Category: corona

  • ඩෙල්ටා, ඉන්දියාවේ මොකද වුනේ – ලංකාවේ මොකද වෙන්නේ

    ඩෙල්ටා, ඉන්දියාවේ මොකද වුනේ – ලංකාවේ මොකද වෙන්නේ

    දිනෙන් දින උග්‍ර වන කොරෝනා වසංගතය හමුවේ දේශපාලන තීන්දු තීරණ ගනිමින් කරමින් පවතින ක්‍රියාව පිළිබඳව ආණ්ඩුවට දැඩි ලෙස විවේචන එල්ල වෙමින් පවතිනවා. ඉන්දියාව බරපතළ අපහසුතාවයකට පත්කළ ඩෙල්ටා ‍ප්‍රභේදය දැන් ලංකාව තුළ ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් තියෙන අතර මරණ අනුපාතය ද දිනපතා ඉහළ යමින් පවතිනවා. නමුත් මේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හමුවේ නාධිපතිවරයා ප්‍රමුඛ කොරෝනා කාර්ය සාධක බලකාය ගනු ලබන තීන්දු තීරණ රටටත් ජනතාවටත් හිතකර ඒවා නොව ඔවුන්ගේ දේශපාලන බල වුවමනාවන් වෙනුවෙන් නිර්මාණය කරන ඒවා බවට පත්වී තිබීම මෙන්ම පවතින සෞඛ්‍යය ගැටළුවට අදාළ විශේෂඥයින් ව ඉන් ඉවත දමා හමුදාව ප්‍රමුඛ ජනාධිපති වරයාගේ සැලසුම මේ තුළ ක්‍රියාත්මක කිරීම තුළ සිදුවී ඇත්තේ ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමටයි .

    කොරෝනා වසංගතය හමුවේ රට පත් වී ඇති තත්වය පිළිබඳවවෛද්‍ය ගිෂාන්ත දසනායක සමග කළ සාකච්ඡාව පහත පළවේ.

     

  • කොවිඩ් මරණ 5000 ඉක්මවයි

    කොවිඩ් මරණ 5000 ඉක්මවයි

    අද(7) වාර්තා කළ කෝවිඩ් මරණ 98ත් සමග ලංකාවේ වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව 5017 දක්වා ඉහළ ගොස් ඇත.

    සෞඛ්‍ය අංශ විසින් ඊයේ සනාථ කරගත් කෝවිඩ් රෝගි මරණ 98ක් මෙසේ සංඛ්‍යාලේඛනවලට එක්ව ඇත. එසේ මියගියවුන් ගෙන් 51ක් කාන්තාවන්ද 27ක් පිරිමින්ද වේ.

  • මේ සියල්ලටමත් වඩා අසීරු අභියෝගය එල්ල වන්නේ කලාපීය “ලොකු සහෝදරයා” වෙතිනි.

    මේ සියල්ලටමත් වඩා අසීරු අභියෝගය එල්ල වන්නේ කලාපීය “ලොකු සහෝදරයා” වෙතිනි.

    පරිසමාප්ත කුණාටුවක් යනු කුමක්ද? ස්ලේවෝයී ශිෂෙක් “වසංගතය! කොවිඩ්-19 ලොව සසල කරයි” (2020) කෘතියේදී මේ ගැන කතා කරයි. ඔහු පෙන්වා දෙන පරිදි, පරිසමාප්ත කුණාටුවක් නිර්මාණය වන්නේ විසම තත්ත්වයන්ගේ දුලබ ඒකාබද්ධ වීමක් මගිනි. ඔහු 1991 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ ඇති වූ එවන් කුණාටුවක් ගැන සඳහන් කරයි. කිහිප දිශාවකින් පැමිණි චණ්ඩ මාරුත කිහිපයක් එකිනෙක හා මුසු වීමෙන් නිර්මාණය වූ එම පරිසමාප්ත කුණාටුව වසර සිය ගණනකට පසුව ඇති වන ආකාරයේ එකක් විය. එම කුණාටුවට හසු වූ අන්ද්‍රය ගේල් නමැති කුඩා බෝට්ටුවක සිටි පිරිස මුහුණ දුන් ඉරණම මෙනෙහි කරන ශිෂෙක් පවසන්නේ වත්මන් කොරෝනා අර්බුධය තුළ යුරෝපය පත්ව ඇති තත්ත්වයද ඊට සමාන බවයි.

    මගේ අදහස නම් පරිසමාප්ත කුණාටුව පිළිබඳ ශිෂෙක්ගේ සදෘෂ්‍ය වඩා ගැලපෙන්නේ ශ්‍රී ලංකාවට බවයි. වත්මනෙහි ශ්‍රී ලංකාවට ඉහළ අහසේ චණ්ඩ මාරුත කිහිපයක් ගොණුවෙමින් තිබේ. ඒවා එකට මුසුවීමෙන් තැනෙන පරිසමාප්ත කුණාටුව දැන් ඇත්තේ ඇසට පෙනෙන නොපෙනෙන මානයේය. අප දැන් සිටින්නේ මෙතෙක් නොවූ විරූ ආකාරයේ සමාජ වියවුලක සහ ව්‍යසනයක මුවවිටය. නිදහසින් පසු මෙරට දේශපාලන ඉතිහාසය තුළ මහා අර්බුධ කිහිපයක් ඒකාබද්ධ වීමෙන් තැනෙන මෙවන් සමස්ත අර්බුධයක් අප අත්විඳ නැත. ඉදිරියේ එන එම පරිසමාප්ත කුණාටුවේ පෙර මග සලකුණු නොදකින කවර දේශපාලන විශ්ලේෂණයක් වුවත් දැන් ලියැවීමට පෙරම යල් පැන යාමට නියමිත ය.

