Breaking News

හරිනි පැටලුනේ පඹ ගාලකද? අධ්‍යාපනය පැටලුවේ පඹ ගාලක ද ?

පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණය කරන්න ඕන කියලා ලොකු කතාවක් යනවනේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සකස් කළ මොඩියුල් ගැන ලොකු සංවාදයක් ආවේ වෙබ් අඩවියක් ප්‍රවර්ධනය කරලා තිබුණු නිසා. ඊයේ අප ලියූ ආකාරයට ඒ වෙබ් අඩවියට පමණක් නෙවෙයි, තවත් සමාජ මාධ්‍ය හා වෙබ් සඳහා මොඩියුල වල සබැඳි ලබාදී තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් හරිනි අමරසූරිය කරුණු දක්වද්දී නිතරම අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීම ගැන කිව්වා. ඇය කිව්වේ අධ්‍යාපනය ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට ගෙනයා යුතුයි. එයට විරුද්ධ වන්නන් ලෝකය ගැන නොදන්න ළිං මැඩියන් කියලා.

නමුත් ඇත්තටම ළිං මැඩියා කවුද? අධ්‍යාපනය ඩිජිටල්කරණය කියන්නේ අළුත් සංකල්පයක් නෙවෙයි. ලෝකයේ බොහෝ රටවල් එය ආරම්භ කර වසර 10-15ක් වෙනවා. එයින් ලැබුණු ප්‍රතිවිපාක සමාලෝචනය කර ඔවුන් දැන් එයින් ඉවත් වෙමින් සිටිනවා. ලෝකයේ අධ්‍යාපනය ගැන අළුත් සංකල්පය තමයි ඩිජිටල්හරණය. ස්වීඩනය 2025 වසරේදී Back to Basics (නැවත පදනම් කරා) නමින් සහ ජර්මනිය 2025 වසරේදී De-degitalizing Class Rooms (පන්ති කාමර ඩිජිටල්හරණය) නමින් වැඩසටහන් ආරම්භ කළා. ඒ ගැන විස්තර https://www.dw.com/…/back-to-basics-sweden…/a-70228600 සබැඳියෙන් ලබා ගන්න පුළුවන්. කොවිඩ් වසංගතය වෙලාවේ online අධ්‍යාපනයට යාම නිසා බ්‍රිතාන්‍ය දරුවන්ගේ සමාජානුයෝජනයට, නිර්මාණශීලීත්වයට සහ පරිකල්පන ශක්තියට හානියක් වුණා කියලා එක්සත් රාජධානියේ අධ්‍යාපන අමාත්‍යංශය ස්වයංවිවේචනයක් වැනි දෙයක් කළා. ඔවුන් 2026 වසරේ සිට එම සමාලෝචන මත පදනම්ව අධ්‍යාපන ක්‍රමවේද වල වෙනසක් කරන්න උත්සාහ කරනවා.

අධ්‍යාපනය සඳහා ඩිජිටල් ක්‍රමවේද භාවිතා කරන රටවලත් ඒ සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ නෑ. ඔවුන්ගේ අධ්‍යාපන අමාත්‍යංශ විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි, රාජ්‍ය රූපවාහිනී නාලිකා සහ රජයේ අනුමත වෙබ් අඩවි වලට හැර අන් කිසිවකට ප්‍රවේශ වීමට පාසල් සිසුන් දිරිගන්වන්නේ නෑ. පාසල් පෙලපොත් වල එවැනි සබැඳි ලබා දෙන්නේත් නෑ. අධ්‍යාපනය ගැන ජාත්‍යන්තර ප්‍රමිති ගැන කියමින් ආණ්ඩුව මේ ප්‍රතිසංස්කරණ හරහා කරන්නේ ඒ ප්‍රමිති කඩන එක. “ලෝකයේ අලුත්ම සංකල්ප” කියලා ගේන්නේ දශකයක් දෙකක් පැරණි ඒවා.

