Tag: රසිකා මුහන්දිරමිගේ

  • අයිලයේ තැනිබිමට ආයේ ඇවිදින් යන්න – රසිකා මුහන්දිරමිගේ

    අයිලයේ තැනිබිමට ආයේ ඇවිදින් යන්න – රසිකා මුහන්දිරමිගේ

    සුරංගීට දුක හිතෙන්නට ඇති ය.ඒ කවි පොත ලැබී බොහෝ කල් ගියත් වචනයක් හෝ මගෙන් නොකියවුණු නිසා විය හැකි ය.

    නමුත් අයිලයේ තැනිබිමට ආයේ ඇවිදින් යන්න මගේ බෑගයේ මා සමග ම විය.වරින් වර එළියට අවුත් කවියක් දෙකක් තලු මරා විඳින මම කල් ගෙන සුරංගීගේ කවිය ගැන මෙසේ ලියමි.

    සුරංගී ගෑනියක ලෙස ගෑනු ගැන ලියන්න තම කවියේ වැඩි ඉඩක් වෙන් කරන්නී ය.එසේම ඈ පවත්නා ක්‍රමය පිළිබඳ සංවේදී ය.ඇය ලෝකය කියවන්නී ය.එය යථාවාදී දෘෂ්ටියෙන් ය.සමාජ ගැටුම්,අසමානතා ,විරෝධතා ඈ කවිතුළ සඟවන්නී ය.

    කවියේ බස සුමටය නමුත් ගැඹුරු අ‍ර්ථ උත්පාදනයට සමත් ය.මේ ඈ ලිහූ මා බැඳුණු පළමු කවයි.ඒ 34 වෙනි කවයි.

    ගෑරුප්පුවයි පිහියයි
    තරගෙක
    පිළී ගෑවෙයි කියල
    පිරිත් නූලක…

    ගැඹුරු උපහාසයක් පද ස්වල්පයක් අතර සඟවන්නට බසින් උපරිම ප්‍රයෝජන ගන්නට සුරංගී මේ කවේදී පරිස්සං වී ඇත.

    දහසය කවිය මගේ සිතේ රූප අඳියි.ඒ මේඝලතා විජ්ජුලතා ය.

    මල් අරන් බුදු පුදට යද්දි පිදුරංගල
    උල් වගේ හිත් ඇවිත් වැදුණ තෙත නෙත්වල
    රිදුණු කැටයම් අරන් සිහගිරියෙ බිත්වල
    අප්සරාවොයි දන්නෙ තිබුණ දුක හිත්වල…

    එකිනෙකට යාබඳ කඳුය.කැටයම් කළේ ගෑනුන් ය.නොකීයවෙව්වේ ඔවුන්ගේ හිත් ය. කියෙව්වේ ගෑනු සිරුරු ය.

    මේ සුරංගී ප්‍රසිද්ධියේ නිරුවත් කළ ගෑනු ගැන සංවේදීව ලියූ හැටි ය.බස මෘදුය.හැඟුම ත්‍රීව්‍ර ය.
    කවිය අවසන හඬන සිහගිරි සුන්දරිය ගැන සුරංගී සංවේදී වෙන්නී ය.අපි සිහගිරි ළලනාව විඳියි.ඈ ඔවුන් විඳවන බව පවසයි.තේමාව මෑත කාලීනව පොදුවුව එහි අපූර්වත්වය තවරන්නේ සුරංගී බස නැවුම් ව යොදා ගැනීම මගින් ය.

    සුරංගීගේ කවි පොත කවි 43කින් පිරෙද්දී මගේ හිත පිරෙව් තව කවියක්ලෙස හත්පෙති මල හැදින්විය හැක.මුළු කවියම තත්‍ය ලෝකය විනිවිඳියි.ඈ පොළවේ පය තබාගෙන කවි ලියන බවට සාක්කිය ඒ කවියයි.

    අප දන්නා පාන් වළලු රැගෙන ආ ශේන්‍යාගේ දියණිය ලෙස ඈ කවිය අරඹයි.ඈ මල්පෙත්තෙන් පෙත්ත කඩන්නී මේ විසල් විසම ලොවෙන් බොහෝ දේ ඉවත්ව යා යුතු බව පතන්නී ය.කවියේ අවසන ඈ සහෘදයා තිගස්වයි.