    මාරුතයන් ඒකාබද්ධ වන සැටි

    ලාංකීය පරිසමාප්ත කුණාටුවට දායක වන එක් මාරුතයක් වන්නේ වසංගතය මගින් නිර්මාණය වූ සෞඛ්‍ය අර්බුධයයි. දෙවැන්න දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුධයයි. තෙවැන්න, වර්ධනය වන සමාජ පීඩනය සහ විසමතාව හමුවේ පැන නගින විරෝධතා දේශපාලනය කෙරෙහි එල්ල වන රාජ්‍ය මර්දනයත් එමගින් උග්‍ර වන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අර්බුධයත්ය. සිව්වැන්න, ගෝලීය සහ කලාපීය බල ගැටුමකට මැදි වීමෙන් නිර්මාණය වන රාජ්‍ය තාන්ත්‍රික අර්බුධයයි. මීට අමතරව පාරිසරික ව්‍යසනය, අධ්‍යාපන අර්බුධය සහ සමාජ-සංස්කෘතික අර්බුධ ගණනාවක්ද හඳුනාගත හැකිය. ආණ්ඩුවේ වත්මන් පොහොර ප්‍රතිපත්තිය මගින්ද උත්තේජනය කෙරෙන ආහාර අර්බුධයක් සහ සාගතයක් පවා ඇතැම්විට ඉදිරියේදී දැක ගන්නට ලැබෙනු ඇත.

    මේ අර්බුධ එකිනෙකින් වෙන්ව පවතී නම් ඒවායෙහි ව්‍යසනකාරී බලපෑම් කිසියම් දුරකට හෝ පාලනය කර ගන්නට හැකි වනු ඇත. නමුත්, වඩාත් භයානක කාරණය වන්නේ ඒවා එකිනෙක සමග අන්තර්ක්‍රියා කරමින්, එකට සංකලනය වෙමින් තනි ප්‍රචණ්ඩ කුණාටුවක් බවට පරිවර්තනය වෙමින් තිබීමයි. ඒ කවරාකාරයෙන්දැයි මදක් පරීක්ෂා කර බලමු.

    පළමුව, වසංගතයෙන් ජනිත වූ සෞඛ්‍ය අර්බුධයත් ආර්ථික අර්බුධයත් අතරැති සම්බන්ධතාව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන සියලුම ප්‍රධාන ආර්ථික අංශ වසංගතයේ ප්‍රහාරයට සෘජුවම ඉලක්ක වී තිබේ. විදේශගත ශ්‍රමිකයින්ගේ ඉපැයීම්, සංචාරක කර්මාන්තය, ඇඟලුම් කර්මාන්තය සහ වතු කෘෂිකර්මය යන සෑම අංශයක්ම දැන් මාස ගණනාවක් තිස්සේ අඩපණ වෙමින් තිබේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයද පවත්වාගෙන යන්නේ අසීරුවෙනි.

    පසුගිය අප්‍රේල් මාසයේ ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද නිරීක්ෂණ වාර්තාවකට අනුව 2020 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ මෙතෙක් වාර්තාගත ඉහළම සංකෝචනය සිදුව ඇත. රාජ්‍ය ආදායමේ පහළ යාමත් වියදම ඉහළ යාමත් එකවිට සිදු වීම නිසා මූල්‍ය හිඟතාව වර්ධනය වී තිබේ. මෙහි ප්‍රතිපලයක් ලෙස ණය මත රඳා පැවතීම තවදුරටත් ඉහළ ගොස් ඇත. මේ වසරේදී රාජ්‍ය සහ පුද්ගලික අංශවලින් ලබා ගත් ණය සමස්තයක් ලෙස දළ දේශීය නිෂ්පාදිතයෙන් 109.7% වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අතරම රනිල් වික්‍රමසිංහ තම පාර්ලිමේන්තු පුනරාගමනයෙන් පසුව කළ පළමු කතාවේදී පෙන්වා දුන් පරිදි විදේශ හුවමාරු සංචිත හිඟයකටද ශ්‍රී ලංකාව මුහුණ පා සිටී. සරලව, ඩොලර් හිඟයක් නිර්මාණය වී තිබේ. එබැවින්, ආනයන වියදම සැලකිය යුතු මට්ටමකින් අඩු කරගත නොහැකි වුව හොත් මෙරට විනිමය අනුපාතිකය තවදුරටත් පහත බසිනු ඇත. සරලව, දැනටමත් බාල්දු වී ඇති ශ්‍රී ලංකා රුපියල මස්තබාල්දු වනු ඇත. මෙය විසම චක්‍රයකි.

