Breaking News

බාල ගල් අඟුරු බර ජනතාව මත පටවන්න එපා . පෙසප ඉල්ලීම ඵලදරයි . – මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහතිකයක්

ඉදිරි විදුලි ගාස්තු සංශෝධන වලදී ගල් අගුරු තත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකරන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඒකමතික තීරණයක් ගෙන ඇති බව එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂක ජනනාත් හේරත් මහතා අප්‍රියල් 12 වන දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

විදුලි ගාස්තු සංශෝධන යෝජනා වලදී සලකා බලනුයේ විදුලිය ජනනය, සම්ප්‍රේශණය සහ බෙදා හැරීම සදහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා. පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදී ද ගල් අගුරු තත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නැත. ඉදිරි ගාස්තු සංශෝධන යෝජනා වලදී ද ගල් අගුරු තත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලි ගාස්තු වලට ඇතුලත් නොකිරීම සදහා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.

බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි ජනනයට සිදුවන පාඩුව විදුලි පාරිභෝගිකයන්ගෙන් අය කරගැනීමට ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම’ විසින් කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය මහජන උපයෝගිතා කොමිසන් සභාවට ගොස් ඉල්ලීමක් කරනු ලැබුවේ අප්‍රියල් 10 වන දාය.

එම ඉල්ලීම ඇතුළත් ලිපිය මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට භාරදෙනු ලැබුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයාගේ අත්සනින් යුතුවය.

එම ලිපියේ මෙසේ සඳහන්ව තිබුණි

බාල ගල් අඟුරුවල පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තු වැඩි කිරීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණය පිළිබඳවයි

ගරු සභාපති තුමනි

2026 දෙවෙනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ජාතික පද්ධති කලමනා කරන සමාගම විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එහිදී රුපියල් බිලියන 41ක පිරිවැය හිගයක් පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු 40% – 50% දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇත.

පිරිවැය හිගයෙන් රුපියල් බිලියන 20.5 ක් බාල ගල් අගුරු යොදා ගැනීම නිසා සිදුව ඇති බව අනාවරණය වී ඇත.

එසේම අප්‍රේල් 2 වැනිදා ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව අනුව ගල් අඟුරු මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කර ඇති බව නිගමනය කර තිබේ.

මෙම හේතුව නිසා විදුලි ගාස්තු සංශෝධනය කරමින් එම පිරිවැය පියවීම විදුලි පාරිභෝගිකයන් මත පැටවීම සාධාරණ නොවේ.

මහජන උපයෝගිතා කොමිසම පිහිටුවන ලද්දේ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙනි. එම වගකීම ඔබ විසින් ඉටු කරනු ඇතියි අපේක්ෂා කරමු.

මේ ගැටලුව පිළිබඳ කරුණු සහිතව සාකච්ඡා කිරීමට, ඔබගෙන් වෙලාවක් ලබා දෙන මෙන් මෙයින් කාරුණිකව ඉල්ලමි.

ස්තුතියි – පුබුදු ජයගොඩ
මධ්‍යම කාරක සභාව වෙනුවෙන්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය

leave a reply