Tag: poem

  • අහනාෆ්ගේ කවිය සහ අපගේ මිලිටරි මනස: රාමසාන් රචනාවක්

    අහනාෆ්ගේ කවිය සහ අපගේ මිලිටරි මනස: රාමසාන් රචනාවක්

    දෙමළ බසින් ලියන ශ්‍රී ලාංකික කවියෙකු වන අහනාෆ් ජසීම් තවමත් ඉන්නේ අත්අඩංගුවේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2020 මැයි 17 වෙනිදා ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි. මේ කවියාට විඳින්නට සිදු වී ඇති වධ බන්ධනය පිටුපස ඇති දේශපාලනය ඉතා පැහැදිලි එකකි.

    එහෙත් ඔහු උසාවියට ඉදිරිපත් කළ විට දිගටම රඳවා තබා ගන්නට කෙරුණු නියෝගය පිටුපස අප කාගේත් සැලකිල්ලට ලක් විය යුතු කරුණු රැසක් තිබේ. කවිය යනු බහුවිධ අර්ථ ඇත්තකි. කවිය යනු අනිශ්චිතාර්ථවත්භාවය සම්පතක් සේ සලකන භාෂා භාවිතයකි. කවිය යනු වක්මගින් කීමක් බව සිංහල අප කවදත් දැන සිටි දෙයකි. අහ්නාෆ්ගේ අත්අඩංගුවත්, ඔහු දිගටම රඳවා තබා ගැනීමත් පදනම් වන්නේ ඔහුගේ කවිය පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ සහ රාජ්‍යයෙහි අනුමැතිය ලද පරිවර්තකයන් විසින් කරන ලද ඉතා වාච්‍යාර්ථවත් පරිවර්තන මත බව තතු දත්තෝ කියති.

    අප කාගේත් අවධානයට ලක් විය යුතු කරුණක් මෙහි තිබේ. රාජ්‍යයට අවශ්‍ය ආකාරයට සාහිත්යික රචනා අර්ථකථනය කොට ඒවා ලියූ පුද්ගලයන් දඟගෙයි ලෑම නිර්ප්‍රභූ මුස්ලිම් තරුණයෙකු වෙත පමණක් එල්ල වන තර්ජනයක් නොවීමට ඉඩ තිබේ. දවසෙන් දවස අවුලෙන් අවුලට යන රාජ්‍ය යාන්ත්‍රණයක නීතිය මෙලෙස ක්‍රියා කිරීම ගැන අප වඩාත් සාවධාන විය යුතුය.

    මේ මුස්ලිම් තරුණයා සිරගත කරනු ලැබ තිබීමට විරෝධය පෑම පළමු ක්‍රියාවය. ඔහු මුස්ලිම් නිසා එසේ විරෝධය පෑමට තරම් කැක්කුමක් නැති අය ඔහු සිරගත කිරීම සඳහා භාවිත කර ඇති ක්‍රමවේදයට හෝ විරෝධය පළ කළ යුතුය. ඒ ක්‍රමවේදය වෙත රාජ්‍ය බලය ලැබී ඇත්තේ, රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඒ ක්‍රමවේදය සුජාත වී ඇත්තේ හුදෙකලා මුස්ලිම් තරුණයෙකු දඟගෙයි ලෑමෙන් නවතින්නට යැයි සිතීම දරුණු මුලාවකි.

    විකාර අර්ථ කථන

    ඊටත් වඩා හාස්‍යජනක කාරණය වන්නේ අහනාෆ්ගේ කවි නිසා යෞවන පාඨකයන් මත ඇති කළ හැකි මනෝවිද්‍යාත්මක බලපෑම ගැනද ඊනියා මනෝ විශ්ලේෂකයෙකුගේ විවරණයක්ද රාජ්‍යය විසින් භාවිත කරනු ලැබීමය. අහනාෆ්ගේ කවි තරුණ පිරිසගේ මනස විවිධ ආකාරවලින් දූෂණය කරන්නට ඉඩ ඇතැයි “මනෝවිද්‍යාඥයෙකු” කියා ඇත.

    සාහිත්‍ය කෘතියක මනෝමය බලපෑම ගැන එසේ ඒකරේඛීය විවරණයක් දිය හැකිද? ඔතෙලෝ නාට්‍ය කියවන සහ නරඹන සියලු පිරිමින් තම බිරින්දෑවරුන් ඝාතනය කරන්නට ඉඩ තිබෙන බැවින් ශේක්ෂ්පියර් සිරගත කළ යුතු යැයි එකල නියම වී නම්? මඩොල් දූවේ එන පුංචි පුංචි කොලුකම් නිසා යෞවන මනස් දූෂණය වේ යැයි මාර්ටින් වික්‍රමසිංහ දඟගෙයි ලූවේ නම්? පුරුෂ ලිංගයක් සේ නැගෙන්නට ඉඩ දියෝ කී පරාක්‍රම කොඩිතුවක්කුගේ කවිය සියලු පුරුෂ ලිංගවල කැරලිකාරී නැගීමට තුඩු දෙන්නේ යැයි සිතා ඒ කවියා හිරේ දැම්මේ නම්?

    අහනාෆ්ගේ කවි හිංසනය ප්‍රවර්ධනය කරන බව කියවුණද ඒ කවි හොඳින් දන්නා අය පවසන්නේ ඔහුගේ කවි සැබැවින්ම හිංසනයට විරුද්ධ බවය. මා මිතුරු මහාචාර්ය එම්. ඒ. නුහ්මාන් විසින් දෙන ලද දිවුරුම් ප්‍රකාශයකින් කියවෙන්නේද අහනාෆ්ගේ කවි හිංසනය ප්‍රවර්ධනය කරන නොකරන බවය. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අතර සිටින ජ්‍යෙෂ්ඨම කවියෙකුද ප්‍රගතිශීලියෙකුද වන ඔහුගේ දිවුරුම් ප්‍රකාශය පමණක් වුවද ඉතා හොඳ විනිශ්චයකි.

    ඔහුගේ ඇතැම් ඉතා අහිංසක උපදේශ කවි වැනිය. ඒවා දෙමළ බසින් පවා කලාත්මක වශයෙන් උසස් කවි නොවන බව ඒ ගැන දන්නා අය කියති.

    මේ එක කවියක එන කොටසකි.

    මත කුමටද
    හානියකි එය අපට
    දුරාචාරය කුමට
    හානියකි එය අපට

    නුඹේ ඉන්ද්‍රියන් පාලනය කරනු
    නුඹේ ගර්වය පාලනය කරනු
    නුඹේ අහංකාරය පාලනය කරනු
    නුඹේ නැමෙන දිව පාලනය කරනු

    ගැටුම් ඇත්නම්
    ප්‍රමාද කරනු
    අවි ගත්තා අවියෙන්ම නැසේ
    දැවෙන අපට යුද්දයක් ඇත
    අවි නැත

    අක්ෂරය අපේ අවියයි

    මේවා උසස් කවි යැයි මම නොසිතමි. මේ රචනය ලියන මේ රාමසාන් දවසේත් මගේ පසෙකින් හිස් වෙමින් පවත්නා බ්‍රැන්ඩි වීදුරුවක් තිබේ. එහෙත් මේ කවියා දෙන සදූපදේශවලට සවන් දීමට මා සූදානම්ය. එසේම ඒ කවියෙහි අවසන් කොටස සමග මමද එකඟ වෙමි. සැබෑ වශයෙන්ම නිදහස් ලංකාවක් පතන අපට යුද්දයක් ඇත. ඒ දූෂිත, අමනෝඥ පාලකයන් සමගය. ඔවුන්ගේ නායකයන් වන අධිරාජ්‍යවාදී බලවේග සමගය. එහෙත් අපට ඇති ආයුධය අක්ෂරයයි. මමද අක්ෂරය නමැති අවිය භාවිත කරන්නෙක් වෙමි. ඒ නිසා අහනාෆ් සිරගත වී ඇත් නම් මාද සිටිය යුත්තේ එහිය.

    මේ ඔහුගේ තවත් කවියකින් කොටසකි.
    ලේ ගැලීම්
    ජල ගැලීම්
    ගං ගැලීම් ආදියෙන් පීඩා විඳින
    මිනිසාට දන්පින්දී අසල්වැසියන් සමග
    සහයෝගයෙන් ජීවත් වන්නට පුරුදු වව්

    මේවා උසස් කවි නොවේ. උසස් අදහස්ය. මේ අදහස් ප්‍රකාශ වී ඇති දෙමළ කවිතාවද කිවයුතු තරම් උසස් නැතැයි දෙමළ විශේෂඥයෝ කියති. එහෙත් උසස් නැති කවි ලියන ආධුනික කවීන් සිරගේ ලන්නේ නම් සිංහල බසින් සාහිත්‍යකරණයෙහි යෙදෙන මාද ගෙයි සිටින්නට ඉඩ තිබේ. මටත් කලින් සිරගෙදර යා යුතු අය සිටිති.