    මේක අන්තිම එක
    “හොරා කන්නේ නැති මිනිස්සු ඕන පාලනයට”

    අපරාදේ…..
    මේ පෙත්ත මුලින් ම කැඩුව නම්
    ඉතිරියි පෙති හයක් මට …..

    අපි හැමෝටම වැරදුණේ එතැනය.කවිකාරිය එය සංවේදීව ප්‍රශ්න නොනඟා ප්‍රශ්න කරන්නීය.සුරංගි මේ අපට නොකියා කියන්නේ තවදුරත් අප ප්‍රමාද නැතිබව නොවේ ද?

    සාහිත්‍යාංගයක් හරහා හුදු මායාව ඇඹීම නොව යථාව කියවීම කාලෝචිතය.එහෙම බලද්දී සුරංගී භෞතික ලොව හා ගැටෙමින් එය විසිතුරුව මවා නොපෙන්වයි.එහෙත් බස විසිතුරුව යොදා ගනිමින් කටුක යථාව ඉස්මතු කරයි.

    මේ ඇගේ කවියයි.එන්න අපි ඇවිද යමු අයිලයේ තැනිබිම හරහා…..

     

  • පපුව ගල් කැටයමක් කොට ලියවුනා කවි – රසිකා මුහන්දිරමිගේ

    පපුව ගල් කැටයමක් කොට ලියවුනා කවි – රසිකා මුහන්දිරමිගේ

    ගෑනු හිටියෙම හිනාවීගෙන

    අතින් අත යන ඈ
    ඔබ කැමති නම් පුළුවන්
    ඔබ ළඟ නතර කරගන්න

    දිනය අගෝස්තු 26
    හවස දෙක
    සවුත්ලන්ඩ්ස් බාලිකාවේ
    දොරකඩම වේදිකාව
    ඒ ඇගේ ස්වයංවරය

    ඔබේ තේරීම ඇය

    කවුද අකමැති – හිනාවෙන ගෑනියක්
    ළඟින් ම තියාගන්න!

  • මංගල්‍යය අධ්‍යක්ෂකවරු

    මංගල්‍යය අධ්‍යක්ෂකවරු

    රෝසමල් කාමුකබවත්
    නෙළුම්මල් පිවිතුරුබවත්
    පවසති

    අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු

    අරලියා ශෝකජනකබවත්
    ඇන්තූරියම් වැදගත්බවත්
    පවසති

    දෙගොල්ලෝම එකාවන්ව මැරුණු මල්
    නැවත නැවතත් පුබුදුවති

    මංගල්‍යය අධ්‍යක්ෂකවරු
    මල් පොකුරු අත රඳවති

    අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
    මල්වඩම් දෙනවටා සරසති

    දෙගොල්ලම එකාවන්ව
    මලින් සිත් වසඟයට ගනිති

    මංගල්‍යය අධ්‍යක්ෂකවරු
    සිනාසෙන්නැයි බලකරති

    අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
    හඬා වැටෙන්නට පසුබිම සකසති

    දෙගොල්ලොම එකාවන්ව
    අනෙකාගේ සිතුවිලිවලට බලෙන් රිංගති

    මංගල්‍යය අධ්‍යක්ෂකවරු
    පෝරුවේ වස්දොස් අරිති

    අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
    සුසානයේ දිග පළල මනිති

    දෙගොල්ලම එකාවන්ව
    අනෙකාගේ ජීවිතයේ නිලයන් අල්ලති

    මංගල්‍යය අධ්‍යක්ෂකවරු
    සුදුවතේ පිවිතුරුබව ආලේපන කරති

    අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
    සුදුවතේ ශෝකය ආලේපන කරති

    දෙගොල්ලෝම එකාවන්ව
    කළු ඇඳන් සේවය සපයති

    මංගල්‍යය අධ්‍යක්ෂකවරු
    මතුපිටින් සිනාසෙමින්
    ඇතුළතින් වැළපෙමින්
    මිලගණන් කැඳවති

    අවමංගල්‍යය අධ්‍යක්ෂකවරු
    මතුපිටින් වැළපෙමින්
    ඇතුළතින් සිනාසෙමින්
    මිලගණන් කැඳවති

    දෙගොල්ලොම එකාවන්ව
    අනෙකාගේ ජීවිතයේ
    මිල ගණන් තීරණය කරති .

