සැප්තැම්බර් මාසය නම් කර තිබෙන්නේ සාහිත්‍ය මාසය ලෙස. මේ දිනවල සාහිත්‍ය සම්මාන උළෙල, පොත් ප‍්‍රදර්ශන, සාහිත්‍ය දේශන සහ සංවාද පිරී ඉතිරී යනවා. නමුත් සාහිත්‍ය ක්ෂේත‍්‍රය ඔසවාලීම සහ කියවීමේ අගය ගැන කණ පිරෙන්නට ලැබෙන පුරාජේරු කතා යථාර්ථයක් කර ගැනීමට තිබෙන බාධාව ගැන වැඩි කතාවක් නෑ. ඒ බාධාව මූල්‍ය බාධාවක්. පොත්පත්වල මිල මෑත කාලයේදී විශාල ලෙස ඉහළ ගියා. දැන් සාමාන්‍ය නවකතාවක මිල රුපියල් 2000 සීමාව පැන ඇති අතර අවම පිටු සංඛ්‍යාවක් සහිත කවි පොතක් රුපියල් 500 -750 අතර මිල වෙනවා. විවිධ විෂය සම්බන්ධයෙන් ලියැවුණු පොත් ඊටත් වඩා මිල වැඩියි.
පොත්වල මිල මෙතරම් ඉහළ යන්නේ ඇයි? ඒ හේතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට යටත්ව ආණ්ඩුව පනවා තිබෙන ඉතාම අසාධාරණ බදු. අපි මේ ගැන සවිස්තරාත්මකව බලමු. ආණ්ඩුව මේ වනවිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද අය කිරීමේ සීමාව වාර්ෂිකව රුපියල් මිලියන 60ක සීමාවේ තිබෙනවා. එය වාර්ෂිකව රුපියල් මිලියන 36 ක පිරිවැටුම දක්වා පහත හෙළීමට අපේ‍්‍රල් මාසයේදී යෝජනා කළත් පැමිණි දැවැන්ත විරෝධතා නිසා එය හකුළා ගත්තා. වාර්ෂිකව රුපියල් මිලියන 60ක පිරිවැටුම තේරෙන භාෂාවෙන් කියනවා නම් මාසයකට ලක්ෂ 50ක වෙළෙඳාමක යෙදෙන ව්‍යාපාරවලින් වැට් අය කරනවා. ලංකාවේ බොහෝ මුද්‍රණාල මේ පිරිවැටුම් සීමාවෙන් ඉහළ තිබෙන නිසා ඔවුන් පොත් මුද්‍රණයේදී වැට් බදු ගෙවනවා. එවිට ප‍්‍රකාශකයා පොතේ නිෂ්පාදන පිරිවැයට එම බද්ද අයත් ලෙස සලකමින් පොතේ මිල ඉහළ දමනවා. ලංකාවේ බොහෝ පොත් සාප්පුත් මෙම පිරිවැටුම් සීමාව ඉක්මවා යනවා. ඒ නිසා ඔවුන් ප‍්‍රකාශකයාගෙන් වැඩි වට්ටමක් ඉල්ලනවා, ගෙවන වැට් බදු වියදමත් ආවරණය වන පරිදි. දැන් මීට පෙර මෙන් 40% වට්ටමට පොත් සාප්පුවලට පොත් භාර ගන්නේ නෑ, ඔවුන් 45-50% වට්ටම් ඉල්ලනවා. ප‍්‍රකාශකයා ඒ අමතර මිලත් පොතේ මිලට එකතු කරනවා.
මේ ආකාරයට පාඨකයා, මුද්‍රණාලයේ 18% බද්ද සහ පොත් වෙළෙන්දාගේ 18% බද්ද යන බදු දෙකම පොතේ මිල හරහා ගෙවනවා. දැන් පොතක මිලෙන් 36%ක්, ඒ කියන්නේ තුනෙන් එකකටත් වැඩි ප‍්‍රමාණයක් තිබෙන්නේ රජයට ගෙවන බදු. අනිත් ප‍්‍රශ්නය, ‘බද්දට බදු ගහන්නේ නෑ’ කියන මූලධර්මයක් තිබෙනවා. මේකෙදි එයත් උල්ලංඝනය වෙනවා. පොතේ වටිනාකම නිර්ණය වෙන්නේ මුද්‍රණාලය ගෙවූ වැට් බද්දත් ඇතුළුව. පසුව පොත් වෙළෙන්දාගෙන් වැට් බදු අය කරද්දී සලකන්නේ පොතේ වටිනාකම නිසා, අර මුලින් ගෙවූ බද්දට නැවත බද්දක් එකතු වෙනවා. මේ තත්වය යටතේ සාහිත්‍ය ප‍්‍රබෝධය, ජනතාව කියවීමට හුරු කරවීම ආදිය හුදු වාග් අලංකාර පමණයි.
2026 අයවැය සඳහා සංස්කෘතික ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාවේදී කිව්වා, ”හැම ගෙදරකම කාර් එකක් තිබෙන රටක් හදන්න අපට බැරි වෙයි, නමුත් හැම ගෙදරකම පුස්තකාලයක් තිබෙන රටක් අපි හදනවා” කියලා. පුස්තකාලයක් ගෙදර හදා ගන්න නම් පොත් මිලදී ගන්න වෙනවා. ඒ සඳහා පොත් වල මිල අඩුවිය යුතුයි. වැට් බදු සහනය සාහිත්‍යයට දෙනවානම් පොතක මිල මේ තිබෙන මිලට වඩා 40%කින් පමණ අඩු කළ හැකියි. ඒ වගේම පොත් මිලදී ගන්න නම් ජනතාවට මිලදී ගැනීමේ හැකියාව, ක‍්‍රය ශක්තිය තිබිය යුතුයි. සංස්කෘතික වියදම් වැඩි කර ගන්නනම් ආහාර, ප‍්‍රවාහනය, සෞඛ්‍ය සේවා,
අධ්‍යාපනය, බලශක්තිය වැනි අවශ්‍යතා සඳහා දරණ පිරිවැය අඩු විය යුතුයි. එය මෙතරම් වැඩිවී තිබෙන්නේත් බදු නිසා. අපේ‍්‍රල් මාසයේ 5.4%ක්, මැයි මාසයේ 5.5%ක් හා ජුනි මාසයේ 6.8%ක් ලෙස තිබු උද්ධමන අනුපාතිකය ජුලි මාසයේ 7.3%කට වැඩිවී අගෝස්තු මාසයේ වාර්තාගත 8%ක අගයට එසවුණු තත්වයක් යටතේ සැප්තැම්බර් මාසයේ සාහිත්‍ය ප‍්‍රබෝධයක් හදන්නේ කොහොමද?
ඉතින් අපි මෙසේ කියමු…
ජඩ බදු ඉවත් කරනු!
ධනපතියන්ගෙන් බදු අය කර ජනතාවට බදු සහන දෙනු!
උපුටා ගැනීම – රළ




