය කිරීමට අවශ්‍ය ජීව ශක්තිය නිපදවීමට සමත් නොවූවත් යථාර්ථය සෞන්දර්යාත්මක ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමට නම් සමත් වී ඇති බව පිළිගත යුතුය.

    ‘අනාගතයම තෝරනා ජීවිතේ ඇයි කුණාටු’

    උක්ත පාඨය පමණක් වුව ඒ සඳහා ප‍්‍රමාණවත්ය. එහෙත් එය පවත්නා යථාර්ථය වෙනුවට යථාර්ථයක් පරිකල්පනය කිරීමට තරම් රසිකයා මෙහෙයවතැයි කිව නොහැකිය. පද රචනය මෙන්ම ඒ සඳහා ගායකයාගේ මැදිහත්වීමද පවතිනුයේ එහිලා අර්බුදයකය. සම්මත සංගීත ප‍්‍රස්තාරයක සිරවීම හේතුවෙන් පද රචකයාට මෙන්ම ගායකයාට ද ඒ සඳහා විභවය පැවති ස්ථාන මග හැරී යයි.

    ‘හොඳම දේවල් ටිකක් කිව්වා නරක සේරම දැනගෙන’

    ‘දුක හිතෙනකොට අහක බලපං කියපං වැරදි සාස්තර’

    ඉහත පළමු ඛණ්ඩයේදී පද රචකයා සාමාන්‍ය සමාජ දැනුම ඉක්මවා නොයන අතර දෙවන ඛණ්ඩයේදී ගායකයා සාමාන්‍ය සරල සංගීත මාත‍්‍රාව ඉක්මවා යාමට අසමත් වේ. ඉහත දෙවන ඛණ්ඩයේ වන ආවේගය ගැයීමට ඒ පිළිබඳ දේශපාලන සවිඤ්ඤාණකත්වයක් හා වගකීම් සහගත බවක් අවශ්‍ය වේ. ඒ අර්ථයෙන් තරිඳු මේ ගීතයට එතරම් සාධාරණත්වයක් සිදුකරන බවක් නොපෙනෙයි.

    මුහුණු පොතෙහි ලියන ඇතැම් රචකයන් මෙහි කථකයා සාස්තර කියන්නියගේ ස්වාමි පුරුෂයා බවට තර්ක කරමින් ගොඩ නගා තිබූ ඇතැම් රසවින්දන මේ ලියුම්කරුට ද කියවීමට ලැබුණි. එබඳු නිගමනයකට බැසීමට තරම් ප‍්‍රමාණවත් සාධක ගීතයෙහි නොමැති විටක පවා එසේ වන්නේ ඇයිද යන්න විමසිය යුතුය. ඊට බලපා ඇති එක් සාධකයක් වනුයේ ගායකයාගේ ගායන විලාසයයි. එය එබඳු ස්වාමිපුරුෂයකුගේ තත්වය ඉක්මවා යෑමට අසමත්වන අතර ‘ගායකයා’ යන්නෙහි වන ගැඹුර අත්පත්කර ගැනීමට උත්සාහ නොකරයි.

    පදරචකයා ස්වාමිපුරුෂ භූමිකාව අභිබවා යමින් ගීතය තුළ සවිඥාණක මැදිහත්වීමක් සිදුකළද උන්වහන්සේට ද භාෂාව කෙරෙහි වන ආශාවෙන් මිදීමට හැකි වී නැත. ගීතයක් විනාඩි තුනකට සීමා විය යුතු බව අප විශ්වාස නොකරන නමුත් ‘සංක්ෂිප්තතාව’ අත්‍යවශ්‍ය ලක්ෂණයකි. ගීතයේ ආරම්භයේ ගැයෙන ‘පාන්දර උඩමළුවේ’ ලෙස ඇරඹෙන කොටස ගීතයේ මුඛ්‍ය තේමාව හා කිසිදු සම්බන්ධයක් නොදක්වන නමුත් එය ඇතුළත්වීම පිටුපස ඇත්තේ භාෂාවාදීමය බව මිස අන් යමක් නොවේ. රචකයාට තමන්ගේම වචන (ලියූ) අත්හැරීමට වන අපහසුව ඉන් දෘෂ්‍යමාන වෙයි. මෙහි එන සාස්තර කියන යුවතිය සැරිසරන්නේ අනුරාධපුර පූජාභූමියෙහි බවට වන පසුබිම් විවරණය ගීතයේ කතිකාව පෝෂණය කිරීමට අත්‍යවශ්‍ය සාධකයක් නොවේ. ඊට සාපේක්ෂව ඇය සිටිය බව කියන ‘තුංමං හන්දිය’ ඇය වෙසෙන දේශපාලන ආර්ථික හා සමාජයීය පසුතලය පිළිබඳ පොදු සංකේතයක් ලෙස යොදාගැනීමට හැකි වෙයි.

    විචාරකයා යනු රසවින්දකයකුට සීමා විය යුත්තකු නොවන බව අපි විශ්වාස කරමු. මේ විචාරයේදී අප සිදුකළ මැදිහත්වීම ඒ අර්ථයෙන් භාරගැනීමට මේ නිර්මාණකරුවන්ට හැකිවනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. අවංක විචාරකයා සමඟ තරහවීමෙන් නිර්මාණකරුවන්ගේ සාහිත්‍ය කලා චාරිකාවට කිසිදු සේවයක් සිදු නොකරන බව අවසාන වශයෙන් ලියා තැබිය යුතුය.

    උපුටා ගැනීම රළ අතිරේකයෙන් 

  • වයසට ගිය සඳ

    වයසට ගිය සඳ

    සඳ හැරමිටිය ඇන ඇන
    ගාටයි අහස මුඳුනට තව
    තරුණ තරු පොකුරු මැද
    කියයි හන්දි වේදනා ගැන

    සුරඟන කතා කියූ මුව
    බණ පදයකට සැරසෙත
    එ දවස මුව අයාගෙන
    සුරඟන කතා ඇසූ තරු
    මෙදවස බණ පදයකට
    මුව බිමට හරවත

    මෙගා ටෙලි විකසිත
    පැය ගණන් ගතවෙත
    කොමල පෙම් දෙබසින්
    සාලය ම පිරවෙත
    සඳ ඔහේ මුල්ලක
    රිදෙන තැන් අතගගා
    තෙල් බෙහෙත් ගල්වත

    හර්මයිනි සින්ඩරෙල්ලා
    පුංචිමවුන්ගෙ තොල් අග
    හාවගෙ ඉබ්බගෙ තරඟය
    ගැන කිව්වම හිනාවෙත
    මේ ගැන බෝ හිත හිත
    සඳ අහසින් බැස යත

    සඳ හැරමිටිය ඇන ඇන
    ගාටයි අහස මුඳුනට තව

    මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය
  • පාටකට පුලුවන්ද ජීවිතය පුරවන්න

    පාටකට පුලුවන්ද ජීවිතය පුරවන්න

    කුඩා කළ දුටු ජන්ම පත්‍රය
    කියා සිටියා ජය වර්ණය
    වෙන්නේම ලා නිල

    උදෑසන අහසක
    වලා කැටි තල්ලුකර ඈතට
    ඉතිරිකර ගතිමි ලා නිල

    වාරකන් නොවන සයුරක
    සිහින් රැළිති මාලා ඉවත්කර
    උරා ගත්තෙමි ලා නිල

    කටරොළු මලක
    වියපත් වෙන්න ඉස්සර
    නෙලා ගත්තෙමි ලා නිල

    දමා ගිය මොණර පියපතක
    දූලි වැකෙන්නට පෙර
    රැකගතිමි ලා නිල

    හේතුව සඟවා සැමටම
    නිදන කාමරේ බිත්ති
    පින්තාරු කෙළෙමි ලා නිල

    එක්තරා යුග අතීතෙක
    හැඩයි කීවෙමි ඔබව
    ගවුමකට පාටැති ලා නිල

    අඳුරු පෑ මතකාන්දරයක
    අදටත් ඉතිරිව හාත්පස
    පරාජිත හිසින් බිම බලාගෙන
    අහස් පාටැති ලා නිල