  • සාරියි ගෑනුයි !

    සාරියි ගෑනුයි !

    මල් මල් සාරි ඇඳ
    නටුවෙ විස කටු හැංගූ ගැහැනු

    ඉරි ඉරි සාරි ඇඳ
    කොටු ගැහුනු ජීවිත වහගත්ත ගැහැනු

    සේද සිනිඳු සාරි ඇඳ
    හිතේ ගල් බොරළු මැඩගත්ත ගැහැනු

    යාර හය මැද
    යාය පුරා පීදෙන හැඟුම්

    හංගගත් බවලත් මනුසත්තු…..

    ශිපෝන් සාරි නියඟින් අතගා
    නයිලෝන් සාරිවල හිරවෙච්ච ගැහැනු

    බිනරමල් පිච්චමල් බතික් සාරි ඇඳ
    පතොක් මල් ගොඩේ සුව විඳින ගැහැනු

    කලුම කලු සාරි ඇඳ
    විචිත්‍ර වරණ හැට්ටවලින් කලු වහන ගැහැනු

    යාර හය මැද
    යාය පුරා පීදෙන හැඟුම්

    හංගගත් බවලත් මනුසත්තු……

    පොට කඩා ළැම වසා
    ළය සුසුම් තෙරපාගත් ගැහැනු

    නෙරි තියා ඉන හඳා
    නෙරූ කුස් හංගා හිත් හදාගත් ගැහැනු

    රැළි තියා හැඩ හදා
    පොඩිවෙච්ච තැන්වසා හිනාවුනු ගැහැනු

    යාර හය මැද
    යාය පුරා පීදෙන හැඟුම්
    හංගගත් බවලත් මනුසත්තු……..

  • සීරියස් නොවී සරලව ළමයිට ළංවෙන්න

    සීරියස් නොවී සරලව ළමයිට ළංවෙන්න

    පුංචි කාලේ ඉගෙනීමට මම හරිම දුර්වලයි.ඒ හින්දා ම ඉස්කෝලේ වහකඳුරුයි.ඒ කාලේ මුහුද ගාවින් බස් එක යද්දී බලනව හිතනව මම අකමැති ගුරුවරු මුහුදේ පා වෙවී ඉන්නවනම් කොච්චර හොඳද කියලා .(නිකම් නෙවි මැරිල)

    පස්සෙන් පහු මටම හිතිලා ඉගෙන ගන්න පෙළඹුණා.ඒක පිටිපස්සේ තව ගොඩක් චරිත හිටියා.හතේ අටේ පංතිවල පියදාස මිස්,උසස් පෙළ කාලේ ආර්ථික විද්‍යාව උගන්නපු මානෙල් මිස්,දේශපාලන විද්‍යාව උගන්නපු ගනේගොඩ මිස් ප්‍රමුඛයි.

    ඒ වගේම අපි වගේ දුර්වලයන්ට ක්ෂේමභූමියක් වුනු ගාල්ලේ ඉගෙනුම අමතක කරන්න බැහැ .

    ගණිතය සිංදුවෙන් ,කතාවෙන් උගන්නපු තිලක් සර් ,දැඩි විනය නමුත් නියම ගුරුවරු වුන තිස්ස සර් ,ජයසිංහ සර් කොහොම අමතක කරන්නද?

    ඉගෙන ගන්නනම් උගන්නන විදියත් හරි වැදගත් කියලා මේ ගුරුවරු පෙන්නල දුන්න.ඒ වගේම මනුස්සකම ඕනමයි කියලා වටහා දුන්නා.ඒ මිනිස්සු ගුරු මිනිසුන්.(අඳුනන්නේ නැති දේව ගති ගැන කියන්න බෑනේ)

    ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඔය උගන්නන වැඩේට සම්බන්ධ හැම කෙනෙක් ම වගේ උගන්නන විඳි ගැන ඉගෙන ගන්නවා.ඒවට අවශ්‍ය සුදුසුකම් රැස්කරනව.ඉහළට යන්න ඒව රැස්කරනව .මාත් එහෙමයි.

    මොන ගඟෙන් වතුර ආවත් මුහුදට වැටුනට පස්සේ එකයි.අපි කොයි ක්‍රමෙන් සුදුසුකම් රැස්කරගත්තත් වැදගත් ඒවා හරියට පාවිච්චිය .ප්‍රායෝගික කරගැනීම.

