Breaking News

වෙඩිතලතිව් රක්ෂිතයේ ජල ජීවී ව්‍යාපෘතියට එරෙහි අතුරු තහනම් නියෝගයක්

විල්පත්තුව ආශ්‍රිත වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයේ කොටසක් ඉස්සන් වගාව සඳහා වෙන්කරමින් වනජීවි අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් වහාම ක්‍රියාත්මක වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

පරිසර සංවිධාන කිහිපයක් විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් විය.

මැයි මාසයේදී වෙඩිතලතිව් රක්ෂිතයේ කොටසක් ජලජීවී වගා කර්මාන්ත උද්‍යානයක් පිහිටුවීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

ඒ යටතේ ජලජීවී වගා කාර්මික උද්‍යානය නමින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයකින් විවිධ වර්ගයේ මාළු, කකුළුවන් සහ විදේශීය ඉස්සන් විශේෂ ඇතුළු මුහුදු ජීවින් වගා කිරීම සඳහා යොදා ගැනීමට නියමිත බව වාර්තා විය.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් කර තිබුණේ එම ගැසට් පත්‍රයේ උපග්‍රන්ථයේ දක්වා ඇති ප්‍රදේශය තවදුරටත් විඩතලතිව් ස්වභාව රක්ෂිතයේ කොටසක් ලෙස නම් නොකරන බවයි.

කෙසේ වෙතත්, පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) ඇතුළු පරිසර සංවිධාන කිහිපයක් රජයේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි.

වන්කලෙයි අභයභූමියට ආසන්නව පිහිටි රටේ තුන්වන විශාලතම සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශය වන විඩතල්තිව් ස්වභාව රක්ෂිතය 2016 මාර්තු 1 වන දින 1956/13 ගැසට් පත්‍රය මගින් ස්වභාවික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එය හෙක්ටයාර 29,000ක් පුරා විහිද පවතියි.

2012 වසරේ උතුරු පළාතේ සිදුකළපාරිසරික තක්සේරුවක් (SEA) මගින් මෙම ප්‍රදේශය ආරක්‍ෂා කළයුතු ප්‍රදේශයක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කෙරිණි.

leave a reply