අදානි සමාගම මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් එම සමාගම විසින් සිදුකළ මූලික වියදම් ආපසු ගෙවීමට බලකෙරී ඇති බව ඩේලි මිරර් පුවත්පත පවසයි.
ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රී ලංකා රජයට කලින් දැනුම් දී තිබුණි. ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ නව රජය යටතේ පිරිවැය අඩු කිරීමට තීරණය කිරීමත් සමඟ මෙය සිදුවිය. අදානි සමඟ ව්‍යාපෘතිය ආරම්භ කළ පසුගිය රජය එකඟ වූ පිරිවැයට නව රජය එකඟ නොවීය. උතුරු පළාතේ මන්නාරම සහ පූනරින් නගරවල සුළං බලාගාර ව්‍යාපෘති දෙකක් අදානි සමාගම යටතේ ඉදිකිරීමට නියමිතව තිබූ අතර, එය ඩොලර් මිලියන 442 ක ආයෝජනයක් විය.
මෙම ව්‍යාපෘතිය 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 350 ක් එකතු කිරීමට අපේක්ෂා කරන ලදී. ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති අධිකාරිය (SEA) සමඟ පර්යේෂණ සහ විමර්ශන සඳහා මුලින් කළ වියදම් ප්‍රතිපූරණය කරන ලෙස ඉල්ලා සමාගම් බලධාරීන් මෙම වසරේ මැයි මාසයේදී රජයේ බලධාරීන්ට ලිපියක් එවා තිබේ.
කෙසේ වෙතත්, අදානි සමාගම තවමත් මුදල නිශ්චිතව දක්වා නොමැති අතර, එය SEA වෙත ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 3 ඇතුළුව සියලු වියදම් ආවරණය වන පරිදි තක්සේරු කළ යුතුය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තවමත් මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.
මෙය එකතරා ආකාරයකින් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සාධාරණීය කිරීම සඳහා ගහන ලද ගැටයක් ද යන සැකයක්ද ඇති වේ.