Tag: රසිකා මුහන්දිරමිගේ

  • අපි ජීවත් වන්නේ අන්තර් සබඳතා විශ්වයකය.එහි ප්‍රතිඵලයක් ලෙස වෙනස්කම් උත්පාදනය වේ.

    අපි ජීවත් වන්නේ අන්තර් සබඳතා විශ්වයකය.එහි ප්‍රතිඵලයක් ලෙස වෙනස්කම් උත්පාදනය වේ.

    අපි ලිංගිකමය වෙනස්කම් සහිතය.එසේම ආකල්පමය,රුචි අරුචි,හැකියා ආදී බොහෝ අංශයන්ගෙන් අපි වෙනස්කම් පෙන්වනු ඇත.

    එසේම අප අතර සිදුවන වෙනස්කම් ස්වාභාවිකයක.එය සිදුවෙමින් පවතින අනවතර තත්ත්වයකි.
    ගැඹුරු අර්ථයෙන් ගත්කළ වෙනස්කම් ස්වභාවිකය. නෛසර්ගිකය.

    එනයින් ගත්කළ වෙනස්කම් අප අනෙකාගෙන් සුවිශේෂීව හඳුනා ගැනීමට,අනන්‍යතා සාධනයට,මානව වර්ගයාගේ පැවැත්මට ආලෝකයක් සපයන තත්වයකි.

    වෙනස නිසා අප එකිනෙකා කෙරෙහි බැඳෙයි.ආකර්ෂණීය වෙයි.එකිනෙකා අතර හුවමාරු කරගනියි.එකිනෙකාගේ අඩුපාඩු සපුරා ගනියි.කොටින්ම අප එක්ව ජීවත් වන්නේ හැමවිටම අපිට වඩා වෙනස් ලෝකයන් සමඟයි.සමාන ලෝකයන් හා ගණුදෙනු කළානම් විචිත්‍රවත් බව යනු හීනයක් පමණි.

    ජීවිතයේ හැම මොහොතම අප වෙනස්කම් ඉල්ලන්නේ එහි ඇති වෙනස් රසය නිසාමය.

    එහෙත් විභේදනය වෙනස්කමට සපුරා පටහැනිය.ලිංග,පංති,වර්ග,කුල,වර්ණ,ආගම්,වාර්ගික,ප්‍රාදේශීය ආදී වශයෙන් අපි අතර විභේදන රැසකි.

    එහෙත් විභේදනයේ අවුල එය ස්වභාවිකත්වයට සම්පූර්ණ පටහැනි කෘතීම නිර්මිතයක් වීමයි.

    විභේදනය තුළ උස්පහත්කම් ඇත.එනිසාම ඒ තුළින් ස්වායත්ත බව සිඳ පරායත්ත භූමිකා නිර්මාණය කරයි.එතුළින් දුක,පීඩාව,පෙළීම,මර්දනය,යටත්කරගැනීම වැනි මානවවාදයට පටහැනි ක්‍රියා රැසක් උපදී.පුද්ගල අනන්‍යතාවයන්ට තර්ජනය කරන අතර ඒකාබද්ධතාවයට තර්ජනය කරයි.

    මේ අනුව ලිංග,ජාති,වර්ග,කුල,ආගම්,වර්ණ,භූමීය විභේදන යනු විකෘතියකි.ස්භාවිකත්වයට පටහැනි වූවකි.

    එය උදාහරණයකින් කිවහොත් ස්ත්‍රී – පුරුෂ ව්හේදනය තුළ ගැහුණු ගති හා පිරිමි ගති ආරෝපිතය.ගැහැණිය මෘදුය.පිරිමියා රළුය.එකී විභේදනය සමාජ නිර්මිතයකි.බැරිවෙලාවත් පිරිමියා මෘදු වුවහොත් එය විකෘතියක් ලෙස විග්‍රහ කෙරෙනු ඇත.එහෙත් මේ නිර්මිතය නිසා ගැහැණිය සදාකාලිකව පිරිමියාගේ රළු ගති දරාගත යුතු අතර පිරිමිකම රැකගැනීමට පිරිමියා රළුවිය යුතුය.

    එකී ව්භේදනය බොහෝවිට සමාජමය රිදුම් පිපිරුම් ලෙසින් උසාවි ගානේ රස්තියාදු වන්නේ ඒ නිසාය.

    එසේනම් විභේදනයට යටත් වීමත් වෙනසට ගරු නොකිරීමත් අප දැනටමත් බොහෝ වැරදි ගමන් රැගෙන ගොස් අවසන්‍ ය.

