2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන දිගටම කරගෙන යනවාද නැතහොත් අවසන් කරනවාද යන්න පිළිබඳව රජය අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර තිබේ.
ගෝලීය ආර්ථික තත්ත්වය සහ ඒ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයන් මත පදනම්ව තීරණය ගනු ඇතැයි ඔහු පැවසීය.
සතිපතා කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජයතිස්ස, IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට හත්වන සහ අටවන වාරික ලැබෙනු ඇති බවද පවසා ඇත.
නමුත් පසුගියදා රූපවාහිනී සංවාදයකට සහභාගී වෙමින් බිමල් රත්නායක පැවසුවේ වත්මන් වැඩසටහන අවසන් වූ පසු ණය ප්‍රතිසංවිධානයට අදාළ තවත් IMF වැඩසටහනකට යොමුවීමේ අවශ්‍යතාවක් රජය දැනට නොදකින බවයි.
“අපි අනිවාර්යයෙන්ම මේ ගිවිසුමෙන් ඉවත්වෙනවා” වත්මන් වැඩසටහන ගැන සඳහන් කරමින් අමාත්‍ය රත්නායක පැවසීය. “නමුත් IMF සහ ලෝක බැංකුව කියන්නේ ජාත්‍යන්තර ආයතන. ගෝලීය ආර්ථික පද්ධතිය තුළ ක්‍රියාත්මක වන රටක් විදිහට, අපට ගැලපෙන ආකාරයට ඒ අය එක්ක තියෙන ගනුදෙනු පවත්වාගෙන යන්න සිද්ධ වෙනවා.”
ආණ්ඩුව කුමන කතා කීවද එනම් ලංකාව IMF වැඩසටහනෙන් ඉවත් වුනත් නැතත් එහි ප්‍රතිපත්තිය රටේ ආර්ථික ප්‍රතිපත්තිය වී අවසන් බව බොහෝ පිරිසකට අමතක වී තිබේ.
ජාත්‍යන්තර අරමුදලේ ප්‍රතිපත්ති රටේ ආර්ථික ප්‍රතිපත්ති බවට පත්කරමින් පහත පනත් සහ ගිවිසුම් ලංකාව සම්මත කර තිබේ.
- ආර්ථික පරිවර්තන පනත
- මහ බැංකු පනත
- රාජ්‍ය ණය කලමනාකරන පනත
- IMF එකේ මැදිහත් වීමෙන් ගැහුව 2043 දක්වා දිවෙන ණය ප්‍රතිව්‍යුගතකරණ සැලැස්ම.
මේ පනත් සහ ගිවිසුම් හරහා හරහා රනිල් වික්‍රමසිංහ ගෝලීය ප්‍රාග්ධනයේ න්‍යාපත්‍රයට ලංකාවේ ආර්ථිකය ගැටගසන ලදී . IMF එකෙන් ඇත්තටම ඉවත් වේ නම් සිදුකළ යුත්තේ මේ පනත් ටික අහෝසි කර දැමීමයි. එසේම මැතිවරණයට පොරොන්දු වූ පරිදි ණය ගිවිසුම අහෝසි කර නව ණය කප්පාදුවක් සදහා සාකච්ඡා ආරම්භ කිරීමයි.
එසේ නොමැතිව අවාසි සහගත ණය ගිවිසුමකට රටේ ජනතාව වසර ගණනාවක් බැඳ තබා , IMF වැඩපිළිවෙල රටේ ආර්ථික වැඩපිළිවෙල කරගැනීමෙන් පසු එයින් ඉවත් වුවත් නැතත් එහි වැඩපිළිවෙල අඛන්ඩව ඉදිරියට යනු ඇත.




