Category: corona

  • කොරෝනා එන්නතේ සංකූලතා ගැන දැනුවත් කරන්න – වෛද්‍ය උදාර සම්පත් මාධ්‍ය ආයතනවලින් ඉල්ලයි

    කොරෝනා එන්නතේ සංකූලතා ගැන දැනුවත් කරන්න – වෛද්‍ය උදාර සම්පත් මාධ්‍ය ආයතනවලින් ඉල්ලයි

    කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව ඇතිවිය හැකි සංකූලතා පිළිබදව සමීක්ෂණයක් පවත්වා රජය සහ ජනතාව දැනුවත් කරන්නැයි වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.

    එන්නතෙන් පසුව ඇතිවිය හැකි සංකූලතා පිළිබද විදෙස් මාධ්‍ය ආයතනය විසින් විවිධ මාධ්‍ය වාර්තා එලිදක්වමින් සිටින බවත්, ලංකාවේ මාධ්‍ය ආයතනද ඒ ආකාරයට ඇතිවන සංකූලතාවන් පිළිබද කතිකාවක් ඇති කිරීම මාධ්‍ය සතු වගකීමක් බවද සියලුම මාධ්‍ය ආයතන වෙත ලිපියක් යොමුකරමින් වෛද්‍යවරයා සදහන් කරයි.

    එන්නත්කරණය සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් වන තුරු තරුණ පිරිස් හා ළමුන් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව කල් දමන ලෙසද වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන ඉල්ලා සිටී.

    එන්නත්කරණයෙන් පසුව සංකූලතා ඇතිවීමේ සිදුවීම් රටේ සියලුම ප‍්‍රදේශවලින් වාර්තාවී ඇති බවද ඒ සම්බබන්ධයෙන් සාක්ෂි පවතින බවද වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මාධ්‍ය ආයතනවලට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ

  • ගුවන්තොටුපලේ පී.සී.ආර්. නවතා හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ – රවි කුමුදේශ්ගෙන්

    ගුවන්තොටුපලේ පී.සී.ආර්. නවතා හෝටල් නිරෝධායන මාෆියාවට ඉඩ – රවි කුමුදේශ්ගෙන්

    ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් පැවසුවේය.

    ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අදහස් දැක්වූ ඔහු මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මෙසේද කීවේය.

    ගුවන්තොටුපල පරිශ‍්‍රයේ පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා තිබෙනවා. ගුවන්තොටුපලින් එන ගුවන් මගීන්ට පී.සී.ආර්. පරීක්ෂණ නොකර රට ඇතුළුට ඒමට අවස්ථාව දී තිබෙනවා.

    හෝටල් නිරෝධායන සංකල්පය නිසා රටට ඇතුළුවන සංචාරකයින් හා ගුවන් මගීන් ගසා කෑමකට ලක්වුනා. මේ ගසාකෑම දිගටම සිදුවන විට රටට පැමිණෙන විට කරන පී.සී.ආර්. එක අත්‍යවශ්‍ය කළා. මේක අත්‍යවශ්‍ය කිරීම හරහා හෝටල් නිරෝධානයනය හරහා දිගටම මේ ගසාකෑම සිදුවුනා.

    ගුවන්තොටුපල පරිශ‍්‍රයේ රසායනාගාර දෙකක් ඉදිකරලා පැය තුනක් ඇතුළත වාර්තා ලබාදීමට කටයුතු කළා. සංචාරකයින්ට ගුවන්තොටපුල සමාමේ රසායනාගාරයකින් මුදල් ගෙවා පී.සී.ආර්. පරීක්ෂණ කරන විට අනෙක් අයට සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා නොමිලේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනවා. දින දෙක තුන නිරෝධායනය වන මාෆියාව නවත්වලා දවස් දෙක තුනක් යන විට රටට ඇතුළු වන විට කරන පී.සී.ආර්. එක අවශ්‍ය නෑ කියනවා

    මෙතෙක් කල් මේ පී.සී.ආර්. එක නැතිව මුකුත් කරන්න බෑ කියපු සෞඛ්‍ය අමාත්‍යාංශය, ගුවන්තොටුපලේදී පී.සී.ආර්. වාර්තා පැය තුනක් ඇතුළත දෙන්න පටන් ගත්තට පස්සේ පී.සී.ආර්. පරීක්ෂණය අවශ්‍ය නෑ කියන ප‍්‍රතිපත්තියට ගියේ කොහොමද?

    කොවිඩ් වගේ වසංගතයකදී ප‍්‍රතිපත්ති වෙනස් වෙන්න ඔ්න එකින් එකට. ක‍්‍රමානුකූලව තමයි ඒවා වෙනස් වෙන්න ඔ්න. එකින් එක අධ්‍යයන කරමින් ඒවා කළ යුතු යුතුයි. අහසට පොලව වගේ වෙනස් ප‍්‍රතිපත්ති වෙනස් කරලනවා.

    දවස් තුනක් ඇතුළත ප‍්‍රතිපත්ති වෙනස්වීම ගැන අපට බරපතල සැකයක් තියෙනවා. හෝටල් නිරෝධායනයට තිබුණ ඉඩ ඇහිරීමත් එක්ක ගුවන් තොටුපලේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම නතර කරලා හෝටල් නිරෝධායනයට පාර කපනවාද කියන සැකය අපිට තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ විදියට මේවා එළියට ආවාද කියන සැකය තියෙනවා.

    ජනාධිපතිවරයාටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කියන්නේ අපි මේවා ගැන අවධානයෙන් ඉන්නා බවයි. කොයි වෙලාවේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය, ඔන් එරයිවල් පී.සී.ආර්. පරීක්ෂණය වෙනුවට දින තුනකින් පී.සී.ආර්. එකක් ගැනීමේ සූදානමක් ඇති බවට අපිට වාර්තා වෙනවා.

    අපි විශ්වාස කරනවා, මේ මොන කාරණාව කළත් හෝටල් නිරෝධායනයට තියෙන ඉඩ කඩ විවෘත කරමින් මේ තීරණ ගන්න එපා. හෝටල් නිරෝධායනයට හෝ පුද්ගලික රෝහල්වල පී.සී.ආර්. පරීක්ෂණවලට යවලා සංචාරකයින් හා මේ රටේ ජනතාව ගසා කෑමකට කවුරුන් හෝ කටයුතු කරනවා නම් අපි ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් මතක් කරනවා.

  • මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න වලට සුරංගනා උත්තර දෙන චන්න ජයසුමන

    මාධ්‍යවේදීන් නගන ප්‍රශ්න වලට සුරංගනා උත්තර දෙන චන්න ජයසුමන

    ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු දෙනාට එහි දෙවෙනි මාත්‍රාව අද (20) දිනයේ සිට ලබා දීම ආරම්භ කරන බවත්, අවශයය එන්නත් ඊයේ (19) උදෑසන මෙරටට ලැබී ඇති බැවින්, ස්පුට්නික් එන්නතේ ඒ තියන ප්‍රශ්නය අපිට නිමා කරන්න පුලුවන් යැයි ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද එප්පාවල ප්‍රාදේශීය රෝහලේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්ය.

    එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යයවරයා,

    පාසල් ළමුන්ට එන්නත් ලබා දිය යුතුයි කියන තීරණයේ දැන් අපි ඉන්නවා.අවුරුදු 15 සිට පාසල් ළමුන්ට ආරම්භක අදියරේ එන්නත් ලබා දීම අපි සිදු කරනවා.ෆයිසර් එන්නත තමයි අපි ලබා දෙන්නේ.ෙරජයේ රෝහලක තමයි එන්නත් ලබා දීම සිදු කෙරෙන්නේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ.ඒ සඳහා මොන දිනයේ දී අපි ආරම්භ කරන්නේ කියලා තව දින කීපයකදී තීරණය කරනවා.මොකද ෆයිසර් එන්නත ප්‍රවාහන‌යේ දී සහ ගබඩා කිරීමේ දී විශේෂ අවධානයක් යොමු කරන්න ඕන.ශීතදාමය රැක ගන්න ඕන ,විශේෂිත ශීතාගාර තත්ව යටතේ තමයි මේ එන්නත තියා ගන්න ඕන.ලංකාව පුරාම ෆයිසර් එන්නත ලබා දෙනවා නම් ඔඑම රෝහල් වල තියෙන පහසුකම් බලලා , රෝහල් කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දෙන්න ඕන ෆයිසර් එන්නත ලබා දීමේ දී, ඒ නිසා එම කටයුතු සූදානම් කර ගන්න අපිට දින කිහිපයක් ගත වෙනවා.ඒ කටයුතු සූදානම් කළාට පස්සේ අපිට පුලුවන් අවුරුදු 15 සිට ඉහළ වයස් කාණ්ඩයේ පාසල් ළමුන්ට එන්නත්කරණ කටයුතු ආරම්භ කරන්න.ඒ සඳහා අවශ්‍ය වන ෆයිසර් එන්නත් අපේ රටට ඉදිරි සති කීපයේදී ලැබීමට නියමිතයි.