  • ජීවත්වීමට උපාධි හෝ විභාගම අවශ්‍ය නැත.

    ජීවත්වීමට උපාධි හෝ විභාගම අවශ්‍ය නැත.

    මෑතකාලීනව එය වඩා හොඳින් තහවුරුකළ තැනැත්තිය ප්‍රියමාලිය.මහාචාර්ය උදන්ත අබේරත්න මුළු මිනිස් සංහතියටම අදාළ කැස්සෙන් අට අනූවක් රෝග හඳුනාගත හැකි උපාංගයක් හඳුන්වා දෙද්දී එ ගැන ලංකාවේ අපේ උනන්දුව හා අවධානය අල්පය.
    නමුත් රුවෙන්,කතාවෙන් රටක් හොල්ලන්න එකඳු උපාධියක් නැති ප්‍රියමාලි සමත් වූවාය.

    ප්‍රියමාලී අපූරු පාඩමක් උගන්වයි.හැකියාව යනු විභාග හෝ උපාධි නොවේ.එසේම උගත් යනු බුද්ධියම නොවේ.

    මන්ද ප්‍රියමාලී තම හැකියාවෙන් රැවටුවේ නිකම්ම අය නොවේ.නමගිය උගතුන්‍ ය.සියල්ල අතහැරියායැයි කියාගන්නා නාමමාත්‍ර සිල්වතුන් ය.සමස්තයක් ලෙස මුළු රටක ආර්ථික ,සමාජ,සංස්කෘතික පර්‍යායට පහර දෙන්නට ඈ සමත් වූවාය.

    ඇගේ හැකියාව විශිෂ්ඨය.එය සම්මත අයුරින් යෙදෙව්වානම් ප්‍රියමාලි යනු සහතිකවලින් කොටු නොවුනු අපූරු ව්‍යවසායිකාවකි.

    ලංකාවේ බොහෝ ව්‍යවසායකයෝ ,නිර්මාණකවෝ සහතික නොලත් උගත්හුය. සහතික සහිත බොහෝ උගතුන් යම් යම් හැසිරීම් අතින් අමුතුය.රසායන විද්‍යා ,ජීව විද්‍යා හැදෑරූ බොහෝ උගතුන් තාරකා විද්‍යාවට යටත්‍ ය.අතිශය මුදල් උපයන විශේෂඥයෝ මුදල් පරිපාලනයේදී හොරුන්ට යටත්ය.දේශපාලන විද්‍යා විශේෂඥයෝ ,ආර්ථික විද්‍යා විශේෂඥයෝ බොහෝ අය සැබෑ තත්වයන්හිදී ළඳරුවෝය.

    තවදුරටත් ලංකාවේ අධ්‍යාපනය හා මැනුම ගැන මේ අනුව තෘප්තිමත් විය නොහැකි ය.කටපාඩම් න්‍යායික අධ්‍යාපනය සාමාන්‍ය ජීවත හා නොගැළපෙනු ඇත.

    ප්‍රියමාලිලා වන් දක්ෂයින් රටේ ඕනෑතරම් සිටී.ප්‍රයෝජනයට ගත යුත්‍තේ එවන් පුද්ගලයන් සතු සැඟවුණු දක්ෂතාවයයි.තවදුරටත් ධූරාවලීගත රැකියා ලෝකයක් තුළ අතරමං වන ආර්ථිකයක් අවශ්‍ය නැත.අපි මිනිසුන්ගේ බහුවිධ හැකියා මෙන්න රටපුරා පැතිරි බහුවිධ සම්පත් පිළිබඳ අවධානයක් අවශ්‍ය වන්නේ මේ නිසාය.

    ප්‍රියමාලී මහාචාර්ය උදන්ත අබේරත්නයන්ට වඩා ජනප්‍රිය කරවන සංස්කෘතිය ප්‍රියමාලිලා තවත් වැරදි අයුරින් පැතිරීමට බලපායි.ලංකා සංස්කෘතියේ කොඳුඇට පෙළ ආර්ථික හා අධ්‍යාපන වෙනස්කම් තුළින් සවිමත් වෙනස් විය යුතු නැද්ද ?

    මුළු ජීවිතකාලයම ඉගෙන ගත්තාට එය ජීවත් වීමට නොගැලපෙයි නම් ඊට වඩා මා මෙන් ගෙවතුවගාව හෝ කර සතුටුවීම හා ආර්ථිකය හය්යකරගැනීම වැදගත් නොවේද???