    කපිල එම්. ගමගේ
  • බලු කුක්කගෙ උපන්දිනේ

    බලු කුක්කගෙ උපන්දිනේ

    සඳ තරු නැති අඳුරු රෑක
    පිදුරු මඩුව ළඟ කැලේක
    උපන් පුංචි බලු කුක්කෝ
    උඹේ උපන් දිනය මේක

    ඔය කවිය තිබුණෙ මගෙ අම්මා හරි පරිස්සමෙන් බලාගත්තු පොතක. පොතක් කීවට ඒක කොපි පොත් කොළ තීරු කීපයක් එකට තියලා අමුණලා අතින් හදපු එකක්. මුල්පිටුවට පින්තූරයක් අලවලා කවු මුතුහර කියල ලියල තිබුණා. ඊට යටින් තිබුණෙ මගෙ ලොකු අයියගෙ නම, කේ ප්‍රදීප් කුමාර. වරහන් ඇතුළෙ 5 වසර. පොත පුරාම තිබුණෙ එක එක කවි. අතරින් පතර පොඩි පොඩි චිත්‍ර. අම්ම හරිම පරිස්සමෙන් තියාගෙන හිටපු නිසා මම ගොඩක් වෙලාවට ඒ පොත බැලුවෙ හොරාට. ඒ හින්දමද කොහෙද මට ඔය කවි පොතේ හුඟක් කවි ඒ දවස්වල කටපාඩම්වෙලත් තිබුණා. ළඟදි දවසක හිතෙන් පොඩි කාලෙට ගිය වෙලාවක මට ආපහු ඒ කවි මතක් වුණා. ඒ නිසාම මම මගේ සිහිවටන ඔලගුව අවුස්සල අවුස්සල ඒ පොත හොයාගත්තා.

    ඒ පොතේ ලියල තියෙන පොඩි පොඩි කවි මගේ අයිය ලියපු ඒවද , නැත්නම් එයා කොහෙන්හරි උපුටගත්ත ඒවද කියලා අහන්න මට හැමදාම ලොකු උවමනාවක් තිබුණ. ඒත් මගෙ අතට ඒ පොත ලැබෙනකොටත් එයා මේ ලෝකෙන් ගිහින්. ඒක අහන්න පුලුවන්කම තිබුණ අනෙක් සාක්ෂිකාරය වෙච්ච අම්මත් ඊට අවුරුදු කීපයකට පස්සෙ ගිය නිසා අදටත් මම මේ කවිවල කර්තෘ අයිතිය අයියගෙද කියන්න දන්නෙ නෑ.ඒ නිසා මගෙ අයිය ලිව්ව කවි කියල ඒ ටික ඔබට ඉදිරිපත් කරන්න මට බෑ. ඒත් ඒකට මම පළමු වතාවට කියවපු කවි පොත කියල කියන්න නම් මට බාධාවක් නෑ. ඒ නිසා මම ඒ නම පාවිච්චි කරන්නම්. කොහොමහරි මගෙ අයිය ලිව්ව වුණත්, වෙන කෙනෙක් ලිව්ව වුණත් ඒවා නිසා තමයි අද ඉන්න, කවි කියවන්න ආස මම ඉපදුණේ. එහෙම බැලුවම මේක සිහිවටනයකට එහා ගිය සිහිවටනයක්.

    ඉතින් මේ ඒ සිහිවටනයෙ තිබුණ මම කැමැතිම කවිය. මොහොතකට දරුවෙක් වෙලා කියවල බලන්න. මට විශ්වාසයි, ඔබත් කැමැති වේවි.

    බලු කුක්කගෙ උපන්දිනේ

    සඳ තරු නැති අඳුරු රෑක
    පිදුරු මඩුව ළඟ කැලේක
    උපන් පුංචි බලු කුක්කෝ
    උඹේ උපන් දිනය මේක

    අම්ම අප්ප කොහි ගියේද
    උඹේ මතකයේ තිබේද
    උඹ මහ චණ්ඩිය වුණාට
    බලු මැක්කට බයයි නේද

    රෑට නිදන දවල් බුරන
    බලු මැක්කට බයේ දුවන
    වලිගය කොට බලුකුක්කෝ
    උඹේ උපන් දවස මෙදින

    සිංදු කියන්නම ඕනද
    නැටුම් නටන්නත් ඕනද
    මාස පහේ බලුකුක්කෝ
    ගෙය සරසන්නත් ඕනද

    චූටික්කෝ වරෙල්ලා
    බට්ටිච්චෝ වරෙල්ලා
    අපේ පුංචි බලු කුක්කගෙ
    උපන්දිනේ ඇවිල්ලා

    උඹේ උපන්දින හන්දා
    බතික්කමිසයක් අන්දා
    හීල්බතුයි කන්න දෙන්නෙ
    පුංචි බංකුවක ඉන්දා

    උඹට හීල් බත් දෙනවා
    කැවුම් කොකිස් අපි කනවා
    එහා ගෙදර පොඩි මල්ලිත්
    උඹව බලන්නට එනවා

    බළල් හාමි සිංදු කියයි
    කවුඩු රාළ බෙරේ ගහයි
    උඹේ උපන්දිනෙ වෙනුවෙන්
    බිංකුණ්ඩා හොඳට නටයි.

    Shakila Manoharshi

  • පද්ධතිගත කවිය ම පෙරාගත් “සිස්ටමික් ඇස් අග”

    පද්ධතිගත කවිය ම පෙරාගත් “සිස්ටමික් ඇස් අග”

    කවිය පිළිබඳ සංවාද සාකච්ඡා බහුල වෙනු දැන් කෙමෙන් දකින්නට ලැබෙන කාරණයක්. එයට කිසියම් ආකාරයකට නව සන්නිවේදන තාක්ෂණය බලයක් සපයා ඇති ආකාරයද දැකිය හැකියි. ඒ බලය භාවිතා කරමින් කවිය තමන් ගේ උරුමයක් ලෙස ගත්තෝ තමන්ට රිසි කුලකයේ කවි පමණක් ගැන සාකච්ඡා සංවාද පවත්වනු දකින විට සිතෙන්නේ වේදිකාව වෙනස් වුවද රඟන්නෝ පරණ නළුවන් ම බවයි. ඒ නිසා නූතන කවියට ප්‍රවේශ වන කුසලතා පූර්ණ කවිය බොහෝ දෙනෙකුට මග හැරි යන අයුරු සූක්ෂම නිරීක්ෂණයන් තුලින් අවබෝධ කර ගන්නට පුලුවන්. කෙසේ වෙතත් වර්තමාන කවියේ සුවිශේෂ ලක්ෂණය වන්නේ එහි ප්‍රමාණාත්මක වර්ධනයයි. එය කවියට හානිකර යැයි කිසිවිටක නොසිතිය හැක්කේ මේ ප්‍රමාණාත්මක ගොඩේ ගුණාත්මක බවින් මතුවෙන්න උත්සාහ කරන කවි පැලපතක් ද දකින්නට ලැබෙන නිසා. ඒවාට නිසි කල දිය පොහොර ලබා දෙන්නේ නම් අනාගත සාර අස්වැන්නක් ගැන බලාපොරොත්තු සහගතවන්නට අපට හැකියි.

    මිගාර බමුණුසිංහ තරුණ කවියා අපට මුණ ගැසෙන්නේ ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය වන “සිසිර සඳ ළං වූ දිනේ සිට” කාව්‍ය කෘතියෙන්. මේ ඉදිරිපත්වීමෙන් කවිය පිළිබඳ අවංක බැඳීමක් සාදාගන්නට උත්සාහ කරන කවියෙකු අපට හමුවුණා. ඔහු එහි දී අභ්‍යාස සීමාවකට යටත්ව සිය කවිය සකසා ගන්නට වෙර දරන ආකාරය දැකිය හැකිවුණා. මිගාර දෙවන වර අපට හමුවන්නේ “සිස්ටමික් ඇස් අග” නම් වූ සිය දෙවන කාව්‍ය එකතුව සමගින්. නූතන සමාජය ස්වභාවයෙන්ම පද්ධතිගත සමාජයක්. මිනිසුන් සිය ජීවන ගමන යන්නේ අනුන් විසින් සකසා දෙනු ලබන පද්ධතියක නියෝගයන්ට යටත්ව. මේ නිසාම නූතන මිනිසා ගේ දැක්ම පවා සැකසී ඇත්තේ එකී පද්ධතියට යටත්ව. මේ නිසා මිගාර ගේ කෘතියේ නාමකරණය පවා පුලුල් සමාජ දේශපාලන අරුත් පදාසයක් සංකේතාත්මකව නියෝජනය කරනවා.

