ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත කවි, අදහස්, මතවාද ප්‍රශ්න කරන එකට, අලුත් මාන හොයන එකට සහ සමහර දේවල් පෙරළල කනපිට ගහන එකට කැමතියි. එහෙම කරපු පළමු සහ එකම කවියා මධුරංග නෙවෙයි. නමුත් ඔහු මේ පොත ඇතුළෙ අල්ලන සමහර කෑලි මරු. උදාහරණයක් විදියට ඔහු ඉතාලි කිවිවර ජාන්නි රොදාරි ‘අහස සැමට’ කියල ලියපු කවිය මෙහෙම ප්‍රශ්න කරනවා. සිකීම් මහින්ද හාමුදුරුවොත් කැඳවලා.

“…තනි මකරෙකු ය දැන්
ඔන් ඕෆ් කරන්නේ
ඉරේ
ට්‍රිප් ස්විචය,

හුළඟ ලියුම්කාරයෙකු කර
ගෙදරට ම බිල් එවනවා ඒ මකරා
මේ දහසක් බුදුන් බුදුවෙන උදෑසන

නිල් තණකොළ පිට්ටනියේ
සමන් පිච්ච මල් ඔක්කොම
එක කූඩෙක පටවාගෙන
ගන්නත් බෑ – දෙන්නත් බෑ
පුංචි රුවන් තාරුකා
දැන් හොඳටම ගණං

සරුංගල් පවා හැව ඇර
දැන් එකිනෙකා එකට ගැටෙයි
නයින් පොළොඟුන් සේ ම හැපෙයි
පරපුර ම මරාගෙන මැරෙනා
ඝාතන දාම අහසෙහි ම ඇඹෙයි…”

තව උදාහරණයක් ගත්තොත් ඔහු සේකර දැකපු හඳ ප්‍රශ්න කරනවා මෙන්න මෙහෙම.

“…රන් පිඟාන ලෙස
ඔහු දුටු
වෙල් එළියට, බෝ මළුවට
පායන සඳ
දන්නේ නැති කෙනෙකු විලස
අහක බලන් දුර ඈතින්
උද්ධච්චව බැස යන හැටි

මහා දුකින් පහළ බලමි
ප්‍රපාතයට එබී බලමි

මොර දීගෙන යන වාහන
කුරා කුහුඹු මිනිස් යන්ත්‍ර
මොහොතක් නැවතී මා දෙස
ආදරයෙන් බලනු පෙනේ
වගතුග මගෙ අසනු දැනේ

වහා බසිමි
ප්‍රපාතයට…”

මේ වගේ විවිධ පරාස ඇතුළෙ විහිදුණු කවි සැලකිව යුතු ප්‍රමාණයක් පොතේ තියෙනවා.

තමන් විශ්වාස කරන දෘෂ්ටිවාද එක්ක කෙනෙක් කවි ලියද්දි – හැමෝම ලියන්නෙ එහෙම තමයි – සමහර වෙලාවට වෙන දෙයක් තමයි කවිය යට ගිහිං අර තමන්ගෙ යම් යම් දෘෂ්ටිවාද කෘත්‍රීම විදියට උඩට එන්න පුළුවන් වෙන එක. කවිය කියන්නෙ මේකයි කියල නිශ්චිත අදහසක් නැති නිසා ඒක වැරදියි කියන්නත් බෑ. හැබැයි ගොඩක් වෙලාවට ඒ වගේ ලියැවිලි පිටට ප්‍රදර්ශනය වෙන්නෙ හුදු සටන් පාඨ හෝ ප්‍රචාරකවාදී නිර්මාණ විදියට විතරයි. මධුරංගගෙ මුල් කාලීන සමහර නිර්මාණත් ඒ ගොඩට නොවැටෙනවා කියන්න බෑ. නමුත් ඔහු මේ පොතේ – සහ අන්තිමට ආපු පොත් කීපයෙ – ඒ දේශපාලනයත් ඇතුළත් කවියෙ සෞන්දර්යය කලාපය නිශ්චිතව සලකුණු කරනවා. කොහොමත් කවිය දේශපාලනිකයි තමයි. මේ බලන්න ‘ගගනගාමියෙක් වෙන්න සිටි මිනිහෙක්’ නමින් ඔහු ලියන කවිය.