    මේ සියලු දේ අදහස් ප්‍රකාශනයෙහි නිදහස ඇති සිවිල් මහජන අවකාශයෙහි සංවාද කළ යුතු දේය. අහනාෆ් සිය සාහිත්යික රචනා තුළ හිංසනය අගය කරන්නේ නම්, එය පවා නිදහස් මහජන අවකාශයෙහි සංවාද කළ යුතු දෙයකි. අවි ගෙන නැගීම අගය කරමින් සිංහලයෙන් කවි ලියන අය සිටිති.

    දෘෂ්ටිවාදී සීමා

    අහ්නාෆ් මෙසේ සිරගත කර සිටීමත්, එහිලා රාජ්‍ය භාවිත කරන ක්‍රමවේදත් පිළිබඳ මගේ විරෝධය පළ කරන අතරම ඔහුගේ කවියෙහි එන ඇතැම් දෘෂ්ටිවාද අතින් මා ඔහු මිතුරකු සේ සලකන්නේ නැත. දෙමළ භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ දන්නා මගේ ඉතා උගත් මිතුරන් හා කළ සංවාදයෙන් මා දැනගත් හැටියට අහනාෆ්ගේ ඇතැම් කවිවල , ස්ත්‍රීවිරෝධී අදහස් පිරී ඇත. ඒ අතින් ඔහු ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සහ මුස්ලිම් පිරිමියා තුළ ප්‍රගතිශීලි අදහස් ඇති කරන්නට දායක වන්නෙක් නොවේ. ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ආගම්වාදී ගතානුගතික ඉගැන්වීම් පමණක් පැවතීම ප්‍රමාණවත් නැත. මානව විමුක්තිය සම්බන්ධයෙන් පහළ වී තවත් නොයෙක් දැනුම් පද්ධති තිබේ. ඒ නිසා ඔහු වැනි පුරුෂෝත්තමවාදී සහ පුරුෂ කේන්ද්‍රීය චින්තකයන් සමග මා සිංහල සමාජයේ දී පවා පවත්වන්නේ ඉතා දුරස්ථ සම්බන්ධයකි.

    එසේම ලංකාවේ රාජ්‍යය යනු ස්ත්‍රී විරෝධීන් අත්අඩංගුවට ගන්නා හෝ ස්ත්‍රී විරෝධීන්ට එරෙහිව නඩු පවරන හෝ රාජ්‍යයක් නොවේ. එසේ වූයේ නම් සිංහල ලේඛකයන් බොහෝ දෙනෙකුද සිටිය යුත්තේ හිරගෙදරය. අනෙක, පුරුෂෝත්තමවාදය සමග කොයි සමාජයේත් පැවතිය යුත්තේ මතවාදී අරගලයක් මිස දඟගෙයි ලෑමක් නොවේ. එය රාජ්‍යයෙහි කාර්යක් නොව සිවිල් බුද්ධිමය අවකාශවල සිදු විය යුත්තකි.

    එහෙයින් අහනාෆ්ට අත්වී ඇති ඉරණම මගේ විරෝධය මෙවැන්නකි. ඉතා ගතානුගතික අදහස් ඇති කවියෙකු පවා කවිය නමැති අඩවියෙහි පළ කරන අදහස් අතිසරල ලෙස නිර්වචනය කොට කවියා සිරගෙයි ලෑම වැරදිය. ඒ ක්‍රමයට කවීන් අත්අඩංගුවට ගැනීමෙන් ඇති වන පූර්වාදර්ශ ඉතා භයානකය.

    ත්‍රස්තවාදය සමග කිසිදු සෘජු සම්බන්ධයක් නැති තරුණයෙකු ඔහුගේ කවියක එන වක්‍රෝක්තිමය ප්‍රකාශයකින් හිංසනයට දිරි දෙන්නේ යැයි මොහොතකට සලකමු. එවිට පවා ඔහු සිරගත කිරීම, රාජ්‍යයෙහි දණ්ඩනයට ලක්වීම ශිෂ්ට සමාජයක සිදු විය යුතු නොවේ.
    කවරාකාර හෝ හිංසනයකට ඔහු සෘජුව සම්බන්ධ නම් විනිවිදභාවයෙන් යුතු නීතිමය ක්‍රියාවලියක ඔහුට මුහුණ දෙන්නට සැලැස්වීම වෙනම කාරණයකි.

    උපුටා ගැනීම මහාචාර්ය ලියනගේ අමරකිර්තිහේ බ්ලොග් එකෙන් 

  • වසන්තය සසලවන සරත් කවි

    වසන්තය සසලවන සරත් කවි

    රනට රන් පත් සලා අවසන
    ගිමන් හරිනෙය තුරක් නිසලව

    සුළං හා ගිය හැලුණු රන්පත්
    දිරාපත් වී පසට යටවිය

    තරුව මළ කළු කුහරයක් බඳු
    මැරුණු ආලය පිටේ බැඳගෙන
    සෝක වනු පමණමද කාරිය
    සරත මියයන ඉමක ළබැඳිය

    කාත් කවුරුත් වැඩිය නොකියන
    ක්ෂුද්‍ර කවියකු ලියූ කවියක
    මෙ’පද සටහන් තිබී හමුවිය
    කහගැහී ගිය පොතක පිටුවක

    “මැකුණු පසු හිම
    ඉරට පවරා
    වසන්තේ මල් හදන කාරිය
    නවත්වන්නට මෙයයි කාලය
    අඳුරු අහසට අඬන කාරිය

    “සියල් දෑ කල් – නොකල් මියගිය
    ගොහොරු තෙත්බර පසට යටකර
    වසන්තය ගැන බලාහිඳුමයි
    තුරක, තණ පැලයක ද කාරිය!”

    මා කැමැති ම ඍතුව කුමක්දැ’යි කිසිවකු මගෙන් සරතයේ දී ඇසුවොත්, මා නිසැකව ම කියනු ඇත්තේ ‘මගේ ප්‍රියතම ඍතුව සරතය’ කියා ය. (මේ පැනය අසන ඍතුව අනුව මගේ පිළිතුර වෙනස් වන්නට ඇති ඉඩකඩ ඉතා ඉහළ බව මා අවංකවම කිවයුතු ය‍. එහෙත් ‘කැමැතිම ඍතුව ගිම්හානය’ යයි මා කිසිදාක කී බවක්නම් මට මතක නැත‍.)

    මා සරතයට ආසා කරන්නේ සරතය භවයක අවසානය සටහන් කරන නිසාවත්දැ’යි මම නොදනිමි‍‍. වසන්තේ පිපි මල්, ඵලවලට ඉඩදී මියගොසිනි. ඒ ඵල, පැසී – ඉදී මනුස්සයාගේ, සතා සතුන්ගේ හා මහපොළොවේ ජීවය බවට පත්ව මියගොසිනි‍‍. ඒ මල් ඵල හදන්නට වෙහෙස වූ හරිතප්‍රද බලාගාර තුරුපත්, සරාකල සිය ආයුකාලය අත්හැර අතු අගින් බසින්නේ නිකම් ම නොවේ. මහා සැණකෙළියක් මවමිනි. එය ගින්දර සැණකෙළියකි. ගිනිදළු වන් කහ-රතු-රඹ පත්, සමනොල කොලහලයක් සේ අතු අගින් බැස බිම විසිරෙන්නෝ ය.

    එකල්හි, තුර නිරුවත් වන්නී ය. එක් භවයක් අත්හරින්නී ය.
    ඊළඟට එන සිසිරය ඇය සියලු දුක් පීඩා මැද දරාගන්නී ය.
    සිසිර ඉම වසන්තය එන බව දෑ දන්නී ය‍.
    වසන්තය ආ විට කරන්නට ඇවැසි දෙය ද ඈ දන්නී ය.
    ඔව්, අලුත් භවයේ සළුපිලි ඇඳගැනීම ය.
    නැවතත් සරත කෙළවර ඒ භවය ද අත්හැරීම ය‍.
    ඊළඟ වසන්තයේ අලුත් භවයක් එනතුරු කල්බැලීම ය. සසර සක කරකැවීම ය.

    මා උපන්නේ ද සරාකල මිය යන නොවැම්බරයක ය‍‍. අවුරුද්දේ අන්ධකාර ම මාසය නොවැම්බරය යයි මේ අර්ධගෝලයේ මිනිස්සු කියති. එය වැරැදි නැත. සියල් කොළ රොඩු දිරූ පොළොව කළුවන් ය. සියල් පත් අත්හල තුරු ලතාවෝ කළු සොල්මන් අවතාර බඳු වන්නාහු ය. අහස කොපමණවත් හඬන්නට ඉන්නාක් මෙන් අන්ධකාර කළු පොරවාගෙන ය. අහසත් පොළොවත් අතරමැද සියල්ල අන්ධකාර ය.

