ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් “අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” යන තේමාවෙන් පවත්වමින් යන ජන රැළි මාලාවේදී ජනාධිපතිවරයා අමුතු රැඩිකල් චරිතයකට අදිනු නිරීක්ෂණය වේ. නමුත් වෙනත් රාජ්‍ය උත්සවයකදී ඔහුගේ රැඩිකල් වෙස් ගැලවී යනුද දක්නට ලැබීම විශේෂත්වයකි. ජනාධිපතිවරයාගේ මෙවැනි වෙස් පෙරළියක් මෑතකදී දක්නට ලැබුණු පළමු අවස්ථාව වූවේ මාතර, අකුරැස්සේදී පැවති ජන හමුවයි.
එහිදී එම ජනහමුව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හමුවේ වුවද ලබන මස ඉන්ධන මිල පාලනය කිරීමටත්, ඉදිරි අයවැය මගින් ජනතාව මත පැටවී ඇති බදු බර ලිහිල් කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි.
නමුත් ඊට ටික දිනකට පසුව පැවති ග්‍රාම නිලධාරීන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා පවසන්නේ වැට් බද්ද අඩුකිරීම සඳහා තවත් වසර දෙකක් තුනක් ගතවෙනු ඇති බවයි.
ඊයේ ඉබ්බාගමුවේදී පැවති ජන හමුවේදී නැවතත් ජනාධිපතිවරයාගේ වෙස් පෙරලී තිබේ. ඔහු පවසා ඇත්තේ පෞද්ගලික තෙල් සමාගම් සමග එළැඹ ඇති පැරණි ගිවිසුම් සංශෝධනය කරන බවයි.
තෙල් මිල වැඩි කළේ නැතිනම් විකුණන්නේ නැතැයි පෞද්ගලික සමාගම් පවසන බව කී ජනාධිපතිවරයා ඩීසල් වෙළෙඳපොලේ තෙල් සමාගමේ පංගුව සියයට 77ක් ද පෞද්ගලික සමාගම් පංගුව සියයට 23 ක්ද වශයෙන් තිබෙන අතර ” කට්ටියට බැරි නම් ඒකත් අපිම කරන්නම්” යනුවෙන්ද පවසා ඇත.
ආණ්ඩුව පත්වී දැන් වසර දෙකක් ගතව තිබේ. පෞද්ගලික සමාගම් විසින් ජනතාව උගසට තබමින් තෙල් මිල වැඩිකිරීමට ඉල්ලූ පළමු අවස්ථාව මෙය නොවේ. එහෙත් මෙම පුද්ගලීකරණය විසින් ඇතිකර තිබෙන මෙම තත්ත්වය විසඳීමට ආණ්ඩුව කිසිඳු පියවරක් ගෙන නැත. ඒ වෙනුවට තෙල් සමාගම් සමඟ එකතුවෙමින් තෙල් මිල වැඩිකරන ලදී. දැන් හදිසියේම තෙල් සමාගම් සමඟ ඇති ගිවිසුම් මතක් වී තිබෙන්නේ ජනතාව ආණ්ඩුව කෙරෙහි කළකිරෙමින් තිබෙන නිසා මිස වෙනයමක් නිසා නොවේ. ආණ්ඩුව වසර දෙකක් පිරීම නිමිත්තෙන් පවත්වමින් යන ජන රැළි මාලාවේ අරමුණ වී ඇත්තේ එම කලකිරීම සමහන් කිරීමයි. අනුර එම රැලිවලදී වෙස්සන්තරට අඳින්නේ එම නිසා බව පැහැදිලිය.




