Tag: කුසල් කුරුවිට

  • ‘මේ ගසට ගල් ගසන්න’ ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න ‘වාම ජනතාවාදී කාව්‍යයක්’ – කුසල් කුරුවිට

    ‘මේ ගසට ගල් ගසන්න’ ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න ‘වාම ජනතාවාදී කාව්‍යයක්’ – කුසල් කුරුවිට

    ලක්ෂාන් සිය කාව්‍යයෙන් යම් ආකාරයක ජනතාවදී කාව්‍යයක් ගොඩනැගීමට උත්සහ දරන්නට යන බව කෘතියේ පෙරවදනින් හැගීයයි. ජනතාවාදී කාව්‍යකරණය යනු කුමක් දැයි සංකල්පගත කරගැනීම අවශ්‍යය. ඇතැම් විට කාව්‍ය විවේචනයට බඳුන් වන්නේ එම කාව්‍යයෙන් හුදු ජනතාවාදයක් ප්‍රකාශ වෙනවා කියා ය. අප ජීවත් වන්නේ ජනතාවාදයේ නැඟීමක් ඇති කාලයකැයි කියැවේ. මෙය කොටින් ම නිශ්චිත අර්ථයක් නොමැති රටින් රටට වෙනස් විය හැකි අදහසකි. ඉන්දියානු ජනතාවාදය ලාංකේය ජනතාවාදයෙන් වෙනස් වේ. මේ නිසා ජනතාවාදයේ බොහෝ ස්වරූප ඇත.

    Jan-Werner Müller ගේ සූත්‍රගත කිරීම බොහෝ විට පුලුල්ව උපුටා දක්වනු ලැබේ: ඔහුට අනුව, ජනතාවාදය (ජනප්‍රියවාදය) යනු යම් ආකාරයකින් සදාචාරාත්මකව පහත් හෝ දූෂිත යැයි සලකන ප්‍රභූන්ට ‌එරෙහිව සාදාචාරාත්මක ලෙස පාරිශුද්ධ සහ එකාග්‍ර වූ (නමුත් අවසානයේ ප්‍රබන්දමය) ජනතාවක් පෙළ ගස්වන දේශපාලන ලෝකය අවබෝධ කරගන්නා ආකාරයකි; දේශපාලනයේ සුවිශේෂී සදාචාරවාදී පරිකල්පනයකි.

    Neil Walker මේ නිර්වචනයට වැඩිදුරටත් එකතු කරමින් පවසන්නේ ජනතාවාදීන් දේශපාලනය සමාන සහ පසමිතුරු කඳවරු දෙකක් අතර ද්විරූප ප්‍රතිවිරෝධයක් (Binary opposition) ලෙස දකින බවයි.

    සාමාන්‍යයෙන් ජනතාවගේ පාලනයට වඩා සාම්ප්‍රදායික ගතානුගතික දේශපාලනය ප්‍රභූ පාලනය උසස් කොට සලකයි; ප්‍රභූන් පාලනය කිරීමට සුවිශේෂී හැකියවකින් යුක්ත බව සිතයි. ජනතාවාදය මේ අදහස්වලට එරෙහිව ගොඩ නැගුණු එකකි.

    ජනතාවාදයේ වාම සහ දක්ෂිණාංශික ජනතාවාදයන් දැකිය හැකි ය. මේ නිර්වචන සහ අදහස්වලින් කාව්‍ය දෙස බලන විට ප්‍රජා පීඩක ආණ්ඩු සහ ප්‍රභූ පැළැන්තිය හෝ දේශපාලන ප්‍රොපගැන්ඩා විවේචනය කෙරෙන ආකාරයක කවියක් ජනතාවාදී (ජනප්‍රියවාදී) කවියක් ලෙස අපට වටහා ගත හැකි ය. නමුත් සිංහල කාව්‍ය ලෝකයේ මෙවැනි කාව්‍ය දැක ගත හැක්කේ බොහොම ස්වල්ප වශයෙනි.