    මා සරාසමයට ලාලසා වඩන්නේ ගින්දර සැණකෙලියකින් ඇරැඹී මරණය බඳු අන්ධකාරයකින් අවසන්වන බැවින්දැ යි මම නොදනිමි‍‍.
    භවය ඉවර කරන්නා වන සරාකලට ඇති මේ අද්භූත ආලය නිසාදෝ මා’තින් සරාකල්හි දී කවි වැනි මොනවා හෝ ලියැවෙයි. ඒ භවය අවසන් වූ විට මටමත් ඒවා අමතක වී යයි.

    එහෙත් මේ වසන්තයේ දී එසේ අමතක නොවූ සරත් කවියක් දෙකක් බෙදාගන්නට මට සිතේ.

    වැඩිම වුණොත් කවි දෙකකි.
    මේ ඉන් පළමුවැන්න යි.
    මේ සේයාරුවේ ඉන්නේ මේ කවියෙන් අමතන ‘ඈ’ නොවේ.
    මගේ ‘ඈ’ ය.
    මා දන්නා බොහෝ දෙන මගේ ‘ඈ’ ද දන්නා බැවින් ඊට වැඩි යමක් ‘ඈ’ ගැන නොකියමි.

    සනත් බාලසුරිය
  • මහන්සි නොවී ලාබෙට ගත හැකිද වීරත්වය – එක අපි මාරයි කියමුද?

    මහන්සි නොවී ලාබෙට ගත හැකිද වීරත්වය – එක අපි මාරයි කියමුද?

    පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය නිමිති කරගෙන කාදිනල් රඟ දැක්වූ දේශපාලන ජවනිකාවට අමතරව නන්දා මාලනී ගේ හඬින් එළි දැක්වූ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීම පිළිබඳ විරෝධය ගොනු කළ ගීතය කැපී පෙනෙන දෙවර්ෂ පූර්ණ අංගයක් බවට පත්වී තිබේ. සුනිල් ආරියරත්න, රෝහණ වීරසිංහ , නන්දා මාලනී යන මේ තුන් කට්ටුව පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගිය තැන ඊට යුක්තිය ඉටු නොවීම ප්‍රශ්න කර සිටින්නේ ප්‍රහාරය මතින් බොහෝ දේශපාලන වෙනස්කම් සිදුවී තිබෙන මොහොතකයි . මේ ගීතය පිළිබඳව සමාජ කතාබහේ පවතින්නේ පාස්කු ප්‍රහාරයෙන් අහිමි වෙච්ච අහිංසක ජීවිත වලට නීතිය සාධාරණය ඉෂ්ට නොවීම පිළිබඳව ආණ්ඩුවට එරෙහි විරෝධය නන්දාමාලනි ගීතයකට ගොනු කර ඇතැයි යන්නයි. නමුත් මෙම ගීතය නිර්මාණය වෙන්නේ ඉහත තුන් කට්ටුවේ උවමනාවකට නොව කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රය මැදිහත්ව මැල්කම් කාදිනල් රංජිත්ගේ උවමනාව වෙනුවෙනි.

    මේ දෙවර්ෂ පූර්ණය සමරනු වස් නිර්මාණය කළ ගීතයට මැදිහත් වු කලාකරුවන් පිළිබඳව වීරත්වයෙන් මෙන්ම, විවේචනාත්මකවද කරුණු ඉදිරිපත් වෙමින් තිබේ. මෑත ඉතිහාසය තුළ දර්ගා ගිනි තැබීමේ සිට පාස්කු ප්‍රහාරය දක්වා සිදු වූ ගිනිතැබීම්, අවිලීම්, තැලීම්, පොඩි වීම්, වලට එරෙහිව පැන නැගුණු විරෝධය තුළ සිටියේ කවුරුද …………. ඒ ගැන සිතා බලන්නට ඉඩ තබමින්. පහත සටහන තබමි .

    යුක්තිය වෙනුවෙන්

    දිව්‍ය පූජා යාගයට ආ බැති මතුන්
    කැටුව ආ මව්පියන් දරුවන් අහිමි වී
    සදා සෝගිනි කඳක දැවෙමින් වැලපෙමින්
    රටම අන්දය ගොළුය බිහිරිය මන්ද ඒ

    කොහිද යුක්තිය…
    කොහිද ධර්මය…
    කොහිද නීතිය විමසනූ…

    අන්තවාදී අධම නොමිනිස් කැලකගේ
    මානසික බල වියරුවේදී ගොදුරුවූ
    අහින්සකයන් නාමයෙන් ඇස් හැර බලව්‍
    දඬුවමක් විඳ ඇද්ද කිසිවෙක් ඔවුන්ගෙන්

    කොහිද යුක්තිය…
    කොහිද ධර්මය…
    කොහිද නීතිය විමසනූ…

    සුසානය මැද සොහාන් කඳු මත වැලපෙතී
    ස්වාමිවරු සිය බිරිඳ දරුවන් අහිමි වූ
    කුරුරි ඝාතක කැලම නිදහස් සුව විඳී
    නොලැබ දඬුවම් රටට පිටුපා සිනාසී

    කොහිද යුක්තිය…
    කොහිද ධර්මය…
    කොහිද නීතිය විමසනූ…

    නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින්
    ඇවිද යමු අපි නැගෙන බාදක බිඳලමින්
    පිබිද එමු අපි දෙව් මැදුරුවල අළු මතින්
    අවිදිවෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්

    කොහිද යුක්තිය…
    කොහිද ධර්මය…
    කොහිද නීතිය විමසනූ…

    රෝහණ වීරසිංහගේ youtube නාලිකාවේ මේ ගීතය පළකර තිබෙන තැන ගීතයට යටින් තිබෙන ගීතයේ රස විඳි අයගේ අදහස් කියවා බලද්දි (ජාතියක් අවධිකල ජාතියේ පිනට පහළ වූ අම්මා… මේ තාක් ඔබට හොද කිව්ව අපේ රටේ මිනිස්සු හෙට සිට තමන්ගේ දේශපාලන වහල් බව නිසා මඩ ගසන්න පටන් ගනී.. මේ මහා දිරිය කාන්තාව රැක ගැනීම අපේ යුතුකමයි. “යුක්තිය වෙනුවෙන් ” ගීතයට යටින් පළකර තිබූ අදහසකි ) නන්දා මාලනී සමාජයේ වැජඹෙන තැන සහ නන්දා මාලනී පිළිබඳව සමාජය හිතාගෙන ඉන්න දේ වටහාගන්න පුළුවන්. ලංකාවේ නූතන විරෝධාකල්ප ගීත ඉතිහාසයේ ආරම්භය ජනතා විමුක්ති පෙරමුණේ ” විමුක්ති ගී “ඉතිහාසය කීම වරදක් නොවේ. මෙන්න මේ ආභාෂය ඇතුලේ, පැවැති දේශපාලන සන්දර්භය තුළ, එකල පැවැති ජනතා විරෝධය ද හොඳ හැටි හඳුනාගෙන ” පවන “නිර්මාණ එකතුව තුලින් ආණ්ඩු විරෝධී ලේබලය ද සමගින් ජනගත වෙන නන්දා මාලනී, රෝහණ වීරසිංහ, සුනිල් ආරියරත්න ගොඩනගා ගන්නා සිවිල් සමාජ බලයේ අත්තිවාරම සැකසෙන්නේ එතනය. ඒ අනුව ඔවුන් ජනතාවාදී කලාකරුවන් ලෙස ද අභිෂේක ලැබීය .

    පහත ඇත්තේ නන්දා මාලනී ,රෝහණ වීරසිංහ, සුනිල් ආරියරත්න එකතුව කළ “රට කරවන්ට නම්.. ” ගි නිර්මාණයේ පද කීපයකි.

    පවරා සිංහරාජය ලී මෝළකට…
    දුන්හිඳ ඇල්ල හරවා ජල විදුළියට…
    සමනළ කන්ද බදු දෙමු හෝටලයකට…

    මේ පද වලින් කියවෙන සියල්ල අද සිදුවී හමාරය. සිංහරාජය බේරාගැනීමේ යුද්ධයක පැවති සහ පවතින ආණ්ඩු සමඟ රටේ මිනිස්සු පොර බදමින් සිටී . නමුත් මේ ජනතාවාදී නිර්මාණකරුවන් කිසිවෙකුත් එම අරගල තුල දායකයෝ නොවෙති. ඔවුන් සිටියේ සිංහරාජයේ සමනල කන්දේ හෝටන්තැන්නේ ඝාතකයන් සමඟ හෝ එසේත් නොමැති නම් මේ සිදුවන දේවල් නොදැක්කා සේ ය .මේසේ පවසන විට කෙනෙකුට මා ප්‍රශ්න කළ හැකිය කලාකරුවෝ උද්ඝෝෂකයෝ නොවෙයි, ඔවුන් වෙනත් මාධ්‍යයකින් ජනතාව අවදි කරවන්නන් කියා. නමුත් ජනතාවාදී ලේබලය අලවන් පැමිණ ජනතාව නානු කරන වංචාවට එරෙහි විය යුතුය .

