Breaking News

කපා වළ දැමූ පඬු කරඳ ගස යළි ගොඩ ගන්නැයි නියෝගයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යන දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඬු කරඳ (කෲඩියා සෙලනිකා) ගසක් හොරෙන් කපා වළදමා ඇති බව කියන ප්‍රදේශයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි ඊයේ (21) පස්වරුවේ බෙම්මුල්ල පොලිසියට නියෝග කර තිබේ.

එම ගස වළ දමා තිබෙන ස්ථානය ස්ථිරවම හඳුනා ගෙන එය ගොඩ ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත ට ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

දාරළුව ප්‍රදේශයේ තිබූ එම පඬු කරඳ ගස කපා ඉවත් කර ඇති බව පවසමින් ගම්පහ දිසා වන කාර්යාලය මගින් බී වාර්තාවකින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

එම නඩුව ඊයේ (21දා) පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්දිනු ධීරසේකර කරුණු දක්වමින් අභියාචනාධිකරණයේ තීන්දුවකට පිටුපාමින් විනාඩි අටක් වැනි කෙටි කාලයක් තුළ මේ දුර්ලභ ගණයේ ගස හොරෙන් කපා වළ දමා ඇති බව කියා සිටියේය. පඬු කරඳ ශාකය වඳ වී යන ශාක වර්ගයක් බවට රතු දත්ත පොතේ සඳහන් කර ඇති බවත් කැබිනට් තීරණයකට අනුව නීති විරෝධීව මෙම ගස හොරෙන් කපා වළ දමා ඇති බව දැන ගන්නට ලැබී ඇති බව ද නීතීඥවරයා කීය.

මෙහිදී අධිකරණය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගම්පහ දිසා වන නිලධාරී ඉසුරු අලවත්ත කරුණු දක්වමින් කැබිනට් තීරණයකට අනුව ගස කපා ඉවත් කළ බව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුම් දුන් බවත් ඊයේ (21) උදෑසන අතිරේක වන සංරක්ෂක ජනරාල්වරයා විද්‍යුත් තැපෑලෙන් ඒ බව දන්වා සිටි බවත් කියා සිටියේය.

එම ගස නැවත ගොඩ ගැනීමක් කරනවා නම් ඒ සඳහා අවශ්‍ය සම්පත් යන්ත්‍ර සූත්‍ර තම දිසා වන කාර්යාලය සතුව නොමැති බවද දිසා වන නිලධාරීවරයා අධිකරණය හමුවේ කීය.

” පොඩි මිනිහෙක් ගහක අත්තක් කැපුවත් වන නිලධාරීන් වහා මැදිහත් වී ඒ පුද්ගලයා සමග කපන ලද ගස් හෝ අතු අධිකරණයට ගේනවා. නමුත් මේ කර තිබෙන්නේ බරපතල අපරාධයක්. මේ පිළිබඳව වන නිලධාරීන් උදාසීන තත්ත්වයක් තමයි මේ සඳහා දක්වා තිබෙන්නේ.” යයි නීතිඥ රොෂාන් කහටපිටිය අධිකරණය හමුවේ අදහස් දක්වමින් පැවසිය.

මෙහිදී දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් වහාම එම ගස කපා වළ දමා ඇති බව කියන ප්‍රදේශයට ඊයේ (21) සිට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගන්නා ලෙසට බෙම්මුල්ල පොලීසියට නියෝග කළාය. එම නියෝගය සම්බන්ධයෙන් බෙම්මුල්ල පොලීසිය දැනුම්වත් කරන ලෙසට ද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

ගස කපා වළ දමා ඇති ස්ථානය පිළිබඳව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා දැනුම්වත්ව සිටින හෙයින් එම ගස ගොඩ ගැනීම සඳහා නිශ්චිත ස්ථානය හඳුනා ගෙන ලබන 24 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට හා උදාසීන තත්ත්වයකින් තොරව නියෝග වහා ක්‍රියාත්මක කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය ගම්පහ දිසා වන නිලධාරීවරයාට නියම කළාය.

නැවත කැඳවීම මේ මස 24 වැනිදාට කල් තැබිණ.

(සටහන -මිනුවන්ගොඩ ටෝනි කරුණානායක)

leave a reply