ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර දෙක තුන තුළ අගය එකතු කළ බදු (VAT) අනුපාත අඩු කිරීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
අද (ඔක්තෝබර් 8) නව ග්‍රාම නිලධාරීන් 1,540 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉහළ යන රාජ්‍ය වියදම් කළමනාකරණය කරන අතරම පුරවැසියන් මත ඇති බදු බර අඩු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
“ඉදිරි වසර දෙක තුන තුළ අගය එකතු කළ බදු (VAT) අනුපාත අඩු කිරීම මගින් ජනතාවට සහන සැලසීම අපගේ අරමුණයි,” යනුවෙන් ඔහු පැවසීය.
පොත්පත් මිලදී ගැනීමේදී දරුවන්ට බදු බරක් දැරීමට සිදුවීම නොවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, අත්‍යවශ්‍ය අධ්‍යාපන ද්‍රව්‍ය මත පනවා ඇති බදු ඉවත් කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.
“කියවීම සඳහා පොතක් මිලදී ගැනීමේදී දරුවෙකුට බද්දක් ගෙවීමට සිදුවන්නේ නම්, එම බද්ද ඉවත් කළ යුතුයි,” ඔහු පැවසීය.
කෙසේ වෙතත්, බදු අඩු කිරීම සඳහා රජයේ වියදම් ඉතා සැලකිල්ලෙන් කළමනාකරණය කිරීම අවශ්‍ය බව ජනාධිපතිවරයා පවසා ඇති අතර, විශේෂයෙන්ම රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම් ක්‍රියාත්මක කරන පසුබිමක මෙය වැදගත් බව සඳහන් කර ඇත.
රාජ්‍ය අංශයේ මූලික වැටුප් අදියර තුනක් යටතේ වැඩි කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් 2027 වන විට රුපියල් බිලියන 330ක අතිරේක වියදමක් දැරීමට සිදුවන බව ඔහු පැවසීය.
නොවැම්බර් 12 වන දින ඉදිරිපත් කිරීමට නියමිත මීළඟ ජාතික අයවැය සකස් කිරීමේදී මෙම මූල්‍ය වගකීම් අතර සමතුලිතතාවක් පවත්වා ගැනීමට රජයට සිදුවන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
රාජ්‍ය අංශයේ වැටුප් ගෙවනු ලබන්නේ පුරවැසියන්ගෙන් අය කරන බදු මුදල් මගින් බව පෙන්වා දුන් ඔහු, ඒ නිසාම රාජ්‍ය සේවකයින්ගේ ආදායම් ඉහළ නැංවීම සහ බදු ගෙවන්නන්ට සහන සැලසීම අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා පවසන දේවල් ඔහුටම මතක තිබෙනවාද යන සැකය පළමුවෙන්ම මතුවේ. වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම නිමිත්තෙන් “අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” මැයෙන් දිවයින පුරා සංවිධානය කර ඇති මහජන රැලි මාලාවේ ජනරැලියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ ඉදිරියේදී ආර්ථික සහන රැසක් ලබාදෙන බවයි.
විශේෂයෙන් මාතර, අකුරැස්සේදී පැවති ජන හමුව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාම හමුවේ වුවද ලබන මස ඉන්ධන මිල පාලනය කිරීමටත්, ඉදිරි අයවැය මගින් ජනතාව මත පැටවී ඇති බදු බර ලිහිල් කිරීමටත් ආණ්ඩුව සැලසුම් කර ඇති බවයි.
පසුගියදා තෙල් මිල වැඩිකරන ලදී. දැන් පවසන පරිදි බදු බර ලිහිල් වන්නේද නැත. දැන් අනුර කුමාර පවසන්නේ රාජ්‍ය සේවයේ පඩි වැඩිකිරීමට සිදුවූ නිසා මෙම බදු සහන ලබාදිය නොහැකි බවයි. ආණ්ඩුවට වසර දෙකක් පිරිම් නිමිත්තෙන් පැවති රැලිවලදී ජනාධිපතිවරයාට මේ බව මතක් වූවේ නැත. එසේම නඩුවට සමාගම් නොගෙවා ඇති බදු මතක් වෙන්නේ ද නැත. සමාගම්වලට ලබාදී ඇති බදු සහන මතක් වෙන්නේද නැත.මතක් වෙන්නේ රාජ්‍ය සේවකයායි.