    අපට මේ පිළිබදව මෙසේ කතා කරන්නට සිදුවන්නේ සමාජයට පෙන්වන සුචරිත වෙස් මුහුණට ඔවුන්ගේ සැබෑ මුහුණ වැසී තිබීම හේතුවෙනි. “යුක්තිය වෙනුවෙන් ” ගීතය නන්දා මාලනී ගායනා නොකර යම් හෙයකින් ඒ ගීතය ගායනා කළා නම් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් බවට පත්වී සිටින ජනතාව සමාජය මිට වඩා කම්පනයට පත් කරන්නට ඉඩ තිබුණි. පාස්කු ප්‍රහාරය ජනප්‍රිය මාතෘකාවක් බවට පත් කරගෙන සිටින කාදිනල් වරයාට ඒ වෙනුවෙන් නිර්මාණය කරන ගීතය යුක්තිය ඉල්ලා ජනතාව පෙළ ගැසෙන ප්‍රබල ගීතයක් කරනවාට වඩා ජනප්‍රිය ගීතයක් බවට පත්කරන්නට උවමනා වී තිබෙන්නට ඇති. ඒ නිසා මේ සිවිල් සමාජ බලයක් නිර්මාණය කරගෙන සිටින නිර්මාණකරුවන් තිදෙනා ඊට දායක කරගත්තා යැයි අපට අනුමාන කිරීමට ද හැකියි.

    මේ බොහොමයක් ජනතාවාදී කලාකරුවන් පිළිබඳව සමාජය දැන සිටින දේත් ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ පවතින්නේ විශාල පරතරයකයි . කල දුටු කල වල ඉහ ගන්නට පෙළඹෙන මොවුන් කල් යල් බලා පැමිණ ඛේදවාචක මතින් ප්‍රතිරූප ගොඩ නගා ගන්නවා මිස පොදු ජනතාවට ඔවුන්ගේ පිහිට උදව් අවශ්‍ය වන විට සක්‍රීයව එතන මැදිහත් නොවේ. අපට මොවුන්ගේ භාවිතාවන් තුළින් හමු වී තිබෙන්නේ සමාජ දේශපාලන අගාධයක් නිර්මාණය කර ඇති රට තුළ ඒවා නිර්මාණය කරන්නට සියලු යටිතල පහසුකම් නිර්මාණය කළ දේශපාලන බලවේග වලට එරෙහි නොවී එහි පැවැත්ම සඳහා දායකත්වය සපයපු අත්දැකීම්ය.

    මේ ගීතයේ පද අතර පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවන් මඟ හරින, ඒ මතින් දේශපාලන වාසි ලබන, සත්‍ය හෙළි නොකර, නීතිය එහාට මෙහාට වනන දේශපාලන අධිකාරියට දැනෙන කිසිවක් නොමැත. නමුත් පාස්කු ප්‍රහාරය හේතු කරගෙන මතුවුණ මුස්ලිම් විරෝධී ආකල්පය තව දුරටත් නොනසා පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන වාක්‍ය කාණ්ඩ කිහිපය ඇතුළත් කරන්නට සුනිල් ආරියරත්න වගබලාගෙන තිබේ .

    අන්තවාදී අධම නොමිනිස් කැලකගේ
    මානසික බල වියරුවේදී ගොදුරුවූ
    අහින්සකයන් නාමයෙන් ඇස් හැර බලවු
    දඬුවමක් විඳ ඇද්ද කිසිවෙක් ඔවුන්ගෙන්

    දෙමළාට විරෝධය එල්ල කරන විට සිංහල සමාජය භාවිතා කරන පොදු වචනය තමයි බෙදුම්වාදීයා , ත්‍රස්තවාදියා අයන්න, මුසල්මානුවාට එරෙහිව සිංහල සමාජය අන්තවාදීයා භාවිතා කරන අතර මරාගෙන මැරෙන මුස්ලිම් ජාතිකයන් මානසික ලෙඩුන් බව පැවසීම ලෝක මතයද පවතින්නකි. මරාගෙන මැරෙන මුස්ලිම් ජාතිකයන් ස්වර්ගයේදී කන්‍යාවන් බලාපොරොත්තු වීම කියන එක ජනප්‍රිය කතාවක් ඒ හා බැඳුණු විඤ්ඤාණය මානසික ලෙඩක් ලෙස අර්ථ නිරූපණය කරන්න යොදාගනු ලබයි. සුනිල් ආරියරත්න බොහෝ අවස්ථාවල දී භාෂාව තමන්ගේ උවමනාව වෙනුවෙන් යොදාගත් උදාහරණ අපට තියනවා . ඔහු අතින් ලියැවෙන රට කරවන්නනම් ගීතයේන් ඔහු නියෝජනය කරන සුභාවිත ගීතය ඉහළින් තියා බයිලා ගීතය ඊට යටත් කළ හැටි පහත පද පෙළ හොඳින් කියවන විට වැටහෙයි. බයිලා යනු විනාශකාරී කලා මාධ්‍යයක් බව ඉන් හැඟවෙයි.

    දළදා මැදුර අධිකව මිල කළ හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සීගිරිය
    සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය

    භාෂා ප්‍රයෝග තුළින් දෙමළාව යටත් කළ හැටි පහත පද පෙළෙන් අපූරුවට විග්‍රහ කරගත හැකිය.

    බමුණා උනත් දුදනෙක් නම් බිම හොවනු
    සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු

    පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොකිරීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩ නැගුණු විරෝධය මීට වඩා ප්‍රබලය. ගීතයෙන්ම වචන කිහිපයක් ගෙන ගීතය පිලිබඳ පවසන්නේ නම් එය ” වංචනික රස මුසු බස් ” පවසිමක් පමණි.

    ක්ෂුද්‍ර මූල්‍ය ණය මාපියාව හේතුවෙන් රටේ විවිධ පළාත් වල මිය ගිහින් තිබෙන කාන්තාවන් ප්‍රමාණය නිල දත්තවලට අනුව දෙසීයකටමදක් වැඩි වුනත් මෙහි ඇත්ත මරණ ප්‍රමාණය වැඩිය. මෙම ජාවාරමට හසුවී තිබෙන දුගී දුප්පත් අසරණ පවුල් ප්‍රමාණය ලක්ෂ 25කට වඩා වැඩිය. මේ වර්තමාන ආණ්ඩුව බලය ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අයව පාවිච්චි කළා පමණක් නොව ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයේ සිරවී සිටින මිනිසුන්වද තවත් බොහෝ සමාජ ගැටලු ද පාවිච්චි කර බලයට පැමිණියේය . ඒවා බලය ලබා ගැනීම වෙනුවෙන් මිනිස්සුන්ට කළ වංචා ය. නමුත් මේ ජනතාවාදී කිසිවෙක් මේ වංචා වලට එරෙහි වන්නේ නැත. ජනප්‍රිය නැති ශුද්ධ මූල්‍ය ණය අහෝසි කරන්නට ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණ වලට දායකත්වය සපයමින් මේ අසාදරණයට පත් මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්නට අවශ්‍ය කරන ශක්තිය සපයන්නේ නැත. රාජ්‍ය ප්‍රතිපත්ති වල පවතින වැරදි හේතුවෙන් මතුව ඇති අලි මිනිස් ගැටුම් අවම කිරීම සඳහා වන රක්ෂිත නම් කිරීමට ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණ වලට මේ ජනතාවාදීන් සහයෝගය දක්වන්නේ නැත. ඒ උපවාස ළඟ නිදි මරන්නේ නැත.

    අපට මොවුන් පිළිබඳව පෞද්ගලික තරහ නොමැත. නමුත් ඔවුන් සමාජ අර්බුද දේශපාලන උවමනාවන් වෙනුවෙන් නිර්මාණය කළ ඛේදවාචක මතට හදිස්සියේ පැමිණ කරන රඟපෑම දිරවන්නේ නැත. එසේම මෙවැනි සිදුවීම් අරුමපුදුම නොවන බවත්, ජනතාව විශ්වාසය තබා සිටියි බලවේග සංවිධාන දියවෙමින් දියාරු වෙමින් යන තත්ත්වයක් තුළ අවදි කරන විට නැගිට ඇවිත් තමන්ගේ නොවන අනුන්ගේ උවමනාවකට පෙනී සිට නික්ම යෑම සාමාන්‍ය දෙයකි.

    කළා කරුවණනී
    ————–
    රචකයාණනි
    ජාතිවාදයෙන්
    මරාගන්න හැටි
    බලාන ඉන්න

    මැරුණු එවුන්ගේ ලේ
    පන් හිඳට ගෙන
    ගීතයක් ලියන්න

    වදකයාණනි
    ආගම්වාදීන්
    ගිනි තියනා හැටි
    බලාන ඉන්න

    ගින්න මැදින් එන
    අදෝනාව ගෙන
    කනට මිහිරි
    සංගීත තනුව ගොතන්න

    ගයකයණනි
    පාලූ ලොවේ ඔබ තනිවෙලා ඉන්න
    ජාතිවාදයේ ගිනි නිවුනට පසු
    මළවුන්ගේ මිනි වැලලූ පසු
    මියුරු හඩින්
    උන් වෙනුවෙන්
    දුක් ගීය ගයන්න
    ජාතික සමගියේ
    අරුත් කියා දෙන්න

    (හිල්මි සුපුන් – නයිස් කෑවා මතක නැතිලු කාව්‍ය සංග්‍රහයේ කවියක්)

     

  • මිස්ට මං මතකයිද ? Miss Can You Remember me ?

