මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු ඇමතිවරුන්ට වසර 20 ක සහ 25ක සිරදඬුවම් ලබාදීම සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් මිලදීගෙන ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ එවකට හිටපු සභාපති සහ හිටපු වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු යන අය එම චෝදනාවලට වරදකරු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වරදකරු කර තිබේ.
ඒ අනුව හිටපු වෙළඳාමැති නලින් ප්‍රනාන්දුට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවම් නියම කළ අතර හිටපු ඇමති මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 20 සිර දඬුවම් නියම කර තිබේ.
තීන්දුව නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ යේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය, මෙම විත්තිකරුවන් තම ධුරයේ බලතල අයුතු ලෙස පරිහරණය කරමින් වැරදි ක්‍රියාවක් සිදුකර ඇති බව සඳහන් කර තිබේ.
මෙම වරද හේතුවෙන් මහජන බදු මුදලින් අයකරගෙන තිබූ රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට අහිමි වී ඇති අතර, ඉන් මහ ජනතාවට විශාල පාඩුවක් සිදුවූ බවත් ඇය පෙන්වා දී ඇත.
එම නිසා මෙවැනි වැරදි සිදුකිරීමට සූදානම් වන පුද්ගලයින්ට පාඩමක් කියාදෙන ආකාරයේ සහ දූෂණ විරෝධී පුද්ගලයින් අභිප්‍රේරණය වන ආකාරයයේ තීන්දුවක් ලබාදෙන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේන් වීරමන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.
මහින්දානන්දට එල්ල වී ඇති චෝදනා මෙය පමණක් නොවේ. විවිධ ඇමති ධූර දරමින් ඔවුන් ඇතුළු හිටපු ප්‍රභූ තන්ත්‍රය සිදුකරන ලද ජනතා දේපළ විනාශ කිරීම් ගණනාවක් තිබේ. ඉන් හොදම උදාහරණය වන්නේ ඔහු ගෝඨාභය පාලන සමයේ කෘෂිකර්ම ඇමති ලෙස සිටින සමයේ සිදුවූ චීන පොහොර නැවේ වංචාවයි.
අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක් ( චීන පොහොර නැව) වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් ( ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) ශ්‍රී ලංකා රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩුවූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.
එය කැරම් බෝඩ් මිලදී ගැනීම හරහා සිදුවූ වංචාවට එහා ගිය වංචාවකි. ඒ බව දන්නා මහින්දානන්ද තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මහින්දානන්දලා සිදුකළ මේ ආකාරයේ සියලු වංචාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම මෙන්ම එම අහිමිවූ මුදල් ඔවුන්ගෙන් අයකර ගන්නේ නම් ජනතාවට තවත් සතුටු විය හැක.