    ෆයිසර් එන්නත ලබා ගැනීමට ලොව පුරා ඉතා දැඩි තරඟකාරීත්වයක් තියෙනවා.අපි ජනවාරී මාසේ ඒ සඳහා අයදුම් කරලා, ඒ නිර්නායක සැපිරූ නිසා තමයි අපිට මේ විදිහටත් ෆයිසර් එන්නත ලැබෙන්නේ.මේවා ගැන දැනුමක් තේරුමක් නැති අය කටවාචාලකමට කියනවා, සතියකට ෆයිසර් එන්නත් එන්නේ මෙච්චරයි මේක එක පාර ගන්න පුළුවන් කියලා.එහෙම ගන්න පුළුවන් නම් ලෝකයේ අනෙක් රටවලුත් අරගෙන ගහනවා.එහෙම ඉල්ලන ඉල්ලන විදිහට එන්නත් ලබා දෙන්නේ නෑ, ඒවා නිෂ්පාදනය කරන සමාගම් හා ඒ රටවල්,ඒවා අයදුම් කරපු අනුපිළිවලට තමයි ඒ අවස්ථා ලැබෙන්නේ.අපිට මෙහෙමවත් ලැබෙන්නේ අපි කල්වේලා ඇතිවම ඉල්ලුම් කරපු නිසා.ඉදිරි මාස කීපයේදී අපිට ෆයිසර් එන්නත් ලක්ෂ 40ක් ලැබීමට නියමිතයි.අද (20) උදෑසනත් යම් ප්‍රමාණයක් ලැබෙනවා.ඉදිරි සති කිහිපයේ දී එම ප්‍රමාණය වැඩිවෙන්න නියමිතයි.අපිට ඔක්තෝම්බර් මාසයේ 10-11 වෙනකොට තවත් ලක්ෂ 08කට ආසන්න ෆයිසර් එන්නත් ප්‍රමාණයක් ලැබෙන්න නියමිතයි.ඊට පස්සේ ඉතිරි ඒවා ක්‍රමානුකූලව ලැබෙනවා.ඒ ගැන විචිකිච්චාවක් තියා ගන්න නරකයි.එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරලා ඉදිරියට යනකොට ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ, ඉතින් මේ වගේ කතන්දර මීට ඉස්සෙලත් කිව්වා.ඇස්ට්‍රාසෙනිකා පළවෙනි එක ගැහුවා දෙවෙනි එක ගහගන්න බැරුව ඉන්නවා කියලා.අපි ඒක මේ වෙනකොට ගෙනැල්ලා ලබා දීලා තියෙනවා.ඊට පස්සේ කිව්වා රුසියානු ස්පුට්නික් එකේ පළමුවැනි එක විතරයි දෙවැනි එක ගහන්නේ නෑ කොළ අත්සන් කරගෙන මිනිස්සුන්ව රවට්ටනවා කියලා නමුත් ඊයේ (19) උදෑසන අවශ්‍ය වන එක්ලක්ෂ විසි දහසක් වන ස්පුට්නික් එන්නතේ දෙවැනි මාත්‍රාව ලැබිලා තියෙනවා.ඒ අනුව ලංකාවේ ස්පුට්නික් එන්නත ලබා ගත් සියලු දෙනාටත් එය සම්පූර්ණ කිරීමේ අවස්ථාව උදා වෙනවා.කළබල වෙලා මාධ්‍ය ඉස්සරහා වීරයෝ වෙන්න බොරු පුහු පූච්චානම් කථා නොකියා මේ වැඩපිළිවෙලට සහය දක්වනන්.අපි මේ එන්නත්කරණ වැඩපිළිවෙලේ වගකීම අරගෙන තියෙනවා.එන්නතක පළමු මාත්‍රාව ගත්ත කෙනාට දෙවැනි මාත්‍රාව ගන්න නැතිව අමාරුවේ වැටෙන්න ඉඩ තියන්නේ නෑ,මේක පුළුවන් නිසා තමයි වගකීම ගත්තේ, භාර ගත්ත වගකීම හරියට ඉටු කරනවා.

    දැනට මහනුවර දිස්ත්‍රික්කයේ තමයි ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන දෙවැනි මාත්‍රාව ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ,ඒ සියලු දෙනාටම අවශයය එන්නත් ඊයේ (19) උදෑසන මෙරටට ලැබිලා තියෙනවා, අපි බලාපොරොත්තු වෙනවා අද (20) දිනයේ සිට මේ කටයුත්ත ආරම්භ කරන්න පුලුවන් කියලා.ඒ අනුව ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් සියලු දෙනාට දෙවැනි මාත්‍රාව දීලා ස්පුට්නික් එන්නතේ ඒ තියන ප්‍රශ්නය අපිට නිමා කරන්න පුලුවන්.

     

  • මෙරට ආසාදිතයන්ගෙන් 95%ටම ඩෙල්ටා – ජයවර්ධන පුර විශ්ව විද්‍යාල පරීක්ෂණයකින් හෙළිවෙයි

    මෙරට ආසාදිතයන්ගෙන් 95%ටම ඩෙල්ටා – ජයවර්ධන පුර විශ්ව විද්‍යාල පරීක්ෂණයකින් හෙළිවෙයි

    විවිධ SARS-CoV-2 (කොවිඩ්) ප්‍රභේද වල ව්‍යාප්තිය පිළිබඳව ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල පරීක්‍ෂා කිරීමෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් සොයා ගත් පරිදි, ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 ආසාදන වලින් 95.8% කට ඩෙල්ටා ප්‍රභේදය වගකිව යුතු බව එම පර්යේෂකයින් නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.

    COVID-19 පාලනය කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා ලංකාවේ විවිධ පළාත්වල විවිධ SARS-CoV-2 ප්‍රභේද වල ව්‍යාප්තිය සොයා බැලීම වැදගත් වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය , වෛද්‍ය චන්දිම ජීවන්දර ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් විසින් කරන ලද අධ්‍යයනයකින් මේ බව හෙළි වී ඇති අතර විවිධ පළාත්වල ඩෙල්ටා ව්‍යාප්තිය 84% සිට 100% දක්වා බවත් මෙහිදී හෙළි වී ඇත.

    එමෙන්ම මෙහිදී හමුවී ඇත්තේ ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේද පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.

  • ජනාධිපතිතුමනි, උද්දච්චකම පැත්තකින් තියලා ජනතාවගේ ප‍්‍රශ්ණවලට විසදුම් දෙන්න

    ජනාධිපතිතුමනි, උද්දච්චකම පැත්තකින් තියලා ජනතාවගේ ප‍්‍රශ්ණවලට විසදුම් දෙන්න

    උද්දච්චකම පසෙකින් තබා රටේ ප‍්‍රශ්ණවලට විසදුම් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

    ජනාධිපතිවරයා තමන්ගේ උද්දච්කම පසෙකින් තබා රටේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන පොහාර ප‍්‍රශ්ණයට විසදුම් ලබාදිය යුතු බවත්, ගුරු වැටුප් ප‍්‍රශ්ණයට විසදුම් ලබාදී දරුව්න්ගේ අධ්‍යාපනය යථා තත්වයට පත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු සදහන් කළේය.

    ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදෙන්නේ නම් ජනාධිපතිවරයා ෆේල් බව නොකියා සිටිය හැකි බවද මන්ත‍්‍රීවරයා පැවසුවේය

    වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

    සීනි වලට අලුත් ගැසට් එකක් ගහලා තියෙනවා. ගිය අවුරුද්දේ නොවැම්බර් 10 වැනිදා සීනිවලට ගැසට් එකක් ගැහුවා. ඒ කාලේ සුදු සීනි පැකට් එකක උපරිම සිල්ලර මිල වුනේ රුපියල් 90ක්. පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 85යි. ආනයනයකරු විසින් විකිණිය යුතු උපරිම මිල රුපියල් 80ක් වුනා.