    හැබැයි ක්ෂේත්‍රය තුළ වැඩිපුර දකින්නේ තමන්ගේ සුදුසුකම් ගැන පුරාජේරුව .මානය.

    ලොකුම ගැටලුව ඕක නෙවි.දවසින් දවස පාසල තුළින් ළමයි ගිලිහෙනව.පාසල ගැන විශ්වාසය ,ආදරය අඩුවෙනව.ළමා මිතුරු පාසල් ළමා හතුරු වෙනව කියලා දැනෙනව.ගෙදරට පස්සේ රැකවරණය ,ආදරය දෙන්න තියෙන ප්‍රමුඛ තැන පාසලද කියලා හිතට දැනෙනව.

    උගන්නනව කියන්නේ පෙළපොත වැමෑරීම නෙවිනේ.ආදරය,මනුස්සකම ,අත්දැකීම් තවරලා ,පිළිගැනීම ,විශ්වාසය පාසලෙන් දරුවට ලැබෙන්නම ඕන.ඉතින් හැඩවැඩ දාලා කරන ඉගෙනුම අස්සේ ඕව තියෙන්නත් ඕනනේ.

    මට මෙහෙම ලියන්න හිතුවේ හුඟක් දරුවෝ එක්ක කතා කරද්දී පාසල ගැන සතුටක් නැති නිසා.

    ළමයි පාසල් ප්‍රතික්ෂේප කළොත් ඒකේ ප්‍රතිඵල එච්චර නරකම නැතිවෙන්නත් පුළුවන් .මොකද ඉගෙන ගන්න ඕන තරම් මාදිලි තියෙනවා .

    හැබැයි පාසලෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඊට වඩා වැඩි දේවල් .ඉතින් ඒ අවස්ථා නැතිවීම එච්චර හොඳ තත්වයක් නෙවි.

    හැබැයි ඒක අපි කාට කාටත් අපිටම ටොක්කක් ඇනගන්න හේතුවක් වෙනව.

    වැඩිය සීරියස් නොවී සරලව ළමයිට ළංවෙන්න අපි හැමෝම වෙනස් වෙන්නම වෙනව.

  • ආයෙත් අවුරුදු ඉවර වෙනකම් එළියට බහින්නේ නම් නැතිය.

    ආයෙත් අවුරුදු ඉවර වෙනකම් එළියට බහින්නේ නම් නැතිය.

    දවස් තුනකින් පසු හන්දියට ආවේ වැඩකටය.හන්දියම වෙනස්‍ වී ඇතිය. ගිනිකෙළි,සැණකෙළි,අවකෙළි අපමණය .පරණ රෙදි අලුත් මිලට ඩිස්කවුන්ට් ය.ජීවිතේට රෙදි නොපැටලූ ජනතාවය.ලස්සෙට කොඩි නිසා සද්දය රතිඤ්ඤා ය.

    ඔක්කොටම වඩා ලජ්ජාවේ පණ යන්නේය.
    හැම කඩයක් ළඟම නැටවෙන්නේය.හිත නටද්දී ඇඟද පොඩ්ඩක් සලිත වන්නේය.
    ගමන් තාලය ඇත් සිට අශ්ව,කොටි,දිවි,වඳුරු,රිලව් ආදී ලෙස වෙනස්වන බව මටම වැටහෙන්නේය.

    හැම කඩේම සික්ස් එයිට් තාලෙට බඩු විකුණන්නේය.
    සංගීත,ගීත නාදයෙන් ආලෝලනය වූ හන්දිය තවදුරටත් පෙර නොවූ විරූ ය.

    තාලෙට බඩුගන්න ආල නැති මිනිසුන් ය.

    ආයෙත් අවුරුදු ඉවර වන තෙක් එළියට නොයන බවට මම මට ම සපථ කර ගත්තාය.

    මන්ද මට මගේ ගත පාලනය කරගත නොහැකිය .නැටුම් හිත ගත සමඟ මම ගෙදරටම වී සිටින්නාය.

  • කාන්තා දිනේ කාන්තාවට වැදගත්ද?

    කාන්තා දිනේ කාන්තාවට වැදගත්ද?