  • ජීවිතයම බරක්‍ ය.

    ජීවිතයම බරක්‍ ය.

    ආර්ථික බර,සංස්කෘතික බර,දේශපාලන බර ,මානසික බර මේ ඔක්කොම ජීවන බරය.මේ අස්සට බැතිබරවීම එක්තරා විඳියකට මානසික බරකි. ව්‍යාධියකි.

    අවසන විකාරයකි.

    අඩක් නිමි ගෙවල්වල දිව එළියට දාගත් යක් පඹයෝය.යටින් මේ නිවසට යහපතක් වේවාය.තෙරුවන් සරණය.
    බලන එකා බයවූවාට කම් නැත.හදන එකාට පමණක් යහපත ප්‍රමාණවත් ය.

    ගෙට ඇතුල්වන තැන සීවලී පින්තූරය සමඟ තෙරුවන් සරණය.ඇතුළ අවුල්‍ ය.කෑම වෙනුවෙන් ආගමික හෑමක් ය.

    වටේ ඉන්නා බල්ලන් පූසන්ට කැට මුගුරින් ගසන,බත් උලක් නොදෙන,හතර මායිමට සතෙක්ට එන්නට නොදෙන උපාසක නෝන මහත්වරු අපල යන්නට බලු කපුටු දාන දෙන්නේය. පාත්තර පිටින් දක්ශිණාය. වත සුදුය.හිත අළු නොව කළුය.

    බසයක් ඉඳිරිපස තෙරුවන් සරණය.රියදුරු ආලවකයාය.කොන්දස්තර මහත්වරු බහුතරය පමණක් නොව මගියෝද ආරූඪ වී ඇත.

    තෙරුවන් සරණ ස්ටිකරයක් පමණය.

    රටේම උන්ට බැණවැදී,කේලාම් හගිස්සවා කෙළවර දුරකතන සංවාද තෙරුවන් සරණින් අවසන් වේ. හමුවීම් සමුගැනීම් කෙළවර හායි ටටා බායි සමඟ තෙරුවන් සරණ ය.එහෙත් බොහෝ සබඳතා අසරණය.

    හිතේ අබය.කටේ මල් හේවිසිය.

    බෝ ගසට, චෛත්‍යයට රෙදි ඇන්ඳුවාට බොහෝ බැතිබර සිත් නිරුවත් ය. අන්දන්නට මෙන්ම ගලවන්නට දක්ෂයෝය.

    බොහෝ ආයතනවල බැතිබරබවට දවසේ වැඩිවෙලාවක් වෙන්වේ.එහෙත් ආගමික සංහිඳියාවට ඉඩ අඩුය.ගාථා පාඨ කීවාට යාඥාවට ඉඩ නැත.ඝංඨාර හැඩෙව්වට සීනු හඬ යටපත් ය.සැමරුම් අවස්ථා ඒකපාර්ශ්වික ය.

    බාබකිවු පාටියත් ආගම සිහිකර පටන් ගන්නට තරම් අපි බැතිබරය.

    නමුත් හිතේ එවන් බරක් නැත.

    බණේ හැටියට ජීවත්වීම යනු වණේ හිතින් දරන් පණේ කියා ජීවත් වීම නොවේ.

    හිත් වණ කරනොගෙන සහකම්පනයෙන් ජීවත් වෙන්න හැකිනම්
    බැතිබර නොවී පෙම්බර ලෙස
    ජීවිතය විඳිය හැකිවනු ඇත

  • ගෑණු පිරිමි මල් පලතුරු- පිරිමි නැතුව බෑ සුමිතුරු

    ගෑණු පිරිමි මල් පලතුරු- පිරිමි නැතුව බෑ සුමිතුරු

    විවිධත්වය ලෝකය ලස්සන කරයි.බෙදීම් විවිධත්වය මවයි.

    ලොව නේක බෙදීම් අතර ස්ත්‍රී පුරුෂ බෙදීම ප්‍රබලය.සුන්දරය.අනුරාගිකය.

    කවුරු කොහොම තර්ක කළත් ගැහැණුන්ට ආවේණික ගති හා පිරිමින්ට ආවේණික ගති ඇත.

    ගැහැණු සුන්දරත්වය ලාලිත්‍ය තුළින් ගොඩනැඑද්දී පිරිමි මෘදුබව මිශ්‍රිත දැඩිබව ලෝකය හැඩ කරයි.