    ගෝලීය බල පොරය

    ඉහත කී ආර්ථික අර්බුධයේ මාරුතය ඔස්සේ ඉතාම වේගයෙන් අපව කලාපීය සහ ගෝලීය බල පොරයේ මාරුතයක් වෙතට ගසාගෙන යනු ලබයි. ශ්‍රී ලංකා දූපත පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදය සහ චීනය අතර ගොඩ නැගෙන ශීත යුද්ධයේ වඩාත්ම තීරණාත්මක කලාපය වන ඉන්දු-පැසිෆික් කලාපයේ මධ්‍යයේමය. එබැවින්, දැනටමත් මේ කලාපය තුළ දක්නට ලැබෙන්නේ ස්වකීය පාලනයට පරිබාහිරව පවතින බලවේගවල චණ්ඩ රළ පහරට ලක්ව ශ්‍රී ලංකාව නමැති අන්ද්‍රය ගේල් නෞකාව ඒ මේ අතට පැද්දෙන ස්වරූපයකි.

    දැන් එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව යන බලවතුන් තිදෙනාම ඔවුනගේ “වැක්සීන් රාජ්‍ය තාන්ත්‍රිකත්වය” ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. මේ සෑම බලවතෙක්ම වැක්සීන් රාජ්‍ය තාන්ත්‍රිකත්වය ක්‍රියාත්මක කරන්නේ තම භූ-දේශපාලනික අභිලාෂයන් පෙරදැරි කරගෙන බව රහසක් නොවේ. ඒ අතර, ආර්ථික අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතුය යන අදහස දැන් නව-ලිබරල් යහපාලනවාදී නායකයින් විවෘතවම ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. මීට සමගාමීව, චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් සැමරුමත් චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වන සැමරුමත් නිමිත්තෙන් රුපියල් දහසේ රන් සහ රිදී කාසි දෙකක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තේය. රටවල් අතර සබඳතාවලදී මෙවන් සංකේතාත්මක අභිනයන් ඉතාම වැදගත් ඇඟවීම් ඇති කරයි. බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර ඉහළ පෙළේ බැඳීම් ගොඩ නගාගෙන තිබෙන බව දැන් ඉතාම ප්‍රසිද්ධය. පසුගිය නොවැම්බර් මසදී මෙම පක්ෂ දෙක විසින් ආණ්ඩුකරණය සම්බන්ධයෙන් ඉහළ පෙළේ ඒකාබද්ධ සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය. එහිදී පක්ෂ දෙක අතර දිගුකාලීන ද්වි-පාක්ෂික සබඳතා ගැනද එකඟතාවලට එළඹී තිබේ. මෙය රාජ්‍යයන් දෙකක් අතර සබඳතාවකට වඩා පක්ෂ දෙකක් අතර ගොඩ නගා ගත් සබඳතාවක් බව සිහි තබා ගැනීම වටී.

    නමුත්, පොහොට්ටු පක්ෂ නායකත්වයේ චීන ලැදියාව කෙසේවත් සුමට ලෙස ක්‍රියාවට නැගිය හැක්කක් නොවේ. පළමුකොටම පක්ෂයේ නිල නොලත් නායකයා එක්සත් ජනපද පුරවැසියෙකි. දැන් මුදල් ඇමතිවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණ සිටින ඔහු හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ කල් ඇදෙන වසංගතය හමුවේ උග්‍ර වන ආර්ථික අර්බුධයේ හානිය හැකි තාක් සමනය කර ගැනීමය. එසේ කිරීමේදී ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය බරපතල ලෙස එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය මත රඳා පවතින බව ඔහුට කෙසේවත් නොතකා හැරිය නොහැකිය. ජී.එස්.පී ප්ලස් නැවත සලකා බැලීමේ සාකච්ජාව දැනටමත් ආරම්භ වී තිබේ. එසේම මෙරට විදේශ ආදායමට ප්‍රධාන දායකත්වයක් දක්වන විදේශගත ශ්‍රමිකයින් රැසක් සේවය කරන්නේ මැද පෙරදිග කලාපයේ බවද, රට තුළ මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස් කොට සැලකීම් එක්තරා දුරකට පසුව ආර්ථිකමය ප්‍රතිවිපාක ජනනය කළ හැකි බවද ඔහු දැන සිටිය යුතුය.

    කලාපීය බල පොරය

    මේ සියල්ලටමත් වඩා අසීරු අභියෝගය එල්ල වන්නේ කලාපීය “ලොකු සහෝදරයා” වෙතිනි. වත්මනෙහි ශ්‍රී ලංකාව සම්බන්ධ ඉන්දීය අභිලාෂයන් හැඩ ගැසීමට බලපාන ප්‍රධාන සාධක දෙකක් අඩු තරමින් පවතී. පළමුවැන්න, ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ජාතිකයින්ගේ දේශපාලන ගැටළුවයි. දෙවැන්න චීන සාධකයයි.