    කාන්තා දිනේ කාන්තාවට වැදගත්ද පුරුසයාට වැදගත්ද මම දන්නේ නෑ.හැබැයි මොන දිනෙත් වැදගත්වෙන බැංකු,රක්ෂණ ,සනීපාරක්ෂක තුවා,රත්තරං විකුණන අය….ආදී එකී මෙකී නොකී අය කාන්තාව මේ ලෝකේ පහළ වූ උත්තම මනුස්ස රතනය බවට කාන්තාව පත්කරනව.ස්ත්‍රීවාදීන් පුරුසයෝ එදාට නොමර මරණව.කවියෝ අක්කල,නංගිල,අම්මල,භාර්‍යාවෝ සිට කුලී,ජුකී,කුකරී,බේකරී,ගණිකා,රූපිකා,නිරූපිකා මේ වගේ නොයෙක් ගණයේ ස්ත්‍රීන් උදෙසා ප්‍රශස්ති හදනව.

    ඉතින් මෙව්වට රැවටිලා සමහර අම්මණ්ඩිලා එදාට උයන එක පුරුසයෝ ගත්තා කියලා ඒ සේයා හුවමාරුකරන් සතුටුවෙනව.විවේකයෙන් ඉන්නවා කියලා පෙන්නනව.ඇගයුවා කියලා මැරෙන්න හදනව.

    දවස ඉවරවෙලා ඊළඟ දවසේ ඉඳන් මයෙ අම්මලා ඔක්කොම ගෑණු වෙනව.අතවර,දූෂණ,හිංසන,දික්කසාද ,හූරාකෑම්,බියවැද්දීම් මේ ඔක්කොම එක්ක ආයෙත් ජීවිතය ගෙනියනව.

    ඔය මතුපිටින් උලලා රඟන කාන්තා දින නෙවි කාන්තාවෝම කාන්තාව ගැන දින වෙන්කරගන්න ඕන.

    හැම ගෑනියෙක් ම රැජිණක් කිව්වට මොන ගෑනිගෙත් ඔටුනු ගැළවෙන්න වැඩිවෙලා යන්නේ නෑ.සංසාරගත ප්‍රේමයන් හෝ රෝසමල් කසාද ගැන ඔළුව නරක් කරගන්න හොඳ නැහැ .

    පසුගිය සතියේ මට හමුවුණා.විශ්‍රාමික ගුරුවරියක්.ඈ ඇගේ ජීවින පාඨය කරන් තිබුනේ අපි මොහොක හෝ මැරෙන තුරු යෙදෙන්න ඕන කියලා. මනුස්සයත් ඇදන් පොඩි නවාතැනක් හදන් ඒක කුලී කරනව.හොඳට කාල ඇඳල,අනුන්ටත් උදව් කරල ඉන්නවා .

    තව ඒ වගේම විශ්‍රාමික කාන්තාවක් හමුවුනේ විසිතුරු පැළ තවානකදි.තොල් චුට්ටක් පාට කරන් ,සාය හැට්ට ලස්සනට ඇඳන් ඈ කැක්ටස් පැළ විසිතුරුව වගා කරනව.විකුණනව .අතිශය නිර්මාණශීලියි. ඇයටත් දැක්මක් තිබුණා.ඉන්න ටිකේ ලස්සනට කාටවත් කරදර නොවී ඉන්න ඕන කියලා.

    ඒකට ගොඩක් අම්මණ්ඩිලා .හතළිහ පනහ පනිද්දිම සුදු ඇඳන් පේ වෙනව.අත් හරිනව.ඒ වුනාට ඉතිරි වෙන කෑම විසිකරන්න ලෝබකමට කාල තරවෙනව.අපිට මොන ස්ටයිල්ද කියන් අමු වෙනව.

    පස්සේ කාන්තා දින වගේ දවස්වල හොටුපෙරන් අඬනව.

    තමන්ට ඕන දේ හොයන් යන්න ගෑනු පිරිමි දින ඕන නැ.අගය කටගන්න,උලුප්පන්න දින දාන් නහින්න ඕන නෑ.ඉන්න බව පෙන්නන්න ඇඟිල්ලෙන් අනින්න ඕන නෑ.

    ගෑනියෙක්ට ඕන ලොකුම දේ සමාජීය නිදහස්බව.පරායත්ත නොවීම.

    පිරිමියෙක් නැතුව ගෑනියෙක් ට තාමත් පාරේ තොටේ යන්න තරම් තත්වයක් නැතිනම් ඒ වගේ සමාජෙක කාන්තා දින වැඩක් නැහැ .

