Category: පුවත්

  • විකිපීඩියාවට අවුරුදු 20 යි

    විකිපීඩියාවට අවුරුදු 20 යි

    2021 ජනවාරි 15 වනදාට විකිපීඩියාවට වසර 20 ක් සපිරෙනවා . භාෂා 300 කට අධික සංඛ්‍යාවක් විකිපීඩියාව තුල තිබේ . මිලියන 55 කට අධික සංඛ්‍යාවක් පරිහරණය කරන මෙය ලොව මෙතෙක් ලියන ලද විශාලතම විශ්වකෝෂය වේ . ලොව වැඩියෙන්ම නැරඹූ වෙබ් අඩවි වලින් එකක්ද වෙනවා .

    විකිපීඩියා විශ්වකෝෂය 2001 ජනවාරි 15 ​​වන දින උපත ලැබුවේ ජිමී වේල්ස් සහ ලැරී සැන්ගර්ගේ විසිනි. විකිපීඩියාව තවමත් අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් අරමුදල් රැස් කිරීමේ ආර්ථික ආකෘතිය මත පවතී.

    “විකිපීඩියා යනු සැන් ෆ්රැන්සිස්කෝ (කැලිෆෝනියා, එක්සත් ජනපදය) හි පිහිටි ලාභ නොලබන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසින් සත්කාරකත්වය සපයනු ලබන වාණිජ නොවන වෙබ් අඩවියකි . “සාමය, සමෘද්ධිය සහ නිදහස සඳහා ඇති එකම දිගු කාලීන මාර්ගය දැනුමයි” යනුවෙන් එහි නිර්මාතෘ ජිමී වේල්ස් ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබුණි .

  • සේරුවිල රත්‍රං නිධියක් ගැන පළවූ වාර්තා අතිශෝක්තියක් – පරිසර අමාත්‍යංශය කරුණු දක්වයි

    සේරුවිල රත්‍රං නිධියක් ගැන පළවූ වාර්තා අතිශෝක්තියක් – පරිසර අමාත්‍යංශය කරුණු දක්වයි

    ත්‍රිකුණාමලය, සේරුවිල ප්‍රදේශයෙන් රත්‍රං නිධියක් හමුවූ බව පවසමින් පළකරන ලද මාධ්‍ය වාර්තා අතිශයෝක්තියෙන් වාර්තා කරන ලද ඒවා බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසා තිබේ. ඔහු පවසා ඇත්තේ එම ප්‍රදේශයේ තුළ කොපමණ ප්‍රමාණයෙන් තඹ , රත්තරන් අඩංගු ද යන්න තීරණය කළ හැකි වන්නේ කැණීම් කිරීමෙන් පමණක් බවයි. ඒ සඳහා විවිධ පියවර රැසක් අනුගමනය කලා යුතු බවද ලේකම්වරයා පෙන්වා දී ඇත.

    වෛද්‍ය අනිල් ජාසිංහ වැඩිදුරටත් පවසා ඇත්තේ,

    “ මෙම රත්‍රං නිධිය සම්බන්ධයෙන් වාර්තා වී තිබෙන මාධ්‍ය වාර්තා අතිශෝක්තියෙන් යුක්ත ඒවා. මේ සම්බන්ධයෙන් ඇමතිවරයා හෝ අමාත්‍යාංශය විසින් මේ දක්වා කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ. මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අපි අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ජාවක් පැවැත්වුවා. ඒ සඳහා භූවිද්‍යා කාර්යාංශය සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ වූනා.

    සේරුවිල ඔය කියන ප්‍රදේශය ගත්විට. ඔය කින ග්‍රිඩ් ගත්තාහම. ඒ ග්‍රිඩ්වලින් සියයට 95ක් අදාළ වන්නේ වනජීව කලාපය තුළට. පළමු පියවර ලෙස භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අපට ලබාදෙනවා මේ අපි කියන exploration කිරීම සඳහා ඒ ක්‍රමවේදය කුමක්ද කියලා. මෙය වනජීවි දෙපාර්මේන්තුවට සහ ඒ රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම්දීමක් කරනවා. මෙය explore කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉටුකර දෙන ලෙස. එහිදි ඇත්ත වශයෙන්ම අපි කියන පාරිසරික ඇගයීම. ඒ අනුව ඔය කියන ප්‍රදේශවල කැණීම් කරලා එවැනි තත්ත්වයකින් පසුව පමණයි මොන ප්‍රමාණයකට රත්‍රං තියෙනවාද? මොන ප්‍රමාණයකට පස් තියෙනවාද කියන එක දැන ගැනීමට හැකි වන්නේ.“

  • වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙත් නෑ , බදු දෙන්නත් නෑ හැබැයි ආදානි සමාගමට ආයෝජනය කරන්න දෙනවලු

    වරාය නැගෙනහිර පර්යන්තය විකුණන්නෙත් නෑ , බදු දෙන්නත් නෑ හැබැයි ආදානි සමාගමට ආයෝජනය කරන්න දෙනවලු

    කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන නමුත් නැගෙනහිර වාරයේ ආයෝජනය කිරීමට ආදානි සමාගමට ඉඩ ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වරාය වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවකදී පවසා තිබේ.

    ශ්‍රී ලංකා රජයට 51% ක අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ ‘අදානි’ සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත. වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කමද වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දුන් බව සඳහන් වේ.

    පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබුණ බවත් විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වී ඇති බව මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත. ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51% ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එසේම ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවයි.

    මෙම සාකච්ඡාව සඳහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, වරාය අමාත්‍යාංශයේ ලේකම්, වරාය සභාපති ඇතුළු නිලධාරීහු සහ වෘත්තීය සමිති 23 ක නියෝජිතයෝ එක්ව සිට ඇත.

    ජනාධිපතිවරයා මේ පටලවමින් මේ කියා ඇති කතාව අමුතු එකක් නොවේ. කොළඹ වරාය අධිකාරියට සහ ආදනි සමාගමට කොටස් බෙදී යාමට කතිකා කරගෙන තිබුණේ මේ කියන ආකාරයටමයි. නමුත් විශේෂඥයන් සඳහන් කරන ආකාරයට කොටස් වැඩිපුර තිබූ පළියට නැගෙනහිර පර්යන්තයේ පාලනය අපිට හිමි නොවේ.

    ඉන්දියාවේ ආදනි සමාගම සමඟ ලංකාවේ ආණ්ඩුව ගිවිසුම් ගතවූ පළමු මොහොතේම හෙළිවූ කරුණු අනුව ඒ බව පැහැදිලි වේ.

    මෙම නැගෙනහිර පර්යන්තයේ විශේෂත්වය ලෙස සඳහන් වන්නේ මෙය මීටර් 1,200ක් දිගින් , මීටර් 18ක් ගැඹුරින් යුක්ත වීමත් සමඟ විශාල ප්‍රමාණයේ නැව් පැමිණිය හැකි වීමයි. එසේම මෙය චීන සමාගම පාලනයේ පවතින කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තය (CICT) හා සමාන වෙන්නක්.

    නමුත් කොළඹ ජාත්‍යන්තර බහාළුම් පර්යන්තයට නැති වාසියක් මෙහිදී නැගෙනහිර පර්යන්තයට හිමිවෙන බව විශේෂඥයන්ගේ අදහස විය. එය නම් සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) නම් පර්යන්තයද මෙය අසළ තිබීම නිසා එය යොදාගෙන විශාල නෞකා මෙන්ම කුඩා නෞකා පැමිණීමට ඉඩ ලබාගැනීමයි. ඒ හරහා සුවිශේෂ පර්යන්තය පාවිච්චි කරන බහාළුම් හිමිකරුවන්ට අන්තර්පර්යන්ත හුවමාරු (Inter Terminal Transit – ITT) වියදම් කපා හරින්න අවස්ථාව ලැබීම හරහා දැනට ඇති කිසිදු පර්යන්තයකට නැති වාසියක් නැගෙනහිර පර්යන්තයට ලැබීමයි.

    යම් ආකාරයකට මේ පර්යන්ත දෙකම අත්පත් කර ගන්නා පාර්ශවය කොළඹ වරායේ ප්‍රමූඛයා වීම කිසිසේත්වැළක්විය නොහැකි බව විශේෂඥ අදහස් විය.

    සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (SAGT) හි වැඩි හිමිකාරිත්වය පැවතියේ ජෝන් කීල්ස් සමාගමටයි. ඒ අනුව නැගෙනහිර ජැටිය ලබාගැනීමේ ගනුදෙනුවේදී ජෝන් කීල්ස් සමාගම, අදානි සමූහය සමඟ එක්වීම යනු ඉදිරියේදී සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් පර්යන්තයද නැගෙනහිර පර්යන්තය සමඟ එක්ව කටයුතු කිරීමකි. මේ අනුව කොළඹ වාරයේ ප්‍රමුඛයා බවට ඉන්දියාව නිතැතින්ම පත්වෙනු ඇත.

     

  • අමාත්‍ය උදය ගම්මන්පිල ගේ සහායෙන් ළමා අපයෝජක වෛද්‍යවරයා බේරී  යන ලකුණු 

    අමාත්‍ය උදය ගම්මන්පිල ගේ සහායෙන් ළමා අපයෝජක වෛද්‍යවරයා බේරී  යන ලකුණු 

    බාල වයස්කාර දරුවන් රාශියක් ලිංගිකව අපයෝජනය කරමින් එම ලිංගික අපයෝජන වීඩියෝ ගත කර සීඩී තැටි වලට නඟා යුරෝපයේ, ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විකෘති කාමාතුරයන්ට අලෙවි කළා යැයි චෝදනා ලත් රූපවාහිනී රියැලිටි ගුරුවරයෙකු වූ නිරන්ත එදිරිසිංහ සහ ඔහුගේ සහායකයා ලෙස ක්‍රියා කල ඕස්ට්‍රේලියාවේ ජීවත් වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර හෙවත් උපුල් හේවා නම් ශ්‍රී ලාංකික වෛද්‍යවරයා බේරා ගැනීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල කටයුතු කොට ඇති බවට වාර්තා වෙයි.

    ජයසිංහලාගේ උපුල් හේවා සහ නිරන්ත එදිරිසිංහ දීර්ඝ කාලීන මිතුරන් වන අතර මොවුන් දෙදෙනා විසින් එක්වී ළමා කාම වීඩියෝ නිශ්පාදනය කොට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින  කුඩා දරුවන් කෙරෙහි  විකෘති කාමාශාවෙන්  පෙළෙන  පුද්ගලයන්ට  අලෙවි කොට ඇත. මෙම කාම ජාවාරම මගින් මොවුන් දෙදෙනා විශාල මුදලක් උපයා ගන්නට ඇති බව පොලිසිය විශ්වාස කරයි.  බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට ලද තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිරන්ත එදිරිසිංහව අත්ඩංගුවට ගෙන ඇති අතර ඔහු රක්‍ෂිත බන්ධනාගාර  ගත කොට  ඇත.

    ඕස්ට්‍රේලියාවේ වෙසෙන  ජයසිංහලාගේ උපුල් හේවා නම් පුද්ගලයා ලංකාවේ ප්‍රදේශ කිහිපයක රෝහල් වල සේවය කොට තිබේ. ඔහු මහනුවර ශික්‍ෂණ රෝහලේ සේවය කල සමයේදී නව හැවිරිදි පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කොට ඇති අතර  ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැත. කෙසේ නමුත් අදාල සිදුවීමෙන් පසු ඔහු කිසිම දැණුම් දීමකින් තොරව මහනුවර ශික්‍ෂණ රෝහලෙන් සේවය අතහැර ගොස් තිබේ. පසුව ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් රෝහලක රැකියාවක් ලබාගෙන තිබේ.

    නිරන්ත එදිරිසිංහ අත් අඩංගුවට පත් වීමෙන් පසුව අමාත්‍ය ගම්මන්පිල ගේ මැදිහත්වීම නිසා ජයසිංහලාගේ උපුල් හේවා නම්  ශ්‍රී ලාංකික වෛද්‍යවරයා කිසිදු චෝදනාවක් ලබා නිදහස් වී ඇත. තවද මෙම ළමා අපයෝජන පිලිබඳව මූලික විමර්ශන සිදු කල  කොල්ලුපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු මාරු කිරීම නිසාද මූලික සාක්‍ෂි වෙනස් කිරීම නිසාද වෛද්‍ය උපුල් හේවාට ගැලවී යාමට හැකිවී තිබේ.