    එසේ නම් මෙයට වෙනස් ජනතාවාදී කාව්‍යක් තිබිය හැකි ද? ලක්ෂාන්ගේ කාව්‍ය කෘතිය තුළින් බොහෝ විට ඉහත කියූ ආකාරයේ මාතෘකාවලට වඩා පරිභෝජනවාදය, ස්වදේශීයවාදය, පූර්ෂ මූලික සමාජය යනාදිය විවේචනය කෙරෙන ආකාරයේ කාව්‍ය දැකිය හැකි අතර, සාමාන්‍ය ජනතාවගේ ජීවිතය, දුප්පතාගේ ජීවිතය පිළිබිබු කෙරෙන කාව්‍ය ද කැපී පෙනෙයි. මෙවැනි මාතෘකා සම්බන්ධයෙන් මෑත යුගයේ බොහෝ ලෙස කවි ලියවී ඇත. මෙය ද යම් ආකාරයක ජනතාවාදයක් ලෙස හැඳින්වීම නිවැරදිය. එක පැත්තකින් කවීන් සාමාන්‍ය මිනිසාගේ ජීවිතය කාව්‍යාත්මක ලෙස අවලෝකනය කිරීමට උත්සහ කරන අතර ම, සාමාන්‍ය මිනිසාගේ හැසිරීම් පිළිබඳ විවේචනාත්මක වන කාව්‍ය ද රචනා කරයි. ලක්ෂාන්ගේ කවිය කෙනෙකුට වාම ජනතාවාදයක් නිරූපණය කරන්නක් බව කිසිවෙකුට කිව හැකි ය. ඒ හුදෙක් ඔහුගේ දේශපාලන නැමියාවන් නිසා නොව, කාව්‍ය ලකුණු පරික්ෂා කිරීමෙන් ය.

    මේ කවිය විමසමු:
    සුරදූතයාගේ පණිවුඩය

    මම දැනගෙන හිටියා
    මගේ බඩේ ඉන්නෙ
    සුරදූතයෙක් කියලා..
    ඒ වගේ ම
    උඹ එන්න හදන්නෙ
    අපායකට කියලා..

    පාස්පෝට් පෝලිමේ
    කෙළවරම තැනක
    දිව්‍යලෝකෙට යන
    ටිකට් එක ගන්න
    මම බලාගෙන හිටියෙ
    උඹට මෙහෙ එන්න
    තව ගොඩක් කල්
    තිබුණු හින්දා

    කපුටො ගෙඩ දෙනෙකු
    මා වට කරගත්ත නිමේෂෙක
    කටුඉඹුල දිගේ උඹ
    එක වර ම
    මේ ලෝදිය හැළියට පැන්නා

    අතේ මිට මොළවගෙන
    කිසිවක් රැගෙන නො ආ උඹ
    කෘත්‍රීම කුටීරටක සිට
    හුස්ම ගන්නා නළයක් දිගේ
    මට සුබ පණිවිඩයක් එව්වා..
    ‘සුරදූතයන් ඉපදෙන්න ඔනේ
    දිව්‍ය ලෝකවල නෙමේ…’

    ජනතාවාදී කවි යනු ජනතාව අතර ඇති ග්‍රාම්‍ය අදහස් කාව්‍යකරණයට නැගීම නොවේ. එය ඇතැම් විටක ජනතාව දරණ අදහස් දෙස විවේචනශීලීව හෝ උපහාසාත්මකව බැලීමකි. ලක්ෂාන්ගේ ‘සුරදූතයාගේ පණිවුඩය’ වැනි කවියකින් එබන්දක් දැකිය හැකිය. ජනතාව අතර ඇති ග්‍රාම්‍යත්වය කවියා විවේචනය කළ ද මෙකී සමාජය අතහැර දැමිය යුතු බවට කවියා පැවසීමට උත්සුක නොවේ. ඊට වඩා ලක්ෂාන්ගේ කවියේ සිටන ගැහැනිය දේශපාලනික අදහසක් ඉදිරිපත් කරයි.

    ‘සුරදූතයන් ඉපදෙන්න ඔනේ
    දිව්‍ය ලෝකවල නෙමේ’

    මේ ගැහැනිය ලංකාව අපායකටත් විදේශ දිව්‍ය ලෝකයකටත් සමාන කිරීම ඇගේ දෘෂ්ටිවාදීමය මුලාවක් කියා කිසිවෙකුට පැවසිය හැකි වුවත් මෙහි දී වැදගත් වන්නේ ඇගේ දේශපාලනික තීරණයයි.