    තමන්ගෙම කියලා අරමුණක් ,දැක්මක්,ඉලක්කයක් නැතුව කාන්තා දිනේටත් පිරිමි දායකත්වය හොයනවනම් එහෙම සමාජකටත් කාන්තා දින වැඩක් නැහැ .

    හැමදාම කාන්තා දින කියන් හිතාගෙන කාන්තාවෝ හැසිරුනානම් මේ කිසිම දිනයක් විකාරරූපී සැමරුම් වෙන්නෙත් නැහැ .

     

  • එයා දැන් බැඳලා

    එයා දැන් බැඳලා

    බොහෝ සාද කසාදවලින් නිමවන අතර කසාද නිසාම සාද ද නිමවනු පෙනේ.

    කසාද කියූ පමණින් මැවෙන මුල් චිත්‍රය මනරම් ය.සලරූ බඳු විචිත්‍රවත්ය.

    එහෙත් ව්ත්‍රය මෙන් නොව යථාව අඳුරුය.

    අපේ හැටියටනම් කසාද බැඳීම පණයන වැඩකි.උඩරට ,පහතරට අනාගත් ප්‍රීෂූට් සිට එම්ප්ටි පොකට් දක්වා දිවෙන බරපතළ දඩුවමකි.

    භයානකම තත්ත්වය වන්නේ කසාදේ දින දකින මනමාලි ඊට පසුදින සිට බාහිර හා අභයන්තරිකව වෙනස් වීමයි.මනාලයාගේ කියාද වෙනසක් නැති අතර බොහෝ විවාහකයෝ කසාදය දික්කසාදය කරා රැගෙන යාමට මේ තත්ත්වයන් හේතුවේ.

    කසාදයත් ගැහැණියත් දිහා ආපස්සට හැරී සිතන්නට යොමුකළේ “එයා දැන් බැඳලා ටෙලියයි “.

    කසාදය ගැහැණියකට ආරක්ෂිත උපක්‍රමයකි.එහෙත් එය වලංගු වන්නේ සමාජ සම්මතය තුළ සම්මතයැයි පිළිගත් ගැහැණියට පමණද?

    ගණිකාවක් වූ ගැහැණිය වෛවාහික බිරිඳ වුවද සමාජ නිර්මිතය ඇය නැවතත් පෙර ලෙසම කියවයි.

    ඒ වූ කළී හංවඩු ගැසීමේ නියතියයි.

    විශාඛා,සුජාතා,යසෝදරා,මහාමායා සදා වන්දනීය ගැහැණුය.ඔවුන් නමින් සාහිත්‍යය ,කලාව,සංස්කෘතිය පෙනී සිටියි.

    ලංකාවේ බාලිකා පාසල් විශාඛා ,සුජාතා ලෙස නම්කළා මිස සිරිමලා,අම්බපාලිලා,මාගන්ධිලා නමින් වෙන්වූයේ නැත.ඔවුහු ඉතිහාසය වෙනස්කරගත් ගෑණුන් වුව ඉතිහාසේ ඔවුන් පිළිබඳ නිර්වචන අප කියවා ඇත්තේ වැරදි ලෙසටමය.

    කළුම හෝ සුදුම නොවන වර්ණිත මිනිස් සතා හවංඩු තුළින් ආන්තිකවීම සාපරාධී වරදකි.

    එයා දැන් බැඳලාහි සුද්දී ස්ත්‍රී භූමිකාව නරකයැයි සම්මත ගැහැණිය පිළිබඳ සාර්ව කියවීමක් කරයි.

    බොහෝ නරක ,කැත,අවලස්සන මේ සියල්ල සමාජ නිර්මිතයන්‍ ය.හොඳ සාපේක්ෂව දැකීමත්,නරක සාපේක්ෂව කියවීමත් වඩාත් මානවවාදී ලොවක් උදෙසා අවශ්‍යය.

    එය රටක් සංවර්ධනය වීමෙහිලා පෙන්වන භෞතික ජීවන තත්ව දර්ශකයේ පැහැදිලි වෙනසකි.වාරණයට ලක්වන ලාංකීය ගැහැණියගේ ජීවන ගැටලු රැසක් නිවාරණයට ලක්කෙරෙන සමාජීය වෙනසකි.