    මේ කාලයේදී තමයි අවුරුද්දකට ඇති තරම් සීනි ලංකාවට ගෙනාවේ. සීනි බද්ද සත විසිපහට අඩු කරපු නිසා තමයි මේ ආකාරයට අති විශාල සීනි තොගයක් ලංකාවට ගෙන ආවේ. ඒ වෙලාවේ තමන්ගේ ගජ මිතුරන් අවුරුද්දකට ප‍්‍රමාණවත් විදියට සීනි ගෙනවිත් ගබඩාවල තැන්පත් කරගත්තා.

    දැන් සීනි හිගයක් මවා පාලා සීනි මිල ඉහළ දැම්මා. ආණ්ඩුව සීනි මිල, හාල් මිල පාලනය කිරීමට අවශ්‍ය නිසා හදිසි නීතිය ගෙනවිත් සීනි තියෙන තැන් හොයන්න ගත්තා. සීනි තියෙන තැන් දන්නේ නැද්ද? සීනි තොග තියෙන තැන් බලන්න මාධ්‍ය ආයතන ගිහින් බලන්න ඔ්නද? රේගුවෙන් සීනි තොග රට ඇතුළට එන විට ඒ තොග යන්නේ කොතැනටද කියන එක ගැන රජයේ තොරතුරු තියෙනවා.

    ඒ වෙලාවේ සීනි තොග එක් රැුස් කළේ කවුද කියලා සොයලා විගණනයක් කරන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වුනා. ඒත් ඒ ගැන සොයා බැලුවේ නෑ. දැන් මේ සීනි තොග රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට ගත්ත සීනි ජනතාවට අඩු මිලට ලබාදේවි කියලා අපි විශ්වාස කළා. රුපියල් 85 ට සීනි දේවි කියලා අපි හිතුවා.

    දැන් ගබඩාවලින් ආණ්ඩුව සීනි සල්ලිවලට අරගෙන රුපියල් 130 ගානේ සීනි විකුණනවා. මෙච්චචර කල් ගජ මිතුරන්ට මුදල් හම්බකරගන්න ඉඩ දීලා, ආණ්ඩුවම සල්ලිවලට ගන්නවා. මේ සීනි රාජසන්තක කළානම් සල්ලි දෙන්නේ මොකද? දැන් මේ සීනි රාජසන්කත කරනවා වෙනුවට ආණ්ඩුව බිස්නස් එකක් කරනවා. තොග මිල රුපියල් 116ක් දාලා, සිල්ලර මිල රුපියල් 122 සිට 127 දක්වා මිල ගණන් දාලා ගැසට් එකක් ගහනවා

    රුපියල් 75 ට ලංකාවට ගෙනාපු සීනි තමයි තොග කරුවන් සීනි 116ට විකුණන්නේ. ගුදම්වල තිබුණ කාලයේදී අසීමිත ලාභයක් උපයාගෙන තියෙනවා.

    මෙච්චර සීනි තොගයක් ආනයනය කිරිමට ඉඩ දුන්නේ කවුද? බද්ද අඩු කළේ කවුද?

    සීනි හංගන් ඉන්නේ කියන්නේ විපක්ෂය කියලා මහාචාර්යකෙනෙක් ඇවිත් කියනවා. ඔහුට මහාචාර්ය කියලා කියන්නත් ලැජ්ජයි. සීනි හංගන්න විපක්ෂයට පුලුවන්ද? සීනි ගෙනාපු ව්‍යාපාරිකයින් කවුද, මේ අයත් එක්ක ආණ්ඩුවේ තියන සම්බන්ධය මොකක්ද කියලා ඔ්නම කෙනෙක් දන්නවා

    දැන් බලන්න ඇන්ටිජන්. රුපියල් දෙසීයට, තුන්සීයට ලෝකයේ ඇන්ටිජන් ගෙන්වීමට හැකියාව තිබියදී ඒ අයට ඇන්ටිජන් කට්ටල ගෙන්විමට අවසර දෙන්නේ නෑ. ඖෂධ නියාමන අධිකාරිය හරහා එන්න දෙන්නේ නෑ. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකිලා. අපිට අපේ ඇන්ටිජන් පරීක්ෂාව කරගන්න තිබුණ අවස්ථාව නැති කරලා. මේ දත්ත තිබුණේ කොහේද? ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තමයි මේ දත්ත තියෙන්නේ. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩා කරලා තියෙන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා, සහ ඇන්ටිජන් ගෙන්වන අය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා හොයලා බලන්න. එකට ලියුම් ගහලා අත්සන් කරන අය තමයි මේ කොල්ලකෑම් කරන්නේ. කොරෝනාව ගරානාවක් කරගන්නේ.

    ඒ විතරක් නෙමෙයි ලංකාවට නිරෝධායනයට එන අයත් නිරෝධායනය කරන්නේ ගජ මිතුරන්. ආණ්ඩ ගෙන ආපු අයට ලබාදෙන උදව්වක් විදියට තමයි මේ අයට හම්බකරගන්න දීලා තියෙන්නේ.

    පොහොර ප‍්‍රශ්ණය විසදන්න

    අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇතිවෙලා තියෙනවා. සීනි කිලෝ එක කිලෝ එක ගන්න පෝලිමේ ඉන්න වෙලා. ගෑස් සිලින්ඩරය ගන්න පෝලිමේ යන්න වෙලා. අද වාහනවලට ටයර් එකක් දාගන්න විදියක් නෑ. මේකෙන් නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටිලා, රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා.

    දැන් පොහොර තහනම් කිරීමට ගැසට් එකක් ගැහුවා. පොහොර තහනමට ගැසට් ගැහුවට පස්සේ එළවළු ගොවියාගේ ඵලදාව සියයට 40කින් අඩුවෙලා. තේ කර්මාන්තයේ යෙදෙන අයගේ ඵලදාව සියයට 50කට අඩුවෙලා. වී ගොවියාගේ නිෂ්පාදනය පහළ වැටිලා. බඩ ඉරිගු ගොවියා ලබන කන්නය වගා කරනවාද නැද්ද කියලා කල්පනා කරනවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබද බරපතල ප‍්‍රශ්ණයක් ඇතිවෙලා.

    පොහොර ආනයනය තහනම් කිරීම නිසා ආහාර හිගයක් ඇතිවෙන්නේ නෑ කියලා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ඇවිත් කියනවා. මොන දත්ත මත පදනම් වෙලාද මේ කතා කියන්නේ. කොම්පෝස්ට්වලින් වගාවට අවශ්‍ය නයිට‍්‍රජන් ප‍්‍රමාණය ලබාගත හැකිද? ලංකාවේ නිපදවන කොම්පෝස්ට් වල නයිට‍්‍රජන් ප‍්‍රතිශතය මැනීමට හැකියාව තියෙනවාද?

    ජනාධිපතිතුමනි, ඔබේ උද්දච්චකම නිසා, කලට වෙලාවට එන්නත් නොගෙනාපු නිසා, අවුරුදු හැටට වැඩි අය මැරෙනවා. ඔබේ උද්දච්ච කම නිසා නියමිත වෙලාවට රට වැහුවේ නැහැ. රෝගය තවතදුරටත් ව්‍යාප්තවෙන්නේ ඔබේ උද්දච්චකම නිසා. පොහොර ගෙන්වීම තහනම් කරලා උද්දච්ච ආකාරයෙන් කටයුතු කිරීම නිසා රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා.

    ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, අපි ඔබතුමා ෆේල් නොකිය ඉන්නම්. ගැසට් රිවස් කළා නොකියා ඉන්නම්. ලංකාවේ මිනිස්සුන්ට ඔ්න පොහොර ටික ගෙනත් දෙන්න. අපි කෑ නොගහා ඉන්නම්, ගොවීනට අවශ්‍ය වල් නාශක, පොහොර ගෙනැත් දෙන්න.

    දැන් කොරෝනානිසා නම දහස් ගණනක් මිය ගිහින්. ජනතාවට බඩගින්නේ මැරෙන්න අරින්න එපා. ඔබතුමාගේ උද්දච්චකම පැත්තකට තියලා පොහොර ටික ගේන්න දෙන්න. ඒ වගේම එක් අයෙක්ට පමණක් පොහොර ගේන්න දීලා, ඒකත් ගජ මිතුරන්ගේ ව්‍යාපාරයක් බවට පත් කරගන්න දෙන්න එපා.

