Breaking News

MCC අත්සන් නොකෙරුවාට ගිවිසුමෙන් යෝජනා කළ දේවල් ආණ්ඩුව කරනවා – පුබුදු ජයගොඩ

MCC ගිවිසුම අත්සන් නොකිරීමට මොලෙන් වැඩකර එය පැරදූ බව ආණ්ඩුව ප්‍රකාශ කළත් ඇත්තටම සිදුවී තිබෙන්නේ තම මතය කෙළින් නොකියා කාලය ලබාගෙන එම ගිවිසුමෙන් යෝජනා කරන ලද දේවල් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. අද කොළඹදී එම පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා තිබේ.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“MCC ගිවිසුම අත්සන් නොකළත් එම ගිවිසුමට අදාළ සියලු කරුණු නීතිමය වශයෙන් සකස් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් යනවා. තව මාස 6ට පස්සේ බලද්දී ලංකාව MCC ගිවිසුම අත්සන් කරලා නැහැ. ඒ ගිවිසුමෙන් සිදුවීමට නියමිත සියල්ල සිද්ධ වෙලා. ඇමරිකාව ඩොලර් මිලියන 480ක් වියදම් කරලා කරගන්න හදපු දේ නොමිලේ කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. උදාහරණයකට රජයේ ඉඩම් මැනලා කැබලි කරලා ඒකට අදාළ ඔප්පු සකස් කිරීම සඳහා මීට පෙර ඉඩම් විශේෂ විධි විධාන පනත කියලා පනතක් ගේන්න හැදුවා. ගිය සතියේ ඉඩම් ආඥා පනතට සංශෝධනයක් කරන්න කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. පැහැදිලිව පේනවා මේ සංශෝධනය හරහා ඉඩම් විශේෂ විධි විධාන පනතෙන් කරන්න හදපු ටික ඔක්කොම කරන්න යනවා. ඊට අමතරව ඉඩම් ගැන දත්ත බැංකුවක් හදන වැඩේ. ඒක MCC එක නැතුව කොරියානු රජයේ ණය අධාරණයක් අරගෙන කරන්න යනවා. MCC ගිවිසුම අත්සන් කරපු ගොඩක් රටවල්වල ඉඩම් පැහැරගැනීමේ කටයුත්තට මැදිහත්වෙලා තියෙන්නෙ කොරියානු සමාගමක් වෙච්ච ඩේව් සමාගම. ඉඩම් නීති වෙනස් කිරීම 1998 ඉඳලා වැඩකරමින් ඉන්නවා. 1998 ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත හරහා හිමිකම් ඔප්පු ලබාදීම පටන් ගත්තා. දැන් ඒකම ඉදිරියට යනවා. බිම් සවිය ඔප්පු ලබාදීම සහ ඒ හරහා ඉඩම් සින්නක්කරව තව කෙනෙකුට විකිනීමට ඉඩ ලබාදීම හරහා බහු ජාතික සමාගම්වලට ඉඩම් මිලදී ගැනීම පහසු කරමින් යනවා. ඉස්සෙල්ලා ආණ්ඩුව සමාගම්වලට ඉඩම් ලබාදීම සඳහා ඉඩම් බැංකු පනත ගේන්න හැදුවා. නමුත් දැන් ඉඩම් පනත නැහැ නමුත් ඕනා විදිහකට සමාගම්වලට ඉඩම් මිලදී ගන්න පුළුවන්. අවශේෂ වනාන්තර සඳහා තිබුණු 5-2001 කියන චක්‍රලේඛය අහෝසි කරා. අවශේෂ වනාන්තර කියන කොටසට අයත් ඉඩම් ලක්ෂ 12ක් තියෙනවා. ඉඩම් ලක්ෂ 12ම සමාගම්වලට ගතහැකි තත්ත්වයට පත්කළා. ”

leave a reply