    මේ බෙදීමේ හැඩය අහිමිවන වෘත්තීය ක්ෂේත්‍ර දෙකක් මූලිකවම හඳුනාගත හැක.එනම් අධ්‍යාපන හා හෙද සේවයයි.

    කෙල්ලන් මෙන්ම කොල්ලෝ ද පිරිමි ගුරුවරුන්ට කැමතිය.එහෙත් ගුරු ක්ෂේත්‍රය තුළ පිරිමි ගුරු දායකත්වය යන්නේ පහළටය.

    ප්‍රාථමික පංතිවලදී කොල්ලන්ට කොළු ගුරුවරයෙක් ලැබීම වක්‍රව අනන්‍යතාවය ,පෞරුෂය සඳහා බලපායි.

    ද්විතීයික පංතිවලදී කොල්ලන් මෙන්ම කෙල්ලන්ට පිරිමි ගුරුවරයා මිතුරෙකි.එය හැඟීම් පෙළීමට වඩා මුදාහැරීමට පහසුවකි.

    පංති කාමර පිරිමි ඇසුර ඈත්වීම දරුවන්ගේ ජීවිත ගොඩනැගීමේදී සියුම් ගැටුම් ඇතිකරයි.

    උගත් පිරිමි බොහෝවිට උගත් ගැහැණිය බඳුමය.කවුරු කොහොම තර්ක කළත් ගැහැණිය අධ්‍යාපනයේදී අහංකාරය
    තරඟකාරීය.ස්වාර්ථමූලිකය.ආවේදන ක්ෂේත්‍රය අභිබවා දැනුමට මුල්තැන දෙද්දී ජීවන රසයන් තොල නොගානා වියළි පුද්ගලයන්‍ ය.

    මේ තත්ත්වය පිරිමින්ටද ආවේශ වූ පසු ලෝකයෙන් අප අපේක්ෂා කරන සුන්දරත්වය අහිමි වී යනු ඇත.

    ගැහැණිය යටතේ පිරිමි අනන්‍යතාවය ගොඩ නොනැගිය යුත්තේ ඔය නිසාය.

    විශේෂයෙන් පිරිමි පංතිකාමර පිරිමි ගුරුවරු ඇසුර ලැබිය යුතු තැන්‍ ය.

    ගස් නගින,පෙරළන,දුවනපනින,වහා ක්‍රියාත්මකවන,ක්‍රීඩාශීලී,විනෝදශීලී කොල්ලන් අපිට වුවමනාය.

    පොත බඳන් දඟළන,හිත වහන් පෙළෙන පිරිමි ලෝකය සුන්දර නොකරයි.

    එනිසා එකිනෙකාගේ විවිධත්වය තුළින් සුන්දරත්වය ගොඩනැගීමට පවතින විවිධත්වයේ සොඳුරු මානයන් තවදුරටත් අපිට රැකගත හැකි

    ගැහැණු පිරිමි වෙනසක් සහිත පරිසරයක් අපිට වුවමනාය .

  • ජීවිත තීරණය කරන කොළ

    ජීවිත තීරණය කරන කොළ

    මේ කොළ පණ නැතත් තීරක සාධකයෝය.
    හඳහන කොළ අතර ප්‍රමුඛය.උපන් වෙලාව නැකත් කොට ජීවිතය ලියවෙන කොළය හඳහනයි.

    එතැන් සිට ජීවිතයේ බොහෝතැන්වල හඳහන සුපර්ස්ටාර් වේ.

    කෙල්ලක නම් වැඩිවිය පත්වන දා ඇගේ අනාගතය හඳහනට බාරවේ.

    ඇගේ චරිතය ,විවාහය,දරුවන් ,රැකියාව මෙතැන්සිට හඳහනට බාරය.අවුරුදු ගණන් පෙම්කළ වුන් පවා මොහොතකින් ඈත්කරන්නට හඳහනට ඇත්තේ අරුම බලයකි.එසේම නොගැළපෙන වුන් ගළපන්නටත්,කසාද කඩා සීසීකඩ කරන්ටත්,ලෙඩ හඳන්ටත්,නසන්ටත් කොටින්ම කිව්වොත් හිත් හඳන්ටත්,හිත් නසන්ටත් හඳහනට හැක.

    තවත් තීරක කොළයක් වන්නේ කසාද සහතිකයයි.නීතියෙන් තොරව ගොඩනැගුනුණු ප්‍රේමය නීතියෙන් කොටුකළ දා සිට බොහෝ ප්‍රේමවන්තයන්ට කොටුවෙන් පැනීමට හිතේ.