    ජනතාවට බඩගින්නේ මැරෙන්න අරින්න එපා

    පළමු කොරෝනා කාලයේදී ආණ්ඩුඩව ගැසට් ගහලා, පරිප්ප 65 ට සැමන් 100ට දුන්නා. හාල් වලට ගැසට් හතරක් පහක් ගැහුවා. හැබැයි අපිට අදටත් සම්බා කිලෝවක් කඩෙන් ගන්න බෑ. සීනි කිලෝවක් රුපියල් දෙසීය විස්සක් තිහක් වෙනවා. කිරි පිටි ගන්න නෑ.

    දැන් හාල් නැගලා, පරිප්පු නැගලා, සැමන් නැගලා, ඩොලර් එකත් දෙසීය පැනලා. දවසකට සිදුවන මරණ සංඛ්‍යාවක් දෙසීය පැනලා. මේ හැම එකක්ම දෙසීය පැනලා. ඒක දෛවෝපගත සිදුවීමක්ද මන්දා

    මිනිසුන්ට බඩගින්නේ මැරෙන්න දෙන්නේ නැතිව ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩ කරන්න. පොහොර ටික ගේන්න ඉඩ දෙන්න. ගොවියාගේ ගොවිකම ආරක්ෂා කරලා දෙන්න. ජනතාවට බඩගින්නේ මැරෙන්න දෙන්න එපා. මිනිසුන්ගේ බඩගින්න නැති කරලා, ජීවිත ආරක්ෂා කරන්න ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන්න සූදානම්.

    මෙහෙම කතා කියන්නේ මහාචාර්යවරයෙක්ද?

    එන්නත්කරණයට විපක්ෂය බාධා කළා මහාචාර්යතුමෙක් ඊයේ කියනවා. එන්නත්කරණය කරන්න කියලා බලපෑම් කළේ, එහෙම කියනකොට ඒකට උසුළු විසුළු කළේ කවුද? අපි එන්නත්කරණය කරන්න කියනකොට ඒකට බාධා කළේ කවුද?

    සීනි හැංගුවේ විපක්ෂය කියලා ඒ මහාචාර්යවරයා කියනවා. සීනි වංචාව සිදුවන විට පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් කරුණු ඉදිරිපත් කළේ අපි. ඔබතුමා දාගෙන ඉන්න කණ්නාඩි නිසා ඒවා පේන්න නැතිව ඇති.

    පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් අල්ලන්නේ නැති එක ගැන විපක්ෂයට අමාරුවක් තියෙනවා කියලා කියනවා.ඒ ගැන එවකට සිටි ආරක්ෂක ඇමැති, සේනාධිනායකයා තමයි ප‍්‍රහාරය ගැන දැනුවත් කරලා තියෙන්නේ. පාස්කු ප‍්‍රහාරය විකුණලා තමයි ඔබලා බලයට ආවේ. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් අල්ලනවා කියලා තමයි ඔබලා බලයට ආවේ. එහෙම බලයට ආපු අය හොරගල් අහුලමින්, පාස්කු සැකකරුවන් අල්ලන්න කියන අය අත්අඩංගුවට ගන්නේ ඇයි? අල්ලගෙන ගියොත් වල්ගේ ඇල්ලුවා වගේ තමන්ගේ වල්ගය අහුවෙන් නිසාද ඔබලා පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් අල්ලන්නේ නැත්තේ

    මේ මහාචාර්යතුමා කියන තර්ක එක්ක බලනකොට ඔබතුමත් රජරට විශ්ව විද්‍යාලයෙන් ගනිපු ආචාර්ය උපාධියක් වගේ එකක් තියෙනවාද කියන සැකයක් තියෙනවා.

    අර රජරට විශ්ව විද්‍යාලයේ ඉදපු මහාචාර්යතුමත් බෙහෙත් මිල වැඩි කළේ ඉල්ලුම කළමනාකරණය කරන්න කියනවා. එතකොට බෙහෙත් ආසාවට බොනවාද? ගෙදර තියෙනවාට බොනවාද? සුදර්ශනි පැනිය හැදුවේ භූත බලවේග එකතුකරගෙන කියලා කියනවා. දැන් අලුතින් කැදක් දෙන්න හදනවා. සායනික පරීක්ෂණයකින් පසුව සාර්ථක නම් රටක් විදියට අපි ඒකට සහාය දෙනවා.

    මහාචාර්ය පට්ටම ඉස්සරහින් දාලා, එදා නයි නටවලා, මිනිස්සු රටවන්නද හදන්නේ. නයි ගෙනාවා වගේ, පැණි ගෙනාව වගේ මිනිස්සු රවටන්නද හදන්නේ.

    2018 ඔක්තෝමර් 26 වැනිදා පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගත්ත කළු අතීතයත් එක්ක බලනකොට මේ අය ගැන නම් ලොකු ප‍්‍රශ්ණයක් නෑ. ඔ්ක්තෝබර් 26 වැනිදා බලහත්කාරයෙන් ආණ්ඩුව අල්ලාගත්තා වගේ, තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් රටක් අල්ලාගත්තම ආණ්ඩුව සුබපතනවා. මොන රටේ මොන ආණ්ඩුවද ත‍්‍රස්තවාදී කණ්ඩායමක් රටක් අල්ලාගත්තම සුබපතන්නේ?

    දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරලා අනාගතය කඩාකප්පල් කරන්න එපා

    දැන් ගුරු වර්ජනයට දවස් 55ක් වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනයෙන් දවස් 55ක් කියන්නේ බරපතල තත්වයක්. දරුවන් පාසල් පංතිකාමරයේ අත්දැකීම ලබාගන්න බැරිවෙලා. ඔන්ලයින් ක‍්‍රමයට හරි දරුවන්ගේ අධ්‍යාපනය කරගෙන ගියපු එකත් නැවතිලා දවස් 55ක් වෙනවා.

    ආණ්ඩුව විදියට මේ කාලයේ මොනවද කළේ? කමිටු දාලා, රැුවටීම් කරලා, රුපියල් පන්දහසේ අල්ලස් දීලා, ලොසින්ජර විසදුම් දෙන්න හැදුවා මිස දරුවන්ගේ පැත්තෙන් බලලා විසදුම් දෙන්න ගත්තේ නෑ. ගුරුවරු පාරට බස්සන්නේ දේශපාලන හස්තයක් විසින් බවත්, ගුරුවරු කියන්නේ ත‍්‍රස්තවාදීන් බවත් සමහරු කිව්වා.

    ගුරුවරු එලියට බැස්සේ විපක්ෂයේ බලපෑමට නොවෙයි. ඔවුන්ගේ සැබෑ ප‍්‍රශ්ණය වෙනුවෙන් තමයි එළියට බැස්සේ. දශක දෙකහමාරක් තිස්සේ මේ ප‍්‍රශ්ණය තිබුණා. ගුරුවරුන්ගේ විසදීමට හැම ආණ්ඩුවක්ම කටයු ුනොකිරීම ප‍්‍රශ්ණයක්.

    කොරෝනා ගුරු පොකුරක් හදන්න හැදුවා. ගුරුවරු මැරුණා කියලා පිටරට ඉන්න අයගේ ඡුායාරූප දාලා නරක, කැත ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයක් අරගෙන ගියා. වයස්ගතවෙලා ගුරුවරු මිය යන විට ඒ අයගේ නම් දාලා කොරෝනාවලින් මැරුණා කියලා බොරු කිව්වා. සක්කිලි වැඩ කළා.

    දරුවන්ගේ අධ්‍යාපනය අවුරුදු දෙකක් පස්සට ගිහින් තියෙනවා.ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. දරුවන්ගේ ජීවිතයෙන් දශයක් පස්සට යනවා. කැපවීමක් තියෙන දරුවන් විතරක් ඉදිරියට යාවි. පහසුකම් නැති ගම්වල දරුවන් පාසල් හැර යන තත්වයට පත්වේවි.

    ආණ්ඩුව එක සාපයක් ගෙවීමට නොහැකිව සිටිනවා. අනාගත දරු පරපුරේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ සාපයත් ආණ්ඩුවට එල්ලවෙනවා. මේ නිසා උද්දචකම පැත්තකින් තියලා ගුරුවරුන්ගේ ප‍්‍රහ්ණයට විසදුමක් දෙන්න. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් ගන්න.