  • කුණු -රසිකා මුහන්දිරමිගේ කොළම

    කුණු -රසිකා මුහන්දිරමිගේ කොළම

    කුණුකතාවලින් තොරව එක දවසක් හෝ ගතකළ නොහැකි බැවින් කුණු ගැන ලිවීමට හිතුවෙමි.

    අනුන්ගේ කුණු අස්කරන මිනිසුන් කුණු කූඩයට දැම්මත් වැඩිම ඇගයීමක් ලැබිය යුත්තේ ඔවුන්ටය.කුණු කුණු නොගා අනුන්ගේ කුණු අයින්කිරීම වනාහී ඉහළම සේවයකි.අතේ පයේ කුණු ගාගත්තද හිතේ කුණු නැති මුදලින් මිලකළ නොහැකි සේවයක් කරන මිනිසුන් ඔවුන්‍ ය.

    තමන්ගේ කුණු කන්දක් තියන් අනුන්ගේ කුණු කෙන්ද දැකීමට අපි හැමෝම සමතුන්ය. ඒ නිසාම කුණු යනු හැමවිටම අනුන්ගේය. මේ තියරිය නිසාම තම කුණු අනුන්ගේ ගෙවතු,පාරවල්,ඇළමාර්ග ,මුඩුබිම්,හිස්බිම් ඕනම තැනක හලා යනු දැකිය හැක.

    ඵල නෙළා ලෙලි කැමති තැනකට හලා යෑම සාමාන්‍යකරණයකි.

    ලංකාවේ කුණු තියරිය අපූරුය.අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ ඉන්න තැනම හලාගෙන යන්නේය.එයට තැන අදාළ නැත.ජන්දෙකින් පසු සාමාන්‍ය ජනයාට වන දේ වගේය.

    එනිසාම ඕනම මහපාරක,අතුරුපාරක,පොදු රථයක පොලිතීන්,හිස් බෝතල් සිට ඕනම වර්ගයක කුණක් දැකිය හැක. රටේ ප්‍රයෝජනයට නොගන්නා සම්පත් අතරට කුණු නොවන කුණුද ඇතුළත්ය.

    එළවළු ,පලතුරු වැනි ආහාර වර්ග ගොවියාගෙන් කුණු කොල්ලයට ගෙන වසවිස ආරෝපණය කරගත්විට කුණු වීම අඩුය.නමුත් අපි කන්නේ කුණුය. එනිසාම කාලයක් යනවිට ශරීර අභයන්තරය කුණුවීමට ලක්වේ.ඒවා විවිධ නම්ලත් රෝග වේ.එසේම ශරීර අභයන්තරය කුණුකරන සිතුවිලිද මේ කාර්‍යයට අදාළය.

    කුණු ලෝභ මිනිසුන් කුණු ආහාර ආලවට්ටම් දමා සකස්කොට විකුණයි.පරිභෝජනයට ගනී. මී කුනෙණුත් පොහොසත් වෙන එකාට පොහොසත් විය හැක .

    ලංකාවේ ගිනිකඳු නැතත් කුණුකඳු ඇත.හිටි හැටියේ පුපුරන්නෙය.බඩු ගෙන්වන මුවාවෙන් රටින් ගොඩක් අය ගෙන්වන්නේ කුණුය.කන්ටේනර් ගණන්‍ ය.කුණු කා පුරුදු අපිට මෙන්ම රටේ ලොක්කන්ටද ඒවා ප්‍රශ්න නොවන්නේය. ලංකාව ඩස්බින් වූවාට මල්ල පිරේනම් අහවල් කාරියක්ද?

    ජීවත්ව ඉඳිද්දී සතපහකට නොසැලකූවත් මළ පසු කුණු සිරුර බැබළවීමද අපේ තවත් වැඩකි.කුණු දේවල්වලට වැඩි අගයක් දීම බලන් යනකොට සංස්කෘතිකාංගයකි.කුණුවැඩ කළත් සුදු ඇඳගත් පසු කුණ වසන්නට අපිට හැක.කණකොකාගේ කුණු පාට පේන්නේ ඉගිලෙන විට මෙන් කුණුවැඩ අපිට අහුවෙන්නේ පහුවීය.එහෙත් අනුන්ගේ කුණු හෙව්වාට අපි ප්‍රතිචක්‍රිකරණයට දක්වන උදාසීනබව නිසා කුණු කුණුම ලෙස අප සමඟය.