    මිස්ට මං මතකයිද ? Miss Can You Remember me ?

    පවන් ශාමිකගේ කවියක් ඇසුරු කරගෙන, සංජීව සෙනෙවිරත්න ඇතුළු පිරිස ඒ කවිය වෙනම art එහෙකින් අපි අතරට ගෙනත් තියෙනවා. වෙනස් විදිහකට. එකම විදිහ නැතුව වෙනස් විදිහකට හමුවෙද්දි ඒකෙන් අපිට අලුත් ආශ්වාදයක් ලැබෙනවා නම් පරණ විදිහ වෙනස් කලාට අවුලක් නැහැ. කවි කියන එක දැන් අලුත් වැඩක්. හැබැයි හැමෝම ඒක එකම විදිහට කියද්දී කොච්චර රහ තිබුනත් කිසිම වෙනසක් නැති එකක් නිසා ආපසු අහන්න තරම් උවමනාවක් ඇති වෙන්නේ නැහැ.

    එකෙක් බඩවියත රැක ගන්න කරන්නම දෙයක් නැති හින්දා පොල් රොටියි ඌරු මස් හොද්දකුයි හදාගෙන පාර අයිනේ තියාගෙන විකුනනවා. ඒක අලුත් වැඩක් කියල දැනිච්ච නිසා මිනිස්සු වටවෙලා පලවෙනි දවසේ ඒක අරගෙන කෑවා . රහ ගුණ ගැන නෙමෙයි පලවෙනි දවසෙ හිතුවේ පාරේ තියන් පොල් රොටියි ඌරු මස් හොදියි විකුණන එක පළවෙනි දවසේ අලුත් වැඩක්. හැබැයි පහුවෙනිදා රටේම එවුන් ඌරු මස් හොදියි පොල් රොටියි පාර අයිනේ තියන් විකුණන්න පටන් ගන්නවා. එකෙක්ටවත් බිස්නස් නෑ. මොකද ගන්න එකෙක් නෑ. හැමෝම වූ වෙළෙන්දෝ වෙලා , පාරිභෝගිකයෝ නැතිවෙලා. ඒ හින්දා හැමෝටම කෙලවෙනවා. සතියක් දෙකක් යද්දි පොල් රොටියි ඌරු මසුයි පාරේ තියන් විකුණන එක කාටවත්ම අදාල නැති වෙනවා.

    ඒ වගේ තමයි සංජීව මේ විදිහට ආයෙ මේ වැඩේ කරන්න එපා. වෙනස් විදිහකට කරපං මචං.. හෙට අනිද්දා වෙද්දී ඔය විදිහ තව උන් ගොඩක් කරයි. ආයෙත් කියනවා මේක පට්ට. හැබැයි මේ විදිහට අයෙත් කරන්න එපා . කාලය අරන් හෙමිහිට වෙන විදිහකට ආයෙ අලුත් වෙලා වරෙන් …..

  • ධනවාදය

    ධනවාදය

    දිගින් දිගටම හමුවෙන නිමිති – ගත වූ පැය 24 තුළ මහාරාෂ්ට ප්රාන්තයෙන් කොවිඩ් අසාදිතයින් 66,836 දෙනෙකු වාර්තා වී ඇති අතර 773 දෙනෙකු එම කාලය තුළ මිය ගොස් ඇත. ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇත්තේ, ඔක්සිජන් පහසුකම් නොමැති වීමෙනි. සමස්ත ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 3 32,730 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්යාව 2,263 කි.

    ධනවාදය

    යුද ටැංකි ද
    ඈතට විදිය හැකි මිසයිල ද
    වෙඩි උණ්ඩ ද
    පුහුණු කළ සොල්දාදුවන් ද
    රටවල් අල්ලා ගැනීම සඳහා හොඳ සැලසුම් ද
    නිර්මාණය කර
    යුද උපකරණ
    ගොඩ ගසා ගත්හ
    ඔවුන්
    හදිසි අවස්ථාවක පාවිච්චිය සඳහා
    එකම ගිලන් ඇඳක් වත් ගොඩ ගසා නොගත්හ

  • කඩා දැමූ යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය යළි විවෘත කරයි!

    කඩා දැමූ යාපනය විශ්ව විද්‍යාලයේ ස්මාරකය යළි විවෘත කරයි!

    විශ්ව විද්‍යාල පාලනයේ අනුදැනුම ඇතිව පසුගිය ජනවාරි 8 දින ආරක්ෂක අංශ විසින් මැදිහත්ව විනාශ කළ යාපන විශ්ව විද්‍යාලයේ ස්මාරකය නැවත ඉදි කිරීමෙන් පසුව විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය විසින් අද (23) පෙරවරුවේ විවෘත කරනු ලැබිණි.

    යුද්දයෙන් මියගිය අය සිහිකිරීම සඳහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ඉදි කළ ස්මාරකය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවසරයක් තොරව ඉදි කළ බව චෝදනා කරමින් ආරක්ෂක රැකවල් මැද ඩෝසරයකින් කඉා විනාශ කළ අතර, විශ්ව විද්‍යාල පරිපාලනයේ අනුග්‍රහය ඇතිව එය නැවත ඉදිකිරීම ජනවාරි 15 වැනි දා ආරම්භ කෙරිණි.

  • කොළඹ යුගයේ කවිය ජනප්‍රිය අවධියේ අද වගේම පී බී අල්විස්ලත් ජනතා අත් අඩංගුවට පත් වෙලා තියෙනවා

    කොළඹ යුගයේ කවිය ජනප්‍රිය අවධියේ අද වගේම පී බී අල්විස්ලත් ජනතා අත් අඩංගුවට පත් වෙලා තියෙනවා

    ජන රැඟුම් මණ්ඩපය මිලානෝ සංවිධාන කමිටුව විසින් සංවිධානය කළ ගී රසවින්දන වැඩසටහන අප්‍රේල් 18 වන ඉරිදා ZOOM තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබුවා. මෙහි විචාරක කාර්ය භාරය සඳහා ආරාධනා ලැබ තිබුණේ ප්‍රවීණ කවියකු විචාරකයෙකු මෙන්ම දේශපාලන ක්‍රියාධරයෙකු වන ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නටයි.

    මේ වැඩසටහන් ප්‍රවේශය තුළ ඔහුගේ කරුණු දැක්වීමේදී ඔහු අවධාරණය කර සිටියේ සම්ප්‍රදායික ගීත රසවින්දනයට වඩා ගීත විචාරයට මුල් තැනක් දීම වැදගත් බවයි. පහත පළ වන්නේ ඔහුගේ ප්‍රවේශයෙන් උපුටා ගත් සටහනයි

    සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ලකාවේ අපිට දැන් වෙලාව රාත්‍රී 7:30 පහු වෙලා තියෙන්නේ. ඉතාම ආදරයෙන්, ඉතාමත් කැමැත්තෙන් මට මේ වැඩසටහනට ආරාධනා කරද්දි ඒ ආරාධනාව බාරගත්තා. අද දිනේ මේ ගී රස වින්දන වැඩසටහනට කතා කරමු කියලා ඉතාලියෙන් යෝජනා කළ ගීත සහ මගේ පාර්ශවයෙන් ඉදිරිපත් කළ ගීත අනුව මම පූර්විකාවක් හදාගත්තා. මේ වැඩසටහනේ මුල්ම ගීතය “අහන් ඉන්න අහගෙන ඉන්න” ගීතය. ගීතය අපි අහමු. ගීත ගැන කතා කරමු. ඊට ප්‍රථම මං මේ වැඩසටහනට ආරම්භයක් ලෙස පදනමක් නිර්මාණය කර දෙන්න කැමතියි.

    90 දශකයේ පමණ ඉඳලා ලංකාවේ වේගයෙන් ජනප්‍රිය වෙන කලා මාධ්‍යය බවට පත්වෙලා තිබෙන්නේ ගීතය. ගීතය අනෙකුත් කලා මාධ්‍යයන් අභිබවා විශාල ජනතා කැමැත්තක් ආදරයක් ලබා ගන්නා අතරේ ඊට සමාන්තරව අපි දකින කාරණයක් තියෙනවා ඒ තමයි එහි සෞන්දර්ය සාධාරණත්වයට බරපතල ගැටලු ගණනාවක් එල්ල වී තිබෙන බව. මෙහිදී සැලකිලිමත් වෙන්න වෙනවා ගීතයේ ජනප්‍රියත්වයට සාපේක්ෂව එහි ගුණාත්මක වටිනාකම කොයි ප්‍රමාණයට ඉහළ ගිහින් තියෙනවද කියන එකට. ඒ පිළිබඳව නම් තියෙන්නෙ කම්පා සහගත තත්වයක්.

