‘ඔක්සිජන් ඇමති’ සනත් නිශාන්තට ලංකාභිමානී, ජාතිකාභිමානී ගෞරව සම්මානයක්

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මාන හිමිව තිබේ.

සංඝයා වහන්සේලා කිහිපදෙනෙක් අතින් අතින් ඔහු එම සම්මානය ලබා ගන්නා ආකාරය සනත් නිශාන්ත සිය ෆේස්බුක් පිටුවෙහි පළකර තිබේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ලංකාවට අභිමානයක් වීමට ඕනෑවටත් වඩා සුදුසුකම් ඇති බව බැලූ බැල්මට පෙනේ. පහත දැක්වෙන්නේ එවැනි සිදුවීම් කිහිපයකි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇතිවූ සිද්ධිය වූවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මීගමුව කඩොලාන පද්ධතියක් පිහිටි භූමි ප්‍රදේශයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සිදුකිරීමට උත්සාහ කිරීම සහ ඒ සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනිය ඇමතිවරයාට නීතියට පිටින් වැඩ කළ නොහැකි බවට විරෝධය දැක්වීමයි. ඒ අවස්ථාවේ ඇමතිවරයාට සහය දක්වමින් සිටි පුද්ගලයෙකු “මැඩම් ඔක්සිජන් තිබිල වැඩක් නෑ” යනුවෙන් ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් විවේචන මතුව තිබුණි.

පුත්තලම ආනවිලුන්දාව රැම්සා තෙත්බිම ඩෝසර් කර ඉස්සන් කොටු ඉදිකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ සොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත බව අනාවරණය විය. මෙය අනාවරණය වූවේ ද මෙම සිදුවීම සම්බන්ධයෙන් නැගුනු ප්‍රභල මහජන විරෝධය හේතුවෙන් වනජීවී හා වන රක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක විසින් පත්කළ කමිටුවකින් මේ පිළිබඳ සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි. ඒ සඳහා මාසයකට ආසන්න කාලයක් ගතවිය.ජගත් සමන්ත පෙරේරා අධිකරණයට බාර වෙනතුරු ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකරන ලදී.

ඊට පෙර පුත්තලම ආනවිලුන්දාව රැම්සා අභය භූමියට අයිති කිසිම ස්ථානයක් අලුතෙන් එළිපෙහෙළි කිරීමක් සිදුව නැති බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර තිබුණි. එහි සිදුව ඇත්තේ පැවති පොකුණක මඩ ඉවත් කර සුද්ද පවිත‍්‍ර කිරීම පමණක් යයිද ඔහු පැවසීය. මෙම ප්‍රදේශය කුරුලු අභය භූමියක් ලෙස නීතිගත කිරීමෙන් පසු පැවති පොකුණුවලට බලපත්‍ර ලබාදීම නැවතුණු බවත් ඒ නිසා රජයට ද විශාල බදු මුදලක් අහිමි වූ බවත් ඔහු සඳහන් කර තිබේ.

මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොහොයුරු, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන දෙදෙනා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධාගාරගතව සිට පසුව ඇප මත මුදා හැර තිබුණි.

එසේම පසුගිය මහ මැතිවරණ සමයේ සනත් නිශාන්ත මැතිවරණ නීති පමණක් නොව සාමාන්‍ය නීතියද උල්ලංඝණය කරමින් අංක තහඩු නොමැති බයිසිකලයක් පාවිච්චි කරමින් හිස්වැසුම් නොමැති බයිසිකල් පෙළපාලියක් පවත්වා තිබුණි. එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පැවසුනත් මෙතෙක් සිදුවූ දෙයක් නැත.

 

Share post:

Popular

වෙනත් පුවත්

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...