    අනෙක් අතට ලක්ෂාන්ගේ කවිය තවදුරටත් ජනතාවාදී වන්නේ ඔහුගේ කවියේ සිටින ගැහැනුන්ට දෙන මනුෂ්‍ය නියෝජ්‍යත්වය හෝ කාරකත්වයයි (human agency). ඉහත කාව්‍ය ඇතුළු ‘අම්මාගේ නැටුම් පන්තිය,’ ‘අම්මා මහනවා’ වැනි කාව්‍ය ඊට නිදසුන් ය.

    ‘බෙල්ලෙක ගහන කොල්ලා’, ‘ඒ දෙබල’ ලක්ෂාන්ගේ ජනතාවාදී කාව්‍යයේ වර්ධනීය අවස්ථාවන් ය. ඒම කාව්‍ය මනුෂ්‍යයාගේ ජීවිතයේ ඇති සංදෘෂ්ටිකමානය හෙළි කරයි.
    පාසලේ බෙල්ලෙක ගහපු කොල්ලා පොලී මුදලාලි කෙනෙක්ගේ සේවකයෙකු වීම දක්වා ජීවිතය කවියා අවලෝකනය කරන්නේ එකතරා යාන්ත්‍රික කාව්‍ය ආකෘතියකින් ය. එය බෙල්ලෙක ගහපු කොල්ලාගේ ජීවිතය හා සමානය. ඔහුගේ ජීවිතය ඔහුටත් නොදැනී ගලාගෙන යන්නේ ඔහුගේ සවිඥානික පාලනයකින් තොරව ය, ඔහු ඒ පිළිබද සවිඥානික වන්නේ බොහෝ කලකට පසුව ය.

    බෙල්ලෙක ගහන කොල්ලා
    ‍මං තමයි ඉස්කෝලෙ
    බෙල්ලෙක ගහපු කොල්ලා
    හැමෝම මිටි නිසා
    මට කිව්වේ ‘බට්ටා’ කියලා

    උදෑසන රැස්වීම
    මං ටිකක් පසුපසට ඇද්දා
    ඉන්ටවල්ලෙක කෙටියි
    යාළුවොත් කිව්වා
    එකටි තිහ වෙන්න පෙර
    මං ඉස්කෝලෙ ඇරියා
    පහුවෙනිදා පාන්දර
    විනයභාරගෙන් කෑවා

    අතරමැද පීරියඩ්
    වෙලාවට බෙදුවා
    පාඩම් එකින්නෙක
    නොදැනීම කට්ටුණා
    සරෝජත් බෑ කියා
    දූතයෙක් ඒව්වා

    ටර්ම් ටෙස්ට්ටෙක දවසෙදි
    ගගනගෙන් නිදුකගෙන් කොපි කළා
    ගණිතයට අනූනවයයි
    ගගනටත් වැඩියෙන් ලකුණු තිබුණා
    සමස්ත ලංකා තරගෙට
    ගණන් මිස් මාව හැමතැනම හෙව්වා

    රිපෝට් දෙන උත්සවේ
    මාව උඩට නග්ගලා
    පාසල ම ඉදිරිපිට ලොකු සර්
    ‘කොපි ස්ටාර්’ කිරුළ දුන්නා
    ටික කලක් යනකං මිතුරන්
    ‘බට්ටා’ කියන එක නැවතුණා…

    ඔ්ලෙවල් ගොඩ දාගන්න
    බැරි වුණා
    මගේ පරිච්ඡේදය එතැනින්
    නැවතුණා
    කියාගත නොහැකි දේ
    බොහොමයක්
    බෙල්ලෙකට රහසින් කියපු මං
    මිස් වුණා

    ගගන දැන් කවියෙක්
    එයා මං ගැනක් ලියලා තිබුණා
    නිදුකයි සරෝජයි බැන්දා
    එයාලා නිදුක් නීරෝගී වේවා!

    පොලියට සල්ලි දෙන මුදලාලි
    මට රස්සාව දුන්නා
    එයාගේ මේසෙ උඩ බෙල්ලෙකක්
    නිතර මට අණ දුන්නා
    ඉස්කෝලේ පැත්තෙන් අදටත්
    අලුත් බෙල් හඬක් ඇසෙනා

    කවුද ඒ අලුත් කොල්ලා
    ඒ බෙල්ලෙක ගහන කොල්ලා..?

