Breaking News

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එක්වෙයි – NPPයෙන් යන්නෙ කොහෙද මල්ලෙපොල් ප්‍රතිචාර

කරුණු තුනක් සම්බන්ධයෙන් දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂ හයක් එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එම කරුණු තුන වන්නේ පොරොන්දු වූ පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ආණ්ඩුවට බල කිරීම, පළාත් සභා ඡන්ද විමසීම් කඩිනමින් පැවැත්විය යුතු බවට ආණ්ඩුවට බල කිරීමට හා රාජ්‍ය මැදිහත් වීම මත උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන ජනතාවට අයත් ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිව කටයුතු කිරීම යන්නයි.

ඒ සම්බන්ධයෙන් ජුලි 13 වැනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වූ වහාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට පොරොන්දු වූ බව හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙෂ කටයුතු කළ බවයි.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු මහ ලේකම් එම් ඒ සුමන්තිරන් එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ බලයට පත්ව වසරක් යෑමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන බවට ආණ්ඩුව පොරොන්දු වුවද වසර තුනක කාලයක් එය වසරින් වසර කල් දමමින් සිටින බවයි.
එමෙන්ම එහිදී එම්. ඒ සුමන්තිරන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ආරක්ෂක හමුදා විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින සිය ජනතාවගේ ඉඩම් වහා නිදහස් කළ යුතු බවයි.

එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් හා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ජීවන් තොන්ඩමාන්ද සහභාගි වී ඇත.

එහිදී ඒ සඳහා එක්වූ පක්ෂ කියා ඇත්තේ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන් එසේ එක්ව කටයුතු කරන බවයි.

මේ අතර මෙම එකතුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධීවර ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර් සිදුකළ ප්‍රකාශයක් ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඔහුගේ ප්‍රතිචාරය වී ඇත්තේ දේශපාලන පක්ෂ අතර පිහිටුවා ඇති නව සන්ධාන අවසානයේ බිඳ වැටෙනු ඇති බවයි.

එසේම මෙම සන්ධාන හරහා අල්ලස සහ දූෂණය මුලිනුපුටා දැමීමට, වංචාව නැවැත්වීමට, අපරාධකරුවන් අල්ලා ගැනීමට සහ ජනතාවට සේවය කිරීමට සන්ධානය පිහිටුවා තිබේද, නැතහොත් ඒ වෙනුවට සොරුන්, වංචාකරුවන් සහ දූෂණ හා මූල්‍ය විෂමාචාරවලට සම්බන්ධ අය ආරක්ෂා කිරීමට අදහස් කර තිබේද යන්න ඔහු තවදුරටත් ප්‍රශ්න කර තිබේ.

සන්ධානයට සම්බන්ධ බොහෝ පුද්ගලයින් මීට පෙර අධිකරණය විසින් වැරදිකරුවන් කර ඇති බවත්, ඔවුන් දැනට ඇප මත සිටින බවත් අමාත්‍යවරයා පැවසීය.

දැනට ඇප මත සිටින අය අනිවාර්යයෙන්ම සිරගත විය හැකි බැවින්, එය සිදුවීමට පෙර රජය පෙරළා දැමීම හෝ වෙනස් කිරීම අරමුණු කරගත් උපාය මාර්ගයක් ලෙස සන්ධානය පෙනෙන බව ඔහු තවදුරටත් පවසා තිබේ.

පසුගිය මැතිවරණවලදී දෙමළ භාෂාව කතාකරන ජනතාව සම්ප්‍රදායික දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂවලින් වෙනස්ව NPP සඳහා ඡන්දය ලබාදුන්නේ නව වෙනසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් බව පැහැදිලිය. එහිදී බලපෑවේ මෙම සම්ප්‍රදායික දේශපාලන පක්ෂ එම ජනතාවගේ අභිලාශ නොතකා කටයුතු කිරීමයි. නමුත් බලයට පත් NPP ආණ්ඩුවද එම අභිලාශ සත පහකට මායිම් කරන බවක් නොපෙනේ. රාමලිංගම් ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ එම අභිලාශ සම්බන්ධයෙන් නොව වංචා දූෂණ නම් සුපුරුදු සටන් පාඨයම දෙමල භාෂාව කතාකරන ජනතාව වෙනුවෙනුත් යොදාගැනීම ඔවුන්ගේ අරමුණ බවයි. මෙහි අනතුර පවතින්නේ මේ ආකාරයෙන් එම අභිලාශ නොතකා හැරීම හරහා නැවතත් පැරණි බලවේගවලට නැවත පැමිණීමට පාර කැපීමේ අවධානමයි.

leave a reply