    කෘතියේ එන නිර්මාණ සියල්ල එක ලෙස ගුණාත්මක බවින් පරිපූර්ණ නොවූවද පෙර සිටි කවියාට වඩා පෝෂිත කවි රැසක් මෙවර නිර්මාණ එකතුවේ අපට සම්මුඛ වෙනවා. “ඒ කන්ද තාත්තෙක් නම්”, “පරණ කොපි පොත”, ” සොහොන් බිම ප්‍රේමය”, “කඩල කරත්ත”, “අරගල භූමියේ අරගලය”, ” නොපෙනෙන කඳුළු”, “අද ඇගේ ලෝකය, හෙට?”, “රෑ මල්” වැනි නිර්මාණ කවියා කෙමෙන් වැඩෙන ආකාරය දකින්නැයි ඔහු අපට සපයා දෙන උදාහරණ. ඇතැම් නිර්මාණයක් තුල අපූරු කවිත්වයක් මිගාර විසින් පෙන්නුම් කරනවා.

    ” නුඹ යන්න
    ගඟක් වී මිහිතලයේ ඇවිදින්න
    සයුරක් තරම් ප්‍රේමයේ
    ලවණ රස විඳගන්න
    ළමැද හරියෙන් දිය දෝතක්
    ගගන වලාවක රඳවන්න
    අම්මයි මායි ඉන්න පැත්තට එවන්න
    වැස්සක් ව වසින්න.”

    පැටවුන් කූඩුවෙන් මුදාහල පසු මව් දෙමව්පියන් ගේ සාන්ද්‍රික ප්‍රාර්ථනා ඔහු නවමු සංකල්ප රූප සමග ඉදිරිපත් කරන්නේ එලෙසිනි.
    මිගාර ඇතැම් විට නිදහස් ආරේ කවියට වඩා සිව්පද ආරේ කවියට වඩා සමත්කමක් දක්වන්නේ දැයි සැක සිතෙන ඒ ආරේ කාව්‍ය නිර්මාණ කිහිපයක් ම මෙහි අඩංගු වෙනවා.

    “හිරවුණෙන් ස්මාර්ට් පන්ති කාමර වලට
    දුව අසයි කොපි පොතෙන් පිවිසෙන්න මා තුළට
    වෙලාවක් නැහැ යන්න ගහකොළට ඇළ දොළට
    මදිටියා ඇට වුණත් අරන් දෙන්නේ මිලට”

    දරුවන් පරිසරය විඳිමින් ඉගෙනගන්නවා වෙනුවට තාක්ෂණික භාවිතයෙන් ඉගෙන ගැනීමේ සියුම් අහිමිවීම මිගාර දකින්නේ එලෙසිනි. පොත් පිටු අතරේ අක්කපාන කොළ මුල් අදින ආකාරය සැබෑ ලෙස අත්විඳින්නට නූතන දරුවාට ඉඩක් නැත.
    මෙහි එන “සොහොන් බිම ප්‍රේමය” අපූරු කවිතාවක් රැගත් නිර්මාණයක්. නිදහස් ප්‍රේමයට තව තවත් වැටකඩොලු බඳින, ඒ වෙනුවෙන් නීති සම්පාදනය වෙන වකවානුවක ඇතුලු වීමට මිලක් අය නොකරන, කුරුළු කූජන ඇසෙන, මල් පිපෙන සොහොන් බිම් අවකාශය ප්‍රේමයට ක්ෂේමභූමියක් වන ආකාරය අපූරුය.

    “යෞවනියන් නමට මල් හෙළන්නට
    කහපාට මල් ගහක් බලන් ඇති”

    “කඩල කරත්ත” නිර්මාණය මෙහි ඇති සූක්ෂමතා අනූන නිර්මාණයක්. මත්පැන් අලෙවි සැල් අසල කඩල විකුණන කඩල කරත්ත කවියා මෙහිදි ප්‍රස්තූත කොට ගන්නවා. කඩ විකුණා අහවර වූ පසු ඒ කඩල කරත්ත ගෙදර යති.

    “තිත්ත මීවිතක ඇත්ත රස බලන්නට
    පෙරෙත්ත කරන හදවත සඟවන්
    ගෙදර යයි කඩල කරත්ත”

    මීවිතින් සප්පායම් වෙන මිනිසුන්ට කඩල විකුණන විට කඩල කරත්කරුවාටත් මීවිත තොලගාන්නට සිතක් පහළ වෙනවා. නමුත් එය පසෙක ලා ඔහු ගෙදර යනවා. ඒ කෙසේද ?

    “ලාබ සිල්ලර අඩුවැඩිය
    පුංචි සිලි කවරයේ එල්ලන්
    බාගෙට වහන මාළු ලෑල්ල ඉව කර
    මලානික පන්දම් එළියෙන්
    ගෙදර යයි කඩල කරත්ත
    දූවිලි අහස අස්සෙන්
    දිලිසෙන තරු අකුරු දැක දැක
    කනිෂ්ටෙ ගාව නැවතී
    හිනාවෙයි කඩල කරත්ත”

    මෙවැනි සමාජ ආන්තික කොටස්වල සිහින කවියා පරිකල්පනය කරන ආකාරය අපූරුයි. එවැනිම සමාජ ආන්තික කොටසක් වන වීදි ලඳුන් පිලිබඳව වෙනස් පර්යාලෝකයකින් බලන නිර්මාණයකි “රෑ මල්”.

    ” රෑ මල්
    පිබිදෙයි
    සුවඳ විහිදෙයි
    බෝ ගස් යටින්
    සිහින දකින නගර මැද”
    ඒ උත්ප්‍රාසාත්මක භාවිතය අපූරුය.
    “රාත්‍රිය පාළුයි
    සුදු ම සුදු නොඇන්දාට
    රෑ මල් සුදුයි”

    බොහෝ සුදු අඳින මිනිසුන් අභ්‍යන්තරයෙන් සුදු නොවේ. බාහිරින් කිළිටි යැයි සමාජ සම්මත මිනිසුන් අභ්‍යන්තරයෙන් සුදුය.

    ” සත්පුරුෂ කෘමි සත්තු
    රෑ මල් නෙළයි
    සිඹියි
    තළයි
    පරාගනයක් නොවෙයි.”

    වීදි ලඳුන් විඳින්නේ එවැනි ශාරීරික වද බන්දනයක්. ඒ අනෙකක් නිසා නොව.

    කැකුළු මල් පේලියක්
    කනිෂ්ටෙ බංකුවක
    පිපී නැළවෙයි
    රෑට පාඩම් කරලා
    නිදියයි
    අනාගතයේ දිනක
    උන්ට රෑ නොපිපෙන්න
    හැම රෑ ම
    රෑ මලක්
    සුවඳ විහිදයි.”

    මිගාර ගේ මෙවැනි නිර්මාණ කවියා සෙමෙන් සාරවත් ව වැඩෙන කවියෙකු බවට අපට ඉඟි සපයයි. නමුත් “සිස්ටමික් ඇස් අග” නිර්මාණ එකතුවේ එන ඇතැම් කාව්‍ය තවමත් පවතින්නේ කළල අවදියේ බව පෙනෙයි. ඒවා කලින් බිහිනොකරගෙන දස එකඩ මස් ගෙවා ස්වාභාවිකව බිහිවන්නට ඉඩ හැරියානම් අපූරු වන්නට ඉඩ තිබුණි. “Emergency Treatment Unit”, “වැස්ස”, “උස් හදවතක නොපෙනුණ ප්‍රේමය”, “අමතකම නැති අංකය” වැනි නිර්මාණ එවැනි මගහැරගත් කාව්‍ය අනුභූතීන් ය.
    කෙසේ වෙතත් මිගාර බමුණුසිංහ තරුණ කවියා පොරොන්දු සහගත කවියෙක් බව ඔහුගේ දෙවන නිර්මාණ එකතුවෙන් අපට හඳුනාගත හැකිය. ඔහු ඉදිරියේ ඇති අනාගත අභියෝගය වන්නේ බස සකස් කර ගැනීමත්, තියුණු සමාජ දේශපාලන දැක්මක් මුවහත් කරගැනීමත්, කවියේ උස්මහත් වීම ඉවසා සිටීමත් වැනි කාරණයන් ය. එය ඔහුට ජයගැනීමට අපහසු ඉලක්කයන් නොවන බව පළමු කවි එකතුවේ සිට දෙවන කවි එකතුවට එන විට ඔහු දැනටමත් පෙන්වා අවසන් ය.