    ඇමැති උදය ගම්මන්පිල ද කලක් ඕස්ට්‍රේලියාවේ විසූ අතර ඔහුගේ පවුල තවමත් ඕස්ට්‍රේලියාවේ ය. උපුල් හේවා සහ ගම්මන්පිල ද ලඟ මිතුරන් වන අතර මීට ඉහතදී ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදාගනිමින් බ්‍රයන් ජෝන් සැඩික් නම් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අත් අඩංගුවට පත් වූ විටදී ද වෛද්‍ය උපුල් හේවා, ගම්මන්පිලට ආධාර උපකාර කර ඇතැයි  පැවසේ. වෛද්‍ය උපුල් හේවා චෝදනා විරහිතව ගැලවී යාමෙන් පසු ඉදිරි කාලයේ නිරන්ත එදිරිසිංහටද ළමා අපයෝජන චෝදනා වලින් නිදහස් වී යාමේ අවකාශය බොහෝ විට ලැබෙනු ඇත.

  • මිනිසාගේ ළඟම නෑයන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

    මිනිසාගේ ළඟම නෑයන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

    අමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හි පිහිටි සැන් ඩියාගෝ සත්ව උද්‍යානයේ සිටින ගොරිල්ලන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    මෙම සතුන් රැක බලා ගැනීමට යොදා සිටි සේවකයෙකු හරහා ඔවුන්ට වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවට අනුමාන කෙරේ. කෙසේවෙතත් බලධාරීන් පවසන්නේ සේවකයන් සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳ සිට ඇති බවයි.

    මිට පෙර සිංහයින්, සුනඛයින් සහ බළලුන් හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අවස්ථා කිහිපයක් දක්නට ලැබුනත් වානරයකෙට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ බවට තහවුරු වූ පළමු අවස්ථාව මෙය බව සැළකේ.

    දැනට ගෝරිල්ලන් සාමාන්‍ය තත්ත්වයේ පසුවන නමුත් ගොරිල්ලන් කිහිපදෙනෙකුට කැස්සක් දක්නට ලැබෙන බවද සත්වෝද්‍යාන පාලකයින් සඳහන් කර ඇත.

    කෙසේවෙතත් වන ජීවි විශේෂඥයින් පවසා ඇත්තේ දැනටමත් වඳවීමේ තර්ජනයට ලක්වී සිටින මිනිසුන්ට ලඟින්ම නෑකම් කියන මෙම සතුන්ට වෛරසය බෝ වීම කණගාටුදායක කාරණයක් බවයි.

    ලෝක වනජීවී අරමුදලට අනුව සැන් ඩියාගෝ සෆාරි උද්‍යානයේ ආසාදිත ගෝරිල්ලන් බටහිර පහත්බිම් ගෝරිල්ලන් වන අතර පසුගිය දශක දෙක තුළ ජනගහනය 60% කට වඩා අඩුවී ඇති වර්ගයකි.

  • රංජන් රාමනායකට වසර 4ක සිරදඬුවමක්

    රංජන් රාමනායකට වසර 4ක සිරදඬුවමක්

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාස කරන ලදැයි යන චෝදනාව යටතේ ඔහුට වසර හතරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 12) නියෝග කර තිබේ.

    ශ්‍රී ලංකාවේ බහුතර විනිසුරුවරුන් සහ නීතිඥවරුන් දූෂිත බවත් ඔවුන් මුදල් වලට වැඩ කරන බවට රංජන් රාමනායක හිටපු ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඔහු අවස්ථා ගණනකදී එනම් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී පවා තහවුරු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු සිසිර ද ආබෲ පවසා තිබේ.

    අද දින මෙම නඩුව සිසිර ද ආබෲ, විනිසුරු විජිත් මළල්ගොඩ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අතර ඔවුන්ගේ ඒකමතික අනුමැතියෙන් රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන ලදී .