    අද මහානායක හාමුරුවෝත් මේ වෙනුවෙන් ඉල්ලීම් කරනවා. ගුරුවරුන් නිවරදි වැටුප් ප‍්‍රතිපත්තියක පිහිටුවා මේ ප‍්‍රශ්ණයට විසදුම් දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

  • කොවිඩ් ආසාදිත මරණ පැයකට 9ක්

    කොවිඩ් ආසාදිත මරණ පැයකට 9ක්

    කොවිඩ් ආසාදනය වීමෙන් මෙරට දි පැයකට දළ වශයෙන් නවදෙනකු මිය යන බව දෛනික කොවිඩ් මරණ වාර්තාවලින් තහවුරු වී තිබේ.

    මෙරට කොවිඩ් වයිරසය ආරම්භයෙන් පසු ප්‍රථම වරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව පෙරේදා (25) 200 සීමාව පසු කර තිබේ.

    ඒ අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (25) දින තහවුරු කරනු ලැබූ කොවිඩ් මරණ සංඛ්‍යාව 209 ක් වන අතර සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157කි.

    මෙරටදී සිදුවූ සමස්ථ කොවිඩ් මරණ අතුරින් වැඩිම පිරිස වාර්තා වන්නේ වයස අවුරුදු 60 වැඩි අයවලුන්ය.

    ඉකුත් අගෝස්තු මස 16 වැනිදා සිට පෙරේදා (25) දක්වා දින 10ක කාලයේදී වාර්තා වූ සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 1, 894ක් වන අතර, එම කාලය තුළ දළවශයෙන් පැයකට කොරෝනා මරණ හතක් හෝ අටක් වශයෙන් සිදුවී ඇති බවට වාර්තාවලින් තහවුරු වී තිබේ.

    කොරෝනා පළමු රැල්ලෙන් 13 දෙනකු, දෙවැනි රැල්ලෙන් 596 දෙනකු, සහ තුන්වැනි රැල්ලෙන් 7548 දනකු වශයෙන් අද (27) වන විට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 8157ක් ලෙසින් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

    (Lankadeepa)

  • තලෙයිබාන් තුවක්කු අග මල් පිපුනට කමක් නැද්ද !

    තලෙයිබාන් තුවක්කු අග මල් පිපුනට කමක් නැද්ද !

    තලෙයිබාන් ආපහු ඇෆ්ගනිස්ථානය අල්ලාගත් පසු 1996 දී මෙන් තාමත් ශුද්ධ යුද්දය ආරම්භ කරේ නෑ. ඇමරිකාව රටෙන් යන්නට පෙර හැදුවා කියපු ලක්ෂ තුනක ඇෆ්ගන් රාජ්‍ය හමුදාව එක රැයෙන් තලෙයිබන්ලට එකතු උනා, සමහරු යටත් උනා. දැන් ඇමරිකා කියනවා තලෙයිබාන් ඉදිරි පැටිකිරිය අනුව එම රාජ්‍ය පිළිගනිම ගැන සලකා බලනවලු. චීනය කියන්නේ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දෙන්න – එතකොට ඇෆ්ගන් ආර්ථිකයට උදව් කරනම් කියල. රුසියාවේ තානාධිපති නිලධාරීන් තවම කාබුල් වල රැදී ඉන්නවා.ධනවාධයේ මේ මොහොතේ අර්බුධය විසින් ඇෆ්ගන් යුද්ධය තවදුරත් පවත්වාගෙන යන්න බැරිවී තියෙනවා.

    කලාපයේ ආර්ථික යුද්ධය ඊට වඩා බලවත්. ස්විටර්ලන්තයේ ඩාවොස් නගරයේ පසුගියදා පැවති ලෝක ආර්ථික සමුළුව ඇති සුවිශේෂ එකක්. එතැනට රැස්උනු ලෝක නායකයින්, මහා පරිමාන ව්‍යාපාරිකයින්, පාරිසරික ක්‍රියාකාරීන් මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරීන් වටමේසයකට රැස්වෙලා කියා හිටියේ එකිනෙකාගේ මතවාදී එදිරිවාදිකම් පසෙකලා ලෝක ආර්ථිකය ආපහු රීසෙට් කරගත යුතු බවයි. ඇෆ්ගනිස්ථානයේ සිදුවන්නේ ආර්ථිකය රීසෙට් කිරීමේ තවත් වැඩක්ද.?

    ඩාවොස් සමුළුව රීසෙට් කිරීමට දගලන ලෝකයේ තියෙන්නේ එකම එක ප්‍රමුඛ ක්රියාවලයයි. එනම් කිසිම බාධාවක් නැතිව ආර්ථිකය පැවතිය යුතුයි කියන සංකල්පයයි. දැන් සියල්ලෝම සතුටින් ජිඅත් වීමට සිහින දකියි. ජාතිකවාදීන් ලිබරල්වාදීන් සමග එකම මේසයේ වාඩිවී ආර්ථිකයන් ගොඩ දාන්න ප්ලැන් ගහයි. ස්ත්‍රී වාදීන්, පරිසරවේදීන් එකතු වී ආර්ථික බලවතුන් සමග ජාමේ බේරගන්න ප්ලෑන් ගහයි. ඩාවෝස් සමුළුව ඉල්ලා සිටින සහ යථාර්තයක් වෙමින් තිබෙන අළුත් ලෝක සැලැස්ම එයයි.

    ලෝකයේ බලවත්ම සමාගම් පහ වන facebook, amazon apple netflix සහ google (FAANG) සමාගම් එකතුවී ලෝක කොටස් වෙලදපොලේ ඒකාධිකාරී බලයක් නිර්මාණය කරගෙන ඇත. පසුගිය COVID සමයේ මෙම සමාගම් වල බලය සීයට 70 කින් පමණ වර්ධනය වී ඇති බව පැවසේ. FAANG සමාගම් වල බලය තව දුරටත් ආර්ථික තලයට සිමා වී නැත. ඔවුන්ට දැන් ලෝකයේ දිශානතිය තීරණය කිරීමේ බලයක් නිර්මාණය වී ඇත. රාජ්‍ය දේශසීමා, ආගම් සහ ගෝත්‍රික චින්තනයන් FAANG බුබුල තුල ගිලී අවුලක් නැතිව පවත්වාගෙන යෑමට නව ලෝක ආර්ථික සැකැස්ම බලකර සිටී.

    ධනවාදයට එදිරිව ලෝක සමාජ ක්‍රියාකාරීන් කාලයක සිට වරනගමින් සිටින්නේ අළුත් ලෝකයක් ගැන බලාපොරොත්තුවකි ( New world possible ). ඒ ආර්ථික අසමතුලිතතා අවම වූ ලෝකයකි. නමුත් ස්විස්ටර්ලන්තයේ ඩාවොස් කදුකර නගරයට රැස්වූ දුෂ්ටයින්, වීරයන් මෙන්ම සමනලුන්, මකරුන් එකම වටමෙසයකට රැස්වී කියා සිටියේ ලෝකයේ ඇති සියලු අගතීන් අවුලක් නැතිව පවත්වාගෙන යෑමේ අළුත් ලෝකයකි.

    තලෙයිබාන්ලට යුද්ධ කරන්න සල්ලි හම්බ උනේ ඔපියුම් වෙළදාමෙනි. ඔවුන්ගේ ප්‍රධාන ගැනුම්කරුවා ඇමරිකාව සහ යුරෝපයයි. සියල්ල සිදුඋනේ හොර පාරෙනි. ඇමරිකානු හමුදාව ඔපියුම් වෙලදපොලේ ප්‍රබලම තරව්කරුවා බවත් කියවේ. ( ලෝකයේ ඔපියුම් වෙලදපොලේ සියයට 80 ක් හිමි ඇෆ්ගනිස්තනයටයි). දැන් මලිට්බරල් රොකට් වෙඩි ප්‍රහාර වලට වඩා ඔපියුම් මල් සුවද බලවත් වී ඇත. සමහරවිට මේ මොහොතේ එම ආර්ථික යතාර්ථය පිළිගන්නා ලෙස FAANG සමාගම් ඇමරිකාවට, බ්‍රතාන්‍යයට පමණක් නොව තලෙයිබාන්ලාට පවා අවධාරණය කොට ඇත.

    සමහරවිට හෙට අනිද්දා චීනයේ නව සේද මාවතේ තලේබාන් මුල්ලවරුන් හිනැහෙමින් ගමන්කරනු ඇත. ඔවුන්ගේ තුවක්කු අග වෙඩි වෙනුවට මල් පිපෙනු ඇත. අවාසනාවකට ඒ අරලිය හෝ මානෙල් මල් නොවේ, ඔපියුම් මල්ය.