    උපුටා ගැනීම කපිල එම්. ගමගේ ගේ මුහුණු පොතෙන්

  • අනුලා නම් ඇය

    අනුලා නම් ඇය

    වේදිකාව මත බොහෝ සේ ශබ්ද නගා ගෝලීය වසංගතයක උවදුරු බිය මැද නුපුරුදු නිහඬ බවින් අපෙන් සමුගත් ඈ නමින් අනුලා බුලත්සිංහල ‍ය.
    ආර්. ආර් සමරකෝන් (ලෙඩක් නැති ලෙඩෙක් , චරිත දෙකක්) සහ ප්‍රේමරංජිත් තිලකරත්න (වහලක් නැති ගෙයක් , මුහුණු සයකි රූකඩයකි, කෝන්තරේ) නම් ප්‍රවීණ නාට්‍යවේදී දෙපළගේ වේදිකා නාට්‍ය කිහිපයක් ඔස්සේ වේදිකාව මත තම අනන්‍යතාව සනිටුහන් කරන අනුලා බුලත්සිංහල 1969 වර්ෂයේ දී හෙන්රි ජයසේනගේ ‘කුවේණි’ නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනයේ දී කුවේණිය වූවා ය.
    සත් සියක් මායා බෙලෙන් මම
    සත් සියක් බන්ධන බෙලෙන් මම
    සත් සියක් සක්වල සොයා මම
    ගෙන් වූ කුමරුන් ළඟ එතේ
    ගෙන් වූ කුමරුන් ළඟ එතේ
    (කුවේණි)
    අනතුරුව 1974 වර්ෂයේ දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මහාසාර’ වේදිකා නාට්‍යයේ ‘මහාසාර බිසව’ ලෙස තෝරාගන්නා අනුලා බුලත්සිංහල තම රංගන දිවියේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන්නීය.
    බිසව :-
    මට මහාසාර පලඳනාව හම්බවෙනකන් මං කන්නෙත් නැහැ. බොන්නෙත් නැහැ. නොකා නොබී මැරෙනවා !
    රජු :-
    අයියෝ ! එහෙම කරන්නෙපා. කොහොම හරි කරලා මේක හොයා ගන්න බලමු. නොකා නොබී නම් ඉන්න එපා. ඉස්සෙල්ලාම මොනවා හරි කාලා හිටින්නකෝ !
    (මහාසාර)
    1974 වසරේ ම ලූෂන් බුලත්සිංහලගේ ‘රතු හැට්ටකාරි’ නාට්‍යයේ ඉමිහිරිව ගයමින් රංගනයේ යෙදුණු අනුලා බුලත්සිංහල පැරණි සැහැල්ලක් ඇසුරෙන් ලූෂන් බුලත්සිංහල විසින් ලියන මේ ගී පදවැල සදාකාලිකව ම අනුලා බුලත්සිංහල නමට ම හරවා ගන්නට සමත් වන්නීය.
    කිරි විකුණාලා කාසි හොයන්නයි
    අනාගතේ මාළිගා තනන්නයි
    කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි
    මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි
    දී කිරි දී කිරි – ගෙනාවා දී කිරි
    මිහිපිට කාටත් ගුණ දෙන දී කිරි
    පැටියා මෝරපු දෙනගෙන් ගත් කිරි
    හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
    නැවුම් මුට්ටියේ වත්කළ මේ කිරි
    පණමට ලාබයි මං දෙන මේ කිරි
    (රතු හැට්ටකාරි)
    1981 වසරේ දී ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’ නම් ජනකාන්ත වේදිකා නාට්‍යයේ ‘ලොරීටා’ ලෙස රංගනයේ යෙදෙන අනුලා බුලත්සිංහල සියවසක් මතකයේ රැඳෙන රංග ප්‍රතිභාවක් ද ගායන කෞෂල්‍යයක් ද විදහා පෑවා ය.
    මුව විට තෙක් හද ඔබෙන් පිරී ඇත
    එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත
    තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
    දොරක් වැසී දොරක් ඇරේ ආදරේ
    සුළඟින් බිත්ති තැනූ – සුවඳින් පිරියම් වූ
    මාලිගයකි මගෙ හද දොරගුළු නැති
    පිරී තියේ තදබද වී ආදරේ
    (තාරාවෝ ඉගිලෙති)
    1983 වසරේ වේදිකාගත වූ දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’ වේදිකා නාට්‍යයේ අනුලා බුලත්සිංහල හට හිමිවන්නේ ‘නෙයිනාගේ සූදුව’ පිළිබඳ වූ උද්වේගකර විරිඳු පංතියක් ගයමින් රඟන්නට ය. එය රස නොවිඳි කෙනෙක් මෙසිරිලක සිටිය හැකි ද ?
    කාගෙන් බේරුණත් බැරිය එළුවාගෙන් මාරුවෙන්ට
    වේගෙන් පැන්නා මැතිඳා ඒ වුනාට ඉදිරිපිටට
    උඹ ද මිතුරෙ හතරගාතෙ චණ්ඩිය කියමින් මෙතෙන්ට
    දුන්නා වම් පයින් එකක් පස්ස ගාතෙ කැඩිල යන්ට
    (මධුර ජවනිකා)
    අසූව දසකයේ අගභාගය වනාහි ගුවන් විදුලිය ගිලිහෙමින් තිබූ තම කිරුළ අසීරුවෙන් හෝ රැක ගනිමින් තිබූ යුගයකි. ඒ වන විට අනුලා බුලත්සිංහල එක වෑර්ලසය ද දිග්විජය කළ ගායිකාවක වූවාය.
    දෙදහස් එක වසරේ දී සංගීත් විජේසූරිය විසින් දුප්පත් රැප් මළකුණක් එල්වමින් වුව ද මිහිරි ලෙස ගායනා කළ ‘රඟහල දැන් ඇත’ යනු අනුලා බුලත්සිංහල සහ විජේරත්න වරකාගොඩ අතීතයේ ගැයූ සරල ගීයකි. පුදුමය එළවනසුලු කරුණ වන්නේ මෙ සුගායනීය ගී පදවැල ලියන ලද්දේ හඩ්සන් සමරසිංහ වීම ය.
    හැඩිදැඩි සිරුරට ආලය හිතුණා
    ඔබ හට අසිපත දෙන්නට සිතුණා
    මනමේ කුමරුන් මරුමුව වැටුණා
    දැන් මම රැජිණයි හිමගිරි අරණා
    රඟහල දැන් ඇත අඩ අඳුරේ
    අපි දෙදෙනා පෙම් පිළිසඳරේ
    අන්න බලන් කුමරිය මනමේ
    තනිවී ඇත හිම ගිරි අරණේ
    එමෙන් ම අනුලා තම දියණිය ඊෂා ඉන්ද්‍රචාපා බුලත්සිංහල සමග ගැයූ මේ ගීතය අසූව දසකයේ අගභාගය වන විට ගුවන්විදුලියේ නොවරදින ගීතයක් විය.
    දුව :-
    බුදුන් වඳින මේ දෑතින්
    වැඳල කියන්නම් අම්මේ
    අක්කා මෙන් ඔය හිත නෑ පාරන්නේ මං
    මව :-
    හිත හැදෙන්න මට ඇහෙන්න
    එපා මුසා බස් පොඩි දූ
    පව් පුරවා ගන්ට එපා මොටදෝ මායම්
    දුව :-
    මං දඟකාරියැයි කියා
    වැඩිමල් දූ හිසේ තියා
    මට විතරයි හැම තහංචි සැරවැර සරදම්
    මව :-
    පතා කියාගෙන ආ දේ
    ඒ හැටියට වෙයි කරුමේ
    හැදෙනව නම් මගෙ දූටත් මේවා පාඩම්
    ලූෂන් බුලත්සිංහල විසින් ම පසුකලෙක සඳහන් කළ පරිදි පටිගත කිරීමක් සඳහා ගීතයක් ඉල්ලා එවූ විට ඔහු විදේශයක සිට ලියා එවන මේ ගීතයේ පහත පද පෙළ ඉවත්කිරීමට ගුවන්විදුලි බලධරයින් කටයුතු කරන්නේ දෙමාපියන් පෙරළා ප්‍රශ්න කිරීමේ අයිතිය දරුවන්ට යුතු නැතැයි යන ආකල්පයෙනි.
    දුව :-
    අපෙ අම්මා දීග ගියේ
    දෙමාපියන් අණ බලාද
    අක්කා කළ දේ වැරදියි එහෙම වුණා නම්
    අම්මා :-
    පණ්ඩිත කම් නොකියා තව
    අහවරනම් ගේ දොර වැඩ
    හොඳයි බලා ගත්තානම් පොත පත පාඩම්
    එපමණක් ද නොව, අද වන විට ගුණදාස කපුගේ – මාලිනී බුලත්සිංහලගේ ගායනයෙන් සුවහසක් ගී රසකාමීන් හද වැළඳගත් ලූෂන් බුලත්සිංහල ලියූ මේ ගීතයේ මුල් ගැයුම ඔස්ටින් මුණසිංහ සහ අනුලා බුලත්සිංහල බව දන්නේ කීයෙන් කී දෙනා ද ?
    දම් පාටින් ලා සඳ බැස යනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි
    දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
    වෙන් වී යන මොහොතක් නෑඟේ
    දැසට ළංස තවත් මේ මොහොතේ
    ගොළු වී ඉන්නෙමි මං
    අද වන විට අනුලා බුලත්සිංහල ද ඉතිහාසයේ ඇය වෙනුවෙන් වෙන් කළ ඉඩ හසර සොයා ගොස් අවසාන ය. ‘දුන්නා සිද්ධාලේප අසමෝදගම්’ නම් විකාරරූපී වෙළඳ දැන්වීමක් සමඟම තවමත් හිස තුළ රැව් දෙන්නේ අනුලාගේ උපදේශනාත්මක හඬ ය.
    හිත හැදෙන්න මට ඇහෙන්න
    එපා මුසා බස් පොඩි දූ
    පව් පුරවා ගන්ට එපා මොටදෝ මායම්
    ඒ සියල්ලට එපිටින් බුද්ධදාස ගලප්පත්ති විසින් රචනා කර ගුණදාස කපුගේ සංගීවත් කළ අනුලා බුලත්සිංහලගේ පැරණි ගීයක් ඈතින් ඇසේ.
    සුදු ඔසරිය ඇඳලා
    සුදු මුතු පොට බැඳලා
    සුදු මල් පියවිල්ලේ සුදට සුදු
    කවදද මා යන්නේ
    එසේ නම් රතු හැට්ටකාරිය ද සුදුවතින් සැරසෙන දිනය උදා විය.
    අනුලා බුලත්සිංහල ; ඔබට සුබ ගමන් !

