මෙන්ඩිස් සමාගම විසින් රජයට නීත්‍යානුකූලව ගෙවිය යුතු බදු මුදල් අඩු කර පෙන්වීම සඳහා මෙන්ඩිස් අරක්කු සමාගමෙන් රුපියල් ලක්ෂ 210ක අල්ලසක් ලබාගත් විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු ලබන දෙසැම්බර් 1 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කළුතර සහ අලුත්ගම සුරාබදු අධිකාරිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් චන්න ජයනාත් අල්විස් වීරක්කොඩි නමැත්තායි.
අධිකරණයේදී කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ සැකකරු 2015 සහ 2016 වසරවලදී චෙක්පත් 15ක් මගින් අදාළ අල්ලස් මුදල් ලබාගෙන ඇති බවයි.
මෙන්ඩිස් සමාගම විසින් රජයට නීත්‍යානුකූලව ගෙවිය යුතු බදු මුදල් අඩු කර පෙන්වීම සඳහා මෙම අල්ලස් ලබාදී ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි කොමිසම අධිකරණයට දැනුම් දී තිබේ.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කිරීමේදී, එම සමාගමට අනුබද්ධ මෙන්ඩිස් සමාගම මගින් අදාළ චෙක්පත් සුරාබදු කොමසාරිස්වරයා වෙත ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු විසින් 2025 වසරේදී අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව ද අල්ලස් කොමිසම සඳහන් කර ඇත.
මහ බැංකු වංචාවට අමතරව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගම් හරහාද කරන ලද විශාල වංචාවන් තිබෙන බව මෙම සිදුවීමෙන් ද පෙනේ. මෙන්ඩිස් සමාගම විසින් බදු නොගෙවා පැහැර හැරීමේ සිදුවීමක් ද පවතියි. ඊට අමතරව මෙම සමාගම් වසර ගණනාවක් මෙවැනි ආකාරයට මුදල් විසිකරමින් බදු අඩුවෙන් ගෙවීම සඳහාද විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිට ඇති බව පැහැදිලිය. ප්රශ්නය වන්නේ මෙවැනි විශාල සමාගම් බදු වංචා සිදුකරමින් බදු ගෙවීම පැහැර හරිමින් සිටියදී ජනතාවට තමන් මිලදී ගන්නා සෑම භාණ්ඩයකටම සේවාවකටම බදු ගෙවීමට සිදුවීමයි.




