Breaking News

සමරිසිභාවය වරදක් ලෙස විග්‍රහ කරන නීතියක් ලංකාවෙ නැහැ – රජය පවසයි

ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කොට සැලකීම් කළ හැකි නීතියක් ශ්‍රී ලංකාවේ නැති අතර, එවන් නීතියක් පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකා රජය පවසනවා.

මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් සිදුකර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට වෙනස් කොට සැලකීම තුරන් කිරීමේ ප්‍රඥප්තියට (Convention on the Elimination of All Forms of Discrimination against Women – CEDAW) අදාළ කමිටු සමාලෝචනය අතරවාරයේදීයි.

සමලිංගික ලිංගික ක්‍රියා සාපරාදී ක්‍රියාකාරකමක් ලෙස සලකන ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය නිසා ශ්‍රී ලංකාවේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිනියකගේ හිමිකම් උල්ලංඝනය වී ඇති බව, එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි වෙනස්කොට සැලකීම් තුරන් කිරීම පිළිබඳ කමිටුව විසින් නිගමනය කර තිබේ.

මීට අදාළව පවත්වන ලද CEDAW කමිටු වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සුළුතර ලිංගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරන සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානයේ නිර්මාතෘ සහ එහි විධායක අධ්‍යක්ෂ රොසෑනා ෆ්ලේමර් කල්දේරාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

1883 වර්ෂයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ ‘පිරිමි අතර සිදුවන’ ‘අස්වාභාවික ක්‍රියා’ නම් වරදක් යටතේ සමරිසි පුරුෂයන් අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන සපයා තිබූ අතර, 1995 වර්ෂයේ ඊට යෙදෙන ලද අංක 22 දරණ සංශෝධනය හරහා මෙම නීතිය කාන්තාවන්ට ද වලංගු කරමින් ‘ඕනෑම පුද්ගලයකු අතර සිදුවන’ ‘අස්වාභාවික ක්‍රියා’ යනුවෙන් සංශෝධනය වීමක් සිදුවන ලදී. මෙමඟින් සමරිසි කාන්තාවන් හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ද මෙම නීතියේ වින්දිතයකු බවට පත්වූ අතර, එහි පවතින අපැහැදිලිභාවය නිසාම පොලිස් නිලධාරීන් විසින් සුලභව මෙම නීතිය අවභාවිතා කරමින් විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම සිදුවේ.

මෙම සංශෝධනයන් සිදුවීමත් සමඟ සමරිසි කාන්තාවන් ඉලක්ක කිරීම වැඩිවශයෙන් සිදුවී ඇති බව වාර්තා වේ.

CEDAW කමිටු සමාලෝචනය තුළ රජය පාර්ශවයෙන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඔස්සේ සුළුතර ලිංගික ප්‍රජා අයිතිවාසිකම් සුරක්ෂිත වන බවත්, නීතිය සියළු දෙනා ඉදිරියේ එක සමාන බවත් ය. 1883 දණ්ඩ නීති සංග්‍රහයේ අඩංගු සියලු වැරදි එහි මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට රජය කැපවී සිටින බව ද රජය පාර්ශවයෙන් කරුණු දක්වා ඇත. එමෙන්ම සමානාත්මතාවය සහ වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී සිටීමට ඇති අයිතියට ලිංගික දිශානතිය ද ඇතුළත් විය යුතු බවට රජය පාර්ශවය පිළිගෙන තිබේ. එමෙන්ම, දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ මූලික අයිතිවාසිකම් පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ‘ලිංගික දිශානතියේ පදනම මත වෙනස් කොට සැලකීම් සිදුනොවීම’ අනිවාර්යයෙන් සහතික කිරීම සඳහා නිර්දේශයක් ලබා දී ඇති බව ද රජය පාර්ශවය පවසා තිබේ.

leave a reply