  • “බොන්සායි නුග තුරක යටි සිත”

    “බොන්සායි නුග තුරක යටි සිත”

    මාලන් බණ්ඩාර කපුවත්ත ගේ ” නිමවූ සෘතුවක ශේෂපත්‍ර ” කාව්‍ය සංග්‍රහයේ පීඩීඑෆ් පිටපත ලැබුනේ ඊයේ. මාලන්ගෙයි මගෙයි සම්බන්ධතාවය ගොඩ නඟන්න මධුරංගගේ ලිපිය ඉවහල් වුණා. ” නිමවූ සෘතුවක ශේෂපත්‍ර ” කාව්‍ය සංග්‍රහය පිළිබඳව ලක්ෂාන් මධුරංග මුහුණු පොතේ තබා තිබුණු සටහනක් විවර වෙබ් අඩවියේ පළකිරීමෙන් පසුව ලින්ක් එක මාලන්ට යැවීමෙන් තමයි මේ සම්බන්ධය හැදෙන්නේ. මාලන්ගේ පොතේ කවි 41 ක් තිබුනත් කියවූ කවි කිහිපය අතරින් පළමු කවිය මට සුවිශේෂී බලපෑමක් කලා කියන හැඟීම මා තුළ තියෙනවා.

    මාලන් පළමු කවිය නම් කරලා තියෙන්නේ “බොන්සායි නුග තුරක යටි සිත” කියලා. ලක්ෂාන් මධුරංග තබා තිබුණු සටහන කියෙව්ව මා ඔහුගේ කාව්‍ය සංග්‍රහය පළමු කවිය සහ තවත් කවි කීපයක් පමණයි කියෙව්වේ. “බොන්සායි නුග තුරක යටි සිත” කවියට වඩා හොඳ කවි තව තියෙනවා ඇති මේ පොත ඇතුළෙ නමුත් ඒ හොඳම කවි හොයාගෙන යනවට වඩා මේ කවිය ලඟ හිත ඇත්තටම නතර වුණා. යමක් නොලියා ඒ හිත වෙන තැනකට අරන් යන්න බැරි නිසා මේ සටහන ලියන්න ම සිද්ධ වුණා. ඇත්තටම මෙතනදි සිදුවුණේ කුමක්ද කියන එක හරි වැටහීමක් නැතත් සමහර විට කවිය මම වුණා මම කවිය වුණා විය හැකියි.

    ඔය බඩ විසල් වදුලක
    මවූ තුර පාමුලම
    සුරතල් සිනා පෑ
    සිඟිති නුග පැලයක් මි

    මවූ නෙතින් වෑහෙන
    කඳුළු නාදුනන මිනිසුන්
    තියුණු හවුලින් උදුරා රැගෙන
    සිර කළා මා
    හිරු කිරණ අවුරන
    අවට තුරු අතු පත්
    හෙළන කෙඳුරුම් නෑසෙන
    සිව්මහල් මැදුරක
    කුඩා බඳුනක

    කුඹුක් ඔය ගයන ගීතය
    අළු කොබෙයි කූජන අසනෙමි
    සීතල සඳ කිරණ
    රෑ සීනෙන් දකිමි
    වැලපෙමි

    මේ මා අවට
    රාමු කළ මුහුණු පමණකි
    විසල් ලොවකට ඇරෙන 
    මහත් දොර කවුළු ය
    අගුලු ගෙන ඇති

    සිරකරු වුවද අද මෙහි
    මතු යම් දිනෙක
    බඳුන පුපුරා වැඩි
    විදා අතු පතර ඔයබඩ වෙත
    සෙවණැලි පාන පැතුමකි
    යටි සිතෙහි

    මාලන් සමග කළ පුංචි පිළිසඳරේදී දැනගන්න ලැබුණා ඔහු විදෙස්ගත ශ්‍රී ලාංකිකක් කියලා . මා හිතනවා මා වගේම ඔහු විදෙස්ගත ශ්‍රමිකයෙක් . බොන්සායි කලාව පිළිබඳව අපි දන්නවා. විශාල වෘක්ෂ කුඩාවට ලස්සනට හැඩට වැඩට වවන කලාවක්. බොන්සායි කලාවේදී දැවැන්ත වෘක්ෂයන් වල ජානමය ලක්ෂණයන් උරුමයන් අහිමි කරනු ලබනවා. විප්‍රවාසී ජීවිත ගතකරන අපිත් මේ බොන්සායි ගස් වගේ මිනිසුන් යැයි මට සිතෙන නිසා වෙන්න ඇති මේ කවිය ලග මගේ සිත නවතින්නේ.

    අපේ නිදහස බොන්සායි, අපේ සංස්කෘතිය බොන්සායි, අපේ සිතුවිලි සීමාවන් බොන්සායි, ඇත්තටම අපේ ජීවිත එක්තරා විදිහකට පුංචි බඳුනක පැල කරනු ලැබූ විසල් අතු රිකිලි ඇතිමුත් වැඩෙන්නට ඉඩ කඩ නොමැති සීමිත පරිසරයකට කොටු වෙච්ච මුල් සහිත ගස් බඳුයි.