    මේ ඔක්කොටම වඩා භයානක අපේ හිත්වල කුණුය.පටු අදහස්,බොරු මතවාද,බොරු භක්තිවාද අස්සේ අපේ කුණු හැංගී ඇත.හැම තැනම කුණුය.

    මුළු රටම කුණු ගඳ ගැසූවත් තාමත් කුණු නිසිලෙස බැහැර කරන්නට අපි සූදානම් නොමැතිවීම රටක් ලෙස කුණුවීමකි.රසිකා මුහන්දිරමිගේ

  • තලු මරා අනුභව කළ හැක.  පෝෂණයක් නැත.

    තලු මරා අනුභව කළ හැක. පෝෂණයක් නැත.

    මේ ගෙවීයන කාලය තුළ හුවමාරු මාතෘකා රසවත්‍ ය.තලු මරා අනුභව කළ හැක.

    නමුත් පෝෂණයක් නැත.

    සතියෙන් සතිය ආවේදන ඔස්සේ අපි උණුසුම් වෙමු.වරෙක කංසා ගසා මත්වෙන අපි අඩුවට අයිස් උණුසුමට නතුවෙමු.

    මේ සියල්ලටම වඩා අප උණුසුම් කරන්නේ ස්ත්‍රී පහසයි.

    ලොක්කන්ගේ ස්ත්‍රී ප්‍රශ්න මුළු දූපතේම ස්ත්‍රී ප්‍රශ්න වී හමාරය.එනම් ජාතික ප්‍රශ්න වී අවසන් ය.

    එනිසාම ජාතික ප්‍රශ්න යටයන අතර ප්‍රශ්න නොවන ප්‍රශ්න දෙස බලමින් අපි ප්‍රීතිවෙමු.

    එහෙත් ඒ අතරේ අපි බොහෝ දේ අහිමි කරගනිමින් සිටිමු.එයින් ප්‍රබල තැනක් ගන්නේ ලංකාවේ මානව සම්පතයි.

    ළඟදී පාසලකට ගියාම විදුහල්පතිනියක් සතුටින් මාත් එක්ක බෙදාගත්තා ළමයෙක් පාසලෙන් අස්කිරීමේ පුවත.

    ඇයට අනුව ඇය ජාතික කර්තව්‍යයයක් කර ඇත.

    දරුවා පාසලෙන් අස්කලේ කසිප්පු බෝතලයක් පාසලට රැගෙන ආ නිසාය.

    එහෙත් විදුහල්පතිනිය හා දරුවාගේ මව හොඳින්ම දන්නා දේනම් බෝතලය ඔහු දැනුවත්ව නොගෙනා බවයි.

    එය හදීසියට අම්මා විසින්ම දරුවාගේ බෑගයේ සැඟවූවකි.එය කළේ දරුවාගේ මවයි.

    එහෙත් මේ සත්‍යය බැහැර කළ විදුහල්පතිනිය සමස්තයේ යහපත තකායැයි පවසා දරුවා පාසලෙන් බැහැර කළාය.

    අසඩක් නඩු තීන්දු දුන්නේනම් මෙලෙස නොවුණු ඇත.

    හොරුන්,දූෂිතයන්,මංකොල්ලකරුවන් වැනි විනාසකරුවන් මැද රටක අනාගතයක් උගත් පුද්ගලයෙක් විනිශ්චය කළ අයුරු අපූරුය.

    මේ කියන්නේ පවත්නා තත්ත්වයන් යහපත් හා අනුමත කළහැකි බව නොවේද ?

    මේ පසුපස ඇත්තේ ලංකාවේ මානව සම්පත පිරිහීයාමේ මහා ඛේදවාචකයයි.එසේ වන්නට එක හේතුවක්නම් ආදර්ශයට ගතහැකි සමාජයක් අපිට නොතිබීමයි.

    මහා සමාජයේ ආදර්ශය නම් බලවත් හොරුන් සුරැකීමයි.සොර මූල රැකීමයි.
    අතරමැදියන් රැකීමයි.

    පහත් තැනින් යයි ගලා ජලේ අදටත් කවදටත් ගැළපේ.

    අපි ඉතින් ජාතික ප්‍රශ්න මඟහැර ආතල් ගනිමින් සිටිමු.