Breaking News

ඇෆ්ගනිස්තානෙන් ඇමරිකන් හමුදා ඉවත් වීම එක්කම

දුමින්ද රත්නායක

ඇෆ්ගනිස්තානෙන් ඇමරිකන් හමුදා ඉවත් වීම එක්කම ඇමරිකන්කාරයෝ යනු ලිබරල් වටිනාකම් තහවුරු කරන උන්ය, උන් ඇෆ්ගනිස්තානයට හොඳක් කලෝය, උන් සිටි කාලය තුල ඇෆ්ගන් කාන්තාවන්ට නිදහස හිමිවිය, මුස්ලිම් අන්තවාදීන් ඇෆ්ගනිස්තානය නැවත මිහිපිට අපායක් කරන්නේය ආදී ඉකිබිඳුම් ඇසෙයි.

මේවායේ එක අතකට ඇත්තක් ඇතත්, ඒ ඇමරිකන්කාරයන්ගේ අමුතු හොඳක් නිසා නොවේ. ලෝකයේ ඇති ලොකුම් මුස්ලිම් අන්තවාදී රටක් වන සෞදි අරාබියට දශක ගණනාවක් තිස්සේ ආයුධ සැපයීම, උන්ගේ තෙල් මිලට ගැනීම ආදී දේවල් වලින් සහය දුන්නේ ඇමරිකාවමය. 9/11 ප්‍රහාර කල (මතක හැටියට) 21 දෙනාගෙන් 17 දෙනෙක්ම සෞදි ජාතිකයන්ය. නමුත් ඇමරිකාව පහර දුන්නේ ඇෆ්ගනිස්තානය සහ ඉරාකයට ය. මෙය එලිය ඇති තැන යතුර සෙවීම වැනි වැඩකි.

පහුගිය සියවස සහ මේ සියවස තුල අරාබිකරයේ සිදුවූ නොයෙක් විනාශයන්ට ඇමරිකාව සෘජුව හා වක්‍රව සම්බන්ධය. බින් ලාඩන් සහ අල් කයිඩා සංවිධානය (සහ වෙනත් ඒවා) ගොඩනැගීමට, ඉස්රායලයට අම්බානක සහය දී අරාබිය වඩා ආන්තික කිරීමට, අරාබියේ රටවල තිබූ වඩා සේකියුලර් ලිබරල් පාලනයන් වෙනුවට අන්තවාදී හෝ මිලිටරි පාලනයන් ගෙන ඒමට, දිගින් දිගට රට රටවල් සමග යුද්ධවලට එළඹීමට, අනතිමේදී සිය මිලිටරි බලය භාවිතා කර සිවිල් වැසියන් ඇතුළු මිනිස්සු ලක්ෂ ගණනින් ඝාතනය කිරීමට ආදී සියල්ලට ඇමරිකාව වගකිව යුතුය. ඉරාකයේ ඇමරිකානු භටයන් හෙලිකොප්ටරයක සිට නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තැබීම ලීක් කල ජුලියන් අසාන්ජ් මේ ඇත්ත ලොවට පෙන්වීම හේතුවෙන් අදටත් සම්පූර්ණ අනීතික ලෙස දඬුවම් විඳියි.

“ශිෂ්ඨාචාරයේ තොටිල්ල” යනුවෙන් හැඳින්වුණු ඉරාකය ම්ලේච්ඡත්වයේ තොටිල්ලක් බවට පත් කලේ මේ ලිබරල් ඇමරිකන් හමුදාවන් ය. අද වන විට ඉරාකය, ලිබියාව, සිරියාව, පලස්තීනය, යේමනය ආදී රටවල් මිහිපිට අපායන් බවට පත්ව ඇත්තේ අපේ ඇමරිකන් මානුෂික හමුදාවන් සහ උන්ගේ දේශපාලනයට පින් සිද්ධ වන්නටය. ලොව දුගීම රටක් වන ඇෆ්ගනිස්තානය තුල විසි වසරක ඇමරිකන් යුද්ධය නිසා මිය ගිය සිවිල් වැසියන් ප්‍රමාණය පමණක් 70000කට වැඩිය.

තලෙයිබාන්ලාගේ අන්තවාදය සහ ම්ලේච්චත්වය හෙලා දැකිය යුතුය. ඒත් මේ ලිබරල් (සහ පුදුමාකාර ලෙස ජාතිකවාදී) ගොයියෝ ඇමරිකන් ම්ලේච්චත්වය හෙලා දකින්නේ කවදාද? දශක ගණනාවක් සිස්ටමටික් ලෙස කල මානව විනාශයන්ට සහ ශිෂ්ඨාචාරයන් වලපල්ලට යැවීම ගැන වග කිව යුත්තේ කඳු ගුහා අස්සේ හැන්ගෙමින් සටන් කරන නූගත් තලෙයිබාන්ලාද නැත්තන් අධිතාක්ෂණික ඩ්රෝන් වලින් ගැහැණු ළමයින් ඇතුළු දුගී මිනිසුන්ගේ ඔලුවලට බෝම්බ හෙලූ ඇමරිකානුවන්ද? ඒ සියල්ල අවසානයේ නැවත තලෙයිබාන්ලා බලයට එන්නේ නම් අර මියගිය සියළු දෙනා හුදු “මිස්ටේක්” ද?

තව ටික දවසකින් ඇෆ්ගනිස්තානයේ ඉගෙන ගන්නා දුගී කෙල්ලක් බේරාගන්න ඇමරිකන් මානුෂික වීරයෙක් ඉන්නා හොලිවුඩ් චිත්‍රපටයක් එනු ඇති අතර අපට ඒ බලා හොටු හීරිය හැකිය.

Duminda Rathnayaka

 

leave a reply