ගැහැණු සියුමැලිය යනු පුරුෂ මූලික ආඛ්‍යායකි. පැරණි කවිකතාවල ගැහැණු වර්ණනා කිරීමට යෙදූ උපක්රමයකි. ඒ පිරිමින් ගැහැණුන්ව දකින්න කැමති ආකාරයයි. මෙය විශ්වසාධාරණීය වූවක් නොවේ. අප්‍රිකාවේ ගොපලු ගැහැණු සියුමැලිද? පසුගිය දිනවල මා ඉන්දියානු පර්යේෂණ චාරිකාවක යෙදුණු අතර මම ඉන්දීය භූමියේ ගැහැණු දුටුවෙමි. ගිනි කූටක අව්වේ එළුවන් බලා ගන්නා ගැහැණු මට හමුවිණි. සාරි ඇඳන් සිමෙන්ති අනන ගැහැණු මට හමුවිණි. පාරේ අගල් කපන ගැහැණු මට මහමග හමුවිණි. මොවුන් ගැහැණු නොවන්නේද? මොවුන් සියුමැලිද?
තේ දළු නෙළන ගැහැණු සියුමැලිද ? මහ පාරේ තාර දමන ගැහැණු සියුමැලිද? ගල් කඩන ගැහැණු සියුමැලිද? ලෝකයේ ගැහැණු හෝ පිරිමි සියුමැලි නැත. බර වැඩ කරන ගැහැණු ද පිරිමි ද සිනිඳු නැත. සිනිඳු වැඩ කරන ගැහැණුන්ගේද පිරිමින්ගේ ද අත් පා සිනිඳුය. තම තමා කරන වැඩ අනුව එය වෙනස් වේ.
පුරුෂ නිර්මිත ලෝකයේ ගැහැණු සියුමැලි යැයි සිතන්නට ගැහැණු ද පිරිමි ද කැමතිය. ගැහැණු සියුමැලිව ඉන්නට ද උත්සාහ කරති. මෙය සමාජ නිර්මිතයකි. පිරිමි ශක්තිමත්ය ගැහැණු සියුමැලිය, දුර්වලය යනු අනෙක් අතට බල මෙවලමකි. පිරිමියාට බලය පැවරීමකි. එතැනදී ගැහැණියකගේ සමාජ බලය පවා, උගත්කම පවා පිරිමියෙකුගේ ලිංගික බල අධිකාරියට යටත් වේ.
එවිට දුර්වල යැයි සිතන ගැහැණු දූෂණය කරන්නට අපහරණය කරන්නට පිරිමියාට බලයක් ඇතැයි පිරිමි සිතයි. එයට සමාජ පන්තිය හෝ ගැහැණියගේ සමාජ බලය පවා අදාල නැත. අපගේ විශ්වවිද්‍යාලවල බලයෙන් පහළ සිටින පිරිමි පියන් කෙනෙකුට බලයෙන් ඉහළ සිටින ගැහැණු කථිකාචාර්යවරියකට ලිංගික හිංසන කරන්නට හැකි වන්නේ එබැවිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන බිරිඳට පහර දෙන්නට එවැනි සමාජ බලයක් නැති ඇගේ සැමියාට ලයිසන් ලැබෙන්නේ එහෙයිනි.
මේ නිසා ගැහැණු සිනිඳු යැයි ද සියුමැලි යැයි ද දුර්වල යැයි ද යනුවෙන් ඇති අඛ්යානය නැවත වරක් අප විමසිය යුතුය. එසේ ගැහැණු සිනිඳු නම් මම ඉහත කී ආකාරයේ බර වැඩ වලින් ගැහැණු වෙන් කර තබා සමාජය ඇයට සිනිඳු ආකාරයෙන් සිටින්නට ඉඩ දිය යුතුය. එහෙත් එය එසේ ව්න්නේ නැත. රළු ජීවන අරගලය ඇය අතට සමාජය දී ඇගෙන් සිනිඳු බව අපේක්ෂා කරයි. ඒ සිනිඳු බව බල දූරාවලියේ ඇය යටින් තබා ඇය පෙළන මෙවලමක් බවට පත් කරයි. ඇගේ උගත්කම, රැකියාව හෝ සමාජ බලය කිසිවක් පුරුෂාධිපත්‍යයට අදාල වන්නේ නැත. දුම්රියේ වඩේ විකුණන මිනිසාට පවා උසස් රැකියාවැති තරුණියක දූෂණය කරන්නට බලය ලැබෙන්නේ මේ නිසාය. මෙය වෙනස් කිරීමට නම් ගැහැණු ශක්තිමත් කිරීමේ ආකල්පයකට අප මාරු විය යුතුව තිබේ. එය කරන්නේ කෙසේ දැයි අප ඉදිරියේදී විමසමු.
සංජීවනී රූපසිංහ