“…ටයි එකක් දාගෙන
වැඩට යමි දැන් මම,
අභ්‍යවකාශය මගේ
උස් ටවර් පහයක
තුන් වැනි තට්ටුවේ
කුඩා පොඩි කුටියකි

ලිෆ්ට් එකෙන් උඩට යමි
ෂිෆ්ට් එකට මාරු වී
ගෙදර යමි,
රොකට් එකකින් හඳට
යන්න බැරි වුණු එකට
ජොයින්ට් එකකින්
දුම යවා සැනසෙමි

සපත්තුව පවා ඇතැම් විට
පැටලිළා වැටෙන විට
ඉන්න ග්‍රහලෝකෙවත්
සොයාගන්නට බැරුව
මම මට ම හිනැහෙමි

අහසවත්
නොපෙනෙන තැනක
රෑ වෙලා නිදනකොට
දකින විපරීත හීන අග
තරු පෙනී ඇහැරෙමි…”

ඒකෙම දිගුවක් විදියට ඔහු වචනයෙන් අපූරු කලාපවල කරක් ගහන්න පටං ගන්නවා. නීල් ආම්ස්ට්‍රෝං හඳේ තැම්පත් කරල ආපු තමන්ගෙ දුවගෙ කරමාලය ගැන ලියනවා. සෙල්ලම් හෙලිකොප්ටර් ගැන, දැල දෙබෑ කරගෙන එන මදුරුවො ගැන, සඳවැසියන් ගැන ලියනවා. රහයි.

“…තෙත් කලාපයේ පෙත් වන ගුල්ම අතරමැද
ගල් ගුහා කළුවරෙන් ත්‍රස්ත වූ මිනිසුන් ය
ගිනි පුළිඟු සොයා ගත් පළමු ඉරෙක්ටස
ගින්දරින් දවා හළ කතාවක් නො වේ එය…”

මේ තව එකක්.

“…උතුරු අහසේ
තාරකා විද්‍යාඥයින්ටත් රහසේ
අලුත් ග්‍රහ ලෝකයක් අස්සේ
වතුර බින්දුවක් ප්‍රසාරණය වෙන්න ගත්තා
මගේ යටි තොල උඩටත් මේ දැන්
බින්දුවක් දෙකක් වැටුණා

ගොම කොළ පාට
නිල කබායක් ඇඳගෙන
තරු දෙක බැගින් පැළඳගෙන
සඳ
මගේ ඉදිරියට පැන්නා…”

කවියාගේ පැවැත්මේ අවකාශය පුළුල් වීම පොතේ අකුරු අස්සෙන් එළියට පනිනවා කියල හිතෙනවා. එහෙම වෙන්න මිනිහෙක් හරි ගෑනියෙක් හරි වෙන රටකටම යන්න ඕනෙ නෑ. හැබැයි එහෙම ගියොත් ඒ ප්‍රසාරණය වෙන අවකාශයෙ අද්දැකීම් ලියැවිලි ඇතුළට ආයෝජනය කරන එකත් මරු වැඩක්. මොකද ඒක හැමෝටම කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. මේ වැඩේ ඇතුළෙ මධුරංග ඒක කරල තියෙනවා කියල දැනෙනවා. පහුර බිම නොතිව්වත් ඔහු මෙහෙම ලියන්නෙ ඒක නිසා වෙන්න පුළුවන්. ඒකට උත්තරේ දන්නෙත් කවියාම තමයි.

“…ශිෂ්ටාචාරයකින්
ශිෂ්ටාචාරයකට
ඇවිද ගිය ගමන්වල
ගංගාව ම යි බාධාව වූයේ
හැම නිම්නයක ම
අතරමැද මට…

…පියුම් ළං කර
නෙළා දී මට
සුරක්ෂිත ලෙස
මා එතෙර කළ
එක ම එක හෝ
පහුරක් තිබිණ
එහැම ගඟ අස…”

කවි පනහක්, වට දෙක තුනක් ඔළුව ඇතුළෙ කරක් ගැහුවම හිතෙන දේවල් ටිකක් තමයි ඔය. කිසි පිළිවෙළක් නැති අදහස් ටිකක්. හැමදේටම පිළිවෙළක් තියෙන්න ඕනෙත් නෑනෙ. කවියා ඉන්න ෆින්ලන්තෙ වුණත්, අපි ඉන්න පිංලන්තෙ වුණත් ඒක එහෙම තමයි.

ඔව්, ‘බය නැත්තෙ ගෑනුන්ට විතරයි’ !

කසුන් සමරතුංග

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...