Breaking News

විසර්ජන පනත – අධ්‍යාපනයට බිලියන 1.1ක් පමණක් වැඩි කරද්දී මුදල් අමාත්‍යංශයට බිලියන 28ක් වැඩිපුර

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3 ක් වන අතර එය මෙම වර්ෂයට සාපෙක්ෂව රජයේ වියදම රුපියල් බිලියන 33කින් අඩු කිරීමක්.

මෙවර විසර්ජන පනතෙන් ආරක්ෂක, මුදල් සහ අධ්‍යාපන වැය ශීර්ෂය වැඩි කර ඇති අතර ජනාධිපති කාර්යාලයේ, මහා මාර්ග සහ සෞඛ්‍ය වැයශීර්ෂ අඩු කර තිබෙනවා.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා වන රජයේ මුළු වියදම ලෙස ඇස්තමේන්තුගත කර ඇත්තේ රුපියල් බිලියන 2505.3 ක වියදමක්.

එය මෙම වසරේ රජයේ වියදම වු රුපියල් බිලියන 2538 ට සාපේක්ෂව රුපියල් බිලියන 33කින් රජයේ වියදම අඩු කිරීමක්.

ඇස්තමේන්තු ගත රජයේ මුළු වියදමින් රුපියල් බිලියන 1,776 කට වැඩි ප්‍රමාණයක් දැක්වෙන්නේ පුනරාවර්තන වියදම් ලෙසයි.

පොදු සේවාවන් සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 12.6ක්.

ඊට ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, අධිකරණ, පාර්ලිමේන්තුව සහ කොමිෂන් සභා යන ආයතනවල වියදම් ද ඇතුළත්ව තිබෙනවා.

එළඹෙන වසර සඳහා ජනාධිපති කාර්යාලයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 2.78ක් ලෙස දක්වා ඇති අතර එය මෙම වසරට සාපේක්ෂව ජනාධිපති කාර්යාලයේ වියදම රුපියල් බිලියන 6.6කින් අඩු කිරීමක්.

එළඹෙන වසර සඳහා වන විසර්ජන පණත් කෙටුම්පත තුළින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සඳහායි.

මෙම වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 355ක් ලෙස දැක්වුණු අතර එළඹෙන වසර සඳහා එය රුපියල් බිලියන 373ක් දක්වා ඉහළ දමා ඇත්තේ මෙම වසරට සාපේක්ෂව ආරක්ෂක කටයුතු සඳහා රුපියල් බිලියන 18ක් වෙන් කරමින්.

ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩිම වැය ශිර්ෂයක් වෙන්ව ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටයි.

එම අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 286.7ක් වන අතර ඉන් බිලියන 286ක් පුනරාවර්තන වියදම්.

එම අමාත්‍යාංශයේ වැය ශිර්ෂය මෙම වසරට සාපේක්ෂව ලබන වසරේදි රුපියල් බිලියන 15කින් වැඩිකර තිබෙනවා.

එමෙන්ම එළඹෙන වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වැය ශිර්ෂය ලෙස රුපියල් බිලියන 185.9ක් වෙන්කර තිබෙනවා.

එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28ක වැඩිවීමක්.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතින් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 250.1ක් වන අතර ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම්වනවා.

ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 80කින් අඩුකර තිබෙනවා.

ලබන වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 127.6ක්.

ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 1.1 කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම එළඹෙන වසර සඳහා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 153.5ක්.

එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 06ක පමණ අඩුවීමක්.

ලබන වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 243.9ක්

එය මෙම වසරට සාපේක්ෂව එම අමාත්‍යාංශ වැය ශිර්ෂයේ රුපියල් බිලියන 03ක වැඩිවීමක්.

මේ අතර අද පැවති පක්ෂ නායක රුස්වීමේදි 2022 වර්ෂය සඳහා වන අයවැය නොවැම්බර් මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා සිදු කිරීමටත් තීරණය වි තිබෙනවා.

leave a reply