Breaking News

රෝහණ විජේවීර ඇතුළු ඝාතනයට ලක්වූවන්ට සාධාරණේ ඉල්ලා පෙරටුගාමින්ගෙන් ජනාධිපතිට ලිපියක්

1988-89 වකවානුවේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය කළ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂ නායකයන්ගේ ඝාතන පිළිබඳවත් ,දශක කිහිපයක් සිදු වූ උතුරේ යුද්ධයේ සහ යුද්ධය අවසානයේ සිදු වූ පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් සහ ඝාතන පිළිබඳවත්, පූර්ණ විමර්ශන සිදු කර වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය  ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ .

පහත පලවන්නේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියයි

2024/ 11/ 10

ගරු ජනාධිපති,
අනුර කුමාර දිසානායක මහතා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ
ගරු ජනාධිපතිතුමනි,

රෝහණ විජේවීර ඝාතනය ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ
යුක්තිය ඉටුකරන්නට මැදිහත්වන ලෙස ලෙස ඉල්ලා සිටීම

එළඹෙන නොවැම්බර් 13 දිනට 35 වැනි ඉල්මහ විරු සමරුව යෙදී ඇත. සමාජවාදීසමාජ පරිවර්තනයක් වෙනුවෙන් සටන් කොට ජීවිත පරිත්‍යාග කළ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු එම පරම්පරාව දැඩි ගෞරවයෙන් හා ආදරයෙන් සිහිපත් කරන අපට මේ මොහොතේ අත්හළ නොහැකි දේශපාලන වගකීමක් පැවරී ඇත. ඒ යුක්තිග රුක සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා සටන් කිරීම නිසාම මරා දැමූ ඔවුන්ගේ ජීවිතවලට යුක්තිය ඉටු කිරීමේ වගකීමයි. එබැවින් 1988-89 වකවානුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස රාජ්‍ය ත‍්‍රස්තවාදය යොදා ගනිමින් සිදු කළ පැහැරගැනීම්, ඝාතන සහ වෙනත් අපරාධ පිළිබඳ සැබෑ තොරතුරු සමාජයට අනාවරණය කළ යුතුව ඇත.

ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස රාජ්‍ය බලය යොදා ගනිමින් අපරාධ සිදු කිරීම 1988- 89ට පමණක් සීමා වූවක් නොවේ. දශක ගණනාවක් පුරා දිග්ගැස්සුණු උතුරේ යුද්ධය ආශ‍්‍රිතවද පැහැර ගැනීම, අතුරුදන් කිරීම්, ඝාතන ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ මහා පරිමාණ වශයෙන් සිදුවිය.

මෙවැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දනයේ ඉතිහාසයක් පසුකර ඇති අපේ සමාජයට මෙම සිදුවීම් ආශ‍්‍රිතව සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමේ අවශ්‍යතාව ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව මෙතෙක් රට පාලනය කළ සාම්ප‍්‍රදායික පක්ෂ පරාජය කොට ඔබ ජනාධිපති ලෙස පත් කර ඇත. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ වන විට නිර්මාණය වී ඇත. දේශපාලන සන්දර්භයන් දෙකක උතුරේත් දකුණේත් සිදුවූ පැහැර ගැනීම්, අතුරුදන් කිරීම්, ඝාතන ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සොයා බලා එහි වින්දිතයන්ටත් සමාජයටත් යුක්තිය ඉටු කිරීම සඳහා සුදුසුම මොහොත දැන් එළඹ ඇත. ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා වන ඔබ රටේ ජනාධිපති ලෙස පත් වී ආණ්ඩුවක් ගොඩනගා ඇති මේ මොහොතේ ඒ සඳහා කඩිනමින් මැදිහත්වනු ඇතැයි අපේක්ෂා කරමු.

තවද එවැනි පූර්ණ විමර්ශනයක් සඳහා අවශ්‍ය සහාය ලබා දීමට අප සූදානමින් සිටිමු. විශේෂයෙන්ම රෝහණ විජේවීර සහෝදරයා ඝාතනය ඇතුළු සිදුවීම් පිළිබඳ අප සතු සාක්ෂි සහ තොරතුරු ලබාදීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සූදානමින් සිටින බවද අවධාරණය කළ යුතුය. උතුරේත්, දකුණේත් සිදු වූ මෙම අපරාධ පිළිබඳ සමාජයට අනාවරණය කිරීම සඳහා ආරම්භක පියවර ලෙස පහත යෝජනා අප ඔබ ඇතුලූ‍ ආණ්ඩුවට ඉදිරිපත් කර සිටිමු.

1. 1988-89 වකවානුවේ අත්අඩංගුවේ සිටියදී ඝාතනය කළ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂ නායකයන්ගේ ඝාතන පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කර එහි තොරතුරු සමාජයට අනාවරණය කිරීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම

2. දශක කිහිපයක් තිස්සේ සිදු වූ එසේම උතුරේ යුද්ධයේ අගභාගයේ (2009) සිදු වූ පැහැරගැනීම්, අතුරුදන්කිරීම් සහ ඝාතන පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කර වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම

දෙවන යෝජනාවට අදාළව මීට පෙර ආණ්ඩු විසින් විවිධ කොමිෂන් සභා පත් කර වාර්තා සකස් කර ඇත. අතුරුදන් කිරීම් පිළිබඳ පනත් සම්මත කර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවා තිබිණි. අද අවශ්‍ය වන්නේ ඒ අතීත තොරතුරුද පදනම් කර ගනිමින් මෙම සිදුවීම් පිළිබඳ සත්‍ය සමාජයට අනාවරණය කිරීම සහ යුක්තිය ඉටු කිරීම විනා කල්මරණ කොමිෂන් සභා නොවේ. රාජ්‍ය ත‍්‍රස්තවාදයෙන් බරපතළ ලෙස බැට කෑමට ලක්ව ඇති පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ඔබ ඇතුළු ආණ්ඩුව ඒ සඳහා ඉක්මන් පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

ස්තුතියි
මෙයට
ප‍්‍රධාන ලේකම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂය

leave a reply