ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් රවටා ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ වීවලට නිසි මිලක් නොමැතිකම ඇතුළු ගොවි ජනතාව මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ජන අරගල සන්ධානය අද (14 ) නුගේගොඩ දී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව…
ආණ්ඩුව ජනතාව ගෙන් හංගන ඇත්ත තත්ත්වය
“මේ වෙද්දි ගොවියන්ට තමන් මහන්සිවෙලා වගා කරපු වී අස්වැන්නට නිසි මිලක් නැති ප්‍රශ්නයක් නැවත මතුවෙලා තියනවා. හැබැයි ආණ්ඩුව ඒ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරනවා වෙනුවට හොරු ඇල්ලීම කියන නාට්‍ය පාවිච්චි කරලා ජනතාවට විනෝදය සපයන තත්වයට ඇවිත්. පහුගිය කාලේ තිබුණු දේශපානලන රැස්වීම්වලදිත් ජනාධිපතිවරයා නැවතත් කිව්වා මේ කන්නයේ ඉවසන්න අපි ඊළඟ කන්නේ ඉඳලා විසඳුමක් දෙන්නම් කියලා. හැබැයි මේ විදිහට විසඳුම් දෙන්නම් කියලා ආණ්ඩුව ගොවියන්ව දැන් කන්න හතරක් රවට්ටලා තියනවා. එක සැරයක් කිව්වා ගබඩා නෑ කියලා. ආයේ පාරක් කිව්වා සංඛ්‍යා දත්ත නෑ කියලා. දැන් මේ කතන්දර කියන එක ආණ්ඩුවට පුරුද්දක් වෙලා. අද වෙනකොට වී සඳහා වන නිෂ්පාදන වියදම් විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි ගොවියෝ කියන්නේ ඒ නිෂ්පාදන වියදමට සරිලන විදිහට වීවලට සාධාරණ මිලක් දෙන්න කියලා. නමුත් ආණ්ඩුව ඒක කරනවා වෙනුවට ගොවියන්ව පහත් කරමින් අපහාස කරමින් ඉන්නවා. පහුගිය දවසක ඇමතිවරයෙක් කියනවා ගොවියා රජකමට සුදුසුයි කියලා කවුරුහරි ඉස්සර කියලා තියෙන්නේ වැරදිලාලු. මේ හැම කතාවක්ම ආණ්ඩුව කියන්නේ ඇත්ත ප්‍රශ්නය යට ගහන්න. අපි දන්නවා පසුගිය කන්නයට සාපේක්ෂව මේ කන්නයේ වී නිෂ්පාදන වියදම අක්කරයකට රුපියල් 24,890කින් වැඩිවෙලා. ආණ්ඩුව සංඛ්‍යා දත්තවලට කැමති නිසා අපි සංඛ්‍යා දත්තවලින් ම කියන්නම්. යූරියා කිලෝ 100ක් රුපියල් 2500කින් වැඩි වෙලා. MOP කිලෝ 25 රුපියල් 2400කින් ඉහළ ගිහින්. TSP කිලෝ 12 රුපියල් 610කින් වැඩිවෙලා. බිත්තර වී සඳහා යන වියදම රුපියල් 1000කින් වැඩිවෙලා. ටැක්ටර් කුලිය රුපියල් 5000කින් වැඩිවෙලා. කම්කරුවන් 10ක් ශ්‍රමය සඳහා ගත්තොත් එහි කුලිය රුපියල් 5000කින් වැඩිවෙලා. වල් නාශක සඳහා යන වියදම රුපියල් 2200කින් වැඩිවෙලා. කෘමිනාශක රුපියල් 950කින් වැඩිවෙලා. අස්වැන්න නෙළන යන්ත්‍රයක වියදම රුපියල් 5000කින් වැඩිවෙලා. මෙන්න මේකයි ආණ්ඩුව ජනතාව ගෙන් හංගන ඇත්ත තත්ත්වය.
ඒකාධිකාරයත් එක්ක හැපෙන්න ආණ්ඩුවට පුළුවන් ද…?