    කෙනෙකු ප්‍රශ්න නගන්නට පුළුවන් උඹලව බලහත්කාරයෙන් රටින් පිටමං කළේ නෑනෙ උඹලා කැමැත්තෙන්ම ගියානෙ කියලා බැලූ බැල්මට එය ඇත්තය , අදටත් කැමැත්තෙන් රටෙන් පිට වෙන්නට උත්සාහ කරන තරුණ තරුණියන් බොහොමයි.

    මව් නෙතින් වෑහෙන
    කඳුළු නාදුනන මිනිසුන්
    තියුණු යවුලින් උදුරා රැගෙන
    සිරකලා මා
    හිරු කිරණ අවුරන
    අවට තුරු අතු පත්
    හෙළන කෙඳුරුම් නෑසෙන
    සිව්මහල් මැදුරක
    කුඩා බඳුනක

    මව්වරුන් නෙත කඳුළු රැදෙද්දී අපව උදුරා අරන් ගිය තියුණු යවුල උනේ ආර්ථිකය. අදටත් මේ දියුණු යවුල මව් ඇකයෙන් පැල ගලවා ඈතට විසිකරනවා.

    කුඹුක් ඔය ගයන ගීතය
    අළු කොබෙයි කූජන අසනෙමි
    සීතල සඳ කිරණ
    රෑ සීනෙන් දකිමි
    වැලපෙමි

    මිල මුදල් හරිහම්බ කළත්, උපන් බිමකින්, උපන් සංස්කෘතියකින්, නෑදෑයන් උරුමකම් කියන මිනිස්සුන්ගෙන්, ඈත් වී ජීවත් වීම මොන තරම් දුෂ්කර ද යන්න ඒ අත්දැකීම ලද මිනිසකු පමණකි ඒය නිවැරදිව ම වටහා ගන්නේ . ඒ අත්දැකීම මාලන්ට විප්‍රවාසී ජීවියේදී අත්විඳින අහිමිවීම් පිළිබඳ වේදනාව “බොන්සායි නුග තුරක යටි සිත” කවිය තුලින් කියන්නට හැකි වුණා කියන අදහස මට තියෙනවා.

    මේ මා අවට
    රාමු කළ මුහුණු පමණකි
    විසල් ලොවකට
    ඇරෙන මහත් දොර කවුළු ය
    අගුලු ගෙන ඇති

    නිදහසේ වැඩෙන නුග රුකක වපසරිය කොයිතරම් විශාල ද, එවගේම තමයි උපන් දේශයක, උපන් ගමක, දන්නා අදුරන පරිසරයක, දන්නා සංස්කෘතියක, ජීවත් වෙන මිනිහෙක්ගේ වපසරියක් පුළුල්, නමුත් දැන් අපට හමුවන්නේ සීමා සහිත පිරිසක් පමණයි. අප මුහුවන්නේ සීමාසහිත සීමාවක පමණයි. සමහර විට මේ සීමාවන් අප විසින්ම නිර්මාණය කරගත් සීමාවන් . විසල් ලෝකයකට ඇරගෙන යන්න දොර කවුළු තිබුණත් එහි යතුර තිබුණත් අප පාවිච්චි කරන්නේ නැහැ. මෙතනදී ඒකත් මතක් කිරීම ඉතා වැදගත් වෙනවා. සමහර සීමාසහිත කම් හැදෙන්නේ අපි අතින් .

    සිරකරු වුවද අද මෙහි
    මතු යම් දිනෙක
    බඳුන පුපුරා වැඩි
    විදා අතුපතර ඔයබඩ වෙත
    සෙවණැලි පාන පැතුමකි
    යටි සිතෙහි

    අපි හැමෝටම මේ ජීවිතයෙන් නිදහස් වීමේ ආශාව තියෙනවා. නමුත් ඒ නිදහසේ දොරටුව කොතන දැයි හරිහැටි නොදනී.

    හිල්මි සුපුන්
  • ඩිරෙකට් මාකටින් සහ මං මාකටින්

    ඩිරෙකට් මාකටින් සහ මං මාකටින්

    ගෙයින් ගෙට ගොස් කරන වෙළඳාම අපිට නුහුරු අත්දැකීමක් නෙවෙයි . මේ ගෙදරටම ගොස් කරන වෙළඳාමේදී අපිට වලං කද කරුවා .මාළු වෙළෙන්දා නිතර හමුවෙන සුපුරුදු චරිත බවට පත්වෙලා තිබුණා .

    පසුකාලීනව කඩපිල් වෙනුවට ගම් මූලික කරගෙන නගර ඉදි වෙද්දි ,ඒවා පුළුල් වෙද්ද නගරාශ්‍රිතව පදික වෙළඳුන් ඇතිවෙනවා .

    මේ විවෘත ආර්ථිකය නගර සංවර්ධනය කරමින් ,මහා පරිමාණ කඩ සුපමාකට් හීන් සීරුවෙ නගර ඇතුලට බස්සද්දි ,ගෙයින් ගෙට ගොස් බඩු විකුනපු වෙළඳුන්ගේ රැකියාව අභාවයට යනවා . නමුත් පැරණි වෙළඳාම් ක්‍රම වේදය අභාවයට ගියත් පසුකාලීනව මේ ගෙයින් ගෙට කරන වෙළඳාම, වෙළදම් කරන්නාගේ සුවරූපයද වෙනස් කරමින් නැවත කරලිගත වෙනවා .

    ඒ අලුත් ස්වරූපය ලත් වෙළෙන්දෝ බොහොම ලස්සනට ඇඳ පැළඳ ගනිමින් ,ටයි එකකින් සැරසී බිෆ් කේස් එකක්ද අරගෙන ගෙවල් වලට යන්න පටන් ගන්නවා .මේ අය ජීවිත රක්ෂණයේ සිට පෑන පැන්සල ඉදි කටුව දක්වා විකුනනවා .

    පසුගිය දවසක youtube ඔස්සේ ජනගත කළ අලුත් ගීතයක් අහන්න ලැබුණා .ඒ ගීතයෙන් කියවෙන්නේ බිෆ්කේස් එකක් අතින් ගත් ටයි කෝට් ඇඳගත් වෙළෙන්දෙක් ගේ ආත්ම කථනයේ අඳෝනාව .මේ ගීතය සමඟ මතකයට නැගුනේ “තැබෑරුමට වරෙන් සිංහයෝ ” කාව්‍ය සංග්‍රහයට නලින්ද සංජිව ලියනගේ ලියන ” ඩිරෙකට් මාකටින් ” කවිය .

    • නිමිත්ත-ගෙන් ගෙට යමින් සුවද විලවුන් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන තරුණයෙකු රැකියා විරහිත උපාධිධාරියෙකුගේ බෝඩිමට පැමිණෙයි.දෙදෙනා අතර මෙබඳු කෙටි සංවාදයකි.

    පිටේ බැදන් කොම්පැණියෙන් දුන් හීන
    ලේන් එකේ දොර දොර යන මිතුරාණ
    පෙනේ දහදියෙන් කරවුණ කළු මූණ
    අතේ තිබෙන ආලේපෙන් සුදු නූණ

    ගදින් කිළිටි අඩුවක් නැති බෝඩිමට
    සමන් මලින් දවසක් පැන් ඉස කුමට
    මචන්,හුස්ම හිර වෙයි ඔය ටයි එකට
    වරෙන් දුමක් දානව නම් කාමරෙට

    “පවරා පවුලෙ සුක්කානම මගෙ අතට
    වැටුණා තාත්තා කුණු ලොරියෙන් බිමට 
    බිඳුණා මැටි පහන බය වී කළුවරට
    දිව්වා ගණ දෙවිඳු පොත් මේසෙන් දුරට”

    උඹ කී කතා මුහු වෙයි සිගරැට් දුමට
    නොකියූ මගේ තතු වෙනසක් නැත දැනට
    නොකිපී දොරින් පිටමන් කල නුවරුනට
    හිනැහී යලිත් යන හැටි ඊලග දොරට

    එන්න එන්න සැඩ වෙයි ජල කඳ ඉහල
    එකම ඔරුවෙ අපි පාවෙනවා පහල
    දියට වීසි කොට කමකට නැති හබල
    ගිලෙමු,නැතොත් පිහිනමු ඉවුරට නිසල

    නලින්දගේ ” ඩිරෙකට් මාකටින් ” කවිය තුළින් රැකියා විරහිත උපාධිධාරි යාත් ,රැකියාවක් නොමැති නිසා කරන්නම දේකුත් නැති නිසා ගෙයින් ගෙට ගොස් මිනිසුන්ව අන්දමින් බඩු විකුණන තරුණයකු අතර සංවාදයක් .