    පසුගිය ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් අති විශාල ජයග්‍රහණයක් ලබා ගත් එම්.කේ ස්ටාලින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිව මුණ ගැසෙන්නට ගිය පළමු ගමනේදීම ශ්‍රී ලංකාවට අදාළ ප්‍රශ්න කිහිපයක් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට සමානත්වය, යුක්තිය හා සාමය උදා වන විසඳුමක අවශ්‍යතාව ඔහු අවධාරණය කළේය; ඉන්දියාවට සංක්‍රමණය වන ලාංකීය දෙමළ ජනයාට ඉන්දීය පුරවැසිභාවය ලබා දිය යුතු බව පැවසීය; ඒ මදිවාට සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය නැවත ක්‍රියාවට නැගීම ගැනද කතා කළ ස්ටාලින් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට ලබා ගත යුතු යැයි පවසන තරම් දුරට ගියේය. දැනටමත් බරපතල ලෙස ජනප්‍රියත්වය පිරිහී ගොස් තිබෙන බී.ජේ.පී ආණ්ඩුවට තමිල්නාඩුවේ බලවත් ප්‍රාදේශීය නායකත්වයේ බලපෑම නොසලකා හැරිය හැකිද යන්න ප්‍රශ්නයකි. 2019 මහා මැතිවරණයට පෙර මෝඩිට තම ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට උදව් වූයේ බාහිර සාධකයකි. ඒ යළි ඇවිලුණු කාශ්මීර ගැටුමයි. ශ්‍රී ලංකාව ඇතැම්විට මීළඟ ඉන්දීය මැතිවරණයේ කාශ්මීරය වීමට ඉඩ තිබේ.

    කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳ ප්‍රශ්නයේදී ඉන්දියාව තම භූ-දේශපාලනික අභිලාෂයන් විවෘතව හෙළිදරව් කළාය. චීනයේ “තීරු සහ මාර්ග සමාරම්භකත්වයේ” (BRI) ප්‍රධාන තොටුපළක් වන හම්බන්තොට වරාය සහ කොළඹ මූල්‍ය නගරය මදිවාට දැන් උතුරේ දිවයින් කිහිපයක චීන ව්‍යාපෘතීන්ද ආරම්භ වී තිබීම ගැන කලාපීය බලවතා කලබලයට පත් වීම කිසිසේත්ම පුදුමයට කරුණක් නොවේ. එම බලවතා ඉන්දු-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද භූ-දේශපාලනික උපාය මාර්ගයේ ප්‍රධාන සහායකයෙකුද වූ විට ශ්‍රී ලංකාව මුහුණ දීමට යන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයේ බරපතලකම අපට සිතා ගත හැකිය.

    ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය සහ මර්දනකාරීත්වය

    ඉහත කී සියළු මාරුතයන් ඒකාග්‍ර කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය නමැති සුළි සුළඟ විසිනි. එක් අතකින් සෞඛ්‍ය අර්බුදයේ සහ ආර්ථික අර්බුදයේ ප්‍රතිපලයක් ලෙස පවතින පාලනය පිළිබඳ ජනතාවගේ කළකිරීම, විරෝධය සහ කෝපය උච්චස්ථානයට පත්වෙමින් තිබේ. ඒ සමග පාලනාධිකාරයේ සුජාතභාවය අර්බුදයට පත් වේ; ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීම් පෙරට ඒ. එම ඉල්ලීම්වලට විසඳුම් නොමැති වූ කල්හි පාලකයින් වඩ වඩාත් මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණ මත රඳා පවතින්නට පටන් ගනී. එම මර්දනකාරීත්වය විසින් පාලනාධිකාරය සේම ජනතාවද වේගයෙන් ගෝලීය සහ කලාපීය බල පොරයේ මාරුතය වෙතට ඇද දමනු ලබයි. එවිට ආර්ථික අර්බුදය විසින් නිර්මාණය කරන ලද විදේශීය පරායත්තතාවේ දේශපාලන ගම්‍යතා වඩාත් තීව්‍ර ලෙස මතු වන්නට පටන් ගනී.

    පසුගියදා ප්‍රජාතාන්ත්‍රික විරෝධයක නිරත වූ දුමින්ද නාගමුව සහ ජෝසෆ් ස්ටාලින් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් අනීතික ලෙස පොලිස් සහ හමුදා රැඳවුම් කඳවුරු තුළ තබා ගැනීමේ සමස්ත ජවනිකාවෙන් නිරූපනය වූයේ මෙයයි. මරා දැමූ කාකයෙකුගේ තට්ටක් එල්ලීමෙන් කාකයන් නිහඬ කළ හැකි යැයි පැවසූ ඇමතිවරයාගේ ආණ්ඩුවට ඉතාම ඉක්මණින් කාකයන් සහ මිනිසුන් අතර පවතින වෙනස දැක බලා ගන්නට ලැබිණ. වසංගත ලොක් ඩවුන් සමයෙන් පසුව නිර්මාණය වූ පුළුල්ම මහජන විරෝධයට එයින් මග විවර විය.