    සරද සමරසිංහ

     

  • නිදහස් වෙළඳ කලාප වල සහ ඉන් පිටත පිහිටි කර්මාන්තශාලාවල ඩෙල්ටා වෛරසය පැතිරීම වේගවත් වී තිබේ

    නිදහස් වෙළඳ කලාප වල සහ ඉන් පිටත පිහිටි කර්මාන්තශාලාවල ඩෙල්ටා වෛරසය පැතිරීම වේගවත් වී තිබේ

    නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ නිදහස් වෙළඳ කලාප වල සහ ඉන් පිටත පිහිටි කර්මාන්තශාලාවල බරපතල ලෙස ඩෙල්ටා වෛරසය පැතිර යන බවයි. මෙම තත්වය හමුවේ නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් හට අත්වී ඇති ඉරණම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ධ්‍යක්ෂක ඇතුළු පිරිස ගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ. එම ලිපිය පහත පළවේ

    විද්‍යුත් තැපැල් මගින් සහ ලියාපදිංචි තැපෑලෙනි.
    2021 අගෝස්තු මස 17 වන දින.
    අසේල ගුණවර්ධන මහතා
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ,
    සෞඛ්‍ය අමාත්‍යාංශය,
    කොළඹ.
    අධ්‍යක්ෂ තුමනි,
    නිදහස් වෙළඳ කලාප වල සහ ඉන් පිටත පිහිටි කර්මාන්තශාලාවල
    බරපතල ලෙස පැතිරී යන ඩෙල්ටා වෛරසය
    මේ වන විට රට පුරා ඉතා සීඝ්‍රයෙන් පැතිරී යන කෝවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය නිසා නිදහස් වෙළඳ කලාප සහ ඉන් පිටත කර්මාන්ත ශාලාවල විශාල සේවක සේවිකාවන් පිරිස් ඉතා බරපතල ලෙස රෝගාතුරවී ඇති අතර අනෙක් සියලු දෙනා බලවත් දුෂ්කරතාවයනට මුහුණ දෙති.
    බොහෝ කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන්ට ප්‍රමාද වී හෝ එක එන්නත් මාත්‍රාවක් ලබා දී ඇතත් එන්නත් මාත්‍රා දෙකම මෙතෙක් ලබා දී ඇත්තේ සුළු ප්‍රතිශතයකට පමණි. මේ සම්බන්‍ධයෙන් ජාතික එන්නත් බෙදාහැරීමේ මධ්‍යස්ථානය විසින් පසුගිය සතියේ කොපමණ එන්නත් ප්‍රමාණයක් අවශ්‍ය දැයි අප සංගමයෙන් විමසා සිටි බැවින් ඒ පිළිබඳව අපි අදාල ආයතන වෙතින් පවතින තත්ත්වය විමසුවෙමු. ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව එන්නත් 30,000 ක් පමණ ක්‍ෂණිකව අවශ්‍යව ඇතැයි දළ අනුමානයක් කළ හැකි විය. එබැවින් පහතින් අත්සන් කරන මා කොවිඩ් 19 වසංගත ජාතික කාර්ය සාධන බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට 2021 අගොස්තු මස 13 වන දින දුරකථනයෙන් ඒ බැව් දැන්වීය.
    මේ තත්ත්වය යටතේ බොහෝ කර්මාන්ත ශාලාවල එන්නත් ලබා දී ඇති නිසා සේවක සේවිකාවන් පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරීක්‍ෂණවලට ලක් නොකරති. බොහෝ කළමණාකාරීත්වයන් ප්‍රකාශ කරනුයේ 2021 අප්‍රෙල් මස ඔබ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස් මාලාවට අනුව එවැනි පරීක්‍ෂණවලට ලක් කළ යුත්තේ සියයට 01 ක් පමණක් යැයි උපදෙස් දී ඇති බවය. එහෙත් එම උපදෙස කෝවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය රට පුරා වසංගත තත්ත්වය බරපතල ලෙස උග්‍ර කරවීමට පෙර දෙනු ලැබූ උපදෙසකි. එබැවින් එය තව දුරටත් අදාල නොවන බව අපගේ තේරුම් ගැනීම ය.
    තවද, ඔබේ එම උපදෙස් මාලාවෙහි වායුසමීකරණය කර ඇති ආයතනවල වාතාශ්‍රය ලැබීම සඳහා වා කවුළු විවෘතව තබන ලෙස උපදෙස් දී ඇතත් එසේ නොකරෙති. කර්මාන්තශාලාවල වායුසමීකරණය ක්‍රියාත්මක කෙරෙන්නේ භාවිතයට ගන්නා රෙදිපිළි තොගවල ගුණාත්මකභාවය රැකගැනීම සඳහාය. එනිසා එම ගොඩනැගිලිවල වා කවුළු සවිකර ඇත්තේ ආලෝකය ලැබීමට පමණි. විවෘත කිරීමක් එනිසා සිදු නොවේ.
    මෙයද නොඅඩුව සැළකිල්ලට ගත යුත්තකි. මේ වන විට සියළුම කර්මාන්තශාලා තම උපරිම නිෂ්පාදන ධාරිතාවය කරගෙන යාම සඳහා සියළුම සේවක සේවිකාවන් දෛනිකව සේවයට කැඳවනු ලැබේ. එබැවින් කෝවිඩ්-19 ආසාධනය වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව මීටර දෙකක පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු නමුත් මීටරයක හෝ පුද්ගල දුරස්ථභාවයක් රැකීමට බහුතරයක් ආයතනවලට නොහැක. එහෙත් කිසියම් අයකු ආසාදිතයකු වුවහොත් ආසන්නම ආශ්‍රිතයන් කිසිවකු හෝ හුදකලා නොකරන අතර සිරිත් පරිදි ඔවුන් එම සේවා ස්ථානවලම සේවයේ යොදවනු ලැබේ. ඉවත් කරනු ලබන්නේ ආසාධිතයින් පමණි. මේ පිළිබඳව එක් ඇඟළුම් ආයතනයක අප වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රශ්න කළ විට කළමණාකාරීත්වය පවසා ඇත්තේ