    අපි දැක්කා කොළඹ යුගයේ තරුණ කවීන් කවි රචනා කරන කාලයේ මේ දේ කවියටත් වුණා. 30 ,40 දශකයේ කවිය තමයි ජනප්‍රියම සාහිත්‍යය කලා මාධ්‍යය බවට පත් වෙලා තිබුනේ. මේ මම කියන්නේ කොළඹ යුගයේ කවිය පිළිබඳව. කොළඹ යුගයේ තරුණ ජනප්‍රියම කවියන් වන මීමන ප්‍රේමතිලක, විල්සන් හෑගොඩ, පී බී අල්විස් පෙරේරා, විමලරත්න කුමාරගම කවි සක්විත්තෝ වගේ වැජඹෙන, කාලේ ජනප්‍රිය චරිත බවට පත් වෙලා සිටියා. අද දවසේ පරාක්‍රම කොඩිතුවක්කු පාරේ ඇවිදගෙන ගියාට කාටවත් පරාක්‍රම කොඩිතුවක්කු අඳුනගන්න බැරි වෙනවා. නමුත් සමාජය ආර්ටිස්ලා කියලා හඳුන්වන ගායකයන්ට අඳුනගන්න පුළුවන් කමක් වර්තමාන සමාජයට තියෙනවා. ඒ අයට පාරේ බැහැල යන්නත් හරි අමාරුයි. මොකද ඒ අය හරි ජනප්‍රියයි. ඒ නිසා හැමෝගෙම අවධානය එයාලා වෙත යොමු වෙනවා. අද ඔය තියෙන තත්ත්වය ඒ කාලේ ඉසුලුවේ කොළඹ යුගයේ තරුණ කවියෝ. ඒ කාලේ පී බී අල්විස් පෙරේරාටත් පාරේ බැහැලා ඇවිදගෙන යන්න බැහැ. උස්සගෙන ගිහිල්ලා ගෙවල් වල අත්අඩංගුවට ගන්න තත්ත්වයක් තිබුණා. අත්සන් ලබා ගැනීම, සටහන් ලියා ගැනීම ජනතාව සිද්ධ කෙරුවෙ. මෙන්න මේ ඉහළම ජනප්‍රියත්වයක් ලබා ගන්නා මොහොතේදී එදත් සිද්ධ වෙච්ච දෙයක් තියෙනවා.

    ඒ තමයි කවියේ අන්තර්ගතය සහ සුවරූපය මාන්‍යයෙන් සෑම කලාකෘතියකම තියෙන අඩංගු දෙක තමයි ස්වරූප සහ අන්තර්ගතය කියන එක. හැම නිර්මාණයකම අන්තර්ගතයක් තියෙනවා. ඒ කියන්නේ අත්දැකීම, අරමුණ, තේමාව, දෘෂ්ටිය, ඒ කියනේ චින්තනය මේවා අපි හඳුන්වනවා අන්තර්ගත පාර්ශවය කියලා. ඊට පස්සේ අපි මේ අන්තර්ගතයට අයිති වෙන සියල්ල අයින් කරයි පස්සේ ඉතිරිවෙන කොටස තමයි සුරූපයට අයිති වෙන්නේ. ඒ ඒ මාධ්‍යට අනුව රූපය වෙනස් වෙනවා. ඉතින් මේ ජනප්‍රියම මොහොත උදාවන විට කවියේත් මේ අන්තර්ගත මය සහ සුව රූපමය පාර්ශවය දැඩි පරිහානියකට පත් වෙනවා.

    ඉතින් නිර්මාණයක් පිළිබඳව කතා බහ කරන්න යන අවස්ථාවේදී අපි මේ අන්තර්ගතයයි ස්වරූපය කියන දෙක දෙකට බෙදා ගත්තට නිර්මාණයක් ඇතුලෙ මේ දෙක ප්‍රතිබද්ධයි . සැබෑ කෘතියක් ඇතුලේ අපිට මේ දෙක ගලවන්න බැහැ. විචාරදී දෙපාර්ශවයට ගලවල අරන් කතා කළාට කෘති ඇතුලෙදි අපිට එක ගලවන්න බැහැ, මොකද අන්තර්ගතය ස්වරූපයට බලපානවා ස්වරූපය අන්තර්ගතයට බලපානවා. ඒ නිසා මේක හැමතිස්සෙම ඒකට තමයි තියෙන්නේ. මේක තමයි නිර්මාණයක දයලෙක්තික සම්බන්ධතාවය. මේ හැම කාලෙකදි ම සිද්ධ වුණේ මෙන්න මේ දයලෙක්තික අර්බුදයට නිර්මාණ ගමන් කිරීම.

    දැන් අපි මේ අද දවසේ ගීතය ගත්තත් මේක අපිට දකින්න පුළුවන්. වර්තමාන ගීත තුළ මේ අන්තර්ගතය කඩා වැටීම තියෙනවා. මං මේ කතා කරන්නේ පුද්ගලික කැරලි මත ඉඳගෙන නෙමෙයි. පොදු තලය පිළිබඳව. අපට බැහැර කරන්න බැහැ මේකට විරුද්ධව පුද්ගලික කැරලි තියෙනවා. ඒ වගේම විශේෂ දේවල් තියෙනවා. ඒ විශේෂ වූ දේවල් හැර අපි මේකේ පොදුවේ ගත්තොත් ගීතයේ අන්තර්ගතයයි ස්වරූපයයි දෙකම කාබාසිනියා වීමේ තත්ත්වයේ තියෙන්නේ.

    මේකට හේතුවක් ලෙස මම දකිනවා විචාරයේ කාර්යභාරය ප්‍රමාණවත් නැහැ කියලා. මේක ඇර තව හේතු තියෙනවා. අනිකුත් හේතුන් අතරෙත් ප්‍රධාන සාධකයක් තමයි මේ විචාරකයාගේ කාර්යභාරය. අපිට ඒ කාලේ සුචරිත ගම්ලත් හිටියා , සුචරිත ගම්ලත් ගීත රසවින්දනය කළේ නැහැ. ගීත විචාරය කළා. ඇත්තටම ගීත රසවින්දනය, විචාරය කියන්නේ දෙකක්. ඇත්තටම අපිට උවමනා ගීත රසවින්දනයකට වඩා ගීත විචාරයක්. මේ වැඩසටහානේදී වුණත් මම බලාපොරොත්තු වෙන්නේ ගීත රසවින්දනයක් කරනවට වඩා විචාරක මැදිහත්වීමක් කරන්න. අපි මහා විචාරකයෝ නොවුනත් අපට පුළුවන් ධාරිතාවෙන් මේ මොහොතට සාධාරණයක් ඉෂ්ට කරමින් විචාරයක් ඉදිරිපත් කරන එක තමයි වඩාත් ගැළපෙනදේ .

    බොහෝ ගීත රසවින්දන වැඩසටහන් වලදී අපි දකින්නේ පදාණු ගත අර්ථ උළුප්පා පැවසීම. නමුත් මම යෝජනා කරන්නේ නිර්මාණවල අන්තර්ගතය ස්වරූපය කියන දෙපාර්ශවයටම විහිදිලා කිමිදිලා බලන්න ඕන කියන අදහසයි . ඉතින් මම මේ වැඩසටහනට ප්‍රවේශ වෙන්නේ ඒ පදනමේ ඉඳගෙන.

  • අතේ තියන කඩුවෙන් විලි වහගන්න පුළුවන්ද සිංහයෙක්ට

    අතේ තියන කඩුවෙන් විලි වහගන්න පුළුවන්ද සිංහයෙක්ට

    “තැබෑරුමකට වරෙන් සිංහයෝ ”  නලින්ද සංජීව ලියනගේ කවියාගේ දෙවන කවි පොත ජනගත වෙන්නේ 2017 වර්ෂයේ දී. 2021 මාර්තු 27 වන දා කවියක් සමග සැන්දෑවක් කාව්‍ය විචාරාත්මක 18 වන zoom වැඩ සටහනේ කතාබහට බඳුන් කළේ ඉහත සඳහන් තැබෑරුමට වරෙන් සිංහයෝ නලින්ද සංජීව ලියනගේ ගේ කවි පිළිබඳවයි . මහින්ද සෙනරත් ගමගේ , අමිල යහලෙවල, නිසංසලා ගම්ලත්, රසික ශිරන්ත, වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි ආදී අය ඔවුන් ඔවුන්ගේ සමාජ දේශපාලන සංස්කෘතික භාෂා කාව්‍යමය හැදැරීම් ඇතුළේ සිට අදහස් ප්‍රකාශ කළා . මා හිතනවා එදා නලින්දගේ කවි පොත පිළිබඳව අදහස් දැක්වූ කිසිවෙක්ගේ අදහස් ප්‍රතික්ෂේප නොකර භාර ගැනීමට හැකි වන ආකාරයෙන් හැම අදහස් දැක්වීමක්ම නියම තැනට ඉලක්කගත වෙලා තිබුණා කියලා. මා මෙසේ පවසන්නේ සමහර සංවාද සාකච්ඡා අවස්ථාවලදී යොදාගත් මාතෘකාව හෝ සාකච්ඡාව පරිබාහිර කරමින් වෙනත් වල්-පල් සාකච්ඡාවට ගත් අවස්ථාවන් නිසා කාලය අපතේ යෑම් සිදු වීමේ අත්දැකීම් කිහිපයක්ම ලද හෙයිනි .

