” අරක්කු බෝතලේ ස්ටිකර් ගහද්දී බොරු කළ වංචනික සමාගමකට ලංකාවේම ජනතාවගේ ජෛවමිතික දත්ත ලබාදීම කෙතරම් බුද්ධිමත් ක්‍රියාවක්දැයි ” පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි. ඔහු මෙම අදහස් පළකළේ අද ( 2026 මැයි 3 ) වැනිදා නුගේගොඩ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
” 2025 අප්‍රේල් 5 වැනිදා ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ලංකාවට පැමිණි අවස්ථාවේ ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. ආණ්ඩුව ඒවා සියල්ල ජනතාවගෙන් සඟවනවා. මේ වනතුරු ඒවායේ පිටපත් ජනතාවට පෙන්වා නැහැ. ඒ අතර ලංකාවේ විදුලි බලය, ඉන්ධන සැපයුම, ඖෂධ සැපයුම, ජනතාවගේ ජෛවමිතික දත්ත, ජාතික ආරක්ෂාව ආදී ක්ෂේත්‍ර ගණනාවක ස්වාධිපත්‍යය ඉන්දියාව හමුවේ අභියෝගයට ලක් වෙනවා. ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් නොපෙන්වුවාට මේ වනවිට වසරක් ඉක්මවා ගොස් ඇති නිසා ඒවායේ ප්‍රතිඵල ලංකාවට දැනෙමින් තිබෙනවා. කොලොම්බු ඩොක්යාඩ් සමාගමේ ජපාන සමාගම සතුව තිබුණු 51%ක කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ මැසගන් ඩොක් ෂිප් බිල්ඩර්ස් කියන ඉන්දියානු සමාගමට ලබාදීමෙන් පසුව ඔවුන්ට ඩොක්යාඩ් හිමි වූ බව සහ ඉන්දියානුවන් යොදා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කළ බව ඉන්දියාව නිවේදනය කර තිබෙනවා. 1990 දශකය මුලදී ජපානයේ ඔනිමිචි සමාගමට විකිණුවේ ඒ වනවිට ලංකාව සතුව තිබුණු කොටස්. එම කොටස් වෙනත් සමාගමකට විකුණන්නේනම් ඒ සඳහා ලංකාවේ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය අවශ්‍ය බව කොටස් පැවරීමේ ගිවිසුමේ සඳහන්. මැසගන් ඩොක් ෂිප් බිල්ඩර්ස් කියන්නේ ඉන්දියානු රජයට අයත් යුද ප්‍රහාරක යානා නිෂ්පාදන සමාගමක්. ඔවුන් කොළඹ ආශ්‍රිතව ප්‍රහාරක යාත්‍රා නිෂ්පාදනය ආරම්භ කළොත් ඉන්දියාව වෙනත් රටක් සමග යුද්ධයක නිරතව සිටින අවස්ථාවක අපට ආරක්ෂක ප්‍රශ්නයක් උද්ගත වෙනවා. ඒ නිසා මුදල් ඇමතිවරයාට මෙම කොටස් විකිණීම නතර කරන්න තිබුණා. එය කළේ නෑ. ජනාධිපති සහ මුදල් ඇමති අනුර දිසානායක ලංකාව බරපතල අනතුරක හෙලුවා. ජනාධිපතිවරයා කම්කරු දින කතාවේදීත් කිව්වා ඉන්දියාවයි පාකිස්තානයයි අතර යුද්ධයකදී අපට ගහයි කිව්වා, කෝ ගැහුවද කියලා. අපි යුද්ධයකට මැදි වෙන්නේ කලින් තිබුණු ඉන්දු – පාකිස්තාන යුද්ධයකදී නෙවෙයි. ඩොක්යාඩ් එකේ යුද ප්‍රහාරක යාත්‍රා හදන්න පටන් ගත්තාට පස්සේ අනාගතයේ එන යුද්ධයකදී. වාචාල කතා වලින් ඒ අවදානම නැති කරන්න බෑ.