    බෙල්ලෙක ගහන කොල්ලාගේ ජීවිතය වගේ අපි බොහොමයක් දෙනා අද ගත කරන ජීවිත අපි කැමැත්තෙන් තොරා ගත්තා ද නැත්තම් අපටත් නොදැනී අප ඒ ජීවිතයන් වෙත ආවා ද යන්න පිළිබඳ සිතන්න අපට බල කරයි. බෙල්ලෙක ගහන කොල්ලා සැලසුම් සහගත ජීවිතයක් ගත නොකර පොලී මුදලාලි කෙනෙක් නැත්නම් යම්කිසි පීඩක යාන්ත්‍රණයක කොටසක් බවට පත් වෙයි. නමුත් සැලසුම් සහගත ජීවිතයක් ගත කළ අයත් යම් යම් පීඩක යාන්ත්‍රණයන්ගේ කොටස් බවට පත් නොවේ ද? ජීවිතය අප පා යටින් ගලාගෙන යන්නේ අපේ සවිඥානිකත්වයකින් තොරව ය. දිනක හිස ඔසවා බලන විට අප යම් යම් තැන්වල සිටින බව අපට වැටහේ. එය පන්තියේ අසමත් වූ කොල්ලන්ට පමණක් නොව නිදුකලා වගේ කවි ලියන උගත් අයටත් වන දෙයකි.

    ‘ඒ දෙබල’ කවිය නිශ්චිත වශයෙන් ම පෙන් වන්නේ සැලසුම් සහගත ජීවිතයක් ගත කළ මිනිසුන්ගේ ජීවිත ඉරණමයි.
    The Fall of Icarus සිතුව ම සිහි ගන්වන මේ කාව්‍ය කණ්ඩය ‘ඒ දෙබල’ කාව්‍යයෙන් ය.

    ‘දේශ සීමා පසු කර
    ඉගිළ යන සිහිනයක පියසැරුව
    පුතුගෙ අත්තටු
    ගිලිහී වැටී ඇත’

    අයිකේරියස්ගෙන් සංකේතවත් වන්නේ ඉතා ම වෙරවීරිය දරමින් කළ විශාල අභිප්‍රායන් කිසිවෙකුගේවත් අවධානයකට ලක් නොවී රහසේ ම මියෑදෙන ආකාරයයි. ‘ඒ දෙබල’ කාව්‍යයේ සිටින මිනිසාගේ ඉතා ම සැලසුම් සහගත සිහින එකින් එක විනාශ වන්නේ ද එලෙස ය. සියලු බලාපොරාත්තු බිදී ගිය මේ මිනිසා ගෙල වැලලාගන්නට කැටකෑල ගහට නැග හොඳ අත්තක් පිරික්සන විට ඔහු කුඩා කළ පියා ඔංචිල්ලාව ගැටගැසූ තැන හමුවේ.

    ‘පැටි වියෙහි සිටින කල
    තාත්තා නැග බැඳපු
    ඔන්සිල්ලා දෝලාවේ
    පුරාවිදු සාක්ෂිය
    නේ ද මේ!!’

    දිවි නසා ගන්නට ගිය මිනිසා ඒ වැඩේ අතහැර සිතට දිරි එළවා ගනී. සමහර විට අපගේ ජීවිතයට අර්ථයක් ලබා දෙන්නේ ද ජීවිතයේ ඇති අරුත්සුන්බව තුළින් ම වියහැකි ය.
    ලක්ෂාන්ගේ ජනතාවාදයේ ලක්ෂණ වන්නේ ඒ අනුව ජනජීවිතය අවලෝකනය කරමින් ඒ ජීවිතයට යම් ආලෝකයක් ගෙන ඒම බව පෙනී යයි. එය කලාව යනු කලාව සඳහාම වේ යන්න වෙනුවට කලාව මඟින් යමක් කළ හැකි බවට විශ්වාස කරයි.