    මම කවිය පිළිබඳව හෝ වෙනත් සාහිත්‍යයක් පිළිබඳව විචාරකයෙක් නොවුනත් යම් සාහිත්‍ය කෘතියක් රසවිධ එය මගේ සීමාවේ සිට යම් යම් අවස්ථාවල දී ඒ පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම අනිකුත් සාහිත්‍යයට වඩා කවිය පිළිබඳව විශේෂ ඇල්මක් සහ උනන්දුවක් තිබෙන හෙයින්ම ඕනෑම කවියක් කියවීම මගේ පුරුද්දකි. ඒ අතරින් මට නලින්ද විශේෂ වන තැන් දෙකක් තිබෙනවා. පළමුවෙනි එක ඔහුව හරිහැටි හදුනන්නෙ නැති මොහොතක තැබෑරුමකට වරෙන් සිංහයෝ කාව්‍ය සංග්‍රහය එළි දක්වන අවස්ථාවට අදාලව විවර වෙබ් අඩවිය වෙනුවෙන් ඔහුගෙන් එ පිළිබඳව සාකච්ඡාවක් ගෙන පළ කිරීම. ඔහුගේ කවිය යලි මට දෙවන වතාවට හමුවන අවස්ථාව වන්නේ ” ඩිරෙක් මාකටින් ” කවියට අදාළ ප්‍රස්තුතයම ගෙන ගීතයක් 2020 වසරේ ජන ගතවීමත් මේ නිර්මාණ දෙක කතා කරන එකම සමාජ ප්‍රශ්නය පිළිබඳව නැවතත් විවර වෙබ් අඩවියට ලියන අවස්ථාව.

    මේ අවස්ථාව නලින්ද, නලින්ද ගේ කවිය සහ මම හමුවන තුන්වන අවස්ථාව. මගේ කියැවීමට අනුව “තැබෑරුමකට වරෙන් සිංහයෝ ” කවිපොත වැඩි බරක් තබන්නේ ඔහු ගන්න ප්‍රස්තුත දේශපාලන දෘෂ්ටි කෝණයකින් පාඨකයා වෙත ළඟා කිරීමටයි . විවිධ මාතෘකා ඔස්සේ ඔහුගේ කවි පොතට කවි 33 ක් ඇතුළත් කර තිබේ . ඉන් වැඩිමනක් සෞන්දර්යාත්මක ,දේශපාලන කවි වෙනවා පමණක් නොව ඍජු දේශපාලන ප්‍රකාශනද බවට පත්වෙනවා. මගේ පෞද්ගලික ප්‍රියමනාපයට අනුව මම දේශපාලන කවියට වඩාත් කැමති නිසාම මම නලින්දගේ කවියට කැමතියි . ඒ කැමැත්ත ප්‍රකාශ වෙන්නේ මේ නිද්‍රාශීලී සමාජය නලව නලව නිදි කරනවාට වඩා, හඬව හඬව දෙපරන්දස්සට ඔලුව ඔබනවට වඩා, හිත පාර පාර ,ඇඟිල්ලෙන් ඇන ඇන, ටොකු ඇන ඇන රිද්ද රිද්ද අවදියෙන් තියන්න පුළුවන් නම් හොඳයි කියලා මම සිතන නිසයි .

    “තැබෑරුමකට වරෙන් සිංහයෝ” හරහා නලින්දට එදේ කරන්න හැකියාව ලැබී තිබෙනවා . ඒ සඳහා ඔහුට ඉවහල් වෙන්න ඔහුගේ දේශපාලන භාවිතාව සහ ජීවන විලාශය .නලින්ද යනු කෙනෙකු ස්වර්ගයෙන් වැඩම කර මේ ලෝකෙ වෙනස් කිරීම කරන තෙක් බලා ඉන්න කෙනෙකු නොව ක්‍රියාකාරී මැදිහත් වීමෙන් මේ සමාජ ක්‍රමය වෙනස් කිරීම තුලින් මානව සංහතිය යහ පැවැත්ම තීරණය කළ හැකි බව විශ්වාස කරන කවියෙකි .

    අපි අපේ නෙමෙයි කියලා හිතන ප්‍රශ්න නලින්ද කවිය හරහා අපේ පැත්තට හරවල තිබෙනවා.අපට ඒ ගැන හිතන්න පෙළඹවීමක් කරන්න ඔහු සමත් වෙනවා. ඒ සදහා උදාහරණයක් ලෙස “ඩිරෙක්ට් මාකටින් ” , ” දියණිය සහ විදෙස්ගත පියා අතර හසුන් හුවමාරුව ” , “නායගිය දවසක උදෑසන” “ඇත්ත කතාවක්” වැනි කවි ගන්න පුළුවන්.

    පිටේ බැදන් කොම්පැණියෙන් දුන් හීන
    ලේන් එකේ දොර දොර යන මිතුරාණ
    පෙනේ දහදියෙන් කරවුණ කළු මූණ
    අතේ තිබෙන ආලේපෙන් සුදු නූණ

    ගදින් කිළිටි අඩුවක් නැති බෝඩිමට
    සමන් මලින් දවසක් පැන් ඉස කුමට
    මචන්,හුස්ම හිර වෙයි ඔය ටයි එකට
    වරෙන් දුමක් දානව නම් කාමරෙට

    “පවරා පවුලෙ සුක්කානම මගෙ අතට
    වැටුණා තාත්තා කුණු ලොරියෙන් බිමට
    බිඳුණා මැටි පහන බය වී කළුවරට
    දිව්වා ගණ දෙවිඳු පොත් මේසෙන් දුරට”

    උඹ කී කතා මුහු වෙයි සිගරැට් දුමට
    නොකියූ මගේ තතු වෙනසක් නැත දැනට
    නොකිපී දොරින් පිටමන් කල නුවරුනට
    හිනැහී යලිත් යන හැටි ඊලග දොරට

    එන්න එන්න සැඩ වෙයි ජල කඳ ඉහල
    එකම ඔරුවෙ අපි පාවෙනවා පහල
    දියට වීසි කොට කමකට නැති හබල
    ගිලෙමු,නැතොත් පිහිනමු ඉවුරට නිසල

    “තැබෑරුමකට වරෙන් සිංහයෝ” හි හමුවන ” ගසක් , ඇතැම් සැඳෑ වල අහසද කලාගාරයකි, කසළ චක්‍රය ” වැනි කවි නැවත නැවත කියවන්නට සහ ඒ ඔස්සේ හිතන්නට අර්තමාන ගණනාවක්ම හංගා තබ න්නට ඒ හරහා කවිය කියවන්න කුතුහලයට පත් කරමින් ඒ වෙනස් වෙනස් මානයන් ගැන යළි යළි සිතන්නට පොළඹවන්නට ඔහු මේ කවි තුළින් සමත් වී තිබෙන බව මට හැඟෙන්නේ ඒ අවුලේ පැටලුම් කරුවෙක් වන්නට මට සිදු වූ නිසයි. මා සිත් ගත් කවි අතර “ගසක් ” කවිය ඉතා අපූර්ව කවියකි. එම කවියේ වඩා අපූර්ව තැන ලෙස මට හමුවන්නේ,

    මිදුණු පසු
    අවසාන එලයද තුරුලින්
    පක්ෂියකු හෝ
    නොඑන වග දනී මැනවින්
    මගේ යැයි මගේ යැයි
    රණ්ඩු වෙන පොඩි උන්
    කොහේ නම් ඉඳීවිද
    තව නොබෝ දිනකින්

    “මගේ යැයි මගේ යැයි රණ්ඩු වෙන පොඩි උන් කොහේ නම් ඉඳීවිද තව නොබෝ දිනකින් “ දරුවන් ලොකු මහත් වන විට බොහෝ දෙමව්පියන් ගේ මුවින් පිටවෙන දෙබසක්ය මේ . දරුවන් දෙතුන් දෙනා ඉන්න පවුල් වල දෙමව්පියන්ව බෙදාගන්නට දරුවන් රණ්ඩු කරනවා. එකිනෙකාගෙන් ඇහුවොත් ලොකු වෙලා මොකද කරන්නේ කියලා බොහෝවිට දරුවෝ කියන්නේ අපි අම්මව තාත්තව දාලා යන්නේ නැහැ කියලා. නමුත් කලාතුරකින් හැර ඒක එහෙම වෙන්නේ නැහැ. දරුවන්ට දෙමව්පියන් හැර යන්න වෙනවා. දෙමව්පියන්ට නිසි කල ආ විට දරුවන්ව අතහරින්න වෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ මොහොතේදී පිටතට නොපෙන්නුවත් වඩා දුක්ඛිත අපහසුතාවයට පත් වන්නේ දෙමව්පියන් . ඒ තමන්ගේ දරුවන්ගෙන් වෙන්වෙන්න සිදුවීම එහෙම නැත්නම් ඔවුන්ට ඔවුන් හැර යන්නට සිදු වීම කියන වෙන්වීමේ සිදුවීම මුල්කරගෙන. ගසක් කිසිවක් ම බලාපොරොත්තු නොවෙයි. තමන්ට දෙන්න පුළුවන් උපරිම දේ අනෙකාට ලබාදෙන සොබාදහමේ අපූර්ව නිර්මාණයකි ගස . එල පිරී තිබෙන විට හැමෝම එක්රොක්වී එල භුක්ති විඳින අතර මල් පිරී තිබෙන විට හැමෝම ඉන් හැකි ඵල ප්‍රයෝජන ගෙන නෙතින් ලස්සන විඳ ගන්න අතර කිසිවක් ම නැති වන විට ඒ හැමෝම ගස අතහැර යනවා. ගසක් නම් කවිය තුළ මා කම්පනය වෙනවා ස්ථානය එයයි . සමස්ත කවියෙන් වෙනමම කතාවක් කිව්වත්, මේ පුංචි පද කිහිපය මා කොටු කරන්නෙම ඉහත සංසිද්ධියට ය.