    ඉහත ගීතයේ තරුණයාගේද ” ඩිරෙකට් මාකටින් ” කවියේ බඩු විකුණන සහ රැකියා විරහිත උපාධිධාරී තරුණයාගේ කතාව එකමය . මොවුන් කිසිවෙක් ආත්ම විශ්වාසයෙන් ජීවත් වෙන මිනිස්සු නෙමෙයි. විශ්වාසයන් බිඳවැටුණු, ඉච්ඡාභංගත්වයට පත් වුණු මිනිසුන්ය. වෙළඳපොල ආර්ථිකය විසින් නටවන රූකඩය. ගීතයේ කරන්න දෙයක් නොමැති නිසා ආත්මය කුඩුපට්ටම් කර දමා ජීවත්වීම සඳහා මාකටින් කරන තරුණයාට ඉන් ගැලවීමට මගක් පිළිබඳව අදහසක් නැහැ. නමුත් නලින්දගේ කවියේ අවසානයේ රැකියා විරහිත උපාධිධාරීයාට මේ ප්‍රශ්නය පිළිබඳව අදහසක් තිබෙන බව හඟවනවා.

    මේ ආර්ථික අර්බුදය තුළ ඔවුන් ගිලී යමින් පවතින බව ඔහු දන්නවා.

    එන්න එන්න සැඩ වෙයි ජල කඳ ඉහල
    එකම ඔරුවෙ අපි පාවෙනවා පහල
    දියට වීසි කොට කමකට නැති හබල
    ගිලෙමු,නැතොත් පිහිනමු ඉවුරට නිසල

    එ වගේම ඒ වෙනස් කළ හැකි බවත් ඔහු දන්නවා. වෙනස් කළ හැක්කේ තනිව නොව සාමූහිකව බව දන්න නිසා ඉදිරියට යන්නැති ඔරුවක නැගගෙන බොරුවට හඹා ගහන්නෙ නැතිව ඔරුවෙන් බැහැලා හබල විසි කර එක්කෝ දියේ ගිලි මැරෙන්න ඕනා නැතිනම් සාමූහිකව පිහිනා ගොඩ යුතුයි.

    ඇඟට අමුතු ජෙන්ට ඇඳන්
    ඩිෆ්‍රීසර් අයිස් මාලිගා තනන්
    ඌ යනවා අලිබාබාගේ ගුහාවකට
    විකුණන්නේ ආත්මේ
    ( මං මාකටින් ) ගීතයෙන්

    රටක රැකියා විරහිත තරුණ තරුණියන් වැඩි වැඩිවෙත්ම ඉන් ප්‍රයෝජන ගන්නේ අලි බබාලා වැනි මහා පරිමාණ ව්‍යාපාරික කොල්ලකරුවන් ය. කොල්ලකාරී ආර්ථිකය වෙනස් නොකර මෙය වෙනස් කළ නොහැකි ප්‍රශ්නයකි. ක්‍රමය පවත්වාගෙන යෑමට අප දක්වන දායකත්වය ප්‍රබල වන තාක්කල් අලි බබාලා කිහිප දෙනෙක් වෙනුවෙන් බහුතරයකට ආත්මය විකුණන්නට සිදුවෙන බව තේරුම් ගත යුතුය.

    හිල්මි සුපුන්
  • කැත ගැහැනියගේ හීනය සුදු පාටේ සුරතාන්තයට

    කැත ගැහැනියගේ හීනය සුදු පාටේ සුරතාන්තයට

    “කැත ගැහැනියගේ හීනය” සරද සමරසිංහ ගේ ප්‍රථම කෙටිකතා සංග්‍රහය 2017 වර්ෂයේ නිකුත් වෙනවා . සරද ඔහුගේ දෙවන කෙටිකතා සංග්‍රහය හසරද ප්‍රකාශන යටතේ “සුදු පාටේ සුරතාන්තය” නමින් ඔබ අතට පත් කිරීමට නියමිතයි . විවර සතියේ සාහිත්‍ය කලා කතාබහ අපි වෙන් කරන්නේ සරදගේ කෙටිකතා පිළිබඳව ඔහු සමග කෙටි කතාබහක් කිරීමටයි.

    “සුදු පාටේ සුරතාන්තය”ට කැත ගැහැනියගේ හීනයෙන් ලැබුණු දායකත්වය පිළිබඳව කතාබහකින් කතාව ආරම්බ කරමු .

    මේ පොත් දෙකම එකිනෙකට සම්බන්ධයි. එකක් අනෙකේ දිගුවක්. ඒ කියන්නේ මං ප්‍රකාශයට පත්කරල තියෙන කෙටි කථා වලට වඩා මං ලියල තියනවා. සමහර ඒවා අවුරුදු ගානක ඉදල සංස්කරණය වෙමින් මගේ කොම්පියුටරේ ඇතුලෙම නිදාගෙන ඉන්නවා. තවත් ඒවා ලියල ඉවර වෙනකොට මටම එපා වෙනවා. මේ වගේ අකරතැබ්බ වලින් බේරුණු කථා ටිකක් තමයි කැත ගැහැණිය නමින් එලියට ආවේ. ඒ පොත එලියට ආවට පස්සේ මිනිස්සු ඒ ගැන මොනාද කියන්නේ කියල මං දුර ඉදල බලාගෙන හිටිය. එහෙම බලාගෙන හිටියම මට තේරුණා මගේ කෙටි කථා ආකෘතියටත් මේ අධිපතිවාදී සාහිත්‍ය වනාන්තරය තුල පුංචියට හරි ඉඩක් තියනවා කියල.

    පොත් දෙක අතර කාලය අවුරුදු තුනක් විතර වෙනවා. ඒක ටිකක් දිගු කාලයක්. ඒ දිගු කාලේ මං කියවපු සහ අත්දැකපු සමාජය ගැන ගොඩාක් දේවල් මං මගේ මතක ගබඩාවේ තැන්පත් කරගෙන ඉන්නවා. ඒවා වලින් ටිකක් තමයි මේ ‘සුදු පාටේ සුරතාන්තය’ ලෙසට එලියට එන්නෙ.

    තව නොබෝ දිනකින් අප අතට පත් වෙන්නේ සරදගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය කෙටි කතාව තෝරා ගැනීමට විශේෂ වූ හේතුවක් තියෙනවද?

    කෙටි කථාව තමයි දැනට මං සමාජයත් එක්ක ගණුදෙනු කරන්න තෝරාගෙන තියෙන මාධ්‍ය. මං ලංකාවේ මාධ්‍යවේදියෙක් ලෙස සැලකියයුතු කාලයක් වැඩ කළා. එහිදීත් මං උත්සහ කළා මගේ ආත්ම ප්‍රකාශණය අවංක වෙන්න. ඒත් ලංකාවේ ජනමාධය කියන්නේ අප්පිරියාසහගත පුද්ගලවාදී ගනුදෙනුවක්. ඒ ගණුදෙනුව මට අල්ලලා ගියේ නෑ. ඒක නිසා ජනමාධ්‍ය කවදාවත් මගේ ආත්ම ප්‍රකාශ මාධ්‍ය උනේ නෑ.

    මං මතක ඇති කාලේ ඉදලාම කෙටි කථා කියැවුවා සහ ලිවුවා. පුංචි කාලේ මට මතකයි මං කෙටි කථා ලියල මගේ පන්තියේ ගුරුවරයා, නවරත්න සර් ට පෙන්නනවා. එයා ඒවා කියවුවද කියලවත් මං දන්නේ නෑ. කොහොම හරි ඒ කාලේ එයා තමයි මගේ ප්‍රකාශකයා. ඒ කාලේ මට මතකයි සෝවියට් දේශයේ කෙටිකථා කාරයෙක් හිටියා වාසුලි සුෂ්කින් කියල. එයාගේ කෙටිකථා පොතක් සිංහලට පරිවර්ථනය කරල තිබ්බ ‘සදාකාලික රෝදය’ කියල. ඒ කාලේ මං කියවපු නැවුම් ආකෘතියක් සහ භාසා විලාසයක් තිබ්බ පොතක්. මේක මට හොදට වැදුනා. පොත කියවුවට පස්සේ මට හිතුන අර නවරත්න සර්ට කියවන්න දීපු කෙටිකථා ටික ආයෙත් ඉල්ලගන්න. ඊට පස්සේ වෙනස් විදිහට ලියන්න මං ඒ කාලේ ඉදලම ට්‍රයි කළා. ඒ කියන්නේ තාමත් උත්සහ කරමින් ඉන්නවා.

    ඔබ සැලකිය යුතු කාලයක් විදෙස්ගතව ජීවත් වෙච්ච කෙනෙක් නමුත් පළමු කෙටිකතා සංග්‍රහය තුළින් අපි දුටුවෙ නැහැ ඒ විදෙස්ගත ජීවිතේ අත්දැකීම් හසු වෙච්ච තැනක් “සුදු පාටේ සුරතාන්තය” තුළ මේ විදෙස්ගත ජීවිතේ කොතනකදී හෝ හසු වුනාද?

    මිනිහෙක් ජීවත් වෙන්නෙ කොහෙද කියල, ඒ කියන්නේ ලංකාවේද පිටරටකද කියන කාරණේ වෙනස්කමක් තියනවා. ඒ කියන්නේ ආර්ථික හා සමාජමය අත්දැකීම් වල වෙනස්කම්. මේ හැරුනුකොට ලෝකයේ කොහේ හිටියත් මිනිහා කියන සත්වයා හැසිරෙන පැටන් එක එකයි. විශේෂයෙන්ම ලෝකයේ හැමතැනම ව්‍යාප්තවෙන නව ආර්ථික රටාවත් එක්ක හැම මිනිහෙකුටම මමත්වය මුල්කරගත් ජිවන විලාසයකට කොටුවී ඉන්න බලකරමින් සිටිනවා.

    අපි හැමෝම අතාර්තිකයි. තාර්තිකව ජිවත් වෙන්න ඕනි කියන එක තවදුරටත් මාර ජීවන විලාසයක් විදිහට සමාජය සලකන්නේ නෑ. අතාර්තික සහ නොගබුරු සරලමතික ජිවන විලාස තමයි මේ ක්‍රමය විසින් යෝජනා කරමින් සිටින්නේ. ඉතීන් ලංකාවේ විතරක් නෙමෙයි එංගලන්තයේ, ඉතාලියේ, අප්‍රිකාවේ සහ ලෝකයේ කුමන ඉසව්වක උනත් එක වගේ ලයිෆ් පැටන් තියන මිනිස්සු හමුවෙනවා.

    මගේ පොතේ චරිත ලොකු භුමි පරාසයක විහිදෙනවා. ලංකාවේ කදුකර පලාතක එළවළු ගොවියාගේ සිට ලංඩන් නගරයේ සංක්‍රමික ජීවිත දක්වා ඒ චරිත සැරිසරනවා. මේ කොයි ඉසව්වක හිටියත් ඔවුන්ගේ ගනුදෙනු ස්භාවයන් සහ ඒවාහි ඇති අපැහැදිලි සංකුලතා මේ පොතේ චරිත ලෙස මං සමාජයට මුනගස්වනවා.

    කෙටි කතාවට සමාජයේ තිබෙන ඉඩ පිළිබඳව මොන වගේ අදහසක් ද තිබෙන්නේ ?

    ලෝකයේ මේ වකවානුව හදුන්වන්නේ ඩිජිටල් සමාජ වකවානුව ලෙසයි ( Gig society ) මේ කාලයේ සියළු මිනිස් ගනුදෙනු සිද්ද වෙන්නේ ඩිජිටල් අවකාශයක් ඇතුලේ. මේ කාලයේ වීරයෝ ඉන්නේ සාහිත්‍ය පොත්වල නෙමේ ඩිස්නි වගේ සමාගම් නිර්මාණය කරන කොම්පියුටර් ගේම් ඇතුලේ. ඉස්සර මිනිස්සු පොත් කියවල ඒවා වල තියෙන දේවල් ගැන සමාජ මාධ්‍ය වල සංවාද ඇතිකරා. දැන් මිනිස්සු පොත් අරගෙන ඒවා ගොඩගහගෙන ඉන්න ෆොටෝ එහෙමත් නැතිනම් ඒවා තුරුළු කරගෙන ඉන්න ෆොටෝ සමාජ මාධ්‍ය වල දානවා. පොත් ප්‍රදර්ශන වලට ගිහිං බර්ගර් කන හැටි නුල්ඩ්ල්ස් කන හැටි තමයි දැන් සමාජයේ වයිරල් වෙන්නේ. ඒ කියන්නේ ඉස්සර අන්තර්ගතය තමයි වැදගත්. දැන් වැලිවූ එක තියෙන්නේ මතුපිට මේ වැලිව් එක හරි ෆේක්. අනෙකා ෆේක් කියල දැනගෙන ෆේක් විදිහටම ආශ්‍රය කිරීමේ හැකියාවක් සහ පුරුද්දක් මේ ක්‍රමය විසින්ම අපට දීල තියනවා.

    කෙටි කතා සාහිත්‍යයේ තියන සමර්ථ කම තමයි ඉතා කුඩා සිදුවීමකින් හෝ චරිතයකින් දෙකකින් සමාජ විවරණයකට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම. ඒත් දැන් අපි ජිවත්වන සමාජය හරි සංකීර්ණ සහ වේගවත්. ඉතිං මේ කාලයේ ජිවත්වන සත්‍වයින්ට කෙටිකතාවේ සියුම් තැන් අල්ලගන්න තියන චාන්ස් එක හරි අඩුයි. කොටින්ම කෙටි කථා මාර්කට් කරන්න අමාරුයි. අමාරුයි කියල දැන දැනත් මං කෙටි කථාම ලියමින් ඉන්නවා. මොකද මට ඕනි මං දන්නා කියන මාධ්‍යයෙන් මේ ෆේක් සමාජය ඩිස්ටර්බ් කරන්න.

    “සුදු පාටේ සුරතාන්තය” හරියටම ජනතාව අතරට ගෙනත් තියෙන්නේ කවද්ද?

    මේ පොත මට එලියට දාන්න ඕනෑකම තිබ්බේ ගිය අවුරුද්දේ. ප්‍රකාශකයෝ කීප දෙනෙක්ම මේක ප්‍රකාශ කරන්න මැලි උනා. සමහරුන්ට බාෂා ප්‍රශ්න තිබ්බ, තවත් සමහරුන්ට තාක්ෂනික ප්‍රශ්ණ. අනික තමයි මං වගේ අය ඉන්නේ ලංකාවේ තියන මහා සාහිත්‍ය සිවිල් සමාජ ගැන් එක ඇතුලේ නෙමෙයිනේ. කොහොම උනත් මගේ කථා ටික අකුලාගෙන පැත්තකට වෙලා ඉන්නකොට මේ පොතේ කංචුකය කරපු සුසන්ත මුණමල්පේ සොයුරා හරහා මදුශාන්ත බණ්ඩාර හම්බ වෙනවා. ඔහු මේ ප්‍රකාශන ලෝකයට නවකයෙක්. මේ තරුණයා නිර්භීතව වැඩේ බාරගන්නවා. මගේ කොම්පුටරය ඇතුලේ නිදියගෙන හිටපු ‘සුදු පාටේ සුරතාන්තය’ පොතක් වෙන්නේ එහෙමයි. ලබන සතියේ ලංකාවේ පාඨකයන්ට මේ පොත කියවන්න හම්බ වෙනවා.

    හිල්මි සුපුන්