මෙන්න මේ නිසා තමයි ගොවියෝ වීවලට වැඩි මිලක් ඉල්ලුවේ. හැබැයි ආණ්ඩුව ඒක නොකර වීවලට සහතික මිලක් දෙනවා කියලා ප්‍රශ්නය මගහැරියා. නමුත් අපි දන්නවා වී සඳහා සහතික මිල කියන්නේ ආණ්ඩුව වී මිලදී ගන්න මිල ගණන. පහුගිය කාලයක් තිස්සේ ආණ්ඩුවේ ගබඩා පහසුකම් එක්ක ඉතාම සුළු වී ප්‍රමාණයක් තමයි මිලදී ගැනීමේ හැකියාව තියෙන්නේ. ලංකාවේ සමස්ත ගබඩා පහසුකම් තියෙන්නේ මෙට්‍රික්ටොන් ලක්ෂ 15 – 20 අතර ප්‍රමාණයක්. ඒකෙනුත් රජයේ ගබඩා පහසුකම් තියෙන්නේ මෙට්‍රික්ටොන් ලක්ෂ 2 – 3 අතර ප්‍රමාණයක් විතරයි. ඩඩ්ලි සිරිසේනටම තියනවා මෙට්‍රික්ටොන් ලක්ෂ එකහමාරකට වැඩි ගබඩා පහසුකම්. එතකොට ආණ්ඩුව කොහොමද මේ ඒකාධිකාරයත් එක්ක හැප්පිලා ගොවියන්ට සාධාරණ මිලක් ලබා දෙන්නේ?
ආණ්ඩුව ගොවි ප්‍රශ්නය නිවැරැදිව වටහා නොගන්නේ ඇයි…?
ආණ්ඩුව වී වලට සහතික මිලක් කිව්වට පෞදගලික අංශයේ කවුරුත් ඒ මිලට වී මිලදී ගන්නේ නැහැ. පහුගිය කාලේ වියළි වී කිලෝව රුපියල් 100 – 105 අතර මිලකට තමයි විකිණුණේ. තෙත වී කිලෝව රුපියල් 85 – 90 වගේ ඉතාම අඩු මිලකට් තමයි ගත්තේ. රටේ උද්දාමනය වැඩිවෙන්න කලින් ඒ කියන්නේ මීට අවුරුදු කිහිපයකට කලිනුත් ඔය මුදලාලිලා මේ ගාණටම තමයි ගොවියන්ගෙන් වී ටික ගත්තේ. මේ තත්වය දිගටම ගියොත් ගොවියන්ට එක්කෝ වෙන්නේ තමන් ගේ කුඹුර අතහැරලා වෙනත් රැකියාවක් හොයාගන්න. එහෙම නැත්තම් මහපාරේ අරගලය තෝරගන්න. මොකද මේ ඒකාධිකාර සමාගම් නිසා අද ගොවියෝ වගේ ම පාර්භෝගික ජනතාවත් අසරණ වෙලා. ගොවියන් ගෙන් කුණු කොල්ලයට වී ගන්න ගමන් ඩඩ්ලිලා ඒ වී සහල් කරලා වෙළඳපොළට දාන්නේ එකකට එකක් ලාභ තියාගෙන. අපි දන්නේ නැහැ ඇයි ආණ්ඩුව ගොවියන්ට අපහාස කරමින් ඉන්නවා වෙනුවට මේ ප්‍රශ්නය නිවැරදිව වටහා නොගන්නේ කියලා.
පන්නපු රාජපක්ෂලාට ආයෙ අත්තටු ලැබේවි ද…?
ජනතාව ජාජබ ආණ්ඩුවට බලය දුන්නේ අර පරණ දූෂිත විපක්ෂය රට කරපු විදිහට වැඩ කරන්න නෙවෙයි. ජනතාව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ මේ රටේ දුප්පත් ගොවිය ගේ කම්කරුව ගේ පැත්තේ හිටගෙන වැඩ කරාවි කියලා. හැබැයි අද ආණ්ඩුව කරන්නේ වේදිකාවල සංදර්ශන පෙන්නන එක විතරයි. ආණ්ඩුවේ මේ වැඩ නිසා වෙන්නේ ජනතාව පරාජය කරලා පන්නපු රාජපක්ෂලාට රනිල්ලට නැවත අත් තටු ලැබෙන එක විතරයි. ඒ නිසා දැන්වත් ගොවියන්ගේ ප්‍රශ්නය නිවැරදිව වටහාගෙන වී සඳහා සාධාරණ මිලක් ලබ දෙන්න අණ්ඩුව මැදිහත් විය යුතුයි. අනිත්පැත්තෙන් කෘෂි නිෂ්පාදන වියදම් අඩු කිරීම සඳහා වහාම කෘෂි යෙදවුම්වල බදු අඩු කිරීමට ආණ්ඩුව පියවර ගන්න ඕන. ආණ්ඩුව මේ කටයුතු ඉක්මන් නොකළොත් මේ රටේ සියලු ගොවි ජනතාව සමග බරපතළ ක්‍රියාමාර්ගවලට යන්න අපිට සිදුවේවි. “