    සහතිකය ප්‍රේමය තහවුරු කිරීමට වඩා ප්‍රේමය නීතිගතකරන සම්මතයක් බැවින් සම්මතයට එරෙහිව සිත් කැරලි ගසයි.නමුත් ගත එයට සූදානම් නොවෙයි .කසාදය දෙබිඩ්ඩක් කරන්නට බොහෝවිට සහතිකය මුල් වෙයි.

    කසාද සහතිකය නොලැබුනානම් බොහෝ ප්‍රේමවන්තයින් සදාතනික ප්‍රේමවන්තයෝය.

    ඊළඟ තීරක සහතිකය උප්පැන්න සහතිකයයි.උප්පැන්නය හොරා අධ්‍යයනය කරන්නේ කුහකයෝය. වාසගමින් කුලයත් ,සුජාතක බව පියාගේ නමිනුත් සොයයි.බොහෝවිට පාසල්වලට ළමයි බාරදෙන විටම හංවඩු සහතිකය වන්නේ උප්පැන්න සහතිකයයි.

    එසේම ප්‍රතිඵල සහතික,උපාධි සහතික ,චරිත සහතික මේ ඔක්කොම කොළය.නමුත් මේ කොළ අපේ ජීවිතවල ගාමක බලවේගයෝය.අපි අල්මරි පුරා සැවැන්දරා මුල් දමා,ලැමිනේට්කර පණමෙන් කොළ රකිමු.

    එහෙත් කොළවල සටහන් නොවූ ජීවත අගයන් රැසක් අපි අතර ඇත.නමුත් කොළ මිනුමට අහුනොවෙන එකී අගයන් ජීවිතවල සැඟවුන ,වටිනාකම් නොලත් ජීවන බලවේගයෝය …

  • පසුගිය සතියේ ආන්දෝලනාත්මක ගීය වූයේ සබඳ අපි කුදු නොවෙමු යන්නයි.

    පසුගිය සතියේ ආන්දෝලනාත්මක ගීය වූයේ සබඳ අපි කුදු නොවෙමු යන්නයි.

    මටනම් ගීයේ පද පෙරළියේ අරුමයක් නැත.
    කිව්වත් නැතත් සිදුවන්නේ එයයි.

    සාමාන්‍යයෙන් අපි උස කඳ බඩ පළල ජාතියක් නොවෙමු.එහෙත් ආසියාතිකයන්ට හුරුපුරුදු හුරුබුහුටිකම අපේ සුන්දරත්වයේ ලක්ෂණයකි.

    එහෙත් ඒ හුරුබුහුටි පිරිපුන්බව දැන් දැන් අපිට ආවේස නොවේ.

    ශාක ප්‍රෝටීන් මෙන්ම සත්ව ප්‍රෝටීන් අපේ කෑමවේලට ආවේණිකය.

    එහෙත් මෑතක සිට අපේ බත්පතට ආර්ථිකය පහරා ඇත.

    මස්,මාළු,බිත්තර තවදුරටත් සාමාන්‍ය මිනිසාට සමීප ආහාරයක් නොවේ.එය සුඛෝපභෝගි ආහාරයකි.

    භාණ්ඩ මිල දෙගුණ තෙගුණ වෙද්දි වඩාත් අසරණ වෙන්නේ මව්වරුය.දරුවෝ වෙනදා පුරුද්දට ම ආහාර සොයන මුත් යථාව ඔවුන්ට දුරස්ථය.

    ආර්ථිකය හා දරු සෙනෙහස ගැහැණිය තවත් අසරණකරන අන්ත දෙකකි.

    බඩවල් පුරවා හිත් පුරවන්න අම්මලා කැමතිය. මාස්ලෝ මනෝවිද්‍යාවේ කතා කරන්නේ මිනිස් සතාගේ ප්‍රාථමික හා අවශ්‍යම අවශ්‍යතා අතර ආහාර මූලික බවයි.

    ආහාර,නින්ද,ලිංගිකත්වය වැනි ප්‍රාථමික අවශ්‍යතා තෘප්ත වූ කල්හි ඉන් ඉදිරියට එන අධ්‍යාපනය,කලාව,ජීවිතාවබෝධය වැනි ද්විතීයික අවශ්‍යතා තෘප්තියට මිනිස් සතා යොමුවනු ඇත.

    ඉතින් දැන් අපිට මොන තෘප්තියක්ද?

    කායික මානසික තෘප්තිය නැති අපි කොහොමත් බුහුටි නැත.පිරිපුන් නැත.අවසඟය.කුදුය !!!!

