ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි වටිනාකමකින් යුත් රන් ආභරණ මෙරට ජනතාව විසින් උකස් තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන පරිදි, ජීවත්වීමට වෙනත් විකල්පයක් නොමැති තැන අහිංසක ජනතාව රුපියල් කෝටි 15,000කට ආසන්න (ඩොලර් මිලියන 500ක් පමණ) රන් භාණ්ඩ ප්‍රමාණයක් උකස් තබා ඇත.
ආණ්ඩුව මේ මොහොතේ හොරු ඇල්ලීමේ නාඩගම රඟ දක්වමින් සිටින බව සැබෑවකි. ජනතාවට මේ මොහොතේ හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් විශාල ආර්ථික අර්බුදයක ගිලී සිටින බවට වන යථාර්තය කරළියට රැගෙන ආවේ පසුගියදා පැවැත්වූ ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවය විසිනි. එය බොහෝ ජනතාවකගේ අවධානයට ලක්විය. මේ ඉව වැටුණු පාර්ලිමේන්තු විපක්ෂයත් දැන් එම සටන් පාඨ කරළියට ගෙන ඒමට උත්සහ ගනු පෙනේ. ඔවුන්ට ඇත්තේ වෙන අරමුණකි. අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් මේ මොහොතේ තමන්ගේ හොරකම් කෙරෙහි යොමුවී ඇති අවධානය වෙන පැත්තකට යොමු කිරීමයි. හොරු ඇල්ලීම පමණක් සිදුකරමින් ජනතාව පෙළන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නෑසු කන්ව සිටීම විවේචනය කළ යුත්තකි. නමුත් එසේ කියා පරණ හොරුන්ට ජනතාවගේ දුක් ගැන කිඹුල් කඳුළු හෙළීමටද ඉඩදිය යුතු නැත.