    කාව්‍යමය දුබලතා භාෂාමය අඩුපාඩු තිබුනත් අපි පොත හීන්සීරුවේ කියවන විට සිත තිගැස්මට පත්කරන කවි බොහොමයක් හමු වෙනවා. “ඇතැම් සැඳෑ වල අහසද කලාගාරයකි” මේ කවිය තුළින් කවියා අපට මොනවද කියන්නේ කියන එක වැදගත්, මේ කතාව බොහෝ කවියෝ අපිට කියලා තියෙනවා විවිධ විදිහට විවිධත්වයන් ගෙන්. නූතන ජීවිතය තුළ ජීවත් වෙනවා හැර වෙන කිසිවක් ම කර ගැනීමට වෙලාවක් වෙන්කර ගැනීමට අපට පුළුවන් කමක් නෑහැ. ඒ සඳහා වෙන් කරන්න කාලයකුත් අපිට නැහැ, මිනිහෙක් තමන් වෙනුවෙන් කළ යුතු සහ කරගත යුතු දේවල් එක දෙක හැර අනිත් කිසිවක් ම තමන් වෙත ළඟා කර ගන්න උත්සාහ කරන්නෙත් නැහැ මොකද මේ අපි ජීවත් වෙන අධි පරිභෝජනවාදී රටාව තුළ අපට ඉඩමක් ගෙයක් කාර් එකක් කනව බොනව කියන සීමිත අව ශ්‍යතාවයන් ටික සම්පූර්ණ කර ගන්න ට්‍රයි කරනවා මිස වෙන දෙයක් ගැන හිතන්න අවස්ථාවක් සලසා දී නැහැ. කලාව , රසවින්දනය , ක්‍රීඩාව ,විවේකය මේවා සීමිත කොටසකගේ වුවමනාවන් බවට පත්වෙලා . “ඇතැම් සැඳෑ වල අහසද කලාගාරයකි” කවිය මේ අවුල පිළිබඳව කතා කරන්න යොදාගත් අවස්ථාවක්

    පින්තාරු කොට වලා තීරයේ පින්තූර
    ප්‍රියාදරි යකට බාරදී තෙලිකුර
    ශිල්පියා කරපොවා බලනවා මහපාර
    රසිකයන් කීදෙනෙක් එනවා දැයි මේ පාර

    බස්රියේ දුම්රියේ තෙරපි තෙරපී යනෙන
    කුස්සියේ හාල් පොල් සිතින් යළි මැන බලන
    නහුතයක් අනාගත හීන සැලසුම්කරන
    ජනී ජනයා අතර කෝ එකෙක් උඩ බලන

    ඇත්තටම සමහර දවස් වලට අහසක් පොළොවක් තිබුනද කියලා මතක නැති වෙන තරමටම අපි කාර්යබහුල වෙනවා. කල්පනා කරලා බැලුවොත් අහස කළු ද සුදු ද කියල බලපු නැති දවස් ඕන තරම තියෙනවා.

    තැබෑරුමකට වරෙන් සිංහයෝ නලින්දගේ කාව්‍ය සංග්‍රහය අපට ඔහුගේ අනාගතය පිළිබඳ සංඥා ලබා දෙන කාව්‍ය සංග්‍රහයකි. නලින්ද ඉතිරි වී ඇත්තේ මහන්සි වී යා යුතු ඉදිරි ගමනක් මිස ආපස්සට ගමන් කිරීමක් නොවෙයි.

    නිල් වෙන්න කෑ පසුව
    අන්න අර දුම් නළෙන්
    කටක් හොල්ලන්නැතිව
    රණඹර ද පණ බයෙන්

    එබෙන්නට ගිය දිනක
    කොළොන්නාවට උඩින්
    මීතේන් වැදුණු සඳ
    ගැහෙනවලු කහ උණෙන්

    එතැන් සිට කතන්දර
    ඇසු නිසා හොඳවැයින්
    පණ නසාගෙන තැනක
    නොන්ජල් කඳු මුදුන්

    සිංහයෝ ඔන්න ඔය
    කඩුව තියලා බිමින්
    බදාගෙන අඩමු
    තැබෑරුමකට වරෙන්

    නලින්ද සංජීව ලියනගේ කවියා තැබෑරුමට අඩ ගහන්නේ අපි කවුරුත් දන්නා හඳුනන සිංහයාටය , මඳක් ඒ ගැන හිතලා බැලුවොත් ඒ මොකට දැයි ඔබට වැටහේවි, කෙසේ වෙතත් ඔය සිංහයාට නලින්ද ගේ එකදු කවියක් වත් විලි ලැජ්ජාවකින් තොරව කියවන්නට බැරි ය. නලින්ද අපිට පෙන්වන අවුල් වලට ඔය සිංහයා සෘජුව වගකිව යුතුය.

    හිල්මි සුපුන්

     

     

  • කලා වාරණය නවතනු – අදහස් ප්‍රකාශනයේ නිදහස සුරකිනු!

    කලා වාරණය නවතනු – අදහස් ප්‍රකාශනයේ නිදහස සුරකිනු!

    ආණ්ඩුව විසින් කලාකරුවන් මර්දනය කිරීමේ ක්‍රියාමාර්ග ගණනාවකට ඒරෙහිව හඬ නැගීමට අද වාමා ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදින් හා කලාකරුවන් පිරිසක් ඒකරාශි වුණා.
    ඒ ‘දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ප්‍රඥප්ති (ICCPR) පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ආදිය භාවිතා කරමින් සිදුවන මේ මර්දනයට එරෙහිව මෙම මාධය හමුවේදී අදහස් පළ කෙරුණා.
    විශේෂයෙන්ම මාලක දේවප්‍රිය, ශක්තික සත්කුමාර, අහ්නාෆ් ජෙසීම් යන කලාකරුවන් කවි ලිවීම, කෙටිකතා ලිවීම හා නාට්‍ය නිෂ්පාදනය පදනම් කරගෙන අත්අඩංගුවට ගැනීම මෙහිදී අවධානයට ගැණුනා.
    රම්සි රසීක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේත් රන්ජන් රාමනායක අධිකරණ අපහාස නීතිය යටතේත් දණ්ඩනයට ලක් කෙරෙනුයේ අදහස් ප්‍රකාශනය හේතුවෙනි.
    කලාකෘති නිර්මාණය කිරීම නිසා කලාකරුවන් මර්දනයට ලක් කිරීමට එරෙහි සමාජ බලයක් ගොඩ නැගීමේ ආරම්භක පියවර පිළිබඳ අද සාකච්ඡා විය. මේ එහිදී පළ කෙරුණු අදහස්….

  • නිධන් සොරෙකුට බිරිඳ කී කව..

    නිධන් සොරෙකුට බිරිඳ කී කව..

    මත්වී වැටෙන විට සඳ රැස් රැය පන්නා
    සුසුමක් හෙලා ගත දරදඬු වී උන්නා
    දහ අට රියන් පිළිමෙක සැතපී ඉන්නා
    මලසුන උඩට පුපුරා ලේ වැල් පැන්නා

    යකඩ මුගුරකින් ඇන ඇන ගැසුවාද
    හදවත හඬින් ඉකි බිඳ බිඳ හැඬුවාද
    ලේ නොව ,ගැලුව කරුණා ගුණ දුටුවාද
    අඩවන් දෙනෙත් යුග සදහට පියවීද

    හාමත් පුතුන් කුස බත සරි කරන්නට
    බුදු ළය පලා ලැබුනිද මිණි පළිඟු කැට
    මුව ගොළුවෙලා තනිවෙන හැම මොහොතකට
    හිත සෙල්මුවා වී තිබුණිද කියන් මට…

    චමිලා මැණික්ගමගේ