  • හුඟක් හොඳ කියවීමක් බත්පතකින් කළ හැක.

    හුඟක් හොඳ කියවීමක් බත්පතකින් කළ හැක.

    ගුරුවරියක සිටි කාලයේ මගේ ආසම වැඩක් වූයේ ළමයි කෑවේ මොනවාද ,කන්න ගෙනාවේ මොනවාද යන්න සෙවීමයි.

    එකළ මා ප්‍රාථමික ගුරුවරියක්ව සිටි අවධියයි.ගමටත් නගරයටත් දෙකටම අයිති නැති පාසල දුප්පත්කමට අයිති විය.

    දරුවන්ගේ බත්පත සරලවිය.නමුදු බත් ටිකක් රැගෙන ඒම සාමාන්‍ය සිරිත විය.

    සෝයාමීටි ,බත්
    පරිප්පු ,බත්
    හාල්මැස්සෝ ,බත් ජනප්‍රිය මෙනුය.ඉඳහිට කොළයි බතුයි පමණක් ගෙනා ළමයි ද විය.

    ගුරුවරිය කථිකාචාර්යවරියක් වූවාය.
    බත් පත් බැලීමේ ක්‍රීඩාව නතර විය ..

    පුරුද්දක් එහෙම මැරිය නොහැක.
    පාඩම් බලන්නට පාසල්වලට ගිය පසු සාරියට,හිනාවට,හවඩියට ,මාලයට වහවැටී වටේ එන කොල්ලන් කෙල්ලන් අල්ලාගෙන බත්පත් විමසීම ඉන්පසු මගේ විනෝදාංශය විය.

    එය හුදු විනෝදයක් නොවේ.උන්ගේ ජීවිත කියවීමකි.

    මා යන්නේ ගොඩක් ග්‍රාමීය පාසල්වලටය.ගොඩක් පවුල් බිඳිලාය.එක්කෝ ආර්ථික කුනාටුවට,සමාජ සුළියට හසුවෙලාය.

    බත් බනිස්,පාන් කුරුල්ලන්ට,මාළුපාන්වලට මාරුවෙලාය.

    බත් උයන්න අම්මා ගෙදර නැත.එක්කෝ වෙලාවක් නැත.එක්කෝ දවල්ටත් උයන්න තියෙන බැවින් උදේ කෑම මඟහැරලාය.

    අද වෙද්දී ලංකාවේ ගොඩක් දරුවන්ට රජෙක්ට මෙන් උදේ කෑම නැත.
    දරුවන්ට රජ සිහින නැත.
    දරුවන් රජ කරවන්නට කාටවත් වුවමනාවක්ද නැත.

    අම්මලා තාත්තලාට පවුල් ප්‍රශ්නය .
    ආර්ථික ප්‍රශ්නය .

    රජයට පවුල ප්‍රශ්නයක් ය.
    ආර්ථිකය කොහොමත් අවුල්‍ ය.

    දැනට අපි ඉන්නේ ආසියාවේ ම මන්ද පෝෂණයේ ඉහළම තැනය.

    පෝෂණයක් නැති පරම්පරාවක අනාගතය කොතනටද?

    මෙතෙක් ග්‍රාමීය පාසල්වල උදේට බත් ටිකක් දීම,කොළකැද ව්‍යාපෘති ආදිය ක්‍රියාත්මකවූ නමුත් දැන් එයත් නතර වී ඇත.

    තවදුරටත් මේ ගැටලු පැවතුනහොත් අපිට තව පරම්පරා ගණනාවක් ම අපිට අහිමි වනු ඇත.

    දෙමාපියන්ට දරුවන් ගැන හැඟීමක් තිබිය යුතුමය.

    එසේම රජයකට පවුල,සමාජය ,ආර්ථිකය ගැන මනා සැලැස්මක් තිබිය යුතුය.

  • මේ අප හිනාවෙන යුගයේ අවසන් දින කිහිපය නොවිය යුතුය.

    මේ අප හිනාවෙන යුගයේ අවසන් දින කිහිපය නොවිය යුතුය.

    එකළ අපි කෙල්ලන් ය…කොල්ලන් ය..නිදහස් අධ්‍යාපන ඉනිමගෙන්, මහපොළ මුදලින් නඩත්තු වූ කොළඹ කැම්පසයේ අලයෝය.

    අද අපි අම්මලාය.තාත්තලාය.රටට බරක් නැති සේවකයෝය.හොරකම් නැත.ලැබෙන පඩිය හසුරුවා ගනිමින් ජීවිතය කළමනාකරණය කරගන්නෝය.

