Breaking News

මධ්‍යම කඳුකරයට යළි පණ දීම ; ගොනා හැරෙන්නේ පොල් පැලේටද?

ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍ර වලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේදී බාධාවක් බවත්, මධ්‍යම කඳුකරය කඩිනමින් සුරක්ෂිත කර යළි ගොඩනැගීම වෙනුවෙන් අදාළ සියලු පාශ්ව ඒකාබද්ධ කරගත් නව ව්‍යුහයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, නැවත වන වගා කිරීම පිළිබඳ ආසියානු සංවර්ධන බැංකුව (ADB), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නියෝජිතයන් සමඟ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ නායයාම් 4,000කට ආසන්න ප්‍රමාණයක් සිදුව ඇති බවත්, දීර්ඝ කාලයක් පුරා සිදු වූ අධිමත් ඉදිකිරීම්, වගා කටයුතු සහ නඩත්තු නොකිරීම් ඊට හේතු වී ඇති බවත් මෙහිදී අවධාරණය කෙරුණු අතර, මධ්‍යම කඳුකරය සුරක්ෂිත කර, මතු පරපුරට දායාද කිරීම වෙනුවෙන් කඩිනම් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවද අවධාරණය කළ බව වාර්තා වේ.

ඊට අදාළ පනත් මගින් බලාත්මක කරන ලද අධිකාරියක අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.

එම කටයුතු සඳහා මූල්‍ය අරමුදලක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකුවේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි නියෝජිතයෝ මධ්‍යම කඳුකරය යළි ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව ද ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

මෑතක සිදුවූ ස්වභාවික ව්‍යසනයෙන් පසු ආණ්ඩුව නිවේදනය කරේ අඩි 5000ට වඩා උස කඳුකරයේ ජිවත්වන පිරිස් එම ප්‍රදේශවලින් ඉවත්කර එම ප්‍රදේශ වනාන්තර සඳහා නිදහස් කරන බවයි. එහිදී ඇතැම් පිරිස සැක පහල කලේ එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර එම ඉඩම් විශාල සමාගම් සඳහා නිදහස් කිරීමට ආණ්ඩුව සුදානම් වෙන බවයි. මන්ද සුනාමි ව්‍යසනයෙන් පසු වෙරළබඩ කලාපයේ එම සිදුවිය.

ආණ්ඩුව මෙතරම් හදිසියකින් මේ සඳහා මැදිහත්වීමෙන් එම සැකය තව දුරටත් වැඩිවේ.

leave a reply