Breaking News

චීන – ශ්‍රී ලංකා කවි මිත්‍රතත්වයට නව පිවිසුමක් – ප්‍රථම ශ්‍රී ලංකා – චීන කාව්‍ය සමුළුව

ඓතිහාසිකව පැවත එන චීන – ශ්‍රී ලංකා මිත්‍රතත්වය අලුත් කරමින් වාර්ෂික ”සබුද්ධි චීන – ශ්‍රී ලංකා කාව්‍ය සමුළුව” ආරම්භක කෙරේ. ඒ කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී (මාර්තු 31) පැවැති මෙම කාව්‍ය සමුළුවේ 2024 සමුළුව පවත්වමිනි. සබුද්ධි කාව්‍ය සමුළුව සංවිධානය කරන මෙම කාව්‍ය සමුළුවට සංවිධාන ශක්තියෙන් ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගම සහ ශ්‍රී ලංකාවේ චීන බෞද්ධ සංගමය එක් වෙයි. සමුළුව ආරම්භ නිල වශයෙන් නිවේදනය කරමින් සබුද්ධි සභාපති තමීර මංජු මහතා පැවසුවේ චීන – ශ්‍රී ලංකා කවියේ අන්තර් සංස්කෘතික සබඳතා ගවේෂණය කිරීම සහ හඳුනා ගැනීම මෙම සමුළුවේ මූලික අරමුණ වන බව යි. ”චීන කවිය දැවැන්ත සාහිත්‍යයක්. එනමුත් ඉන්දීය, ජපන්, රුසියානු සහ වෙනත් යුරෝපීය කාව්‍ය මෙන් චීන කවිය ගැන අපේ රටේ දී පුළුල් සහ ගැඹුරු අධ්‍යයනයක් තවමත් සිදුව නැහැ. එම සාහිත්‍යමය පරතරය පිරවීමේ අරමුණින් සබුද්ධි සංවිධානය මෙම චීන – ශ්‍රී ලංකා කාව්‍ය සමුළුව ආරම්භ කළා. එය චීන කවිය සංවිධානාත්මක ලෙසින් අධ්‍යයනය කිරීමේ ප්‍රථම ආරම්භය යි. අප ඉදිරියේ දී මෙම සමුළුව පාදක කරගනිමින් චීන කවියේ හැඩරුව හඳුනා ගැනීමට ශාස්ත්‍රීය ලෙස කටයුතු කරනවා…” සබුද්ධි සභාපති තමීර මංජු පැවසීය.

2024 සබුද්ධි චීන ශ්‍රී ලංකා කාව්‍ය සමුළුවේ තේමාව වූයේ “සිංහල කවියේ චීන සලකුණු” යන්නයි. සමුළුවේ මුලසුන දැරුවේ සම්මානනීය සාහිත්‍යවේදී රංජිත් මල්ලියාවඩු මහතා යි. සමුළුවේ ආරම්භක දේශනය ශ්‍රී ලංකාවේ චීන මිත්‍ර තානාපති, ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ සභාපති, ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා සිදු කළේය. 2023 චීනයේ විශේෂ චීන පොත් සම්මානය දිනූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් දිනේෂ් කුලතුංග, සම්මානනීය සාහිත්‍යවේදී පරාක්‍රම ඒකනායක, සාහිත්‍යවේදී සිසිර ගමගේ, සාහිත්‍යවේදී සඳුන් ජයවර්ධන යන මහත්වරුන් සමුළුවේ පූර්විකා දෙසුම් පැවැත් වූහ. චීන කවියේ හැඩරුව යන මාතෘකාවෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භාෂා නිපුණතා සංවර්ධන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිමාලි ප්‍රියංගිකා මහත්මියත් සිංහල කවියේ චීන සලකුණු යන මාතෘකාවෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චින්තක රණසිංහ මහතාත් ශාස්ත්‍රීය දෙසුම් පැවැත් වූහ. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති මහාචාර්ය නලින් අබේසේකර, ලක්හඬ රේඩියෝවේ සම්මානනීය ක්‍රීඩා මාධ්‍යවේදී නුවන් උදාර කරුණාරත්න යන ආරාධිතයින් ඇතුළුව කවි කිවිඳියන් රැසක් මෙම සමුළුවට එක් විය.

මෙවර සබුද්ධි චීන ශ්‍රී ලංකා කාව්‍ය සමුළුව අවසන් වූයේ චීන කවිය කෙරෙහි උනන්දුවක් දක්වන සහ කාව්‍ය කුසලතා ප්‍රකට කරන සබුද්ධි කවිකතා සමූහයේ සාමාජික සාමාජිකාවන් ඇගයීමට ලක් කරමින් සිදුකළ සහතික පත්‍ර ප්‍රදානයෙනි. සමුළුව අවසානයේ සබුද්ධි සාහිත්‍ය කවයේ ජාතික සංවිධායක සුප්‍රි සමරසිංහ මහතා පැවසුවේ චීන කවිය ශාස්ත්‍රීය අධ්‍යයන කිරීමට සබුද්ධි සාහිත්‍ය කවය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව යි. සමුළුවට සබුද්ධි සාහිත්‍ය කවය නියෝජනය කරමින් එහි ලේකම් පසිදු තරින්ද්‍ර, එහි ප්‍රධාන සංවිධායක ප්‍රියන්ත බණ්ඩාර, විධායක අධ්‍යක්ෂ කමල් සේනාරත්න, විධායක සාමාජික තුෂාන් නිසංසල ඇතුළුව සාමාජික සාමාජිකාවන් රැසක් එක් වූහ. සබුද්ධි මහාලේකම් ඉරෝෂණී ගල්හේන සමුළුව සංවිධානය කළේය.

සුප්‍රී සමරසිංහ

leave a reply