    සෞන්දර්යවාදීන් සහ සංකේතවාදීන් කලාව සදාචාරාත්මක විය යුතුය යන උපයෝගිතාවාදී විශ්වාසයට එරෙහිව ප්‍රතික්‍රියා කළේ ‘කලාව කලාව වෙනුවෙන්’ යන මූලධර්මය වර්ධනය කිරීමෙන් ය. ඒ අනුව ඔවුන්ගේ කවිය අවධානය යොමු කළේ අදහස් හෝ සදාචාරාත්මක ආඛ්‍යාන විස්තර කිරීමට වඩා හැඟීම් උද්දීපනය කිරීම කෙරෙහි ය. ලක්ෂාන් වැනි නූතන ලාංකේය කවියන් දැන් දැන් සෞන්දර්යවාදීන්ගේ සහ සංකේතවාදීන්ගේ සදාචාරවාදීන්ට එරෙහි ආස්ථානය යම් ආකාරයකින් වැළඳ ගත්ත ද කලාව හුදෙක් කලාව වෙනුවෙන් ය යන අදහස ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව කාව්‍ය සදාචාරත්මක පණිවුඩ ලබාදීම වෙනුවට දේශපාලනික සහ දෘෂ්ටිවාදී විවේචන කිරීම මඟින් ජනතාවගේ දෘෂ්ටිවාදී සිරගෙවල් විනාශ කිරීමට උත්සුක වෙයි.

    අද දේශපාලනය මෙන් ම කාව්‍ය ද ජනතාවාදී මොහොතක් පසු කරන බව පෙනී යයි. එය බැහැර කිරීමේ කාව්‍ය ව්‍යාපාරයක් වෙනුවට ඇතුළත්කරගැනීමේ කාව්‍ය ව්‍යාපාරයක් විය හැකි ය. බ්‍රෙටෝල් බ්රෙෂ්ට් කොමියුනිස්ට් කලාකාරයෙකි. නමුත් අද ඔහුගේ නිර්මාන කිසිවෙකු උපුටා ගත හොත් ඔහු මේ සන්දර්භයේ ජනතාවාදී කලාකාරයෙක් යැයි කීමට ඉඩ ඇත. එස්ට්‍රා පවුන්ඩ් නිදහස් කාව්‍ය හරහා යම් ආකාරයක ජනතාවාදයක් ගෙනා බව ඇතැමෙකුට තර්ක කළ හැකි ය. ධර්මසේන හිමියන් දඹදෙනි යුගයේ සංස්කෘතයෙන් බණ කියන පණ්ඩිතමානී සාහිත්‍ය වෙනුවට සාමාන්‍ය ජනතාවගේ පහන් සංවේගය උදසො සද්ධර්මරත්නාවලිය ලිවීම ජනතාවාදයක් යැයි අවශ්‍ය නම් අද කිව හැකි ය. මේ අනුව පෙනී යන්නේ ජනතාවාදය ඉතා ම පුළුල් සාහිත්‍යයක් අවශෝෂණය කරගත හැකි සංකල්පයක් බවයි. මෙහි ඇති පොදු ලකෂණය වන්නේ ජනතාවගේ ජීවිතය නිරන්තරයෙන් සාහිත්‍යයේ විෂය වස්තුව කරගෙන ඔවුන් වෙනුවෙන් ඔවුන් සිටින ස්වයං විනාශකාරී හෝ අදේශපාලනික දෘෂ්ටිවාදීමය සිරගෙවල් විවේචනය කිරීමයි; ඒවා උපහාසයට නැගීමයි.

     

     

  • නටන තරුවකට පණ දෙන්න..

    නටන තරුවකට පණ දෙන්න..

    මේ කාලෙ මනෝවිශ්ලේෂණය ගැන කතා එතරම් වැදගත් නැත. මන්දයත් මනෝවිශ්ලේණයට අවශ්‍ය කොන්දේසි සැලකිය යුතු ලෙස බිදවැටී ඇති බැවිනි. අවිඥානය යනු එහි ප්‍රදානම අධ්‍යන වස්තුවයි. නමුත් සගවාගෙන සිටින යටපත් කරන ලද අවිඥානයක් සහිත මිනිසුන් හිටියේ දළ වශයෙන් මීට වසර 30කට කලින් ය. නැත්නම් ඉතා ම මෑත කාලයට ගොස් ෆේස්බුක් සොයා ගැනීමට සංඛේතීයව එය සම්බන්ධ කළ හැකි ය. අවිඥානය පවතින්නේ මර්දිත සමාජවල දැන් අප ජීවත් වන සමාජය මර්දිත සමාජයක් යැයි අපට එකවර ප්‍රකාශ කළ නොහැකි ය. අද අපට හැම තැනින් ඇසෙන්නේ නිදහස් වෙන්න නිදහස් කරන්න යන තේමා ය. සමාජ මාධ්‍ය ඔස්සෙ ඒ නිදහස අප සැලකිය යුතු ලෙස විදිමින් සිටී. අපේ අවිඥානය අද ඇත්තේ අපේ සමාජ මාධ්‍ය ගිණුමේ හෝ දුරකථනයේ ය. අවිඥානය අවිඥානය වන්නේ එය සැගවුණු විට ය. නමුත් දැන් එය තවදුරටත් යටපත් කරන ලද සැගවුණු දෙයක් නෙවෙයි.

