ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ ප්ලාස්ටික් ඇසුරැම් පාවිච්චි කරන මහා පරිමාණ සමාගම් එක්ක මිසක් කුණු දාන මිනිස්සු එක්ක විතරක් නෙවෙයි.
මිනිස්සු කසළ බැහැර කරන්න දන්නෙ නෑ කියලා බැණ බැණ ඉන්න පුළුවන්, හැබැයි ප්ලාස්ටික් ගැටළුවට විසඳුම් හොයන්න ඕනෙ කසළ අවස්ථාවේදී නෙවෙයි. නිෂ්පාදනය හා බෙදාහැරීම කෙරෙන අවස්ථාවෙදි. මොකද පාරේ නොදැම්මත් ප්ලාස්ටික් කසළ එකතු වෙන්නෙ පරිසරයටම තමයි.
ප්‍රතිචක්‍රීකරණය ප්ලාස්ටික් දූෂණයට විසඳුමක් නෙවෙයි. අවුරුදු පහ හයකට කලින් ප්ලාස්ටික් සම්පතක් කියපු ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපාර තුලින් විසඳුම් හොයපු අයත් මේ වෙද්දි ඒක පිළිගන්නවා. ප්‍රතිචක්‍රීකරණය කරපු ප්ලාස්ටික් කියන්නෙත් ප්ලාස්ටික්ම තමා.
ප්ලාස්ටික් පුච්චලා බලශක්තිය නිපදවීමත් තිරසාර විසඳුමක් නෙවෙයි. ඒ දහනයේදී ඉතුරු වෙන දුම ඉතා විෂ සහිත වීමත්, මේ වෙනුවෙන් වැයවෙන පිරිවැයත් ඉතා අධික වීමත් නිසා.
ප්ලාස්ටික් දූෂණයට එකම විසඳුම දිරාපත් වෙන ආදේශක වලට ගිහින් ප්ලාස්ටික් නිෂ්පාදනය, ආනයනය හා බෙදාහැරීම ඉතා තදින් නියාමනය කිරීම විතරයි.
ප්ලාස්ටික් නිෂ්පාදනය කියන්නෙ ඉතා ලාභදායී, වර්ධනය වෙන වෙළඳපළක්. ඒත් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ලාභය වෙනුවෙන් වැයවෙන මිනිස් සෞඛ්‍යය, පාරිසරික යහපැවැත්ම ලාභ ඉදිරියේ දෙවෙනි තැනට වැටෙන ආර්ථික ක්රමයක. මේකෙ ලොකුම ඛේදවාචකය මේ විනාශකාරී ආර්ථික ක්‍රමය බේරගන්න මිනිස් ජීවිතත්, පරිසරයත් බිලිදෙන්න සූදානම් පිරිස් ඉන්න එක.
ප්ලාස්ටික් වලට ආදේශක මේ වෙද්දි ලෝකයේ තියනවා. ඒත් ඒ ආදේශක ප්ලාස්ටික් නිපදවීම තරම් ලාභදායී නොවෙන්නේ අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන පිරිවැය ප්ලාස්ටික් වලට වඩා ඉහළ නිසා. ප්ලාස්ටික් කියන්නෙ ෆොසිල ඉන්ධන නිෂ්පාදනයේ අතුරු ඵලයක්. ෆොසිල ඉන්ධන නිස්සාරණය නිසා සිද්ධ වෙන පරිසර හානිය දෙගුණ තෙගුණ වෙන්නේ මේක හේතුවක්.
ලාභ උපරිම කිරීම අරමුණු කරගත්ත ආර්ථික ක්‍රමයකදි මිනිස් ජීවිත වලටත්, ස්වභාවික පරිසරයටත් කොහොමත් ලැබෙන්නේ දෙවෙනි තැන. ඉතින් මිනිස් සෞඛ්‍යයට, පරිසරයට කොයිතරම් හානිදායක වුනත් ප්ලාස්ටික් නිෂ්පාදන වලට තරම් ආයෝජන ප්ලාස්ටික් ආදේශක වලට ලැබෙන්නේ නෑ.
ප්ලාස්ටික් කසළ වලට විසඳුම් ගේන්න නම් රජය කල යුත්තේ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ආනයනයත්, නිෂ්පාදනයත් අධෛර්යමත් කිරීම. නිෂ්පාදකයන්ගෙන් හා ආනයනය කරන්නන්ට ඉහළ බදු පැනවීම.
කොච්චර වගකීම් සහගත විදිහට බැහැර කරත් මේ ජෛවගෝලයට අලුතින් ප්ලාස්ටික් එකතු වෙන එක නවත්වනකම් මේකට විසඳුමක් නෑ. ප්‍රශ්නෙ මුල එහෙමම තියාගෙන මිනිස්සුන්ට බණ කියලා වැඩක් නෑ.
නැවත නැවතත් කියන්න තියෙන්නේ, ප්ලාස්ටික් කසළ වලට විසඳුම් සෙවිය යුත්තේ කසළ අවස්ථාවේදී නොව නිෂ්පාදනයේදී බව විතරමයි.
මෙලනි ගුණතිලක