    එහෙත් දැන් අපිට දුකක් ඇත.ඒ අපි විඳි ජීවිතයේ අංශුවක් හෝ විඳීමට අපේ දරුවන්ට නොමැති වීමයි.උන්ගේ අනාගතයම අපැහැදිලි ය.හෙටක් නැත.

    රටට අරමුණක් නැත.රට බාරගන්නට ඉන්න පොඩිවුන්ට සිහින තියා සිහින දකින්නට සුව නින්දක් නැත.

    ඉතින් අපිට අම්මලා තාත්තලා ලෙස නිහඬව සිටිය හැකිද?අපේ හඬ නොඇසුනද නොකඩවා අපි හඬ නැගිය යුතුය.

    අපේ හඬ ප්‍රබල වන්නේ අපි හැමෝම එක්වූ විටය.

    අපේ හඬ ප්‍රාණවත් වන්නේ පෞද්ගලික අරමුණුවලින් තොරව පොදුවේ සිතුවොත් පමණමය.

    අපේ දරුවන්ගේ ජීවිත අනාගතය වෙනුවෙන් අපි රැකිය යුතුමය.

    මේ අප හිනාවෙන යුගයේ අවසන් දින කිහිපය නොවිය යුතුය.


    ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ

    ආදරෙයි කියපු ගමන් ඇඳේ බුදියන් ඉන්නවා පේන්නේ

     

  • ආදරෙයි කියපු ගමන් ඇඳේ බුදියන් ඉන්නවා පේන්නේ

    ආදරෙයි කියපු ගමන් ඇඳේ බුදියන් ඉන්නවා පේන්නේ

    ලංකාවට අනුව ආදරෙ කියන වචනය ජුගුප්සාජනකයි .මොකද ආදරෙ කියපු ගමන් ඇඳක් මැවෙනව.

    මටනම් වචනය පිළුණුයි.ආදරෙ ආදරෙ නැහැ .

    අපි ආදරෙ කරන්නේ කළුවරේ.කාටවත් නොදැනෙන්න.

    මොකද එළිමහන් ආදරෙ විනිවිද දකින ඇහැක් අපිට නැහැ .

    ඇහේ කළුඉංගිරියාව කළුම වෙලා.

    ආදරෙ ප්‍රකාශ වෙන හොඳම විඳිය වචන .ඒත් වචන අපි ගිලල.

    ගොඩක් ආයතනවල ආදරණීය ආමන්ත්‍රණ රාජකාරී ආමන්ත්‍රණ වලින් වැහිල.

    ගෙවල්වල මේ තත්ත්වය දරුණුයි.

    ගොඩක් ගෙවල්වල ඉන්නේ මිනිස්සු නෙවි සත්තු.
    දරුවෝ දෙමව්පියෝ දෙගොල්ලම සත්ව ආමන්ත්‍රණ.

    අමාන්ත්‍රණවල ලැජ්ජාශීලීබව ගොඩක් පෙන්නන්නේ පොදු ස්ථානවල.

    බස්වල ඉන්නේ වෘත්තීය වේදීන් නෙවි. කොන්දල,ඩ්‍රයිවල්ලා.
    එයාලට මගීන් කෑලි.දෙපාර්ශවයම එකිනෙකාට ආදරෙ නැහැ .

    පහළ මට්ටමේ වෘත්තීයක් නම් ආදරණීය ආමන්ත්‍රණ අදාළම නැහැ . ඉතින් මිනිස්සු ස්වභාවයෙන්ම අසතුටුබවට හුරුවෙනව .එයා ඒක තව පරම්පරා ගාණකට අරන් යනව.

    ආදරෙත් පුදුම පංති භේදයක්.තනතුර ඉහළනම් ආමන්ත්‍රණය සුහදයි.හැබැයි ආදරෙ නැහැ .ගෞරවය පමණයි.ඒකත් තාවකාලිකයි.මූණට විතරයි .ඒ කියන්නේ ආරෝපිත ආදරයක්.

    මේක හැම සම්බන්ධයක් දක්වාම යනව.

    ස්ත්‍රී පුරුෂ බැදීමේ ආදරෙත් මේ වගෙයි.

    ස්ත්‍රී ශරීර ගොඩක් වෙලාවට පුරුෂයන්ට කෑලි,බඩු වෙනව.ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය ගැන කාට හෝ කියන්නේ කෑලිකරල.මස් කරල.ආදරෙ නෙවි කරන්නේ ආතල් ගන්නේ.

