Breaking News

මාධ්‍යවේදී තරිඳුට ඩී.අයි.ජී. දේශබන්දු එල්ලකළ තර්ජනය ගැන මාධ්‍ය සංවිධාන පොලිස්පතිට ලියයි

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ බෙදාගන්නා ලද ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පසුගියදා (01) ඔහුට අනියම් ආකාරයට කර ඇති තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන එකතුවේ අවධානය යොමු වී ඇතැයි එම සංවිධානය පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත.

මෙම තර්ජනය කිරීමට හේතුව වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සම්බන්ධ‍යෙන් medialk.com වෙබ් අඩවියේ පළ වූ ලිපියක් මාධ්‍යවේදී තරිඳු ඉරංග ජයවර්ධන විසින් සිය ෆේස්බුක් ගිනුමේ පළ කර තිබීමය.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්, ඒවාට අදාළව සොබාදහම දඬුවම් කරනු ඇති බවත් දිගින්-දිගටම සඳහන් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, ප්‍රභාකරන්ට සහ අනෙකුත් අපරාධකරුවන්ට සිදුවූයේ කුමක් දැයි බලන ලෙස අවධාරණයෙන් කියා සිටී. මාධ්‍යවේදියා මෙහිදී තමන් ලියන ලද අසත්‍ය පුවත් මොනවාදැයි විමසා සිටියද, ඊට නිශ්චිත පිළිතුරක් දේශබන්දු තෙන්නකෝන් විසින් ලබා දී නැත. එක් අවස්ථාවකදී පමණක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියක් පිළිබඳව ඔහු සඳහන් කරයි.

එම ප්‍රවෘත්තියේ මූලාශ්‍රය වන්නේ 2021 ජුනි 29දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තරිඳු ජයවර්ධන යොමුකරන ලද ප්‍රශ්නයකට ජනමාධ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල විසින් ලබාදුන් පිළිතුරයි.

මෑත කාලීන සිදුවීම් දෙස බලන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සිදු කර ඇති ‘Borumai kiyanne soba dhahama jayagani – Aniwarwen see prbakaran and other Criminals’ යන ප්‍රකාශය ඇතුළත් ප්‍රතිචාර දැක්වීමෙහි බරපතළ අනතුරු ඇඟවීමක් ගැබ්ව ඇති බව තම සංවිධානය විශ්වාස කරන බව මාධ්‍ය සංවිධාන එකතුව පවසා තිබේ.

එසේම, අසත්‍ය පුවත් පළකරන ලද බවට චෝදනා කරමින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන මේ වනවිටත් රැඳවුම් භාරයේ සිටින බහුතරයකට එරෙහිව විධිමත්ව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකිරීමක් සිදුව නැති පසුබිමක නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට දක්වන ලද ඉහත ප්‍රතිචාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකරන ලෙසත්, ඊට අදාළව විධිමත් විමර්ශනයක් සිදුකොට, මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් මාධ්‍ය සංවිධාන එකතුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

leave a reply