IMF නියෝජිතයන් පිරිසක් විශේෂ නිල සංචාරයක් සඳහා ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් විශේෂ නිල සංචාරයක් සඳහා අද (ජනවාරි 22) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ තීරණාත්මක සන්ධිස්ථානයක් වන 5 වන සමාලෝචනය සඳහා මූලික සාකච්ඡා පැවැත්වීම මෙහි ප්‍රධාන අරමුණ බව පැවසේ.

මීට පෙර මෙම 5 වන සමාලෝචනය පැවැත්වීමට සැලසුම් කර තිබුණද, දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව, දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් එම කටයුතු තාවකාලිකව ප්‍රමාද විය. කෙසේ වෙතත්, වත්මන් ආර්ථික තත්ත්වයන් සහ ස්වාභාවික විපත් හමුවේ ඇති වූ බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකම යටතේ මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 1.74ක් මෙරටට ලැබී ඇත. සමස්තයක් ලෙස ඩොලර් බිලියන 3ක මුදලක් ලබාගැනීමට නියමිත අතර, මෙම 5 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව විධායක මණ්ඩලයේ අනුමැතිය මත තවත් අමෙරිකානු ඩොලර් මිලියන 347ක වාරිකයක් නිදහස් කිරීමට නියමිත බව පැවසේ.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ මූල්‍ය හිඟය මඟහරවා ගැනීම සඳහා අතිරේක සහනයක් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 206ක් ලබාදීමට ද IMF විධායක මණ්ඩලය දැනටමත් අනුමැතිය ලබා දී තිබේ.

ස්වාභාවික විපත්වල බලපෑම සහ ‘දිට්වා’ ව්‍යසනයෙන් ආර්ථිකයට සිදු වූ හානිය කළමනාකරණය කිරීම රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය තුළ පවතින ආර්ථික අභියෝග මධ්‍යයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම, 5 වන සමාලෝචනයේ ප්‍රගතිය මත පදනම්ව මීළඟ ණය වාරිකය ලබාගැනීම යන ප්‍රධාන කාරණා මෙම සංචාරයේදී IMF නියෝජිතයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා කිරීමට නියමිතය.

එහෙත් ‘දිට්වා’ ව්‍යසනයෙන් පසු රටට අවශ්‍යව ඇත්තේ ණය සහනයකි. නැතහොත් ණය ගෙවීමේ වැඩපිළිවෙල නැවත සාකච්චා කර ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගණනය කර ලබාගන්නා ණය සහනයකි. නමුත් ආණ්ඩුව කිසිවක් සඳහා උත්සාහ කරනු නොලබයි. ඒ බව ‘දිට්වා’ ව්‍යසනයෙන් පසු අදහස් දැක්වූ ලෝක ආර්ථික විද්‍යාඥයින් පිරිස විසින් ද අවධාරණය කර තිබුණි. නමුත් එවැනි දෙයක් සඳහා ආණ්ඩුව කිසිදු උත්සහයක් ගනු දක්නට නොලැබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...