Breaking News

පාස්කු නඩුව – විධායක ජනාධිපතිකමේ පිහිටෙන් රනිල් බේරෙයි

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීන්දු කර තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහගේ නම් මේ අතර නොතිබීමයි. රනිල් වික්‍රමසිංහ ‘පිං’ ජනාධිපති වීමෙන් පසු ජනාධිපති මුක්තිය පාවිච්චි කර පාස්කු පෙත්සම් නඩුවෙන් තම නම ඉවත්කරගැනීමට කටයුතු කරන ලදී. එසේ නොමැතිවුවා නම් රනිල් වික්‍රමසිංහ ද මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් වැරදි කරවෙකු විය යුතුව තිබුණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම තීන්දුවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල්වලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බව නියම කර තිබේ.

එමෙන්ම නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

අදාළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් 12ක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය එම නියෝගය ලබා දී තිබෙයි.

එසේම ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බව තහවුරුව ඇති තත්ත්වයකදී ඒ සඳහා අවශ්‍ය දඬුවම් ලබා නොදී වන්දි ගෙවන ලෙස නියම කිරීම සම්බන්ධයෙන් ද සමාජය තුල කතා බහක් මතුව තිබේ.

leave a reply