මා විසින් ම කැපචරකරණය කෙරුණු පින්තූරයක් සමඟ ලියා පළකළ කවියක ‘ෆෝසීතියා අහස’ යන යෙදුම තැබුවෙමි. ඒ කුමක්දැයි මගේ සහෘදිනියක වන යමුනා හේවගේ අසා තිබුණා ය. ෆෝසීතියා ගැන මා ලියූ මුල් ම අවදියේ සිට විටින් විට ඒ ගැන අසනා මා මිත්‍රවර මිත්රවරියෝ සිටිත්. හැකි පමණ පහදන්නට වෙර දැරීමි. ‘මගේ ආදරණීය යක්ෂණී’ කෘතියෙහි ‘’පැරිස් මිමෝසා හෙවත් වසන්තයේ වේදනාව’ නමින් කවියක් ඇත. ඒ මේ ෆෝසීතියා ගැන ය. මා සිටින ඇල්ප්ස් කඳු ආසන්න කලාපයේ ෆෝසීතියා වහරන්නේ ‘ෆෝසිසියා’ ලෙස ය. පැරිසියේදී නම ඒ පැරිස් මිමෝසා ය. මේ ඒ පැරිසියේදී ලියැවුණු ‘යක්ෂ’ කවිය යි.
‘’අහස් විමානෙට මේ කුළු රොද බඳින
වසන්තයට එන්නට හරි මඟ කියන
දහස් දසදහස් ගණනින් වැළඳගෙන
පැරිස් මිමෝසා අතපය දිග හරින
අත්ත බිඳුණ කල ජීවන ඉළව්වේ
ෆ්රැන්ක කොළ වලට ප්‍රේමය හිළව්වේ
කවුද ඔබ ම මිස හදවත හෙළෙව්වේ
වත්ත එරන්වන් නටඹුන් වළව්වේ
ඇස් අගින් ගලන් එන්නෙම අපහාස
රත්තරන් දිළෙයි හොඳටම ළඟපාත
අත් වලින් දරන් ඉන්නට බැරුවාද
කොච්චරක් බරද සුළඟට මඳහාස
මිළක් මොටද මිළ නො කළැකි රන්වනට
කලක් ගෙවෙනවා කොළ නැති ගස් අතර
කොළත් දලුත් මොකටද මේ පිංකමට
මලුත් කැමති වෙනසක් ඇති ලස්සනට’’
ශීතලෙන් පරිපීඩිතව සිටින වටපිටාවක භූ දර්ශනයේ නොහොත් ‘පේයීසාජයේ’ (Paysage) පළින් පළ කහ පැහැය නැඟෙන විට නෙතට ද හිතට ද දැනෙන හැඟුම පිළිබඳ මොන තරම් දෑ ලිව්වද එහි අතිරික්තයක් ඇත. නැවත නැවත ලියන්නට හිත දෙන්නේ එබැවිනි. තමා එතෙත් ගෙවූ සමස්ථ ජීවිතයම ඉරඑළිබත් මිනිසෙකුගේ හැඟීම සමඟ තරමක් දුරට හෝ සමාන්තර වන්නට හැකි වන්නේ එකී හේමන්ත පීඩාව භෞතිකවම දරා උහුළන කෙනෙකුට ම වන්නට පිළිවන.
‘සන්තාන ගීතිකා’ කෘතියේ 12වැනි ගීතිකාව ‘’ෆෝසීතියා අහසක ගලා යන වලාකුළු’ මැයෙනි. එහි මෙසේ එයි.
‘’මල් බර දරාගෙන
අත් නඟැගෙන අහස් විමානෙට
සුළඟේ එතී මියුරු කන්තාරු ගී ගයන
ෆෝසීතියා පඳුරු අතරතුර
සිහිනයෙන් මෙන් දෙපා අද්දමින් ඇවිද ගිය
ඒ මුහුණ මල් මෙන් ම ජ්වලිත වෙමින් තිබිණ.
මා වෙත හැරී ආ ඈ තුරුල
ෆෝසිතියා රිකිලි කන්දරාවෙකි.’’
ඒ කවිය ප්‍රේමයෙන් වෙලී තව බොහෝ ඉදිරියට ගලයි. ‘කැමැත්ත නම් අන්න එහෙමයි’ මැයෙන් මා ලියූ තවත් කවියක ෆෝසිතියා හැඩය මෙයාකාර ය.
‘’වස්සානෙ සීතලයි තමයි
ඒත් ඒ වෙනත් සීතලක්
මේ තාම දැනෙන්නේ
හේමන්තෙ සීතල…
අන්න ඒකයි මං
ෆෝසිතියා මලක් වෙන්නට කැමති…
මල් අතර
මට මාව හොයාගන්නත් බැරි
මල් අතර
මට කිසිම විශේෂයකුත් නැති
කහට නැති කහපැහැය මිස
අන් කිසිත් පැහැ හඳුනන්නෙවත් නැති
ෆෝසීතියා මලක් වෙන එක
හිතටත් සැහැල්ලුයි
වස්සානෙ
වස්සාන සීතලත් එක්කම
අයිතිකරුවන්ට ම බාර දී
බැස යන්න පුළුවන්
අත්තෙන්
ඉත්තෙන්
මේ කියන සීතලට මැද්දෙන්’’
ම විසින් කැප්චර කෙරුණු මේ ෆෝසීතියා පින්තූර ගොන්න මෙහි ලන්නේ ඒ ගැන නො දන්නා කිසිවකු වෙත් නම් ඒ අයට මේ හැඟුම් සමීප කරලනු පිණිස ය. ෆෝසිතියා අහස ගැන කිසිවක් නො කියමි.
2025 මාර්තු 24