Breaking News

රොෂාන්ද? රනිල්ද?

රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක විවේචනය කිරීමෙන් පසු ඊයේ දිනයේ ඇමති ධූරයෙන් ඉවත් කරනු ලැබූ රොෂාන් රණසිංහ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් වෙමින් පවතියි. ඇතැමුන් පවසන්නේ මෙය ඉතාම අසාධාරණ ඉවත් කිරීමක් බවයි. එසේම මේ ඉවත් කිරීම සිදුකරන්නේ සාගල රත්නායක විවේචන කිරීම නිසා බවද බොහෝ පිරිසකගේ අදහස වී තිබේ. මේ අනුව බහුතර පිරිසකට රොෂාන් රණසිංහ වීරයෙකු වී තිබේ.

රොෂාන් රණසිංහ බැලු බැල්මට ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුවට එරෙහිව සටනට බැස සිටියි. ඔහු වංචා දූෂණ පිටුදැකීම ගැන කතා කරයි. ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ අවසන් කිරීම ගැන කතා කරයි. මෙපමණ කාලයක් රාජපක්ෂ ආණ්ඩුව ඇතුළුව රනිල් වික්‍රමසිංහ විසින්ද සිදුකරන ලද සියලු තක්කඩිකම්වලට සහාය පළකරමින් සිටි රොෂාන් රණසිංහ වැන්නෙකුට වංචා දූෂණ ගැන මතක් වීම පුදුමයකි.

රනිල් වික්‍රමසිංහ ඔහුගෙන් විමසූ ප්‍රශ්න දෙකක් ගැන ද සඳහන් වේ. විපක්ෂය සමග එකතුව ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලයට කතා කළේ ඇයි හා මහවැලි ඉඩම් දේශපාලන හිතවතුන්ට බෙදාදුන්නේ ඇයිද යන්න එම ප්‍රශ්න දෙකයි. ඉඩම් බෙදා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රොෂාන් පවසන්නේ එම ඉඩම් ලබාදුන්නේ දේශපාලන හිතවතුන්ට නොව ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට සහ පන්සලකට බවයි. පුහුල් හොරු කරෙන් දැනෙන්නේ ඒ ආකාරයෙනි.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වටා ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය 2021 වසරේදී ගත් තීරණයට එරෙහිව ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල විය. මෙම ඇවිදින මංතීරුව ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කිරීමත් සමඟ විශාල විරෝධයක් එල්ල විය.

ගොවි ජනතාව වී මෝල් මාෆියාව විසින් මිනිස් පලිහක් ලෙස භාවිතා කරන බවත් ගොවියාට ඉහල මිලක් ලබා දීමටත් වීමෝල් හිමිකරුවන් පාරිභෝගිකයාව ගසා කෑම තුරන් කිරීම සදහාත් කළ හැකි දේ කරන බව වරක් රොෂාන් රණසිංහ සපථ කරන ලදී. ඒ ගෝඨාභය රාජපක්ෂ යුගයේදීයි. සහල් මාෆියාව දණ ගස්වන බවත් එසේ කිරීමට බැරි වුවහොත් ඉල්ලා අස්වන බවටත් ඔහු පවසා තිබුණි. නමුත් සහල් මාෆියාව දණ ගැසුවේත් ඔහු ඉල්ලා අස්වුනේත් නැත.

රොෂාන් රණසිංහ නටන නැටුම කොතනින් ඉවරවෙයිද යන්න තවම පැවසීමට කල් වැඩිය. එහෙත් එම නැටුම ජනතාව වෙනුවෙන් වූ නැටුමක් නොවන බවනම් දැන්ම තියා කිව හැකිය.

එම නිසා රොෂාන් ද රනිල්ද කියා තේරීම් දෙකක් ජනතාවට නැත. දෙදෙනාම එකම වේදිකාවක නැට්ටුවෝ දෙදෙනෙක් පමණි.

 

 

leave a reply