Breaking News

කුසගින්නට උණ්ඩයෙන් උත්තර දීම පිළිකෙව් කරමූ!

අද කෑගල්ල, රඹුක්කන ප්‍රදේශයේ පැවැති ජන උද්ඝෝෂණයට පොලිසිය යොදවා වෙඩි තබා ඇති අතර එහිදී එක් අයෙකු ඝාතනයට කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිල වශයෙන් පිළිගෙන ඇත. නිල නොවන වාර්තාවන්ට අනුව මිය ගොස් ඇති ගණන ඊට අධිකය. මේ වන විට මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා 15 දෙනෙකු පමණ කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් 4 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවේ.

පසුගිය සති කීපය පුරාම ‘ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු’ යැයි නැගෙමින් ආ උද්ඝෝෂණ රැල්ලට සිය පිළිතුර ලබාදීමට ඔහු තීරණය කර ඇති බව මෙම ම්ලේච්ඡ පහරදීමෙන් පෙනේ. මළකඳන් මතින් හෝ සිය බලය රැකගැනීමේ සුපුරුදු පාලක පිළිවෙතට රාජපක්ෂලා පල්ලම් බසිමින් සිටි. මීට පෙර 2012 දී බීමට ජලය ඉල්ලා හඩ නැගූ රතුපස්වල ජනතාවට මෙලෙසම හමුදාව යොදවා වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කළේ මේ සහෝදර දෙබෑයන් ජනපති හා ආරක්ෂක ලේකම් ධුර දරමින් සිටියදීය. අද ඔවුන් සිටින්නේ අගමැති හා ජනපති පුටුවලය.

එමෙන්ම කටුනායක රොෂේන් චානක ඝාතනය, හලාවත ධීවර ඇන්ටනී ඝාතනය මින් පෙර රාජපක්ෂ පාලන පරිච්ඡේදයේ ජනතාවගේ උද්ඝෝෂණ වලට දුන් ප්‍රතිචාරයන්ය. පෙරදිනයේ කැබිනට් මණ්ඩලය දිව්රුම් දීමෙන් පසුව රසායනික පොහොර තහනම තමා කල වරදක් බවත් ගාලුමුවදොර උද්ඝෝෂකයන් නිර්මාණශීලී රටට ආදරය කරන තරුණයන් බවත් කියමින් රංගනයක යෙදුනේ මේ මිනීමැරු තීරණය ඔහු ඒ වන විටත් ගෙන තිබුණු නිසාය.
දැනටමත් රටේ ජනතාව සිය දෛනික ජීවිතය ගෙවාගත නොහැකිව විශාල පීඩනයකට මුහුණ පා සිටී. ඇසිපිය හෙලන විට පවා ඉහළ යන බඩුමිල නිසාත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟයෙන් ඇතිව තිබෙන පෝලිම් නිසාත් පොදු ජනතාව පීඩාවෙන් පීඩාවට පත් වෙමින් ඇත. මේ තත්වය දිනක දෙකක අත්දැකීමක් නොවන බව පොළොවේ පය ගසා සිටින ඕනෑම අයෙක් දනී. එම පීඩනය මතින් නැගෙන මෙම ජන ආවේගයට පැහැදිලි සාධාරණ පසුබිමක් තිබේ.

කුසගින්නට උණ්ඩය විසඳුමක් නොවන මුත් උණ්ඩය ගැන පමණක් දැන සිටින පාලකයෙක් සිය එකම හැකියාව සමාජයට පෙන්වීමට සැරසෙන බව පෙනේ. මේ උත්සාහය දියත් වන්නේ සමාජය භීතියක ගිල්වා සිය බලය තහවුරු කර ගැනීමටය. එහෙත් අප ඉතා පැහැදිලිව ඔවුන්ට කිව යුත්තේ මේ ජන ආවේගය එසේ යටපත් කළ නොහැකි බවයි. මෙම ඝාතන, රාජපක්ෂ පාලනය පලවා හැරීමට ජනතාවට තවත් හේතු නිර්මාණය කිරීමකි. ඔවුන් විසින් ගෙන ඇති මෙම හැරවුම මැතිවරණ සිතියම හැකිලීම දක්වා වුව ද ගමන් කළ හැකි බවට අපි සමාජයට අනතුරු අඟවන්නෙමු. ඒ නිසා සියලු බලවේග ප්‍රශ්නය පොරවෙන් කැපීමට නොතබා නියපොත්තෙන් කඩා දැමීමට පෙරට ආ යුතු බවට අපි අවධාරණය කරමු. රාජපක්ෂ පාලනය පලවා හැරීමටත් රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ සහචර දේශපාලකයනුත් ගජමිතුරු ව්‍යාපාරික කල්ලියත් හොරා කෑ මහජන ධනය ජනතාවට අත්පත් කර ගැනීමටත් ජනතාව රාජ්‍ය පාලනයට මැදිහත්වීම තහවුරු කරන පාර්ලිමේන්තුවෙන් පිටත මහජන කවුන්සිලයක් කැඳවීම දක්වාත් මෙම අරගලය පෙරට රැගෙන යායුතු බව ජන අරගල ව්‍යාපාරය ලෙස අපි අවධාරණය කරමු.!

ජන අරගල ව්‍යාපාරය

leave a reply