    දේශපාලන රැඳවුම් කඳවුරෙන් නිදහස ලබා පැමිණි විගසම දුමින්ද නාගමුව කදිම ප්‍රකාශයක් කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ රටේ ජනතාව යනුවෙන් යමක් පවතීය යන පාඩම මේ සිද්ධියෙන් ආණ්ඩුව ඉගෙන ගත යුතු බවය. දුමින්ද කියන පාඩමට එකතු කළ යුතු තවත් කොටසක් තිබේ යැයි මට හැඟේ. එනම්, මේ දූපතට පිටතින් ලෝකයක් පවතීය යන්නයි. දේශපාලන රැඳවියන් වෙනුවෙන් රට තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සමාන්තරව එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලය වෙතද මෙරට සිටින යුරෝපා සංගම් තානාපතිවරුන් වෙතද ප්‍රශ්නය රැගෙන යාමට විරෝධතාකරුවන් පියවර ගත්හ. ලංකා දූපත තුළ කොතරම් මර්දනකාරී පාලනයකට වුවත් ලොකු සෙල්ලම් දැමිය නොහැකි බව ඉක්මණින්ම යළිත් සනාථ විය.

    දුබල බවේ ආශීර්වාදය

    අවසන් වශයෙන් කිව යුත්තක් නම්, කොතරම් දරුණු කුණාටුවකට ලක් වුවද, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ මියන්මාරයක් කිරීම කිසිවෙකු සිතන තරම් පහසු කාර්යයක් නොවන බවයි. පළමුව, මෑතකදී විදර්ශන කන්නන්ගර සහෝදරයා පැවසූ පරිදි, මියන්මාරයේ මෙන් නොව ආසියා-අප්‍රිකා ලෝකයේ පැරණිතම නියෝජන ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ ප්‍රබල ප්‍රජාතාන්ත්‍රික මහජන සම්ප්‍රදායක් තිබේ. දෙවනුව, පවතින ජාත්‍යන්තර බල තුලනය තුළ ලෝකයේ විශාලතම ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයට සමීපයේ පවතින දුබල රටක් චීන හිතවාදී මියන්මාරයක් බවට පරිවර්තනය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

    තෙවනුව, මියන්මාරයේ තත්මදව් පාලනයට සම්බන්ධ පුද්ගලයින් 22 දෙනෙකුට සහ ඔවුනගේ පවුල්වලට අයත් එක්සත් ජනපද දේපළ සියල්ල රාජ සන්තක කිරීමට මෑතකදී ජෝ බයිඩන් පරිපාලනය පියවර ගත් බව ලංකාවේ පාලක පවුල නොදැන සිටිනවා විය නොහැකිය. චීන මාවතේ යා හැකි දුර කොතෙක්දැයි එයින් සලකුණු වේ. පාලක පවුලේ දේපළ ආරක්ෂාව රටක විදේශ ප්‍රතිපත්තිය සමග ගැට ගැසෙන තරමට ගෝලීය සහ ප්‍රාදේශීය සාධක අතර සංකලනයක් ඇති කරන්නට වත්මන් කුණාටු තත්ත්වය සමත්ව ඇත. සරදමකට මෙන්, දැන් ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ කොන්දේසියක් බවට පත්ව ඇත්තේ ජාත්‍යන්තර ක්‍රමය තුළ ශ්‍රී ලංකාවේ දුබල බව මිස ශක්තිමත් බවක් නොවේ.

    සුමිත් චාමින්ද
  • මෙය පැහැදිලිවම දේශපලන උවමනාවන් වෙනුවෙන් නිරෝදායන රෙගුලාසී අවභාවිතා කිරීමක්

    මෙය පැහැදිලිවම දේශපලන උවමනාවන් වෙනුවෙන් නිරෝදායන රෙගුලාසී අවභාවිතා කිරීමක්

    ආණ්ඩුව විසින් පසුගිය සතියේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන සිටියේ වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ නායකයින් ඇතුළු පිරිස නිදහස් කිරීමට බල කෙරෙන උද්ඝෝෂණයක් ජූලි මාසයේ 16 වැනිදා ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට පවත්වනු ලැබුවා. එහි වෙසෙන ප්‍රගතිශීලී ජනතාවගේ සහභාගිත්වයෙන් සිදු කළ මෙම උද්ඝෝෂණයට  සුවිස් ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ඉර්මා ස්ටැම්ප්ලි ද  සහභාගි වීම විශේෂත්වයකි. ඉර්මා ස්ටැම්ප්ලි  සුවිස් සමාජ ප්‍රාජාතන්ත්‍රවාදී පක්ෂයට සම්බන්ද සිවිල් සමාජ ක්‍රීයා කාරීනියක් සේම , සුවීට්සර්ලන්තයේ සරණාගතයින් සදහා වූ සහයෝගීතා කමීටුවේ ෆ්‍රවුන්පෙල්ඩ් නගර කන්ඩායම් නිර්මාතෘ වරිය..