    හෘදය සාක්ෂිය
    මා
    එල්ලී
    මැරී
    ඇති විට
    මගේ
    අත ගෙන
    (වම් අත)
    දබරැගිල්ල
    ස්ක්‍රීනය
    මත තබා
    ටච් කර
    ලොක් ඇර
    විවර තර
    බලන්න…

    අපේ අවිඥානය ගැන ෆ්‍රොයිඩ්ට වඩා අප වෙත පණිවිඩ එවන සමාගම් දනී.
    මේ සැගවුණු බව කියන එක කවියටත් අත්‍යවශ්‍යයෙන් ම අදාළ දෙයක්. සගවලා කියන්නෙ කොහොම ද කියල කවියො හොදට දන්න දෙයක්. දැන් කලාකාරයෝ සගවලා කියන්නෙ කොහොමද කියල දන්නෙ නෑ. අමු අමුවෙ පෙන්වනවා. ඒකට කලාවක් අවශ්‍ය වෙන්නෙ නෑ. අමු අමුවෙ කියද්දි ඒ ගැන ප්‍රත්‍යවලෝකනයක යෙදෙන්න දෙයක් නෑ.

    ඇන්ටනා වයරය දිගේ
    පහළින්
    ඇදෙමි මම
    කිරණ සේ ඇන්ටනා කූරට

    ඇන්ටනා කූරේ
    මුදුනින්
    මිදෙමි මම
    අංශුවක් වී
    ඩිජිටල් තරග ඇකයක

    කදු වළලු අතරින්
    හමමි මම
    සුළග හා
    චන්ද්‍රිකා කුළුණට

    ලොකු ම පීරිසියෙ
    සිදුරෙන්
    කිදෙමි මම
    දත්තයක් සේ
    විකාශන මැදුරට

    වයර් කේබල්
    දිගේ
    වදිමි මම
    ඇස් දෙකක් වී
    ස්ටුඩියෝ කුටියට

    කාචයට ඉස්සරහ
    පැත්තෙන්
    පනිමි මම
    පුරුෂ ලිගුවක් සේ
    ඇගේ කලවා අතරට

    සොක්‍රටීස්ව හැදින්වුයේ atopos කියල එහි නිරුක්තිය තමයි ස්ථානයක් නොමැති කියන එක. මොකද ඔහුට අපි අද කියනව වගේ එහෙම තැනක් නොතැනක් වෙලාවක් කලාවක් තිබුණෙ නෑ. ඔහු ගත කළේ හරි ම අස්ථානීය ජීවතයක්. ඔහු හිතුවෙත් එහෙමයි. කාව්‍ය කියන්නෙත් අස්ථානීය යමක්. හිතපු හැටිය හිතට එන දේවල්. එවැනි ජීවිතයක් බොහොම අව්‍යජයි. හයිඩෙගර් කිව්ව ඔතෙන්ටික් ලයිෆ් එකත් ඒක වෙන්නැති. ආදරය කියන්නෙත් atopic දෙයක්. එය සමහර විට කාව්‍යට නගලා ඉවර කරන්න බැරි වෙන කරන්න කරන්න අසමත් වෙන යමක්.