ඊළඟ ප්‍රමිති ප්‍රශ්නය අන්තර්ජාලය හරහා මිතුරු සමාජ හදන්න සහ සබඳතා ඇති කර ගන්න දරුවන් පෙලඹවීම. ආන්දෝලනයට ලක්වූ වෙබ් අඩවියේ ප්‍රශ්නය සමරිසි සහකරුවන් මුණගැස්වීමට සීමා කිරීම වැරදියි. ප්‍රශ්නය දරුවන්ට තමන්ගේ තොරතුරු අන්තර්ජාලය හරහා වෙනත් අයට ලබා දෙන්නත්, අන්තර්ජාලය තුළින් මිතුරු සබඳතා ඇතිකර ගන්නත් දිරිදීම. ලෝකයේ බොහෝ රටවල එය තහනම්. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ 1998 Children’s Online Privacy Peotection Act (COPPA) සහ ඔස්ට්‍රේලියාවේ 1988 Privacy Act (PA) සහ යුරෝපා සංගමයේ 2018 General Data Protection Regulation (GDPR) ආදිය මගින් නිර්මාණය කර ඇති ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවනම් පාසල් පෙලපොතක වයස අවුරුදු 11-12 ක දරුවෙකුගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට ඇතුළු කිරීම සඳහා ක්‍රියාකාරකම් ලබා දෙන්න බැහැ.

ආණ්ඩුවට, අධ්‍යාපන ඇමතිනියට වගේම අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ටත්, ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්ටත් මේ ජාත්‍යන්තර සාකච්ඡා ගැන මෙලෝ අදහසක් නෑ. පාර්ලිමේන්තුවේ දක්ෂිණාංශික විපක්ෂයටත් නෑ. පොහොට්ටුවට මේ පුළුල් පදනමෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවේචනය කරන්න බෑ. මොකද මේ ආණ්ඩුව තමන්ගේ වගේ ඇඳගෙන ගියාට මේ ගෝඨාභය රාජපක්ෂ පත්කල උපාලි සේදර කමිටුව විසින් මසාදුන් කලිසමේ කොටසක්. එක්සත් ජාතික පක්ෂයටත් මේ ගැන කට අරින්න බෑ. මොකද රනිල් වික්‍රමසිංහ IT කොම්පැනිකාරයෝ ටිකකුයි, පෞද්ගලික පාසල් මුදලාලිලා ටිකකුයි දාගෙන හදපු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ කොටස් තමයි මේ ආණ්ඩුවත් කර ගහගෙන යන්නේ. සමගි ජන බලවේගයටත් කියන්න දෙයක් නෑ. සජිත් ප්‍රේමදාස රට වටේ ස්මාට් පන්ති කාමර බෙදබෙද “අපි ආවොත් අධ්‍යාපනය ඩිජිටල්කරණය කරනවා” කියලනේ කියන්නේ. ඒ නිසා ඒ ගොල්ලෝ ගන්නේ සමරිසි කතාවක්. ඒ පිටුව ඉරලා මේ වැඩේ කරගෙන යන්න කියලනේ විපක්ෂය කියන්නේ.

අධ්‍යාපනය අනිවාර්‍යයෙන්ම ප්‍රතිසංස්කරණය විය යුතුයි. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපඥයන් හා විෂය ප්‍රවීණයන්, විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්, පාසල් ගුරුවරුන්, සිසුන් සහ දෙමව්පියන් සහභාගී කරගත් පුළුල් සංවාදයක් ඇසුරින් නිර්මාණය කරගත යුතුයි. ලෝකයේ අනෙක් රටවල මේ සම්බන්ධ අත්දැකීම් අප විසින් සමාලෝචනය කරගත යුතුයි. ජාත්‍යන්තර ප්‍රමිතිය ගන්න වෙන්නේ එහෙම. ඒ කරන වැඩසටහනක් යථාර්ථයක් කර ගන්න අධ්‍යාපනය සඳහා වන රජ්‍ය ප්‍රතිපාදන ඉහළ නංවන්නත් ඕන.

රනිල් – රාජපක්ෂ පාලනයේ වැඩසටහන් වල ඉතුරු කොටස ක්‍රියාත්මක කරන්නයි, නව ලිබරල් ධනවාදයේ ප්‍රතිසංස්කරණ ටික ඉවර කරන කොන්ත්‍රාත්තුව කරන්නයි, ADB එකෙන් ඩොලර් මිලියන 200ක් ගන්න ඕන දෙයක් කරන පෙරේත කමයි, මෝඩකම සහ උද්දච්චකමයි, ඒ හේතුවෙන් ආපු වගකීම්විරහිත බවයි නැති කර ගත්තොත් හොඳ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කරගන්න පුළුවන් වෙයි.

පුබුදු ජයගොඩ

leave a reply