ඒ වගේම ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත සියල්ල ඉන්දියාව සතුවීමේ අවදානමක් තිබෙනවා. 2012දී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පතක් සඳහා වන ව්‍යාපෘතියක් ආරම්භ කළා. ඒ ව්‍යාපෘතියේ දත්ත ගබඩා සහ මෘදුකාංග හැදුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. මේ වනවිට ඒ සඳහා රුපියල් මිලියන 5700ක් වියදම් කර තිබෙනවා. තව රුපියල් මිලියන 600කින් එහි වැඩ අවසන් කරන්න පුළුවන්. එසේ තිබියදී 2020දී ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ බලපෑම මත මේ සඳහා වන ටෙන්ඩර් කැඳවීමක් කර, එය ඉන්දියානු සමාගමකට දෙන්න හැදුවා. නමුත් ඒ සඳහා ඉල්ලුම් කළ සියලු ඉන්දියානු සමාගම් අදාළ ප්‍රමිතිය නැති බව තහවුරු වූ නිසා එම ටෙන්ඩරය අවලංගු වුණා. ඊට පසුව 2023 අගෝස්තුවේ රනිල් වික්‍රමසිංහ නැවත ටෙන්ඩර් කැඳවා, ප්‍රසම්පාදන ක්‍රියාවලියත් අවුල් කරමින් මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් නම් ඉන්දියානු සමාගමකට මේ ටෙන්ඩරය දෙන්න උත්සාහ කළා. නමුත් පැමිණි ජනතා විරෝධය හමුවේ රනිල් වික්‍රමසිංහ එම පියවර නැවත පසුපසට තැබුවා. මේ අවස්ථා දෙකේදීම ටෙන්ඩරය කැඳවුයේ ලංකාවේ රජය. ඒ නිසා එය පාලනය කිරීමේ, ඇතැම් සමාගම් ප්‍රතික්ෂේප කිරීමේ, ප්‍රමිතියේ සීමාවන් නිර්ණය කිරීමේ හා අවශ්‍ය විටෙක ටෙන්ඩරය අවලංගු කිරීමේ බලයක් ලංකාවේ රජය සතු වුණා. අනුර දිසානායක ජනාධිපති වූ පසුව ඔහුම මුලින් විරුද්ධ වූ ජෛවමිතික දත්ත කොල්ලයට පාර කපන්න පටන් ගත්තා. 2025 ජනවාරියේ ජනාධිපතිවරයා කළ ඉන්දියානු සංචාරයේදී මේ සඳහා වන ටෙන්ඩර් කැඳවීම ඉන්දියාවට දෙන්න මෝදී හමුවේ එකඟ වුණා. දැන් අපට මෙම ක්‍රියාවලියේ කිසිම පාලනයක් නෑ. මෙතරම් නිවට වුණේ සහ මෙතරම් මුග්ධ වැඩක් කළේ මන්දැයි ජනාධිපතිවරයා සමාජයට පැහැදිලි කළ යුතුයි. 2025 ජුනි මාසයේ ඉන්දියානු රජය ටෙන්ඩර් කඳවු විට සමාගම් 5ක් ඉදිරිපත්වී තිබුනා. නමුත් 2026 මාර්තු වනවිට ඒ අතරට තවත් සමාගමක් එකතු වෙලා, සමාගම් 6ක් වෙලා. අක්ලුථෙන් එකතුවූ සමාගම තමයි මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම. එම සමාගම දූෂිත සමාගමක්. පිලිපීනයේ හැඳුනුම්පත් ව්‍යාපෘතියකදී සහ කෙන්යාවේ ව්‍යාපෘතියකදී දත්ත මංකොල්ල කෑම සහ දත්ත අවභාවිතය සම්බන්ධයෙන් අපකීර්තිමත් සමාගමක්. එහෙම එකක් තමයි විශ්වාස කරලා අපේ ඇඟිලි සලකුනුයි. ඇසේ ලක්ෂණයි සියල්ල භාර දෙන්න කියලා ආණ්ඩුව කියන්නේ. අනෙක් අතට මේක ලංකාවේ අසාදුලේඛනගත සමාගමක්. මුලින් සුරාබදු ගෙවූ අරක්කු බෝතල් වල ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීමේ ටෙන්ඩරය ලබාගෙන, බදු නොගෙවූ අරක්කු බෝතල් වල ඇලවීමට ව්‍යාජ ස්ටිකර් මුද්‍රණය කරදී වංචා කළේ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස්. ඔවුන් ව්‍යාජ ස්ටිකර් ලබාදුන් අරක්කු බෝතල් 44.000ක් සොයා ගත්තා. එයින් අහිමිවූ සුරාබදු ආදායම රුපියල් බිලියන 60ක් හෙවත් රුපියල් කෝටි 6000ක්. අරක්කු බෝතලයකට ස්ටිකර් මුද්‍රණය කරද්දීත් වංචා කළ සමාගමකට ජනතාවගේ අතිශය රහස්‍ය දත්ත ලබා දෙනවාද? අද සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක්, ද සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසීමකදී කියා තිබෙන්නේ මැඩ්‍රාස් සෙකියුරිටි ප්‍රින්ටර්ස් සමාගමට ටෙන්ඩරයට ඇතුළු වෙන්න අවස්තාව දෙන්න කියලා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා කියලා. ලංකාවේ හැඳුනුම්පත් සඳහා දත්ත ලබාගැනීමේදී ගන්නා තීන්දු තීරණ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මත තීරනය වෙන්න ලංකාව ඉන්දියාවේ යටත්විජිතයක් හෝ ඉන්දියාවේ ප්‍රාන්තයක් නෙවෙයි. අනෙක් අතට ලංකාවේ ජනතාවගේ තොරතුරු ලංකාවේදී අසාදුලේඛනගත සමාගමකට දෙන්න කියලා ඉන්දියාව නියෝග කරන්නේ කොහොමද? මේ ප්‍රශ්නයේ මුල ඉන්දියාව ඉදිරියේ දන නමලා, ලංකාවේ රජයේ ටෙන්ඩර් කැඳවීම් පවා ඉන්දියාවට භාරදුන් මේ ආණ්ඩුවේ නිවට විදෙස් ප්‍රතිපත්තිය. ලංකාවේ දේශපාලන සහ ආර්ථික ස්වෛරීත්වය පාවාදීලා රට විහිළුවක් බවට පත් කරනවා ආණ්ඩුව. මේ අවදානමට එරෙහිව ජනතාවගේ පුළුල් මැදිහත්වීමක් අවශ්‍යයි. ජනතා අබලයක් මගින් මේ සියලු මුග්ධ තීරණ ආපස්සට හැරවිය යුතුයි. හැරවිය හැකියි. ඒ සඳහා අපි ජනතාවට ආරාධනා කරනවා. "