    ඒ සුළැගිල්ල
    අල්ලා ගත් පසුව
    මා අත…

    මා අතහැරියා
    සුළු සුළු සිහින
    දිගු කලක් තිස්සේ
    මා දුටු

    අපට අද ආදරය කරන්න බැරි වන සමාජ කොන්දේසි හැදිලා තියෙනවා. අද නවලිබරල්වාදය විසින් අපට කියන්නේ අනෙකා එක්ක තරග කරන්න කියන එක. මේ ළගක දි කෙනෙක් කියනා අහන් හිටියා තරගය කියන්නෙ කවුරුවත් නොපරදින සීරෝසම් ගේම් එකක් කියල. ලංකාවේ නවලිබරල් ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටින ඇඩ්වොකාටා එකේ උන්දැ කෙනෙක්. තරගය ප්‍රමුඛ වෙච්ච සමාජයක් ආදරය කරන්නේ කෙසේ ද ? සුළු සුළු දේවල් අත් හරින්නේ කෙසේ ? නමුත් මෙතකින් කියල නතර කළතෝ එය අසම්පූර්ණයි. අද අපි තරග කරන්නේ අනෙකා සමග පමණක් නොව අපි සමගත් තරග කරයි. එය සාම්ප්‍රදායික මාක්ස්වාදී අදහසින් විස්තර කරන්න පුළුවන් යමක් කියල මං හිතන්නෑ.

    ප්‍රේක්ෂකයාණෙනි,
    දුටුවා ද
    ඔබ සමග
    ඔබ එක්ක
    පැවැත් වූ
    තරගය

    දැන්
    ඔබ නැතුව
    ඔබ නැතුව
    ගුම් දිදී
    තියෙන හැටි?

    ඇලන් බදියු කියනවා අපි ආදරය මේ යුගයේ යළි අලුතින් සොයා ගත යුතු දෙයක් කියල. ආදරය කියන්නෙ අනෙකාව වෙත අප විවරවන අනාවරණය වෙන කඩා වැටෙන විදිය. මං ආදරය කියල කියන්නෙ විශේෂයෙන් ම fall in love, ආදරයෙන් වැටීම කියන්නෙ තමන් ඉන්න ධූරාවලියෙන් බිමට පැණීම, නැත්නම් ඉතා ම අහඹු ලෙස හදිස්සියේ බිමට වැටීම. නමුත් අද අපි කරමින් ඉන්නේ ධූරාවලී නඩත්තු කිරීමය. නවලිබරල්වාදය කියන්නෙ ම ධූරාවලිය නඩත්තු කිරීමේ යාන්ත්‍රණයයි. එවැනි සමාජයක ආදරයෙන් වැටීමට ඉඩක් නැත. සැබෑ කොමියුනිස්ට්වාදියෙක් වීම යනු සැබෑ ප්‍රේම වන්තයෙක් වීම ය. නමුත් අපට ඒ සදහා අවශ්‍ය කොන්දේසි අද සීමිත ය. මේ කියන මාත් විශාල තරගයකට, ධූරාවලියකට සිරවී ඇත.

    ‘ඔයා ගියොත්
    මං එල්ලෙනවා‘
    ඔයා ගියපු හැටි
    ඔයාට හිතාගන්න තාමත් බැරුව ඇති

    අපි දෙන්න ම
    උඩට යන්න හදපු
    රවුම් පඩි පෙළ යට ඉදන්
    මං ආයේ එනකං
    ඔයා බලාගෙන ඉන්න ඇති

    ආපසු හැරෙන්නේ නැතිව
    නික්ම ගිය මිනිහෙක් වෙනුවෙන්
    එල්ලී එල්ලී එන්නැතුව
    එකවර ම එල්ලෙන්න හිතුන එක
    සහනයක් සේ දැනෙන්නැති

    මේ පඩි පෙළ නැත්නම් ධූරාවලිය යට හැමදාම බලාගෙන ඉන්න පුළුවන් තැනක් නොවන බව අපි දන්නවා.

    මේ අසංවිධානාත්මක වියවුල් සිතුවිලි මා වැනි ම (poetic but chaotic) නොනිමි වියවුල් සිතුවලිවලින් පිරුණ ලක්ෂාන් මධූරංගට ය.
    ලක්ෂාන් කියන්නෙ නීට්චා කියනව වගේ නටන තරුවකට පන දෙන්න පුළුවන් තරමට හදවතේ වියවුල් තියෙන කවියෙක් බව මං දැකල තියෙනවා. ඒ වියවුල අධිවියවුලක් වෙලා කවි තරුවලින් අපේ අදුරු ආත්ම දල්වන්න ලැබේවා කියල පතනවා.


    “කොළඹට කියන්නේ බොරැල්ලට” කියලා තමයි ” බුදුවෙන්නවත් අතහරින් නෑ” කිවුවේ