ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු කිහිපයක් නිසාය.
එදා තමන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස බලය දැරූ සමයේ, තමන්ට තිබූ රාජ්‍ය බලය සහ දේශපාලන බලපෑම පිළිබඳව ප්‍රශ්න මතුව තිබූ ඒ ඉතිහාසය, අද ඔහු ඉදිරියේ අධිකරණ සාක්ෂි කූඩුවකදී නැවතත් විවෘත විය.
අද ඔහු ප්‍රශ්න කරනු ලැබුවේ හිටපු ජනාධිපතිවරයකු ලෙස නොවේ. හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස, එවක රාජ්‍ය යාන්ත්‍රණයේ බලවත්ම තනතුරක් දැරූ නිලධාරියකු ලෙස, සාමාන්‍ය සාක්ෂිකරුවකු ලෙසය. ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්ධන් අතුරුදන්වීම සම්බන්ධ නඩු කටයුත්තේදී අද ඔහුගෙන් සාක්ෂි විමසනු ලැබීය.

ඒ ප්‍රශ්න අතරින් ඇතැම් ප්‍රශ්නවලට ඔහුගේ මූලික පිළිතුර වූයේ “මට මතක නැහැ” යන්නය.
අවස්ථා කිහිපයකදී ප්‍රශ්න පැහැදිලිව ඇසීමට නොහැකි බවද ඔහු ප්‍රකාශ කළ බව වාර්තා විය. ප්‍රශ්න නැවත කියවා දුන් පසුවද, ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ඔහුගේ පිළිතුර නැවතත් වූයේ තමන්ට ඒවා මතක නැති බවය.
එහෙත්, එක් කරුණක් සම්බන්ධයෙන් ඔහුගේ මතකය පැහැදිලිවම ක්‍රියාත්මක විය.
දේශපාලන වේදිකාවලදී වසර ගණනාවක් පුරා ඔහු පුනරුච්චාරණය කළ අදහසම අද අධිකරණය ඉදිරියේද ඔහු ප්‍රකාශ කළේය. එනම්, එවකට සිදුවූ බව කියන මනුෂ්‍ය අතුරුදන්වීම් හා ඒවාට හමුදා හෝ බුද්ධි අංශ සම්බන්ධ බවට එල්ල වූ චෝදනා, දේශපාලන වාසි ලබා ගැනීම සඳහාත් ශ්‍රී ලංකාවේ නාමයට හානි කිරීම සඳහාත් ගොතන ලද කතා බවට ඔහු කළ ප්‍රකාශයයි.
කීත් නොයාර් පිළිබඳව විමසූ විට ඔහුට කීත් නොයාර් මතකය. එහෙත් කීත් නොයාර් සම්බන්ධ සිදුවීම් පිළිබඳ මතකය එතරම් පැහැදිලි නොවීය.

තමන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ සිවිල් නිලධාරියකු ලෙස පමණක් බවත්, තම කාර්යභාරය ප්‍රධාන වශයෙන් පරිපාලන හා කළමනාකරණ කටයුතුවලට සීමා වූ බවත් ඔහු අවධාරණය කළේය.
භූමියේ සිදු වූ හමුදා ක්‍රියාන්විතවලට තමන් සෘජුව සම්බන්ධ නොවූ බැවින් ඒවායේ වගකීම තමන් වෙත පැවරිය නොහැකි බවත්, එවැනි මෙහෙයුම්වලට මැදිහත් වීමට තමන්ට බලයක් හෝ අයිතියක් නොතිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
නමුත් මේ කතාව ගෝඨාභය රාජපක්ෂ අද පළමුවරට කියන කතාවක් නොවේ.
2017දී, “වැලිකඩ” කෘතිය සම්බන්ධයෙන් මා ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීද ඔහු ඉදිරිපත් කළේ මීට සමානම තර්කයකි. ක්‍රියාන්විතයකට ගිය නිලධාරීන් තමන්ගේ ක්‍රියාවන් පිළිබඳ වගකීම තමන්ම භාරගත යුතු බව ඔහු එදාද පැවසීය.
එදා ඔහු යටතේ සේවය කළ නිලධාරීන් සම්බන්ධයෙන් ඔහු ගත් ඒ ස්ථාවරය අද, වසර නවයකට පසුව, තවත් වෙනස් ආලෝකයකින් අප ඉදිරියේ පෙනී සිටී.

ඒ නිසාම අද මට “දෛවයේ දවසක්” ලෙස පෙනෙන්නේ මේ හේතුව නිසාය.
වසර නවයකට පෙර මා ප්‍රශ්න කළ වැලිකඩ කෘතිය අද නව සංස්කරණයකින් නැවත පැමිණ තිබේ.
ඒ අතරම, මිග්, කීත් නොයාර්, ලලිත් කුගන් සහ වැලිකඩ වැනි නම් සහ සිදුවීම්, එක් එක් ආකාරයෙන්, අතීතයෙන් වර්තමානය වෙත නැවත පැමිණෙමින් තිබේ.

ඉතිහාසය ඇතැම් විට නිහඬව සිටිය හැකිය.
නමුත් එය අතුරුදන් වන්නේ නැත.
කාලය ගත වූ පමණින් සිදුවීම් මැකී යන්නේ නැත. තනතුරු වෙනස් වූ පමණින් වගකීම් අතුරුදන් වන්නේද නැත. බලය අවසන් වූ පසු, ඇතැම් ප්‍රශ්න නැවතත් එම බලය දැරූ පුද්ගලයා ඉදිරියේම පැමිණ සිටී.
අද සිදුවූයේ ඒ ඉතිහාසයේ එක්තරා දොරක් නැවත විවෘත වීමක් පමණි.
ගෝඨාභය රාජපක්ෂ එවකට දැරූ තනතුර සහ එම තනතුර යටතේ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් මතු වන ප්‍රශ්නවලට, නීතිය ඉදිරියේ, සාක්ෂි සහ සාධක මත පිළිතුරු ලැබිය යුතුය.
එය පළිගැනීමක් නොවේ.
එය දේශපාලන ප්‍රතිවාදයක්ද නොවේ.
එය ඉතිහාසයට ඇති වගකීමකි.

රාජ්‍ය බලය දැරූ කිසිවකුට, තනතුර අවසන් වූ පසු, තමන්ගේ කාලයේ රාජ්‍ය භූමිය මත සිදුවූ බව කියන අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ ප්‍රශ්නවලින් සදාකාලිකවම ඉවතට යා නොහැක.
අවසානයේ ඉතිහාසය අසන ප්‍රශ්නය ඉතා සරලය:
බලය තිබූ විට ඔබ කුමක් කළාද?
බලය තිබූ විට සිදුවූ දේ ගැන ඔබ දැන සිටියාද?
දැන සිටියා නම්, ඔබ කළේ කුමක්ද?
නොදැන සිටියා නම්, එසේ නොදැන සිටීමේ වගකීම කාගේද?
අද දවස ඒ ප්‍රශ්නවලට අවසන් පිළිතුරු ලැබුණු දවසක් නොවේ.
නමුත් ඒ ප්‍රශ්න, වසර ගණනාවකට පසුව, නැවතත් අධිකරණය ඉදිරියේ ඇසුණු දවසකි.
ඒ නිසා මට අද දවස දෛවයේ දවසක් ලෙස පෙනේ.
ඉතිහාසය ආපසු පැමිණ ඇත.
මෙවර, සාක්ෂි ඉල්ලාගෙනය.

උපුටා ගැනීම – මාධ්‍යවේදී කසුන් පුස්සවෙල්ලගේ facebook පිටුවෙනි

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...