Breaking News

IMF විරෝධය අරහන් වූ පේරා උපකුලපතිට ශිෂ්‍ය සංගමුත් අරහන් වෙලා 

පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සතියක කාලයක් ශිෂ්‍ය සංගම් රැස්වීම් අත්හිටුවීමට ගත් තීරණයට එරෙහිව මැදිහත්වන ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ න් ඉල්ලා සිටියි. එම සංගමය පවසන්නේ මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ න් පවා තහවුරු කර ඇති රැස්වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ වැනි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි. එසේම පසුගියදා ආණ්ඩුව අපහසුතාවයකට පත්වන බව පවසමින් IMF විරෝධී දේශනයක් අවලංගු කර උප කුලපතිවරයා විසින් අවලංගු කර තිබූ බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

එම සංගමය විසින් ආචාර්ය සමිති සම්මේලනය වෙත යොමුකළ ලිපිය පහත දැක්වේ.

ආචාර්‍ය අනුරුද්ධ කරුණාරත්න,
සභාපති,
විශ්වවිද්‍යාලයීය ආචාර්‍ය සමිති සම්මේලනය.
2025/01/16.
සභාපතිතුමණි,

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම ශිෂ්‍ය සංගම් රැස්වීම් සතියක කාලයකට අත්හිටුවීමට උපකුලපති ගත් තීරණයට බලපෑම් කිරීම සඳහා.
ඊයේ(15) දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති විසින් මහා ශිෂ්‍ය සංගමය සහ සියලුම පීඨ ශිෂ්‍ය සංගම් කැඳවීම 2025/01/15 දින සිට සතියක කාලයක් දක්වා අත්හිටුවීමට තීරණය කර ඇත. විශ්වවිද්‍යාලයේ උපකුලපතිට පැවරී ඇති බලතල ප්‍රකාරව සිදු කළායැයි සඳහන් කරන මෙම ක්‍රියාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා ස්ථාපිත කර ඇති මූලික අයිතිවාසිකම් වන රැස්වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමකි. තවද මීට දින කිහිපයකට පෙර සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධානය විසින් පැවැත්වීමට නියමිතව තිබූ IMF විරෝධී දේශනයක් ආණ්ඩුව අපහසුතාවය පත්වන එකක් යැයි සඳහන් කරමින් අවලංගු කරන ලදී. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීම් පසුගිය කාලසීමාවේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ සහ ඊට පෙර සුලභව රට තුළ පැවතියද මේ වන විට පොදු ජනතාවගේ ආණ්ඩුවක් යැයි පවසමින් බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩු පාලනය යටතේද මේවා සිදුවීම බරපතල ගැටළුවක්ව පවතී.
අප විශ්වවිද්‍යාලයීය ආචාර්‍ය සමිති සම්මේලනයට යෝජනා කරනුයේ ප්‍රජාතන්ත්‍රවාදය, රැස්වීමේ අයිතිය, භාෂණයේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි සංවිධානයක් ලෙස මේ අයුරින් ශිෂ්‍ය සංගම් රැස්වීම තහනම් කිරීමට ගත් මෙම තීරණය නැවත හැරවීම සඳහා කඩිනම් මැදිහත් කිරීමක් සිදුකරන ලෙසටයි.

මිට,
මදුෂාන් චන්ද්‍රජිත්,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලීයය ශිෂ්‍ය බලමණ්ඩලය.

leave a reply