    එහිදී  අදහස් දක්වමින් ඇය ඇගේ විරෝධය ශ්‍රී ලංකා රජයට එල්ල කළ අතර සිදුවෙමින් පවතින මෙම අනීතික ක්‍රියාවලිය විවේචනයට ද ලක් කරනු ලැබේ.  එහිදී ඇය මෙසේ පවසන ලදී

    මම ඉර්මා , සුවිස් වැසියෙක් . මට ලංකාවේ ජනතාව සමග විශේෂයෙන්ම   වෘත්තීය  සමීති ක්‍රීඩාකාරීන් සමග සම්බන්දතා තිබෙනවා.. “අද මේ අවස්තාවේදී ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් පැහැදිලි කල පරිදි.. ලංකාවේ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය උදෙසා පනතක් ආන්ඩුව ක්‍රියාවට නගමින් සිටිනවා.. ඊට විරුද්ධව   වෘත්තීය  සමීති සාමකාමීව පැවැත්වූ උද්ඝෝෂණයකදී , පොලීසිය වෘර්තීය සමීති ක්‍රීයා කාරීන්ව අතඩංගුවට ගන්නවා. උසාවිය විසින් ඇපලබා දුන්නද පොලීසිය ඔවුන්ව නැවත අත් අඩංගුවට ගන්නේ ” කොරෝනා නිරෝදායන විධිවිධාන “උල්ලංනය කලායැයි චෝදනා කරමින්.. මෙය පැහැදිලිවම “දේශපලන උවමනාවන් වෙනුවෙන් . කොරෝනා නිරෝදායන රෙගුලාසී අවභාවිතා කිරීමක්”

    ඒ නිසා අත් අඩංගුවටගත් වෘර්තීය සමීති ක්‍රීයාකාරීන්ට අපි අපේ සහාය පලකරන අතරම ” ඔවුන්ම වහාම නිදහස් කරන ලෙසද බලකර සිටිනවා..”

  • නිරෝධායන මර්ධන පනතට එරෙහි නැගෙන හඬ

    නිරෝධායන මර්ධන පනතට එරෙහි නැගෙන හඬ

    නිරෝධායන නීතිය භාවිතා කරමින් උද්ඝෝෂණ තහනම් කිරීමටත්, අධිකරණයෙන් ඇප ලබාදුන් අය නිරෝධායනය සඳහා යැයි කියමින් අයුතු ලෙස සිරගත කිරීමටත් එරෙහිව අද වාමාංශික පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන එක්ව මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එයට පහත සංවිධාන සහභාගී විය.
    1. ලංකා බැංකු සේවක සංගමය
    2. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
    3. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
    4. රක්ෂණ සේවක සංගමය
    5. රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය
    6. තොරතුරු හා විදුලි සංදේශ සියළු සේවක සංගමය
    7. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
    8. ලංකා ගුරු සංගමය
    9. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
    10. ඒකාබද්ධ ගුරු සේවා සංගමය
    11. ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය
    12. පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංගමය
    13. ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
    14. ලංකා ප්‍රගති ගුරු සංගමය
    15. ලංකා ජාතික ගුරු සංගමය
    16. ගෘහ විද්‍යා හා කෘෂි විද්‍යා ඩිප්ලෝමාධාරී ගුරු සංගමය
    17. මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය
    18. ප්‍රොටෙක්ට් සංගමය
    19. නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානය
    20. පෙරටුගාමී සමාජවාදී පක්ෂය
    21. ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය
    22. එක්සත් සමාජවාදී පක්ෂය
    23. නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය
    24. වමේ හඬ
    25. ප්‍රැක්සිස් සාමූහිකය

  • ඩෙල්ටා ප්‍රබේදය සමාජයෙන් හමුවූ නිසා මාසයක් තුළ වේගයෙන් පැතිරයාමේ අනතුරක්

    ඩෙල්ටා ප්‍රබේදය සමාජයෙන් හමුවූ නිසා මාසයක් තුළ වේගයෙන් පැතිරයාමේ අනතුරක්

    ඉන්දියාවෙන් වාර්තා වූ ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත පස්දෙනකු වාර්තා වූයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණයකින් නිසා සමාජය තුළ එම ප්‍රභේදය ආසාදිත තවත් රෝගීන් සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා පවසයි.

    එම ප්‍රභේදය සමාජය තුළින් හමුවූ නිසා මාසයක් වැනි කාලයක් තුළ වේගයෙන් පැතිර යාමේ අවදානමක් තිබෙන බව ද ඇය සඳහන් කරයි.

    සුසී පෙරේරා මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70වකින් ඉහළ බව කී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත් බව ද සඳහන් කර තිබේ.

    රටවල් ගණනාවක ඩෙල්ටා සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව කී වෛද්‍යවරිය මෙරට රෝහල්වල ඇති ඇඳන් 86,000 අභිබවා කොවිඩ් රෝගීන් වාර්තා වුවහොත් ගැටලුවක් ඇතිවන බව ද වැඩිදුරටත් පවසා ඇත.

  • කොවිඩ් මරණ 101 වාර්තා වී ඇත්තේ පෙබරවාරි 06 සිට ජුනි 09 දක්වාලු!

    කොවිඩ් මරණ 101 වාර්තා වී ඇත්තේ පෙබරවාරි 06 සිට ජුනි 09 දක්වාලු!

    දෛනික කොවිඩ් මරණ වාර්තා කිරීමේදී අද (11) පෙරවරුවේ නිකුත්වූ තොරතුරුවලින් පැවසුණේ ඊයේ දිනය වනවිට කොවිඩ් මරණ 101ක් සිදුව ඇති බවයි. ඊට අදාළ විස්තර වාර්තාවක් මේ වන විට රජයේ ප්‍රවෘත්තු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව එම මරණ සිදුව තිබෙන්නේ පෙබරවාරි 06 සිට ජුනි 09 දක්වා කාලය තුළය.

