Breaking News

මුළු පර්ලිමේන්තුවටම හෙට සහ අනිද්දා අන්ටිජන් පරීක්ෂණ

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හෙට සහ අනිද්දා යන දිනයන්හිදී ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට (ඇන්ටිජන් පරික්ෂණයකට) ලක් කිරීමට තීරණය කර තිබේ.

ඉන් පසුව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇන්ටිජන් පරික්ෂණයට ලක් කිරීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

අද දිනයේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

අමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (11) ඔහුට ලැබී තිබේ.

පසුගියදා කොවිඩ් ආසාදිත බව තහවුරු වූ දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ නැති අතර රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ ඇත. අගමැති දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පසුගිය ජනවාරි මස 08 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණ සභා නායක කාර්යාලයේ නිධාරීන් කිහිප දෙනෙකු හමුවී තිබේ.

රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ සංචාරය කළ තැන් සහ ආශ්‍රය කළ පුද්ගලයන් සොයා සී.සී.ටී.වී. දර්ශන පරික්ෂා කර ඇත. එහිදී අනාවරණය වී තිබෙන්නේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිට ඇත්තේ පැය දෙකක පමණ කාලයක් පමණක් බවයි. එම කාලයේ ද ඔහු වැඩි වේලාවක් සභා ගැබ තුළ සිට ඇත. සභා ගැබ තුළ සිටින කාලයේදී හකීම් මන්ත්‍රීවරයා මුව ආවරණයක්ද පැලඳ නොසිටි බව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත් දිවා ආහාරයද නොගෙන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගොස් තිබේ. සභා ගැබෙහි හකීම් මන්ත්‍රීවරයාගේ ආසනයට වම්පස අසුනේ සිටන්නේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාය. දකුණු පස අසුන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේය.

හකීම් මන්ත්‍රීවරයා සමග සමීපව කතා බහ කළ බව කියන එම්.ඒ.සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම්, තලතා අතුකෝරළ සහ ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අනාවරණය වී ඇත. මෙම මන්ත්‍රීවරුන්ට සහ කුමාරසිරි හෙට්ටිගේ සමීපව ඇසුරු කළ නිලධාරීන්ටද පී.සී.ආර්. පරික්ෂණ සිදු කරන ලෙස හා නිරෝධායනය වන ලෙස දැනුම්දී ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාන කීපයක් විෂබීජහරණය කිරීමටද පියවර ගෙන තිබේ.

ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා සිය පවුලේ අය සමඟ පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර ඔවුන්ට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරුව තිබේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් වැළඳීමත් සමඟ සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ දෙනෙක් පවසමින් සිටින්නේ දැන්වත් කොවිඩ් එන්නත ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවයි. එසේම වාසුදේව නානායක්කාර වැනි ඇමතිවරුන් දැන්ම අපේ රටට කොවිඩ් එන්නතක් අවශ්‍ය නැති බවත් අපේ රටේ දේවල් වලින් වසංගතය පාලනය කළ හැකි බවට කරන ලද ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනු දැකිය හැකිය.

leave a reply