    හදිසි ඇණවුම් ඇති බැවින් එසේ කළ නොහැකි බවය. මේ වන විට එම ආයතනයේ සේවක සේවිකාවන් හතළිස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ආසාධිතයින් වී ඇත. එසේ ආසාධිතයින් වූ සේවකයින්ගේ නිෂ්පාදනය ද ඉතිරි සේවකයින් ලබා දිය යුතු යැයි එම කළමණාකාරීත්වය දන්වා ඇත.
    නිදහස් වෙළඳ කලාපවල සේවය කරන බහුතරයක් සේවකයින් නවාතැන් ගෙන සිටින්නේ පුද්ගලික නිවෙස්වල හෝ ගොඩනැගිළිවල නේවාසිකව සිටින අය වන බැවින් මෙම කර්මාන්තශාලාවල ආසාදිත වන සේවක සේවිකාවන්ව රෝහල්වලින් ප්‍රතිකාර ලබා දීමට එම ආයතන කටයුතු නොකරන තත්ත්වයක් යටතේ එම ආසාදිතයින්ට නැවතීමට සිදුව ඇත්තේ අනෙකුත් කර්මාන්තශාලාවල සේවකයින් නැවතී සිටින මිශ්‍ර නේවාසිකාගාරවල වන බැවින් ඔවුන් හදුකලා නොකිරීමෙන් ආසාදනය වීම් වෙනත් කර්මාන්ත ශාලා වලටද පැතිරීම වළකනු නොහැක. ඒ අනුව මෙම නේවාසිකාගාර ඩෙල්ඩා වයිරසය පැතිරෙන ස්ථාන බවට පත්ව ඇත.
    කටුනායක නිදහස් වෙළඳ කලාපයේ 40,000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර එම සේවකයින් ආසාධිතයින් වූ විට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇත්තේ ඊට ආසන්නයේම පිහිටි මීගමුව රජයේ රෝහලෙනි. මෙම රජයේ රෝහලේ කොවිඩ් වසංගත වාට්ටු උපරිමයට පිරී ඇති තත්ත්වය යටතේ එම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වෙළඳ කලාප සේවකයින්ට නොහැකි වී ඇත. නිදසුනක් ලෙස කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අප සංගමයේ ශාඛා සාමාජිකාවක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුවද දෙවන වරටත් ආසාධිත වී ඇති අතර, ඇයට මීගමුව රෝහලෙන් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට ඉඩක් නැත. එම රෝහලෙහි වෛද්‍යවරුන් පවසා ඇත්තේ එම වාට්ටුවෙහි කැලි කසළ අතුගා දමන ස්ථානයෙහි බිම අතු ගා දමා වැතිර සිටින ලෙසය. කිසිදු වාතාශ්‍රායක් නොමැති සහ ඉතාමත් අපිරිසිදු වටපිටාවක් යටතේ එසේ නතර වන්නට සිදුව ඇත.
    නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටුවා ඇතත් බොහෝ ආයතන නිරෝධායනය සඳහා තම සේවකයින්ව එම මධ්‍යස්ථානයට යොමු නොකරති. එයට හේතු වශයෙන් දැන ගන්නට ඇත්තේ එම ආයතන විසින් ඒ සඳහා කිසියම් මුදලක් ගෙවිය යුතු වීමය. කටුනායක ආසන්නයේ සීදූව බ්‍රැන්ඩික්ස් මධ්‍යස්ථානය ද මේ වන විට උපරිමයට පිරී ඇති බැවින් අලුතින් ආසාදනය වන සේවකයින්ට එහි නැවතීමට නොහැකි වී ඇත.
    නිදහස් වෙළඳ කලාප සහ අවට අනෙකුත් කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ට හුදකලා මධ්‍යස්ථාන ඇතු`ඵ නිරෝධායන මධ්‍යස්ථාන කටයුතු ද අවශ්‍ය ප්‍රමාණයෙන් පී.සී.ආර් පරීක්ෂණ කිරීමේ වගකීම ද එම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් යටතේ සිදු විය යුතුව ඇතැයි අපි යෝජනා කරමු.
    මේ වන විට ඉතා බරපතල ලෙස කෝවිඩ්-19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිර යන බව සෞඛ්‍ය බලධාරීන්ද නිරන්තරව ප්‍රකාශ කරයි. මෙම අවදානම් තත්ත්වය සැලකිළ්ලට ගනිමින් නිෂ්පාදන කර්මාන්ත සඳහා විශේෂිත වූ වෛද්‍ය උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත් කිරීමේ ක්‍ෂණික අවශ්‍යතාවයක් ඇත. එනිසා එවැනි විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින අතර, ඒ සඳහා පහත දැක්වෙන යෝජනා ඇතුළත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමු.
    01. නිදහස් වෙළඳ කලාපවල සහ ඇගළුම් කර්මාන්තශාලාවල ආසාධිතයින් බවට පත්වන සේවක සේවිකාවන්ට ප්‍රතිකාර කිරීම සඳහා එම නිදහස් වෙළඳ කලාප සහ ඇඟළුම් කර්මාන්තශාලා ආශ්‍රිතව වෛද්‍ය මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම
    02. තම ආයතනවල සේවකයින් නිරෝධායනය කිරීම සඳහා එම ආයතන විසින් පවත්වාගෙන යනු ලබන හුදකලා මධ්‍යස්ථාන පිහිටුවීම
    03. කර්මාන්තශාලාවල අවම සියයට 40 ක් සේවක සේවිකාවන් නිතිපතා පරීක්‍ෂණවලට ලක් කිරීමට නියම කිරීම
    04. කර්මාන්ත ශාලාවල මීටර් දෙකක පුද්ගලික දුරස්ථභාවය පවත්වාගෙන යාමට හැකි වන සේවක සංඛ්‍යාවන් පමණක් වරකට සේවයට කැඳවන ලෙසට උපදෙස් දීම සහ සේවයට නොකැඳවන සේවකයින් හට එම කාලය සඳහා වැටුප් සහිත නිවාඩු ලබාදීම
    05. කර්මාන්තශාලා දෛනිකව විශබීජහරණය කිරීම අනිවාර්ය කිරීම
    06. කම්කරු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ත්‍රෛපාර්ශවීය කාර්ය සාධන බලකාය නියම කළ පරිදි සේව්‍ය සේවක දෙපාර්ශවයෙන් සැදුම්ලත් සෞඛ්‍ය කමිටු පිහිටුවීමටත්, වෘත්තීය සමිති ඇති සේවා ස්ථාන වල වෘත්තීය සමිතිවල නියෝජිතයින් එම සෞඛ්‍ය කමිටුවල නියෝජිතයින් බවට පත් කිරීමත් මෙසේ පත් කරනු ලබන සෞඛ්‍ය කමිටුවල නියෝජිතයින්ගේ නම් සහ තනතුරු ඇතුළත් වාර්ථාවක් ප්‍රදේශයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබාදීමත්
    07. ආසාධිතයින් බවට පත්වන සේවකයින් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින සේවකයින් සම්බන්‍ධයෙන් ඔවුන්ගේ නම්, සේවා ස්ථානයේ නම්, ලිපිනයන්, ඔවුන් ප්‍රතිකාර ගන්නා හෝ නිරෝධානයන පිහිටි ස්ථානය පිළිබඳ විස්තර ඇතුළත් දත්ත වාර්ථාවක් නිදහස් වෙළඳ කලාප කාර්යාවල පවත්වාගෙන යාම
    ඉහත දැක්වෙන කරුණු පිළිබඳව සහ යෝජනා පිළිබඳව තවදුරටත් පැහැදිළි කිරීම සඳහා ඔබ සමග සාකච්ඡා කිරීමට අප සංගමයේ නියෝජිතයින් හට අවස්ථාවක් ලබා දෙන මෙන් ද මෙයින් කාරුණිකව ඉල්ලමු.
    ස්තූතියි.
    මෙයට විශ්වාසී

    ඇන්ටන් මාකස්
    සම ලේකම්
    නිදහස් වෙළඳ කලාප සහ
    පොදු සේවා සේවක සංගමය
    පිටපත් :-
    01. සෞඛ්‍ය අමාත්‍යතුමා
    02. කම්කරු අමාත්‍යතුමා
    03. ශ්‍රවේන්ද්‍ර සිල්වා මැතිතුමා, හමුදාපති සහ කොවිඩ් 19 වසංගත ජාතික කාර්ය සාධන බලකායේ ප්‍රධානී
    04. සභාපති, ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලය
    05. ප්‍රධාන වෙද්‍ය නිළධාරී, ගම්පහ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කාර්යාලය
    06. සභාපති, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය

  • මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ!

    මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ!

    අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා වාට්ටුව පටන් ගත්තු දවසේ ඉඳන් මම වැඩ කරන්නෙ ඒකෙ. වෛද්‍යවරු විදියට අපි දොළොස් දෙනෙක් කොරෝනා වාට්ටු දෙකක වැඩ කරනවා.

    මේ වෙද්දි ඒවා පිරිලා ඉතිරිලා ගිහින්. පුටු වලත්, බිමත් පොදිකකා ආසන්න වශයෙන් කොරෝනා රෝගීන් සීයක් වගේ ප්‍රමාණයක් දිනපතා ප්‍රතිකාර ලබනවා.
    “රැකියාව සම්බන්ද මානසික ආතතිය” කියන දේ අහල, කියවල තිබුණට ඒක ඇත්තටම මොන වගේ දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. ඒක කොච්චර අමාරු දෙයක්ද කියල දැනෙන්නෙ දැන්. මේ රස්සාවෙ අමාරුම කාලය කියල හඳුන්වන “සීමාවාසික අවුරුද්ද”(Internship) ඇතුළත නම්, මේ ඊයෙ පෙරේද ඉඳන් දැනෙන අමාරුකම දැනුනෙ නෑ කියන එක ස්ථිරයි.

    මෙතෙක් ආව කොරෝනා රෝගීන් ප්‍රමණය, ඔවුන්ට අමාරුවෙන විදි, ඔක්සිජන් දිය යුතු රෝගීන් සංඛ්‍යාවන්, අමාරු වෙන රෝගීන්ගෙ වයස් මට්ටම්, මේ හැම දෙයක්ම එක සතියකින් වෙනස් වෙලා ගියා.

    ඒක ලොකු වෙනසක්. වාට්ටුවට ඇතුළත්වෙන රෝගීන් සංඛ්‍යාව හරියටම තුන්ගුණයකට වඩා වැඩිවෙලා. ඒ වෙනදට වඩා සෑහෙන්න තෝරාබේරාගෙන රෝගීන් ඇතුළත් කිරීම කරන තත්වයක් ඇතුළෙ. ඉස්සර ටික ටික අමාරුවෙන අවුරුදු හැත්තෑවෙ අසූවෙ අම්මල තාත්තල වෙනුවට දැන් බලන් ඉද්දි අමාරුවෙන්නෙ අවුරුදු තිස් හතලිස් ගණන් වල අයට.