    එම වාර්තාවේ පරිදි ඊයේ (10) දින මෙරටින් කොවිඩ් මරණ වාර්තා වී නැත.

    වාර්තා කර තිබෙන මරණ 101න් කාන්තාවන් 48ක් සහ පුරුෂයින් 53ක් වෙයි.

    වයස අවුරුදු 20ට අඩු කිසිම මරණයක් වාර්තා වී නැති අතර වයස 60 – 69 වයස් කාණ්ඩයේ මරණ 30ක් සිදුව ඇත.

    මෙම මරණ 101 අතර නිවසේදී සිදුව ඇති මරණ ගණන 30ක් ලෙස දැක්වෙයි.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉන්දියාවටත් වඩා ඉදිරියෙන්

    ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉන්දියාවටත් වඩා ඉදිරියෙන්

    කොවිඩ් ආසාදිත හා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවන් සළකා බැලීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බව එහි උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා පවසා තිබේ.

    වෛද්‍ය නවීන් සොයිසා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනටකට 1.91ක් මියයන බව කීවත් දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යන බව වෛද්‍යවරයා පවසයි.

    ගාල්ල දිස්ත්‍රික්කයේ එම අගය මිලියනයකට 7.01ක් වන අතර මහනුවර 4.49, කොළඹ 2.43, ගම්පහ 2.46ක්, කළුතර 3.34ක් වන අතර කෑගල්ල නුවරඑළිය, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවල ද ඉන්දියවේ අගය ඉක්මවා මරණ වාර්තා වන බව නවීන් සොයිසා පවසා තිබේ.

    ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ 136.68ක් බව කී වෛද්‍යවරයා එය ඉන්දියාවේ මෙන් එක හමාර ගුණයකටත් වඩා වැඩි බව පෙන්වා දෙයි.

    මෙහි භයානකකම ජනතාවට අමතක වී ඇතැයි කීවත් සිදුව ඇත්තේ ජනතාවට එය අමතකමට ඉඩහැරීම බව කී නවීන් සොයිසා මහතා මේ වන විට සංචරණ සීමා පනවා තිබුණත් එය කොතරම් ක්‍රියාත්මකද යන්න ගැටලුවක් බව සඳහන් කර තිබේ.

     

  • නිරෝධායනය බල්ලාට මලගෙදර සරුවට

    නිරෝධායනය බල්ලාට මලගෙදර සරුවට

    රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආගමික කටයුතු අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මව පසුගිය 7 වනදා මිය ගිය අතර ඇය මියයන විට 85 හැවිරිදි වියේ පසු විය . ලීලාවති සමරසිංහ මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ප්‍රභූ පරිශ්‍රය තුළ තැන්පත් කර තිබු අතර ඊයේ (08) අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි ඇතුළු මහා සංඝරත්නයද විශාල වශයෙන් පැමිණ තිබේ ..

    බොරැල්ල මල් ශාලාවේ සිට ඒ මහත්මිය උපත ලැබූ මොණරාගල – ඉත්තෑකන්දට ගෙනගොස් තිබේ .දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරු 4 ට පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. තිබු බව දැනගන්නට තිබේ

    රට තුළ දැඩි සංචරණ නීති පනවා තිබෙන මෙවන් වටපිටාවක් යටතේ මෙවැනි අවමඟුල් උත්සවයක් පවත්වන්නේ කෙසේද? සාමාන්‍ය ජනතාවට කිසිදු උත්සවයක් පවත්වන්නට නොහැකි බව පවසන ආණ්ඩුව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ගේ මවගේ අවමගුල් උත්සවය ජන ඒකරාශී වීම මැද පැවැත්වීම රටේ පොදු නීතිය උල්ලංඝනය කිරීමක් නොවේද? පසුගිය දින කීපය පුරාවටම රටේ විවිධ තැන්වල ජනයා ඒකරාශී කරමින් සිදු කරපු විවාහ උත්සව උපන්දින සාද පොලිසිය විසින් වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන වටපිටාවක් යටතේ, සහ තරු පන්තියේ හෝටල් වල උපන්දින සාද පවත්වා ආන්දෝලනයක් ඇතිවී තිබෙන වටපිටාවක් යටතේ පොලීසියේද මැදිහත්වීම ඇතිව අගමැතිවරයාද ගරු බුහුමන් දක්වමින් මැදිහත් වූ මෙවැනි අවමඟුල් උත්සව පවත්වන්නේ කෙසේද?. රටේ නීතිය එකිනෙකාගෙන් වෙනස් වන්නේ කෙසේද ?

    මේ තමයි ආඩි හත් දෙනාගේ කැද හැලිය බඳු වූ ආණ්ඩුවෙත් ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් නිරෝධායන කැඳහැලිය. සුදු උන්ට සුදු නීතියකුත් කල් උන්ට කළු නීතියකුත් ක්‍රියාත්මක කරන නිරෝධායන නිතිය. කිව්වට එක රටක් එක නීතියක් කියා එක රටක නීති ගොඩකි.

  • එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබටත් අතුරු ආබාධ ඇති වී තිබේද? වහාම දැනුම් දෙන්න

    එන්නත ලබා ගැනීමෙන් පසුව ඔබටත් අතුරු ආබාධ ඇති වී තිබේද? වහාම දැනුම් දෙන්න

    මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත ලබා ගත් අයගේ අතුරු ආබාධ පිළිබඳ ව කරනු ලබන සමීක්ෂණයට තම අත්දැකීම් ලබා දෙන ලෙස එන්නත ලබා ගත් අයගෙන් කරනු ලබන කාරුණික ඉල්ලීම

    කොවිඩ්-19 වසංගත රෝගය සහ ඉන් ආරක්ෂා වීම, දැනට ලෝකයේ වඩාත්ම අවධානයට ලක් වී ඇති කාරණාවයි. ඒ යටතේ ප්‍රතිශක්තිකරණ එන්නතට ලැබී ඇති අවධානය ඉතා ඉහලය. නමුත් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳ ව ලොවට ඇත්තේ අඩු දැනුමකි. එහෙත් එන්නත් නිපදවූ රටවල ජනතාවට එන්නත් ලබා දීමෙන් පසුව එම ජනතාව තුල ඇතිවූ අතුරු ආබාධ පිළිබද සීමිත හෝ තොරතුරු ඇතත් ඒවා ඒ ලෙසටම ශ්‍රී ලාංකීය ජනතාවට ආදේශ කළ නො හැක. මන්ද ලෝකයේ විවිධ රටවලට අදාළව එන්නත්වල අතුරු ආබාධ වල ස්වරූපය හා බලපෑම රටින් රටට වෙනස් විය හැකි බැවිනි. බොහෝ රටවල් ක්ෂණික ක්‍රියාමාර්ග ලෙස ඒ පිළිබඳව පර්යේෂණ කර එම දැනුම තම රටවල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය උපරිම අයුරින් ඉහළ නැංවීම සඳහා යොදාගනිමින් පවතී.

    අප රට තුලද මෙය කාලින අවශ්‍යතාවයකි. මේ නිසා දේශීය හා ජාත්‍යන්තරව පිළිගත් විද්වතුන් කණ්ඩායමක් විසින් කරනු ලබන මෙම සමීක්ෂණයේ දත්ත විශ්ලේෂණයෙන් හෙළිවන නවතම කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමඟ බෙදා ගැනීමට අපි අපේක්ෂා කරන්නෙමු.

    අප ආයතනය මෙරට දේශීය පර්යේෂණ සංස්කෘතියේ දියුණුව උදෙසා ක්‍රියා කරනු ලබන දේශීය සහ අන්තර් ජාතික පර්යේෂණ ජාලයකින් සන්නද්ධ ආයතනයකි. අපගේ www.ird.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සම්බන්ධව උනන්දුව දක්වන ඕනෑම කෙනෙකුට එම තොරතුරු ලබා ගත හැක.

    මෙම වැදගත් පර්යේෂණය සඳහා මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් (ඇස්ට්‍රාසේනිකා, ස්යිනොෆාම් හෝ ස්පුට්නික් V එන්නත් වලින් කුමන හෝ එන්නතක්) ලබා ගත් පුද්ගලයන්ගේ අත්දැකීම් කෙටි ප්‍රශ්නාවලියක් මගින් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නා අතර මේ සඳහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ විය හැක. මෙම සමීක්ෂණයේ වැදගත්කම හා කාලීන අවශ්‍යතාවය හදුනා ගත් එම එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ සහයෝගය අවශ්‍ය ව ඇත.

    තොරතුරු ලබා දීම සඳහා පහත සම්බන්ධි කරන මාධ්‍ය භාවිතා කරන්න

    අන්තර්ජාල සබැඳිය

    English – https://forms.gle/4DGZMbtJWyzX9iNS7

    Sinhala – https://forms.gle/tyW1c5R7XruFFaPd7

    හෝ ප්‍රශ්නාවලිය වට්ස් ඇප් ඔස්සේ හෝ විද්‍යුත්තැපෑල මගින් ගෙන්වා ගැනීමට පහත තොරතුරු භාවිත කරන්න.

    දුරකථන අංකය : 076 050 34 34 (ලසිත් දිසානායක)

    විද්‍යුත් තැපෑල: [email protected]

     

    මහාචාර්ය අතුල සුමතිපාල

    අධ්‍යක්ෂක, පර්යේෂණ හා සංවර්ධන ආයතනය

    කමිටු සාමාජික, කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය

    මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය, කීල් විශ්වවිද්‍යාලය, එංගලන්තය

    ගෞරවනීය උපදේශක මනෝචිකිත්සක, මිඩ්ලන්ඩ්ස් හවුල්කාරිත්වය එන්එච්එස් පදනම් භාරය.

    ගෝලීය මානසික සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය, කිංග්ස් විද්‍යාලය, එංගලන්තය

    සභාපති, ජාතික මූලික අධ්‍යයන ආයතනය, මහනුවර

    මනෝ චිකිත්සාව හා ජෛව වෛද්‍ය පර්යේෂණ පිළිබඳ මහාචාර්ය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය