කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක කරගනිමින් ක්රියාත්මක වන බවට සැකකෙරෙන සංවිධානාත්මක ඝාතන පිටුපස කිසියම් සැලසුම් සහගත කුමන්ත්රණයක් පවතින්නේද යන්න අනාවරණය කරගැනීම සඳහා වහාම විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පරිසර අමාත්යාංශය පොලිස්පතිවරයාගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබේ.
අද (18) දින පොලිස්පතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කරමින් පරිසර අමාත්යාංශ ලේකම්වරයා සඳහන් කර ඇත්තේ කාවන්තිස්ස හස්තියාගේ ඛේදනීය වියෝව ජාතික මට්ටමේ කම්පනයක් සහ දැඩි මහජන නොසන්සුන්තාවක් නිර්මාණය කර ඇති බවයි.
වෙඩි තැබීම් සහ වෙනත් සැලසුම් සහගත ක්රමෝපායන් හරහා වනඅලි අමානුෂික ලෙස ඝාතනය කිරීම මෙරට ජෛව විවිධත්වයට මෙන්ම වනජීවී උරුමයට එල්ල වී ඇති බරපතළ තර්ජනයක් බව පෙන්වා දෙන අමාත්යාංශය, මෙම ක්රියාවන් මෙහෙයවනු ලබන්නේ යම් සංවිධානාත්මක අපරාධ කල්ලියක් මඟින්ද යන්න වහාම අනාවරණය කරගත යුතු බව පෙන්වා දී ඇත.
එමෙන්ම මෙම අපරාධයන්ට සම්බන්ධ සියලුම වගකිවයුත්තන් පක්ෂ පාට හෝ තරාතිරම නොබලා නීතිය හමුවට පමුණුවා දැඩිම දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් රටේ අමිල ජාතික සම්පතක් වන වනඅලි සම්පත සුරැකීම සඳහා විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරීක්ෂණ වාර්තාවක් කඩිනමින් රට හමුවේ තබන ලෙසත් අමාත්යාංශ ලේකම්වරයා පොලීසියෙන් ඉල්ලා තිබේ.
මෙම විමර්ශන කිසිදු ප්රමාදයකින් තොරව කඩිනමින් අවසන් කරන ලෙසත් විමර්ශනවල මෙහෙයුම් ප්රගතිය සහ ඉදිරි නීතිමය ක්රියාමාර්ග පිළිබඳව අඛණ්ඩව යාවත්කාලීන කිරීම් ලබා දෙන ලෙසත් පොලිස් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
මේ අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ත්රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්රී ලංකා පොලීසිය ඒකාබද්ධව වනඅලි ආරක්ෂා කිරීම සහ වැටලීම් ක්රියාත්මක කිරීමේ දැඩි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් පවතින බවද පරිසර අමාත්යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් පරිසර ඇමතිවරයාට විශාල චෝදනාවක් එල්ල වී තිබේ. එහිදී සමාජ මාධ්ය හරහා අදහස් දක්වන පිරිස් පවසන්නේ මෙම පරිසර අමාත්යංශයේ, වනජීවී දෙපාර්තමේන්තුවේ අසමත්කම පිළිබඳ ප්රශ්නයක් වන බැවින් පරිසර ඇමතිවරයා ඉල්ලා අස්වියයුතු බවයි. එසේම වනජීවීන් රැකගැනීම වෙනුවෙන් වන ප්රතිපත්තියක අවශ්යතාවයද බොහෝ පිරිස් පෙන්වා දෙමින් සිටියි. නමුත් මේ සියල්ලට අවධානය දෙනවා වෙනුවට වෙනත් කුමන්ත්රණ කතාවක් ඉදිරියට දමා ජනතාවගේ අවදානය වෙනතක යොමුකිරීමේ උත්සහයක් ආණ්ඩුව ගනිමින් සිටින බවට වන සැකයක් ඇති වේ.