    බිරිඳ අපෙ පවුල කියන වචනය තුළ පවුලේ වගකීම ස්ත්‍රියට පවරනව.

    ආදරෙ හංගනව.

    මේ තත්ත්වය මම මගේ වෘත්තීය පැත්තට හැරෙව්වොත් දරුවන්ට නමින් ආමන්ත්‍රණ තරම් වටින දෙයක් නැහැ .

    එතැන ගොඩනගන්නේ අනන්‍යතාවය .ස්වභිමානය.මේක පාසලෙන් පටන් ගන්න ඕන.

    ඒත් ළමයා,ඕයි,තමුසේ සිට සත්ව නාමකරණය පාසල්වල බහුලයි.

    ප්‍රතිඵලය ගුරු විදුහල්පතිවරුන්ටත් අදාළයි.

    පිනාලා ගුරාලා හා බහුවිධ නම් ගුරුවරුන්ටත් ආදේශ යි.

    ඉතින් පහළම තැන් තමයි ඉහළම ම තැනින් තියන්න ඕන.

    අඳුරුම තැන් තමයි සොඳුරුම තැන් වෙන්න ඕන.

    වියළිම තැන් තමයි තෙතමනය ඉල්ලන්නේ.

    ආදරෙ පටන් ගන්න ඕන පවුලෙන්,පාසලෙන්.

    අනන්‍යතාවය හදන්න ඕන එතැනින්.

    ආදරෙ තුළ රැකවරණය හංගන්න ඕන එතැනින්.

    පහළම තැන් තමයි තියන්න ඕන ඉහළින්.


    ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ

  • ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ

    ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ

    ඊයේ උදේවරුව පිටිසරබද පාසලක් තුළ.
    ළමයි 250ක් පමණ සිටින මහා විදුහලක්.

    විදුහල්පතිනිය අනුව ගොඩක් දරුවෝ නියෝජනය කරන්නේ එකම ස්වරූපයේ ආර්ථික ,සමාජ,සංස්කෘතික පරිසරයක්.

    බිඳුනු පවුල්,විසිරුණු පවුල් පසුබිම් එක්ක ජීවිතයට මූණ දෙන ළමයි .

    මම සසල කළ ලොකුම දේ මේ ළමයි දුටුතැන වැද වැටීම.
    මම ගියේ එයාලට වචනයක්වත් කියන්න නෙවි.විද්‍යා පීඨ ගුරුවරුන්ගේ පාඩම් බලන්න .
    ඒ හැම පාඩමක්ම ඉවර වුනාම දරුවෝ මට දුවගෙන ඇවිත් වඳිනව.

    හිතනවද මේ වැඩේ හරි හොඳයි කියලා .
    ඇත්තටම හිතින් මම පශ්චාත්තාප වුනා.
    මම වැරැද්දක් කළා වගේ.

    ඒ දරුවෝ තියා මොන දරුවෙක්වත් තමන්ගේ කොන්ද දැන නොදැන නමන්න හොඳ නැහැ .

    ලෝකේ වන්දනීය ,පූජනීය ,අදහන චරිත නැහැ .

    ගුරුවරු කියන්නේ මේ අය කියන රාමුවට දාද්දී එයත් සීමා වෙනව.එයාගේ හැඟීම් සීමා වෙනව.ගුරුවරු කියන්නේ අතිශය කායික හා මානසික ක්‍රියාකාරී කොටසක් මිස පාලනය කළ යුතු ශීලයක් සහිත කොටසක් නෙවි.

    නටන්න ,දුවන්න,ගයන්න ,ලස්සනට පිළිවෙළකට වස්ත්‍රයක් දවටනකොට…මේ ඔක්කොම එක්ක ගුරුවරු ජීවත් වෙනකොට එයාගේ සිතුවිලි පරාසයන් පුළුල් වෙනව.
    ඇයි අපි ගුරුවරු වන්දනීය කොටසක් කරන්නේ.

    මේවා අපේ භාෂාවේ අවභාවිත ගැටුම්

    ගුරුමව්වරු,ගුරුපියවරු නෙවි අවශ්‍ය මඟපෙන්වන්නෝ.

    මඟපෙන්වන්නන්ට වඳින්න අවශ්‍ය නැහැ .
    හැබැයි තේරුම් ගැනීම අවශ්‍ය යි.

    වෙන්ස්වීම කියන්නේ මේකට!

     

    රසිකා මුහන්දිරමිගේ