  • විරෝධතාවයක් අතරතුරදී  අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට!

    විරෝධතාවයක් අතරතුරදී අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට!

    2019 උසස්පෙළ කඩඉම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් සියලු දෙනා විශ්වවිද්‍යාලවලට වහා බඳවාගන්නා ලෙස ඉල්ලමින් අද අගමැති නිල නිවාස අසළ පැවැත්වූ විරෝධතාවයේදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසිනුයි.

    නිර්දේශ දෙකක් යටතේ පසුගිය 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙනී සිටියද එහිදී එක් එක් විෂය ධාරාවලින් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යා ගැන බලධාරින් විසින් පැහැදිලි කිරීමක් සිදු කර නැත. ශිෂ්‍ය ශිෂ්‍යාවන් විෂය නිර්දේශ දෙකට අයත් වීමෙන් පැහැදිලි කාණ්ඩ දෙකක්ව සිටියදී සමාන කඩෙඉම් ලකුණු නියමකර ඇති අතර මෙහිදී සිසු සිසුවියන් විසින් විභාගයේදී ගත හැකි ඉහළම ප්‍රතිඵල ලබාගෙන ඉහළම ඉසෙඩ් අගයක් ලබා ගත්තද විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා නැත. මෙම ගැටලුව විසඳන ලෙස බල කරමින් ශිෂ්‍ය සංවිධාන, 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට මුහුණ දුන් දීමෙන් පසු අගතියට පත් සිසුන් සහ දෙමව්පියන්ගේ සහභාගීත්වයෙන් විරෝධතා කිහිපයක් පවත්වා තිබුණත් එයට මෙතෙක් විසඳුමක් ලැබී තිබුණේ නැත.

    තමන් මුහුණ දී සිටින අසාධාරණයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අගතියට පත් සිසුන් විසින් ශ්‍රේෂඨාධිකරණ පෙත්සමක් පවා ගොනුකර තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට නොගෙනම ඉවත දමන ලදී.

    ඒ අනුව අද දිනයේ අගමැති නිල නිවාස අසළ මෙම විරෝධතාවය සංවිධානය කරමින් සිසුන් සහ දෙමව්පියන් ඉල්ලා තිබුණේ තම ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙසයි.

  • යුද්ධයෙන් මියගියවුන් සිහිකිරීමේ ස්මාරකය කඩාබිඳ දැමීමට එරෙහි හර්තාල්වලට මුස්ලිම් ජනතාවගේත් සහාය

    යුද්ධයෙන් මියගියවුන් සිහිකිරීමේ ස්මාරකය කඩාබිඳ දැමීමට එරෙහි හර්තාල්වලට මුස්ලිම් ජනතාවගේත් සහාය

    යාපනය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීම සඳහා ඉදිකර තිබූ ස්මාරකය රජය විසින් විනාශ කර දැමීමට විරුද්ධව ජනතාව විසින් උතුරු නැගෙනහිර දියත් කර ඇති හර්තාලයට මුස්ලිම් ජනතාවගේද සහාය පලවී තිබේ.

    යාපනය සරසවි බිමේ පිහිටි මළවුන්ගේ ස්මාරකය යන්ත්‍රෝපකරණ යොදාගනිමින් සන්නද්ධ හමුදා සහායෙන් ජනවාරි 8 සිකුරාදා රාත්‍රියාමයේ කඩා බිඳ දැමීමට එරෙහිව විශාල විරෝධයක් නැගෙමින් තිබෙන මොහොතක ප්‍රධාන මුස්ලිම් දේශපාලන පක්ෂ සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා ඇත්තේ අද දින උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සඳහා සහය දක්වන ලෙසයි.

    මිලිටරි බලය පාවිච්චි කරමින් මේ ක්‍රියාවට එරෙහිව වාමාංශික ප්‍රගතිශීලී ජනතාව මෙන්ම ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ විරෝධය එල්ල වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනවාරි එකොලොස් වනදා වන විට ගත් අත්තනෝමතික ක්‍රියාව ආපස්සට ගනිමින් නැවත එම ස්මාරක ඉදිකරන බව විශ්ව විද්‍යාල උපකුලපතිවරයා පොරොන්දු වී තිබේ. ඒ අනුව විශ්ව විද්‍යාල සිසුන් විසින් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබුණි.