    තවමත්, මතක තබා ගන්න “තවමත්”, ඔක්සිජන් සැපයුම, ඒවාට අදාළ යන්ත්‍ර උපරිම සීමාව යටතේ හරි ක්‍රියාත්මක වෙමින් තියෙන තත්වයක් ඇතුළෙත්, මිනිස්සු මැරෙන්නෙ බලන් ඉද්දි!

    අවුරුදු හතලිස් ගණන් වල අම්මා කෙනෙක් තමන්ගෙ දුව ඉස්සරහ අමාරුවෙන් හුස්ම අදිමින් ඉඳල මැරෙද්දි,
    CPAP යන්ත්‍රයකට සවි කරල තියෙන නිසා, කතා කරන්න අපහසු බිරිඳක් තමන්ගෙ සැමියගෙ අතින් අල්ලන් ඇස් වලින් තමන්ගෙ සමුගැනීම ප්‍රකාශ කරල මැරෙද්දි, තමන්ගෙ බිරිඳ නිවුන් දරු උපතකට සූදානම් වෙන මේ වෙලාවෙම, අවුරුදු 27 ක තරුණ සැමියෙක්,කරන්න තියෙන හැමදේම කරලත් බැරිඋනාම අමාරුවෙන් හොයාගත්තු දැඩිසත්කාර ඒකකයකට පටවල යවනව දකිද්දි, මේ ඔක්කොම එකම දවසක වෙද්දි ඔලුවට දැනෙන බර, අමාරුව, ඇත්තටම අමාරුයි. කලින්ට වඩා වැඩකිරීම, වැඩ වැඩිවීම නිදිමැරීම නෙමෙයි ගැටළුව. ඔලුවට දැනෙන මේ බර වැඩිවීම.
    ඒ ඔක්කොටම වඩා අමාරු දේ තමයි තමන්ගෙ ඇස් ඉස්සරහ වෙන අය මැරෙද්දි, තමන් අමාරුවෙන් හුස්මගනිද්දි, “අපි මොනවහරි කරල තමන්ව බේරගන්නව නේද” වගේ එල්ලවෙන බැල්මවල් වලට මුහුණදීම.

    දවස් දෙකකට එකක් වගේ පහුගිය කාලෙ සිද්ධවුණු මරණ සංඛ්‍යාව, දවසකට හතරක් පහක් මට්ටමට සතියකින් වෙනස් වුණා.
    තව සති දෙකක් මේ සීඝ්‍රතාවයෙන් රෝගීන් වැඩිවුනොත්, මිනිස්සු ඔක්සිජන් ටැංකියක් නැතිකමෙන් පුටුවල, බිම, මිදුලෙ මැරෙන තත්වෙට මේක පත්වෙනවා.
    ඉතින් මේ ඔක්කොම දැකබලාගෙන ඊයෙ හවසගෙදර ආවම තමයි දැක්කේ කෙහෙළිය රඹුක්වැල්ල කියන ගස්ලබ්බා කියල තිබ්බ කතාව.
    “මොනව උනත් රට වහන්නෙ නෑ, ජීවිතේ එන්නතට හා දෙවියන්ට බාරදෙන්න” කියලා.
    මේ ලියමන මෙතනින් නවත්තනවා. මොකද බ්ලොක් නොවන භාෂාවකින් මෙතනින් එහාට ලියන්න මම දන්නෙ නැහැ.
    හැකි අයුරින් ප්‍රවේශම් වෙන්න!
    පුළුවන්කමක් තියේනම් සියලුවැඩ තාවකාලිකව නවත්තලා ගුහාගත වෙන්න!
    මිනිස්සු මැරෙන්නෙ මැස්සො වගේ!

    ප.ලි. කොරෝනා වාට්ටු දෙකේ වැඩ කරන වෛද්‍යවරු 12 න් එක්අයෙකුටත්, හෙදියන් 30 කට ආසන්න ප්‍රමාණයෙන් 10 ක් වගේ ප්‍රමාණයකටත් පහුගිය මාසයක කාලය ඇතුළත කොරොනා වැළඳිලා තියෙනවා.

     

  • දිනකට වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය නිල සංඛ්‍යා ලේඛණවලට වඩා වැඩියි – සෞඛ්‍ය විශේෂඥයන් පවසයි

    දිනකට වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය නිල සංඛ්‍යා ලේඛණවලට වඩා වැඩියි – සෞඛ්‍ය විශේෂඥයන් පවසයි

    ඊයේ දිනයේ කොවිඩ් මරණ 161ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 6000 ඉක්මවා ගොස් තිබේ.

    රජයේ සංඛ්‍යා ලේඛණ අනුව ගෙන බැලුවද පසුගිය සතිය තුළ පමණක් 1000ට ආසන්න කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් මරණයට පත්ව තිබේ. එසේම එම සංඛ්‍යා ලේඛණවලට අනුවම සතියක් තුළ වාර්තා වී ඇති ආසාදිත සංඛ්‍යාව 21000 ඉක්මවා යයි.

    නමුත් වාර්තා වෙන ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය මීට වඩා බොහෝ වැඩිබව දැනට දිස්ත්‍රික්ක මට්ටමින් වාර්තා වෙන තොරතුරු අනුව පැහැදිලි වේ.

    හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් සිය සමාජ මාධ්‍ය ජාල ගිණුමේ දක්වා ඇති පරිදි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දත්ත අනුව ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 2270ක් වාර්තා වී තිබේ. නමුත් රජයේ දත්ත පැවසූ ආකාරයට ඊයේ දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3152කි.

    එපමණක් නොව වාර්තාගත කොවිඩ් ආසාදිත මරණවලින් 19.9%ක්ම වාර්තා වී ඇත්තේ නිවාස වල මිය ගිය පුද්ගලයන් සහ රෝහල් ගත කරද්දී මිය ගිය පුද්ගලයන්යැයි ද, එයින් ගම්‍යවන්නේ ආසාදිත මරණවලින් 20%කට ආසන්න පිරිසක් නිවෙස්වල සිටි පිරිස් බව යැයි ද සෞඛ්‍ය අංශ කියයි.
    එමෙන්ම කොවිඩ් ආසාදිතයන්ගෙන් විශාල පිරිසක් නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණයක් නොමැතිව සිටීම බරපතල තත්ත්වයක් බව ද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

    MediaLK වෙබ් අඩවිය වාර්තා කරන පරිදි පසුගිය අගෝස්තු 06 වනදා වන විට පැවැති දත්ත අනුව මරණ 980ක්ම නිවාසවල සිදුවූ මරණ හෝ රෝහල් ගත කරද්දී සිදුවූ මරණ බවයි. අගෝස්තු 06 වැනි දා වන විට රෝහල් ගත කර සිටියදී මිය ගිය ගණන 3939කි. අගෝස්තු 06 වැනි දා වන විට රෝහල් ගත කර සිටියදී මිය ගිය ගණන 3939ක් ලෙස රජයේ සංඛ්‍යාලේඛණ වාර්තා කර තිබේ. නමුත් සත්‍ය ලෙස මිය ගිය ගණන මේ අනුව 4919ක් විය යුතුය.

    එසේම එම වෙබ් අඩවිය වාර්තා කර ඇති පරිදි අගෝස්තු 06 වැනිදා දක්වා වාර්තාගත තොරතුරුවලට අනුව කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම ලබා ගත් 25 දෙනෙකු ද, එක් එන්නතක් ලබා ගත් 202කු ද මියගෝස් තිබේ.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජූනි 06 දිනැති සංශෝධිත මාර්ගෝපදේශයෙන් පසු ඇතැම් රෝහල්වල කොවිඩ් ලක්ෂණ නොමැතිව මිය යන රෝගීන්ට පීසීආර් පරීක්ෂණ සිදු නොකරන බව ද රෝහල් ආරංචිමාර්ග කියයි.

    ශ්‍රී ලංකාවේ දිනකට වාර්තා වෙන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3000 -3500 අතර ප්‍රමාණයක් බව නිල සංඛ්‍යා ලේඛණ පැවසුවද එම ප්‍රමාණය 30000ක් පමණ වෙතැයි වෛද්‍ය විශේෂඥයෝද පවසමින් සිටියි.

    මේවනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ලැබෙන තොරතුරු අනුව එවැනි අනුමානයකට යා හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර උපුටා දක්වමින් rata.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.