    නමුත් උතුරු පළාතේ යාපනය, කිලිනොච්චි, වව්නියාව, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්කවල කඩ සාප්පු බොහෝ ප්‍රමාණයක් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර නැගෙනහිර පළාතේ මඩකළපුව ඇතුළු ප්‍රදේශ කිහිපයකම හර්තාලය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

    මෙම සිදුවීමට විරෝධය දක්වමින් ශ්‍රී ලාංකික දෙමළ, සිංහල, මුස්ලිම් පිරිස් සිය බලවත් ශෝකයත්, කෝපයත් පලකොට තිබෙනු සමාජ මාධ්‍ය ජාලා වල දැක ගන්නට ලැබුණි.

    මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමන් වෙනුවෙන් පෙනී සිට මිය ගියායයි සළකන මිනිසුන් සිහිකිරීමට උතුරේ ජනතාවට අයිතියක් ඇති බවයි. යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම අයිතියක් බව අවධාරණය කරන අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය (අවිශිබම) යුද්ධයෙන් මියගිය හමුදා සෙබළුන් සමරන ස්මාරක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව කැරළි ගැසූ 1971 සහ 80 දශකය අගභාගයේ මරා දමන ලද මිනිසුන් සිහිපත් කිරීම සඳහා දකුණේ සැමරුම් උත්සව සංවිධානය කරනු ලබන බවද පෙන්වා දෙයි.

    “නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන අරගලයේදී රජය විසින් ඝාතනය කෙරුණු සිසුන් සිහි කෙරෙන විරුසිසු ස්මාරක විශ්ව විද්‍යාල වල සිසුන් විසින් ඉදිකර තිබේ,” යි අවිශිබම කැඳවුම්කාර රත්කරව්වේ ජිනරතන හිමියන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් සිහිපත් කර දී තිබේ.

    යාපන සරසවියේ ස්මාරකය බිඳහෙලීම සැලසුම් සහගත ක්‍රියාවක් ලෙසින් අවිශිබම විසින් හෙලා දැක තිබේ.

    ඡායාරූපය උපුටා ගැනීම – JDS වෙබ් අඩවිය

     

  • මුළු පර්ලිමේන්තුවටම හෙට සහ අනිද්දා අන්ටිජන් පරීක්ෂණ

    මුළු පර්ලිමේන්තුවටම හෙට සහ අනිද්දා අන්ටිජන් පරීක්ෂණ

    පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා හෙට සහ අනිද්දා යන දිනයන්හිදී ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට (ඇන්ටිජන් පරික්ෂණයකට) ලක් කිරීමට තීරණය කර තිබේ.

    ඉන් පසුව ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන දිනවලදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇන්ටිජන් පරික්ෂණයට ලක් කිරීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ.

    අද දිනයේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

    අමාත්‍යවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් පීසීආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහි වාර්තාව අද (11) ඔහුට ලැබී තිබේ.

    පසුගියදා කොවිඩ් ආසාදිත බව තහවුරු වූ දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට පැමිණ නැති අතර රවුෆ් හකීම් මන්ත්‍රීවරයා ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට පැමිණ ඇත. අගමැති දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ පසුගිය ජනවාරි මස 08 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණ සභා නායක කාර්යාලයේ නිධාරීන් කිහිප දෙනෙකු හමුවී තිබේ.

    රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ සංචාරය කළ තැන් සහ ආශ්‍රය කළ පුද්ගලයන් සොයා සී.සී.ටී.වී. දර්ශන පරික්ෂා කර ඇත. එහිදී අනාවරණය වී තිබෙන්නේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ රැඳී සිට ඇත්තේ පැය දෙකක පමණ කාලයක් පමණක් බවයි. එම කාලයේ ද ඔහු වැඩි වේලාවක් සභා ගැබ තුළ සිට ඇත. සභා ගැබ තුළ සිටින කාලයේදී හකීම් මන්ත්‍රීවරයා මුව ආවරණයක්ද පැලඳ නොසිටි බව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ නිරීක්ෂණය වී ඇත. කෙසේ වෙතත් දිවා ආහාරයද නොගෙන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගොස් තිබේ. සභා ගැබෙහි හකීම් මන්ත්‍රීවරයාගේ ආසනයට වම්පස අසුනේ සිටන්නේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාය. දකුණු පස අසුන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාගේය.

    හකීම් මන්ත්‍රීවරයා සමග සමීපව කතා බහ කළ බව කියන එම්.ඒ.සුමන්තිරන්, ශානක්‍ය රාසමානික්කම්, තලතා අතුකෝරළ සහ ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ අනාවරණය වී ඇත. මෙම මන්ත්‍රීවරුන්ට සහ කුමාරසිරි හෙට්ටිගේ සමීපව ඇසුරු කළ නිලධාරීන්ටද පී.සී.ආර්. පරික්ෂණ සිදු කරන ලෙස හා නිරෝධායනය වන ලෙස දැනුම්දී ඇත. පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාන කීපයක් විෂබීජහරණය කිරීමටද පියවර ගෙන තිබේ.

    ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා සිය පවුලේ අය සමඟ පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර ඔවුන්ට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරුව තිබේ.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් වැළඳීමත් සමඟ සමාජ මාධ්‍ය ජාල හරහා බොහෝ දෙනෙක් පවසමින් සිටින්නේ දැන්වත් කොවිඩ් එන්නත ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරනු ඇති බවයි. එසේම වාසුදේව නානායක්කාර වැනි ඇමතිවරුන් දැන්ම අපේ රටට කොවිඩ් එන්නතක් අවශ්‍ය නැති බවත් අපේ රටේ දේවල් වලින් වසංගතය පාලනය කළ හැකි බවට කරන ලද ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනු දැකිය හැකිය.

  • කඩා දැමූ මළවුන්ගේ ස්මාරකය යළි ඉදිවේ

    කඩා දැමූ මළවුන්ගේ ස්මාරකය යළි ඉදිවේ

    යුද්ධයේදී මිය ගිය උතුරු නැගෙනහිර ජනතාව සිහිපත් කිරීම සඳහා 2019 වර්ෂයේ යුද්ධය අවසන් වී දස වසරක් පිරීම හේතුවෙන් යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ තිබූ මළවුන්ගේ ස්මාරකය බලහත්කාරයෙන් කඩා ඉවත් කරන්නට පසුගිය ජනවාරි 8 වනදා කටයුතු කළා. මිලිටරි බලය පාවිච්චි කරමින් කළ මේ අත්තනෝමතික ජාතීන් අතර අසමගිය ඇති කරන ක්‍රියාවට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ජනතාව විරෝධතාවය පාමින් උද්ඝෝෂනයක් ගෙන ගිය අතර ශ්වවිද්‍යාල ශිෂ්‍යයන් උපවාසයක් ආරම්භ කළා.ඒ අතර අද දිනය හර්තාල්  දිනයක් ලෙස නම් කරමින් ඊට විරෝධය දක්වන්නට ජනතාව සූදානමින් සිටියා.

    මිලිටරි බලය පාවිච්චි කරමින්  මේ ක්‍රියාවට එරෙහිව වාමාංශික ප්‍රගතිශීලී ජනතාව මෙන්ම ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාගේ විරෝධය එල්ල වීමේ ප්‍රතිඵලයක් ලෙස ජනවාරි එකොලොස් වනදා වන විට ගත් අත්තනෝමතික ක්‍රියාව ආපස්සට ගනිමින් නැවත එම ස්මාරක ඉදිකිරීම සඳහා කටයුතු කිරීම සිදුවී තිබේ.ඒ  අනුව අද දින එම ස්ථානයේම නැවත එම ස්මාරකය ඉදිකිරීමට අවශ්‍ය මුල් ගල් තැබීම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. උපවාසයේ යෙදී සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඔවුන්ගේ උපවාසයද අත්හැර දැමිය.